Skip to content

පටුනට යන්න

‘ඔබගේ නීතියට මම කොපමණ ප්‍රිය වෙම්ද!’

‘ඔබගේ නීතියට මම කොපමණ ප්‍රිය වෙම්ද!’

‘ඔබගේ නීතියට මම කොපමණ ප්‍රිය වෙම්ද!’

“ඔබගේ ව්‍යවස්ථාවට [නීතියට] මම කොපමණ ප්‍රිය වෙම්ද! දවස් මුළුල්ලේ මාගේ භාවනාව ඒකමය.”—ගීතාවලිය 119:97.

1, 2. (අ) එකසිය දහනවවන ගීතිකාව ලියූ ගීතිකාකරු අද්දැක්කේ කුමන තත්වයක්ද? (ආ) එවැනි තත්වයක් මැද ඔහු ක්‍රියා කළේ කෙසේද? ඊට හේතුව කුමක්ද?

ගීතාවලියේ 119වන ගීතිකාව රචනා කළ තැනැත්තා බොහෝ පීඩා අද්දැක්කා. දෙවිගේ නීතිය ගැන කිසි තැකීමක් නොකළ උඩඟු පුද්ගලයන් මේ ගීතිකාකරු ගැන බොරු චෝදනා නඟමින් ඔහුට අපහාස කළා. ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කළ අධිපතීන් හිංසා පීඩා කළා. ඔහු දුෂ්ටයන්ගෙන් වට වී සිටි නිසා ඔහුගේ ජීවිතය තිබුණේ අනතුරෙයි. මේ සෑම දෙයක් නිසාම ඇති වූ “ශෝකය” හේතුවෙන් ඔහුට නින්ද ගියේද නැහැ. (ගීතාවලිය 119: 9, 23, 28, 51, 61, 69, 85, 87, 161) ඔහු මෙසේ ගායනා කළේ ඒ සෑම දෙයකටම මුහුණ දෙන අතරේයි. “ඔබගේ ව්‍යවස්ථාවට [නීතියට] මම කොපමණ ප්‍රිය වෙම්ද! දවස් මුළුල්ලේ මාගේ භාවනාව ඒකමය.”—ගීතාවලිය 119:97.

2 ගීතිකාකරු දෙවිගේ නීතියෙන් සැනසිල්ලක් ලැබුවේ කොහොමද? යෙහෝවා දෙවි ඔහු ගැන සැලකිල්ලක් දක්වන බවට ඔහු තුළ ස්ථිර විශ්වාසයක් තිබුණා. මෙය පීඩාවලට මුහුණ දීමට ලොකු ශක්තියක් වුණා. නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණත් ඔහුට ප්‍රීතියෙන් සිටීමට හැකි වුණේ දෙවිගේ නීතියට එකඟව ක්‍රියා කිරීම නිසයි. දෙවි ඔහුට කරුණාව දක්වා තිබූ බව ඔහු දැන සිටියා. එමෙන්ම ඔහුගේ සතුරන්ට වඩා නැණවත්ව ක්‍රියා කිරීමටත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගැනීමටත් ඔහුට හැකි වුණේ ඔහු දෙවිගේ නීතියෙන් ලැබුණු මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කළ නිසයි. ඊට අමතරව ඒ නීතියට කීකරු වූ නිසා සමාදානය මෙන්ම දෙවි ඉදිරියෙහි යහපත් හෘදය සාක්ෂියක්ද ඇතුව සිටින්න ඔහුට හැකි වුණා.—ගීතාවලිය 119:1, 9, 65, 93, 98, 165.

3. මේ කාලයේ ක්‍රිස්තියානීන්ට දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම අසීරු දෙයක් වන්නේ ඇයි?

