Skip to content

පටුනට යන්න

උගන්ඩාවේ විවිධත්වය මැද වර්ධනයක්

උගන්ඩාවේ විවිධත්වය මැද වර්ධනයක්

උගන්ඩාවේ විවිධත්වය මැද වර්ධනයක්

අප්‍රිකාවේ විශාල නිම්න දෙකක් අතර පිහිටා තිබෙන උගන්ඩාව ඉතා රමණීය රටක් ලෙස හැඳින්විය හැකියි. සමක රේඛාව මෙම රට මැදින් ගමන් කරයි. විවිධ භූගෝලීය ලක්ෂණ දැකිය හැකි මේ රට වෘක්ෂලතාවලින් ගහන වන අතර සිත්ගන්නාසුලු විවිධ සතුන්ද එහි වාසය කරයි. අප්‍රිකා මහාද්වීපයේ තිබෙන විශාලතම සානුවක පිහිටා තිබෙන නිසා මේ රටේ තිබෙන්නේ සෞම්‍ය දේශගුණයක්. කිලෝමීටර් සිය ගණනක් දක්වා දිවෙන කඳුවැටිවල වැවී තිබෙන තුරුලතාදිය ඒ දෙස බලන කාගෙත් නෙත් සිත් ඇද බැඳ තබාගනී.

කුඩා ප්‍රදේශයක් ඇතුළත අධික ශීත මෙන්ම උණුසුම් දේශගුණයක් පවතින රටවල් තිබෙන්නේ ස්වල්පයක් පමණයි. ඉන් එක් රටක් වන්නේ උගන්ඩාවයි. මේ රටේ බටහිර දෙසින් හිමෙන් වැසී යන රූවෙන්ෂොරි නම් උස් කඳුවැටි පිහිටා තිබෙන අතර නැඟෙනහිර ප්‍රදේශයේ උණුසුම් දේශගුණයක් පවතියි. උගන්ඩාවේ තැනිතලා භූමිවල අලි, මී හරක් හා සිංහයන් දැකිය හැකියි. කඳු සහ ඝන වනාන්තර ගෝරිල්ලන්ගේ, චින්පන්සින්ගේ හා දහස් ගණන් පක්ෂීන්ගේ වාස භූමිය වී තිබෙනවා. අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි රටවල් බොහොමයක් නියඟයෙන් හා සාගතයෙන් පීඩා වින්දත් උගන්ඩාවේ එවැනි තත්වයක් දැකිය නොහැකියි. මීට හේතුව ගංගා හා විල් එහි පිහිටා තිබීමයි. ලෝකයේ දෙවන විශාලතම මිරිදිය විල වන වික්ටෝරියා විල පිහිටා තිබෙන්නේ උගන්ඩාවෙයි. වික්ටෝරියා විල උතුරු දෙසින් නයිල් ගඟට සම්බන්ධ වෙනවා. වින්ස්ටන් චර්චිල් මේ රට “අප්‍රිකාවේ මුතු ඇටය” කියා හැඳින්වීම ගැන පුදුම විය යුතු නැහැ.

“මුතු ඇටය” අදත් බැබළෙයි

විශේෂයෙන්ම සිත් ගන්නේ උගන්ඩාවේ වෙසෙන ජනයා තුළ දැකිය හැකි මිත්‍රශීලී හා සත්කාරශීලී ස්වභාවය මෙන්ම ඔවුන් අතර තිබෙන විවිධත්වයයි. ක්‍රිස්තියානීන් බහුතරයක් සිටින මේ රටේ විවිධ සංස්කෘතීන්වලට හා ජනවර්ගවලට අයත් ජනයාව ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්වලින් හා චාරිත්‍ර වාරිත්‍රවලින් පහසුවෙන් හඳුනාගත හැකියි.

මිහිතලය මත සදාකාලික සාමය පවතින කාලයක් ගැන බයිබලයේ සඳහන් ශුභාරංචියට මේ රටේ බොහෝදෙනෙක් දැන් දැන් හොඳ ප්‍රතිචාරයක් දක්වමින් සිටිනවා. (ගීතාවලිය 37:11; එළිදරව් 21:4) බ්‍රිතාන්‍යය තරම් විශාල මේ රටේ වෙසෙන සියලුදෙනා වෙතම මේ පණිවිඩය ගෙන යෑම එතරම් ලෙහෙසි කාර්යයක් නොවෙයි.

