Skip to content

පටුනට යන්න

“රැළට ආදර්ශයක්” වන එඬේරු

“රැළට ආදර්ශයක්” වන එඬේරු

“රැළට ආදර්ශයක්” වන එඬේරු

“ඔබට භාර දෙන ලද දෙවිගේ රැළ රැකබලා ගන්න. . . . කැමැත්තෙන්ද, . . . උනන්දුවෙන්ද, . . . රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.”—1 පේතෘස් 5:2, 3.

1, 2. (අ) යේසුස්, පේතෘස්ට දුන් පැවරුම කුමක්ද? පේතෘස් ගැන තැබූ විශ්වාසය කඩ වෙන්න ඔහු ඉඩ දුන්නේ නැති බව ඔප්පු වෙන්නේ කොහොමද? (ආ) එඬේරුන් ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසට ටික කලකට පෙර පේතෘස් සහ තවත් ගෝලයන් හයදෙනෙක් ගලීල මුහුදු වෙරළේ යේසුස් පිළියෙල කළ උදෑසන ආහාරය ගනිමින් සිටියා. පේතෘස්ට නැවත නැඟිටුණු යේසුස්ව හමු වූ මුල් අවස්ථාව එය නොවුණත්, යේසුස් ජීවතුන් අතර සිටීම ගැන දැනගැනීමෙන් පේතෘස් ප්‍රීති වූ බවට නම් කිසිම සැකයක් නැහැ. ඒත් යේසුස්ව අඳුරන්නේ නැහැ කියා ප්‍රසිද්ධියේ පවසා වැඩි දවසක් ගත වෙලා තිබුණේ නැති නිසා ඔහුට යම් බියකුත් දැනෙන්න ඇති. (ලූක් 22:55-60; 24:34; යොහන් 18:25-27; 21:1-14) නමුත් ඇදහිල්ලේ අඩුවක් තිබුණා කියා තරවටු කරනවා වෙනුවට, පසුතැවිලි වූ පේතෘස්ට යේසුස් යම් පැවරුමක් දුන්නා. ඒ තම “කුඩා බැටළුවන්ව” පෝෂණය කර රැකබලා ගන්නයි. (යොහන් 21:15-17) යේසුස් තමා ගැන තැබූ විශ්වාසය නැති වෙන්න පේතෘස් ඉඩ දුන්නේ නැහැ. දරුණු පීඩාවලින් පිරුණු පළමු ශතවර්ෂයේදී, අනෙක් ගෝලයන් සහ යෙරුසලමේ සිටි වැඩිමහල්ලෝ සමඟ එකතු වූ පේතෘස් විශාල වර්ධනයක් ලබමින් සිටි සභාවන් හොඳින් රැකබලා ගත්තා.—ක්‍රියා 1:15-26; 2:14; 15:6-9.

2 තීරණාත්මක මේ කාලයේදීත්, එඬේරුන් වගේ තම බැටළුවන්ට මඟ පෙන්වන්න සුදුසුකම් ඇති පුරුෂයන්ව යේසුස් ක්‍රිස්තුස් මගින් යෙහෝවා දෙවි පත් කර තිබෙනවා. (එෆීස 4:11, 12; 2 තිමෝති 3:1) “තමාගේම පුත්‍රයාගේ ලෙයින් මිලට ගත්” බැටළුවන්ව ඔවුන් රැකබලා ගනියි කියා යෙහෝවා දෙවි විශ්වාස කරනවා. (ක්‍රියා 20:28) පේතෘස් වගේම ඔවුන් අතිනුත් වැරදි සිදු වුණත්, දෙවි තබා තිබෙන විශ්වාසය කඩ වෙන්න ඒ එඬේරුන් ඉඩ දී නැහැ. එය, අද ලොව පුරා පවතින ක්‍රිස්තියානි සහෝදරත්වයෙන් මනාව පැහැදිලි වෙනවා. (ගලාති 2:11-14; යාකොබ් 3:2) ඒ නිසා ඔවුන්ට බොහෝ සෙයින් ඇලුම් කරන යෙහෝවා දෙවි, ඔවුන්ව සලකන්නේ “දෙගුණයක් ගෞරවය ලැබීමට වටින” අය හැටියටයි.—1 තිමෝති 5:17.

