Skip to content

පටුනට යන්න

“ජීවිතය තෝරාගන්න”

“ජීවිතය තෝරාගන්න”

“ජීවිතය තෝරාගන්න”

‘මා විසින් ඔබ ඉදිරියෙහි ජීවිතය හා මරණයද ආශීර්වාදය හා ශාපයද තබා ඇත. එබැවින් ජීවත්ව සිටින පිණිස ජීවිතය තෝරාගන්න.’—ද්විතීය කතාව 30:19, 20.

1, 2. මිනිසාව දෙවිගේ ස්වරූපයෙන් නිර්මාණය කළා කීමෙන් අදහස් වන්නේ කුමක්ද?

මිනිසාව නිර්මාණය කර ඇත්තේ ඉවෙන් ක්‍රියා කරන සතුන්ට වඩා බොහෝ සෙයින් වෙනස්වයි. එසේ වීමට හේතුව උත්පත්ති 1:26, 27හි පැහැදිලි කරන්නේ මෙසේයි. ‘දෙවි: අපගේ ස්වරූපය මෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදමු යයි කීය. දෙවි තමන් ස්වරූපය මෙන් මනුෂ්‍යයා මැවුවේය. දෙවිගේ ස්වරූපය මෙන් ඔහුව මැවුවේය.’ මෙහි ‘දෙවිගේ ස්වරූපයෙන්’ මිනිසාව නිර්මාණය කළා කීමෙන් අදහස් කරන්නේ දෙවිගේ ශ්‍රේෂ්ඨ ගුණාංග වන ප්‍රේමය, යුක්තිය, ප්‍රඥාව සහ බලය තම ක්‍රියා තුළින් විදහාපෙන්වීමට හැකියාවත් සිතීමේ හැකියාවත් මිනිසාට දුන් බවයි. ඔහුට හෘදය සාක්ෂියක්ද තිබුණා. නිවැරදි තීරණ ගැනීමටත් එමගින් දෙවිව සතුටු කිරීමටත් මෙය ඔහුට උපකාරවත් වුණා. (රෝම 2:15) කෙටියෙන්ම කිව්වොත් නිදහසේ තීරණ ගැනීමේ හැකියාව ආදම්ට තිබුණා. යෙහෝවා දෙවිගේ මෙම අපූරු නිර්මාණය ගැන ඔහුට හැඟුණේ කොහොමද? “එය ඉතා යහපත්” බව ඔහු පැවසුවා.—උත්පත්ති 1:31; ගීතාවලිය 95:6.

2 ආදම්ගෙන් පැවතෙන්නන් වන අපත් දෙවිගේ ස්වරූපය පිළිබිඹු කරනවා. නමුත් නිදහසේ තීරණ ගැනීමේ හැකියාව අපටත් තිබෙනවාද? ඔව්. එයට හේතුව සෑම දෙයක්ම කල්තියාම දැනගැනීමේ හැකියාව දෙවිට තිබුණත්, අප සියලුදෙනාගේම ක්‍රියා සහ අනාගතය ඔහු කලින්ම තීරණය කර නැති නිසයි. එසේ වුවත් නිදහසේ තීරණ ගැනීමේ අප සතු හැකියාව යොදාගෙන නිවැරදි තීරණ ගැනීම වැදගත්. මෙහි ඇති වැදගත්කම අපට පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඉගෙනගත හැකියි.—රෝම 15:4.

එකිනෙකට වෙනස් තේරීම් දෙකක්

3. දස පනතේ මුල්ම ආඥාව කුමක්ද? එයට කීකරු වන්න විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන් තීරණය කළේ කෙසේද?

