Skip to content

පටුනට යන්න

දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් අත් වන ප්‍රීතිය

දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් අත් වන ප්‍රීතිය

දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් අත් වන ප්‍රීතිය

“යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත් කරයි; ඔහු ඊට කිසි දුකක් එකතු නොකරන්නේය.”—හිතෝපදේශ 10:22.

1, 2. අපි අනාගතය ගැන ඕනෑවට වඩා නොසිතිය යුත්තේ ඇයි?

“අනාගතය ගැන ඕනෑවට වඩා සිතුවොත් වර්තමානයේ අප සතු දේවලින් ප්‍රීතියක් ලැබිය නොහැකියි” කියා අමෙරිකානු ජාතික දාර්ශනිකයෙක් පවසා තිබෙනවා. විශේෂයෙන් ළමා කාලයේදී තමන් වැඩිහිටියෙක් වී කරන දේවල් ගැන ඕනෑවට වඩා සිතන දරුවන් සම්බන්ධයෙන් එය සැබෑවක්. එවැනි අය තම ළමා කාලය භුක්ති විඳින්නේ නැහැ. ඔවුන් එහි වටිනාකම තේරුම්ගන්නේ වැඩිහිටියන් වීමෙන් පසුවයි.

2 යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවා තමන් අනාගතයේ භුක්ති විඳින දේවල් ගැන ඕනෑවට වඩා සිතන්න පුළුවන්. මෙසේ සිතුවොත් කුමක් විය හැකිද? ඇත්තයි, යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට අපි දෙවි පොරොන්දු වී තිබෙන අසනීප, මහලු විය, දුක් වේදනා නැති පාරාදීස පොළොව පැමිණෙන තෙක් මහත් ආශාවෙන් බලා සිටිනවා. මේ කාලයේදී දෙවි අපට කර තිබෙන ආශීර්වාදවල වටිනාකම නොදැනෙන තරමටම දෙවි අනාගතයේදී කරන භෞතික ආශීර්වාද ගැන ඕනෑවට වඩා සිතුවොත් අප කලකිරීමට ඉඩ තිබෙනවා. මන්ද “පැතූ දේ ප්‍රමාද වීමෙන් සිත කලකිරෙන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 13:12, පැරණි අනුවාදය) ජීවිතයේ අප මුහුණ පාන ප්‍රශ්න ගැටලු නිසා අපි අධෛර්යය වෙන්න පුළුවන්. ඒ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට වෑයම් කරනවා වෙනුවට මැසිවිලි නැඟීමේ ආකල්පයක් වර්ධනය වීමට ඉඩහැරියොත් එය මොන තරම් කනගාටුදායක තත්වයක්ද! අපි වර්තමානයේ භුක්ති විඳින ආශීර්වාද අගය කරනවා නම් අපි එවැනි තත්වයකට පත් වන්නේ නැහැ.

3. මේ ලිපියේදී අපි සලකා බලන්නේ කුමක් ගැනද?

3 “යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත් කරයි; ඔහු ඊට කිසි දුකක් එකතු නොකරන්නේය” කියා හිතෝපදේශ 10:22හි සඳහන් වෙනවා. යෙහෝවාට නමස්කාර නොකරන අය සමඟ බලද්දී ඔහුට නමස්කාර කරන අය විශේෂාකාර ආශීර්වාද භුක්ති විඳිනවා. එය ප්‍රීතිවීමට හේතුවක් නොවෙයිද? එම ආශීර්වාදවලින් සමහරක් ගැන මේ ලිපියේදී අපි සලකා බලමු. එම ආශීර්වාද ඔබට පෞද්ගලිකව කොතරම් වැදගත්ද කියා සිතා බලන්න. ‘ඇද නැතිකමින් [හෙවත් දෙවිට විශ්වාසවන්තව] ජීවත් වන ධර්මිෂ්ඨයන්ට’ දී තිබෙන බහුල ආශීර්වාද ගැන සිතා බැලීමට අප කාලය ගන්න විට දෙවිට ප්‍රීතියෙන් සේවය කිරීමට වූ අපේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙයි.—හිතෝපදේශ 20:7.

