Skip to content

පටුනට යන්න

යේසුස් මෙන් දුප්පතුන් කෙරෙහි සැලකිලිමත් වෙන්න

යේසුස් මෙන් දුප්පතුන් කෙරෙහි සැලකිලිමත් වෙන්න

යේසුස් මෙන් දුප්පතුන් කෙරෙහි සැලකිලිමත් වෙන්න

දුගීකම සහ පීඩිතයන්ව හෙළා දැකීම, මිනිසාගේ ඉතිහාසය තරම්ම පැරණියි. ඊශ්‍රායෙල්ට දෙවි දුන් නීතියේ දුප්පතුන්ව ආරක්ෂා කිරීමට හා ඔවුන්ගේ දුක තුනී කිරීමට නීති තිබුණත් ඒවා බොහෝවිට නොසලකාහැර තිබුණා. (ආමොස් 2:6) එදා සිටි සමහරුන් දුප්පතුන්ට සැලකූ ආකාරය ගැන අනාගතවක්තෘ එසකියෙල් හෙළා දැක්කේ මේ විදිහටයි. “දේශවාසිහු පීඩා කරමින් හොරකමට පුරුදු වූවෝය; එසේය, ඔවුහු දුප්පතා සහ දිලින්ඳාට හිරිහැර කළෝය; වැරදි ලෙස විදේශියාට පීඩා කළෝය.”—එසකියෙල් 22:29.

යේසුස් පොළොවේ සිටි කාලයේදීත් තිබුණේ ඒ තත්වයමයි. ආගමික නායකයන් දුප්පතුන් වෙනුවෙන් සැලකිල්ලක් නොදැක්වූ තරම්. ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ ‘මුදලට ප්‍රේම කරන,’ ‘වැන්දඹුවන්ගේ ගෙවල් නාස්ති කරන’ අය හැටියටයි. ඒ වගේම මහලු අයවත් අග හිඟකම් ඇති අයවත් සලකනවාට වඩා සම්ප්‍රදාය හෙවත් පාරම්පරික චාරිත්‍ර ඉහළින් සැලකූ අය හැටියටයි. (ලූක් 16:14; 20:47; මතෙව් 15:5, 6) කරුණාවන්ත සමරිතානුවරයාගේ උපමාවේදී පූජකයා සහ ලෙවීවරයා තුවාල වූ පුද්ගලයාව දැක දැකත් උදව් කිරීමට ඉදිරිපත් වෙනවා වෙනුවට පාරේ අනිත් පැත්තෙන් ඔහුව පසු කර ගමන් කළ බව වාර්තා වෙනවා. එය සැලකිල්ලට ගත යුතු කරුණක්.—ලූක් 10:30-37.

යේසුස් දුප්පතුන් ගැන සැලකිලිමත් වුණා

යේසුස්ගේ ජීවිත කතාව සඳහන් බයිබලයේ පොත්වල පෙන්වන්නේ ඔහු දුප්පත් අයගේ අවශ්‍යතා ගැන වටහාගත් අතර ඒ ගැන අවංක සැලකිල්ලක් දැක්වූ බවයි. යේසුස් ස්වර්ගයේ ජීවත් වුවත් සියල්ල අත්හැර මිනිසෙකු ලෙස ‘අප උදෙසා දිලිඳු වුණා.’ (2 කොරින්ති 8:9) යේසුස් සමූහයන් දැක්කාම “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා” කළා. (මතෙව් 9:36) ධනවතුන් තමන්ට “වැඩිපුර තිබූ” දෙයින් විශාල මුදලක් සම්මාදම් කළත් යේසුස්ගේ අවධානයට ලක් වුණේ ඒ විශාල සම්මාදම්වලට නොව දිලිඳු වැන්දඹුවක් දැමූ ඉතා සුළු සම්මාදමක් වෙතටයි. මන්ද ඇය “අග හිඟකම් තිබියදීත් තම ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල” දැමූ නිසයි.—ලූක් 21:4.