3 මේ කාලයේ සිටින දෙවිගේ ඇතැම් සේවකයන් ගීතිකාකරු මෙන් ජීවිතයට තර්ජනයක් එල්ල වන දරුණු පීඩාවලට මුහුණ දෙනවා. කෙසේවෙතත් අපි සැමෝම ඇදහිල්ල පරීක්ෂාවට ලක් වන එවැනි දරුණු තත්වයන්ට මුහුණ නොදුන්නත් අපි ජීවත් වෙන්නේ ‘කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලයකයි.’ දිනපතා අපිට කටයුතු කිරීමට සිදු වන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අගය නොකරන අය සමඟයි. ඔවුන් සිතන්නේ තමුන් ගැන පමණයි. ඔවුන් ආශා කරන්නේ සැප සම්පත්වලටයි. ඔවුන් උඬඟු පුද්ගලයන් වන අතර අන් අය කෙරෙහි ගෞරවයක් දක්වන්නේද නැහැ. (2 තිමෝති 3:1-5) දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට ක්‍රිස්තියානි යෞවනයන්ට සෑම දිනකම සටනක් කරන්න සිදු වෙනවා. අද පවතින තත්වය මැද අපි හැමෝටම යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය දිගටම රැකගැනීමත් හරි දෙය කිරීමත් ලෙහෙසි දෙයක් නෙමෙයි. එසේනම් අපේ ඇදහිල්ල රැකගත හැක්කේ කෙසේද?

4. ගීතිකාකරු දෙවිගේ නීතිය අගය කරන බව පෙන්වූයේ කොහොමද? ක්‍රිස්තියානීන්ද එසේ කළ යුත්තේ ඇයි?

4 ගීතිකාකරු අද්දුටු පීඩා හමුවෙහි ස්ථීරව සිටීමට ඔහුට උපකාරවත් වූ එක් දෙයක් වූයේ දෙවිගේ නීති අධ්‍යයනය කර ඒවා මෙනෙහි කිරීමට කාලය වැය කිරීමයි. මෙසේ කිරීමෙන් දෙවිගේ නීති කෙරෙහි ඇල්මක් ඔහු තුළ ඇති වුණා. එකසිය දහනවවන ගීතිකාවේ සෑම වගන්තියකම පාහේ යෙහෝවා දෙවිගේ නීති ගැන යම් සඳහනක් කර තිබෙනවා. * අද සිටින ක්‍රිස්තියානීන් එදා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය පිළිපැදීමට බැඳී නැහැ. (කොලොස්සි 2:14) කෙසේවෙතත් එම නීතියේ අඩංගු ප්‍රතිපත්ති අදටත් ප්‍රයෝජනවත් වෙනවා. එම ප්‍රතිපත්තිවලින් ගීතිකාකරු සහනයක් අද්දැක්කා වගේ මේ කාලයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන දෙවිගේ සේවකයන්ටත් ඒවායින් සහනයක් ලබන්න පුළුවන්.

5. අපි මේ ලිපියේදී සලකා බලන්නේ කුමන දේවල් ගැනද?

5 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියෙන් අපට දිරිගැන්වීමක් ලබාගත හැකි ආකාරය ගැන අපි මේ ලිපියේදී සලකා බලමු. මෙහිදී අපි අවධානය යොමු කරන්නේ සබත පැවැත්වීම, කරල් ඇහිඳීම හා තණ්හාව ගැන දුන් නීති තුන කෙරෙහියි. මේ එක් එක් නීතිය ගැන අපි සලකා බලද්දී ඒවායේ අන්තර්ගත ප්‍රතිපත්ති අපිට තේරුම්ගත හැකියි. මේ කාලයේ අපි අද්දකින දුෂ්කරතාවලට සාර්ථකව මුහුණ දීමට නම් එම ප්‍රතිපත්ති තේරුම්ගැනීම අවශ්‍යයි.

අපේ විශේෂ අවශ්‍යතාවක් සපුරාගැනීම

6. සෑම මිනිසෙකුම අනිවාර්යයෙන්ම සපුරාගත යුතු අවශ්‍යතා මොනවාද?