අද අපි භුක්ති විඳින “ආශීර්වාද”

4, 5. ඔබ වැඩියෙන්ම අගය කරන බයිබලයේ සඳහන් ඉගැන්වීම කුමක්ද? ඊට හේතුව කුමක්ද?

4 බයිබලයේ ඉගැන්වීම් ගැන නිවැරදි දැනුමක් අපි ලබා තිබෙනවා. බයිබලයේ සඳහන් දේවල් තමන් විශ්වාස කරනවා කියා ක්‍රිස්තියානි ආගම්වල අය කියා සිටියත් ඔවුන් ජීවත් වන්නේ ඊට එකඟව නොවෙයි. එකම ආගමේ සාමාජිකයන් අතර පවා බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන තිබෙන්නේ එකිනෙකට වෙනස් අදහස්. එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපි එවැනි අයට වඩා කොතරම් වෙනස්ද! අපේ ජාතිය හා සංස්කෘතිය කුමක් වුණත් අපි නමස්කාර කරන්නේ අභිරහස් ත්‍රිත්ව දෙවි කෙනෙකුට නොව අපි හොඳින් හඳුනාගෙන සිටින එකම සැබෑ දෙවි වන යෙහෝවාටයි. (ද්විතීය කතාව 6:4; ගීතාවලිය 83:17; මාක් 12:29) ඒදන් උයනේදී යක්ෂයා විසින් දෙවිගේ පාලන අයිතිය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නය ළඟදීම විසඳන බව අපි දන්නවා. එමෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් යක්ෂයා නැඟූ ප්‍රශ්නයට අපි එක් එක් කෙනාට පිළිතුරු දිය හැකි බවත් අපි දන්නවා. මිය ගොස් සිටින අයගේ සැබෑ තත්වය ගැන අපි ඉගෙනගෙන තිබෙනවා. නිරයක හෝ ශුද්ධ ගිනි ස්ථානයක මිනිසුන්ට වධ දෙන දෙවි කෙනෙක් ගැන ඇතමුන්ට තිබෙන බිය අපිට නැහැ.—දේශනාකාරයා 9:5, 10.

5 ඇතමුන් විශ්වාස කරන්නේ මිනිසා බිහි වූයේ පරිණාමයේ ප්‍රතිඵලයක් හැටියට කියායි. එහෙත් දෙවි මිනිසාව ඔහුගේ ස්වරූපයෙන් මවා තිබෙන බවට වූ සත්‍යය අපි දන්නවා. මෙය දැනගන්න ලැබීම මොන තරම් ප්‍රීතියක්ද! (උත්පත්ති 1:26; මලාකි 2:10) ගීතිකාකරු දෙවිට මෙසේ පැවසුවා. “ඔබට ස්තුති කරන්නෙමි; මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි; ඔබගේ ක්‍රියා ආශ්චර්යමත්ය; මාගේ ආත්මය ඒ බව මනාකොට දනියි.”—ගීතාවලිය 139:14.

6, 7. ඔබ හෝ ඔබ දන්න වෙනත් අය කර තිබෙන වෙනස්කම් මොනවාද?

6 හානිකර පුරුදුවලින් වැළකී සිටීමට අපට හැකි වී තිබෙනවා. දුම්පානය, අධික මත්පැන් පානය හා දුරාචාරය ගැන ජනමාධ්‍යවලින් අනතුරු ඇඟවීම් කළත් බොහෝදෙනෙක් ඒ අනතුරු ඇඟවීම් නොසලකාහරිනවා. එහෙත් එවැනි දේවල් සැබෑ දෙවි හෙළා දකින බවත් එවැනි ක්‍රියාවල හවුල් වන අය ගැන ඔහුට දුකක් දැනෙන බවත් අවංක පුද්ගලයෙක් දැනගන්න විට ඔහු ඒ නරක පුරුදු සම්පූර්ණයෙන්ම අත්හරිනවා. (යෙසායා 63:10; 1 කොරින්ති 6:9, 10; 2 කොරින්ති 7:1; එෆීස 4:30) ඔහු එවැනි දෙයක් කරන්නේ මූලිකවම යෙහෝවා දෙවිව සතුටු කිරීමට වුණත් ඔහු එසේ කිරීමෙන් යහපත් සෞඛ්‍යයක් හා මනසේ සාමයද අද්දකිනවා.

