Skip to content

පටුනට යන්න

ගීතාවලිය පොතෙන් විශේෂාංග (දෙවන කාණ්ඩය)

ගීතාවලිය පොතෙන් විශේෂාංග (දෙවන කාණ්ඩය)

යෙහෝවාගේ වචනය ජීවමානයි

ගීතාවලිය පොතෙන් විශේෂාංග (දෙවන කාණ්ඩය)

යෙහෝවා දෙවිගේ සේවකයන් වන අපි පීඩා සහ පරීක්ෂා බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝද පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:12) දෙවි කෙරෙහි අපිට තිබෙන නොසැලෙන විශ්වාසය ඔප්පු කරමින් පීඩා සහ පරීක්ෂා විඳදරාගන්න අපට උපකාරවත් වෙන්නේ මොනවාද?

කාණ්ඩ පහකින් යුත් ගීතාවලිය පොතේ 42 සිට 72 දක්වා වන ගීතිකා ඇතුළත් දෙවන කාණ්ඩය අපට මේ සඳහා උපකාර වෙනවා. යෙහෝවා කෙරෙහි විශ්වාස කිරීමෙන් සහ ගැලවීම සඳහා ඔහු කෙරෙහි රඳා සිටින්න ඉගෙනගැනීමෙන් මේ පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වන බව එහි අපට පෙන්වනවා. එය අපිට කොතරම් අගනා පාඩමක්ද! බයිබලයේ අනිකුත් පොත් වගේම ගීතාවලිය පොතේ මේ දෙවන කාණ්ඩයේ ඇති පණිවුඩය අද දිනටත් “ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රෙව් 4:12.

යෙහෝවා අපගේ “සරණ හා ශක්තිය”

(ගීතාවලිය 42:1–50:23)

මෙය රචනා කළ ලෙවීවරයා සිටින්නේ වහල්භාවයෙයි. යෙහෝවා දෙවිගේ නමස්කාර ස්ථානයට යන්න බැරි නිසා ඔහු ඉන්නේ දුකෙන්. නමුත් ඔහු තමාවම සනසා ගන්නේ මේ වචනවලින්. “මාගේ ආත්මය ඔබ කුමක් නිසා මලානික වන්නෙහිද? කුමක් නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවි කෙරෙහි බලාපොරොත්තු වන්න” (ගීතාවලිය 42:5, 11; 43:5) මේ පදය මගින් ගීතාවලිය 42 සිට 43 ඇති කොටස් තුනකින් යුත් කවිය තනි කවියක් ලෙස සම්බන්ධ කරනවා. හතළිස් හතරවන ගීතිකාව කනගාටුවෙන් සිටි යුදාවරුන් වෙනුවෙන් කළ ආයාචනයක්. ඔවුන් සිත් තැවුලෙන් සිටියේ හෙසකියා රජගේ කාලයේදී අසරියානු හමුදාවේ තර්ජනය යටතේ සිටි නිසා විය හැකියි.

හතළිස්පස්වන ගීතිකාව රාජකීය සරණ මංගල්‍යයක් ගැන විස්තර කරනවා. එය දේවරාජ්‍යයේ රජුගේ සරණ මංගල්‍යයට යොමු දක්වයි. ඊළඟ ගීතිකා තුනේදී යෙහෝවා දෙවිව “සරණ හා ශක්තිය,” “මුළු පොළොවේ මහා රජ්ජුරුවෝය” සහ “උස් කොටුවක්” ලෙස හඳුන්වයි. (ගීතාවලිය 46:1; 47:2; 48:3) “තමාගේ සහෝදරයා නිදහස් කරන්ට” කිසි මිනිසෙකුට නොහැකි බව 49වන ගීතිකාව කොතරම් ප්‍රබල ලෙස පෙන්වනවාද! (ගීතාවලිය 49:7) දෙවන කාණ්ඩයේ 42 සිට 49 දක්වා ගීතිකා රචනා කළේ කෝරාගේ පුත්‍රයෝයි. පනස්වන ගීතිකාව රචනා කළේ ආසාප්.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

44:19—“සිවලුන් ඉන්න තැන” මොකද්ද? ගීතිකාකරු මෙහිදී කතා කළේ මළ සිරුරු කෑමට එන සිවලුන් සිටින සටන් බිමක් ගැන විය හැකියි.