3. කැමැත්තෙන් හා උනන්දුවෙන් වැඩ කරන්න එඬේරුන්ට හැකි වී තිබෙන්නේ කොහොමද?

3 කැමැත්තෙන් හා උනන්දුවෙන් වැඩ කරමින් රැළට ආදර්ශයක් වෙන්න එඬේරුන් හා සමාන වැඩිමහල්ලන්ට හැකි වී තිබෙන්නේ කොහොමද? ඒ, ඔවුන් පේතෘස් හා වෙනත් එඬේරුන් වගේ තම වගකීම් ඉසිලීම සඳහා දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරය මත රඳා සිටින නිසයි. (2 කොරින්ති 4:7) “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” වැනි ගුණාංග ඇතිව සිටින්න ඔවුන්ට හැකි වී තිබෙන්නෙත් දෙවිගේ ඒ උපකාරය නිසයි. (ගලාති 5:22, 23) දෙවි භාර දී තිබෙන රැළ රැකබලා ගැනීමේදී මේ එඬේරුන්ට ඒ ගුණාංග විදහා පෙන්විය හැකි විශේෂ විධි කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

මුළු රැළට මෙන්ම එක් එක්කෙනාටත් ප්‍රේමයෙන් සලකන්න

4, 5. (අ) යෙහෝවා දෙවි සහ යේසුස් රැළට ප්‍රේමයෙන් සලකන්නේ කොහොමද? (ආ) රැළට ඇති ප්‍රේමය නිසා වැඩිමහල්ලන් කරන දේවල් මොනවාද?

4 දෙවිගේ ප්‍රධානතම ගුණාංගය වන ප්‍රේමය ඔහු මුළු රැළටම පෙන්වන්නේ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා අවශ්‍ය පෝෂණය ඇති තරම් සැපයීම මගිනුයි. (යෙසායා 65:13, 14; මතෙව් 24:45-47) රැළේ සිටින එක් එක්කෙනාටත් ඔහු ප්‍රේමයෙන් සලකනවා. (1 පේතෘස් 5:6, 7) ඒ රැළ වෙනුවෙන් තම ජීවිතය දුන් යේසුස්ට ඇත්තෙත් එවැනිම ප්‍රේමයක්. “නම කියා” කතා කරන්න තරම් ඔහු ඒ එක් එක් බැටළුවාව හොඳින් අඳුරනවා.—යොහන් 10:3, 14-16.

5 යෙහෝවා දෙවිවත් යේසුස්වත් අනුකරණය කරන සභා වැඩිමහල්ලන් ‘ඉගැන්වීමෙහි දිගටම යෙදී සිටීම’ මගින් දෙවිගේ මුළු රැළට ප්‍රේමයෙන් සලකනවා. බයිබලය මත පදනම් කතා මගින් ඔවුන් රැළට අවශ්‍ය පෝෂණය හා ආරක්ෂාව සපයනවා. ඒ තොරතුරු සූදානම් කරන්න ඔවුන් කොතරම් වෙහෙසක් දරනවාද කියා හැමෝටම තේරෙනවා. (1 තිමෝති 4:13, 16) නමුත් ඒ මතුපිටින් පේන දේට වඩා විශාල වැඩ කොටසක් ඔවුන් අතින් ඉටු වෙනවා. එයට සභා වාර්තා පවත්වාගෙන යෑම, ලිපි හුවමාරු කිරීම, වැඩසටහන් සකස් කිරීම වැනි වෙනත් විවිධාකාර කාර්යයන් රාශියක් ඇතුළත් වෙනවා. ඔවුන් ඒ සියල්ල කරන්නේ සභා රැස්වීම් ඇතුළු වෙනත් වැඩ කටයුතු “විනීතවද පිළිවෙළකටද” සිදුවීම සඳහායි. (1 කොරින්ති 14:40) මේ දේවල් සඳහා ඔවුන් ගත කරන කාලය සහ වෙහෙස සභාවේ සිටින අනිත් අයගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. ඔවුන් එය කරන්නේ රැළ ගැන ඔවුන්ට ඇති ප්‍රේමය නිසයි.—ගලාති 5:13.

