Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“සියලු ජාතීන් ආශා කරන දේ” දෙවිගේ සැබෑ නමස්කාර ‘ගෘහයට’ පැමිණීමට මඟ පාදන්නේ කුමක්ද?—හග්ගයි 2:7.

අනාගතවක්තෘ හග්ගයි මාර්ගයෙන් යෙහෝවා මෙසේ පුරෝකථනය කළා. “සියලු ජාතීන්ද සොලවන්නෙමි; සියලු ජාතීන් ආශා කරන දේ පැමිණෙන්නේය; මේ ගෘහය තේජසින් පුරවන්නෙමි.” (හග්ගයි 2:7) ජාතීන් අතරෙන් “ආශා කරන දේ” හෙවත් අවංක අය සැබෑ නමස්කාරකයන් බවට පත් වන්නේ ‘සියලු ජාතීන්ව සෙලවීමේ’ ප්‍රතිඵලයක් ලෙසද? නැහැ.

ජාතීන්ව සෙලවීම යන්නෙන් අදහස් කරන දේ හා එයින් ඇති වන ප්‍රතිඵලය ගැන බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් ගැන සිතත්ද?” (ගීතාවලිය 2:1) ජාතීන් සිතන ‘නිෂ්ඵල දෙය’ වන්නේ ඔවුන්ගේ පාලන බලය සැමදා රැකගත හැකියි කියායි. ජාතීන්ව කැලඹීමට හෝ සෙලවීමට හැක්කේ ඔවුන්ගේ පාලන බලයට තර්ජනයක් ඇති කළ හැකි දෙයකින් පමණයි.

දැනටමත් ස්ථාපිත කර තිබෙන දේවරාජ්‍යය ගැන ලොව පුරාම සිටින ජනයාට යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කිරීම ජාතීන්ට මහත් තර්ජනයක් වී තිබෙනවා. දේවරාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස් නුදුරු අනාගතයේදී ‘සියලු [මිනිස්] රාජ්‍යයන් කැබලි කොට විනාශ කර දමනවා.’ (දානියෙල් 2:44) අප ප්‍රකාශ කරන පණිවිඩයට දෙවි ගෙනෙන විනිශ්චයත් ඇතුළත් වන අතර එය ජාතීන් තුළ මහත් සෙලවීමක් ඇතිවීමට හේතු වෙනවා. (යෙසායා 61:2) දේශනා සේවය වඩාත් පුළුල් ලෙස කරන විට ජාතීන් තුළ ඇති වන කැලඹීම හෙවත් සෙලවීම තවත් වැඩි වෙනවා. ඒත් හග්ගයි 2:7හි පවසා තිබෙන සෙලවීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

හග්ගයි 2:6හි මෙසේ පවසා තිබෙනවා. “සේනාවන්ගේ යෙහෝවා මෙසේ කියන්නේය: තව ටික කලකින් මම තව වරක් ආකාශය හා පොළොවත් මුහුද හා ගොඩත් සොලවන්නෙමි.” මෙම වචන උපුටා දක්වමින් පාවුල් මෙසේ පැවසුවා. “‘මම නැවත වරක් පොළොව පමණක් නොව ස්වර්ගයත් කලඹවන්නෙමි’ කියා පොරොන්දු වී තිබේ. ‘නැවත වරක්’ යන කියමනින් අඟවන්නේ, සොලවනු නොලබන දේවල් [එනම්, දේවරාජ්‍යය] පවතින පිණිස, සොලවනු ලබන දේවල්, එනම් සාදන ලද දේවල් ඉවත් වන බවය.” (හෙබ්‍රෙව් 12:26, 27) ඉදිරියේදී දෙවිගේ රාජ්‍යයට මේ පොළොව පාලනය කිරීමට හැකි වන පිණිස දැන් තිබෙන සියලුම රාජ්‍යයන් සොලවා නැති කර දැමීමට නියමිතයි.

අවංක ජනයා සැබෑ නමස්කාරය වෙත ඇදී එන්නේ ජාතීන්ව සෙලවීමකට ලක් වන නිසා නොවෙයි. අවංක ජනයාව යෙහෝවා දෙවි වෙත සහ ඔහුගේ සැබෑ නමස්කාරය වෙත ඇදී ඒමට හේතු වන්නෙත් ජාතීන්ව සොලවනු ලබන්නෙත් ලෝක ව්‍යාප්තව කෙරෙන දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රකාශ කිරීම මගිනුයි. ‘ප්‍රීතිමත් පණිවුඩයක්’ ලෙස ප්‍රකාශ කරනු ලබන ‘සදාකාල ශුභාරංචිය’ කෙරෙහි සිත යොමු කරන අය සැබෑ දෙවිට නමස්කාර කිරීම සඳහා ඇදී එයි.—එළිදරව් 14:6, 7.

රාජ්‍ය පණිවිඩය එක අතකින් ගැලවීමේ පණිවිඩයක් වන අතර තවත් අතකින් විනිශ්චයේ පණිවිඩයක්ද වෙනවා. (යෙසායා 61:1, 2) මෙම පණිවිඩය ලොව පුරා දේශනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට කාරණා දෙකක් ඉටු වෙනවා. එක් දෙයක් වන්නේ ජාතීන්ව සෙලවීමකට ලක්වීමයි. අනෙක් දෙය වන්නේ ජාතීන් අතරෙන් ආශා කරන දේවල්, එනම් අවංක අය සැබෑ නමස්කාරයට ඇදී ඒමයි. මෙමගින් යෙහෝවාගේ තේජස තව තවත් වැඩි වෙයි.