Skip to content

පටුනට යන්න

බයිබලය සරල භාෂාවෙන් ජනයා අතට පත් කළ නිර්භීත මිනිසෙක්

බයිබලය සරල භාෂාවෙන් ජනයා අතට පත් කළ නිර්භීත මිනිසෙක්

බයිබලය සරල භාෂාවෙන් ජනයා අතට පත් කළ නිර්භීත මිනිසෙක්

ඔහු සිය අවසන් හුස්ම හෙළුවේ දරාගත නොහැකි අධික ශීත දේශගුණයක් පවතින නැඟෙනහිර සයිබීරියාවේදීයි. ඔහු බොහෝ නින්දා අපහාසවලට ලක් වූ පුද්ගලයෙක්. ඔහු තමා ජීවත් වූ කාලයේ විසූ ග්‍රීක ජාතිකයන්ට බයිබලය හොඳින් තේරුම්ගැනීමට උපකාර කරමින් විශාල මෙහෙයක් ඉටු කළ පුද්ගලයෙක්. කෙසේවෙතත් ඔහුව එලෙස සලකන්නේ ටිකදෙනෙක් පමණයි. බොහෝදෙනෙකුට අමතක වී තිබෙන සෙරෆිම් නම් මේ පුද්ගලයා බයිබලය ජනයා අතට පත් කිරීමට නිර්භීතව උත්සාහ කළා. මොහුගේ මරණයට හේතු වූයේද එම උත්සාහයයි.

සෙරෆිම් ජීවත් වූයේ ග්‍රීසිය, තුර්කි අධිරාජ්‍යයේ පාලනය යටතේ පැවති කාලයේදීයි. ග්‍රීක ඕතඩොක්ස් ආගමේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ජෝර්ජ් මෙටාලීනොස් මෙසේ සඳහන් කළා. ‘ඒ කාලයේදී අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය තරම් පාසැල් තිබුණේ නැහැ. එනිසා බොහෝදෙනෙකුට හොඳ අධ්‍යාපනයක් ලබාගත නොහැකි වුණා.’ පූජකයන්ට පවා හොඳ අධ්‍යාපනයක් ලැබුණේ නැහැ.

බයිබලයේ මතෙව් සිට එළිදරව් දක්වා පොත් ලියා තිබූ ග්‍රීක භාෂාව සහ සෙරෆිම්ගේ කාලයේ විසූ සාමාන්‍ය ජනයා භාවිත කළ ග්‍රීක භාෂාව අතර විශාල වෙනසක් තිබුණා. ඒ කාලයේ ජනයා භාවිත කළ ග්‍රීක භාෂාව ප්‍රදේශවලට අනුව වෙනස් වුණා. මේ භාෂා දෙක අතර කොතරම් වෙනසක් තිබුණාද කියනවා නම් අධ්‍යාපනය ලබා නොතිබූ අයට එය කොහොමටවත් තේරුම්ගත නොහැකි වුණා. තෝරාගත යුතු භාෂාව සම්බන්ධයෙන් මතභේද ඇති වූ අවස්ථාවේදී ග්‍රීක ඕතඩොක්ස් පල්ලිය පැරණි ග්‍රීක භාෂාවට වැඩි කැමැත්තක් දැක්වූවා.

එවන් තත්වයක් පැවති කාලයකදී ග්‍රීසියේ ලෙස්බොස් දිවයිනේ විසූ නම්බුකාර පවුලක පුතෙක් 1670දී උපත ලැබුවා. දෙමාපියන් ඔහුට දුන් නම වූයේ ස්ටෙෆනොස් ඊයොනියස් පොගොනාටොස්. මෙම දිවයිනේ වාසය කළ බොහෝදෙනෙක් දිලිඳු වූ අතර අධ්‍යාපනය ලබා සිටියේද නැහැ. එහි අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොතිබූ නිසා ස්ටෙෆනොස්ට ඔහුගේ මූලික අධ්‍යාපනය ලබාගැනීම සඳහා ආශ්‍රමයකට යෑමට සිදු වුණා. බාල වයසේදීම ඔහුව ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේ උපපූජකයෙක් ලෙස පත් කරනු ලැබුවා. ඉන්පසු ඔහුව හැඳින්වූයේ සෙරෆිම් යන නමින්.