6, 7. (අ) වැඩිමහල්ලන්ට සභාවේ සිටින අයව වඩා හොඳින් දැන හඳුනාගන්න පුළුවන් කොහොමද? (ආ) අපේ සතුට හෝ දුක වැඩිමහල්ලෙක් එක්ක බෙදාගන්න එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

6 ප්‍රේමණීය වැඩිමහල්ලන් සභාවේ සිටින සෑම කෙනෙක් ගැනම සැලකිල්ලක් දක්වන්න උත්සාහ කරනවා. (ෆිලිප්පි 2:4) ඔවුන් මේ අයව වඩා හොඳින් දැන හඳුනාගන්නා එක ක්‍රමයක් වෙන්නේ දේශනා සේවයේ ඔවුන් සමඟ එකට වැඩ කිරීමයි. දේශනා සේවයේදී යේසුස් නිතරම වගේ ඔහුගේ අනුගාමිකයන් සමඟ සිට ඔවුන්ව දිරිගැන්වීමට ඒ අවස්ථා යොදාගත්තා. (ලූක් 8:1) එක් අද්දැකීම් ලත් වැඩිමහල්ලෙක් පැවසුවේ මෙයයි. “කෙනෙකුව දැනහඳුනා ගැනීමට හා දිරිගැන්වීමට හැකි හොඳම ක්‍රමය වෙන්නේ දේශනා සේවයේ ඔහු හෝ ඇය සමඟ එකට වැඩ කිරීමයි.” දේශනා සේවයේදී වැඩිමහල්ලෙක් සමඟ වැඩ කරන්න තවමත් ඔබට අවස්ථාවක් ලැබී නැත්නම් හැකි ඉක්මනින් එය කිරීමට උත්සාහ කරන්න.

7 තම අනුගාමිකයන්ට ප්‍රේම කළ යේසුස් සතුටේදී වගේම දුකේදීත් ඔවුන් සමඟ සිටියා. එක් අවස්ථාවකදී දේශනා සේවයේ ගොස් සතුටෙන් පැමිණි ගෝලයන් 70දෙනා දැක යේසුස් “අතිශයින් ප්‍රීතිමත්” වුණා. (ලූක් 10:17-21) නමුත් ලාසරුස්ගේ මරණය නිසා මරියා සහ ඇගේ පවුලේ අයගේ දුක දුටුවාම ‘යේසුස් කඳුළු සැලුවා.’ (යොහන් 11:33-35) අද දින සිටින වැඩිමහල්ලනුත් සභාවේ අයගේ හැඟීම් ගැන නොතේරෙන අය නෙවෙයි. “ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති” වෙන්න සහ “හඬන අයත් සමඟ හඬන්න” ඔවුන් පෙලඹෙන්නේ ප්‍රේමය නිසයි. (රෝම 12:15) ඔබේ සතුටේදී මෙන්ම දුකේදීත් එය වැඩිමහල්ලන් සමඟ බෙදාගන්න පසුබට වෙන්න එපා. ඔබ ඔවුන් සමඟ ඔබේ සතුට බෙදාගත්තොත් එය ඔවුන්ට දිරිගැන්වීමක් වේවි. (රෝම 1:11, 12) ඒ වගේම ඔබේ දුක ඔවුන් සමඟ බෙදාගත්තොත් ඔබව ශක්තිමත් කිරීමට හා සනසන්න ඔවුන්ට හැකි වේවි.—1 තෙසලෝනික 1:6; 3:1-3.

8, 9. (අ) එක් වැඩිමහල්ලෙක් තම බිරිඳට ඇති ආදරය පෙන්නුවේ කොහොමද? (ආ) වැඩිමහල්ලෙක් තම පවුලේ අයට ප්‍රේමය පෙන්වීම එතරම් වැදගත් වෙන්නේ ඇයි?

