Skip to content

පටුනට යන්න

දෙවි මිහිතලය පාරාදීසයක් කරන කාලය අත ළඟයි!

දෙවි මිහිතලය පාරාදීසයක් කරන කාලය අත ළඟයි!

දෙවි මිහිතලය පාරාදීසයක් කරන කාලය අත ළඟයි!

ආදම් සහ ඒව පාරාදීසයේ සිටි කාලයේදී දෙවි මෙසේ පැවසුවා. “ඔබ සපලව බෝ වෙමින් පොළොව පුරා පැතිර ඒක යටත් කරන්න; සමුද්‍රයෙහි මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද පොළොවෙහි යන එන ජීවමාන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කරන්න.”—උත්පත්ති 1:28.

පොළොව යටත් කරගන්න කියා පැවසීමෙන් දෙවි අදහස් කළේ පොළොවේ යම් කොටසක් පමණක් වගා කරමින් එය රැකබලා ගැනීම නෙවෙයි. ආදම් සහ ඒවද ඔවුන්ගෙන් පැවතෙන්නන්ද මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමේ කාර්යයේ හවුල් විය යුතු වුණා. කෙසේවෙතත් ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ව ඒදන් උයනෙන් පිටමං කළා. (උත්පත්ති 3:23, 24) එහෙත් මේ පොළොව කවදාවත් පාරාදීසයක් වන්නේ නැද්ද?

දෙවිගේ ආශීර්වාදය ඇතිව ඔහුට කීකරු වන මිනිසුන් නැවතත් මේ පොළොව පාරාදීසයක් බවට පත් කරනවා. පුරාණයේ විසූ ඊශ්‍රායෙල්වරුන්ට දෙවි ආශීර්වාද කළ විට ඔවුන්ගේ කෙත් වතු හා පලතුරු වතු සාරවත් වුණා. අනාගතයේදී මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙද්දී ඒ හා සමාන සශ්‍රීකත්වයක් දැකිය හැකියි. දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන බයිබලයේ මෙසේ පොරොන්දු කර තිබෙනවා. ‘පොළොව ස්වකීය වර්ධනය දෙන්නේය. දෙවි එනම් අපේම දෙවි අපට ආශීර්වාද කරන්නේය.’ (ගීතාවලිය 67:6) ඒ කාලයේදී මිහිතලයේ තිබෙන ගස් වැල්, ඇළ දොළ, ගංගා, මුහුදු හා කඳු හෙල් ප්‍රීතියෙන් පිනා යයි. (ගීතාවලිය 96:11-13; 98:7-9) පොළොවේ සෑම තැනකම සාරවත් වගා බිම් දැකිය හැකියි. එමෙන්ම නානාවිධ කුරුල්ලන්, සිත් ගන්නා සතුන් හා මිත්‍රශීලී ජනයා එහි වාසය කරයි.

පාරාදීසය වැඩි ඈතක නෙවෙයි

යෙහෝවා දෙවි පොරොන්දු කර තිබෙන ආකාරයට පොළොව පාරාදීසයක් වන කාලය වැඩි ඈතක නෙවෙයි. දෙවිගේ මේ පොරොන්දුව ගැන පේතෘස් මෙසේ ලිව්වා. “ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද ඔහුගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.” (2 පේතෘස් 3:13) මෙම වචනවලට අනුව දැන් තිබෙන අහස හා පොළොව පහ වී ගොස් ඒ වෙනුවට අලුත් අහසක් හා අලුත් පොළොවක් ඇති වෙයි කියා සමහරුන් සිතන්න පුළුවන්. එහෙත් ඇත්තටම එවැනි දෙයක් වෙයිද?

