Skip to content

පටුනට යන්න

දෙවි මහලු අයව රැක බලාගනියි

දෙවි මහලු අයව රැක බලාගනියි

දෙවි මහලු අයව රැක බලාගනියි

මහලු අයට කරන අඩන්තේට්ටම් අද දින දසත පැතිර පැවතීම පුදුමයක් නෙවෙයි. මේ ගැන බොහෝ කාලයකට පෙර බයිබලයේ පැවසුවේ “අන්තිම දවස්වල” සිටින දේවගරුබිය නැති “මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන . . . ජන්ම ස්නේහය නැති” අය වෙන බවයි. (2 තිමෝති 3:1-3) “ජන්ම ස්නේහය” කියා පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයේ අර්ථයට පවුලක් තුළ තිබෙන ප්‍රේමයද ඇතුළත් විය හැකියි. බයිබලයේ අනාවැකිවලට අනුව එවැනි සෙනෙහසක් අද දින එන්න එන්නම අඩු වෙමින් පවතින බව නම් පැහැදිලියි.

මහලු අයට හිරිහැර කරන අයට හාත්පසින්ම වෙනස්ව යෙහෝවා දෙවි ඔවුන්ව ඉතා අනර්ඝ කොට සලකන අතර එවැනි අයව රැක බලාගන්නවා. මේ ගැන බයිබලයේ සඳහන් දේ අපි දැන් බලමු.

“වැන්දඹුවන්ට නඩු අසන්නෙක්”

යෙහෝවා දෙවි මහලු අයට සලකන ආකාරය ගැන බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලිවල සඳහන් වෙනවා. ගීතාවලිය 68:5හි දාවිත් යෙහෝවා දෙවිව හඳුන්වන්නේ මහලු “වැන්දඹුවන්ට නඩු අසන්නෙක්” ලෙසයි. * මෙහි ඇති “නඩු අසන්නෙක්” කියන වචනය වෙනත් බයිබල් පරිවර්තනවල “විනිශ්චයකාරයා” සහ “ආරක්ෂකයාණෝ” ලෙස පරිවර්තනය කර තිබෙනවා. බයිබලය පවසන්නේ වැන්දඹුවන්ට යමෙක් හිරිහැර කරනවා නම් දෙවි මහත් සේ උදහස් වන බවයි. (නික්මයාම 22:22-24) මේ අනුව යෙහෝවා දෙවි වැන්දඹුවන්ට සලකන බව ඉතා පැහැදිලියි. මේ අයවත් විශ්වාසවන්ත මහලු අයවත් දෙවිට සහ ඔහුගේ සේවකයන්ට බොහෝසෙයින් වටිනවා. හිතෝපදේශ 16:31හි මේ ගැන පවසන්නේ “පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක් වේ. එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බ වන්නේය” කියායි.

යෙහෝවා දෙවි මෝසෙස් මගින් ඊශ්‍රායෙල්ට දුන් නීතිය තුළ මහලු අයට ගරු කිරීම අනිවාර්යය දෙයක් වී තිබීම ගැන අපි පුදුම විය යුතු නැහැ. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ අණ කළා. “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැඟී සිටින්න. මහල්ලාගේ මුහුණට ගෞරව කරන්න. ඔබේ දෙවිට භය වෙන්න. යෙහෝවා මමය.” (ලෙවී කතාව 19:32) ඊශ්‍රායෙල්හි සිටි කෙනෙකුට යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න නම් මහලු අයට සැලකීම අනිවාර්යය දෙයක් වුණා. යම් කෙනෙක් මහලු අයෙකුට හිරිහැර කළා නම් ඒ තැනැත්තා දෙවිට ප්‍රේම කළ බව කියන්න බැහැ.

අද ක්‍රිස්තියානීන් සිටින්නේ දෙවි මෝසෙස්ට දුන් නීතිය යටතේ නෙවෙයි. නමුත් ඔවුන් සිටින්නේ “ක්‍රිස්තුස්ගේ නීතිය” යටතෙයි. මේ නීතිය පිළිපැදීමෙන් කෙනෙකුගේ හැසිරීම වගේම ආකල්පත් යහපත් වෙනවා. ඒ මගින් දෙමාපියන්ට සහ මහලු අයට ප්‍රේම කරන්නත් සලකන්නත් ඔවුන් ඉගෙනගන්නවා. (ගලාති 6:2; එෆීස 6:1-3; 1 තිමෝති 5:1-3) ක්‍රිස්තියානීන් මේ ප්‍රේමය පෙන්වන්නේ ඔවුන්ට අණ කර තිබෙන නිසා නෙවෙයි, නමුත් මුළු සිතින්ම පෙලඹිලයි. “හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කරන්න” කියා පේතෘස් ඉල්ලා සිටියේ ඒ නිසයි.—1 පේතෘස් 1:22.