3 “වහල්කමේ ගෙය නමැති ඊජිප්තු දේශයෙන් ඔබ පිටත ගෙනාවාවූ ඔබගේ දෙවි වූ යෙහෝවා මමය” කියා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (ද්විතීය කතාව 5:6) ඊජිප්තුවේ වහල්භාවයෙන් ක්‍රි.පූ. 1513දී ආශ්චර්යවත් ලෙස නිදහස ලැබූ ඊශ්‍රායෙල්වරුන්ට දෙවිගේ එම වචන සැක කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඉන් ටික කලකට පසු මෝසෙස්ට දෙනු ලැබූ දස පනතේ මුල්ම ආඥාවට අනුව “මා මිස අන් දෙවිවරුන් ඇතුව නොසිටින්න” කියා යෙහෝවා දෙවි ඔවුන්ට පැවසුවා. (නික්මයාම 20:1, 3) එම අණට කීකරු වන්න ඒ මුළු ජාතියම තීරණය කළා. ඔවුන් කැමැත්තෙන්ම පොරොන්දු වුණේ දෙවිට තම පූර්ණ භක්තිය දීමටයි.—නික්මයාම 20:5; ගණන් කතාව 25:11.

4. (අ) මෝසෙස් ඊශ්‍රායෙල්වරුන් ඉදිරියේ තැබුවේ කුමන තේරීමද? (ආ) අප ඉදිරියේ තිබෙන තේරීම කුමක්ද?

4 ඉන් අවුරුදු 40කට පමණ පසු යෙහෝවා දෙවි මෝසෙස් මගින් ඊශ්‍රායෙල්හි සිටි අලුත් පරම්පරාව ඉදිරියේ තේරීමක් තැබුවා. එය මෝසෙස් අවධාරණය කළේ මෙසේයි. ‘මා විසින් ඔබ ඉදිරියෙහි ජීවිතය හා මරණයද ආශීර්වාදය හා ශාපයද තැබූ බවට අද ඔබට විරුද්ධව සාක්ෂි දෙන පිණිස ස්වර්ගයටත් භූමියටත් හඬගසමි. එබැවින් ඔබද ඔබේ වංශයද ජීවත්ව සිටින පිණිස ජීවිතය තෝරාගන්න.’ (ද්විතීය කතාව 30:19, 20) අප ඉදිරියේ තිබෙන්නෙත් ඒ හා සමානම තේරීමක්. අපි දෙවිට විශ්වාසවන්තව සිටින්න තීරණය කළොත් එහි ප්‍රතිඵලය සදාකාල ජීවනයයි. අනික් අතට දෙවිට අකීකරු වෙන්න තීරණය කළොත් එහි අනිසි ප්‍රතිඵලද අපට විඳින්න සිදු වෙනවා. මෙවැනි එකිනෙකට වෙනස් තීරණ ගත් ඊශ්‍රායෙල්වරුන්ගේ උදාහරණ දෙකක් සලකා බලමු.

5, 6. යෝෂුවා ගත්තේ කවර තීරණයක්ද? කුමන ප්‍රතිඵල ඇතුවද?

5 ඊශ්‍රායෙල්වරුන් ක්‍රි.පූ. 1473දී පොරොන්දු දේශයට පැමිණියේ යෝෂුවාගේ නායකත්වය යටතෙයි. ඔහුගේ මරණයට ටික දවසකට පෙර ඔහු මුළු ජාතියෙන්ම මහත් උනන්දුවකින් ඉල්ලා සිටියේ මෙසේයි. “යෙහෝවාට මෙහෙ කිරීම නපුරුයයි ඔබට හැඟෙන්නේ නම් ගඟ එතෙර ඔබගේ පියවරුන් මෙහෙ කළ දෙවිවරුන් අතරෙන් හෝ ඔබ වසන දේශයේ විසූ අමෝරියයන්ගේ දෙවිවරුන් අතරෙන් හෝ ඔබ මෙහෙ කරන්ට කැමති කෙනෙකු අදම තෝරාගන්න.” තමාද තම පවුලද ගත් තීරණය ගැන සඳහන් කරමින් ඔහු කිව්වේ “මමද මාගේ පවුලද යෙහෝවාට මෙහෙ කරමුයයි” කියායි.—යෝෂුවා 24:15.