යේසුස් දුප්පතුන් වෙනුවෙන් දයානුකම්පාව දැක්වූවා විතරක් නෙවෙයි ඔහු ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වී උදව් කළා. අග හිඟකම් ඇති ඊශ්‍රායෙලිතයන්ට දීම සඳහා යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ට පොදු අරමුදලක් තිබුණා. (මතෙව් 26:6-9; යොහන් 12:5-8; 13:29) යේසුස් අවධාරණය කළේ යම් කෙනෙක් තම අනුගාමිකයෙක් වීමට කැමති නම් ඔහු අග හිඟකම් තිබෙන අයට උපකාර කිරීමේ වැදගත්කම වටහාගත යුතු බවයි. ඔහු පොහොසත් තරුණ පාලකයෙකුට කිව්වේ “ඔබට තිබෙන සියල්ල විකුණා දිලිඳුන්ට බෙදා දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු ඇති වන්නේය. ඉන්පසු ඇවිත් මාගේ අනුගාමිකයා වන්න” කියායි. මේ තරුණයා තමාට ඇති දේ බෙදා දීමට අකමැති වුණා. ඉන් පෙනී යන්නේ ඔහු දෙවිටත් අසල්වාසියාටත් වඩා වස්තුවට ප්‍රේම කළ බවයි. යේසුස්ගේ ගෝලයෙකු වීමට තිබිය යුතු ගුණාංග ඔහුට තිබුණේ නැහැ.—ලූක් 18:22, 23.

යේසුස්ගේ අනුගාමිකයෝ දුප්පත් අය ගැන සැලකිලිමත්

යේසුස්ගේ මරණයෙන් පස්සේ ඔහුගේ ගෝලයෝ සහ ඔහුව අනුගමනය කළ අනිත් අය දුප්පත් අය ගැන දිගටම සැලකිලිමත් වුණා. ක්‍රිස්තු වර්ෂ 49දී පමණ පාවුල් තවත් ගෝලයන් කිහිපදෙනෙක් වන යාකොබ්, පේතෘස් සහ යොහන් සමඟ එකතු වී තමාට යේසුස්ගෙන් ලැබුණු ශුභාරංචිය දේශනා කිරීමේ පැවරුම ගැන සාකච්ඡා කළා. පාවුල් සහ බානබස් “අන්‍යජාතිකයන්” හෙවත් යුදෙව් නොවන්නන් වෙතට ගොස් දේශනා කළ යුතු බවට ඔවුන් එකඟ වුණා. කොහොමවුණත්, යාකොබ් සහ අනිත් අය පාවුල්ගෙන් සහ බානබස්ගෙන් ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටියේ “දිලිඳුන්ව සිහියේ” තබාගන්න කියලයි. පාවුල්ද “මහත් උනන්දුවෙන් වෑයම් කරන්නේ ඒ දේම කිරීමටයි.”—ගලාති 2:7-10.

ක්ලෞදියස්ගේ පාලන සමයේදී රෝම අධිරාජ්‍යය යටතේ තිබුණු විවිධ පළාත්වල දරුණු සාගතයක් ඇති වුණා. ඒ සඳහා උදව් කිරීමට ඉදිරිපත් වූ අන්තියෝකියේ ක්‍රිස්තියානීන් “තම තමාට පුළුවන් විදිහට යුදයේ වසන සහෝදරයන්ට සහනාධාර යැවීමෙන් ඔවුන්ට සේවයක් කිරීමට අදිටන් කරගත්තෝය. ඔවුහු ඒවා බානබස් සහ සාවුල් අත වැඩිමහල්ලන් වෙත යැවීමෙන් එසේ කළෝය.”—ක්‍රියා 11:28-30.

