Skip to content

පටුනට යන්න

“මුල පටන් කෙළවර දක්වා” හෙළි කරන යෙහෝවා දෙවි

“මුල පටන් කෙළවර දක්වා” හෙළි කරන යෙහෝවා දෙවි

“මුල පටන් කෙළවර දක්වා” හෙළි කරන යෙහෝවා දෙවි

“මුල පටන් කෙළවර දක්වාද මේ වන තෙක් සිද්ධ නුවූ දේ පුරාතන පටන්ද ප්‍රකාශ කරන්නේ මමය.”—යෙසායා 46:10.

1, 2. බැබිලෝනිය නුවර සතුරන් අතට පත්වීමේ සිද්ධියේ කැපීපෙනෙනම දේ කුමක්ද? මෙයින් යෙහෝවා දෙවි ගැන කියාපාන්නේ කුමක්ද?

එක් මැදියම් රැයක යුධ සේනාවක් හොර රහසේම යුප්‍රටීස් ගඟේ දණක් තරම් වතුරේ පියමං කරමින් සිටිනවා. ඔවුන්ගේ ඉලක්කය වන්නේ බැබිලෝනිය නම් අපරාජිත නුවරයි. නුවර අබියසට පැමිණෙන ඔවුන්ට තම දෑස් අදහාගත නොහැකි වෙනවා. නුවරේ ආරක්ෂාවට තනා ඇති දැවැන්ත දොරවල් ඔහේ ඇර දමලා! කඩියන් වගේ වහාම ක්‍රියාත්මක වන ඔවුන් නුවර තුළට වේගයෙන් ඇතුල් වී එය අල්ලාගන්නවා. විගස පාලනය තම අතට ගන්නා සෙන්පති සයිරස් නියෝග කරන්නේ වහලුන් වන ඊශ්‍රායෙල් ජාතිකයන්ව නිදහස් කිරීමටයි. තම මව්බිමට ගොස් සැබෑ නමස්කාරය යළි පිහිටුවීමට දහස් ගණනකට මෙයින් ප්‍රස්තාව උදා වෙනවා.—2 ලේකම් 36:22, 23; එස්රා 1:1-4.

2 ක්‍රිස්තු පූර්ව 539 සිට 537 දක්වා සිදු වූ එම සිදුවීම් ඉතිහාසයෙන්ද තහවුරු වී තිබෙනවා. නමුත් කැපීපෙනෙන දේ වන්නේ ඒ පිළිබඳ තොරතුරු වසර 200කටත් පෙර හෙළිදරව් කර තිබීමයි. එය හෙළිදරව් කළේ යෙහෝවා දෙවියි. (යෙසායා 44: 24–45: 7) ඔහු තම අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් සිදු වන්නට යන දේ ගැන පමණක් නොව සතුරු සේනාවේ සෙන්පතියාගේ නම පවා පුරෝකථනය කළා. * එම අනාවැකිය පළ කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල් ජාතිකයන්ට යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘පුරාතනයේ පසුගිය දේ සිහි කරන්න. මක්නිසාද මම දෙවිය. මා මිස කිසිවෙක් නැත. මම දෙවිය. මා සමාන කිසිවෙක් නැත. . . . මුල පටන් කෙළවර දක්වාද මේ වන තෙක් සිද්ධ නුවූ දේ පුරාතන පටන්ද ප්‍රකාශ කරන්නේ මමය. මා සමාන කෙනෙක් නැත.’ (යෙසායා 46:9, 10ආ) යෙහෝවා දෙවි කල්තියාම අනාගත සිදුවීම් හෙළිදරව් කරන දෙවි කෙනෙක්.

3. අප පිළිතුරු සොයන්නට යන්නේ කවර ප්‍රශ්නවලටද?

3 අනාගතයේදී සිදු වන්නට යන සෑම දෙයක් ගැනම යෙහෝවා දෙවි දන්නවාද? අප සියලුදෙනා පෞද්ගලිකව කරන්න යන දේත් ඔහු කල්තියාම දන්නවාද? අපගේ අනාගතය කලින්ම තීරණය කර තිබෙනවාද? මෙම ලිපියෙන් හා ඊළඟ ලිපියෙන් එවැනි ප්‍රශ්නවලට පිළිතුරු අපි බයිබලයෙන් සොයා බලමු.