“අලුත් අහස” යන්නෙන් අදහස් කරන්නේ භෞතික අහස නෙවෙයි. (ගීතාවලිය 19:1, 2) පේතෘස් මෙහිදී “අහස” යන්නෙන් අදහස් කළේ මිනිස් ආණ්ඩුයි. අහස පොළොවට වඩා ඉහළින් තිබෙන්නා සේම මිනිස් ආණ්ඩු පොදු ජනයාට ඉහළින් සිට ඔවුන්ව පාලනය කරයි. (2 පේතෘස් 3:10-12) මිනිසුන්ව සාර්ථකව පාලනය කිරීමට එම ආණ්ඩු අසමත් වී තිබෙනවා. ඒවා ළඟදීම පහ වී යෑමට නියමිතයි. (යෙරෙමියා 10:23; දානියෙල් 2:44) ඉන්පසු මේ පොළොව පාලනය කරන්නේ “අලුත් අහස” හෙවත් දෙවිගේ ආණ්ඩුව මගිනුයි. මෙහි රජු ලෙස දෙවි පත් කර තිබෙන්නේ යේසුස්වයි. පොළොවෙන් තෝරාගනු ලබන 1,44,000දෙනෙක්ද ඔහු සමඟ පාලනයට හවුල් වෙනවා.—රෝම 8:16, 17; එළිදරව් 5:9, 10; 14:1, 3.

පේතෘස් “අලුත් පොළොවක්” ගැනද සඳහන් කළා. ඉන් අදහස් කරන්නේ දෙවි දැන් තිබෙන පොළොව විනාශ කර අලුත් පොළොවක් මවනවා කියන එක නෙවෙයි. යෙහෝවා දෙවි මේ පොළොව මැව්වේ මිනිසුන්ට සදාකාලයටම ජීවත් විය හැකි ස්ථානයක් ලෙසයි. (ගීතාවලිය 104:5) ඇතැම් අවස්ථාවලදී බයිබලයේ “පොළොව” කියා සඳහන් කරද්දී ඉන් අදහස් කරන්නේ ජනයාවයි. (උත්පත්ති 11:1) දෙවි ළඟදීම විනාශ කරන්න යන පොළොවෙන් අදහස් කරන්නේ දුෂ්ට මිනිස් සමාජයයි. මේ හා සමාන දෙයක් නෝවාගේ දවස්වලදීද සිදු වුණා. දෙවි ඒ කාලයේ සිටි දුෂ්ට මිනිසුන්ව ජලගැල්මක් මගින් විනාශ කර දැමුවා. (2 පේතෘස් 3:5-7) එසේනම් ‘අලුත් පොළොවෙන්’ අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් කරන්නේ සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන ‘අවංක සිත් ඇති’ අයගෙන් සමන්විත අලුත් මිනිස් සමාජයක්. (ගීතාවලිය 125:4; 1 යොහන් 2:17) මේ “අලුත් පොළොව” හෙවත් අලුත් මිනිස් සමාජය, “අලුත් අහස” හෙවත් දෙවිගේ ආණ්ඩුවේ යටත්වැසියන් වෙනවා. මොවුන් ඒ ආණ්ඩුවෙන් ලැබෙන සියලුම උපදෙස් හා මඟ පෙන්වීම් ක්‍රියාවට නඟයි.

සැබෑ වෙනසක්!

යෙහෝවා දෙවි මුලින්ම මිනිසුන්ට ලබා දුන්නේ අලංකාර නිවසක් බඳු පොළොවක්. එහි සෑම දෙයක්ම සාදා නිම කිරීමෙන් පසු, ‘සියල්ලම ඉතා යහපත්ව තිබේ’ කියා ඔහු පැවසීමෙන් පෙනී යන්නේ පොළොව කිසිවකින් අඩුවක් නැති පරිපූර්ණ තත්වයක තිබූ බවයි. (උත්පත්ති 1:31) කෙසේවෙතත් සාතන් දෙවිට අකීකරු වීමට ආදම් සහ ඒවව පෙලඹුවා. (උත්පත්ති 3:1-5; එළිදරව් 12:9) එහි ප්‍රතිඵලයක් ලෙස පාරාදීස පොළොවේ ජීවත් වීම අහිමි වුණා. එහෙත් නැවතත් ධර්මිෂ්ඨ මිනිසුන්ට “සැබෑ ජීවිතය” වන “සදාකාල ජීවනය” ලබා දීමට දෙවි ඉක්මනින් පියවර ගන්නවා. (1 තිමෝති 6:12, 19) ඒ කාලයේදී ඔවුන් අද්දකින ආශීර්වාදවලින් සමහරක් ගැන දැන් අපි සලකා බලමු.