7 නරක පුරුදු අත්හැරීම ඉතා අමාරු දෙයක් වුණත් සෑම වසරකම දහස් ගණනක් දෙනා එසේ කරනවා. මේ අය යෙහෝවා දෙවිට තම ජීවිත කැප කර බව්තීස්ම වීමෙන් ප්‍රසිද්ධියේ පෙන්නුම් කරන්නේ තමන් දෙවි හෙළා දකින නරක පුරුදු අත්හැර දමා තිබෙන බවයි. මෙවැනි අයව දැකීමෙන් අප මොන තරම් දිරිගැන්වීමක් ලබනවාද! හානිකර පුරුදුවලින් දිගටම වැළකී සිටීමටත් නැවත කිසිදා පාපයේ වහලුන් නොවීමටත් අපි ගෙන තිබෙන අධිෂ්ඨානය එවැනි අයගේ ආදර්ශ දැකීමෙන් තවත් ශක්තිමත් වෙනවා.

8. ප්‍රීතිමත් පවුල් ජීවිතයක් සඳහා බයිබලයේ දී තිබෙන උපදෙස් මොනවාද?

8 අපි ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිනවා. බොහෝ රටවල පවුල් ජීවිත බිඳ වැටෙමින් තිබෙනවා. විවාහයන් බොහොමයක් දික්කසාදයෙන් අවසන් වීමේ ප්‍රතිඵලයක් හැටියට දරුවන් මානසිකව වේදනා විඳිනවා. ඇතැම් යුරෝපීය රටවල වෙසෙන පවුල්වලින් සියයට 20ක්ම තනි මාපිය පවුල්. පවුල් ජීවිතය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි අපිට මඟ පෙන්වීම් සපයා තිබෙන්නේ කෙසේද? ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට හා දරුවන්ට එෆීස 5:22–6:4 දක්වා දී තිබෙන උපදෙස් කියවා බලන්න. මෙම බයිබල් වගන්තියේ හා මීට අදාළ වෙනත් බයිබල් වගන්තිවල සඳහන් දේවල් අදාළ කරගැනීමෙන් විවාහ ජීවිතය ශක්තිමත් කරගත හැකියි. එමෙන්ම දරුවන්ව හොඳින් හදා වඩා ගනිමින් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිය හැකියි. ඇත්තටම මෙය ආශීර්වාදයක් නොවේද!

9, 10. අපි අනාගතය දෙස බලන ආකාරය සෙසු අයට වඩා වෙනස් වන්නේ කෙසේද?

9 ලෝකයේ ගැටලුවලට ඉක්මනින්ම විසඳුමක් ලැබෙන බව අපි ස්ථිර වශයෙන්ම දන්නවා. විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රවල මහත් දියුණුවක් ලබා තිබුණත්, ඇතැම් පාලකයන් අවංක වෑයම් දැරුවත් විසඳා නැති බරපතළ ගැටලු තවමත් තිබෙනවා. ලෝකයේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සංවිධානයක් බිහි කිරීමට මුල් වී කටයුතු කළ ක්ලවුස් ෂ්වාබ් මෙසේ සඳහන් කළා. “ලෝකයේ ගැටලු දිනෙන් දින වැඩි වන අතර ඒවා විසඳීමට තිබෙන කාලය අඩුයි.” ඔහු “සියලුම ජාතීන්ට මුහුණ දීමට සිදු වී තිබෙන ත්‍රස්තවාදය, පරිසර දූෂණය හා ආර්ථික ගැටලු” ගැනත් සඳහන් කළා. ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. ‘වෙන කවරදාටත් වඩා මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්න විසඳීමට ප්‍රමාද නොකර සියලුදෙනාම එකතු වී ක්‍රියා කළ යුතුයි.’ මෙම 21වන සියවසද වේගයෙන් ගෙවී යන අතර මිනිසුන්ගේ අනාගතය තිබෙන්නේ අඳුරුසහගත තත්වයකයි.