6 මෙවැනි තීරණයක් ගන්න යෝෂුවාට පුළුවන් වුණේ කොහොමද? යෙහෝවා දෙවි ඔහුට පැවසුවේ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න කියායි. ඒ සඳහා දෙවිගේ නීතිවලින් බැහැර වෙන්න එපා කියා දෙවි උපදෙස් දුන්නා. තමාගේ මාර්ගය සඵල කරගැනීමට නම් ව්‍යවස්ථා පොත රෑ දාවල් මෙනෙහි කරන්න කියාද මඟ පෙන්වුවා. (යෝෂුවා 1:7, 8) යෝෂුවා මෙම මඟ පෙන්වීම්වලට කීකරු වූ නිසා ඔහු ගත් තීරණවලට බොහෝ ආශීර්වාද ලැබුණා. “යෙහෝවා ඊශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් නිෂ්ඵල නොවී සියල්ල සිද්ධ විය” කියා ඔහු පැවසුවේ එනිසයි.—යෝෂුවා 21:45.

7. යෙසායාගේ කාලයේ ඇතැම් ඊශ්‍රායෙල්වරුන් ගත් අඥාන තීරණය කුමක්ද? කවර ප්‍රතිඵල ඇතුවද?

7 නමුත් ඊට අවුරුදු 700කට පමණ පසුව සිටි ඊශ්‍රායෙල්වරුන් ගත් තීරණය මීට හාත්පසින්ම වෙනස්. මේ වෙනකොට ඔවුන් නමස්කාර කරමින් සිටියේ බොරු දෙවිවරුන්ටයි. අවුරුද්දේ අවසාන දවසේ විවිධ කෑමවලින්ද මිහිරි වයින්වලින්ද පිරී තිබූ මේසයක් වටේ ඔවුන් රැස් වුණේ සතුටු සාමිච්චියේ යෙදෙන්න නම් නොවෙයි. ඒ වෙනුවට බොරු දෙවිවවරුන් දෙදෙනෙකු වෙනුවෙන් සූදානම් කළ උත්සවයක් පැවැත්වීමටයි. ඔවුන්ගේ මෙම ද්‍රෝහිකම ගැන යෙහෝවා දෙවි යෙසායා තුළින් පැවසුවේ ‘ඔබ මාව අත්අරින්නාවූ මාගේ ශුද්ධ කන්ද සිහි නැති කරන්නාවූ ඉරණමට මේසයක් සූදානම් කරන වාසනාවට මිශ්‍ර මිදි යුෂ වත්කොට භාජන පුරවන්නාවූ අය වන්නහුය’ කියායි. තම අස්වනු සරු කරගැනීමට ඔවුන් රඳා සිටියේ දෙවිගේ ආශීර්වාදය මත නොව නමුත් ‘වාසනාවේ’ හා ‘ඉරණමේ’ දෙවිවරුන් මතයි. ඔවුන් හිතාමතාම දෙවිට විරුද්ධව ක්‍රියා කරන්න තීරණය කළ නිසා ඔවුන්ට දෙවිගේ ආශීර්වාදය අහිමි වුණා. ඒ බව දෙවිගේ මේ වචනවලින් පැහැදිලියි. “ඔබ කඩුවට නියම කරන්නෙමි. ඔබ සියල්ලෝ මරනු ලබන්ට නැමෙන්නහුය; මක්නිසාද මා අඬගැසූ විට ඔබ උත්තර නුදුන්නහුය; මා කතා කළ විට ඔබ නාසා මාගේ ඇස් හමුයෙහි නපුරුකම් කොට මම අකැමති දේ තෝරා ගත්තහුය.” (යෙසායා 65:11, 12) ඔවුන්ව මේ විපත්තියෙන් ගලවන්නට ඒ දෙවිවරුන්ට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. ඔවුන්ගේ අඥාන තීරණය හේතුවෙන් ඔවුන්ට අවසානයේදී අත් වුණේ විනාශයයි.

නිවැරදි තීරණයක් ගැනීම

8. ද්විතීය කතාව 30:20ට අනුව නිවැරදි තීරණය ගැනීම සඳහා ගත යුතු පියවර මොනවාද?