යේසුස් අවුරුදු දහසක් පොළොව පාලනය කරන අතර, ඒ කාලයේදී මිනිසුන්ට කිසිම දුකක් ඇති කිරීමට නොහැකි වන ලෙස සාතන්ව ක්‍රියා විරහිත කරනවා. මේ ගැන යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් මෙසේ සඳහන් කළා. “දේවදූතයෙකු [එනම් දේවදූතයන්ගේ ප්‍රධානියා වන මිකායෙල් හෙවත් යේසුස්] අගාධයේ යතුරද මහත් දම්වැලක්ද අතැතිව, ස්වර්ගයෙන් බැස එනවා මම දුටිමි. ඔහු මකරාව, එනම් යක්ෂයාද සාතන්ද වන මුල් සර්පයාව අල්ලා අවුරුදු දහසකට බැඳ තැබුවේය. අවුරුදු දහස අවසන් වන තුරු, ඔහු ජාතීන්ව තවත් නොමඟ නොයවන පිණිස, ඔහුව අගාධයට හෙළා, එය වසා මුද්‍රා කළේය.” (එළිදරව් 20:1-3; 12:12) මිනිසුන්ට කිසිම බලපෑමක් කිරීමට සාතන්ට නොහැකි වන ඒ කාලයේදී දෙවිගේ ආණ්ඩුවේ යටත්වැසියන් බොහෝ ආශීර්වාද අද්දකිනවා.

දුෂ්ටකම්, අපරාධ හා යුද්ධ නැහැ. මේ ගැන දෙවි බයිබලයේ මෙසේ පොරොන්දු කර තිබෙනවා. “තව ටික කලකින් දුෂ්ටයා නැත්තේය; එසේය, ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂා කර බලන්නෙහිය; ඔහු නැත්තේය. එහෙත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය. ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය.” (ගීතාවලිය 37:10, 11, 29) යෙහෝවා දෙවි “පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය.” (ගීතාවලිය 46:9) සාමය හා ආරක්ෂාව ගැන ඊටත් වඩා සහතිකයක් දිය හැකිද!

පෝෂ්‍යදායී හා ප්‍රණීත ආහාර බහුලව තිබෙයි. මේ ගැන පුරාණයේ විසූ ගීතිකාකරුවෙක් මෙසේ පැවසුවා. “කඳු මත ගොයම් ලෙළ දේවා! ධාන්‍ය බහුලව ඉතිරේවා!” (ගීතාවලිය 72:16, නව අනුවාදය) ඒ කාලයේදී කිසිම කෙනෙක් කුසගින්නෙන් සිටින්නේ නැහැ.

කිසිවෙක් ලෙඩ රෝගවලින් දුක් විඳින්නේ නැහැ. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 33:24 පැරණි අනුවාදය; 35:5, 6) යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී ලාදුරු රෝගීන්ව, කොර අයව හා අන්ධ අයව සුව කළා. (මතෙව් 9:35; මාක් 1:40-42; යොහන් 5:5-9) ඔහු මේ පොළොව පාලනය කරන කාලයේදී මිනිසුන් අද්දකින සහනය ගැන සිතා බලන්න! කොර, අන්ධ, ගොළු හා බිහිරි සෑම කෙනෙක්ම සුවය ලබන ඒ කාලය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වෙයිද!