අප මහලු අයට සැලකිය යුත්තේ ඇයි කියන එකට තවත් හේතු සපයමින් යාකොබ් මෙහෙම කියනවා. “අපේ දෙවි සහ පියාණන් වන තැනැත්තා ඉදිරියෙහි පිරිසිදු වූ, දූෂ්‍ය නොවූ නමස්කාර පිළිවෙත නම් මේය: අනාථ දරුවන්ව හා වැන්දඹුවන්ව ඔවුන් අද්දකින පීඩාවලදී බලාගැනීමත්, තමන් ලෝකයෙන් කිලිටි නොවී සිටීමට වගබලා ගැනීමත්ය.” (යාකොබ් 1:27) යාකොබ් හිතට කාවදින කරුණක් අපේ අවධානයට යොමු කරනවා. එනම් යෙහෝවා දෙවිට මහලු අය කොතරම් වටිනවාද කියන එක ගැනයි.

මෙයින් අදහස් කරන්නේ නිකම්ම මහලු අයට හිංසා කිරීමෙන් වැළකී සිටීම පමණක් ඇති කියා නෙවෙයි. එයට ඊට වඩා දෙයක් ඇතුළත්. එනම් ඔවුන්ට අවශ්‍ය වන උපකාර සැපයීම මගින් අපේ ඒ සැලකිල්ල ඔවුන්ට දැනෙන්න සැලැස්වීමයි. (6 සිට 7වන පිටු දක්වා ඇති “ප්‍රේමණීය උපකාර” නම් කොටුව බලන්න.) “ක්‍රියා නැති ඇදහිල්ලද මැරී තිබේ” කියා යාකොබ් ලිව්වේ ඒ නිසයි.—යාකොබ් 2:26.

ඔවුන් අද්දකින පීඩාවලදී බලාගැනීම”

යාකොබ්ගේ එම වචනවලින් අපිට තවත් යමක් ඉගෙනගත හැකියි. යාකොබ් ක්‍රිස්තියානීන්ට කිව්වේ ‘වැන්දඹුවන් අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගන්න’ කියලයි. “පීඩා” යන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ අපේ ජීවිතයේ යම් යම් තත්වයන් නිසා අත් විඳින්න සිදු වන හිත් වේදනා, හිරිහැර හෝ දුක් ගැහැටවලටයි. අප අතර සිටින මහලු අයගෙන් වැඩිදෙනෙක් මෙවැනි තත්වයන් අද්දකින බවට සැකයක් නැහැ. සමහරු තනිකමින් පෙළෙනවා. තවත් සමහරු කලකිරී සිටින්නේ කලින් වගේ දැන් දේවල් කරගන්න බැරි නිසයි. ඒ වගේම තවමත් ක්‍රියාශීලීව දේවසේවය කරන අය පවා යම් අවස්ථාවලදී අධෛර්යයට පත් වෙන්න පුළුවන්. ජෝන් * එවැනි කෙනෙක්. ඔහු වසර 40කට වඩා දේවරාජ්‍යයේ ප්‍රචාරකයෙක් හැටියට සේවය කර තිබෙනවා. ඉන් අවුරුදු 30ක්ම ඔහු ගත කර තිබෙන්නේ විශේෂ පූර්ණ කාලීන සේවයේයි. දැන් අසූගණන්වල පසුවන ජෝන් පවා පිළිගන්නවා සමහර අවස්ථාවලදී තමා අධෛර්යයට පත් වන බව. ඔහු කියන්නේ “මගේ ජීවිතයේ වැරදිච්ච තැන් හුඟක් තියෙනවා. මට සමහර දේවල් ඊට වඩා හොඳින් කරන්න තිබුණා නම්. . . ” කියායි.

යෙහෝවා දෙවිගේ අතින් කවදාවත් වැරැද්දක් සිදු නොවුණත් දුර්වල වූ අපෙන් ඔහු එවැන්නක් බලාපොරොත්තු වෙන්නේ නැහැයි කියන කාරණයෙන්ම එවැනි අයට සැනසීමක්. අපි අතින් සිදු වන අඩුපාඩුකම් ගැන ඔහු දන්නවා. නමුත් බයිබලයේ ඔහු ගැන පවසන්නේ “ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම් යෙහෝවා, සිටින්ට පුළුවන් කාටද?” කියායි. (ගීතාවලිය 130:3) යෙහෝවා දෙවි අපේ අතින් සිදු වන අඩු පාඩුකම්වලට ඔබ්බෙන් බලන අතර අපේ හිතේ තිබෙන දේ ඔහු තේරුම්ගන්නවා. නමුත් අපි එය දන්නේ කොහොමද?