උගන්ඩාවේ වැසියෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස වික්ටෝරියා විලේ මුල්වරට බව්තීස්ම වුණේ 1955දීයි. වර්ෂ 1992 වන විට ‘කුඩා තැනැත්තා’ දහසක් බවට පත් වුණා. වර්ෂ 1955 සිට මේ දක්වා උගන්ඩාවේ අඛණ්ඩ වර්ධනයක් සිදු වෙමින් පවතිනවා. මෙය දෙවිගේ මේ දිරිගන්වනසුලු වදන්වල ඉටුවීමක් කියා පැවසිය හැකියි. “යෙහෝවා වූ මම ඒක එහි නියම කලට ඉක්මනින් කරන්නෙමි.”—යෙසායා 60:22.

බාධාවක් ජයගනී

උගන්ඩාවේ නිල භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. මෙය අධ්‍යාපන කටයුතුවලදී පුළුල්ව භාවිත කරනු ලබනවා. එහෙත් උගන්ඩාවේ බොහෝ වැසියන්ගේ මව් භාෂාව එය නොවෙයි. මේ නිසා එහි සිටින සාක්ෂිකරුවන් ජනයාට ශුභාරංචිය පැවසීම සඳහා පුළුල්ව භාවිත කරනු ලබන වෙනත් භාෂා ඉගෙනගැනීමට උනන්දුවක් දක්වනවා. මේ සඳහා අවශ්‍යතාවක් තිබෙන බව උගන්ඩාවේ වෙසෙන මිලියන 25කින් යුත් ජනහගනයෙන් සියයට 80කට වැඩිදෙනෙක් ග්‍රාමීය ප්‍රදේශවල හෝ කුඩා නගරවල ජීවත් වීමෙන් පෙනී යනවා. මේ ජනයා එදිනෙදා කතා බහේදී බහුලව භාවිත කරන්නේ ඔවුන්ගේ මව් භාෂාවයි. විවිධ භාෂා කතා කරන ජනකොටස්වලට ශුභාරංචිය දේශනා කරමින් ඔවුන්ටද සැබෑ දෙවි ගැන දැනගැනීමට උපකාර කිරීම සඳහා මහත් වෑයමක් දැරිය යුතු වෙනවා.

කෙසේවෙතත් ජනයාට ඔවුන්ගේම භාෂාවෙන් සාක්ෂි දැරීමටත් බයිබලය මත පදනම් ප්‍රකාශන විවිධ භාෂාවලින් පිළියෙළ කිරීමටත් උගන්ඩාවේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් වෑයමක් දරා තිබෙනවා. එහි අගනුවර වන කැම්පාලාහි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන පරිවර්තන කණ්ඩායම් හතරක් විසින් අචෝලි, ලූකෝන්සෝ, ලූගැන්ඩා සහ රූන්‍යානොකෝරේ යන භාෂාවලට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන පරිවර්තනය කරනු ලබනවා. ඒ විතරක් නොවෙයි රට පුරා විවිධ භාෂාවලින් එක්රැස්වීම් පවත්වනු ලබන අතර සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා ඒවාට පැමිණෙනවා. මෙයින් පෙනී යන්නේ එහි සිටින සාක්ෂිකරුවන් විවිධ භාෂා කතා කරන ජන කොටස්වලට ශුභාරංචිය දේශනා කිරීමට දරන වෑයම මහත් වර්ධනයට හේතු වී තිබෙන බවයි. මෙම වර්ධනයට තවත් දේවල් හේතු වී තිබෙනවා. ඒ ගැන දැන් බලමු.

පුරෝගාමීන් පෙරමුණ ගනී

අවුරුද්දකට වතාවක් සභාවන් නැති දුර ප්‍රදේශවලට ගොස් මාස තුනක පමණ කාලයක් සාක්ෂි දැරීම සඳහා සංවිධානය කරන විශේෂ වැඩපිළිවෙළට සභාවන් ඉතා සතුටින් සහයෝගය දක්වනවා. (ක්‍රියා 16:9) යෞවන පුරෝගාමීන් ගණනාවක් මෙම කාර්යයේ පෙරමුණ ගෙන කටයුතු කිරීම දිරිගන්වනසුලුයි. ඔවුන් යන ඇතැම් බොහෝ දුර ප්‍රදේශවල ජනයා කවදාවත් ශුභාරංචිය ගැන අසා නැහැ.