6 දෙවි මිනිසාව මැව්වේ මූලික අවශ්‍යතා සපුරාගැනීමේ වුවමනාව ඇතිවයි. මේ අවශ්‍යතාවලට අයත් වන්නේ කෑම බීම හා ඉඳුම් හිටුම්. නිරෝගී සෞඛ්‍යයක් ඇතුව සිටීමට නම් මේ අවශ්‍යතා සපුරාගැනීම අත්‍යවශ්‍යයි. එමෙන්ම දෙවි මිනිසාව මැව්වේ තවත් විශේෂ අවශ්‍යතාවක් සපුරගැනීමේ වුවමනාව ඇතිවයි. එය නම් “ආත්මික අවශ්‍යතාව” හෙවත් දෙවිගේ මඟ පෙන්වීම ලැබීමේ අවශ්‍යතාවයි. මෙය කෙනෙක් සපුරාගන්නේ නැත්නම් ඔහුට සැබෑ ප්‍රීතිය අද්දකින්න බැහැ. (මතෙව් 5:3) මිනිසාගේ එම සහජ අවශ්‍යතාව සපුරාගැනීම අත්‍යවශ්‍ය දෙයක් බව යෙහෝවා දෙවි දැන සිටියා. ඊශ්‍රායෙල්වරුන්ට සෑම සතියකම එක දවසක් ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු නතර කර දමා නමස්කාරය හා සම්බන්ධ කාරණාවල හවුල් වෙන්න කියා දෙවි ඔවුන්ට අණ කළේ ඒ නිසයි.

7, 8. (අ) සබත් දවස වෙනත් දවස්වලට වඩා වෙනස් වුණේ කොහොමද? (ආ) සබත් දවස නියම කළේ ඇයි?

7 සබත් නීතිය මගින් අවධාරණය කළේ දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීම සඳහා කාලය වෙන් කිරීමේ වැදගත්කමයි. බයිබලයේ “සබත” නමැති වචනය මුලින්ම දැකිය හැක්කේ ඊශ්‍රායෙල්වරුන්ට පාළුකරයේදී මන්නා ලැබුණු අවස්ථාව ගැන සඳහන් කරන විටයි. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ආශ්චර්යවත් ලෙස සැපයූ මේ ආහාරය දවස් හයක් එකතු කරගන්න කියායි. හයවෙනි දවසේදී “දෙදවසක ආහාර” එකතු කරගන්න කියා ඔවුන්ට පැවසුවා. හත්වෙනි දවස “යෙහෝවාට ශුද්ධ සබතක්” වුණා. මේ දවසේදී සෑම ඊශ්‍රායෙල් ජාතිකයෙකුම තම තමාගේ නිවසේ සිටිය යුතු වුණා. (නික්මයාම 16:13-30) මේ සබත් දවසේදී කිසිම වැඩක් කරන්න එපා කියා දස පනතේ අණ කර තිබුණා. ඒ දවස ශුද්ධ දවසක් හැටියට සැලකිය යුතු වූ අතර එය කඩ කළා නම් ඊට දඬුවම වූයේ මරණයයි.—නික්මයාම 20:8-11; ගණන් කතාව 15:32-36.

8 යෙහෝවා දෙවි තම සෙනඟගේ ශාරිරීක ශුභසිද්ධිය ගැනත් ඔවුන් තමන් සමඟ තිබෙන මිත්‍රත්වය රැකගැනීමේ අවශ්‍යතාව ගැනත් සැලකිලිමත් වූ බව සබත් නීතිය මගින් පෙනී යනවා. “සබත් දවස ඇති වූයේ මිනිසා වෙනුවෙන්” කියා යේසුස් පැවසුවා. (මාක් 2:27) එම නීතිය නිසා ඔවුන්ට විවේකයක් ලැබුණා පමණක් නොවෙයි, ඔවුන්ගේ මැවුම්කරුට ළංවීමටත් ඔහුට ප්‍රේමය පෙන්වීමටත් අවස්ථාවක් ලැබුණා. (ද්විතීය කතාව 5:12) එම දවස පවුලේ අය එකට එකතු වී නමස්කාර කිරීමට, යාච්ඤා කිරීමට හා දෙවිගේ නීති ගැන මෙනෙහි කිරීමට පමණක් යොදාගත යුතු වුණා. මෙම නීතිය නිසා තමන්ගේ මුළු කාලය හා ශ්‍රමය වෙනත් දේවලට වැය කිරීමෙන් වැළකී සිටීමට ඊශ්‍රායෙල්වරුන්ට හැකි වූ අතර, මෙය ඔවුන්ට ආරක්ෂාවක්ද වුණා. තමන්ගේ ජීවිතයේ වැදගත්ම දෙය වන්නේ යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය බව එම නීතිය මගින් ඔවුන්ට මතක් කර දුන්නා. එම නීතියෙන් ගත හැකි වෙනස් නොවන ප්‍රතිපත්තියක් යේසුස් මෙසේ සඳහන් කළා. “‘මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි’ කියා ලියා තිබේ.”—මතෙව් 4:4.

