Skip to content

පටුනට යන්න

ඔබ විනාශයෙන් බේරී ජීවත් වනු ඇද්ද?

ඔබ විනාශයෙන් බේරී ජීවත් වනු ඇද්ද?

ඔබ විනාශයෙන් බේරී ජීවත් වනු ඇද්ද?

“ඔබද ඔබේ මුළු පවුලද නැවට ඇතුල් වන්න. මක්නිසාද මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.”—උත්පත්ති 7:1.

1. යෙහෝවා දෙවි නෝවාගේ කාලයේදී ගැලවීමට පිළියෙල කළ මාර්ගය කුමක්ද?

යෙහෝවා දෙවි නෝවාගේ කාලයේදී “අභක්තිකයන්ගෙන් යුත් ලෝකයක් පිට ජලගැල්මක් ගෙන ආ” නමුත් ගැලවීමට මාර්ගයක්ද ඔහු පිළියෙල කළා. (2 පේතෘස් 2:5) ජලගැල්මෙන් බේරීමට නැවක් සාදන ආකාරය ගැන දෙවි ධර්මිෂ්ඨ මිනිසෙක් වූ නෝවාට පැහැදිලි මඟ පෙන්වීම් ලබා දුන්නා. (උත්පත්ති 6:14-16) යෙහෝවා දෙවිට නිතරම කීකරුව සිටි සේවකයෙකු වූ නෝවා “දෙවි ඔහුට අණ කළ සියල්ල ලෙස . . . කළේය.” අද අපි ජීවත් වන්නේ එදා නෝවා දෙවිට කීකරු වූ නිසා කියා කිව හැකියි.—උත්පත්ති 6:22.

2, 3. (අ) නෝවා නැව සාදනවා දුටු අයගේ ප්‍රතිචාරය වුණේ කුමක්ද? (ආ) නැවට ඇතුල් වෙද්දී නෝවාට තිබූ නිසැකකම කුමක්ද?

2 ඒ නැව සෑදීම ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. නෝවා සහ ඔහුගේ පවුලේ අය නැව සාදනවා දුටු බොහෝදෙනෙක් පුදුම වෙන්න ඇති. එහෙත් ජලගැල්මෙන් බේරීමට නම් ඒ නැවට ඇතුල් විය යුතු බවට වූ කාරණය ඔවුන් සැහැල්ලුවට ගත්තා. දෙවි යම් කාලයක් ඉවසීමෙන් පසු ඒ දුෂ්ට ලෝකය විනාශ කර දැමුවා.—උත්පත්ති 6:3; 1 පේතෘස් 3:20.

3 නෝවා සහ ඔහුගේ පවුලේ අය දශක ගණනාවක් වෙහෙස මහන්සි වී නැව සාදා නිම කිරීමෙන් පසු යෙහෝවා දෙවි නෝවාට මෙසේ පැවසුවා. “ඔබද ඔබේ මුළු පවුලද නැවට ඇතුල් වන්න; මක්නිසාද මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.” යෙහෝවා පැවසූ වචන කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබූ නෝවා “තමාගේ පුත්‍රයන්ද තමාගේ භාර්යාවද තමාගේ පුත්‍රයන්ගේ භාර්යාවන්ද සමඟ නැවට ඇතුල්” වුණා. ඉන්පසු යෙහෝවා ඔහුට නමස්කාර කළ අයව ආරක්ෂා කිරීම සඳහා නැවේ දොර වසා දැමුවා. ජලගැල්මෙන් ගැලවීමට තිබූ එකම මඟ වූයේ නැවයි.—උත්පත්ති 7:1, 7, 10, 17.

නෝවාගේ කාලය සහ අපේ කාලය අතර සමානකම්

4, 5. (අ) තමන් අදෘශ්‍යමානව පැමිණ සිටින කාලය යේසුස් සමාන කළේ කුමන කාලයටද? (ආ) නෝවාගේ කාලය සහ අපේ කාලය අතර තිබෙන සමානකම් මොනවාද?

