Skip to content

පටුනට යන්න

‘කතා කිරීමේ නිදහස’ ඔබට තිබෙනවාද?

‘කතා කිරීමේ නිදහස’ ඔබට තිබෙනවාද?

‘කතා කිරීමේ නිදහස’ ඔබට තිබෙනවාද?

ලොව පුරා රටවල් 235ක වෙසෙන මිලියන හයකට වැඩි පිරිසක් සුවිශේෂි ආකාරයක නිදහසක් භුක්ති විඳිනවා. මෙම නිදහස බයිබලයේ හඳුන්වන්නේ ‘කතා කිරීමේ නිදහස’ කියායි. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයේ එම යෙදුම 16 වතාවක් සඳහන් වී තිබෙනවා. (ෆිලිප්පි 1:20; 1 තිමෝති 3:13; හෙබ්‍රෙව් 3:6; 1 යොහන් 3:21) බයිබලයේ සඳහන් ‘කතා කිරීමේ නිදහස’ යන යෙදුමෙන් අදහස් කරන්නේ කුමක්ද? එම නිදහස අත් කරගැනීමට අපට උපකාරවත් වන දේවල් මොනවාද? එම නිදහස පාවිච්චි කරමින් පසුබට නොවී කතා කිරීමට අපට හැක්කේ කුමන අවස්ථාවලදීද?

එක් ශබ්ද කෝෂයකට අනුව (Vine’s Expository Dictionary of Old and New Testament Words) බයිබලයේ සඳහන් ‘කතා කිරීමේ නිදහස’ නමැති යෙදුම සඳහා තිබෙන ග්‍රීක වචනයෙන් අදහස් වන්නේ ‘කතා කිරීමට බාධාවක් නොමැති වීම හා බිය නොවී නිර්භීතව කතා කිරීමයි.’ මේ නිසා එම යෙදුම තුළ ‘නිසැකකම, ධෛර්යය හා යමක් කෙරෙහි මහත් උනන්දුවක් ඇතිව විදහාපෙන්වන නිර්භීතකම යන අදහස්ද අන්තර්ගතයි.’ කෙසේවෙතත් අන් අයගේ සිත් රිදෙන විදිහට රළු ලෙස මුහුණටම යම් දේවල් පැවසීම එවැනි නිර්භීතකමකින් අදහස් කරන්නේ නැහැ. බයිබලයේ අපව උනන්දු කරන්නේ ‘සැමවිටම ප්‍රසන්න ලෙස කතා කරන්න’ කියායි. (කොලොස්සි 4:6) කතා කිරීමෙන් අපව වැළැක්වීමට මිනිසුන්ට තිබෙන බියටවත් පවතින තත්වයටවත් ඉඩ නොදී නැණවත් ලෙස ක්‍රියා කිරීමද කතා කිරීමේ නිදහසට ඇතුළත් වෙනවා.

බයිබලයේ සඳහන් කතා කිරීමේ නිදහස අපට උපතින්ම උරුම වන අයිතිවාසිකමක්ද? මීට පිළිතුරක් පාවුල් එෆීසයේ විසූ ක්‍රිස්තියානීන්ට ලියූ මෙම වදන් සලකා බැලීමෙන් ලබාගත හැකියි. “ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු තැනැත්තා වූ මට මේ මහත් කරුණාව දෙන ලද්දේ ක්‍රිස්තුස්ගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන ශුභාරංචිය මා අන්‍යජාතීන්ට ප්‍රකාශ කරන පිණිසය. . . . ක්‍රිස්තුස් කෙරෙහි තිබෙන අපේ ඇදහිල්ල නිසා කතා කිරීමේ නිදහසත් විශ්වාසයෙන් යුක්තව දෙවි වෙත ළඟාවීමේ හැකියාවත් ඔහු මාර්ගයෙන් අපට තිබේ.” (එෆීස 3:8-12) මෙම කතා කිරීමේ නිදහස අපට සහජයෙන්ම ලැබෙන දෙයක් නොව යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි තබන ඇදහිල්ල නිසා අප යෙහෝවා දෙවි සමඟ ඇති කරගන්න මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස අප අත් කරගන්නා දෙයක් වෙනවා. මෙම නිදහස අත් කරගැනීමට අපට උපකාරවත් වන දේවල් මොනවාද? එමෙන්ම අප සාක්ෂි දරන විට, උගන්වන විට හා යාච්ඤා කරන විට එම නිදහස අප සතු බව පෙන්වන්නේ කෙසේද? දැන් මේ ගැන අපි ටිකක් සලකා බලමු.