දැනුම ලබාගැනීමට සෙරෆිම් තුළ තිබූ ඉමහත් ආශාව නිසා ඔහු 1693දී කොන්ස්තන්තිනෝපල් නගරයට ගියා. (තුර්කියේ ඉස්තාන්බුල් කියා දැන් හඳුන්වන්නේ මේ නගරයයි.) ඔහුගේ දක්ෂතා නිසා ඔහු ග්‍රීසියේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන්ගේ ගෞරවය දිනාගත්තා. රහසිගත ග්‍රීක ජාතිවාදී සංවිධානයක් විසින් ඔහුව නියෝජිතයෙක් හැටියට රුසියාවේ මහා පීටර් රජුව හමුවීමට යැව්වා. ඔහු රුසියාවට ගිය මේ ගමනේදී ඔහුට යුරෝපයේ රටවල් කිහිපයකද සංචාරය කිරීමට හැකි වුණා. එම රටවල සිදු වෙමින් තිබූ ආගමික වෙනස්කම් හා මිනිසුන්ගේ ආකල්පවල වෙනස්කම් ඔහුගේ අවධානයට ලක් වුණා. ඔහු 1698දී එංගලන්තයට ගිය ගමනේදී ලන්ඩනයේ සහ ඔක්ස්ෆර්ඩ්වල සිටි වැදගත් පුද්ගලයන්ව හමුවීමට ඔහුට අවස්ථාවක් ලැබුණා. එහිදී ඔහුට එංගලන්ත සභාවේ අගරදගුරුවද හමු වුණා. මෙම හමුවීම ඔහුට පසුවට ඉමහත් සේ ප්‍රයෝජනවත් වුණා.

බයිබලයක් ප්‍රකාශයට පත් කරයි

“අලුත් ගිවිසුම” හෙවත් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල ග්‍රීසියේ විසූ අයට පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයෙන් සරල බසින් ලබා දීම අවශ්‍යයි කියා සෙරෆිම් එංගලන්තයේ සිටි කාලයේදී තීරණය කළා. ඔහු ජීවත් වූ කාලයට අවුරුදු පනහකට කලින් මැක්සිමස් නම් පූජකයා විසින් කරන ලද පරිවර්තනය යොදාගනිමින් ඔහු අලුත්, නිවැරදි හා පහසුවෙන් තේරුම්ගත හැකි පරිවර්තනයක් ප්‍රකාශයට පත් කිරීමට පටන්ගත්තා. ඔහු මහත් උනන්දුවෙන් එම කාර්යය පටන්ගත්තත් එය නිම කිරීමට අවශ්‍ය මුදල් ඔහුට තිබුණේ නැහැ. එහෙත් එංගලන්ත සභාවේ අගරදගුරු මේ සඳහා අවශ්‍ය අරමුදල් ලබා දීමට පොරොන්දු වූ නිසා ඔහුට එය නිම කළ හැකියි කියා සිතුවා. මෙයින් දිරිමත් වූ සෙරෆිම් කඩදාසි මිල දී ගෙන මුද්‍රණකරුවෙකුගේ උපකාරය ඇතුව කටයුතු සැලසුම් කරගත්තා.

කෙසේවෙතත් මුද්‍රණය කිරීමට හැකි වූයේ ලූක් ශුභාරංචියේ භාගයක් දක්වා පමණයි. එංගලන්තයේ සිදු වූ දේශපාලනික වෙනස්කම් නිසා අගරදගුරු, සෙරෆිම්ට අරමුදල් දීම නතර කළා. නමුත් මෙයින් පසුබට නොවූ සෙරෆිම් ධනවතුන්ගේ උපකාරය ඇතිව මෙම බයිබලය 1703දී ප්‍රකාශයට පත් කළා. මේ සඳහා වැය වූ මුදලින් භාගයක්ම දැරුවේ විදේශ රටවල ශුභාරංචිය පතළ කිරීමට අනුබල දෙන සමිතියක් විසිනුයි.

මැක්සිමස්ගේ පරිවර්තනය කාණ්ඩ දෙකකින් සමන්විත වුණා. එහි මුල්ම ග්‍රීක පිටපත්ද ඇතුළත් කර තිබුණා. මේ නිසා ඔහු පරිවර්තනය කළ බයිබලය විශාල වූ අතර බරින්ද වැඩි වුණා. එහෙත් සෙරෆිම් එය යොදාගෙන කළ සංශෝධිත පරිවර්තනය කුඩා අකුරින් මුද්‍රණය කළ නිසා ඔහුගේ බයිබලය කුඩා වුණා. එහි තිබුණේ එවකට භාවිත කළ ග්‍රීක භාෂා පරිවර්තනය විතරයි. එමෙන්ම එහි මිලද අඩුයි.