අනාගතය හෙළි කරන යෙහෝවා දෙවි

4. බයිබලයේ ලියා ඇති අනාවැකි කාගේද?

4 දෙවි මෙසේ පවසනවා. “බලව, පළමු කාරණා සිද්ධ විය. මම අලුත් දේ ප්‍රකාශ කරමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා ඔබට කියා දෙන්නෙමි.” (යෙසායා 42:9) දෙවිට අනාගතය ගැන ඇත්තේ මනා අවබෝධයක්. එමනිසා අනාවැකි බොහොමයක් තම සේවකයන් ලවා ලියා තැබීමට ඔහු පියවර ගෙන තිබෙනවා. මේ නිසා ඔහු ඉදිරියේදී කරන්නට යන දේ ගැන මනා අවබෝධයක් ඔහුගේ සේවකයන්ද සතුයි. එය මොන තරම් සතුටට හේතුවක්ද!

5. දෙවිගේ සේවකයන්ට අනාගතය ගැන අවබෝධයක් ඇති නිසා ඔවුන්ට පැවරෙන වගකීම කුමක්ද?

5 අනාගතවක්තෘ ආමොස් ඒ ගැන මෙසේ පවසනවා. “සැබවින් ස්වාමි වූ යෙහෝවා තමන් රහස තමන් මෙහෙකරුවූ අනාගතවක්තෲන්ට ප්‍රකාශ නොකොට කිසිවක් නොකරන්නේය.” දෙවි මෙසේ ඔහුගේ සේවකයන්ට තොරතුරු හෙළි කරන නිසා ඔවුන්ට විශාල වගකීමකුත් පැවරෙනවා. ඒ වගකීමේ ඇති බැරෑරුම්කම කාවැද්දීමට ආමොස් ප්‍රබල නිදසුනක් භාවිත කරනවා. ඔහු අසන්නේ “සිංහයා ගර්ජනා කළේය. භය නොවෙන්නේ කවුද” කියායි. කැලෑවේ සිංහයෙක් ගොරවන විට අවට සිටින සතුන් හෝ මිනිසුන් එකවරම තිගැස්සෙනවා. ඒ හා සමානව ‘ස්වාමීවූ යෙහෝවා කතා කරන විට අනාගත වචන නොකියා සිටින්ට පුළුවන් කාටද?’ කියා පැවසූ ආමොස් වැනි අනාගතවක්තෲන් වහාම ක්‍රියාත්මක වුණා.—ආමොස් 3:7, 8.

දෙවිගේ “වචනය” අනිවාර්යයෙන්ම ඉටු වෙයි

6. බැබිලෝනිය ගැන දෙවි “මන්ත්‍රණය” කළ දේ අකුරටම ඉටු වුණේ කෙසේද?

6 ‘මාගේ මන්ත්‍රණය පවතින්නේය. මාගේ මුළු කැමැත්ත කරන්නෙමි’ කියාද දෙවි යෙසායා මාර්ගයෙන් පවසනවා. (යෙසායා 46:10අ) බැබිලෝනිය ගැන දෙවි “මන්ත්‍රණය” කළේ, පර්සියාවේ සයිරස් මාර්ගයෙන් එම නුවර පරාජයට පත් කිරීමයි. ඒ දේ ඔහු පුරෝකථනය කළේ ඊට බොහෝ කලකට පෙරයි. අප කලින් දුටු ආකාරයට මෙය ක්‍රි.පූ. 539දී අකුරටම ඉටු වුණා.

7. යෙහෝවා දෙවිගේ ‘මුඛයෙන් පිටවන වචනය’ අනිවාර්යයෙන්ම ඉටු වන බව අපට විශ්වාස කළ හැක්කේ ඇයි?