නිර්භීතව සාක්ෂි දැරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

බයිබලයේ සඳහන් කතා කිරීමේ නිදහස ඉතා හොඳින් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තබා තිබෙන්නේ යේසුස්. ඔහුට තිබූ උද්‍යෝගය නිසා සාක්ෂි දැරීමට ලැබුණු අවස්ථා ගිලිහී යෑමට ඔහු ඉඩ දුන්නේ නැහැ. ඔහු විවේක ගන්න විට, ආහාර ගන්න විට, පාරේ යන විට හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී දෙවිගේ රාජ්‍යය ගැන කතා කරන්න ලැබුණු අවස්ථා කවදාවත් මඟහැරියේ නැහැ. සරදම්, පීඩා හා විරුද්ධවාදිකම් හමුවේ පවා යේසුස් නිහඬව සිටියේ නැහැ. ඔහුගේ කාලයේ සිටි ආගමික නායකයන් කළ වැරදි ක්‍රියාවන් ඔහු නිර්භීතව හෙළි කළා. (මතෙව් 23:13-36) ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙන්ම ඔහු ගැන චෝදනා විභාග කළ අවස්ථාවේදී පවා නිර්භීතව කතා කළා.—යොහන් 18:6, 19, 20, 37.

යේසුස්ගේ ගෝලයන්ද ඔහු වගේ නිර්භීතව සාක්ෂි දැරුවා. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී පේතෘස් 3,000කට අධික පිරිසක් ඉදිරියේ නිර්භීතව කතා කළා. මේ කතාව අසා සිටි සැමෝම ඒ ගැන පුදුම වුණාට සැකයක් නැහැ. මන්ද ඊට දවස් කිහිපයකට කලින් සේවිකාවක් පේතෘස් යේසුස් සමඟ සිටිනවා දුටු බව පැවසූ විට ඔහු හොඳටම බිය වුණා. (මාක් 14:66-71; ක්‍රියා 2:14, 29, 41) ආගමික නායකයන් ඉදිරියෙහි පෙනී සිටි අවස්ථාවේදී පේතෘස් සහ යොහන් බියෙන් වෙවුලුවේ නැහැ. ඔවුන් නිර්භීතව යේසුස්ගේ නැවත නැඟිටීම ගැන සාක්ෂි දැරුවා. පේතෘස් සහ යොහන් යේසුස් සමඟ ඇසුරු කළ අය බව ආගමික නායකයන් හඳුනාගත්තේ ඔවුන් තුළ තිබූ ඒ නිර්භීතකම නිසයි. (ක්‍රියා 4:5-13) මේ තරම් පුදුම නිර්භීතකමකින් කතා කරන්න ඔවුන්ට හැකි වුණේ කෙසේද?

කලින් යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පොරොන්දු වී තිබුණා. “ඔවුන් ඔබව පාවා දෙන කල, ඔබ කෙසේ කතා කළ යුතුද කියාවත් කුමක් කිව යුතුද කියාවත් සිතමින් කනස්සලු නොවන්න. මන්ද ඔබ කිව යුතු දේ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ. මන්ද කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන්නේ ඔබේ පියාණන්ගේ ආත්මයයි.” (මතෙව් 10:19, 20) බිය සැක නැති කරගෙන ධෛර්යයෙන් යුක්තව සාක්ෂි දැරීමට පේතෘස්ට සහ සෙසු ගෝලයන්ට හැකි වුණේ දෙවිගේ ආත්මය හෙවත් ක්‍රියාකාරික බලයේ මඟ පෙන්වීම ඔවුන්ට ලැබුණු නිසයි. අපටත් එලෙස නිර්භීතව කතා කිරීමට දෙවි ඔහුගේ බලය සපයමින් උපකාර කරනවා.

