Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවි මෝසෙස්ට දුන් නීතීයේ ඇතැම් ලිංගික ක්‍රියාකාරකම් “අපවිත්‍රයි” කියා හඳුන්වා තිබෙන්නේ ඇයි?

දෙවි මිනිසාගේ ලිංගේන්ද්‍රියන් නිර්මාණය කළේ මිනිස් පැවැත්මට වගේම විවාහක යුවළයන්ගේ සතුට සඳහායි. (උත්පත්ති 1:28; හිතෝපදේශ 5:15-18) කොහොමවුණත් ලෙවී කතාව 12වන පරිච්ඡේදයේ සහ 15වන පරිච්ඡේදයේ ශුක්‍ර මෝචනය, ඔසප් වීම සහ දරු උප්පත්තිය හේතුවෙන් කෙනෙක් අපවිත්‍ර වන බව සඳහන් කර ඒ පිළිබඳව සවිස්තරාත්මක නීති දී තිබෙන බව අපට සොයාගත හැකියි. (ලෙවී කතාව 12:1-6; 15:16-24) එවැනි නීති පැවැත්වීම මගින් පුරාණ ඊශ්‍රායෙල්ට නිරෝගී දිවි පෙවෙතක් ගත කරන්න හැකි වුණ අතර උසස් සදාචාර ප්‍රමිති රැකීමටත් එය දායක වුණා. ඒ වගේම රුධිරය පරිශුද්ධ දෙයක් බවත් මිනිසුන්ට පව් සමාව සඳහා මඟක් අවශ්‍ය බවත් ඔවුන්ට මතක් කර දුන්නා.

අනිත් නීති වගේම ලිංගික ක්‍රියා සම්බන්ධව මොසෙස්ට දුන් නීතියේ සඳහන් අවශ්‍යතාවනුත් ඊශ්‍රායෙල් ජනයාගේ නිරෝගී පැවැත්මට දායක වුණා. එක පොතක මෙහෙම සඳහන් වෙනවා.“මාසික චක්‍රය තුළදී ඔසප් වන දිනවල එක් වීමෙන් වැළකී සිටීමෙන් යම් ලිංගික රෝග . . . සහ ගර්භාශයේ පිළිකා ඇති වීමෙන් වැළකී සිටීමට හැකි වී තිබෙනවා.” (The Bible and Modern Medicine) එවැනි නීති මගින් ඇතැම් නොදන්නා මෙන්ම හඳුනානොගත් රෝගවලින් දෙවිගේ ජනයාව ආරක්ෂා කළා. දෙවි ඔවුන්ට පොරොන්දු වී තිබුණේ තම ආශීර්වාද ඇතිව ඔවුන් බෝ වී මහත් ජාතියක් වන බවයි. ලිංගික ක්‍රියාකාරකම්වලදී යහපත් පුරුදු අනුගමනය කිරීම නිරෝගී දරුවන් බිහි කිරීමට ඉවහල් වූ බව නිසැකයි. (උත්පත්ති 15:5; 22:17) මෙම නීති දෙවිගේ ජනයාට වෙනත් පැතිවලින්ද උපකාර කළා. මෙයින් ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් ඉගෙනගත්තේ තමන්ගේ ලිංගික ආශාවන් පාලනය කරගැනීමටයි.

අපවිත්‍රකම ගැන දුන් නීති ප්‍රධාන වශයෙන් බලපෑවේ ලිංගේන්ද්‍රයන්වලින් රුධිරය වහනය හෝ පිටවීමක් ඇති වන අවස්ථාවලටයි. රුධිරය සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ නීති ඊශ්‍රායෙල්වරුන්ගේ මනසට නැඟුවේ එහි පරිශුද්ධභාවය විතරක් නෙවෙයි. දෙවිට නමස්කාර කිරීමේදී කරන පූජාවන් සහ පව් සමා කිරීමේදී රුධිරයෙන් ඉටුවන අතිවැදගත් කාර්යය ගැනත් ඔවුන්ට ඒත්තුගැන්වූවා.—ලෙවී කතාව 17:11; ද්විතීය කතාව 12:23, 24, 27.

මේ සම්බන්ධයෙන් නීතියේ තිබූ සවිස්තරාත්මක ප්‍රතිපත්ති මිනිසාගේ පව්කාර ස්වභාවය මතක් කිරීමට උපකාරවත් වෙනවා. ආදම් සහ ඒවගේ පාපයෙන් පසුව පව් රහිත දරුවන් බිහි කිරීමට ඔවුන්ට නොහැකි බව ඊශ්‍රායෙල්වරුන් දැනගෙන සිටියා. මුල් යුවළගෙන් පැවත එන සියලුමදෙනා පාපයේ ප්‍රතිඵල වන පව් කිරීමට තිබෙන නැඹුරුවාව සහ මරණය උරුම කරගෙන තිබෙනවා. (රෝම 5:12) විවාහ සැලැස්ම තුළින් පව් රහිත දරුවන් බිහි කිරීමට මිනිසාගේ ප්‍රජනන අවයව නිර්මාණය කර තිබුණු බව ඇත්තයි. නමුත් දැන් දෙමාපියන්ට හැක්කේ පව් කිරීමට නැඹුරුවාවක් ඇති දරුවන්ව බිහි කිරීමට පමණයි.

ඔවුන්ට පව්කාරකම උරුම වී තිබෙන බව හා පව් සමාව ලබාගෙන පරිපූර්ණත්වය අත් කරගැනීම සඳහා ස්ථිර යමක් අවශ්‍ය බව, පවිත්‍රව සිටීමට නීතියේ සඳහන්ව තිබූ උපදෙස් මගින් ඊශ්‍රායෙල්වරුන්ට සිහිගැන්වූවා. මෙම අවශ්‍යතා ඔවුන් ඉදිරිපත් කළ සත්ව පූජාවලින් ඉටු වුණේ නැහැ. (හෙබ්‍රෙව් 10:3, 4) මෝසෙස්ට දුන් නීතියේ අරමුණ වුණේ මිනිසුන්ව යේසුස් වෙතට යොමු කිරීමයි. මෙමගින් සැබෑ සමාව ලබාගැනීමට එකම ක්‍රමය යේසුස්ගේ පරිපූර්ණ ජීවිත පූජාව බව තේරුම්ගැනීමට ඔවුන්ට හැකි වන අතර විශ්වාසවන්ත අයට සදාකාල ජීවනයේ ප්‍රස්තාවද උදා වෙනවා.—ගලාති 3:24; හෙබ්‍රෙව් 9:13, 14.