මතභේද උග්‍ර වෙයි

සෙරෆිම්ගේ පරිවර්තනය ගැන ජෝර්ජ් මෙටාලීනොස් මෙසේ සඳහන් කළා. “මෙම නව ප්‍රකාශනය මගින් ජනයාගේ අවශ්‍යතාවක් සපුරාලනු ලැබුවා කියා කිව හැකියි. එහෙත් ඔහු මෙහිදී බයිබල් පරිවර්තනයට විරුද්ධ වූ පූජකයන්ව විවේචනය කර තිබෙනවා.” බයිබලය පරිවර්තනය කිරීමට හේතුව ගැන සෙරෆිම් පෙරවදනේ මෙසේ සඳහන් කර තිබුණා. ‘විශේෂයෙන්ම මෙම බයිබලය පරිවර්තනය කළේ පැරණි ග්‍රීක භාෂාව තේරුම්ගැනීමට නොහැකි පූජකයන් සඳහායි. ඔවුන්ට දෙවිගේ බලයේ උපකාරය ඇතිව බයිබලයේ මුල් ලියවිලිවල සඳහන් යම් දේවල් තේරුම්ගෙන ඒවා සාමාන්‍ය ජනයාට පහදා දීමට මෙම පරිවර්තනය මහත් උපකාරයක් වේවි.’ (The Translation of the Bible Into Modern Greek—During the 19th Century) ඔහු සඳහන් කළ මේ දෙයින් පූජකයන් මහත් සේ කෝපයට පත් වුණා. මෙසේ ඔහු බයිබලය පරිවර්තනය කිරීම ගැන ග්‍රීක ඕතඩොක්ස් සභාවේ ඒ වන විටත් තිබූ මතභේද තවත් වැඩි වුණා.

ජනයාට දෙවි සමඟ හොඳ සම්බන්ධයක් ඇති කරගැනීමට හා යහපත් පුද්ගලයන් වීමට නම් දේවවචනයේ සඳහන් දේවල් කියවා තේරුම්ගැනීමට ඔවුන්ට හැකි විය යුතුයි කියා බයිබලය පරිවර්තනය කිරීමට පක්ෂව කතා කළ අය පැවසුවා. එමෙන්ම පූජකයන් බයිබලය පිළිබඳ දැනුම වැඩි කරගත යුතු බවත් එය ඕනෑම භාෂාවකට පරිවර්තනය කළ හැකි බවත් ඔවුන් විශ්වාස කළා.—එළිදරව් 7:9.

බයිබලය පරිවර්තනය කිරීමෙන් එහි ගුණය බාල කරන බවත් එහි සඳහන් දේවල් ඉගැන්වීම සඳහා සභාව සතු බලය නැතිවීමට එය හේතු වන බවත් බයිබලය පරිවර්තනය කිරීමට විරුද්ධ වූ අය කියා සිටියා. එහෙත් මොවුන් ඇත්තටම බිය වුණේ බයිබලය පරිවර්තනය කිරීමට පටන්ගැනීමෙන් ග්‍රීක ඕතඩොක්ස් පල්ලියට හිමි බලයට එය තර්ජනයක් විය හැකි නිසයි. බොහෝ පූජකයන් සිතුවේ තමන්ගේ අදහස්වලට විරුද්ධ වන අයට එරෙහි වීම තමන්ගේ වගකීමක් හැටියටයි. සාමාන්‍ය ජනයාට තේරුම්ගත හැකි ආකාරයට බයිබලය පරිවර්තනය කිරීමේදීද ඊට විරුද්ධ වුණේ ඒ නිසයි. මේ ආකාරයට බයිබලය පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඕතඩොක්ස් පල්ලිය හා ඔවුන්ට විරුද්ධ වූවන් අතර විශාල මතභේදයක් හටගත්තා.

සෙරෆිම් ඕතඩොක්ස් සභාවෙන් ඉවත් වීමට අදහස් නොකළද බයිබලය ගැන පූජකයන්ට දැනුමක් නොතිබීම ගැනත් ඔවුන් අසාධාරණ ලෙස ක්‍රියා කිරීම ගැනත් ඔහු නිර්භීතව කතා කළා. “අලුත් ගිවිසුම” සඳහා ඔහු ලියූ පෙරවදනේ මෙසේ සඳහන් වුණා. ‘යේසුස්ගේ අඩි පාරේ යමින් ඔහුගේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වීමට නම් දේවබියක් තිබෙන සෑම ක්‍රිස්තියානියෙකුම ශුද්ධ වූ බයිබලය කියවිය යුතුයි.’ බයිබලය කියවීම තහනම් කිරීම සෙරෆිම් සැලකුවේ සාතන්ගෙන් පැමිණෙන නියෝගයක් ලෙසයි.