8 ජීවිතය තෝරාගන්න කියා ඊශ්‍රායෙල්වරුන්ට උනන්දු කළ විට මෝසෙස් ඒ සඳහා ගත යුතු පියවර තුනක් සඳහන් කළා. “ඔබේ දෙවිවූ යෙහෝවාට ප්‍රේම කර, දෙවිගේ හඬට කීකරුව දෙවිට ඇලුම්ව” සිටිය යුතු බව ඔහු පැවසුවා. (ද්විතීය කතාව 30:20) අපද නිවැරදි තීරණයක් ගත යුතු නිසා මෙම පියවර තුන සලකා බැලීම වටිනවා.

9. දෙවි සඳහා අපගේ ප්‍රේමය පෙන්විය හැක්කේ කෙසේද?

9 අපගේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කිරීම. අප යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණය කළේ අප ඔහුට ප්‍රේම කරන නිසයි. මේ ලෝකයේ පවතින දුරාචාරය හා සැප සම්පත් පසුපස හඹා යෑම ඉතා ආකර්ෂණීය ලෙස පෙනෙනවා. නමුත් ඊශ්‍රායෙල්වරුන්ට දුන් අනතුරු ඇඟවීම් සිහියේ තබාගෙන එවැනි දේවල නිරත වීම කොතරම් අනතුරුදායකද කියා හඳුනාගන්න අපි උත්සාහ දරනවා. අප ඒ දේවලට විරුද්ධව පියවර ගන්නේ දෙවිව අසතුටු කරන්න අප කැමති නැති නිසයි. (1 කොරින්ති 10:11; 1 තිමෝති 6:6-10) අපගේ අදිටන වන්නේ යෙහෝවාට ඇලුම්ව සිට ඔහුගේ ආඥා පැවැත්වීමයි. (යෝෂුවා 23:7; ගීතාවලිය 119:5, 8) ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල්වෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී මෝසෙස් ඔවුන්ට මෙසේ උනන්දු කළා. “බලන්න, මාගේ දෙවි වූ යෙහෝවා මට අණ කළ ලෙසම ඔබ හිමි කරගන්ට යන දේශයෙහිදී පවත්වන පිණිස පනත්ද විනිශ්චයයන්ද ඔබට ඉගැන්වීමි. එබැවින් ඒවා රක්ෂා කොට පවත්වන්න. මක්නිසාද මෙය වර්ගයන් ඉදිරියෙහි ඔබගේ ඥානයද බුද්ධියද වේ. ඔවුහු මේ සියලු පනත් අසා සැබවින් මේ මහත් ජාතිය ඥානවන්ත වූ බුද්ධිමත් වූ සෙනඟක්යයි කියන්නෝය.” (ද්විතීය කතාව 4:5, 6) දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේට මුල් තැන දෙමින් ඔහු සඳහා අපගේ ප්‍රේමය පෙන්වන්න කාලය දැනුයි. අප එවැනි තීරණයක් ගන්නවා නම් ඊට ආශීර්වාද ලැබෙනවා නොඅනුමානයි.—මතෙව් 6:33.

10-12. නෝවාගේ කාලයේ සිදු වූ දේවලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

10 දෙවිගේ හඬට කීකරුව සිටීම. නෝවා “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු” ලෙස කටයුතු කළා. (2 පේතෘස් 2:5) නමුත් සියල්ලන්ම පාහේ තම තමුන්ගේ වැඩ කටයුතුවල නිරත වෙමින් සිටි අතර ඔහුගේ අනතුරු ඇඟවීම ගැන “කිසි තැකීමක්” කළේ නැහැ. ප්‍රතිඵලය? “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන” ගියා. නෝවාගේ කාලයේ සිදු වූ දේ අද දින දෙවිගේ පණිවිඩයට අකීකරු වන්න තීරණය කරන සියල්ලන්ටද ප්‍රබල අනතුරු ඇඟවීමක්. එයට හේතුව සපයමින් යේසුස් පවසන්නේ “මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද” නෝවාගේ කාලය හා සමාන වන බවයි.—මතෙව් 24:39.