උගන්ඩාවේ බටහිර දෙස පිහිටි කුඩා නගරයක් වන බූෂෙන්අයිහි මාස තුනක් සේවය කිරීම සඳහා සාක්ෂිකාරියන් දෙදෙනෙකුව විශේෂ පුරෝගාමීන් හැටියට පත් කර යැව්වා. ඒ ප්‍රදේශයේ දේශනා සේවය කිරීමට හා සභා රැස්වීම් පැවැත්වීමට සිටියේ එකම සාක්ෂිකාරියක් පමණයි. මේ සහෝදරිය සමඟ හවුල් වී සේවය කිරීමට පටන්ගත් පුරෝගාමීන් දෙදෙනා මාසයක් ඇතුළත 40දෙනෙකු සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. මේ අයගෙන් 17දෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණෙන්න පටන්ගත්තා. ඒ පුරෝගාමීන් දෙදෙනා මෙසේ පවසනවා. “දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? * කියන විවරණිකාව අපෙන් ලබාගත් සමහර අය ඒ විවරණිකාවේ ප්‍රශ්නවලට උත්තර ලියාගෙන අපිව හමු වෙන්න දවස් කිහිපයකට පස්සේ ආවා. ඔවුන්ගේ උත්තර හරිද කියලා දැනගන්න ඔවුන්ට ඕන වුණා.” අද ඒ නගරයේ සභාවක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ටම කියා රාජ්‍ය ශාලාවක්ද තිබෙනවා.

කලින් ශුභාරංචිය දේශනා කර නොතිබූ උගන්ඩාවේ බටහිර දෙස පිහිටි ප්‍රදේශයකට පුරෝගාමි සහෝදරයන් දෙදෙනෙක් ගියා. ඔවුන් මෙසේ වාර්තා කරනවා. “බයිබලයේ තියෙන සත්‍යය දැනගන්න මිනිසුන්ට තියෙන්නේ පුදුම ආශාවක්. අපි ඒ ප්‍රදේශයේ ගත කළ මාස තුනේදී අපිට පුළුවන් වුණා, බයිබල් පාඩම් 86ක් පටන්ගෙන දිගටම කරගෙන යන්න.” වැඩි කාලයක් යන්න කලින් ඒ ප්‍රදේශයේ කණ්ඩායමක් පිහිටුවනු ලැබුවා.

තවත් අය උද්‍යෝගයෙන් සේවය කරයි

උද්‍යෝගයෙන් පුරෝගාමි සේවය කරන අය අතර අවුරුදු ගණනාවක් පුරා සේවයක් කර තිබෙන අයද සිටිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීමට කලින් පැට්රික් උගන්ඩාවේ පාලකයා වූ ඉඩි අමින්ගේ ගුවන් හමුදාවේ සංගීත කණ්ඩායමේ වාදකයෙක් හැටියට කටයුතු කළා. වර්ෂ 1983දී ඔහු බව්තීස්ම වීමෙන් පසු පූර්ණ කාලීන සේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. අද ඔහු සභාවන් බැහැදකිමින් දිරිගන්වන සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කරනවා.

මාග්‍රට් බව්තීස්ම වුණේ 1962දීයි. දැන් වයස අවුරුදු 80කට ආසන්නව සිටින ඇයට උකුල් පෙදෙසේ ආබාධයක් නිසා ඇවිදින්න අමාරුයි. ඒත් ඇය ඇගේ අසල්වැසියන් සමඟ බයිබලයේ සඳහන් බලාපොරොත්තුව ගැන කතා කිරීමට මාසයකට පැය 70ක් පමණ වැය කරනවා. ඇය නිවස ඉදිරිපිට බංකුවක් තබා ඒ මත අපේ පොත් පත් සඟරා යන එන අයට පෙනෙන්න තබනවා. ඒ අසලින් යන ශුභාරංචියට සවන් දීමට කැමති ඕනෑම කෙනෙක් සමඟ ඇය පාරාදීස පොළොවේ බලාපොරොත්තුව ගැන කතා කරනවා.

උගන්ඩාවේ නැඟෙනහිර දෙසට වෙන්න පිහිටි ප්‍රදේශයක වාසය කරන සයිමන් අවුරුදු 16ක් තිස්සේ සත්‍යය සොයමින් සිටියා. අවසානයේදී 1995දී ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් කිහිපයක් ලැබුණා. ඔහු ඒවා කියවා දැනගත් දේවල් නිසා දෙවිගේ රාජ්‍යය ගැනත් පොළොව සඳහා යෙහෝවා දෙවිගේ අරමුණ ගැනත් දැනගන්න ඔහුට ලොකු ආශාවක් ඇති වුණා. ඔහු ජීවත් වූ කාමූලි නම් ප්‍රදේශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිටියේ නැති නිසා ඔහු සාක්ෂිකරුවන් හමුවීම සඳහා කිලෝමීටර් 140ක් පමණ දුර ගෙවා කැම්පාලා නගරයට පැමිණියා. අද ඔහුගේ ගමේ සභාවක් තිබෙනවා.