7 එමනිසා අපටත් යෙහෝවා දෙවි පවසන දේ කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන්නට ඕනෑ තරම් හේතු තිබෙනවා. උදාහරණයකට බැබිලෝනියේ වැටීමට අවුරුදු 400කට පමණ පෙර සිදු වූ දෙය සලකා බලන්න. අම්මොන් සහ මෝවබ් දේශවල ප්‍රබල සතුරු සේනාවන් යූදා රාජ්‍යයේ යෙහෝෂාපාට් රජුට එදිරිව සිටි විට ඔහු මහත් විශ්වාසයකින් යුතුව මෙසේ යාච්ඤා කළා. “අපේ පියවරුන්ගේ දෙවි වූ යෙහෝවා, ඔබ ස්වර්ගයේ දෙවි නොවන්නේද? [ඔබ] ජාතීන්ගේ සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකාරයාණන් නොවන්නේද? කාටවත් ඔබ ඉදිරිපිට සිටින්ට බැරි තරම් ඔබ අතේ බලපරාක්‍රමය ඇත්තේය.” (2 ලේකම් 20:6) අනාගතවක්තෘ යෙසායාද තම විශ්වාසය පළ කළේ මෙසේයි. “සේනාවන්ගේ යෙහෝවා අදහස් කළේය. ඒ අවලංගු කරන්නේ කවුද? ඔහුගේ අත දිගුකරන ලද්දේය. ඒක ආපසු හරවන්නේ කවුද?” කියා ඔහු පැවසුවා. (යෙසායා 14:27) කලක් අවසිහියෙන් සිටි බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් පවා පියවි සිහියට පැමිණියායින් පසු යටහත් ලෙස පිළිගත්තේ “[දෙවිගේ] අත නවත්වන්ටවත් ඔබ කුමක් කරන්නේදැයි ඔහුට කියන්ටවත් කිසිවෙකුට බැරිය” කියායි. (දානියෙල් 4:35) යෙහෝවා දෙවි පෞද්ගලිකවම ඔහුගේ සේවකයන්ට මෙසේ පොරොන්දු වෙනවා. “මාගේ මුඛයෙන් පිටවන මාගේ වචනය මා වෙතට හිස්ව හැරී නෑවිත් මා කැමති දෙය සිදු කොට මා විසින් නියම කළ කාරණය [සඵල] කරන්නේය.” (යෙසායා 55:11) දෙවි අරමුණු කරන දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.

දෙවිගේ “සදාකාලීන අරමුණ”

8. දෙවිගේ “සදාකාලීන අරමුණ” කුමක්ද?

8 පාවුල් එෆීසයේ ක්‍රිස්තියානීන්ට ලියද්දී දෙවිගේ “සදාකාලීන අරමුණ” ගැන සඳහන් කළා. (එෆීස 3:11) දෙවිට මිනිසුන් වගේ සෑම දෙයක්ම එකිනෙක සැලසුම් කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මිනිසා හා පොළොව ගැන දෙවි යමක් තීරණය කර ඇද්ද, ඔහු එය අනිවාර්යයෙන්ම ඉටු කරනවා. දෙවිගේ ‘සදාකාලීන අරමුණට’ ඇතුළත් වන්නේ මෙයයි. (උත්පත්ති 1:28) මෙම කාරණය හොඳින් තේරුම්ගැනීම සඳහා අපි බයිබලයේ සඳහන් මුල්ම අනාවැකිය පරීක්ෂා කර බලමු.

9. දෙවි අරමුණු කර ඇති දේ උත්පත්ති 3:15න් පැහැදිලි වන්නේ කෙසේද?

9 උත්පත්ති 3:15න් පැහැදිලි වන්නේ ආදම් සහ ඒව පව් කළ වහාම දෙවි තම ස්වර්ගික සංවිධානය මාර්ගයෙන් ගැලවුම්කරුවෙක් බිහි කිරීමට තීරණය කළ බවයි. මෙම තීරණය හා බැඳි දේවලුත් දෙවි දුටුවා. එනම් ඔහුගේ ස්වර්ගික සංවිධානය හා සාතන් අතරත් පොරොන්දු වූ ගැලවුම්කරු හා සාතන්ගේ භූතයන් අතරත් ඇති වන සතුරුකමේ ප්‍රතිඵල ඔහු දුටුවා. දෙවි දැන සිටි තවත් දෙයක් නම් එම ගැලවුම්කරුට තාවකාලික මරණයකට මුහුණ දෙන්න සිදු වන බවයි. නමුත් නියමිත කාලයේදී එම ගැලවුම්කරු අතින් සාතන් සදහටම විනාශ වන බවත් ඔහු දැන සිටියා. දෙවිගේ එම අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වන බවට තහවුරු වුණේ දෙවි තෝරාගත් විශේෂ පෙළපත තුළින් ගැලවුම්කරු වන යේසුස් පැමිණි විටයි.—ලූක් 3:15, 23-38; ගලාති 4:4.