4 “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය” කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:37) මෙම වදන්වලින් ඔහු පෙන්නුම් කළේ ඔහු අදෘශ්‍යමානව පැමිණ සිටින කාලය නෝවාගේ කාලයට සමාන බවයි. විශේෂයෙන්ම 1919 සිට ලෝකයේ සියලුම ජනයාට නෝවා කළාක් මෙන් අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ප්‍රකාශ කරනු ලබනවා. වැඩිදෙනෙකුගේ ප්‍රතිචාරය නෝවාගේ කාලයේ සිටි ජනයාගේ ප්‍රතිචාරයට සමානයි.

5 “බලාත්කාරයෙන් පිරී” තිබූ ලෝකය දෙවි එදා ජලගැල්මක් මාර්ගයෙන් විනාශ කළා. (උත්පත්ති 6:13) නෝවා සහ ඔහුගේ පවුලේ අය බලාත්කාරකම්වලට හෙවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට හවුල් නොවී නැව සෑදීමේ කාර්යයේ හවුල් වන ආකාරය හැම කෙනෙක්ම දැක්කා. මේ හා සමාන දෙයක් අදත් දකින්න තිබෙනවා. අද සිටින අවංක ජනයා “ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවිට මෙහෙ කරන තැනැත්තා සහ ඔහුට මෙහෙ නොකරන තැනැත්තා අතරේද වෙනස” දකිනවා. (මලාකි 3:18) යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර දැකිය හැකි අවංකකම, කරුණාවන්තකම, සාමය, උද්‍යෝගය වැනි ගුණාංග අගය කරන අය දෙවිගේ සෙනඟ සහ අනිත් අය අතර තිබෙන පැහැදිලි වෙනස දකිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිසිම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක හවුල් වන්නේ නැති අතර දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව සැමවිටම ක්‍රියා කිරීමට වෑයම් කරනවා. ඔවුන් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නෙත් සාමයෙන් සිටින්නෙත් ඒ නිසයි.—යෙසායා 60:17.

6, 7. (අ) නෝවාගේ කාලයේ සිටි ජනයා තේරුම්ගැනීමට අසමත් වුණේ කුමක්ද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනස් සෙනඟක් බව පෙන්වා දෙන අද්දැකීම් විස්තර කරන්න.

6 නෝවාට දෙවිගේ උපකාරය ලැබුණු බවත් ඔහු ක්‍රියා කළේ දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව බවත් තේරුම්ගැනීමට ඔහුගේ කාලයේ සිටි ජනයා අසමත් වුණා. මේ නිසා ඔවුන් නෝවා දේශනා කළ අනතුරු ඇඟවීමේ පණිවිඩය සැහැල්ලුවට ගත්තා. මේ කාලය ගැන කුමක් කිව හැකිද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන සේවය හා ඔවුන්ගේ හැසිරීම බොහෝදෙනෙක් අගය කළත් ඔවුන් ප්‍රකාශ කරන බයිබලයේ සඳහන් ශුභාරංචිය සහ අනතුරු ඇඟවීම ගණනකට ගන්නේ නැහැ. සාක්ෂිකරුවන්ගේ යහපත් ගුණාංග ගැන නෑදෑයන්, අසල්වැසියන් හා රැකියා ස්ථානයේ සිටින අය පැසසුමට ලක් කළත් ඔවුන් මෙසේද පවසනවා. “මේ අය යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවුණා නම් කොච්චර හොඳද!” සාක්ෂිකරුවන් තුළ ප්‍රේමය, සමාදානය, කරුණාවන්තකම, යහපත්කම, මෘදුකම හා ආත්ම දමනය වැනි ගුණාංග දකින්න තිබෙන්නේ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසා බව ඔවුන් තේරුම්ගන්නේ නැහැ. (ගලාති 5:22-25) ඔවුන් තුළ තිබෙන මේ යහපත් ගුණාංග ඔවුන්ගේ පණිවිඩය පිළිගැනීමට හේතුවක් විය යුතුයි.