45:13,14අ—“රජ්ජුරුවන් වෙතට පමුණුවනු” ලැබූ “රජදුව” කවුද? ඇය නම් “සදාකාල රජු” වන යෙහෝවා දෙවිගේ දියණියයි. (එළිදරව් 15:3) ඇයගෙන් නියෝජනය වෙන්නේ දෙවිගේ බලයෙන් අභිෂේක කර දරුවන් හැටියට භාරගත් 1,44,000න් යුත් ක්‍රිස්තියානීන්ගේ සභාවයි. (රෝම 8:16) යෙහෝවා දෙවිගේ මේ ‘රජදුවව’ “තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ මනාලියක් මෙන් සූදානම්” කර ඇයගේ මනාලයා වන දේවරාජ්‍යයේ රජු වෙතට ගෙන ඒමට නියමිතයි.—එළිදරව් 21:2.

45:14ආ,15—‘කන්‍යාවන්ගෙන්’ නියෝජනය වන්නේ කාවද? අභිෂේක ලත් අයට එකතු වී ඔවුන්ට සහය දක්වන සැබෑ නමස්කාරයේ හවුල් වන ‘මහත් සමූහයේ’ අයවයි. ඔවුන් “මහත් පීඩාවෙන් බේරී එන” නිසා දේවරාජ්‍යයේ රජුගේ සරණ මංගල්‍යය ස්වර්ගයේදී සිදු වන විට ඔවුන් සිටින්නේ පොළොවෙයි. (එළිදරව් 7:9, 13, 14) ඒ අවස්ථාවේදී ඔවුන් “සන්තෝෂයෙන් සහ ප්‍රීතියෙන්” උතුරා යනවා.

45:16—රජුගේ ආදිපියවරුන් ලෙස සිටි අය ඔහුගේ පුත්‍රයෝ වෙන්නේ කොහොමද? යේසුස් පොළොවේ ඉපදෙද්දී ඔහුට ආදිපියවරුන් සිටියා. නමුත් දහස් අවුරුදු පාලනය තුළදී යේසුස් ඔවුන්ව නැවත නැගිටුවන්න යන නිසා ආදිපියවරු යේසුස්ගේ පුත්‍රයෝ බවට පත් වෙනවා. ඔවුන්ගෙන් සමහරු “මුළු පොළොවේ අධිපතීන්” ලෙස පත් කරන්න යනවා.

50:2යෙරුසලම ‘අලංකාරයෙන් සම්පූර්ණයි’ කියා හඳුන්වන්නේ ඇයි? ඒ එහි ස්වාභාවික පෙනුම නිසාම නෙවෙයි. දේවමාලිගාව තැනීමට යෙහෝවා දෙවි එම නුවර භාවිත කළ නිසාත් තමන් අභිෂේක කළ රජවරුන් එය අගනුවර කරගත් නිසාත් එය අලංකාර නගරයක් වුණා.

අපට ගත හැකි පාඩම්:

42:1-3. වියළි ප්‍රදේශයක සිටින පිපාසිත මුවදෙනක් වතුර බීමට ආශාවෙන් ඉන්නවා වගේ මේ ලෙවීවරයා යෙහෝවාට නමස්කාර කරන්න ආශාවෙන් ඉන්නවා. දේවමාලිගාවේදී යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඔහුට බැරිවීම ගැන ඔහු කොතරම් කනගාටුවෙන් ඉන්නවාද කියනවා නම් ඔහුට කෑම ප්‍රිය නොවූ අතර ‘ඔහුගේ කඳුළු දිවා රාත්‍රි දෙකෙහිම ඔහුට කෑම වුණා.’ අපේ සෙසු නමස්කාරකයන් සමඟ ආශ්‍රය කරමින් යෙහෝවා දෙවිට කරන නමස්කාරය ගැන අපත් එවැනිම ගැඹුරු අගය කිරීමක් පවත්වාගත යුතු නැද්ද?

42:4, 5, 11; 43:3-5. යම් වැළැක්විය නොහැකි හේතුවක් නිසා ටික කලෙකට ක්‍රිස්තියානි සභාවට යෑමට නොහැකි වුණා නම් සහෝදරයන් සමඟ ආශ්‍රය කරමින් ලැබූ සුන්දර මතකයන් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරාවි. මුලින් අපිට තනිකමක් දැනුණත් දෙවි අපගේ සරණ බවත් ගැලවීම ලබාගැනීමට ඔහු මත රඳා සිටිය යුතු බවත් එය අපිට මතක් කරාවි.