“අපිට දැන් ස්ථීර තැනක් තියෙනවා”

යම් ආගමික කණ්ඩායමක් නමස්කාරය සඳහා යොදාගන්න ස්ථානය හොඳ තත්වයේ තිබෙනවා දකින්න අප්‍රිකාවේ පිහිටි රටවල වෙසෙන ජනයා කැමතියි. මේ තත්වය උගන්ඩාවේද දැකිය හැකියි. ප්‍රමාණවත් මුදල් නැති නිසා හොඳ තත්වයේ රාජ්‍ය ශාලාවක් ගොඩනඟා ගැනීමට නොහැකි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඇතැම් සභාවලට ජනයාගේ ඒ ආකල්පය ලොකු ගැටලුවක් වුණා. කඩිනමින් රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් 1999 අගභාගයේදී ලොව පුරා දියත් කිරීම ගැන උගන්ඩාවේ සහෝදරයන්ට ඇති වුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් මහත් ප්‍රීතියක්. වසර පහක් ඇතුළත අලුත් රාජ්‍ය ශාලා 40ක් උගන්ඩාවේ ඉදි කිරීමට හැකි වී තිබෙනවා. මේ වන විට එහි තිබෙන සෑම සභාවකටම ඔවුන්ගේම කියා හොඳ තත්වයේ රාජ්‍ය ශාලාවක් තිබෙනවා. මෙවැනි ඉදි කිරීමේ ව්‍යාපෘතියක් නිසා “අපිට දැන් ස්ථීර තැනක් තියෙනවා” කියා ජනයාට දැනගන්න සලස්වන්න සාක්ෂිකරුවන්ට හැකි වී තිබෙනවා. උගන්ඩාවේ සිදු වන වර්ධනයට රාජ්‍ය ශාලා ඉදි කිරීම මහත් සේ දායක වී තිබෙනවා.

උගන්ඩාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි කුඩා සභාවක් කාලයක් තිස්සේ රැස්වීම් පැවැත්වුවේ ලොකු අඹ ගස් යටයි. රාජ්‍ය ශාලාවක් ඉදි කරන්න ඉඩමක් මිල දී ගැනීමෙන් පසු වැඩකටයුතු වේගයෙන් කෙරීගෙන ගියා. රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කණ්ඩායමට අයත් සහෝදරයන් ඒ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් සමඟ එක් වී රාජ්‍ය ශාලාවක් සාදන්න පටන්ගත්තා. සහෝදරයන් මෙහි වැඩකටයුතු කරගෙන ගිය ආකාරය කෙරෙහි ඒ ප්‍රදේශයේ එක් පුද්ගලයෙකුගේ සිත ඇදී ගියා. ඔහු කලින් ඒ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් වී සිටියා. රාජ්‍ය ශාලාව ගොඩනඟන තෙක් රැස්වීම් පැවැත්වීම සඳහා තමන්ගේ ගරාජය පාවිච්චි කරන්න කියා ඔහු සාක්ෂිකරුවන්ට පැවසුවා. ඒ විතරක් නෙවෙයි, තමන් සමඟ බයිබල් පාඩමක් කරන්න කියා ඉදි කිරීමේ වැඩවලට හවුල් වූ ස්වේච්ඡා සේවකයෙකුගෙන් ඔහු ඉල්ලා සිටියා. දැන් ඔහු බව්තීස්ම වී ප්‍රචාරකයෙකු ලෙස උද්‍යෝගයෙන් සේවය කරනවා. ඒ අලුත් රාජ්‍ය ශාලාවේ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ලැබීම ගැන ඔහු හුඟාක් සතුටු වෙනවා.

උගන්ඩාවේ ගිනිකොණ දිග ප්‍රදේශයේ රාජ්‍ය ශාලාවක් ගොඩනැඟීමේ වැඩවලට හවුල් වෙමින් සිටි සහෝදරයන් අතර තිබෙන මිත්‍රශීලී හා ප්‍රේමණීය ස්වභාවය දුටු ඒ ප්‍රදේශයේ මේසන් බාස් කෙනෙක් කැමැත්තෙන්ම ඒ වැඩවලට හවුල් වෙන්න ඉදිරිපත් වුණා. රාජ්‍ය ශාලාව කැප කරන දවස ළං වෙද්දී, වැඩකටයුතු අවසන් කිරීම සඳහා සහෝදරයන් සමඟ ඔහුත් මුළු රැයක්ම නිදිමරාගෙන වැඩ කළා. ඔහු මෙසේ පැවසුවා. “ප්‍රේමය වචනවලට පමණක් සීමා කරගන්නේ නැතිව ක්‍රියාවලිනුත් පෙන්වන්නේ ඔයාලා විතරයි.”