7 රුසියාවේ මේ අද්දැකීම සලකා බලන්න. එම රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් රාජ්‍ය ශාලාවක් ගොඩනඟමින් සිටියා. ඒ අසලින් ගිය කෙනෙක් වැඩ කරමින් සිටි සාක්ෂිකරුවෙකුගෙන් මෙසේ ඇසුවා. “මෙතැන වැඩ කරන අය නම් වෙන අයට වඩා හුඟාක් වෙනස්. මෙතැන ඉන්න කිසිම කෙනෙක් සිගරැට් බොන්නේ නැහැ. මත්පැන් ගන්නේ නැහැ. සැරෙන් එකිනෙකාට කතා කරන්නේ නැහැ. ඇත්තටම ඔයාලා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද?” සාක්ෂිකරුවා ඔහුගෙන් මෙසේ ඇසුවා. “මම නැහැ කියලා කිව්වොත් ඒක ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද?” “ඒක නම් විශ්වාස කරන්න අමාරුයි” කියා ඒ මිනිසා පැවසුවා. තවත් අද්දැකීමක් සලකා බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අලුත් රාජ්‍ය ශාලාවක් ගොඩනඟන්න පටන්ගෙන එය අවසන් කරන තෙක් සිදු කළ වැඩකටයුතු රුසියාවේ තවත් නගරයක නගරාධිපති කෙනෙකුගේ අවධානයට ලක් වුණා. සාක්ෂිකරුවන් වැඩ කරන ආකාරය ඔහුගේ සිත් ගත්තා. හැම ආගමක්ම එක සමානයි කියා ඔහු කලින් සිතුවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවංකව වෙහෙස මහන්සි වී කළ වැඩකටයුතු දැකීමෙන් පසු සාක්ෂිකරුවන් වෙනස් සෙනඟක් බව ඔහු තේරුම්ගත්තා. මෙහි සඳහන් කර තිබෙන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන්නේ නැති අයට වඩා යෙහෝවාගේ සෙනඟ වෙනස් බව පෙන්වන අද්දැකීම් රාශියකින් දෙකක් පමණයි.

8. පැමිණෙන විනාශයෙන් බේරී ජීවත් වීමට අප කුමක් කළ යුතුද?

8 ජලගැල්මෙන් විනාශ වූ ඒ ‘පුරාණ ලෝකයේ’ නෝවා ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කළා.’ (2 පේතෘස් 2:5) මේ අන්තිම දවස්වල යෙහෝවාගේ සෙනඟද ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැනත් පැමිණෙන විනාශයෙන් ගැලවී පාරාදීසයේ ජීවත් වීම පිළිබඳ ශුභාරංචිය ගැනත් ජනයාට පවසනවා. (2 පේතෘස් 3:9-13) නෝවා සහ ඔහුගේ පවුලේ අය ආරක්ෂා වුණේ දෙවි කෙරෙහි විශ්වාසය තබමින් නැවට ඇතුල් වූ නිසයි. ඒ වගේ අද සිටින අයද පැමිණෙන විනාශයෙන් ගැලවෙන්න නම් දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගනිමින් ඔහුගේ භූමික සංවිධානයට පක්ෂපාත විය යුතුයි.

බේරී ජීවත් වීමට ඇදහිල්ල අවශ්‍යයි

9, 10. පැමිණෙන විනාශයෙන් බේරී ජීවත් වීමට ඇදහිල්ල අවශ්‍ය වන්නේ ඇයි?