පීඩා රැල්ලකට හසු වෙයි

සෙරෆිම්ගේ පරිවර්තනය ග්‍රීසියේ ජනයා අතට පත්වීම ගැන ග්‍රීක ඕතඩොක්ස් සභාව දැඩි සේ කෝප වුණා. ඔවුන් එය තහනම් කළ අතර එහි පිටපත්ද පුලුස්සා දැමුවා. එහි පිටපතක් ළඟ තබාගත් අයව සභාවෙන් නෙරපා දැමුවා. ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජකයෙකු වූ තුන්වන ගේබ්‍රියෙල් එය නොවටිනා දෙයක් ලෙස හඳුන්වා එහි පිටපත් බෙදාහැරීම තහනම් කළා.

සෙරෆිම් මෙම තත්වය හමුවේ බලාපොරොත්තු අත් නොහැර නැණවත් ලෙස ක්‍රියා කිරීමේ අවශ්‍යතාව තේරුම්ගත්තා. සභාව ඔහුගේ පරිවර්තනය තහනම් කර තිබුණද සමහර පූජකයන් සහ සාමාන්‍ය ජනයා එය ඉතා අගය කොට සැලකුවා. මේ නිසා එහි පිටපත් සාර්ථක ලෙස බෙදාහැරීමට ඔහුට හැකි වුණා. එහෙත් ඔහුගේ විරුද්ධවාදීන් එල්ල කළ පීඩා එතැනින් නතර වූයේ නැහැ.

මරණයට මුල් වූ හේතු

සෙරෆිම් බයිබලය බෙදාහැරීමේ කටයුතුවල නිරත වූවා පමණක් නොවෙයි, විප්ලවවාදී හා ජාතිවාදී සංවිධානවලටද සම්බන්ධ වී සිටියා. මේ සංවිධානවල කටයුතු සඳහා ඔහු 1704දී මොස්කව් නුවරට පැමිණියා. ඔහු රුසියාවේ මහා පීටර් රජුගේ විශ්වාසවන්ත මිතුරෙක් වුණා. මේ නිසා රුසියාවේ රාජකීය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණා. ඔහු පරිවර්තනය කළ බයිබලය ගැන සොයා බැලීම සඳහා 1705දී ඔහු නැවතත් කොන්ස්තන්තිනෝපල් නගරයට ගියා.

සෙරෆිම් 1705දී ඔහුගේ පරිවර්තනය දෙවන වරට මුද්‍රණය කළ අවස්ථාවේදී කලින් පෙරවදනේ තිබූ විවේචනාත්මක අදහස් ඉවත් කළා. ඒ වෙනුවට ඔහු බයිබලය කියවීමට පාඨකයන්ව දිරිගන්වමින් පෙරවදන යළි සකස් කළා. දෙවන මුද්‍රණය පුළුල් ලෙස බෙදාහරිනු ලැබුවා. මෙයට ආගමික නායකයන්ගෙන් විරෝධයක් එල්ල වූ බව වාර්තා වන්නේ නැහැ.

ග්‍රීක ජාතික සංචාරකයෙකු මෙන්ම බයිබලය පරිවර්තනය කිරීමට දැඩි සේ විරුද්ධ වූ ඇලෙක්සැන්ඩර් හිලෙඩියොස්ගෙන් සෙරෆිම්ට මහත් විරෝධයක් 1714දී එල්ල වුණා. හිලෙඩියොස් ලියූ පොතක (The Current Status of the Greek Church) බයිබල් පරිවර්තන මෙන්ම ඒවා පරිවර්තනය කළ අයව දැඩි සේ විවේචනය කළා. එම පොතේ සම්පූර්ණ පරිච්ඡේදයක්ම වෙන් කළේ සෙරෆිම් ගැන ලිවීමටයි. එහි ඔහුව සොරෙක්, වංචාකාරයෙක්, නූගත් කෙනෙක් හැටියට හංවඩු ගසා තිබුණා. ඇත්තටම එම චෝදනාවල සත්‍යයක් තිබුණාද? ස්ටිලියොනොස් බයිරාක්ටාරිස් නමැති ලේඛකයා සෙරෆිම් ගැන විද්වතුන් බොහෝදෙනෙක් පිළිගන්න දෙයක් ගැන මෙසේ පැවසුවා. ‘සෙරෆිම් දක්ෂ මෙන්ම ජනයාව දැනුවත් කිරීමට පෙරමුණ ගත් කෙනෙක්.’ ඇතැම් අය ඔහුට විරුද්ධ වුණේ ඔහුගේ සමකාලීනයන්ට වඩා ඔහු බුද්ධිමත් කෙනෙක් වූ නිසයි. කෙසේවෙතත් අවසානයේදී සෙරෆිම්ගේ මරණයට හේතු වුණේ හිලෙඩියොස් ඔහු ගැන සිය පොතේ සඳහන් කළ දේවලුයි.