අද සිටින සැබෑ ක්‍රිස්තියානීනුත් යේසුස්ව ආදර්ශයට ගන්න අය වශයෙන් උපකාර අවශ්‍ය අය ගැන, විශේෂයෙන් අපේ ඇදහිල්ලේ පවුලට අයත් ක්‍රිස්තියානීන් ගැන සැලකිලිමත් විය යුතු බව වටහාගෙන සිටිනවා. (ගලාති 6:10) ජීවිතයේ මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව සිටින අය ගැන ඔවුන් විශේෂ සැලකිල්ලක් දක්වනවා. උදාහරණයකට 1998දී බ්‍රසීලයේ ඊසානදිග පැත්තේ දරුණු නියඟයක් හටගත්තා. මෙය අවුරුදු 15කට පසුව එහි ඇති වූ දරුණුම නියඟයයි. එයින් වී වගාව සහ හේන් ගොවිතැන් පාළු වූ අතර රට පුරා සාගතයක් ඇති වුණා. සමහර තැන්වල බීමට ගන්නා ජලයත් හිඟ වුණා. බ්‍රසීලයේ අනිත් පැතිවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වහාම ක්‍රියාත්මක වී සහනාධාර කමිටු සංවිධානය කළා. ඉතා ඉක්මනින් ටොන් ගණන් ආහාර ද්‍රව්‍ය රැස් කළ අතර ඒවා බෙදාහැරීමටද අවශ්‍ය කටයුතු සැලසුම් කළා.

එම කටයුත්තට උදව් උපකාර කළ සාක්ෂිකරුවන් මෙහෙම ලිව්වා. “අපේ සහෝදරයන්ට උදව් කරන්න ලැබුණ එක ගැන අපි සතුටු වෙනවා. ඊටත් වඩා අපි යෙහෝවා දෙවිගේ සිත සතුටු කරලා තියෙන බව අපිට ස්ථිරයි. අපි කවදාවත් යාකොබ් 2:15, 16හි වචන අමතක කරන්නේ නැහැ.” ඒ බයිබල් පදවල සඳහන් වෙන්නේ “සහෝදරයෙකු හෝ සහෝදරියක ඇඳුම් නැතුව, දවසට අවශ්‍ය කෑම නොමැතිව සිටින නමුත් ඔබ අතරෙන් යමෙක්, ‘සමාදානයෙන් යන්න. උණුසුමට ඇඳ පැළඳ කෑම කා තෘප්තියෙන් සිටින්න’ යයි කියනවා මිස, ශරීරයට අවශ්‍ය දේවල් ඔවුන්ට දෙන්නේ නැත්නම්, එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?”

සැවෝ පවුලෝ නම් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක නිහතමානි මෙන්ම දේවසේවයේ උද්‍යෝගිමත් සාක්ෂිකාරියක් සිටියා. ඇය එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීමට මහත් වෙහෙසක් ගන්නවා. ඇය මෙහෙම කියනවා. “මම දුප්පත් වුණත් බයිබලයේ සඳහන් පණිවුඩය මගේ ජීවිතයට නියම අර්ථයක් දී තිබෙනවා. අනිත් සාක්ෂිකරුවන්ගෙන් මට උපකාර ලැබුණේ නැත්නම් මට මොනවා වෙලා ඇද්ද කියලා හිතාගන්නවත් බැහැ.” වෙහෙස මහන්සිව වැඩ කරන ඒ සහෝදරියට මීට ටික කාලයකට කලින් යම් සැත්කමක් කිරීමට තිබුණා. ඒත් ඒ සඳහා යන වියදම පියවාගැනීමට තරම් මුදලක් ඇයට තිබුණේ නැහැ. මේ අවස්ථාවේදී ඒ සභාවේ සිටි සහෝදර සහෝදරියන් එකතු වෙලා සැත්කමට යන මුදල පියවා දුන්නා. එවන් උපකාර ලොව වටා සිටින සැබෑ ක්‍රිස්තියානීන් අග හිඟකම් තිබෙන සහෝදර සහෝදරියන්ට පිරිනමනවා.

ඒ වගේ අද්දැකීම් කොතරම් හදදනවන ඒවා වුවත් දුප්පත්කම සහමුලින්ම තුරන් කිරීමට එවැනි උත්සාහයකට නොහැකි බව පැහැදිලියි. බලවත් ආණ්ඩු ක්‍රම සහ ජාත්‍යන්තර සහනාධාර ආයතන යම් දුරකට සාර්ථකත්වයක් අද්දැක තිබුණත් මිනිස් ඉතිහාසයේ සිට පැවත එන දුප්පත්කම නමැති ගැටලුව මුලිනුපුටා දැමීමට ඒවා සමත් වී නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය මතු වෙනවා. ලොව පුරා පැතිර පවතින දුප්පත්කම ඇතුළු වෙනත් ගැටලුවලට ස්ථිර විසඳුමක් තිබෙනවාද?