8 සභාව ගැන වැඩිමහල්ලෙකුට ඇති ප්‍රේමය තමන්ගේම පවුලේ අයට ඔහු සලකන ආකාරයෙන් පැහැදිලි වෙනවා. (1 තිමෝති 3:1, 4) ඔහු විවාහකයෙක් නම් තම භාර්යාවට පෙන්වන ප්‍රේමය සහ ගෞරවය අනිත් ස්වාමිපුරුෂයන්ටත් ආදර්ශයක් වේවි. (එෆීස 5:25; 1 පේතෘස් 3:7) ක්‍රිස්තියානි කාන්තාවක් වූ ලින්ඩාගේ ස්වාමිපුරුෂයා මිය යද්දී ඔහු වසර 20කට වැඩියෙන් වැඩිමහල්ලෙක් ලෙස සේවය කර තිබුණා. ඔහු ගැන ලින්ඩා පැවසුවේ මෙයයි. “සභාවේ වැඩ නිසා මගේ ස්වාමිපුරුෂයා නිතරම හිටියේ කාර්ය බහුලවයි. ඒත් ඔහු මා සමඟ ගත කරන්නත් කාලය සොයාගත්තා. මගේ සහයෝගය අවශ්‍ය බව ඔහු මට දැනෙන්න සැලැස්සුවා වගේම මගෙන් ලැබුණු ඒ සහය ගැන ඔහු නිතරම මට ස්තුති කළා. සභාවේ වැඩවලට වැඩි කාලයක් ගත කළත් ඔහුගේ ආදරයේ අඩුවක් නම් මට දැනුණේ නැහැ.”

9 දරුවන් සිටින වැඩිමහල්ලෙක් තම දරුවන්ව ප්‍රේමණීය ලෙස හික්මවද්දී සහ ප්‍රශංසා කළ යුතු අවස්ථාවලදී එසේ කරද්දී එය අනිත් දෙමාපියන්ට ආදර්ශයක් වෙනවා. (එෆීස 6:4) වැඩිමහල්ලෙක් තම පවුලේ අයට පෙන්වන ප්‍රේමයෙන් ඔප්පු වෙන්නේ ශුද්ධ ලියවිලිමය සුදුසුකම්වලට එකඟව ඔහු ජීවත් වෙන්න උත්සාහ කරන බවයි.—1 තිමෝති 3:4, 5.

අදහස් හුවමාරු කර ගැනීමෙන් ප්‍රීතිය හා සමාදානය ඇති කරන්න

10. (අ) සභාවේ ප්‍රීතියට හා සමාදානයට බාධාවක් විය හැක්කේ කුමක්ද? (ආ) පළමු සියවසේ සභාවේ සමාදානයට තර්ජනයක් වුණේ කුමන ප්‍රශ්නයද? ඒ ප්‍රශ්නය විසඳන්න හැකි වුණේ කොහොමද?

10 දෙවිගේ ශුද්ධාත්මයේ උපකාරය නිසා සභාවේ එක් එක් පුද්ගලයා තුළත්, වැඩිමහල්ලන් අතරත්, සභාවක් හැටියට හැමෝම අතරත් ප්‍රීතිය හා සමාදානය ඇති වෙනවා. නමුත් විවෘතව අදහස් හුවමාරු කරගන්නේ නැත්නම් මෙයට බාධාවක් ඇති වෙන්න පුළුවන්. “මන්ත්‍රණ නැති තැන අදහස් ඉෂ්ට නොවේ; එහෙත් බොහෝ මන්ත්‍රීන් ඇති තැන ඒවා පිහිටුවනු ලැබේ” කියා සලමොන් රජ පැවසුවා. (හිතෝපදේශ 15:22) ගෞරවනීය සහ අවංක අදහස් හුවමාරුවේ ප්‍රතිඵලය ප්‍රීතිය හා සමාදානයයි. උදාහරණයක් හැටියට, පළමු සියවසේදී චර්මච්ඡේදනය ගැන මතු වූ ප්‍රශ්නය නිසා සභාවේ සමාදානයට තර්ජනයක් ඇති වූ විට, යෙරුසලමේ සිටි පාලක මණ්ඩලයේ සහෝදරයන් දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලා සිටියා. ඒ වගේම ඒ ප්‍රශ්නය ගැන එකිනෙකාට හැඟුණු දේවල් ඔවුන් විවෘතව කතා කළා. ඔවුන් තීරණයකට පැමිණියේ උණුසුම් සංවාදයක යෙදීමෙන් පසුවයි. ඔවුන් ගත් ඒ ඒකමතික තීරණය සභාවන්ට දැන්වූ විට සහෝදරයෝ “ඒ දිරිගැන්වීම ගැන ප්‍රීති” වුණා. (ක්‍රියා 15:6-23, 25, 31; 16:4, 5) ඒ නිසා ඔවුන්ට ප්‍රීතිය හා සමාදානය අත්විඳින්න හැකි වුණා.

