Skip to content

පටුනට යන්න

“සටන යෙහෝවාගේය”

“සටන යෙහෝවාගේය”

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය”

“සටන යෙහෝවාගේය”

සේනාවන් දෙකක් තැනිතලාවක් දෙපැත්තේ සටනකට සැරසී සිටියා. එක පැත්තක ඊශ්‍රායෙල්වරුන්. අනික් පැත්තේ පිලිස්තිවරුන්. ඊශ්‍රායෙල්වරුන් දවස් හතළිහක් තිස්සේ බියෙන් පසු වුණා. පිලිස්තිවරුන්ගේ හමුදාවේ හිටපු හැඩි දැඩි දේහයක් තිබූ ගොලියත් නම් යෝධයෙක් නොනවත්වා ඊශ්‍රායෙල්වරුන්ට අවමන් කළා.—1 සාමුවෙල් 17:1-4, 16.

ගොලියත් ඊශ්‍රායෙල්වරුන්ට අපහාස කරමින් මෙසේ හඬ නඟා පැවසුවා. “ඔබට මනුෂ්‍යයෙකු තෝරාගන්න; ඔහු මා ළඟට ආවාවේ; ඉතින් ඔහු මට විරුද්ධව සටන් කොට මා මරන්ට හැකි වුවොත් අපි ඔබගේ මෙහෙකරුවෝ වෙමුව; එහෙත් මම ඔහුගෙන් ජයගෙන ඔහු මැරීම් නම් ඔබ අපට මෙහෙකරුවෝව මෙහෙ කරන්නහුය. . . . මම අද ඊශ්‍රායෙල් යුද්ධ සේනාවන්ට මිග කියමි [හෙවත් අභියෝග කරමි]. මට විරුද්ධව සටන් කරන පිණිස මනුෂ්‍යයෙකු දෙන්න.”—1 සාමුවෙල් 17:8-10.

සේනාවන් දෙකක් සටනකට සැරසී සිටින විට ඒ කණ්ඩායම් දෙකේම දක්ෂ රණ ශූරයන් දෙදෙනෙක් තමන්ගේ සේනාව නියෝජනය කරමින් සටන් කිරීම පුරාණයේ පැවති බොහෝ යුද්ධවල දැකිය හැකි වුණා. මේ දෙදෙනාගේ සටනින් දිනන කෙනාගේ සේනාවට ජයග්‍රහණය හිමි වුණා. එහෙත් ඊශ්‍රායෙල් සේනාවට අවමන් කරන ඒ පිලිස්තීය රණශූරයා එසේ මෙසේ යුධ භටයෙක් නම් නොවෙයි. මහ මෙරක් වගේ උස මහත මේ පිලිස්තීය රණ ශූරයාව දුටු කා තුළත් මහත් බියක් ඇති වුණාට සැකයක් නැහැ. කෙසේවෙතත් යෙහෝවා දෙවිගේ සෙනඟට අවමන් කිරීමෙන් ගොලියත් කළේ හරියට තමන්ගේ වළ තමන්ම කපාගත්තා වගේ වැඩක්.

ඒ සටන නිකම්ම සේනාවන් දෙකක් අතර ඇති වූ සටනක් නොවෙයි. ඇත්තටම ඒ සටන සිදු වුණේ යෙහෝවා දෙවි සහ පිලිස්තිවරුන්ගේ දෙවිවරුන් අතරයි. දෙවිගේ සතුරන්ට විරුද්ධව තමන්ගේ සේනාව නිර්භීතව මෙහෙයවීමට සාවුල් රජද බියෙන් පසුබට වුණා.—1 සාමුවෙල් 17:11.

පොඩි කොලුවෙක් යෙහෝවා කෙරෙහි විශ්වාසය තබයි

ඊශ්‍රායෙල් සහ පිලිස්තීය සේනාවන් දෙකම සටනට සැරසී සිටි අවස්ථාවේදී ඊශ්‍රායෙල් හමුදාවේ සිටි තම සහෝදරයන්ව බැලීමට දාවිත් නම් කොලුවා පැමිණියා. ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වීමට ඒ වන විටත් ඔහුව අභිෂේක කර අවසන්. ගොලියත්ගේ අවමන්සහගත වචන ඇසුණු දාවිත් ඊශ්‍රායෙල් මිනිසුන්ගෙන් මෙසේ ඇසුවා. “ජීවමාන දෙවිගේ යුද්ධ සේනාවට මිග කියන [අභියෝග කරන] මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුද?” (1 සාමුවෙල් 17:26) දාවිත් ගොලියත්ව දුටුවේ පිලිස්තිවරුන්ගේ සේනාව වගේම ඔවුන්ගේ දෙවිවරුන්වත් නියෝජනය කරන කෙනෙක් හැටියටයි. යෙහෝවා දෙවි මෙන්ම ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ යෝධ ගොලියත් සමඟ සටන් කරන්න දාවිත් ඉදිරිපත් වුණා. එහෙත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවා. “මේ පිලිස්තියයාට විරුද්ධව සටනට යන්ට ඔබට බැරිය; ඔබ තරුණයෙක්ය.”—1 සාමුවෙල් 17:33.