11 වර්තමානයේ දෙවිගේ සේවකයන් කරන අනතුරු ඇඟවීම් සමච්චලයට ලක් කරන අය තමන්ට අත්වන ප්‍රතිඵල මොනවාදැයි තේරුම්ගත යුතුයි. එවැනි අය ගැන පේතෘස් පවසන්නේ මෙසේයි. “ඔවුහු ඕනෑකමින්ම මේ කාරණාව අමතක කරති. එනම්, පුරාණයේ සිට පැවත ආ අහසක් හා දෙවිගේ වචනය මාර්ගයෙන් වතුරෙන් ඉහළට මතු වූද, වතුර මධ්‍යයෙහි වූද ගන වූ පොළොවක් තිබුණු බවත්, එමගින් එකල තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ වූ බවත් ඔවුහු අමතක කරති. නමුත් එම වචනය මාර්ගයෙන්ම, දැන් තිබෙන අහසත් පොළොවත්, ගින්නෙන් දවාලීම සඳහාත් විනිශ්චයේ හා අභක්තික මිනිසුන්ගේ විනාශයේ දවස සඳහාත් තබා තිබේ.”—2 පේතෘස් 3:3-7.

12 නෝවා සහ ඔහුගේ පවුල ගත් තීරණය මීට වඩා කොතරම් වෙනස්ද! බයිබලයේ පවසන්නේ “ඇදහිල්ලෙන් නෝවා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දිව්‍යමය අනතුරු ඇඟවීමක් ලැබ දේවභය පෙන්වමින් තම ගෙයි වැසියන්ගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය” කියායි. එම අනතුරු ඇඟවීමට කීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට තම දිවි ගලවාගත හැකි වුණා. (හෙබ්‍රෙව් 11:7) දෙවිගේ හඬට සවන් දී ඊට කීකරු වන්න අපිත් උත්සුක වෙමු.—යාකොබ් 1:19, 22-25.

13, 14. (අ) යෙහෝවා දෙවිට ‘ඇලුම්ව සිටීම’ වැදගත් වන්නේ මන්ද? (ආ) අපව සකස් කරන්න “අපේ කුම්භකාරයා” වන දෙවිට ඉඩහරින්නේ කෙසේද?

13 යෙහෝවා දෙවිට ඇලුම්ව සිටීම. ‘ජීවිතය තෝරාගෙන ජීවත් වන්න නම්’ යෙහෝවා දෙවිට ප්‍රේම කර ඔහුට සවන් දී සිටීම පමණක් මදි. අප ඔහුට ඇලුම් වීමත් අවශ්‍යයි. එනම් අත්හරින්නේ නැතුව ඔහු කැමති දේ කරමින් සිටිය යුතුයි. යේසුස් පැවසුවේ ‘ඔබේ ජීවිතය ඔබට ලැබෙන්නේ ඔබේ විඳදරාගැනීමෙන්’ කියායි. (ලූක් 21:19) මේ සම්බන්ධයෙන් අප ගන්නා තීරණයෙන් හෙළි වන්නේ අපගේ සිතේ තිබෙන නැඹුරුවාවයි. හිතෝපදේශ 28:14හි එය පැහැදිලි කරන්නේ මෙසේයි. “නිතරම ගරුබියක් ඇතිව සිටින්නා සන්තෝෂවත්ය. නමුත් තම සිත දැඩි කරගන්නා විපතට පත් වෙයි.” (නව ලොව පරිවර්තනය) පුරාණ ඊජිප්තුවේ සිටි පාරාවෝ තම සිත දැඩි කරගත් කෙනෙක්. පීඩා දහය එකිනෙක ඊජිප්තුවට පහර දෙද්දී දේවගරුබියක් පෙන්වනවා වෙනුවට ඔහු තම සිත දැඩි කරගත්තා. ඔහු විදහාපෙන්වූ මුරණ්ඩු ස්වභාවයට වගකිව යුත්තේ දෙවි නොවෙයි. එසේ වීමට හිතුවක්කාරව තීරණය කළේ ඔහුයි. කොහොමනමුත් දෙවිගේ කැමැත්ත ඉටු වුණා. පාරාවෝ ගැන දෙවි දැරූ ආකල්පය පාවුල් පැහැදිලි කරන්නේ මෙලෙසයි. “මා ඔබව ඉතිරි කළේ ඔබ තුළින් මාගේ බලය පෙන්වා, මාගේ නාමය මුළු පොළොවෙහිම ප්‍රකාශ වන පිණිසය.”—රෝම 9:17.

