Skip to content

පටුනට යන්න

මහලු අපිට ඇයි මෙතරම් හිරිහැර?

මහලු අපිට ඇයි මෙතරම් හිරිහැර?

මහලු අපිට ඇයි මෙතරම් හිරිහැර?

සුඛෝපබෝගී තට්ටු නිවාස සංකීර්ණයේ මුරකරු සුපුරුදු ලෙස තම මුර සංචාරයේ යෙදෙමින් සිටියා. එකවරම ඔහු දුටු බිහිසුණු දසුන නිසා ඔහුව ගල් ගැසී ගියා. ඒ මහලු යුවළකගේ අප්‍රාණික සිරුරු බිම වැටී තිබෙනවා දැකීමෙනුයි. ඔවුන් මිය ගොස් තිබුණේ මේ ගොඩනැඟිල්ලේ අටවන තට්ටුවෙන් බිමට පැනීම නිසයි. මේ සියදිවි නසාගැනීම ගැන ඇසීමෙන් අපි කම්පනයට පත් වුණත් එයට හේතු වූ කරුණ දැනගැනීමෙන් අපි ඊටත් වඩා කම්පනයට පත් වෙනවා. ඒ මහලු සැමියාගේ සාක්කුවක තිබූ කොළ කැබැල්ලක මෙහෙම ලියා තිබුණා. “අපි මේ වගේ තීරණයක් ගන්න හිතුවේ අපේ පුතාගෙනුයි ලේලිගෙනුයි විඳින්න වුණ අනන්ත අප්‍රමාණ හිරිහැර කරදර ඉවසගන්න බැරිම තැනයි.”

ඒ සිද්ධිය කියවීමෙන් ඔබ පුදුම වෙනවා ඇති. මේ වගේ දේවල් සෑම තැනම සිදු වෙන්නේ නැති බව ඇත්තයි. නමුත් මේ සිද්ධියට මුල් වුණ කරුණ වන මහලු අයට හිරිහැර කිරීම නම් අද ලෝකය පුරාම දකින්ට ලැබෙන සාමාන්‍ය දෙයක්. ඒ ගැන නිදසුන් කිහිපයක් සලකා බලමු:

• කැනඩාවේ කරන ලද අධ්‍යයනයකට අනුව එහි වෙසෙන මහලු අයගෙන් සියයට 4ක්ම ජීවත් වන්නේ හිරිහැර කරදර විඳිමිනුයි. බොහෝ දුරට ඔවුන් මේවා අද්දකින්නේ තම පවුලේ අයගෙන්මයි. නමුත් බොහෝ මහලු අය මේ ගැන හෙළි කරන්න භයෙන් හෝ ලජ්ජාවෙන් සිටිනවා. මේ අනුව බලද්දී හිරිහැර විඳින අයගේ නියම සංඛ්‍යාව සියයට 10කට ආසන්න වන බව විද්වතුන්ගේ මතයයි.

• “ඉන්දියානු පවුල්වල සාමාජිකයන් අතර බැලූ බැල්මට කිට්ටු බැඳීමක් තිබෙන බව පෙනෙන්ට තිබෙනවා. නමුත් තම දරුවන් විසින් නොසලකන මහලු දෙමාපියන්ගේ සංඛ්‍යාව නම් ඉන්දියාව පුරාම එන්න එන්නම වැඩි වෙනවා” කියා ඉන්දියාවේ පළ වන එක් සඟරාවක් වාර්තා කරයි.—India today.

• අමෙරිකාවේ කළ සමීක්ෂණයකට අනුව “මහලු අයව බලාගන්නා අය සිදු කරන පහර දීම්වලින් සහ හිරිහැර වැනි දේවල්වලින් දුක් විඳින, අවුරුදු 65ක් හෝ ඊට වැඩි වයසින් යුත් අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව මිලියන 1ත් 2ත් අතර ප්‍රමාණයක්” බව මහලු අයට සිදු වන හිරිහැර ගැන සොයා බලන ජාතික ආයතනයක් පවසනවා. කැලිෆෝනියාවේ සැන්ඩියාගෝහි නීතිවේදියෙක් මහලු අයට සිදු කරන හිරිහැර ගැන මෙහෙම කියනවා. “මෙයට හැකි ඉක්මනින් නීති සකස් කළ යුතුයි. එය ඒ තරම්ම බැරෑරුම් කාරණයක්. හේතුව මේ ප්‍රශ්නය ඊළඟ වසර පහ තුළ තව තවත් දරුණු අතට පත් වෙන්න පුළුවන් නිසයි.”

• නවසීලන්තයේ කැන්ටබරි නුවර වෙසෙන මහලු අයගෙන් වැඩිදෙනෙක් හිරිහැරවලට ලක් වෙන්නේ තමන්ගේම පවුලේ අයගෙන්. හිරිහැර කරන මේ අයගෙන් වැඩිදෙනෙක් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සූදුවේ නියැලෙන අයයි. වර්ෂ 2002දී කැන්ටබරි නගරයේ මෙවැනි සිදුවීම් 65ක් වාර්තා වුණත් 2003 වසරේදී එය 107 දක්වා වැඩි වී තිබෙනවා. නමුත් “වාර්තා නොවුණු මෙවැනි සිදුවීම් හා සසඳද්දී මේ සංඛ්‍යාව ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණයි” කියා මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පිහිටුවා ඇති ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙක් පැවසුවා.

• ජපානයේ එක් සංගමයක් දුන් උපදේශයක් ගැන එරටේ පළ වන සඟරාවක මෙහෙම සඳහන් කර තිබුණා. “ළමා අපචාරය සහ නිවෙස්වල අඹුසැමියන් අතර සිදු වන ගැටුම්වලට වඩා වැඩි අවධානයක් දිය යුත්තේ මහලු අයට කරන හිරිහැරවලටයි.” එයට හේතු වෙන්නේ “මහලු අයට කරන හිරිහැර ඉක්මනින් හෙළි වෙන්නේ නැති නිසයි. එසේ හෙළි නොවන්නේ දරුවන්ගෙන් හිරිහැර වෙද්දී ඊට යම්දුරකට හෝ තමුනුත් වගකිව යුතුයි කියා මහලු දෙමාපියන්ට හැඟෙන නිසයි. රජයත් ප්‍රාදේශීය නිලධාරීනුත් එයට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ.”—Japan Times.

එවැනි කෙටි වාර්තා කියවද්දී, ඇයි මේ මහලු අයව කොන් කරමින් හිරිහැරවලට ලක් කරන්නේ? මේ තත්වය වෙනස් වේවිද? මහලු අයට තිබෙන්නේ මොන වගේ සහනයක්ද? වැනි ප්‍රශ්න ඔබට මතු වන බවට නම් සැකයක් නැහැ.