Skip to content

පටුනට යන්න

අබල දුබලතා මැද ප්‍රීතියෙන් සේවය කරමි

අබල දුබලතා මැද ප්‍රීතියෙන් සේවය කරමි

ජීවිත කතාව

අබල දුබලතා මැද ප්‍රීතියෙන් සේවය කරමි

වාර්නවාස් ස්පෙට්සියෝටිස්

මට වයස අවුරුදු 68ක් වෙද්දී මගේ මුළු ශරීරයම පණ නැති වුණා. ඒ වුණත්, දැනට අවුරුදු 15ක් තිස්සේ මම සයිප්‍රස් නම් දූපතේ පූර්ණ කාලීන සේවකයෙක් හැටියට ප්‍රීතියෙන් සේවය කරනවා. අබල දුබලතා තිබුණත් යෙහෝවා දෙවිට කරන සේවයේ ක්‍රියාශීලී වීමට මට දිරියක් වී තිබෙන්නේ කුමක්ද?

මම ඉපදුණේ 1922 ඔක්තෝබර් 11 වෙනිදායි. අපේ පවුලේ ඔක්කොම ළමයි නවයයි. පිරිමි ළමයි හතරයි. ගැහැනු ළමයි පහයි. අපි ජීවත් වුණේ සයිප්‍රස්වල සිලෝෆාගු නම් ගම්මානෙයි. මගේ දෙමාපියන් සාමාන්‍යයෙන් යමක් කමක් තිබුණ අය. නමුත් අපේ පවුල ලොකු පවුලක් නිසා හුඟක් මහන්සි වෙලා වැඩ කරන්න ඔවුන්ට සිද්ධ වුණා.

මගේ තාත්තාගේ නම ආන්දෝනිස්. ඔහු සාමාන්‍යයෙන් දේවල් ඉගෙනගන්න කැමැත්තක් දැක්වුවා වගේම කුතුහලයෙන් යුතුව සිටි පුද්ගලයෙක්. මම ඉපදිලා වැඩි කාලයක් ගියේ නැහැ තාත්තා ගමේ ඉස්කෝලේ මහත්තයා හම්බවෙන්න ගියාම පීපල්ස් පුල්පිට් නමින් බයිබල් ශිෂ්‍යයන් (එවකට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්වූ නම) ප්‍රකාශයට පත් කරපු පත්‍රිකාවක් තාත්තා දැක්කා. එතකොට මගේ වයස අවුරුද්දක් විතර ඇති. ඒකේ සඳහන් තොරතුරුවලට තාත්තා හුඟක් කැමති වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තාත්තාත්, තාත්තාගේ යාළුවෙක් වූ ආන්ද්‍රියාස් ක්‍රිස්තූත් සයිප්‍රස් දිවයිනේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරපු මුල් කණ්ඩායමේ සාමාජිකයන් බවට පත් වුණා.

විරුද්ධවාදිකම් මැද වර්ධනය

කාලය ගෙවෙද්දී, ඒ දෙන්නා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් තවත් ප්‍රකාශන ලබාගත්තා. ඉක්මනින්ම තාත්තත්, ආන්ද්‍රියාස් අංකලුත් ඉගෙනගත්ත බයිබල් සත්‍යතා ගැන ගමේ අනිත් අයත් එක්ක කතා කරන්න පෙලඹුණා. නමුත් ඔවුන්ගේ දේශනා සේවයට ග්‍රීක ඕතඩොක්ස් පූජකයන්ගෙනුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හරි කරදරකාරයෝ කියලා හිතපු අයගෙනුත් දැඩි විරුද්ධවාදිකම් ආවා.

නමුත් ගමේ වැඩිදෙනෙක් බයිබලය උගන්වන මේ ගුරුවරුන් දෙන්නාට ගෞරව කළා. හරි කරුණාවන්තයි ඒ වගේම දීමට ලැදි පුද්ගලයෙක් කියන හොඳ නම මගේ තාත්තාට තිබුණා. හුඟක් වෙලාවට දුප්පත් පවුල්වලට ඔහු උදව් උපකාර කළා. සමහර දවස්වල රෑට, හෙමින් සීරුවේ ගෙදරින් ගිහිල්ලා අගහිඟකම් ඇති පවුල්වල අයගේ ගේ දොරකොඩින් පාන් ගෙඩි කිහිපයක් තියෙලා එනවා. එවැනි ක්‍රිස්තියානි හැසිරීමක් නිසා මේ දේවසේවකයන් ගෙන ගිය පණිවිඩය අන් අයගේ සිත් ඇදගන්නා එකක් වුණා.—මතෙව් 5:16.

ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගම්මු 12දෙනෙක් පමණ බයිබලයේ සඳහන් පණිවුඩය පිළිගත්තා. සත්‍යය ගැන ඔවුන්ගේ අගය වැඩි වෙද්දී ගෙවල්වල මුණගැසිලා කණ්ඩායමක් හැටියට බයිබලය ගැන සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ගැන ඔවුන්ට වැටහුණා. ග්‍රීසියේ පූර්ණ කාලීන දේවසේවකයෙක් වූ නීකොස් මාතාකීස් 1934දී සයිප්‍රසයට ඇවිත් සිලෝෆාගු කණ්ඩායම එක්ක වැඩ කරන්න පටන්ගත්තා. සහෝදර මතාකීස් ඉවසීමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ඒ කණ්ඩායම සංවිධානය කරන්නත් ශුද්ධ ලියවිල්ල ගැන වඩා හොඳ දැනුමක් ලබා දීමටත් උපකාර කළා. සයිප්‍රසයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පළමු සභාව පිහිටුවීම සඳහා මුල් වුණේ මේ කණ්ඩායමයි.

දේවසේවයේ කටයුතු පුළුල් වෙද්දී වැඩිදෙනෙක් බයිබලයේ සත්‍යතා පිළිගන්න පටන්ගත්තා. ඒනිසා රැස්වීම් පැවැත්වීමට ස්ථිර ස්ථානයක් අවශ්‍ය බව සහෝදරයන්ට හැඟුණා. ජෝර්ජ් අයියා සහ ඔහුගේ බිරිඳ එලෙනී ධාන්‍ය ගබඩාවක් හැටියට පාවිච්චි කළ තැනක් දෙන්න කැමති වුණා. ඔවුන්ගේ නිවසට යාබදව තිබුණ මේ ගබඩාව අලුත්වැඩියා කරලා රැස්වීම් තියන්න පුළුවන් සුදුසු ස්ථානයක් ලෙස එය ඉක්මනින් පත් කළා. ඒ විදියට මේ දිවයිනේ සහෝදරයන්ට තමන්ගේම කියලා රාජ්‍ය ශාලාවක් ලැබුණා. ඒ සඳහා ඔවුන් කෙතරම් ස්තුතිවන්ත වුණාද! ඉදිරි වර්ධනය සඳහා මෙය ලොකු තල්ලුවක් ලබා දුන්නා!

සත්‍යය මගේම කරගත්තා

මට වයස අවුරුදු 16ක් වෙද්දී ඒ කියන්නේ 1938දී මම වඩු වැඩ කරන්න පටන්ගත්තා. තාත්තා මාව සයිප්‍රසයේ අගනගරය වන නිකෝසියාවට යැව්වා. දුර දිග බලපු නිසා තාත්තා මට ඉන්න සැලසුම් කළේ නීකොස් මාතාකීස් එක්කයි. සයිප්‍රසයේ ඉන්න හුඟදෙනා මේ විශ්වාසවන්ත සහෝදරයාගේ උද්‍යෝගය සහ අනුන් කෙරෙහි දැක්වූ සැලකිල්ල ගැන තාමත් කතා කරනවා. ඔහු වගේ උද්‍යෝගයක් සහ නොසැලෙන නිර්භීතකමක් මුල් දවස්වල මෙහේ හිටපු හැම ක්‍රිස්තියානියෙකුටම අවශ්‍ය වුණා.

බයිබලය ගැන දැනුම ලබාගෙන මගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමටත් සහෝදර මාතාකීස් මට ගොඩක් උදව් කළා. ඔහුත් එක්ක හිටපු කාලයේදී ඔහුගේ නිවසේ පැවැත්වූ හැම සභා රැස්වීමකටම මම ගියා. යෙහෝවා දෙවිට තියෙන මගේ ආදරය වැඩි වෙනවා කියලා මට මුල් වතාවට හැඟුණේ එවිටයි. දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට මම අධිෂ්ඨානයක් ගත්තා. මාස කිහිපයකට පස්සේ මම සහෝදර මාතාකීස්ගෙන් ඇහුවා මටත් දේවසේවයේ හවුල් වෙන්න පුළුවන්ද කියලා. ඒ 1939දී.

