Skip to content

පටුනට යන්න

පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

ලස්සන මල් වත්තක සිරි නරඹමින් ඇවිද යන විට ඔබේ සිතට ඉමහත් ප්‍රීතියක් හා ප්‍රබෝධයක් දැනෙන්නේ ඇයි? කඩා හැළෙන දිය ඇල්ලක් හෝ මීදුමෙන් වැසී තිබෙන කඳු වළල්ලක් දෙසට ඔබේ නෙත් නිරායාසයෙන්ම ඇදී යන්නේ ඇයි? කුරුල්ලන්ගේ කිචි බිචි හඬ අසන්න අපි එතරම් ප්‍රිය කරන්නේ ඇයි? පිල් විදහාගෙන නටන මොනරෙකුගේ ප්‍රියකරු නැටුම බලා සිටින්න අපි ආශා කරන්නේ ඇයි?

එවැනි පරිසරයක ජීවත් වීමට අප තුළ සහජ ආශාවක් තිබෙනවා. මේ නිසයි අපි එවැනි දේවලට ප්‍රිය කරන්නේ. මේ ආශාව අපිට ලැබුණේ අපේ මුල් දෙමව්පියන් වන ආදම් සහ ඒවගෙන්. ඔවුන් ජීවිතය ආරම්භ කළේ එවැනි පරිසරයකයි. ඔවුන් තුළ එවැනි ආශාවක් ඇති කළේ ඔවුන්ට ජීවිතය දුන් යෙහෝවා දෙවියි. මේ නිසා පාරාදීසයක ජීවත් වීමට අපි කවුරුත් කැමති බව දෙවි දන්නවා.

යෙහෝවා දෙවි මේ පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට ‘වාසය කිරීම’ සඳහායි. (යෙසායා 45:18) සියලුම සැප පහසුකම්වලින් යුත් අලංකාර නිවසක් බඳු පාරාදීසය ආදම් සහ ඒවට ලබා දුන්නේ “පොළොව සෑදූ” යෙහෝවා දෙවියි. (යෙරෙමියා 10:12; උත්පත්ති 2:7-9, 15, 21, 22) ඒදන් උයන කියා හැඳින්වූ ඒ පාරාදීසයේ මොන තරම් ප්‍රීතියෙන් ඔවුන් ජීවිතය භුක්ති විඳින්න ඇද්ද! ඇළ දොළ, ගංගා, දසත සුවඳ විහිදුවන නානාවිධ මල් වර්ග හා තුරුලතාදිය ඒදන් උයන අලංකාර කළා. ගුවන සිසාරා පියාසර කරන කුරුළු රෑන් නිතර දැකගත හැකි දසුනක් වුණා. නිදැල්ලේ එහෙ මෙහෙ දුව පැන ඇවිදින සිවුපාවුන් උයනේ අලංකාරය තවත් වැඩි කළා. මේ සතුන් හානි කරයිදෝ කියා බිය වෙන්න අවශ්‍ය වුණේ නැහැ. නිල් කැට වන් දිය දහරාවේ පීනා යන මසුන් දැකගත හැකි වුණා. පාරාදීසය වඩාත් ප්‍රියකරු තැනක් වූයේ ආදම් ඒව ප්‍රීතියෙන් එකට කල් ගෙවූ නිසයි. දූ දරුවන් බිහි කරමින් මේ පාරාදීස නිවස පොළොව පුරා ව්‍යාප්ත කිරීමේ කාර්යය ඔවුන්ට පැවරී තිබුණා. මෙලෙස තම දූ දරුවන් සමඟින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ ප්‍රස්තාව ඔවුන්ට තිබුණා.

අද පොළොව පාරාදීසයක් නොවුණත් සන්තෝෂයෙන් ජීවත් විය හැකි අලංකාර නිවසකට එය සමාන කළ හැකියි. දෙවි අපිට දී තිබෙන මේ අලංකාර නිවසේ අපට ආලෝකය, උණුසුම, ජලය සහ ආහාර අවශ්‍ය ප්‍රමාණයට තිබෙනවා. දිවා කාලයේදී හිරු රශ්මියෙන් ලැබෙන උණුසුමටත් රාත්‍රි කාලයේදී චන්ද්‍රයාගෙන් ලැබෙන සෞම්‍ය ආලෝකයටත් අපි කොතරම් ප්‍රිය කරනවාද! (උත්පත්ති 1:14-18) විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ඉන්ධන පොළෝ ගැබේ තිබෙනවා. ඇළ දොළ, ගංගා හා මුහුදු මෙන්ම ජල චක්‍රය නිසා අපට අවශ්‍ය තරම් ජලය ලැබෙනවා. නිල්වන් තණකොළ දිස් වන්නේ හරියට පොළොවේ එළා තිබෙන අලංකාර බුමුතුරුණක් වගෙයි.

නිවසක එදිනෙදාට අවශ්‍ය ආහාර රැස් කර තිබෙනවා වගේ පොළොවේද බහුල ලෙස ආහාර තිබෙනවා. විවිධ ධාන්‍ය වර්ග හා පලතුරු වර්ග වගා කිරීමට අවශ්‍ය ‘සාරවත් කාලවල් දීමෙන්’ යෙහෝවා දෙවි ‘කෑමෙන්ද ප්‍රීතියෙන්ද අපේ සිත් සම්පූර්ණයෙන් තෘප්තිමත්’ කර තිබෙනවා. (ක්‍රියා 14:16, 17) දැනටමත් පොළොව සැප පහසුකම්වලින් පිරි නිවසක් හා සමානයි කියා පැවසිය හැකියි. “සන්තෝෂවත් දෙවි” කියා හඳුන්වා තිබෙන යෙහෝවා පොළොව පාරාදීසයක් කරන කාලයේදී එය මොන තරම් අලංකාර නිවසක් වෙයිද!—1 තිමෝති 1:11.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Earth: NASA photo; Stars: NASA, ESA and AURA/​Caltech