කීකරු මිනිසුන් හැම අතින්ම පරිපූර්ණ තත්වයට පත් වන ඒ කාලයේදී කිසිවෙක් මහලු වන්නේ නැහැ. ඇස් කණ්ණාඩි, සැරයටි, කිහිලි කරු, රෝද පුටු, රෝහල් හා බෙහෙත් තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ. අපේ යෞවන වියේ ශක්තිය නැවත ලැබෙන විට අප අද්දකින වෙනස ගැන සිතා බලන්න! (යෝබ් 33:25) සුවදායී නින්දකින් පසුව ඔබ සෑම උදෑසනකම අවදි වන්නේ දවස ප්‍රීතියෙන් ආරම්භ කරන්නයි.

මිය ගොස් සිටින අපේ පවුලේ අයව හා හිත මිතුරන්ව දෙවි නැවත නැඟිටුවන විට ඔවුන්ව දැකීමෙන් අප ලබන්නේ මොන තරම් ප්‍රීතියක්ද! (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) ආබෙල්, නෝවා, ආබ්‍රහම්, සාරා, යෝබ්, මෝසෙස්, රූත්, දාවිත්, එලියා, එස්තර් ඇතුළු තවත් බොහෝ ඇදහිලිවන්තයන්ව යළි දැකගන්න ලැබෙන විට අපට මොන තරම් ප්‍රීතියක් දැනේවිද! ඔවුන් විතරක් නෙවෙයි, තවත් මිලියන ගණනක් නැවත නැඟිටිනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මිය යන්න කලින් යෙහෝවා දෙවි ගැන දැනගෙන සිටියේ නැති අයයි. නමුත් ඔවුන් නැවත නැඟිටීමෙන් පසු ඔවුන්ට දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් ඔහුගේ පුත්‍රයා වන යේසුස් ගැනත් කියා දීමට ආශාවෙන් සිටින අය ඔවුන්ව ප්‍රීතියෙන් පිළිගන්නවා. මෙලෙස නැවත නැඟිටින සැමෝම යෙහෝවා දෙවි ගැන දැනුම ලබාගන්නවා. ඉන්පසු මේ පොළොවේ සිටින්නේ දෙවි පිළිබඳ දැනුමක් ලබා තිබෙන අය පමණයි.

වඩාත්ම වැදගත් දෙය වන්නේ අපට එකම සැබෑ දෙවිට සදාකාලයටම නමස්කාර කරන්න හැකිවීමයි. ‘යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කිරීමේ’ වරප්‍රසාදය අපි ඒ කාලයේදී භුක්ති විඳිනවා. අපි සියලුදෙනාම එකට එක්සත්ව සහයෝගයෙන් නිවෙස් ගොඩනැඟීමේ හා වගා කිරීමේ කාර්යයේ හවුල් වෙනවා. මෙයාකාරයෙන් මුළු පොළොවම පාරාදීසයක් කරන්න අපට හැකි වෙයි. (ගීතාවලිය 100:1-3; යෙසායා 65:21-24) සාමකාමී ජනයා වෙසෙන අලංකාර පාරාදීසයක සදාකල් ජීවත් වෙන්න ලැබීම මොන තරම් ප්‍රීතියක්ද! මෙයින් යෙහෝවා දෙවිගේ ශුද්ධ නාමය ඉමහත් සේ ගෞරවයට පත් වෙයි.—ගීතාවලිය 145:21; යොහන් 17:3.

අවසන් පරීක්ෂණය

යේසුස් මේ පොළොව පාලනය කරන අවුරුදු දහසේදී දෙවිට කීකරු සියලුම මිනිසුන් යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබනවා. අවසානයේදී සියලුදෙනාම ආදම් සහ ඒව පව් කිරීමට කලින් සිටි පරිපූර්ණ තත්වයට පත් වෙයි. (1 යොහන් 2:2; එළිදරව් 21:1-4) ආදම්ගෙන් උරුම වී තිබූ පාපයෙන් ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් වන අතර සෑම ආකාරයකින්ම දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ඔවුන් ජීවත් වෙයි. මෙසේ ඔවුන් දෙවි මුලින්ම අරමුණු කළ “ජීවනයට පැමිණෙයි.” (එළිදරව් 20:5) මිනිසුන් යළිත් පරිපූර්ණත්වයට පැමිණීමෙන් හා මුළු පොළොවම පාරාදීසයක් වීමෙන් යෙහෝවා දෙවි ඉමහත් ගෞරවයට පත් වෙයි.