46:1-3. කුමනාකාරයේ විපත්ති අපි අද්දැක්කත් “දෙවි අපේ සරණ හා ශක්තිය” කියන කාරණය ගැන අපි පූර්ණ විශ්වාසය තැබිය යුතුයි.

50:16-19. කෙනෙක් රැවටීම් කරනවා නම් සහ අප්‍රසන්න දේවල් කරනවා නම් දෙවිව නියෝජනය කිරීමට ඔහුට අයිතියක් නැහැ.

50:20. අපි අනිත් අයගේ වැරදි පතුරුවන්නට කැමැත්තක් දක්වනවා වෙනුවට ඒවාට සමාව දී අමතක කර දැමිය යුතුයි.—කොලොස්සි 3:13.

“දෙවි කෙරෙහි නිහඬව බලා” සිටින්න

(ගීතාවලිය 51:1–71:24)

දාවිත් බැත්ෂෙබා සමඟ පව් කළායින් පසු සමාව ඉල්ලා කළ හෘදයාංගම යාච්ඤාව මෙම ගීතිකා සමූහයේ මුල්ම ගීතිකාවේ සඳහන් වෙනවා. ඊළඟට 52 සිට 57 දක්වා ගීතිකාවල පෙන්වන්නේ තම බර දෙවිට භාර දෙන අය ඔහු ගලවන ආකාරයයි. තමන් වින්ද සියලුම දුක් කරදවලදී දාවිත් යෙහෝවා දෙවිව තම සරණ කරගත් අන්දම 58 සිට 64 දක්වා ගීතිකාවල විස්තර කර තිබෙනවා. ඔහු කියන්නේ “මාගේ ආත්මය දෙවි කෙරෙහි පමණක් බලා සිටුව. මක්නිසාද මාගේ බලාපොරොත්තුව ඔහු කෙරෙන්” පැමිණෙනවා කියායි.—ගීතාවලිය 62:5.

අපගේ ගැලවුම්කරු වන දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් “ඔහුගේ නාමයේ මහිමය ගැන ගී කියන්න” අප තුළ පෙලඹීමක් ඇති කළ යුතුයි. (ගීතාවලිය 66:2) හැටපස්වන ගීතිකාවේ දෙවි ත්‍යගශීලී සැපයුම්කරුවෙක් ලෙස ප්‍රශංසා කර ඇති අතර, 67 සහ 68වන ගීතිකාවල ඔහු තම සේවකයන්ව ගැලවීමට කරන පුදුම ක්‍රියා නිසා ප්‍රශංසාවට ලක් වෙනවා. එමෙන්ම 70 සහ 71වන ගීතිකාවල ඔහු තම සේවකයන්ට ගැලවීම සලසා දෙන නිසාත් ඔහුට ප්‍රශංසා කරනවා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

51:12‘නිදහස් ආත්මයකින්’ තමාව දරන්න කියා පවසද්දී දාවිත් අදහස් කළේ මොකක්ද? මෙයින් අදහස් වන්නේ දාවිත්ට උපකාර කරන්න දෙවිට තිබෙන කැමැත්තවත් යෙහෝවා දෙවිගේ බලයවත් නෙවෙයි. නමුත් දාවිත් දෙවිගෙන් ඉල්ලන්නේ හරි දේ කිරීමට තමා තුළ නිසි ආශාවක් ඇති කරන මෙනුයි.—නව අනුවාදය බලන්න.

53:1දෙවිගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක් ‘අඥානයෙක්’ වෙන්නේ කොහොමද? මින් අදහස් කරන්නේ ඔහු මෝඩ, නූගත් කෙනෙක් වන බව නම් නෙවෙයි. ගීතාවලිය 5:1-4හි විස්තර කර ඇති දෙයින් පැහැදිලි වන්නේ ඔහු දෙවිගේ කිසි ප්‍රතිපත්තියකට ගරු නොකරමින් හැසිරෙන බවයි.