මේ වචන ලියූ දාවිත් රජ අතිනුත් හුඟක් වැරදි සහ අඩු පාඩුකම් සිදු වුණා. දෙවිගේ මඟ පෙන්වීම ඇතිව ගීතාවලිය 139:1-3හි ඔහු රචනා කළේ “යෙහෝවා, ඔබ මා විමසා බලා දැනගත්තේය. ඔබ මාගේ ඉඳීමත් නැඟිටීමත් දන්නේය. දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලා මාගේ සියලු මාර්ග දැනගෙන සිටින්නේය” කියායි. මේ පදවල ඇති “විමසා බලා” යන යෙදුමෙන් අදහස් කරන්නේ ගොවියෙක් ධාන්‍ය පොළා පොතු ඉවත් කර හොඳ ධාන්‍ය ලබාගන්නා ක්‍රියාවලියටයි. දෙවිගේ මඟ පෙන්වීම ඇතිව දාවිත් අපිට යමක් ස්ථිර කරනවා. එනම් යෙහෝවා දෙවි අපගේ ක්‍රියාවන් පොළා යහපත් ක්‍රියාවන් පමණක් මතකයේ තබාගන්න බවයි.

අපගේ දයාබර ස්වර්ගික පියාණන්ට අපි විශ්වාසවන්තව සිටින තාක්කල් ඔහු අපගේ යහපත් ක්‍රියාවන් මතකයේ තබාගෙන ඒවා අගය කරනවා. මෙය සනාථ කරමින් බයිබලයේ පවසන්නේ දෙවිගේ නාමය වෙනුවෙන් අප පෙන්වූ ප්‍රේමය සහ යහපත් ක්‍රියා ඔහු අමතක කළොත් දෙවි එය සලකන්නේ අධර්මිෂ්ඨ ක්‍රියාවක් ලෙසයි.—හෙබ්‍රෙව් 6:10.

“පළමු දේවල් පහව ගියේය”

මිනිසුන් වියපත් වීම දෙවිගේ අරමුණ වුණේ නැහැ. අපගේ මුල් දෙමාපියන් ඔවුන්ගේ මැවුම්කරුට එරෙහිව කැරලිගැසුවා. මිනිසා මහලු වියේ කටුක අද්දැකීම් විඳින්න පටන්ගත්තේ ඉන්පසුවයි. (උත්පත්ති 3:17-19; රෝම 5:12) නමුත් මෙය සදහටම පවතින්න යන දෙයක් නෙවෙයි!

මහලු විය සහ ඒ කාලයේදී අද්දකින හිරිහැර ඇතුළු අපි මුහුණ දෙන කටුක තත්වයන්වලින් පැහැදිලි වන දේ නම් අපි ජීවත් වෙන්නේ මේ සමාජ ක්‍රමයේ “අන්තිම දවස්වල” බවයි. (2 තිමෝති 3:1) නමුත් දෙවිගේ අරමුණ නම් පාපය නිසා ඇති වන මහලු විය සහ මරණය මුලින් උපුටා දැමීමයි. බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.

මේ පොළොව පාරාදීසයක් වන ඒ කාලයේදී ජීවිතයේ සැඳෑ සමයේ අත්විඳින වේදනා කැක්කුම් අතීතයේ දෙයක් බවට පත් වෙනවා. මහලු වියේ විඳින්නට සිදු වන හිරිහැරද තවදුරටත් නැහැ. (මීකා 4:4) ඒ වගේම දෙවිගේ මතකයේ රැඳී සිටින මියගිය අයත් පාරාදීසයක් වන මේ පොළොවේ සදහටම ජීවත් වෙනවා. (යොහන් 5:28, 29) කවදාවත් නොවූ ලෙස ඒ කාලයේදී යෙහෝවා දෙවි තමන්ට කීකරු වෙන සියල්ලන්වම රැක බලාගන්නවා නොඅනුමානයි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. හැම වැන්දඹුවක්ම මහලු නැති බව ඇත්තයි. නමුත් දෙවි යෞවන වැන්දඹුවන්වද සලකන බව ලෙවී කතාව 22:13හි පෙන්වයි.

^ 11 ඡේ. නම වෙනස් කර තිබෙනවා.

[6, 7වන පිටුවේ කොටුව⁄පින්තූර]

ප්‍රේමණීය උපකාර

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින වැඩිමහල්ලන් මහලු අයව රැකබලා ගන්න මූලිකත්වය ගන්නවා. “ඔබට බාර දෙන ලද දෙවිගේ රැළ රැකබලා ගන්න” යන බයිබල් ලේඛක පේතෘස්ගේ අවවාදය ඔවුන් සුළුවට ගන්නේ නැහැ. (1 පේතෘස් 5:2) දෙවිගේ රැළ රැකබලා ගැනීමට, මහලු අයට ප්‍රායෝගික පැතිවලින් උපකාර කිරීමත් අයත් වෙනවා. මීට ඇතුළත් වන්නේ මොන වගේ දේවල්ද?