යේසුස්ගේ දහස් අවුරුදු පාලනයෙන් ටික කලකට පසු සාතන්ව හා භූතයන් බවට පත් වූ දේවදූතයන්ව අගාධයෙන් නිදහස් කරනවා. (එළිදරව් 20:1-3) දෙවිගෙන් මිනිසුන්ව ඈත් කිරීම සඳහා සාතන්ට අවසන් වරටත් අවස්ථාවක් ලබා දෙනවා. සමහරුන් වැරදි ආශාවන්ට ඉඩ දී දෙවිට අකීකරු වුණත් සෑම කෙනෙක්ම එසේ වන්නේ නැහැ. වැරදි ආශාවන්ට ඉඩ දෙන අයවත් සාතන් හා භූතයන්වත් යෙහෝවා දෙවි විනාශ කර දමයි. ඉන්පසු මේ පොළොවේ කවදාවත් දුෂ්ටකම් තිබෙන්නේ නැහැ. දුෂ්ටයන් සදහටම විනාශ වන අතර ධර්මිෂ්ඨයන් මේ පොළොව සදහටම උරුම කරගන්නවා.—එළිදරව් 20:7-10.

ඔබත් එහි සිටීවිද?

යෙහෝවා දෙවිට ප්‍රේම කරන අයට සදාකාලික අනාගතයක් තිබෙනවා. පාරාදීසයේ සදාකල් ජීවත් වීම නීරස වන්නේ නැහැ. පාරාදීසයේ ගත කරන සෑම දවසක්ම ප්‍රීතිමත් දවසක් වනවාට සැකයක් නැහැ. මන්ද යෙහෝවා දෙවි ගැන දැනුම ලබාගැනීමට සීමාවක් නැහැ. (රෝම 11:33) ඔබට සැමදාම අලුත් දේවල් ඉගෙනගන්න තිබුණත්, ඊට කාලය බාධාවක් නොවන්නේ ඔබ අවුරුදු 70ක් හෝ 80ක් වැනි කෙටි කාලයක් නොව සාදාකාලයක් ජීවත් වන නිසයි.—ගීතාවලිය 22:26; 90:10; දේශනාකාරයා 3:11.

ඔබ යෙහෝවා දෙවිට ඇත්තටම ප්‍රේම කරනවා නම් ඔබ ඔහුගේ කැමැත්ත කරන්නේ සතුටින්. යොහන් මෙසේ පැවසුවා. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ.” (1 යොහන් 5:3) යෙහෝවා දෙවි ප්‍රසන්න කරන දේවල් කිරීමෙන් ඔබව නතර කිරීමට කිසිම දෙයකට ඉඩ දෙන්න එපා. බයිබලයේ පොරොන්දු කර තිබෙන ප්‍රීතිමත් බලාපොරොත්තුව ඔබේ සිතේ නිතරම තබාගන්න. යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට අදිටන් කරගන්න. ඔහු පෙන්වා තිබෙන මාර්ගයෙන් කිසිමදාක ඉවත් නොවන්න. ඔබ එසේ කරනවා නම් යෙහෝවා මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන කාලයේදී ඔබටත් එහි සදාකල් වාසය කරන්න හැකි වෙනවා නිසැකයි.

[4වන පිටුවේ පින්තූරය]

දෙවිගේ ආශීර්වාද ලැබුණු නිසා ඊශ්‍රායෙලයේ කෙත්වතුවලින් බහුල අස්වැන්නක් ලැබුණා

[7වන පිටුවේ පින්තූරය]

පාරාදීසයේදී ඔබ භුක්ති විඳින්න කැමති මොනවාද?