සැකයට භාජන වෙයි

සෙරෆිම් 1731දී යළි රුසියාවට ගිය විට මහා පීටර් රජු මිය ගොස් සිටියා. මේ නිසා සෙරෆිම්ට රජයෙන් ආරක්ෂාවක් ලැබුණේ නැහැ. මහා පීටර් රජු වෙනුවට පත් වූ ඇනා ඉවැනැන්න රැජින ඇගේ පාලනය බිඳ වැටීමට හේතු විය හැකි ඕනෑම දෙයක් ගැන මහත් විමසිල්ලෙන් පසු වුණා. වර්ෂ 1732 ජනවාරි මාසයේදී සාන්ත පීටර්බර්ග් නගරයේ ග්‍රීක ඔත්තුකාරයෙක් රැජිනට විරුද්ධව යම් සැලසුම් දියත් කරන බවට බොරු ප්‍රචාරයක් පැතිරුණා. මෙහිදී සැක කළේ සෙරෆිම්වයි. ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා නයාෆස්කිහි පිහිටි ආරාමයකට ගෙන ගියා. සෙරෆිම් අපරාධ රැසකට වග කිව යුතු බව සඳහන් හිලෙඩියොස්ගේ පොතක් එහි තිබුණා. තමන්ට එල්ල කළ චෝදනා බොරු බව ඔප්පු කිරීමට ඔහු උත්සාහ කළා. මාස පහක් ඔහුගෙන් ප්‍රශ්න කළ අතර ඔහු ගැන තිබූ සැකයන් ඉවත් කිරීමට ඔහුට නොහැකි වුණා.

සෙරෆිම්ට විරුද්ධව එල්ල කළ චෝදනාවලට පැහැදිලි පදනමක් නොතිබූ නිසා ඔහුට මරණ දණ්ඩනය නියම කළේ නැහැ. එහෙත් හිලෙඩියොස් ඔහු ගැන කළ චෝදනා නිසා ඔහුව නිදහස් කිරීමට පසුබට වූ බලධාරීන් දඬුවමක් හැටියට ඔහුව සයිබීරියාවට පිටුවහල් කළා. ඔහුට එලෙස දඬුවම් කිරීමට හේතු වුණේ “ග්‍රීක ජාතික ලේඛකයෙකු වූ හිලෙඩියොස් ප්‍රකාශයට පත් කළ තොරතුරුයි” කියා නඩු තීන්දුවේ සඳහන් වුණා. වර්ෂ 1732 ජූලි මාසයේදී සෙරෆිම්ව සිරකරුවෙකු ලෙස නැඟෙනහිර සයිබීරියාවට පිටත් කර හැරියා.

ඉන් අවුරුදු තුනකට පසු සෙරෆිම් මිය ගියා. කාලයත් සමඟ මිනිසුන්ට ඔහුව අමතක වුණා. ඇතැම් අවස්ථාවලදී සෙරෆිම් ගත් තීරණ හා කළ දේවල් ඥානවන්තයි කියා කිව නොහැකියි. කෙසේවෙතත් ග්‍රීක භාෂාවෙන් ලබාගත හැකි බයිබල් පරිවර්තනවලට ඔහුගේ පරිවර්තනයද ඇතුළත් වෙනවා. * ග්‍රීක භාෂාවෙන් කර ඇති පරිවර්තන අතරින් වඩාත් පහසුවෙන් තේරුම්ගත හැකි පරිවර්තනයක් වන්නේ ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයයි. මෙය භාෂා බොහොමයකට පරිවර්තනය කර තිබෙනවා. සියලුම ජනයාට “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීම” සඳහා යෙහෝවා දෙවි ඔහුගේ වචනය වන බයිබලය ආරක්ෂා කර තිබීම ගැන අපි කොතරම් ඔහුට ස්තුතිවන්ත විය යුතුද!—1 තිමෝති 2:3, 4.

[පාදසටහන]

^ 26 ඡේ. වර්ෂ 2002 නොවැම්බර් 15 මුරටැඹ සඟරාවේ 26-29 දක්වා පිටුවල පළ වූ “නූතන ග්‍රීක් බයිබලයක් සම්පාදනයේදී ඇති වූ අපමණ බාධා” නමැති ලිපිය බලන්න.

[12වන පිටුවේ පින්තූරය]

මහා පීටර් රජු

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photos: Courtesy American Bible Society