බයිබලයේ සඳහන් සදාකාලික විසඳුම

දුප්පතුන් සහ වෙනත් අවශ්‍යතා තිබෙන අය වෙනුවෙන් යේසුස් නිතරම යහපත් ක්‍රියා කළ බව බයිබලයේ වාර්තා වෙනවා. (මතෙව් 14:14-21) නමුත් ඔහු මුල් ස්ථානය දුන්නේ කුමන කාර්යය සඳහාද? තවත් අවස්ථාවක, උපකාර අවශ්‍ය අයට එම උපකාර දීමෙන් පසු යේසුස් තම ගෝලයන්ට මෙහෙම කිව්වා. “අපි වෙන තැනකට යමු. අසල පිහිටි ගම්බද නුවරවලත් මා දේශනා කරන පිණිස එතැනට යමු. මන්ද මා පිටත්ව ආවේ මේ සඳහායි.” යේසුස් දේශනා සේවයේ යද්දී ලෙඩ වූ අය සහ අග හිඟකම් ඇති අය හමු වූ විට ඔවුන් ගැන අවධානය යොමු කර නැවත දේශනා සේවයේ යෙදුණේ ඇයි? යේසුස්ගේ පිළිතුර මේකයි. “මාව එවන ලද්දේ [දේශනා කිරීම] සඳහාය.” (මාක් 1:38, 39; ලූක් 4:43) උපකාර අවශ්‍ය අය වෙනුවෙන් යේසුස් යහපත් දේ කළත් ඔහු මුල් තැන දුන්නේ දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමටයි.—මාක් 1:14.

ක්‍රිස්තියානීන් අනිත් අයට උදව් කිරීමේදී මුල් තැන දිය යුතු දේ ගැන බයිබලයේ මඟ පෙන්වා තිබෙනවා. අප ඊට එකඟව ක්‍රියා කරනවා නම් “[යේසුස්ගේ] අඩිපාර කිට්ටුවෙන් අනුගමනය” කරනවා කියා කිව හැකියි. (1 පේතෘස් 2:21) යේසුස් වගේ ඔවුනුත් උපකාර අවශ්‍ය අයට එය ලබා දෙනවා. ඒත් ඔවුන් යේසුස් මෙන් වැදගත්ම දේ ලෙස සලකන්නේ දේවරාජ්‍යයේ ශුභාරංචිය පිළිබඳ බයිබලයේ සඳහන් පණිවුඩය අන්‍යයන්ට කියා දීමයි. (මතෙව් 5:14-16; 24:14; 28:19, 20) වෙනත් ආකාරවලින් අන්‍යයන්ට උදව් කිරීමට වඩා දේවවචනයේ සඳහන් පණිවුඩය ගැන දේශනා කිරීම වැදගත් වෙන්නේ ඇයි?

ලෝකයේ නන් දෙසින් අහන්න ලැබෙන අද්දැකීම්වලින් පෙන්වන්නේ ජනයා බයිබලයේ සඳහන් උපදෙස් පිළිගෙන ඒවා අදාළ කරගනිද්දී දුප්පත්කම ඇතුළු දෛනික ජීවිතයේ එන ගැටලුවලදී ඒවාට මුහුණ දීමට වඩා හොඳින් සූදානම්ව සිටින බවයි. ඒ විතරක් නෙවෙයි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අනාගතය සම්බන්ධයෙන් සිත දිරිමත් කරවන බලාපොරොත්තුවක් ඇතුළත් බයිබලයේ සඳහන් පණිවිඩය දේශනා කරනවා. එම බලාපොරොත්තුව දැන් තිබෙන මේ දුෂ්කර තත්වයන් යටතේදී වුවත් ප්‍රීතියෙන් ජීවත් වීමට දායක වෙනවා. (1 තිමෝති 4:8) ඒ බලාපොරොත්තුව කුමක්ද?