දාවිත් සිතූ ආකාරය සාවුල් සිතූ ආකාරයට වඩා කොතරම් වෙනස්ද! සාවුල් දාවිත්ව දැක්කේ යෝධ මිනිසෙක් හා සටන් කරන්න හදන බැටළුවන් බලාගන්න කොලු ගැටයෙක් හැටියටයි. එහෙත් දාවිත් ගොලියත්ව දැක්කේ මුළු මහත් විශ්වයම පාලනය කිරීමට අයිතිය තිබෙන එකම තැනැත්තා වන යෙහෝවා දෙවිට අගෞරව කරන කෙනෙක් හැටියටයි. යෝධ මිනිසෙක් සමඟ සටන් කරන්න තරම් නිර්භීතකමක් දාවිත් තුළ ඇති වුණේ යෙහෝවා දෙවි ඔහුගේ නාමයට හා සෙනඟට නින්දා කරන අයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න බවට දැඩි විශ්වාසයක් ඔහු තුළ තිබුණු නිසයි. ගොලියත් ඔහුගේ ශක්තිය මත විශ්වාසය තබද්දී දාවිත් විශ්වාසය තැබුවේ යෙහෝවා දෙවි කෙරෙහියි. ඒ අවස්ථවේදී දාවිත් සිතුවේ යෙහෝවා දෙවි සිතන ආකාරයටයි.

“යෙහෝවාගේ නාමයෙන් මම ඔබ ළඟට එමි”

යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න දාවිත්ට හොඳ හේතු තිබුණා. තමන්ගේ බැටළුවන්ව වලසෙකුගෙන් හා සිංහයෙකුගෙන් බේරාගන්න දෙවි තමාට උපකාර කළ ආකාරය ඔහුගේ මතකයේ තිබුණා. බියකරු පෙනුමක් තිබෙන මේ යෝධ පිලිස්තියා සමඟ සටන් කරද්දීත් යෙහෝවා දෙවි තමාට උපකාර කරයි කියා මේ එඬේර කොලුවාට හොඳටම විශ්වාසයි. (1 සාමුවෙල් 17:34-37) දාවිත් ගොලියත් සමඟ සටනට ගියේ ගල් පටියක් හා රවුම් ගල් පහක් ඇතුවයි.

දාවිත් ගොලියත් සමඟ සටනට ගියේ යෙහෝවා දෙවි තමාට අවශ්‍ය ශක්තිය ලබා දෙන බවට ස්ථිර විශ්වාසයක් ඇතිවයි. දාවිත් කිසිම බියක් සැකක් නැතිව ගොලියත්ට මෙසේ පැවසුවා. “ඔබ කඩුවක් හා හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද අරන් මා ළඟට එන්නෙහිය; එහෙත් ඔබ මිග කී [අභියෝග කළ] ඊශ්‍රායෙල් යුද්ධ සේනාවන්ගේ දෙවි වූ සේනාවන්ගේ යෙහෝවාගේ නාමයෙන් මම ඔබ ළඟට එමි; ඊශ්‍රායෙල්හි දෙවි කෙනෙකු සිටින බව මුළු පොළොව දැනගන්නා පිණිසද යෙහෝවා කඩුවෙන්වත් හෙල්ලයෙන්වත් නොගලවන බව මේ මුළු සමුදාව දැනගන්නා පිණිසද අද යෙහෝවා ඔබ මා අතට පාවා දෙන්නේය. . . . මක්නිසාද සටන යෙහෝවාගේය.”—1 සාමුවෙල් 17:45-47.

ඒ සටනේදී සිදු වුණේ කුමක්ද? මේ ගැන බයිබල් වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “දාවිත් ගල් පටිය හා ගලකින් පිලිස්තියයා පරදවා පිලිස්තියයාට ගසා ඔහු මැරුවේය. නුමුත් දාවිත් අතේ කඩුවක් නොතිබුණේය.” (1 සාමුවෙල් 17:50) දාවිත්ගේ අතේ කඩුවක් නොතිබුණත් කිසිවෙක් නොසිතූ ලෙස ගොලියත්ව පරාජය කරන්න යෙහෝවා දෙවි ඔහුට උපකාර කළා. *

ඒ සටනේදී දාවිත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ගත් තීරණය නිවැරදි බව තහවුරු වුණා. මිනිසුන්ට බිය වෙනවාද නැත්නම් යෙහෝවාගේ ගැලවීමේ බලය කෙරෙහි විශ්වාස කරනවාද කියා තීරණය කිරීමට අපටත් සිදු වන අවස්ථාවලදී අපි තෝරාගත යුත්තේ ‘මිනිසුන්ට නොව දෙවිට කීකරු වීමටයි.’ (ක්‍රියා 5:29) එමෙන්ම අපි කඳු වැනි බාධා හා දුෂ්කරතාවලට මුහුණ දෙන විට යෙහෝවා දෙවි ඒවා දෙස බලන ආකාරයට බලනවා නම් එවැනි ගැටලුවක් සමඟ නැණවත්ව කටයුතු කිරීමට අපට හැකියි.

[පාදසටහන]

^ 13 ඡේ. වර්ෂ 2006 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දින දර්ශනයේ මැයි/ජූනි මාස බලන්න.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ගොලියත් කොතරම් උස මහත පුද්ගලයෙක්ද?

පළමුවන සාමුවෙල් 17:4-7 දක්වා සඳහන් වාර්තාවට අනුව ගොලියත්ගේ උස රියන් හයකට වඩා වැඩියි. ඒ කියන්නේ අඩි නවයකට වඩා වැඩියි. ගොලියත් කොතරම් ශක්ති සම්පන්න කෙනෙක්ද කියා තඹවලින් සාදා තිබූ ඔහුගේ කබායේ බරින් පෙනී යනවා. එහි බර කිලෝග්‍රැම් 57ක් වුණා. ඔහුගේ හෙල්ලයේ මිට ලී කොටයක් වගෙයි. හෙල්ලයේ යකඩ උල කිලෝග්‍රැම් 7ක් බරයි. ගොලියත්ගේ ආයුධ කට්ටලයේ බර දාවිත්ගේ බරටත් වඩා වැඩියි!