දෙවි කලින්ම තීරණය කළ දේ

10. ආදම් සහ ඒව පව් කිරීමට නියමිත බව දෙවි කලින්ම තීරණය කළාද? පැහැදිලි කරන්න.

10 දෙවි අරමුණු කර ඇති දේ ඉටු කිරීමට යේසුස් හවුල් වන ආකාරය විස්තර කරද්දී පේතෘස් මෙසේ ලිව්වා. “ලෝකය පිහිටුවීමට පෙර ඔහු [යේසුස්] පිළිබඳව කලින්ම දැන සිටි බව සැබෑය. එහෙත් කාලවල අවසානයේදී ඔහුව ප්‍රකාශ කරනු ලැබුවේ ඔබ උදෙසාය.” (1 පේතෘස් 1:20) ආදම් සහ ඒව පව් කිරීමට නියමිත බවත්, මිනිසාව ගලවාගැනීමට යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වන බවත් දෙවි කලින්ම තීරණය කළා කියා මින් අදහස් වෙනවාද? නැහැ. “ලෝකය පිහිටුවීමට පෙර” යන යෙදුම තේරුම්ගැනීමෙන් එය අපට පැහැදිලි වෙනවා. ග්‍රීක භාෂාවට අනුව ඉන් අදහස් වන්නේ “මෙලොවේ දරුවන් බිහිවීමට පෙර” යන්නයි. ආදම් සහ ඒව පව් කළ අවස්ථාව වන විට ඔවුන්ට දරුවන් සිටියේ නැහැ. දෙවි සියල්ල තීරණය කළේ ආදම් සහ ඒවගේ කැරැල්ලට පසුවයි. නමුත් ඔවුන් දරුවන් බිහි කරන්න පෙරයි. (උත්පත්ති 4:1) යේසුස් මේ පොළොව මත ඉපදිය යුතු බවත් තම ජීවිතය ප්‍රේමණීයව පුද කළ යුතු බවත් සහ නැවත-නැඟිටිය යුතු බවත් දෙවි තීරණය කළේ මේ අවස්ථාවේදීයි. යේසුස් ගැන දෙවි ගත් මේ තීරණය මගින් පාපය ඉවත් වනවා පමණක් නොව සාතන්ගේ සියලු කඩාකප්පල්කාරී ක්‍රියාවනුත් අවසන් වෙනවා.—මතෙව් 20:28; හෙබ්‍රෙව් 2:14; 1 යොහන් 3:8.

11. ආදම් සහ ඒවගේ කැරැල්ලෙන් පසු දෙවි ඊළඟට තීරණය කළේ කුමක්ද?