10 යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යය මගින් මිනිසුන්ගේ සියලුම ගැටලු විසඳීමට පියවර ගෙන තිබෙන බව අපි දැනගෙන සිටිනවා. දේවරාජ්‍යයේ රජු හැටියට පත්ව සිටින යේසුස් මේ පොළොව පාලනය කරන විට ‘යුද්ධ නවත්වා’ ‘බොහෝ සමාදානයක්’ ගෙන එයි. (ගීතාවලිය 46:9; 72:7) එමෙන්ම යේසුස් ‘දිලිඳුන්ව හා පීඩිතයන්ව පීඩාවෙන්ද බලහත්කාරකමෙන්ද මුදාහරියි.’ (ගීතාවලිය 72:12-14) ඔහු මේ පොළොව පාලනය කරද්දී කිසිම ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ. (ගීතාවලිය 72:16) යෙහෝවා “ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4) දෙවිගේ රාජ්‍යය දැනටමත් ස්වර්ගයේ පිහිටුවා තිබෙන අතර ලෝකයේ සියලුම ගැටලු විසඳීමට ළඟදීම පියවර ගැනීමට නියමිතයි.—දානියෙල් 2:44; එළිදරව් 11:15.

11, 12. (අ) විනෝදාස්වාදයෙන් සැබෑ ප්‍රීතිය ලබන්න පුළුවන්ද? පැහැදිලි කරන්න. (ආ) සැබෑ ප්‍රීතිය ලැබෙන්නේ කුමකින්ද?

11 සැබෑ ප්‍රීතිය ලැබෙන්නේ කුමකින්ද කියා අපි දන්නවා. මනෝ වෛද්‍යවරයෙක් පැවසූ ලෙස සැබෑ ප්‍රීතිය ලැබීමට නම් මූලික සාධක තුනක් තිබිය යුතුයි. ඒවා නම් විනෝදාස්වාදය, යමක නිතර වීම (රැකියාවේ හා පවුලේ යම් කාර්යයන්වල නියැලීම) හා තෘප්තිය (අන් අය වෙනුවෙන් යහපත් දේවල් කිරීමෙන් ලබන තෘප්තිය) යන මේවායි. මේ සාධක තුන අතරින් ඔහු අඩුම වැදගත්කමක් දුන්නේ විනෝදාස්වාදයටයි. ‘කෙසේවෙතත් බොහෝදෙනෙක් ජීවිතයේ මුල් තැන දෙන්නේ විනෝදාස්වාදයටයි’ කියා ඔහු පැවසුවා. සැබෑ ප්‍රීතිය සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ කුමක්ද?

12 පුරාණ ඊශ්‍රායෙලයේ විසූ සලමොන් රජ මෙසේ සඳහන් කළා. “මම සිතින් කතා කොට: ඉතින් එන්න; මම ඔබ ප්‍රීතිය කරණකොටගෙන පරීක්ෂා කර බලන්නෙමි; ඒ නිසා සැප විඳින්නයයි කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵල විය. සිනාසීම ගැන කතා කොට: ඒක පිස්සුකමය; ප්‍රීතිය ගැන: ඒක කුමක් කරන්ටදැයි කීමි.” (දේශනාකාරයා 2:1, 2) ඕනෑම විනෝදාස්වාදයකින් ලබන ප්‍රීතිය තාවකාලික බව බයිබලයේ සඳහන් වෙනවා. ප්‍රීතිය ලැබීම සඳහා යමක නිරත වීම ගැන කුමක් කිව හැකිද? අපිට නිරත විය හැකි හොඳම කාර්යය වන්නේ දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීම හා ගෝලයන් සෑදීමයි. (මතෙව් 24:14; 28:19, 20) බයිබලයේ සඳහන් මේ ගැලවීමේ පණිවිඩය අන් අය සමඟ කතා කිරීමේ කාර්යයේ නිරත වීමෙන් අපට මෙන්ම අපට සවන් දෙන අයටද ගැලවීම ලබාගත හැකියි. (1 තිමෝති 4:16) “දෙවි සමඟ හවුල් වැඩකරුවෝ” ලෙස සේවය කරමින් අප “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක්” ලබනවා. (1 කොරින්ති 3:9; ක්‍රියා 20:35) දේවසේවයේ හවුල් වීමෙන් අපි තෘප්තියක් ලබන අතර අපේ මැවුම්කරුට චෝදනා කරන්නා වන සාතන්ට උත්තරයක් දීමටත් හැකි වෙනවා. (හිතෝපදේශ 27:11) සැබෑ ප්‍රීතිය ලැබෙන්නේ භක්තිවන්ත ජීවිතයක් ගත කිරීමෙන් බව යෙහෝවා දෙවි අපට පෙන්වා දී තිබෙනවා.—1 තිමෝති 4:8.