අපගේ අනාගතය ගැන දේවවචනයේ දෙන පොරොන්දුව මේකයි. “[දෙවිගේ] පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13) “පොළොව” කියා බයිබලය යොමු දක්වන සමහර අවස්ථාවලදී ඉන් පෙන්වන්නේ මේ පොළොව මත ජීවත් වන මිනිසුන්වයි. (උත්පත්ති 11:1) ඒ නිසා පොරොන්දු වී තිබෙන ධර්මිෂ්ඨ “අලුත් පොළොව” කියන්නේ දෙවිගේ අනුමැතිය දිනාගත් ජනයාගෙන් සමන්විත සමාජයක්. දේවවචනය තවදුරටත් පොරොන්දු වෙන්නේ යේසුස්ගේ පාලනය යටතේ දෙවිගේ අනුමැතිය තිබෙන අයට සදාකාල ජීවනය සහ පාරාදීස පොළොවක තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ප්‍රස්තාව ලැබෙන බවයි. (මාක් 10:30) ඒ ප්‍රීතිමත් අනාගතය දුප්පත් අය ඇතුළු සියලුදෙනාටම විවෘතයි. “අලුත් අහස” යටතේ දුප්පත්කම සදහටම තුරන් කර දමාවි!

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යේසුස් ‘දුප්පතාව ගලවන්නේ’ කොහොමද?—ගීතාවලිය 72:12

යුක්තිය: “සෙනඟ අතරේ පීඩාවට පත් වූවන්ට ඔහු යුක්තිය ඉටු කර දේවා. ඔහු දුප්පතුන්ව බේරාගනීවා. වංචා කරන්නාව පොඩි කර දමාවා.” (ගීතාවලිය 72:4, නව ලොව පරිවර්තනය) අද ධනවත් රටවල් බොහොමයක් දුප්පත්කමට ඇද වැටෙන්නේ දූෂිත ක්‍රියාවන් නිසයි. යේසුස් පොළොව පාලනය කරන කාලයේදී දූෂිත ක්‍රියාවන් සිදු නොවන නිසා සියලුදෙනාටම යුක්තිය ඉටු වෙනවා.

සමාදානය: “ඔහුගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සපල වන්නේය; සඳ නැති වන තෙක් බොහෝ සමාදානයද වන්නේය.” (ගීතාවලිය 72:7) ලෝකය පුරා දුගීකම ඇතිවීමට හේතු වන්නේ මිනිස් ගැටුම් සහ යුද්ධයි. ඒවා සම්පූර්ණයෙන්ම නැති කර දැමීමෙන් යේසුස් පොළොව පුරා සමාදානය පතුරු වනවා.

දයානුකම්පාව: “ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය; දිලිඳුන්ගේ ආත්මයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ආත්මය පීඩාව හා බලාත්කාරකමෙන් මුදන්නේය; ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.” (ගීතාවලිය 72:12-14) රජ වන යේසුස්ගේ නායකත්වය යටතේ දුප්පතුන් සහ පීඩා විඳින්නන් එකම මිනිස් පවුලක සාමාජිකයන් ලෙස එකමුතු වෙනවා.

සශ්‍රීකත්වය: “පොළොවේ කඳු මුදුනේ බොහෝ ශස්‍ය වන්නේය.” (ගීතාවලිය 72:16) යේසුස්ගේ පාලනය යටතේදී මිනිසාට කිසි දෙයකින් අඩුවක් නැහැ. අද දින දුගීකමට හේතුවක් වන ආහාර හිඟකම් සහ සාගත තවදුරටත් තිබෙන්නෙ නැහැ.

[4, 5වන පිටුවේ පින්තූරය]

යේසුස් කැමැත්තෙන්ම ඉදිරිපත් වී දුප්පතුන්ට උපකාර කළා

[6වන පිටුවේ පින්තූරය]

බයිබලයේ සඳහන් පණිවුඩය සැබෑ බලාපොරොත්තුවක් ගෙන දෙයි