11. සභාව තුළ ප්‍රීතියට හා සමාදානයට දායක වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

11 අද දින සිටින වැඩිමහල්ලනුත් එකිනෙකා අතර හොඳින් අදහස් හුවමාරු කරගන්න නිසා සභාව තුළ ප්‍රීතිය හා සමාදානය පවත්වාගන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. සභාවේ සමාදානයට තර්ජනයක් වන ගැටලු ඇති වන විට ඔවුන් එකට එකතු වී ඒ ගැන තමන්ට හැඟෙන දේ විවෘතව කතා කරනවා. ඒ අවස්ථාවේදී අනිත් වැඩිමහල්ලන්ගේ අදහස්වලට ඔවුන් ගෞරවනීය ලෙස සවන් දෙනවා. (හිතෝපදේශ 13:10; 18:13) දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමෙන් පසුව බයිබල් ප්‍රතිපත්ති සහ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දී තිබෙන මඟ පෙන්වීම් පදනම් කරගෙන ඔවුන් තීරණ ගන්නවා. (මතෙව් 24:45-47; 1 කොරින්ති 4:6) ඒ ගන්නා තීරණය තමාගේ පෞද්ගලික මතය නොවුණත් එයට සම්පූර්ණ සහයෝගය දෙන්න හැම වැඩිමහල්ලෙක්ම වග බලාගන්නවා. ඒ මගින් ඔවුන් පෙන්වන්නේ දෙවි දෙන මඟ පෙන්වීම පිළිගන්න තමන් කැමති බවයි. එඬේරුන් එසේ නිහතමානි වීමෙන් ඔවුන් අතර ප්‍රීතිය හා සමාදානය ඇති වෙනවා වගේම දෙවි සමඟ ගමන් කිරීම සඳහා තම රැළට කදිම ආදර්ශයකුත් සපයනවා. (මීකා 6:8) ඔබේ සභාවේ සිටින එඬේරුන් ගන්නා එවැනි තීරණවලට ඔබ යටහත් පහත් ලෙස සහයෝගය දක්වනවාද?

ඉවසිලිවන්ත හා කරුණාවන්ත කෙනෙක් වෙන්න

12. ගෝලයන් සමඟ කටයුතු කිරීමේදී යේසුස්ට ඉවසීමෙන් හා කරුණාවෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය වුණේ ඇයි?

12 තම ගෝලයන්ගේ අතින් නිතර නිතර වැරදි සිදු වුණත් යේසුස් ඔවුන් සමඟ ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කළා. උදාහරණයක් හැටියට යටහත් පහත් කෙනෙක් වීමේ අවශ්‍යතාව ගැන ඔවුන්ට කාවද්දන්න යේසුස් කිහිප වතාවක්ම උත්සාහ කළා. (මතෙව් 18:1-4; 20:25-27) ඔහුගේ භූමික ජීවිතයේ අන්තිම රාත්‍රියේදීත් ගෝලයන්ගේ පාද සේදීමෙන් යටහත් පහත්කම ගැන යේසුස් ඔවුන්ට පාඩමක් කියා දුන්නා. ඒත් ඉන් ටික වේලාවකට පසුව “ඔවුන් අතරින් උතුම්ම තැනැත්තා ලෙස සලකනු ලබන්නේ කාවදැයි ඔවුන් අතර උණුසුම් විවාදයක්” ඇති වුණා. (ලූක් 22:24; යොහන් 13:1-5) මේ ගැන ඔවුන්ට බැණ වදිනවා වෙනුවට ඔවුන් සමඟ කාරුණිකව කතා කළ යේසුස් මෙසේ පැවසුවා. “වඩා උතුම් කවුද? කෑමට ඉඳගෙන සිටින්නාද නැතහොත් උපස්ථාන කරමින් සිටින්නාද? කෑමට ඉඳගෙන සිටින්නා නොවේද? නමුත් මම ඔබ අතරේ උපස්ථාන කරන්නා මෙන් සිටිමි.” (ලූක් 22:27) ඉවසීමෙන්, කරුණාවෙන් හා ආදර්ශවත් ලෙස ක්‍රියා කළ නිසා, යේසුස්ගේ ඉගැන්වීම් අවසානයේදී ගෝලයන්ගේ හදවතටම කාවැදුණා.