13. (අ) දිව්‍යාණ්ඩු සේවා පාසැල අපිට ආශීර්වාදයක් වන්නේ කෙසේද? (ආ) ඔබ දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද?

13 අපිට හොඳ පුහුණුවක් ලැබෙනවා. ගහාට් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා. ඔහු තම යෞවන කාලය සිහිපත් කරමින් මෙසේ පැවසුවා. “ඒ කාලේ මට හරියට වචන ශබ්ද කරගන්න බැහැ. පිරිසක් ඉදිරියේ කතා කරන එක මට හරි අමාරු දෙයක් වුණා. මගේ මේ අඩු පාඩුව හින්දා මම හුඟාක් අධෛර්යයට පත් වුණා. නිවැරදිව වචන උච්චාරණය කරන්න උගන්වන පාඨමාලාවක් හදාරන්න දෙමාපියන් මාව යොමු කළා. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. මට තිබුණු ගැටලුවට හේතුව වුණේ මගේ මනසයි. ඒත් යෙහෝවා දෙවි දිව්‍යාණ්ඩු සේවා පාසැල තුළින් කදිම උපකාරයක් සපයා තිබෙනවා. මේ පාසැලට ඇතුල් වුණාට පස්සේ මා තුළ ලොකු ධෛර්යයක් ඇති වුණා. කතා කිරීමේදී මට තිබුණු ගැටලුව ජයගැනීම සඳහා මේ පාසැලෙන් ලැබුණු උපදෙස් ක්‍රියාවට නැංවීමට මම හුඟාක් වෑයම් කළා. ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබුණා. කාලයක් යද්දී මට හොඳට කතා කරන්න පුළුවන් වුණා. කිසිම බියක් නැතිව දේශනා සේවයේ හවුල් වෙන්නත් මට හැකි වුණා. දැන් මම ප්‍රසිද්ධ කථාත් දෙනවා. මගේ ජීවිතයට ලොකු ශක්තියක් ලබා දුන් මේ පාසැල ගැන මම යෙහෝවා දෙවිට හුඟාක් ස්තුතිවන්ත වෙනවා.” යෙහෝවා දෙවි අපට පවරා ඇති සේවය කරන්න අවශ්‍ය පුහුණුව ඔහු අපට ලබා දීම ගැන අපි සතුටු වන්නේ නැද්ද?

14, 15. දුෂ්කර කාලවලදී අපට සැනසිල්ල ලැබෙන්නේ කාගෙන්ද? මීට උදාහරණයක් සපයන්න.

14 දෙවි සමඟත් ලොව පුරා සිටින අපේ සහෝදරයන් සමඟත් අපට හොඳ බැඳීමක් තිබෙනවා. ජර්මනියේ වෙසෙන කාට්රින් අග්නිදිග ආසියාවේ සිදු වූ සුනාමි විපත ගැන ඇසීමෙන් මහත් සේ දුකට පත් වුණා. ඒ විපත සිදු වන අවස්ථාවේදී ඇගේ දියණිය සිටියේ තායිලන්තයේ. පැය 32ක් යන තෙක්ම තම දියණිය ගැන කිසිම ආරංචියක් ඇයට දැනගන්න ලැබුණේ නැහැ. පසුව ඇගේ දියණිය ආරක්ෂා සහිතව සිටිනවා කියා දැනගන්න ලැබුණු විට ඇයට දැනුණේ මොන තරම් සහනයක්ද!