14 පාරාවෝගේ ග්‍රහණයෙන් ඊශ්‍රායෙල්වරුන් මිදී සියවස් ගණනාවකට පසුව යෙසායා මෙසේ පැවසුවා. “යෙහෝවා, ඔබ අපේ පියාණෝය. අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය. අපි සියල්ලෝ ඔබගේ හස්ත කර්මාන්තයෝය.” (යෙසායා 64:8) පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා එහි ප්‍රමිති පිළිපැදීමට උත්සාහ කිරීමෙන් අප පෙන්වන්නේ තමාට කැමති අයුරින් අපව සකස් කරන්න අප දෙවිට ඉඩහරින බවයි. ප්‍රතිඵලයක් ලෙස අප තුළ ක්‍රමානුකූලව අලුත් පෞද්ගලිකත්වයක් ඇති වෙනවා. අප වඩාත් මෘදු, නම්‍යශීලී පුද්ගලයන් බවට පත් වන නිසා දෙවිට පක්ෂපාතව ඇලී සිටින්න අපට වඩාත් පහසුයි. අපගේ අවංක ආශාව වන්නේ ඔහුව සතුටට පත් කිරීමයි.—එෆීස 4:23, 24; කොලොස්සි 3:8-10.

‘මාගේ වචන ඇසෙන්ට සැලැස්විය යුතුයි’

15. ද්විතීය කතාව 4:10ට අනුව ඊශ්‍රායෙල්වරුන්ට තිබුණු වගකීම් දෙක කුමක්ද?

15 පොරොන්දු දේශයට පය තබන්න සිටි ඊශ්‍රායෙල් ජාතියට මෝසෙස් මෙසේ පැවසුවා. “ඔබගේ ඇස්වලින් දුටු දේ ඔබට සිහි නැති නොවන පිණිසත් ඔබගේ ජීවත් වීමේ සියලු දවස්වලදී ඒවා ඔබගේ හෘදයෙන් පහ නොවන පිණිසත් ඔබගේ පුත්‍රයන්ටද පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද ඒවා උගන්වන පිණිසත් පරෙස්සම් වී උනන්දු ලෙස ඔබගේ ප්‍රාණය රක්ෂා කරගන්න.” (ද්විතීය කතාව 4:10) දෙවිගේ ආශීර්වාද ලබාගෙන තමන්ට උරුම වන දේශයේ සමෘද්ධිමත් වීමට නම් ඊශ්‍රායෙල් ජනතාවට දෙවි වගකීම් දෙකක් පැවරුවා. එකක් නම් තම ඇස් පනාපිටම දෙවි කළ පුදුම ක්‍රියා අමතක නොකිරීමයි. අනික අනාගත පරම්පරාවලට ඒවා ගැන කියා දීමයි. දෙවිගේ සේවකයන් වන අපිත් ජීවිතය තෝරාගෙන ජීවත් වන්නට නම් එම වගකීම් දෙකම ඉටු කළ යුතුයි. දෙවි අපගේ ඇස් පනාපිටම සිදු කර තිබෙන්නේ මොන වගේ දේවල්ද?

16, 17. (අ) ගිලියද් පාසැලෙන් ලැබූ පුහුණුව මගින් බොහෝදෙනෙකු ඉටු කර තිබෙන්නේ කුමක්ද? (ආ) පසුබසින්නේ නැතිව දිගටම උද්‍යෝගයෙන් සේවය කළ අය ගැන ඔබට විස්තර සැපයිය හැකිද?