13, 14. වැඩිමහල්ලන් විශේෂයෙන් කරුණාවන්ත විය යුත්තේ කුමන අවස්ථාවේදීද?

13 යම් දුර්වලකමක් ගැන නැවත නැවත පුද්ගලයෙකුට උපදෙස් දෙන්න එඬේරෙකුට සිදු විය හැකියි. එවැනි පුද්ගලයෙකුට උපදෙස් දී වැඩක් නැහැයි කියා ඒ වැඩිමහල්ලාට සමහරවිට හැඟෙන්නත් පුළුවන්. ඒත්, “නොහික්මුණු අයට දැනමුතුකම් දෙන” අතරතුරේදී තමන් අතිනුත් වැරදි සිදු වන බව වැඩිමහල්ලන් මතක තබාගත යුතුයි. යේසුස් සහ යෙහෝවා දෙවි, වැඩිමහල්ලන් ඇතුළු සියලු ක්‍රිස්තියානීන් සමඟ කටයුතු කරන්නාක් මෙන්, තම සහෝදරයා සමඟත් ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරන්න එවිට ඔහුට හැකි වේවි.—1 තෙසලෝනික 5:14; යාකොබ් 2:13.

14 සමහර අවස්ථාවලදී බරපතළ පාපයක් කර තිබෙන කෙනෙකුට තදින් අවවාද කරන්න එඬේරුන්ට සිදු විය හැකියි. ඒ පුද්ගලයා පසුතැවිලි වෙන්නේ නැත්නම් වැඩිමහල්ලන් ඔහුව සභාවෙන් ඉවත් කළ යුතුයි. (1 කොරින්ති 5:11-13) ඒත් ඔවුන් වෛර කරන්නේ ඔහු කරන වැරැද්දට මිස ඒ පුද්ගලයාට නොවන බව වැඩිමහල්ලන් පෙන්විය යුතුයි. (යූද් 23) එවැනි නොමඟ ගිය බැටළුවෙකුට නැවත රැළට එන්න පහසු වෙන්නේ එඬේරුන් කරුණාවන්තව ක්‍රියා කළොත් විතරයි.—ලූක් 15:11-24.

ඇදහිල්ලෙන් පෙලඹී කරන යහපත් ක්‍රියා

15. වැඩිමහල්ලන් යෙහෝවා දෙවිගේ යහපත්කම විදහාපෙන්වන එක විදිහක් නම් කරන්න. ඒ සඳහා ඔවුන් පෙලඹෙන්නේ ඇයි?

15 තමන් වෙනුවෙන් කර තිබෙන දේවල් වෙනුවෙන් ස්තුතිවන්ත නොවන අය ඇතුළු ‘සියල්ලන්ට යෙහෝවා යහපත කරයි.’ (ගීතාවලිය 145:9; මතෙව් 5:45) “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමට තම සෙනඟට පවරා තිබීමෙන් යෙහෝවා දෙවිගේ යහපත්කම විශේෂයෙන්ම පැහැදිලි වෙනවා. (මතෙව් 24:14) මේ සේවයේ පෙරමුණ ගැනීම මගින් එඬේරු දෙවිගේ යහපත්කම විදහා පෙන්වනවා. ඔවුන් අත්නෑර මෙවැනි වෙහෙසක් දරන්නේ යෙහෝවා දෙවි සහ ඔහුගේ පොරොන්දු ගැන ඔවුන්ට ඇති දැඩි විශ්වාසය නිසයි.—රෝම 10:10, 13, 14.

16. සහෝදර සහෝදරියන්ට ‘යහපත්කම් කරන්න’ එඬේරුන්ට පුළුවන් කොහොමද?