15 වේදනාවෙන් සිටි ඒ කාලය අතරතුරේදී කාට්රින්ට සැනසිල්ලක් ලැබුණේ කුමකින්ද? මේ ගැන ඇය මෙසේ පැවසුවා. “මම ඒ විපත දැනගත් වේලාවේ පටන් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. මම මෙයින් ලොකු ශක්තියක් ලැබුවා. ඒ වගේම මනසේ සාමයක් ඇතිව සිටින්නත් මට පුළුවන් වුණා. ඒ වේලාවේ මම තනි වුණේ නැහැ. සභාවේ ඉන්න ප්‍රේමණීය සහෝදර සහෝදරියන් මාත් එක්ක සිටියා.” (ෆිලිප්පි 4:6, 7) ඒ වේදනාකාරී අවස්ථාවේදී යාච්ඤාවෙන් යෙහෝවාට කතා කරන්නවත් සෙසු සහෝදරයන්ගෙන් සැනසිල්ලවත් ඇයට නොලැබුණා නම් එය දරාගන්න පහසු වෙයිද? යෙහෝවා දෙවි හා ඔහුගේ පුත්‍රයා වන යේසුස් සමඟත් අපේ සහෝදරයන් සමඟත් අපිට තිබෙන කිට්ටු බැඳීම මොන තරම් ආශීර්වාදයක්ද! අප මෙම ආශීර්වාද කොතරම් අගය කළ යුතුද!

16. නැවත නැඟිටීමේ බලාපොරොත්තුවේ තිබෙන වටිනාකම පෙන්වා දෙන අද්දැකීමක් විස්තර කරන්න.

16 මිය ගොස් සිටින අපේ පවුලේ අයව හා හිත මිතුරන්ව අනාගතයේදී අපිට යළි දැකගැනීමට හැකි බව අපි දන්නවා. (යොහන් 5:28, 29) යෞවනයෙකු වූ මාටියාස් ඇති දැඩි වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියටයි. සාක්ෂිකරුවෙකු වීමේ ආශීර්වාදය අගය නොකළ ඔහු යෞවන කාලයේදී සභාවෙන් ටිකෙන් ටික ඈත් වුණා. දැන් ඔහු මෙසේ සඳහන් කරනවා. “මම මගේ තාත්තාත් එක්ක කවදාවත් වැදගත් දේවල් ගැන හුඟාක් වෙලා කතා කරලා නැහැ. ඉස්සර මම තාත්තාත් එක්ක හුඟාක් දේවල් ගැන වාද කළා. ඒ වුණත් තාත්තාට ඕන වුණේ මගේ ජීවිතය සාර්ථක වෙනවා දකින්නයි. තාත්තා මට හුඟාක් ආදරෙයි කියලා මට ඒ කාලයේ තේරුණේ නැහැ. එක්දහස් නවසිය අනූහයේදී තාත්තා හුඟාක් අසනීප වුණා. ඒ වේලාවේ මම ඔහුගේ ඇඳ ළඟ ඉඳගෙන අත් දෙක අල්ලාගෙන හුඟාක් ඇඬුවා. මම කරපු වැරදිවලට සමාව දෙන්න කියලත් මම ඔහුට ගොඩාක් ආදරෙයි කියලත් කිව්වා. ඒත් තාත්තාගේ අසනීප තත්වය නිසා මම කියපු දේවල් ඔහුට ඇසුණේ නැහැ. ටික දවසකට පස්සේ තාත්තා මිය ගියා. නැවත නැඟිටීමේදී තාත්තාව මට දකින්න ලැබුණොත් ඔහුව සතුටු කරන්න මට පුළුවන් හැම දෙයක්ම මම කරනවා. මම දැන් වැඩිමහල්ලෙක් කියලත් මගේ භාර්යාවත් එක්ක පුරෝගාමී සේවය කරනවා කියලත් තාත්තා දැනගත්තාම ඔහු හුඟාක් සතුටු වේවි.” නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මොන තරම් ආශීර්වාදයක්ද!

“ඔහු ඊට කිසි දුකක් එකතු නොකරන්නේය”

17. යෙහෝවා අපට කර තිබෙන ආශීර්වාද ගැන අපි කල්පනා කළ යුත්තේ ඇයි?