16 උදාහරණයකට දෙවි දේශනා කිරීමේ හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ කටයුත්ත මෙහෙයවා ඇති ආකාරය සලකා බලන්න. වර්ෂ 1943දී ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ ආරම්භයත් සමඟම විදේශ රටවල් බොහොමයකට ගොස් මිනිසුන්ට සත්‍යය උගන්වන්න බොහෝදෙනෙකුට පුහුණුවක් ලබා දී තිබෙනවා. මෙම පාසැල පැවැත්වූ මුල් අවුරුදුවලදී ඊට සහභාගි වූ බොහෝදෙනෙක් දැන් ඉතා වයස්ගතව සිටියත්, නොයෙකුත් සෞඛ්‍ය ගැටලවට මුහුණ පෑවත් ඔවුන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්නේ මහත් උද්‍යෝගයකිනුයි. මෙයට එක් කදිම උදාහරණයක් වන්නේ 1944දී පැවති පාසැලට සහභාගි වූ මේරි ඕල්සන්. ඇය රටවල් කිහිපයක සේවය කර තිබෙනවා. ඇය මුලින්ම සේවය කළේ උරුගුවේ නම් රටෙයි. ඉන්පසුව සිටියේ කොලොම්බියාවේ. දැන් ඇය සේවය කරන්නේ පුවටෝ රීකෝ නම් රටෙයි. ඇගේ වයස නිසා නොයෙකුත් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණත් සහෝදරි ඕල්සන් තවමත් දේවසේවයේ සහභාගි වන්නේ මහත් උනන්දුවකිනුයි. ස්පාඤ්ඤ භාෂාව කතා කිරීමේ තම හැකියාවද යොදාගනිමින් ඇය හැම සතියකම සභාවේ ප්‍රචාරකයන් සමඟ සේවයේ හවුල් වෙනවා.

17 දැන් වැන්දඹුවක්ව සිටින නැන්සි පෝටර් ගිලියද් පාසැලට සහභාගි වුණේ 1947දීයි. ඇය තවමත් සේවය කරමින් සිටින්නේ බහමාස් දූපත්වලයි. ඇයත් දේශනා සේවයේ වෙහෙස මහන්සිය නොබලා කටයුතු කරන තවත් සහෝදරියක්. ඇගේ ජීවිත කතාව සකසද්දී ඇය පැවසුවේ “අනිත් අයට බයිබල් සත්‍යය ඉගැන්වීම, ප්‍රීතිය ලැබෙන හොඳම ක්‍රමයක්” කියායි. * ඇය තවදුරටත් කියන්නේ ඇගේ ජීවිතයට පිළිවෙළක් හා ‘ස්ථාවරත්වයක්’ ලැබී තිබෙන බවයි. සහෝදරි පෝටර් ඇතුළු විශ්වාසවන්ත සේවකයන් තමන්ගේ අතීතය සිහි කරද්දී යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් කර ඇති දේ ඔවුන්ට අමතක වන්නේ නැහැ. අපත් ඒ වගේද? දෙවි අපගේ ප්‍රදේශයේ දේශනා සේවයට ආශීර්වාද කර ඇති ආකාරය ගැන අපටත් එවැනිම හැඟීම් ඇති වෙනවාද?—ගීතාවලිය 68:11.

18. විදේශ රටවලට ගොස් සේවය කරන අයගේ ජීවිත කතා කියවීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

18 මෙවැනි වයස්ගත අය කර ඇති දේ හා දැනටමත් කරමින් සිටින දේ දකින විට අපට ඇති වන්නේ ඉමහත් සතුටක්. ඒ වගේම ඔවුන්ගේ ජීවිත කතා කියවීමෙන් දෙවි ඔවුන් වෙනුවෙන් කර තිබෙන මහත් දේවල් දකින විට අපට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. ඒ විතරක් නොවෙයි දෙවිට සේවය කරන්න අප ගත් අධිෂ්ඨානයත් තව තවත් ශක්තිමත් වෙනවා. මුරටැඹ සඟරාවේ නොකඩවා පළ වන මෙවැනි දිරිගන්වනසුලු ජීවිත කතා කියවන්න ඔබත් පුරුදු වී සිටිනවාද?