9 සාතන්ගේ පාලනය යටතේ පවතින මේ දුෂ්ට ලෝකය මත පැමිණීමට නියමිත විනාශයෙන් බේරීමට යම් කෙනෙක් කුමක් කළ යුතුද? (1 යොහන් 5:19) ඒ විනාශයෙන් බේරී ජීවත් වීමේ අවශ්‍යතාව මුලින්ම ඔහු තේරුම්ගත යුතුයි. ඉන්පසු එම විනාශයෙන් ආරක්ෂා වීම සඳහා යෙහෝවාගේ සැපයුම්වලින් ප්‍රයෝජන ගත යුතුයි. මේ සඳහා ඇදහිල්ල තිබිය යුතුයි. නෝවාගේ කාලයේ සිටි මිනිසුන් එදිනෙදා ජීවිතයේ වැඩකටයුතුවල නියැලී සිටි අතර ජලගැල්මෙන් ආරක්ෂා වීමට ගත යුතු පියවර ගත්තේ නැහැ. මෙයින් පෙනී යන්නේ දෙවි කෙරෙහි ඇදහිල්ලක් ඔවුන්ට තිබුණේ නැති බවයි.

10 කෙසේවෙතත් නෝවා සහ ඔහුගේ පවුලේ අය ජලගැල්මෙන් ආරක්ෂා විය යුතු බව තේරුම්ගෙන ඒ සඳහා පියවර ගත්තා. ඔවුන් මෙසේ කළේ යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ලක් ඔවුන්ට තිබූ නිසයි. පාවුල් මෙසේ සඳහන් කළා. “ඇදහිල්ල නැතිව කිසිසේත් [යෙහෝවාව] සතුටු කළ නොහැක. මන්ද, දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය. ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දිව්‍යමය අනතුරු ඇඟවීමක් ලැබ, දේවභය පෙන්වමින්, තම ගෙයි වැසියන්ගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය. මේ ඇදහිල්ලෙන් ඔහු ලෝකය වරදට පත් කර, ඇදහිල්ලට එකඟ වූ ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් විය.”—හෙබ්‍රෙව් 11:6, 7.

11. අතීතයේදී යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ආරක්ෂාව සැපයූ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

11 විනාශයෙන් බේරීමට නම් මේ දුෂ්ට ලෝකය අනිවාර්යයෙන්ම විනාශ වෙනවා කියා විශ්වාස කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ගැලවීම සඳහා දෙවි සපයා තිබෙන දේවලින් ප්‍රයෝජන ගනිමින් ඇදහිල්ල පෙන්විය යුතුයි. එමෙන්ම යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමද අවශ්‍යයි. (යොහන් 3:16, 36) එදා ජලගැල්මෙන් බේරුණේ නැව ඇතුලේ සිටි අය පමණක් බව අපි අමතක නොකළ යුතුයි. එමෙන්ම පුරාණ ඊශ්‍රායෙලයේ නොදැනුවත්ම මිනීමැරුමක් කළ කෙනෙකුට ආරක්ෂක නුවරක රැකවරණය ලබාගත හැකි වුණේ මුලින්ම ඔහු එවැනි නුවරකට පලා ගොස්, උත්තම පූජකයා මිය යන තෙක් එහි රැඳී සිටියා නම් පමණයි. (ගණන් කතාව 35:11-32) දෙවි මෝසෙස්ගේ කාලයේ ඊජිප්තුව මත ගෙනා දසවෙනි පීඩාවේදී එහි කුලුඳුලන් මිය ගියත් ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුලන් මිය ගියේ නැහැ. ඊට හේතුව යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඔවුන්ට දුන් මෙම උපදෙස් ඔවුන් පිළිපැදීමයි. ‘[ඊශ්‍රායෙල්වරුන් පාස්කු බැටළුවාව] කන ගෙවල්වල උළුවහු කණු දෙකෙහිද උළුවස්සෙහිද උගේ ලේ ගාන්න; . . . ඔබ අතරෙන් කිසිවෙකු උදය දක්වා තමන් ගෙයි දොරකඩින් පිට නොයන්න.’ (නික්මයාම 12:7, 22) දෙවි දුන් උපදෙස් නොසලකාහැර උළුවහුවල බැටළුවාගේ ලේ තවරා තිබූ තම නිවසින් ඊශ්‍රායෙල්වරුන් අතරේ සිටි කුලුඳුලන් පිටතට ගියා කියා සිතන්න පුළුවන්ද?

12. අපි සෑම කෙනෙක්ම හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්නය කුමක්ද? එසේ කළ යුත්තේ ඇයි?