11 ආදම් සහ ඒවගේ කැරැල්ලෙන් පසු දෙවි තීරණය කළ තවත් දෙයක් ගැන පාවුල් එෆීසයේ ක්‍රිස්තියානීන්ට ලියද්දී පැහැදිලි කළා. ඔහු පැවසුවේ දෙවි “ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත්” කරන බවයි. “ස්වර්ගයේ තිබෙන දේවල්” එනම් යේසුස් සමඟ ස්වර්ගයේ සිටීමට තෝරාගෙන ඇති අය ගැන ඔහු මෙසේ පැවසුවා. “තම කැමැත්ත පරිදි සියල්ල සිදු කරන තැනැත්තාගේ අරමුණට අනුව අපව කලින්ම නියම කිරීමෙන් ඔහු තුළ අපවත් උරුමක්කාරයන් ලෙස පත් කළේය.” (එෆීස 1:10, 11) මේ අනුව දෙවි ඒ අවස්ථාවේදී ඊළඟට තීරණය කළේ යේසුස් සමඟ ස්වර්ගයේ සිටීමට මිනිසුන් සීමිත සංඛ්‍යාවක් තෝරාගැනීමටයි. ඔවුන්ගේ කාර්යය වන්නේ යේසුස් සමඟ හවුල් වෙමින් ඔහුගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන මිනිසාට ලබාදීමයි. (රෝම 8:28-30) පේතෘස් ඔවුන්ව හඳුන්වා ඇත්තේ “ශුද්ධ වූ ජාතියක්” ලෙසයි. (1 පේතෘස් 2:9) යේසුස් සමඟ ස්වර්ගික ජීවිතයකට උරුමකම් කියන මේ අයගේ සංඛ්‍යාව 1,44,000ක් බව යොහන්ට දර්ශනයකින් දෙවි හෙළි කළා. (එළිදරව් 7:4-8; 14:1, 3) යේසුස්ගේ රජකම යටතේ ඔවුන් සේවය කරන්නේ ‘දෙවිගේ තේජසේ ප්‍රශංසාව සඳහායි.’—එෆීස 1:12-14.

12. එක්ලක්ෂ හතළිස් හාරදාස්දෙනාට අයත් පුද්ගලයන්ව කලින්ම තීරණය කර නැති බව අප දන්නේ කෙසේද?

12 ස්වර්ගයට ගනු ලබන අයගේ සංඛ්‍යාව 1,44,000ක් බව දෙවි කලින්ම තීරණය කර තිබුණත්, ඔවුන්ට ඇතුළත් වන පුද්ගලයන් කවුරුන්ද යන්න ඔහු කලින්ම තීරණය කළේ නැහැ. ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ සඳහන් මඟ පෙන්වීම් සලකා බලද්දී මෙය විශේෂයෙන්ම පැහැදිලි වෙයි. ඒවා ප්‍රධාන වශයෙන් දී තිබෙන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අවසානය දක්වා විශ්වාසවන්තව සිටීමට උපකාර කරන පිණිසයි. (ෆිලිප්පි 2:12; 2 තෙසලෝනික 1:5, 11; 2 පේතෘස් 1:10, 11) මින් පැහැදිලි වන්නේ මෙම බලාපොරොත්තුව රඳා පවතින්නේ එක් එක්කෙනාගේ පෞද්ගලික විශ්වාසවන්තභාවය මත පමණක් බවයි.—මතෙව් 24:13.

දෙවි තම හැකියාව භාවිත කරන ආකාරය

13, 14. අනාගතය ගැන දැනගැනීමට දෙවි සතු හැකියාව හැමවිටම භාවිත කරන්නේ කෙසේද? ඒ ඇයි?

13 දෙවි අනාවැකි පවසන, තම අරමුණට එකඟව ක්‍රියා කරන කෙනෙක් බව පැහැදිලියි. එසේනම් අනාගතය ගැන දැනගැනීමට තමා සතු හැකියාව ඔහු භාවිත කරන්නේ කෙසේද? අප මුලින්ම මතක තබාගත යුතු කරුණක් වන්නේ දෙවි සියල්ලේදී සත්‍යවාදීව, ධර්මිෂ්ඨව හා ප්‍රේමණීයව ක්‍රියා කරන බවයි. දෙවි පොරොන්දු වී ඇති දේ ගැන හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියද්දී පාවුල් මෙය තහවුරු කළේ දෙවි “බොරු නොකියන” කෙනෙක් බව සඳහන් කරමිනුයි. ඔහු දිවුරා සහතික කළ දේ හා පොරොන්දු වූ දේ “වෙනස් කළ නොහැකි දේවල් දෙකක්” ලෙසත් ඔහු සඳහන් කළා. (හෙබ්‍රෙව් 6:17, 18) තීතස්ට එවූ ලිපියේදීත් පාවුල් පැවසුවේ දෙවි “බොරු කීමට නොහැකි” කෙනෙක් බවයි.—තීතස් 1:2.