කාලයකට පස්සේ මම මගේ පවුලේ අයව බලන්න ගෙදර ආවා. සත්‍යය ගැනත් ජීවිතයට අර්ථයක් තියෙනවා කියන එක ගැනත් මට තිබුණු විශ්වාසය තාත්තාත් එක්ක ගෙදර හිටපු ඒ දවස් ටිකේ වැඩි වුණා. දෙවන ලෝක මහා යුද්ධය 1939 සැප්තැම්බර් මාසයේදී පටන්ගත්තා. මගේ වයසේ ඉන්න හුඟදෙනෙක් යුද්ධයට යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. නමුත් බයිබලයේ මඟ පෙන්වීමට කීකරුවීමක් හැටියට මම යුද්ධයට බැඳුණේ නැහැ. (යෙසායා 2:4; යොහන් 15:19) මම 1939දී යෙහෝවාට කැපවෙලා 1940දී බව්තීස්ම වුණා. පළමු වතාවට මට හැඟුණා මම මනුෂ්‍යයන්ට තියෙන භයෙන් මිදුණා කියලා!

මම 1948දී එෆ්ප්‍රපියා සමඟ යුගදිවියට පා තැබුවා. අපිට දරුවෝ හතරදෙනෙක් ලැබුණා. දෙමාපියන් වුණාම අපිට තේරුණා “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි” කරන්නත් සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ කියලා. (එෆීස 6:4) අපි නිතරම යාච්ඤා කළේ, අපේ දරුවන් තුළ යෙහෝවා දෙවිට ගැඹුරු ප්‍රේමයක් සහ ඔහුගේ නීති හා ප්‍රතිපත්තිවලට ගෞරවයක් ගෙනෙන විදියට ඔවුන්ව හදන්න පුළුවන්කම දෙන්න කියලයි.

අසනීපය අභියෝගයක් වුණා

මට අවුරුදු 42ක් වෙද්දී ඒ කියන්නේ 1964දී මගේ දකුණු පැත්තේ අතයි කකුලයි හිරිවැටෙන්න පටන්ගත්තා. ටිකෙන් ටික වම් පැත්තත් හිරිවැටෙන්න ගත්තා. වෛද්‍ය පරීක්ෂණයෙන් සොයා ගත්තේ මට මාංස පේශී දිය වී යෑමේ සුව කළ නොහැකි රෝගය තියෙන බවත් ඒ නිසා මගේ මුළු ශරීරයම පණ නැතිව යනවා කියන එකත්. ඒ වගේ දෙයක් අහන්න මම කොහොමටවත් බලාපොරොත්තු වුණේ නැහැ! ඒක මට ලොකු කම්පනයක් වුණා. මට එක එක දේවල් හිතුණ නිසා කේන්තිත් ගියා. මම හිතුවා ‘ඇයි මටම මෙහෙම වෙන්නේ? මට මේ ලෙඩේ හැදෙන්න මම කරපු වැරැද්ද මොකද්ද?’ ටික කාලයක් යද්දී මුලින්ම මට ඇති වුණ කම්පනයෙන් මම ගොඩ ආවා. ඊට පස්සේ මගේ හිතේ අස්ථිරභාවයේ හැඟීම් සහ කනස්සලු වීම් රජ කරන්න පටන්ගත්තා. මගේ හිතේ දාහක් ප්‍රශ්න තිබුණා. මගේ ශරීරය මුළුමනින්ම පණ නැති වුණොත් හැම දේටම අනිත් අය කෙරෙහි මට රඳා සිටින්න වෙයිද? මම කොහොමද ඒක දරාගන්නේ? මගේ බිරිඳටත් ළමයි හතරදෙනාටත් අවශ්‍ය දේ සපයන්න මට පුළුවන් වෙයිද? ඒ වගේ දේවල් හිතලා මම හුඟාක් දුක් වුණා.

මගේ ජීවිතයේ මේ තීරණාත්මක මොහොතේදී කලින්ටත් වඩා යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් මගේ හිතේ තිබුණ හැම දෙයක් ගැනම මම දෙවිට කිව්වා. මම දිවා රෑ කඳුළින් යුක්තව යාච්ඤා කළා. ඉක්මනින්ම මට යම් සහනයක් ලැබුණා. ෆිලිප්පි 4:6, 7හි ඇති වචන සත්‍යයක් බව මේ අවස්ථාවේදී මට වැටහුණා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.”