12 මේ නිසා පැමිණෙන විනාශයෙන් බේරී ජීවත් වීමට නම් අපි සිටින තත්වය හොඳින් සිතා බැලීම සඳහා මේ ප්‍රශ්නය සලකා බැලිය යුතුයි. ‘යෙහෝවා ගැලවීම සඳහා සපයා දී තිබෙන සියලුම දේවලින් මම ප්‍රයෝජන ගනිමින් ඔහුගේ භූමික සංවිධානයට පක්ෂපාතව සිටිනවාද?’ එසේ කරන අය මහත් පීඩාව ආරම්භ වෙද්දී දෙවි සපයා ඇති දේවල් සඳහා ස්තුතිය පළ කරමින් ප්‍රීති වෙයි. එසේ නොකරන අයට ඉතිරි වන්නේ දුක පමණයි.

ක්‍රමානුකූලව කරන සකස් කිරීම් අපව සූදානම් කරයි

13. (අ) සංවිධානයේ සිදු කරනු ලැබූ සකස් කිරීම්වල අරමුණ කුමක්ද? (ආ) මෙම සකස් කිරීම්වලට උදාහරණ කිහිපයක් දෙන්න.

13 යෙහෝවා ක්‍රමානුකූලව ඔහුගේ භූමික සංවිධානය තුළ සකස් කිරීම් කර තිබෙනවා. මෙසේ කර තිබෙන්නේ අපට ආරක්ෂාව සපයන ඔහුගේ සංවිධානය ශක්තිමත් කිරීම සඳහායි. එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල සිට 1932 දක්වා වැඩිමහල්ලන්ව හා උපස්ථායකයන්ව පත් කරනු ලැබුවේ සභාවේ සාමාජිකයන්ගේ ඡන්දයෙන්. එහෙත් 1932දී ඡන්දයෙන් පත් කරගන්න වැඩිමහල්ලන් වෙනුවට සේවා කමිටුවක් ඡන්දයෙන් පත් කරනු ලැබුවා. මෙම කමිටුවේ වගකීම වූයේ ශාඛා කාර්යාලය විසින් පත් කරන ලද සේවා අධ්‍යක්ෂකට සහය වීමයි. සභාවේ වගකීම් දරන සියලුම සේවකයන්ව බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පත් කිරීමට 1938දී කටයුතු සැලසුවා. වර්ෂ 1972 පටන් වැඩිමහල්ලන්ව හා සභා සේවකයන්ව ශුද්ධ ලියවිල්ලේ සඳහන් මඟ පෙන්වීම්වලට එකඟව පත් කරනු ලබන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ අධීක්ෂණය යටතේයි. නිර්දේශ කරනු ලබන වැඩිමහල්ලන්ව හා සභා සේවකයන්ව පත් කිරීමට අනුමැතිය ලැබීමෙන් පසු ඒ ගැන සභාවට දැනුම් දෙනු ලබනවා. ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී පෙනී යන්නේ පාලක මණ්ඩලයේ වැඩකටයුතු ක්‍රම ක්‍රමයෙන් වැඩි වී තිබෙන බවයි. එම වැඩ පහසු කිරීම සඳහා යම් සකස් කිරීම් කර තිබෙනවා.

14. වර්ෂ 1959දී පටන්ගත් පුහුණු වැඩසටහන කුමක්ද?