58:3-5දුෂ්ටයන් සර්පයන්ට සමාන කර ඇත්තේ ඇයි? ඔවුන් අනුන් ගැන පවසන බොරු සර්ප විසට සමානයි. ඒ කියන්නේ ඔවුන් ගොදුරු කරගන්නා අයගේ හොඳ නාමයන් කෙළෙසන බවයි. “කන් වසාගත් බිහිරි පොළඟාට” සමාන වෙමින් ඔවුන් කිසිම උපදෙසකටවත් මඟ පෙන්වීමකටවත් සවන් දෙන්නේ නැහැ.

58:7දුෂ්ටයන් ‘ඉක්මනින් බහින වතුරවලට’ සමාන කර ඇත්තේ ඇයි? පොරොන්දු දේශයේ නිම්නයන් දිගේ වේගයෙන් ගලා බසින ඇතැම් ඔයවල් දාවිත්ගේ සිතෙහි මැවුණා විය හැකියි. ක්ෂණික ජල ගැල්මක් නිසා නිම්නයක් වතුරෙන් පිරී ගියත්, ඒවා වේගයෙන් සිඳී යනවා. දුෂ්ටයනුත් එලෙසම ඉක්මනින් නැති වී යන ලෙස දාවිත් යාච්ඤා කළා.

68:13‘පරවියෙකුගේ පියාපත් රිදී පැහැයෙන්ද කහපාට රත්රන්වලින්ද’ සැරසී ඇතැයි කීමෙන් අදහස් වන්නේ මොකක්ද? අළු පාටට හුරු ඇතැම් පරෙවියන්ගේ පිහාටු විවිධ වර්ණවලින් දිදුලනවා. එම පිහාටු මත හිරු රැස් පතිත වන විට ඒවා රිදීවන් පැහැයක්ද ගන්නවා. සටනින් පසු නැවත පැමිණෙන ඊශ්‍රායෙල් ජාතියේ ජයග්‍රාහී සෙබළුවන්ව මෙවැනි දිදුලන පරෙවියන්ට දාවිත් සමාන කළා විය හැකියි. ඇතැම් විශාරදයන්ගේ මතයට අනුව යුද්ධයකින් පසු කොල්ලයක් සේ ගත් කුසලානයක් හෝ වෙනත් කලාත්මක දෙයක් විස්තර කිරීමටත් මෙම රූපකාලංකාරය භාවිත කරන්නට ඇති. මෙහි තේරුම කෙසේවෙතත් යෙහෝවා දෙවි ඔහුගේ ජනයාට ලබාදුන් ජයග්‍රහණ විස්තර කිරීමටයි දාවිත් උත්සාහ කරමින් සිටියේ.

68:18—“තෑගි” වශයෙන් දුන් “මනුෂ්‍යයන්” කවුරුන්ද? මොවුන් නම් පොරොන්දු දේශය යටත් කරගනිද්දී වහලුන් හැටියට ගත් අයයි. පසු කාලයේදී මොවුන්ගෙන් කිහිපදෙනෙක්ව ලෙවීවරුන්ට උදව් කරන්න යොදාගත්තා.—එස්රා 8:20.

68:30‘බටගස් අතරෙහි වූ වල් සතාට තරවටු කරන’ ලෙස ඉල්ලීමෙන් අදහස් වෙන්නේ මොකක්ද? දෙවිගේ සේවකයන්ගේ සතුරන්ව වල් සතුන්ට සමාන කර තිබෙනවා. ඔවුන්ට තරවටු කරන්න කියා පැවසූ විට දාවිත් දෙවිගෙන් ඉල්ලා සිටියේ තම සෙනඟට හිරිහැර කරන්න ඔවුන්ට ඉඩ නොදෙන්න කියායි.

69:23—සතුරන්ගේ ‘කටි වෙවුලන්ට සලස්වන්න’ කීමෙන් අදහස් වන්නේ මොකක්ද? කෙනෙක් බර උසුලද්දී හෝ වෙහෙසකර වැඩක නිරත වෙද්දී කටියේ එනම් ඉඟටියේ පේශීන්වලින් වැදගත් කාර්යයක් ඉටු වෙනවා. කටි වෙවුලන්ට සලස්වන ලෙස ඉල්ලීමෙන් දාවිත් අදහස් කළේ තම සතුරන් බෙලහීන වෙන්න කියා ඔහු යාච්ඤා කළ බවයි.