14 යෙහෝවා දෙවිට අසීමිත බලයක් තිබුණත් ඔහු කවදාවත් එය අයුතු ලෙස යොදාගන්නේ නැහැ. මෝසෙස් දෙවි ගැන කියන්නේ ‘ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවි කෙනෙක්’ කියායි. “ඔහු වනාහි ධර්මිෂ්ඨය, අවංකය.” (ද්විතීය කතාව 32:4) දෙවි කිසිවිටකත් තම ශ්‍රේෂ්ඨ පෞද්ගලිකත්වයේ ගතිලක්ෂණ අමතක කරමින් ක්‍රියා කරන්නේ නැහැ. ඔහුගේ ප්‍රධාන ගුණාංග හතර වන ප්‍රේමය, ප්‍රඥාව, යුක්තිය හා බලය හැමවිටම සමබරව විදහාපායි.

15, 16. ඒදන් උයනේදී දෙවි ආදම් ඉදිරියේ තැබුවේ කවර තේරීම්ද?

15 මෙම කාරණය තේරුම්ගැනීමට අප ඒදන් උයනෙහි සිදු වූ දේ සලකා බලමු. දෙවි ප්‍රේමණීය පියෙක් ලෙස ක්‍රියා කරමින් මිනිසාට අවශ්‍ය සෑම දෙයක්ම සපයා දුන්නා. මීට අමතරව ආදම්ට සිතීමේ හැකියාවත්, තර්කානුකූලව යම් නිගමනවලට එළඹීමේ හැකියාවත් දෙවි දානය කළා. ඉවෙන් ක්‍රියා කරන සතුන් මෙන් නොව ආදම්ට නිදහසේ යම් තේරීම් කරන්නට හැකියාවකුත් තිබුණා. තමා සැලසුම් කළ සෑම දෙයක් ගැනම දෙවිට හැඟුණේ කොහොමද? ස්වර්ගයේ සිට බැලූ දෙවි “තමන් සෑදූ සියල්ල දුටුවේය. බලව, එය ඉතා යහපත්” බව ඔහු පැවසුවා.—උත්පත්ති 1:26-31; 2 පේතෘස් 2:12.

16 “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් නොකන්න” කියා ආඥාවක් පැනවීමට දෙවි තීරණය කළ විට, නිවැරදි තීරණයක් ගන්න අවශ්‍ය මඟ පෙන්වීම්ද දෙවි ආදම්ට සැපයුවා. ආදම්ට “උයනෙහි සියලු ගස්වලින්” පල කන්න පුළුවන් බවත්, නමුත් තහනම් ගහෙන් පල කෑවොත් මරණය අත්වන බවත් ඔහු පැහැදිලිව සඳහන් කළා. (උත්පත්ති 2:16, 17) ඒ නිසා තමන් කරන්නට යන තේරීම්වල ප්‍රතිඵල ආදම් හොඳින් දැන සිටියා. නමුත් ආදම් ගත්තේ කවර තීරණයක්ද?

17. අනාගතයේ සිදු වන දේ දැනගැනීමට දෙවි සතු හැකියාව පාවිච්චි කරනවාද නැද්ද යන්න ගැන ඔහු තීරණය කරන බව පැවසිය හැක්කේ ඇයි?

17 අනාගතයේ සිදු වන සෑම දෙයක්ම දැනගැනීමට දෙවිට හැකියාව තිබෙන බව ඇත්තයි. නමුත් ආදම් සහ ඒව කුමක් කරාවිද යන්න ගැන කලින්ම දැනගැනීමට දෙවි තීරණය කළේ නැහැ. දෙවිට ඒ හැකියාව තිබෙනවා කියන එක ගැන සැකයක් නැහැ. නමුත් ඔහු ඒ හැකියාව පාවිච්චි කරනවාද නැද්ද යන්න ගැන ඔහු තීරණය කරන බව පැහැදිලියි. මීට අමතරව යෙහෝවා ප්‍රේමණීය දෙවි කෙනෙකු වන නිසා ආදම් සහ ඒවගේ කැරැල්ලද ඉන් සිදු වන අයහපත් ප්‍රතිඵල සියල්ල ගැන දැන දැනත්, එවන් දෙයක් සිදුවීමට අරමුණු කරයි කියා අපට හිතන්න බැහැ.—මතෙව් 7:11; 1 යොහන් 4:8.