14 ගීතාවලිය 45:16හි සඳහන් වදන් හොඳින් සලකා බැලීමෙන් පසු 1950 ගණන්වලදී අලුත් පුහුණු වැඩසටහනක් ආරම්භ කරනු ලැබුවා. එම බයිබල් වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. “ඔබගේ පියවරුන් වෙනුවට ඔබගේ පුත්‍රයෝ වන්නෝය; ඔබ ඔවුන් මුළු පොළොවෙහි අධිපතීන් කරන්නෙහිය.” වර්තමානයේදී මෙන්ම අර්මගෙදොන්වලින් පසුවත් දෙවිගෙන් ලැබෙන පැවරුම් ඉටු කිරීම සඳහා එසේ වැඩිමහල්ලන්ව පුහුණු කරනු ලබනවා. (එළිදරව් 16:14, 16) වර්ෂ 1959දී රාජ්‍ය සේවා පාසැල ආරම්භ කරනු ලැබුවා. ඒ කාලයේදී මෙම පුහුණු පාසැල මාසයක් පුරා පවත්වනු ලැබූ අතර එය මූලිකව පවත්වනු ලැබුවේ මුලසුන භාර අවේක්ෂකයන් සඳහායි. (එදා ඔවුන්ව හැඳින්වූයේ සභා සේවකයන් ලෙසයි.) දැන් මෙම පාසැලට සියලුම වැඩිමහල්ලන් සහ සභා සේවකයන් සහභාගි වෙනවා. මෙසේ පුහුණුව ලබන මේ සහෝදරයන් තමන්ගේ සභාවල සිටින අනිත් සහෝදරයන්ට තමන් ඉගෙනගත් දේවල් යොදාගනිමින් උපකාර කරනවා. මේ ආකාරයට සභාවේ සිටින සියලුදෙනාගේම ඇදහිල්ල තවත් ශක්තිමත් වන අතර ශුභාරංචිය දේශනා කිරීම වඩාත් ඵලදායී ලෙස කිරීමට හැකි වෙනවා.—මාක් 13:10.

15. ක්‍රිස්තියානි සභාවේ පවිත්‍රකම රැකගැනීම සඳහා සිදු කරන්නේ කුමක්ද?

15 යම් කෙනෙක් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙකු වීමට නම් ඔහු විසින් සපුරාලිය යුතු සුදුසුකම් තිබෙනවා. නෝවාගේ කාලයේ සිටි සමච්චල් කරන්නන්ට නැවට ඇතුල් වීමට ඉඩක් නොලැබුණාක් මෙන් වර්තමානයේ සිටින බයිබල් ප්‍රතිපත්ති සැහැල්ලුවට ගන්න අයට සභාවේ සාමාජිකයන් විය නොහැකියි. (2 පේතෘස් 3:3-7) සභාව ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව, පසුතැවිලි නොවී දිගටම වැරදි කරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් 1952 සිට ක්‍රියාත්මක වීමට පටන්ගත්තා. නමුත් වැරදි කළ අය අවංකව පසුතැවිලි වෙනවා නම් ඔවුන්ට තම වැරදි නිවැරදි කරගෙන ‘ඍජු මාවත්වල ගමන් කිරීම’ සඳහා ප්‍රේමණීය ලෙස උපකාර කරනු ලබනවා.—හෙබ්‍රෙව් 12:12, 13; හිතෝපදේශ 28:13; ගලාති 6:1.

16. යෙහෝවා දෙවිගේ සෙනඟ අද්දකින්නේ කුමක්ද?

16 නමස්කාරය අතින් බලද්දී යෙහෝවාගේ සෙනඟ අතර තිබෙන සමෘද්ධිමත් තත්වය අහම්බෙන් ඇති වූවක් නොවෙයි. යෙහෝවා දෙවි යෙසායා මාර්ගයෙන් මෙසේ පුරෝකථනය කළා. “බලව, මාගේ මෙහෙකරුවෝ කන්නෝය; නමුත් ඔබට බඩගිනි වන්නේය; බලව, මාගේ මෙහෙකරුවෝ බොන්නෝය; නමුත් ඔබට පිපාසා වන්නේය; බලව, මාගේ මෙහෙකරුවෝ ප්‍රීතිමත් වන්නෝය; නමුත් ඔබ ලජ්ජා වන්නහුය; බලව, මාගේ මෙහෙකරුවෝ සිත් සතුටෙන් ගී කියන්නෝය; නමුත් ඔබ ශෝකයෙන් හඬමින් ආත්මයේ පෙළීම නිසා කෑගසන්නහුය.” (යෙසායා 65:13, 14) අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා යෙහෝවා දෙවි නියම වේලාවට අවශ්‍ය පෝෂණය අපට ලබා දෙනවා.—මතෙව් 24:45.