අපට ගත හැකි පාඩම්

51:1-4, 17. අප පව් කළ නිසාම යෙහෝවා දෙවිගෙන් අප ඈත් විය යුතු නැහැ. අප පසුතැවිලි වෙනවා නම් ඔහුගේ දයාව ලැබෙන බවට විශ්වාසයෙන් සිටිය හැකියි.

51:5, 7-10.—අප යම් වරදක් කර ඇත්නම් අපගේ උරුම කරගත් පව්කාරකම නිසා දෙවිගෙන් සමාව අයදින්න අපට පුළුවන්. අපව පවිත්‍ර කරන්න කියාත්, අපව පෙර තත්වයට ගෙන එන්න කියාත්, අපගේ සිතෙන් පව්කාර නැඹුරුවාවන් දුරු කරන්න කියාත්, අපට හොඳ ආත්ම ශක්තියක් ලබාදෙන්න කියාත් පවසමින් ඔහුට යාච්ඤා කිරීමත් අවශ්‍යයි.

51:18. දාවිත් කළ වැරදි මුළු ජාතියටම බලපෑවා. එමනිසා සියොන්ට දෙවිගේ අනුමැතිය ලබාදෙන මෙන් ඔහු යාච්ඤා කළා. අප යම් බරපතළ වරදක් කරන විට එය දෙවිගේ නාමයට හා සභාවට යම් කැළලක් ඇති කරනවා. අප නිසා ඇති වූ කැළල ඉවත් කරන ලෙස දෙවිට යාච්ඤා කිරීම උචිතයි.

52:8. ‘දෙවිගේ ගෘහයේ වැඩෙන ඔලීව ගසක්’ වීමෙන් අදහස් වන්නේ දෙවිට ළං වී සිටීම හා ඔහුගේ සේවයේ ප්‍රතිඵල ලැබීමයි. එසේ කළ හැක්කේ ඔහුට කීකරු වීමෙන් හා ඔහුගේ හික්මවීම කැමැත්තෙන්ම පිළිගැනීමෙනුයි.

55:4, 5, 12-14, 16-18. තම පුත්‍රයා වූ අබ්සොලොම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කළ නිසාත්, ඔහු විශ්වාස කළ අහිතෝපෙල්ගේ ද්‍රෝහිවීම නිසාත් දාවිත් දැඩි සිත් වේදනාවෙන් සිටියා. නමුත් යෙහෝවා දෙවි කෙරෙහි වූ ඔහුගේ විශ්වාසය බිඳී ගියේ නැහැ. අප නොයෙකුත් පීඩිත තත්වයන්ට මුහුණ දෙන විට දෙවි කෙරෙහි වන අපගේ විශ්වාසය දුර්වල වීමට අප ඉඩ දිය යුතු නැහැ.

55:22. අපගේ බර යෙහෝවා දෙවි පිට තබන්නේ කොහොමද? (1) අපගේ සිතට වධ දෙන කාරණා ගැන ඔහුට යාච්ඤා කිරීමෙන්, (2) මඟ පෙන්වීම හා දිරිගැන්වීම ලබාගැනීමට ඔහුගේ වචනය හා සංවිධානය වෙතට යොමු වීමෙන් (3) ප්‍රශ්නය නිරාකරණය කරගන්න අපට හැකි උපරිමය කිරීමෙන්.—හිතෝපදේශ 3:5, 6; 11:14; 15:22; ෆිලිප්පි 4:6, 7.

56:8. දෙවි අප මුහුණ දෙන තත්වය ගැන අවබෝධයෙන් සිටිනවා පමණක් නොව එය අපට බලපාන ආකාරය ගැනත් සැලකිල්ලෙන් සිටිනවා.

62:11. දෙවි සතු බලයේ කිසිම අඩුවක් නැහැ. සියලු බලයේ උල්පත ඔහුයි. “බලය දෙවිගේය.”

63:3. දෙවිගේ “කරුණාව ජීවිතයට වඩා යහපත්” වන්නේ ඉන් තොර ජීවිතයකට කිසිම තේරුමක් හෝ අරමුණක් නැති නිසායි. එමනිසා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම ඥානවන්තම දෙයයි.

63:5. නිස්කලංක වූ රාත්‍රී කාලය මෙනෙහි කිරීම සඳහා ඉතා යෝග්‍ය අවස්ථාවක්.