18. දෙවි අනාගතයේ සිදු වන ඇතැම් දේවල් දැනගැනීමට තීරණය නොකිරීම ඔහුගේ පැත්තෙන් යම් අඩුවක් නොවන්නේ ඇයි?

18 දෙවි අනාගතයේ සිදු වන ඇතැම් දේවල් දැනගැනීමට තීරණය නොකිරීමෙන් අදහස් කරන්නේ ඔහුගේ හැකියාවන්වල යම් අඩුවක් ඇති බවද? මෝසෙස් පැවසුවේ “දෙවි පර්වතයය. දෙවිගේ වැඩ සම්පූර්ණය” කියායි. එබැවින් මිනිසා පාපයට වැටුණේ දෙවිගේ වරදක් හෝ අතපසු වීමක් නිසා නම් නෙවෙයි. අද අප අද්දකින සියලු අයහපත් ප්‍රතිඵලවලට වගකිව යුත්තේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට විරුද්ධ වූ ආදම් සහ ඒවයි. පාවුල් එය පැහැදිලි කළේ මෙසේයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.”—ද්විතීය කතාව 32:4, 5; රෝම 5:12;යෙරෙමියා 10:23.

19. අප මීළඟ ලිපියේ සලකා බලන තොරතුරු මොනවාද?

19 අප මෙතෙක් සලකා බැලූ තොරතුරුවලට අනුව දෙවි තුළ කිසිම අයුක්තියක් නැති බව පැහැදිලි වෙනවා. (ගීතාවලිය 33:5) ඒ වෙනුවට අප දකින දෙය නම් දෙවි තම අරමුණ ක්‍රියාත්මක කරන්නේ තම හැකියාවන්, ගුණාංග හා ප්‍රමිති සමබර ලෙස යොදාගෙන බවයි. (රෝම 8:28) අනාවැකි ප්‍රකාශ කරන දෙවි ලෙස යෙහෝවා “මුල පටන් කෙළවර දක්වාද මේ වන තෙක් සිද්ධ නුවූ දේ පුරාතන පටන්ද ප්‍රකාශ” කරනවා. (යෙසායා 46:9, 10) අප දුටු ආකාරයට ඔහු අනාගතයේ සිදු වන ඇතැම් දේවල් ගැන දැනගන්නේ එසේ කිරීමට ඔහු තීරණය කළොත් පමණයි. මෙම තොරතුරු අපට බලපාන්නේ කෙසේද? දෙවි ප්‍රේමණීයව අරමුණු කර ඇති දේට අනුව අප ගන්නා තීරණ සකස් කරගැනීමට අප කුමක් කළ යුතුද? ඉන් අපට ලබාගත හැකි ආශීර්වාද මොනවාද? මේ ගැන අපි මීළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 2 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සියලු ජනයා සඳහා පොතක් යන විවරණිකාවේ 28වන පිටුව බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• දෙවි පවසන දේ අනිවාර්යයෙන්ම ඉටු වන බව සනාථ කරන පුරාණයේ සිද්ධීන් සඳහන් කරන්න.

• දෙවි තම “සදාකාලීන අරමුණ” සම්බන්ධයෙන් කලින්ම තීරණය කළ දේවල් මොනවාද?

• අනාගතය දැනගැනීමට දෙවි සතු හැකියාව ඔහු පාවිච්චි කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ පින්තූරය]

යෙහෝෂාපාට් රජුට දෙවි කෙරෙහි විශ්වාසයක් තිබුණා

[23වන පිටුවේ පින්තූරය]

දෙවි යේසුස්ගේ මරණය හා නැවත-නැඟිටීම ගැන පුරෝකථනය කළා

[24වන පිටුවේ පින්තූරය]

ආදම් සහ ඒව කළ දේ දෙවි කලින්ම තීරණය කර තිබූ දෙයක්ද?