17 යේසුස් ඔහුගේ ස්වර්ගික පියා ගැන මෙසේ පැවසුවා. “ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය.” (මතෙව් 5:45) යෙහෝවා දෙවි දුෂ්ටයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් ආශීර්වාද කරනවා නම් ඔහුට විශ්වාසවන්තව සිටින අයට ඔහු ඊට වඩා කොතරම් ආශීර්වාද කරයිද! “යෙහෝවා . . . අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවළක්වන්නේය” කියා ගීතාවලිය 84:11හි පවසනවා. යෙහෝවා දෙවි ඔහුට ප්‍රේම කරන අයට දක්වන විශේෂ සැලකිල්ල ගැන කල්පනා කරද්දී මහත් ප්‍රීතියක් මෙන්ම ඔහුට ස්තුතිවන්ත වීමට පෙලඹීමක්ද අප තුළ ඇති වෙනවා.

18. (අ) යෙහෝවා ආශීර්වාද කරන නමුත් කිසිම දුකක් ඇති කරන්නේ නැති බව අපිට පැවසිය හැක්කේ මන්ද? (ආ) දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් දුක් වේදනා අද්දකින්නේ ඇයි?

18 අද දින සිටින දෙවිගේ සෙනඟ අපි මේ ලිපියේ සාකච්ඡා කළ ආකාරවලින් “යෙහෝවාගේ ආශීර්වාද” භුක්ති විඳිනවා. ඔහු එම ආශීර්වාදවලට ‘කිසි දුකක් එකතු කරන්නේ නැහැ’ කියාද පවසා තිබෙනවා. (හිතෝපදේශ 10:22) එසේනම් ඔවුන්ට දුක ඇති කරන පීඩා පරීක්ෂාවලට මුහුණ දීමට සිදු වන්නේ ඇයි? මීට හේතු තුනක් තිබෙනවා. (1) පව් කිරීමට අප තුළ තිබෙන නැඹුරුවාව. (උත්පත්ති 6:5; 8:21; යාකොබ් 1:14, 15) (2) සාතන්ගේ සහ ඔහුගේ භූතයන්ගේ බලපෑම්. (එෆීස 6:11, 12) (3) දුෂ්ට ලෝකය. (යොහන් 15:19) දුක් කරදරවලට මුහුණ දීමට යෙහෝවා දෙවි අපට ඉඩහැරියත් ඒවා ඇති කරන්නේ ඔහු නොවෙයි. ඇත්තෙන්ම, “සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ ඉහළින්ය. මන්ද, අහසෙහි ආලෝකවල පියාණන් වෙතින් එය බැස එන්නේය.” (යාකොබ් 1:17) මෙයින් පෙනී යන්නේ යෙහෝවා කිසිම දුකක් ඇති කරන්නේ නැති බවයි.

19. දෙවිට විශ්වාසවන්තව සේවය කරන අය ඉදිරියේදී භුක්ති විඳින්නේ කුමක්ද?

19 යෙහෝවාගේ ආශීර්වාද අපි අගය කරන විට අපි තව තවත් ඔහුට ළං වෙනවා. මෙසේ අපි දෙවිට ළං වන විට “සැබෑ ජීවිතය [එනම් සදාකාල ජීවනය] තදින් අල්ලාගැනීමට හැකි වන ලෙස අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමාගෙන, එය වස්තුවක් මෙන් සුරක්ෂිතව රැකගැනීමට [අපිට] හැකි වනු ඇත.” (1 තිමෝති 6:12, 17-19) දෙවිගේ ආණ්ඩුව විසින් මේ පොළොව පාලනය කරද්දී මේ ලිපියේ සඳහන් කළ ආශීර්වාදවලට අමතරව යෙහෝවා දෙවි භෞතික ආකාරවලින්ද අපිට බොහෝ සේ ආශීර්වාද කරයි. “යෙහෝවාගේ හඬට කන් දෙන” සියලුදෙනාම ඒ සැබෑ ජීවිතය භුක්ති විඳිනවා නිසැකයි. (ද්විතීය කතාව 28:2) මේ නිසා ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ප්‍රීතියෙන් දෙවිට විශ්වාසවන්තව සේවය කරමු.

ඔබට මතකද?

• අපි අනාගතය ගැන ඕනෑවට වඩා නොසිතිය යුත්තේ ඇයි?

• මේ කාලයේදී අපි භුක්ති විඳින ආශීර්වාද මොනවාද?

• දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් දුක් වේදනා අද්දකින්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]