64:2-4. හානිකර ඕපාදූප පැතිරවීමෙන් අහිංසක කෙනෙකුගේ චරිතය කෙළෙසිය හැකියි. එවැනි ඕපාදූපවලට අප සවන් දෙන්නේවත් පතුරුවන්නේවත් නැහැ.

69:4. අප අතින් වරදක් සිදු වී ඇතැයි අපට නොපෙනුණත් සාමය පවත්වාගැනීමේ අදහසින් “නොගත් දෙය භාර” දීම එනම් නොකළ වරදක් සඳහා වුවත් සමාව ඉල්ලීම නුවණට හුරුයි.

70:1-5. උපකාර ඉල්ලා අප කන්නලව් කරන විට දෙවි සවන් දෙනවා. (1 තෙසලෝනික 5:17, යාකොබ් 1:13, 2 පේතෘස් 2:9) යම් අවස්ථාවලදී අපිට පීඩාවක් අද්දකින්න දෙවි ඉඩ දුන්නත්, එයට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ඥානය හා එය දරා සිටින්න අවශ්‍ය ශක්තිය ඔහු නිසැකවම ලබාදෙනවා. අපට දරාගත හැකි තරමට වඩා පරීක්ෂා කරනු ලබන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ.—1 කොරින්ති 10:13, හෙබ්‍රෙව් 10:36; යාකොබ් 1:5-8.

71:5, 17. දාවිත් ධෛර්යසම්පන්න හා ශක්තිමත් කෙනෙක් බවට පත් වුණේ තම තරුණ කාලයේ පටන් දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන්. මෙම විශ්වාසය ඔහු ඇති කරගත්තේ ගොලියත් සමඟ සටන් කරන්නත් කලිනුයි. (1 සාමුවෙල් 17:34-37) තමන් කරන සියල්ලේදී දෙවි කෙරෙහි විශ්වාස තැබීමට අපගේ දරුවන්ද ඉගෙනගත යුතුයි.

“මුළු පොළොව ඔහුගේ මහිමයෙන් පිරේවා”

ගීතාවලිය පොතේ දෙවන කාණ්ඩයේ අවසාන ගීතිකාව වන 72වන ගීතිකාවේ සලමොන්ගේ පාලනය ගැන ලස්සන විස්තරයක් සපයනවා. එම විස්තරයෙන් කියාපාන්නේ යේසුස්ගේ පාලනය යටතේ ඇති වන තත්වය ගැනයි. යේසුස්ගේ පාලනය යටතේ සැබෑ සාමයක් උදා වන අතර හිංසා පීඩාවලින් තොර ජීවිතයක් හා ආහාර බහුලත්වයක් තිබෙන්න යනවා. මෙම ආශීර්වාද හා වෙනත් ඒවා භුක්ති විඳින්න අපටත් ප්‍රස්තාවක් ලැබේවිද? අපත් ගීතිකාකරු මෙන් යෙහෝවා දෙවි අපගේ සරණ හා ශක්තිය කරගනිමින් ඔහු කෙරෙහි විශ්වාසය තබනවා නම් ඒ ආශීර්වාද ලැබෙනවාට කිසිම සැකයක් නැහැ.

“දාවිත්ගේ යාච්ඤා” නිම වන්නේ මෙම වචනවලිනුයි. “ආශ්චර්ය කිරීමට එකම කර්තෘ වූ ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා වූ දෙවිට ආශීර්වාද වේවා! ඔහුගේ ශ්‍රීමත් නාමයට සදාකල් ආශීර්වාද වේවා! මුළු පොළොව ඔහුගේ මහිමයෙන් පිරේවා! ආමෙන්, ආමෙන්.” (ගීතාවලිය 72:18-20) අපි අපගේ දෙවිට හා ඔහුගේ නාමයට අපගේ හද පිරී ප්‍රශංසාව පුදමු.

[9වන පිටුවේ පින්තූරය]

‘රජ දුවගෙන්’ නියෝජනය වන්නේ කවුරුන්ද?

[9, 10වන පිටුවේ පින්තූරය]

යෙරුසලම “අලංකාරයෙන් සම්පූර්ණ වූ” නුවරක් ලෙස හඳුන්වන්නේ ඇයි?