බේරී ජීවත් වීමට නම් . . .

17. බේරී ජීවත් වීමට අප කළ යුත්තේ කුමක්ද?

17 ‘ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමින් සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේ රැස්වීම අත් නෑර, එකිනෙකාව දිරිගැන්වීම’ වෙන කවරදාකටත් වඩා වැඩියෙන්ම කළ යුත්තේ මේ කාලයේදීයි. (හෙබ්‍රෙව් 10:23-25) ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 98,000කට වඩා වැඩියෙන් තිබෙනවා. මින් එක් සභාවකට සම්බන්ධ වී ක්‍රියාශීලීව දෙවිට සේවය කරනවා නම් බේරී ජීවත් වීමට කළ යුතු දේවල් කිරීමට එය අපට මහඟු උපකාරයක් වෙයි. “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගැනීමට අප වෑයම් කරන විටත් බේරී ජීවත් වීම සඳහා යෙහෝවා සපයා තිබෙන දේවල් ගැන අන් අයට උගන්වන්න අපි අවංකව වෑයම් කරන විටත් සෙසු සහෝදරයන්ගේ සහය අපට ලැබෙනවා.—එෆීස 4:22-24; කොලොස්සි 3:9, 10; 1 තිමෝති 4:16.

18. ක්‍රිස්තියානි සභාවෙන් ඉවත් නොවීමට ඔබ අධිෂ්ඨාන කරගත යුත්තේ ඇයි?

18 සාතන් සහ ඔහුගේ පාලනය යටතේ පවතින දුෂ්ට ලෝකය වෑයම් කරන්නේ අපිව ක්‍රිස්තියානි සභාවෙන් ඉවත් කිරීමටයි. කෙසේවෙතත් සාතන්ටවත් ඔහුගේ පාලනය යටතේ තිබෙන ලෝකයටවත් එවැනි දෙයක් කිරීමට ඉඩ නොතැබීමට කටයුතු කරමු. මෙසේ කිරීමෙන් මේ දුෂ්ට සමාජ ක්‍රමය විනාශ වෙද්දී බේරී ජීවත් වීමට අපට හැකි වෙයි. යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය වැඩි කරගනිමින් ගැලවීම සඳහා ඔහු සපයා තිබෙන දේවල් තව තවත් අගය කරද්දී, සාතන්ගේ කූට උපායන්ට එරෙහිව සිටීම සඳහා අධිෂ්ඨානයක් ඇති කරගැනීමට අපට හැකි වෙයි. මේ කාලයේ අපි භුක්ති විඳින ආශීර්වාද ගැන හොඳින් සිතා බලන විට අපේ එම අධිෂ්ඨානය තව තවත් ශක්තිමත් වෙයි. මෙම ආශීර්වාදවලින් සමහරක් ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබට මතකද?

• අපේ කාලය නෝවාගේ කාලයට සමාන වන්නේ කිනම් ආකාරවලින්ද?

• බේරී ජීවත් වීමට තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණංගය කුමක්ද?

• යෙහෝවා අපට ආරක්ෂාව සපයන ඔහුගේ සංවිධානය තුළ කර තිබෙන සකස් කිරීම් මොනවාද?

• බේරී ජීවත් වීමට අප කළ යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ පින්තූරය]

නෝවාගේ කාලයේ සිටි මිනිසුන් නෝවා කරමින් සිටි දෙය සැහැල්ලුවට ගත්තා

[23වන පිටුවේ පින්තූරය]

දෙවි දෙන අනතුරු ඇඟවීම් සිතට ගත යුතුයි

[24වන පිටුවේ පින්තූරය]

රාජ්‍ය සේවා පාසැලේ අරමුණ කුමක්ද?

[25වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි සභාව සමඟ එක්ව දෙවිට ක්‍රියාශීලීව සේවය කිරීමට කාලය දැන්