ඊට අමතරව යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට අවංක ජනයාව ඔහුගේ ගෝලයන් බවට පත් කිරීමේ කාර්යය පවරමින් ඔවුන්ව මෙසේ ශක්තිමත් කළා. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. . . . මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙව් 28:18-20) එදා ගෝලයන් කරමින් සිටි දේශනා සේවය නතර කිරීමට උත්සාහ කළ බලධාරීන් ඉදිරියේ පෙනී සිටි අවස්ථාවලදී ඉහත වදන්වලට අනුව යේසුස් තමන්ට උපකාර කරන බවට ගෝලයන්ට ස්ථිර විශ්වාසයක් තිබුණා. (ක්‍රියා 4:18-20; 5:28, 29) යේසුස්ගේ එම වදන් මතක තබාගැනීම අපටත් නිර්භීතව සාක්ෂි දරන්න උපකාරවත් වෙනවා.

පසුබට නොවී සාක්ෂි දරන්න, අපට තිබෙන බලාපොරොත්තුවත් තවත් හේතුවක් සපයනවා. පාවුල් මෙම බලාපොරොත්තුව “කතා කිරීමේ නිදහස” සමඟ සම්බන්ධ කර දැක්වුවා. (2 කොරින්ති 3:12; ෆිලිප්පි 1:20) අපට තිබෙන්නේ මොන තරම් මවිතකර බලාපොරොත්තුවක්ද කියනවා නම් ඒ ගැන අනිත් අය සමඟ කතා නොකර සිටින්න අපට බැහැ. මේ අනුව බයිබලයේ සඳහන් කතා කිරීමේ නිදහස ඇතුව සිටින්න අපට තිබෙන බලාපොරොත්තුවත් එක් හේතුවක්.—හෙබ්‍රෙව් 3:6.

නිර්භීතව දේශනා කරමු

බියක් දැනෙන අවස්ථාවලදී පවා නිර්භීතව දේශනා කරන්න අපට හැකියි. ඒ කෙසේද? පාවුල්ගේ ආදර්ශය ගැන ටිකක් සිතා බලන්න. ‘තමාගේ මුඛය හැර කතා කිරීමේ හැකියාව ලැබෙන ලෙසත් නිර්භීතකමින් කතා කිරීමට හැකි වන ලෙසත් අයැදින්න’ කියා රෝමයේ සිරගතව සිටි කාලයේදී ඔහු සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටියා. (එෆීස 6:19, 20) ඔවුන් කළ යාච්ඤාවලට පිළිතුරු ලැබුණාද? ඔව්, පාවුල් සිරගතව සිටි කාලයේදී “කිසි බාධාවකින් තොරව, කතා කිරීමේ පූර්ණ නිදහස ඇතිව, ඔවුන්ට දෙවිගේ රාජ්‍යය දේශනා” කළා.—ක්‍රියා 28:30, 31.

කතා කිරීමේ නිදහස අපට තිබෙනවාද නැද්ද කියා පෙන්වීමට අවස්ථා උදා වෙනවා. උදාහරණයක් හැටියට රැකියා ස්ථානයේදී, පාසැලේදී හෝ ගමන් බිමන් යන විට සාක්ෂි දරන්න ලැබෙන අවස්ථාවලදී අපි සාක්ෂි දරනවාද? ලැජ්ජාව නිසා හෝ අනිත් කෙනා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියා සිතීම නිසා හෝ හොඳින් සාක්ෂි දරන්න හැකියාවක් තමන්ට නැහැ කියා සිතීම නිසා හෝ අපි එවැනි අවස්ථාවලදී නිහඬ වී සිටිය හැකියි. මෙහිදීද පාවුල් අපට හොඳ ආදර්ශයක් තබා තිබෙනවා. ඔහු මෙසේ සඳහන් කළා. “බොහෝ වෙහෙස දරමින් ඔබට දෙවිගේ ශුභාරංචිය කීමට අපි අපේ දෙවිගෙන් නිර්භීතකම ලැබුවෙමු.” (1 තෙසලෝනික 2:2) පාවුල්ට ඔහුගේම ශක්තියෙන් කළ නොහැකි දේවල් කරන්න හැකිවීමට එකම හේතුව ඔහු යෙහෝවා දෙවි මත රඳා සිටීමයි.

අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට අවස්ථා උදා වූ විට නිර්භීතව කතා කරන්න ෂෙරීට උපකාරවත් වුණේ යාච්ඤාවයි. දවසක් සිය ස්වාමිපුරුෂයා නිලධාරියෙකුව හමුවීමට ගොස් පැමිණෙන තෙක් බලා සිටින්න ෂෙරීට සිදු වුණා. ඇය ඒ කාර්යාලය අසල වාඩි වී සිටින අතරේදී තවත් කාන්තාවක් එම නිලධාරියාව හමුවීමට බලා සිටිනවා ඇය දැක්කා. ‘ඒ වේලාවේ ඒ කාන්තාවට සාක්ෂි දරන්න හිතුණත් මට ලොකු භයක් දැනුණා. මම ශක්තිය ඉල්ලා යෙහෝවාට යාච්ඤා කළා.’ ෂෙරී ඒ කාන්තාව ළඟට ගිය විට බලාපොරොත්තු නොවූ විදිහට බැප්ටිස්ට් පූජකයෙක් එතැනට පැමිණියා. මේ වගේ කෙනෙක් එයි කියා ඇය සිතුවේ නැහැ. කොහොමවුණත් ඇය නැවතත් යාච්ඤා කළා. මේ නිසා ඇයට හැකි වුණා සාක්ෂි දරන්න. ඒ කාන්තාවට සඟරා පොත් පත් ලබා දී නැවත බැලීමක් සඳහා කටයුතු පිළියෙල කරගැනීමට ෂෙරීට හැකි වුණා. සාක්ෂි දරන්න අපටත් අවස්ථා උදා වන විට නිර්භීතව කතා කරන්න යෙහෝවා අපිටත් උදව් කරයි කියා නිසැක වෙන්න පුළුවන්.

උගන්වන විට

කතා කිරීමේ නිදහස සහ ඉගැන්වීම අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සභාවේ ‘හොඳින් සේවය කරන පුරුෂයන්’ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “[ඔවුහු] හොඳ නමක්ද ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි වූ ඇදහිල්ල තුළ කතා කිරීමේ මහත් නිදහසක්ද අත් කරගන්නෝය.” (1 තිමෝති 3:13) මෙහි සඳහන් කතා කිරීමේ නිදහස අත් කරගන්න නම් ඔවුන් අන් අයට උගන්වන දේවල් මුලින්ම තමන්ටම අදාළ කරගත යුතුයි. ඔවුන් මෙසේ කරන විට සභාව තවත් ශක්තිමත් වන අතර නරක බලපෑම්වලින්ද එය ආරක්ෂා කරගත හැකියි.

මේ ආකාරයට කතා කිරීමේ නිදහස අපට තිබෙන විට අප පවසන දේවල් අන් අය බොහෝදුරට ක්‍රියාවට නැංවීමට ඉඩ තිබෙනවා. එමෙන්ම අප දෙන උපදෙස් අන් අයගේ සිත්වලට හොඳින් කාවදිනවා. ගුරුවරයා හොඳ ආදර්ශයක් තබා නැත්නම්, ඔහුට සවන් දෙන අය ඔහු පවසන දේවල් පිළිගනියි කියා සිතන්න බැහැ. එහෙත් උගන්වන කෙනා තමන් උගන්වන දේවලට අනුව තම ජීවිතය ගත කරනවා දකිද්දී සවන් දෙන අය ඉන් ලොකු දිරිගැන්වීමක් ලබනවා. මෙලෙස කතා කිරීමේ නිදහස තිබෙනවා නම්, යම් ගැටලුවක් දික්ගැස්සෙන්න කලින් ‘තමන්ගේ සහෝදරයන්ව නිවැරදි මාර්ගයට ගෙන එන්න’ ඒ සඳහා සුදුසුකම් තිබෙන අයට හැකියි. (ගලාති 6:1) ඊට වෙනස්ව යමෙක් හොඳ ආදර්ශයක් තබා නැත්නම් යම් ගැටලුවක් ගැන අදාළ පුද්ගලයාට කතා කරන්න ඔහු පසුබට වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට කතා කරන්න තමන් සුදුසු නැහැ කියා ඔහුට හැඟී යා හැකියි. අවශ්‍ය උපදෙස් නිසි වේලාවට නොලැබුණොත් ඇති විය හැකි ප්‍රතිවිපාක දරුණු වෙන්න පුළුවන්.

නිර්භීතව කතා කිරීම කියන්නේ විවේචනාත්මක වීම නොවෙයි. තම අදහස් අන් අයට කෙසේ හෝ පිළිගැනීමට බල කිරීමද නොවෙයි. එක් අවස්ථාවකදී තමන් ෆිලෙමොන්ව යමකට උනන්දු කළේ “ප්‍රේමය නිසා” කියා පාවුල් පැවසුවා. (ෆිලෙමොන් 8, 9) ඊට ෆිලෙමොන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. වැඩිමහල්ලෙක් යමෙකුට උපදෙසක් දෙන විට, එය ලබා දෙන්නේ ප්‍රේමය නිසා බව උපදෙස ලැබෙන කෙනාට හැඟී යා යුතුයි.