මහලු අයට ඇත්තටම අපගෙන් ඕනෑ කරන්නේ මොන වගේ උපකාරයක්ද කියා දැනගන්න නම් ඉවසිලිවන්තව ඔවුන්ව නිතර නිතර බලන්න යෑමත් ඔවුන් සමඟ කතා බහ කිරීමත් අවශ්‍යයි. ගෙදරට අවශ්‍ය කරන දේවල් මිල දී ගැනීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න ප්‍රවාහණ පහසුකම් සපයා දීම, ඔවුන්ට ඇහෙන්න බයිබලය සහ වෙනත් සඟරා පොත් පත් කියවීම වැනි ප්‍රායෝගික උපකාර දීම තුළින් ඔවුන්ගේ අවශ්‍යතා පිරිමැසිය හැකියි. වැඩිමහල්ලන්ගේ ඉලක්කය විය යුත්තේ හොඳ සැලැස්මකට අනුව දිගටම ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළක් ඇති කිරීමයි. *

ආර්ථික අතින් යම් දුෂ්කරතාවකට මුහුණ දෙන මහලු සහෝදරයෙක් හෝ සහෝදරියක් සිටිනවා නම්, වැඩිමහල්ලන් ඒ වගේ කෙනෙකුට උදව් කරන්නේ කොහොමද? මුලින්ම ඔහුට හෝ ඇයට උදව් කරන්න දරුවන් හෝ වෙනත් නෑදෑයන් සිටිනවාද කියා සොයා බැලිය යුතුයි. මෙය කළ යුත්තේ 1 තිමෝති 5:4හි මෙම මඟ පෙන්වීමට අනුවයි. “යම් වැන්දඹුවකට දරුවන් හෝ මුනුබුරු මිනිබිරියන් හෝ ඇත්නම්, ඔවුන් පළමුකොට තමුන්ගේම පවුල තුළ දේවභක්තිය පෙන්වීමටත්, ඔවුන්ගේ දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට ප්‍රත්‍යුපකාර කිරීමටත් ඉගෙනගත යුතුය. මන්ද, එය දෙවි ඉදිරියෙහි ප්‍රසන්නය.”

මීට අමතරව එවැනි කෙනෙකුට රජයෙන් දෙන යම් දීමනාවක් ලබාගත හැකිද කියා සොයා බැලීමට යම් පියවර ගන්න වැඩිමහල්ලන්ට පුළුවන්. සභාවේ යම් සාමාජිකයන් පෞද්ගලික මට්ටමින් යම් උපකාර දීමටත් කැමති විය හැකියි. එසේ නැත්නම් මෙවැනි කෙනෙකුට සභා මට්ටමින් යම් උපකාර ලබාදෙන්න ඔහු හෝ ඇය සුදුසු තත්වයක සිටිනවාද කියා වැඩිමහල්ලන්ට තීරණය කළ හැකියි. මෙවැනි සැලැස්මක් මුල් සියවසේ සභාවලත් ක්‍රියාත්මක වූ බව පාවුල් තිමෝතිට පැවසූ මෙම වචනවලින් පැහැදිලි වෙනවා. “වැන්දඹුවක් නාම ලේඛනයේ ඇතුළත් කිරීමට නම්, ඇය වයස අවුරුදු හැටකට අඩු නොවූ, එකම ස්වාමිපුරුෂයෙකුට භාර්යාවකව සිටි තැනැත්තියක් විය යුතුය. ඇය යහපත් ක්‍රියා ගැනද, දරුවන් ඇති දැඩි කිරීම ගැනද, ආගන්තුක සත්කාර කිරීම ගැනද, ශුද්ධ තැනැත්තන්ගේ පාද සේදීම ගැනද, පීඩා විඳින්නන්ට උපකාර කිරීම ගැනද, අත්නෑර සියලු යහපත් ක්‍රියාවල නිරත වී සිටීම ගැනද සාක්ෂියක් ලබන ස්ත්‍රියක් විය යුතුය.”—1 තිමෝති 5:9, 10.

[පාදසටහන]

^ 25 ඡේ. තවත් තොරතුරු දැනගැනීමට 2006 පෙබරවාරි පිබිදෙව්! සඟරාවේ “මහලු විය කටුක වුණත් ගෙවිය හැකියි ප්‍රීතියෙන්” යන ලිපිය බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

දොර්කස් වැන්දඹුවන්ට සැලකුවා—ක්‍රියා 9:36-39