19. දෙමාපියන්ට මුරටැඹ සඟරාවේ සඳහන් ජීවිත කතා ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද?

19 ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් මතක් කළේ දෙවි ඔවුන්ට කර ඇති මහත් දේවල් ඔවුන් කිසිදා අමතක නොකළ යුතු බව සහ ඒවා තමුන්ගේ හදවතේ පැලපදියම් කර ගත යුතු බවයි. ඔවුන් ගත යුතු තවත් වැදගත් පියවරක් ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ “ඔබගේ පුත්‍රයන්ටද පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද ඒවා උගන්වන පිණිස” කටයුතු කරන්න කියායි. (ද්විතීය කතාව 4:10) සැබෑ ජීවිත කතා අප කියවන විට ඒවා අපට තදින් බලපානවා. අපගේ දරුවන්ට යහපත් ආදර්ශ අවශ්‍යයි. ඒ වගේම මුරටැඹ සඟරාවේ පළ වන වයසක සහෝදරියන්ගේ ජීවිත කතාවලින් අවිවාහක සහෝදරියන්ට ඉමහත් දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන්. තම රටෙහිම පවා වෙනත් භාෂාවක් කතා කරන ප්‍රදේශයක සේවය කිරීමෙන් අපගේ සහෝදර සහෝදරියන්ට තම සේවය තවත් පුළුල් කළ හැකියි. දෙමාපියෙනි, ඔබේ දරුවන්ට පූර්ණ-කාලීන සේවය තෝරාගැනීමට දිරිගැන්වීමක් ලෙස ගිලියද් පාසැලට සහභාගි වූ අය ඇතුළුව විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් කියවා සාකච්ඡා කිරීම හොඳ අදහසක් නොවෙයිද?

20. ‘ජීවිතය තෝරාගැනීමට’ නම් අප කුමක් කළ යුතුද?

20 එසේනම් අප සැමට ‘ජීවිතය තෝරාගත’ හැක්කේ කෙසේද? නිදහසේ තේරීම් කිරීමේ හැකියාව නමැති විශිෂ්ට දායාදය ඥානවන්තව පාවිච්චි කිරීමෙනුයි. එනම් යෙහෝවා දෙවිට අප කොතරම් ප්‍රේම කරනවාද කියා පෙන්වීමෙන් හා අපගේ ජීවිතය පුරාවටම ඔහුට සේවය කිරීමෙනුයි. මෝසෙස් පැවසුවේ යෙහෝවා දෙවි ‘ඔබේ ජීවිතයද දීර්ඝායුෂද වන’ බවයි.—ද්විතීය කතාව 30:19, 20.

[පාදසටහන]

^ 17 ඡේ. වර්ෂ 2001 ජූනි 1 මුරටැඹ සඟරාවේ 23-27 දක්වා පිටුවල පළ වූ “හද කම්පා කරන අහිමි වීමක් මැද ප්‍රීතියෙන් සහ තුති පුදමින්” යන අද්දැකීම බලන්න.

ඔබට මතකද?

• අප සලකා බැලූ එකිනෙකට වෙනස් තේරීම් දෙකෙන් ඔබ ඉගෙනගත්තේ මොනවාද?

• ‘ජීවිතය තෝරාගැනීමට’ නම් අප ගත යුතු පියවර මොනවාද?

• අපට උනන්දු කර තිබෙන්නේ කවර වගකීම් දෙක ඉටු කරන්නද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

‘ඔබ ඉදිරියෙහි ජීවිතය හා මරණය තබා ඇත්තෙමි’

[29වන පිටුවේ පින්තූරය]

දෙවිගේ හඬට සවන් දුන් නිසා නෝවා සහ ඔහුගේ පවුල තම ජීවිත රැකගත්තා

[30වන පිටුවේ පින්තූරය]

මේරි ඕල්සන්

[30වන පිටුවේ පින්තූරය]

නැන්සි පෝටර්