අන් අයට උපදෙස් දෙන විට පමණක් නොව තවත් අවස්ථාවලදීද කතා කිරීමේ නිදහස තිබීම ඉතා වැදගත්. මේ ගැන පාවුල් කොරින්ති සභාවේ අයට මෙසේ ලිව්වා. “කතා කිරීමේ මහත් නිදහසක් ඔබ කෙරෙහි මට ඇත. ඔබ ගැන මම බොහෝ සෙයින් ආඩම්බර වෙමි.” (2 කොරින්ති 7:4) සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රශංසා කළ යුතු අවස්ථාවලදී ඔවුන්ව ප්‍රශංසා කරන්න පාවුල් පසුබට වුණේ නැහැ. ඔවුන් තුළ යම් අඩු පාඩු හා දුර්වලකම් තිබුණත් පාවුල් ඔවුන්ගේ හොඳ ගුණාංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. ඊට හේතුව ඔහු ඔවුන්ට දැක්වූ ප්‍රේමයයි. මේ හා සමානව අද දින සිටින වැඩිමහල්ලන්ද පසුබට නොවී තමන්ගේ සහෝදර සහෝදරියන්ට ප්‍රශංසා කරන විට හා ඔවුන්ව දිරිමත් කරන විට සභාව තව තවත් ශක්තිමත් වෙනවා.

අන් අයට දේවවචනය ගැන තමන් උගන්වන දේවල් ඔවුන්ගේ සිත්වලට කාවදින්න නම් සියලුම ක්‍රිස්තියානීන් කතා කිරීමේ නිදහස ඇතුව සිටිය යුතුයි. කලින් සඳහන් කළ ෂෙරී පාසැලේදී සාක්ෂි දරන්න ඇගේ දරුවන්ව දිරිමත් කළා. ඇය මෙසේ පැවසුවා. “මම සත්‍යය තුළ ඇති දැඩි වුණ කෙනෙක්. ඒත් ඒ කාලේ මම පාසැලේදී සාක්ෂි දැරුවේ කලාතුරකින්. මම අවිධිමත් ලෙස සාක්ෂි දැරූ අවස්ථා නැති තරම්. මගේ දරුවන්ට මම තබන්නේ මොන වගේ ආදර්ශයක්ද කියලා මම හොඳට හිතුවා.” මේ විදිහට සිතීම, අවිධිමත් ලෙස සාක්ෂි දරන්න ඇය තුළ ලොකු පෙලඹීමක් ඇති කළා.

අපි ක්‍රියා කරන ආකාරය අනිත් අය දකිනවා. අපි උගන්වන දේවල් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එයත් ඔවුන් දකිනවා. අපි උගන්වන දේවලට එකඟව ජීවත් වන අය බව පෙන්වීමට හැකි සෑම වෑයමක්ම දරමින් කතා කිරීමේ නිදහස ඇතුව සිටිමු.

යාච්ඤාවේදී

කතා කිරීමේ නිදහස ඇතුව සිටීම විශේෂයෙන්ම වැදගත් වන්නේ අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරන විටයි. ඔහු අපේ යාච්ඤාවලට උත්තර දෙයි කියා ස්ථිර විශ්වාසයකින් යුක්තව අපේ සිතේ තිබෙන සෑම දෙයක්ම ඔහුට කියන්න අපිට පුළුවන්. මෙසේ අපේ ස්වර්ගික පියා සමඟ අපට මොන තරම් උණුසුම් හා කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්ද! යෙහෝවා දෙවි සමඟ යාච්ඤාවෙන් කතා කරන්න තමන් කවදාවත් වටින්නේ නැහැ කියා කවදාවත් සිතන්න එපා. අප කළ පාපයක් හෝ අපේ අතින් වුණ අඩු පාඩුවක් ගැන දැනෙන වරදකාරීබව නිසා අපේ හැඟීම් යෙහෝවාට කියාගන්න බැරි තත්වයක් තිබෙනවා නම් අපි කළ යුත්තේ කුමක්ද? මෙවැනි තත්වයකදී පවා, යෙහෝවා දෙවි සමඟ චකිතයකින් තොරව කතා කරන්න පුළුවන්ද?