රෝගියෙක් ලෙස ජීවත් වීම

මගේ රෝගය වඩ වඩා දරුණු අතට හැරුණ නිසා ඊට හැඩගැහෙන්න ඕනේ කියලා මට තේරුණා. මට තවදුරටත් වඩු වැඩ කරන්න බැරි වුණා. ඒ නිසා මගේ අසනීප තත්වයට ගැළපෙන වගේම පවුලට සැපයිය හැකි රස්සාවක් හොයාගන්න මම තීරණය කළා. මුලින්ම මම පොඩි වෑන් රථයකින් ගිහිල්ලා අයිස් ක්‍රීම් විකුණන්න පටන්ගත්තා. මගේ අසනීපය උග්‍ර වෙලා රෝද පුටුවකට සීමා වෙනකං අවුරුදු හයක් විතර මම කළේ ඒ රස්සාවයි. ඊට පස්සේ මට කරන්න පුළුවන් බර වැඩ නැති රස්සාවල් මම විටින් විට සොයාගත්තා.

වර්ෂ 1990 ඉඳන් මගේ සෞඛ්‍යය තත්වය හොඳටම දුර්වල වුණ නිසා කිසිම රස්සාවක් කරන්න බැරි තත්වයකට මම පත් වුණා. දැන් මට සිද්ධ වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් අය මත රඳා සිටින්නයි. එදිනෙදා කරන සාමාන්‍ය පොඩි වැඩක්වත් මට දැන් කරගන්න බැහැ. ඇඳට යන්නත් මූණ කට හෝදගන්නත් ඇඳුම් ඇඳගන්නත් මට වෙන කෙනෙකුගේ උදව් අවශ්‍යයි. රැස්වීම්වලට යද්දී, රෝද පුටුවේ තියාගෙන කාර් එක ළඟට මාව තල්ලු කර ගෙන ගිහිල්ලා පුටුවෙන් මාව උස්සලා කාර් එක ඇතුළෙන් ඉන්ඳවනවා. රාජ්‍යය ශාලාවට ගියාට පස්සේ නැවතත් මාව උස්සලා අරගෙන රෝද පුටුවක තියලා ඇතුළට තල්ලු කරගෙන යනවා. රැස්වීම් වෙලාවෙදී මගේ කකුල් දෙක උණුසුම්ව තබා ගැනීමට, ඒ සඳහා තිබෙන පොඩි උපකරණයක් පාවිච්චි කරනවා.

මට මේ රෝගය තිබුණත් මම සියලුම රැස්වීම්වලට වාගේ නිතිපතා යනවා. මම තේරුම්ගෙන තිබෙනවා යෙහෝවා අපිට උගන්වන්නේ මේ රැස්වීම්වලදී කියන එක. ඒ වගේම සභාවේ සහෝදර සහෝදරියන් මට රැකවරණය, දිරිගැන්වීම වගේම සහයෝගය දීමේදී මුල් තැන ගෙන තිබෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) අද්දැකීම් ලත් සභාවේ අය නිතර පැමිණෙද්දී ඒක මට ලොකු හයියක්. මට හැඟෙන්නේ දාවිත්ට හැඟුණ විදිහටමයි. ඔහු කිව්වේ මෙහෙමයි. “මාගේ කුසලාන උතුරා යයි.”—ගීතාවලිය 23:5.

මගේ ආදරණීය බිරිඳ මේ වසර ගණනාව පුරාම මට නියම සහකාරියක් වී තිබෙනවා. මගේ දරුවොත් කාලයක් තිස්සේ මට විවිධාකාරවලින් ඒ කියන්නේ එදිනෙදා අවශ්‍ය දේ සැපයීමෙන් මට උදව් උපකාර කර තිබෙනවා. මා වෙනුවෙන් ඒගොල්ලෝ ඒ කරන වැඩ ලෙහෙසි නැහැ. කාලය ගෙවී යද්දී මාව රැක බලාගන්න එක තව තවත් අමාරු වෙනවා කියල මම දන්නවා. මගේ දරුවන්ට හුඟක් ඉවසීම තියෙනවා. ඒ වගේම මා වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ මුදලුත් වැය කරනවා. මම ඔවුන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඉල්ලලා දිගටම යාච්ඤා කරනවා.