16 දේශනා කිරීම තුළින් ‘සියල්ලන්ටම යහපත්කම් කරනවාට’ අමතරව, “විශේෂයෙන්ම ඇදහිල්ලේ පවුලට අයත් අයට” යහපත්කම් කිරීම එඬේරුන්ගේ වගකීමයි. (ගලාති 6:10) ඔවුන් මෙය කරන එක් ක්‍රමයක් වෙන්නේ එඬේර බැහැදැකීම් මගින් අවශ්‍ය දිරිගැන්වීම ලබා දීමෙනුයි. ඒ ගැන එක් වැඩිමහල්ලෙක් පැවසුවේ මෙහෙමයි. “මම එඬේර බැහැදැකීම් කරන්න හරි ආසයි. සහෝදර සහෝදරියන් දරන වෑයම්වලට ප්‍රශංසා කරන්න වගේම අපි ඔවුන්ගේ වෙහෙස අගය කරන බව ඔවුන්ට දැනෙන්න සලස්වන්නත් මට ඉන් අවස්ථාවක් ලැබෙනවා.” සමහර අවස්ථාවලදී, යෙහෝවා දෙවිට කරන සේවයේදී කෙනෙකුට දියුණු විය හැකි යම් පැති ගැන යෝජනා කරන්න එඬේරෙකුට සිදු විය හැකියි. එසේ කිරීමේදී ඥානවන්ත එඬේරුන් පාවුල්ව අනුකරණය කරනවා. තෙසලෝනිකයේ සිටි සහෝදරයන්ට ඔහු කතා කළ විදිහ ගැන සැලකිල්ලට ගන්න. “අප අණ කරන දේවල් ඔබ කරන බවටත් දිගටම කරගෙන යන බවටත් අපට ඔබ ගැන ස්වාමීන් තුළ විශ්වාසයක්” තිබෙන බව ඔහු කීවා. (2 තෙසලෝනික 3:4) සහෝදරයන් ගැන එලෙස විශ්වාසයෙන් කතා කිරීම ඔවුන්ට දිරිගැන්වීමක් වන අතර “පෙරමුණ ගන්නාවූ අයට කීකරු” වෙන්නත් ඔවුන්ට පහසු වෙනවා. (හෙබ්‍රෙව් 13:17) එඬේර බැහැදැකීමක් සඳහා වැඩිමහල්ලන් පැමිණි විට ඔබේ අගය ප්‍රකාශ කිරීම හොඳ දෙයක් නෙවෙයිද?

මෘදුකම සඳහා ආත්ම දමනය අවශ්‍යයි

17. පේතෘස් යේසුස්ගෙන් ඉගෙනගත්තේ කුමන පාඩමද?

17 යේසුස්ව කෝප කරන්න මිනිසුන් උත්සාහ කළත් ඔහු මෘදුකමින් ක්‍රියා කළා. (මතෙව් 11:29) යේසුස්ව පාවා දී අත්අඩංගුවට ගනු ලැබූ විට පවා ඔහුට තිබූ මෘදුකම සහ ආත්ම දමනය මනාව පැහැදිලි වුණා. ඒ අවස්ථාවේදී පේතෘස් කඩුව ඇද සටන් කරන්න උත්සාහ කළත් යේසුස් ඔහුට මතක් කළේ, “මේ මොහොතේදී, දේවදූත සේනාංක දොළොසකට වඩා මට එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකියි කියා ඔබ සිතනවාද?” කියායි. (මතෙව් 26:51-53; යොහන් 18:10) ඒ පාඩම පේතෘස්ගේ සිතට හොඳින් කාවැදුණා. ඒ නිසා පසු කාලයකදී ඔහු ක්‍රිස්තියානීන්ට මෙහෙම පැවසුවා. “ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය. . . . ඔහුට නිග්‍රහ කරද්දී, ඔහු නිග්‍රහ කළේ නැත. ඔහු වධ විඳිද්දී, තර්ජනය” කළේ නැත.—1 පේතෘස් 2:21-23.

18, 19. (අ) එඬේරුන් විශේෂයෙන්ම මෘදුකමින් හා ආත්ම දමනයෙන් යුතුව ක්‍රියා කළ යුත්තේ කුමන අවස්ථාවේදීද? (ආ) අපි ඊළඟට සලකා බලන්න යන ප්‍රශ්න දෙක කුමක්ද?