යේසුස් ස්වර්ගයේ උත්තම පූජකයෙකු ලෙසද ක්‍රියා කරනවා. මෙය නිසැකකමින් යුතුව යාච්ඤා කිරීම සඳහා හොඳ හේතුවක් සපයනවා. මේ ගැන හෙබ්‍රෙව් 4:15, 16 අපට මෙසේ කියවීමට තිබෙනවා. “අපට සිටින්නේ අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන තැනැත්තෙකු නොව, අප මෙන් හැම අතින්ම පරීක්ෂා කරනු ලැබූ, පාප රහිත උත්තම පූජකයෙකි. එබැවින්, අපට උපකාරය අවශ්‍ය වේලාවේදී දයාව හා මහත් කරුණාව ලැබෙන පිණිස අපි කතා කිරීමේ නිදහසින් යුක්තව, මහත් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු.” අපි කුමන තත්වයක සිටියත් අපි සැමට මෙම උදාර ප්‍රස්තාව ලැබී තිබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව සහ උත්තම පූජකයා හැටියට ඔහු ඉටු කරන කාර්යය නිසයි.

යෙහෝවා දෙවිට සැමවිටම කීකරු වීමට අපි අවංක වෑයමක් දරනවා නම් ඔහු අපේ යාච්ඤා අසන බවට නිසැක වෙන්න අපිට පුළුවන්. යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් මෙසේ සඳහන් කළා. “ප්‍රේමණීය තැනැත්තෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරයි නම්, දෙවිට කතා කිරීමට අපට නිදහසක් තිබේ. තවද, අප ඔහුගේ ආඥා පවත්වන නිසාත්, ඔහු ඉදිරියෙහි ප්‍රසන්න වූ දේ කරන නිසාත්, අප ඉල්ලන ඕනෑම දෙයක් ඔහුගෙන් අපට ලැබෙන්නේය.”—1 යොහන් 3:21, 22.

අපේ සිත්වල තියෙන ඕනෑම දෙයක් යෙහෝවා දෙවිට කියන්න අපිට පුළුවන්. අපි තුළ තිබෙන ඕනෑම බියක් ගැන හෝ වේවා අපි මුහුණ දෙන ඕනෑම ගැටලුවක් හා පීඩාවක් ගැන හෝ වේවා මුළු සිතින්ම අපි යෙහෝවා දෙවිට පවසන විට ඔහු සවන් දෙන බවට ස්ථිර විශ්වාසයකින් යුතුව යාච්ඤා කරන්න අපිට පුළුවන්. අපි අතින් බරපතළ පව් සිදු වුණත් අවංකවම පසුතැවිලි වෙනවා නම් සැකයකින් තොරව දෙවිට යාච්ඤා කරන්න අපිට පුළුවන්.

මේ ලිපියේදී අපි සාකච්ඡා කළ කතා කිරීමේ නිදහස ඇත්තෙන්ම අනර්ඝ ත්‍යාගයක් කියා කිව හැකියි. අපට එම නිදහස තිබෙනවා නම් බයිබලයේ සඳහන් දේවල් ගැන අන් අයට පැවසීමෙන් හා ඉගැන්වීමෙන් දෙවිව මහිමයට පත් කරන්නත් යාච්ඤාවෙන් වඩ වඩා ඔහුට ළං වෙන්නත් අපිට පුළුවන්. මෙසේ කිරීමෙන් අපට ලැබෙන විපාකය නම් සදාකාල ජීවනයයි. මේ නිසා ‘මහත් විපාකයක් ලැබීමට නියමිත අපේ කතා කිරීමේ නිදහස නැති කර නොගනිමු.’—හෙබ්‍රෙව් 10:35.

[13වන පිටුවේ පින්තූරය]

පාවුල් නිර්භීතව සාක්ෂි දැරුවා

[15වන පිටුවේ පින්තූර]

පෙලඹීමක් ඇති වන අයුරින් උගන්වන්න නම් කතා කිරීමේ නිදහස තිබිය යුතුයි

[16වන පිටුවේ පින්තූරය]

යාච්ඤා කරන විට කතා කිරීමේ නිදහස තිබීම ඉතාමත් වැදගත්