ගැටලු මැද වර්ධනයක්

උගන්ඩාවේ අලුත් ප්‍රදේශවලද ශුභාරංචිය දේශනා කිරීම දිගටම කරගෙන යන නිසා සාක්ෂිකරුවන්ගේ ගණන වැඩි වෙමින් තිබෙනවා. එමෙන්ම උනන්දුව දක්වන බොහෝදෙනෙක්ද රැස්වීම්වලට පැමිණෙනවා. කෙසේවෙතත් විශාල සරණාගතයන් පිරිසක් උගන්ඩාවට පැමිණ තිබෙන නිසා ඔවුන් ගැනත් සැලකිල්ල දැක්වීම අවශ්‍ය වී තිබෙනවා. අසල්වැසි රටවල සිදු වන සිවිල් යුද්ධ යෙහෝවාගේ සෙනඟටත් බලපා තිබෙනවා. සරණාගත කඳවුරුවල සිටින සාක්ෂිකරුවන් යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන්ගේ පූර්ණ විශ්වාසය තබා ජීවත් වෙනවා. උගන්ඩාවේ අසල්වැසි රටක කලින් උසස් තනතුරක් දැරූ පුද්ගලයෙක් ඒ රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කර තිබූ කාලයේදී සාක්ෂිකරුවන්ට කළ හිංසා පීඩාවලට හවුල් වී තිබෙනවා. ඒ රටේදී ඔහු ගත කළේ සැප පහසු ජීවිතයක්. සරණාගත කඳවුරක සිටින විට ඔහු සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කර යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වී තිබෙනවා. ඔහු මෙසේ පවසනවා. “මේ ලෝකයේ භුක්ති විඳින සැප සම්පත්වලින්, උසස් තනතුරුවලින් කිසිම වැඩක් නැහැ. දැන් මම අසනීපවලින් පෙළෙන දුප්පත් මිනිහෙක් වුණත් මම කලින් ගත කරපු ජීවිතයට වඩා හොඳ ජීවිතයක් දැන් ගත කරනවා. දැන් මම දන්නවා යෙහෝවා දෙවි ගැන. ඔහුට යාච්ඤා කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය මම හුඟාක් අගය කරනවා. මට අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් තියෙනවා. ගැටලු ප්‍රශ්න විඳදරාගන්න ඕනෙ ඇයි කියලා මම දැන් දන්නවා. කලින් මගේ සිතට සැනසිල්ලක් දැනුණේ නැහැ. ඒත් දැන් මම ඒ සැනසිල්ල ලබනවා.”

උගන්ඩාවේ තිබෙන පස කොයිතරම් සාරවත්ද කියනවා නම් ඔබ සවස් කාලයේ එහි දණ්ඩක් පැළ කළොත් පසුදා උදේ බලන විට එහි මුල් ඇද තියේවි. සැබෑ දෙවි ගැන දැනගැනීමට එරට වැසියන් තුළ තිබෙන උනන්දුවත් ඒ හා සමානයි. දෙවිගේ වචනයේ සඳහන් සත්‍යය නමැති බීජය හොඳින් පැළ කළ හැකි සාරවත් පසක් එහි තිබෙනවා. යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යය ගැන ඉගෙනගැනීමට උගන්ඩාවේ වෙසෙන විවිධ ජනයාට කාලය ලබා දීම ගැන අපි ඔහුට ස්තුතිවන්ත විය යුතුයි. යේසුස් දෙවිගේ රාජ්‍යයේ වටිනාකම ‘අගනා මුතු ඇටයකට’ සමාන කළා. මේ මුතු ඇටයේ වටිනාකම තේරුම්ගන්නා ජනයා දවසින් දවස උගන්ඩාවේ වැඩි වෙයි.—මතෙව් 13:45, 46.

[පාදසටහන]

^ 13 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[8වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

සූඩානය

උගන්ඩාව

නයිල් ගඟ

කාමූලි

ටොරොරො

කැම්පාලා

බූෂෙන්අයි

වික්ටෝරියා විල

කෙන්යාව

ටැන්සානියාව

රුවන්ඩාව

[9වන පිටුවේ පින්තූරය]

උද්‍යෝගිමත් පුරෝගාමීන් තිදෙනෙක්

[10වන පිටුවේ පින්තූරය]

පැට්රික්

[10වන පිටුවේ පින්තූරය]

මාග්‍රට්

[10වන පිටුවේ පින්තූරය]

සයිමන්

[10වන පිටුවේ පින්තූරය]

ටොරොරොහි පවත්වන ලද දිස්ත්‍රික් සමුළුවක්

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: © Uganda Tourist Board