යෙහෝවා දෙවිගෙන් තම සේවකයන්ට ලැබී තිබෙන තවත් වරප්‍රසාදයක් තමයි යාච්ඤාව. (ගීතාවලිය 65:2) මගේ හෘදයාංගම යාච්ඤාවලට පිළිතුරු වශයෙන් ගත වුණු මේ අවුරුදු ගණනාව පුරාම ඇදහිල්ල තුළ ශක්තිමත්ව ඉන්න මට යෙහෝවා ශක්තිය දීලා තියෙනවා. විශේෂයෙන් මම අධෛර්ය වෙද්දී සැනසීමක් ගෙන දීමට සහ මගේ ප්‍රීතිය පවත්වා ගෙන යෑමට යාච්ඤාව මට උපකාර වෙලා තියෙනවා. යෙහෝවා දෙවි එක්ක නිතරම කතා බහ කිරීම නිසා මා ප්‍රාණවත් වී තිබෙනවා වගේම දිගටම විඳදරාගෙන සිටීමට වන මගේ අධිෂ්ඨානය ඇතිව සිටීමටත් මට උපකාරවත් වී තිබෙනවා. යෙහෝවා දෙවි තම සේවකයන්ගේ යාච්ඤාවන්ට ඇහුම්කන් දෙන බවත් අවශ්‍ය කරන සහනය ලබාදෙන බවත් මට සහතිකයි.—ගීතාවලිය 51:17; 1 පේතෘස් 5:7.

දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍ය පාලනය යටතේදී පාරාදීස පොළොවේ ජීවත් වීමට ආශීර්වාද ලබන සියල්ලන්වම දෙවි සුව කරන බව මතක් වෙන සෑම වෙලාවකදීම මට අමුතුම ප්‍රබෝධයක් ලැබෙනවා. ඒ මවිතාකාර බලාපොරොත්තුව ගැන කල්පනා කරන සෑම මොහොතකම මගේ මුහුණ දිගේ සතුටු කඳුළු කඩා හැලෙනවා.—ගීතාවලිය 37:11, 29; ලූක් 23:43; එළිදරව් 21:3, 4.

පූර්ණ කාලීන දේවසේවකයෙක් ලෙස සේවය කිරීම

මා ගැනම ළත වෙවී ඉන්න එකෙන් වැළකීමට හොඳම ක්‍රමය අන් අය සමඟ දෙවිගේ රාජ්‍යය ගැන පණිවුඩය බෙදා ගැනීමේ කඩිසර වීමයි. ඒ බව වටහාගත් මම 1991දී පමණ පූර්ණ කාලීන සේවකයෙක් ලෙස සේවය කිරීමට පටන්ගත්තා.

මම ආබාධිතයෙක් නිසා මම වැඩිපුරම සාක්ෂි දරන්නේ ලිපි ලිවීම මගින්. කොහොමවුණත් ලියන එකත් මට ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඒකත් කරන්නේ සෑහෙන්න මහන්සි වෙලයි. මාංස පේශීන් දියවී යන නිසා අතින් පෑන අල්ලගන්න එකත් මට හරි අමාරු වැඩක්. දැඩි උත්සාහයත් යාච්ඤාවත් නිසා මම අවුරුදු 15කටත් වැඩි කාලයක් පුරා ලිපි ලිවීමෙන් සාක්ෂි දරා තිබෙනවා. ජනයාට සාක්ෂිදැරීමට මම දුරකථනයක් පාවිච්චි කරනවා. නෑදෑයන්ට, මිත්‍රයන්ට සහ මගේ නිවසට එන අසල්වාසීන්ට පාරාදීස පොළොව සම්බන්ධයෙන් මට තිබෙන පොරොන්දුව ගැන කතා කිරීමට තිබෙන ප්‍රස්තාව මම කවදාවත් අතහරින්නේ නැහැ.

ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මට හුඟක් හොඳ අද්දැකීම් ලැබිලා තියෙනවා. මම මීට අවුරුදු 12කට ඉස්සෙල්ලා බයිබලය පාඩම් කරපු මගේ එක මුනුපුරෙක් දැන් ඇදහිල්ල ශක්තිමත් කරගෙන බයිබල් සත්‍යයන් අගය කරන හැටි දැක්කාම මට ඇති වෙන්නේ ලොකු සතුටක්. ක්‍රිස්තියානීන් වශයෙන් දෙවිට පක්ෂපාතව සිටීම කියන කාරණයේදී ඔහු බයිබලයේ ප්‍රතිපත්තිවලට එකඟව හෘදය සාක්ෂිය පුහුණු කර ඇති නිසා ඒ ගැන ස්ථිර පියවර ගෙන තිබෙනවා.

මම ලිපි යවන අය වැඩි විස්තර දැනගැනීමට නැවත මට කතා කරන කොට මට දැනෙන්නේ ලොකු සතුටක්. ඉඳහිට සමහරෙක් අපගේ ප්‍රකාශන ඉල්ලන අවස්ථාත් තිබෙනවා. උදාහරණයකට එක ස්ත්‍රියක් මම යවපු ලියුමකට මට දුරකථනයෙන් කතා කරලා ස්තුති කළා. මම යවපු ලියුමේ තියෙන අදහස් ඇය ගොඩක් අගය කළා. මේ සංවාදය ඇයත් ඇයගේ ස්වාමිපුරුෂයාවත් මගේ ගෙදරටම ගෙනැල්ලා බයිබලය ගැන සාකච්ඡා කිරීමට මඟ පෑදුවා.

මට තිබෙන අනගි බලාපොරොත්තුව

ගත වුණු අවුරුදු ගණනාව පුරා මම දැකලා තියෙනවා ලෝකයේ මේ පැත්තේ රටවල රාජ්‍ය ප්‍රකාශකයන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙන බව. මගේ සහෝදරයා වන ජෝර්ජ්ගේ ගේ ළඟ තිබෙන පුංචි රාජ්‍ය ශාලාව කිහිප වතාවක්ම ලොකු කළා වගේම අලුත්වැඩියාත් කළා. ඒ රාජ්‍ය ශාලාව හරි ලස්සනයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා දෙකක් එහි රැස්වෙනවා.

තාත්තා 1943දී වයස අවුරුදු 52 වෙද්දී මියගියා. නමුත් තාත්තා තමුන්ගේ දරුවන් වෙනුවෙන් සත්‍යය දායාද කරලයි ගියේ. ළමයි අටදෙනෙක්ම සත්‍ය මාර්ගයේ තවමත් ගමන් කරමින් යෙහෝවාට සේවය කරනවා. තාත්තා ඉපදුණ ගම වන සිලෝෆාගුවල සහ ඒ අවට ගම්වල සභා තුනක් තියෙනවා. ඒ තුනේම රාජ්‍ය ප්‍රචාරකයන් 230ක් ඉන්නවා!

ඒ වර්ධනය ගැන හිතද්දී මට ඇති වෙන්නේ පුදුම සතුටක්. මට දැන් වයස අවුරුදු 83යි. ගීතිකාකරු ගැයූ මේ වචනවලට මමත් එකඟයි. “තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. එහෙත් යෙහෝවා සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නැත.” (ගීතාවලිය 34:10) මම දැන් ආසාවෙන් බලා සිටින්නේ යෙසායා 35:6හි වාර්තා කර ඇති මේ අනාවැකිය දෙසයි. එහි සඳහන් වෙන්නේ “එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය” කියායි. එය ඉටු වෙන දවස දක්වා මම මගේ අබල දුබලතා මැද දිගටම යෙහෝවා දෙවිට සේවය කිරීමට අධිෂ්ඨාන කරගෙන ඉන්නවා.

[17වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

තුර්කිය

සිරියාව

ලෙබනන්

සයිප්‍රසය

නිකෝසියා

සිලෝෆාගු

මධ්‍යධරණී මුහුද

[17වන පිටුවේ පින්තූරය]

සිලෝෆාගු ගමේ තැනූ පළමු රාජ්‍ය ශාලාවේ තවමත් රැස්වීම් පැවැත්වෙනවා

[18වන පිටුවේ පින්තූර]

එෆ්ප්‍රපියා එක්ක 1946දී සහ අද

[20වන පිටුවේ පින්තූරය]

දුරකථනයෙන් හා ලිපි ලිවීමෙන් මම ප්‍රීතියෙන් යුතුව සාක්ෂි දරනවා