18 අසාධාරණකම්වලට මුහුණ දෙන්න සිදු වුණත් සාර්ථක එඬේරුන් මෘදුකමින් ක්‍රියා කරනවා. සභාවේ සිටින සමහරුන්ට ඔවුන් උපකාර කරන්න උත්සාහ කළත් ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබෙන්න පුළුවන්. දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය දුර්වල කරගෙන හෝ පලුදු කරගෙන සිටින එවැනි පුද්ගලයෙකුට උපදෙස් දෙද්දී, ඔහු “කඩුවකින් අනින්නාක් මෙන් නොසැලකිලි ලෙස කතා” කරන්න ඉඩ තිබෙනවා. (හිතෝපදේශ 12:18) එවැනි අවස්ථාවලදී පවා එඬේරුන් ඒ පුද්ගලයන්ගේ සිත රිදවන දේවල් කියන්නේවත් ඔවුන්ගෙන් පළිගන්නේවත් නැහැ. යේසුස් වගේ ඔවුනුත් ආත්ම දමනය ඇතිව ක්‍රියා කරන අතර අනුකම්පාව දක්වනවා. එසේ ක්‍රියා කිරීම නිසා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය නැවත ශක්තිමත් කරගන්න ඒ පුද්ගලයාට අවස්ථාවක් ලැබිය හැකියි. (1 පේතෘස් 3:8, 9) වැඩිමහල්ලන්ගේ හොඳ ආදර්ශය ඔබ අනුකරණය කරන්න ඔබ උත්සාහ කරනවාද? එහෙමනම් යම් උපදෙස් ලැබෙන විට ඔබත් මෘදුකමින් හා ආත්ම දමනයෙන් යුතුව ක්‍රියා කරාවි.

19 ලෝක ව්‍යාප්තව සිටින රැළ කැමැත්තෙන් රැකබලා ගන්නා එඬේරුන් දහස් සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් දරන වෙහෙස යෙහෝවා දෙවි සහ යේසුස් අගය කරන බවට නම් කිසිම සැකයක් නැහැ. “ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන” කරන ඒ වැඩිමහල්ලන්ට සහය වන සභා සේවකයනුත් දහස් සංඛ්‍යාවක් සිටිනවා. යෙහෝවා දෙවි සහ යේසුස් ඔවුන්ටත් බොහෝ සෙයින් ඇලුම් කරනවා. (හෙබ්‍රෙව් 6:10) එහෙමනම්, මේ ‘යහපත් වැඩේ’ නියැලෙන්න බව්තීස්ම ලත් සමහර සහෝදරයන් අදිමදි කරන්නේ ඇයි? (1 තිමෝති 3:1) යෙහෝවා දෙවි එඬේරුන් ලෙස පත් කිරීම සඳහා තෝරගන්න අයට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නේ කොහොමද? අපි ඊළඟ ලිපියේ මේ ප්‍රශ්න සලකා බලමු.

ඔබට මතකද?

• තම රැළට ඇති ප්‍රේමය පෙන්වන්න එඬේරෙකුට හැකි ආකාර මොනවාද?

• ප්‍රීතිය හා සමාදානයට දායක වෙන්න සභාවේ සිටින හැමෝටම පුළුවන් කොහොමද?

• උපදෙස් දෙද්දී එඬේරුන් ඉවසීමෙන් හා කරුණාවෙන් ක්‍රියා කරන්නේ ඇයි?

• වැඩිමහල්ලන් ඇදහිල්ලෙන් පෙලඹී යහපත් ක්‍රියා කරන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

සභාවට සේවය කරන්න වැඩිමහල්ලන් පෙලඹෙන්නේ ප්‍රේමය නිසයි

[18වන පිටුවේ පින්තූර]

ඔවුන් කාලය සොයාගෙන තම පවුලේ අය සමඟ විනෝද වෙනවා වගේම . . .

. . . දේවසේවයෙත් හවුල් වෙනවා

[20වන පිටුවේ පින්තූර]

වැඩිමහල්ලන් හොඳින් අදහස් හුවමාරු කරගැනීම නිසා සභාවේ ප්‍රීතිය හා සමාදානය ඇති වෙනවා