9. සබත් නීතිය මගින් ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

9 අද සිටින දෙවිගේ සෙනඟ පැය 24කට සීමා වූ සබතක් පැවැත්වීම අවශ්‍ය නැති වුණත් එයින් යම් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. (කොලොස්සි 2:16) දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට ඉවහල් වන ක්‍රියාවලට මුල් තැන දීමේ අවශ්‍යතාව අපට එයින් මතක් කර දෙනවා. නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාවල හවුල් විය නොහැකි තරමටම වෙනත් කාරණා පසුපස හඹා යෑමට හෝ විනෝදාස්වාදයන්වල නිරත වීමට කාලය වැය නොකළ යුතුයි. (හෙබ්‍රෙව් 4:9, 10) මේ නිසා අපි මේ ප්‍රශ්න ගැන හොඳින් සිතා බැලිය යුතුයි. “මගේ ජීවිතයේ මුල් තැන හිමි වී තිබෙන්නේ කුමකටද? අධ්‍යයනය කිරීම, යාච්ඤා කිරීම ක්‍රිස්තියානි රැස්වීම්වලට හවුල් වීම හා රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීම වැනි ක්‍රියාකාරකම්වලට මම මුල් තැන දෙනවාද? එසේ නැත්නම් වෙනත් කටයුතු නිසා එම ක්‍රියාකාරකම්වල හවුල් වීමට මට කාලය නැද්ද?” නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට අපි මුල් තැන දෙනවා නම් අපේ අවශ්‍යතා සපුරාලන බවට යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙනවා.—මතෙව් 6:24-33.

10. අධ්‍යයනය සඳහා නිතිපතා කාලය වෙන්න කිරීමෙන් අප ප්‍රයෝජන ලබන ආකාරය පැහැදිලි කරන්න.

10 බයිබලය සහ එය මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කිරීමටත් ඒවායේ සඳහන් දේවල් ගැඹුරින් සිතා බැලීමටත් කාලය යොදවනවා නම් යෙහෝවා දෙවිට වඩ වඩා ළං වෙන්න අපිට පුළුවන්. (යාකොබ් 4:8) සූසන් දැනට අවුරුදු 40ක පමණ කාලයක සිට නිතිපතා බයිබලය අධ්‍යයනය කිරීමට කාලය වෙන් කරනවා. එහෙත් ඇය මුලදී එයට එතරම් ආශාවක් දැක්වූයේ නැහැ. එමෙන්ම ඇයට එය දැනුණේ ලොකු බරක් හැටියටයි. කෙසේවෙතත් ඇය වඩ වඩා බයිබලය කියවද්දී ඇයට ඒ කෙරෙහි ආශාවක් ඇති වුණා. යම් හේතුවක් නිසා අධ්‍යයනය කිරීම අතපසු වුණොත් ඇයට ඒ ගැන ලොකු දුකක් දැනෙනවා. සූසන් මෙසේ පවසනවා. “බයිබලය අධ්‍යයනය කිරීම නිසා මට පුළුවන් වෙලා තියෙනවා, පියෙක් හැටියට යෙහෝවා දෙවිව වඩාත් හොඳින් දැනගන්න. ඒ වගේම සෑම කාරණයකදීම දෙවිව විශ්වාස කරන්නත් ඔහු කෙරෙහි රඳා සිටින්නත් මම ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඕනෑම මොහොතක යාච්ඤාවෙන් දෙවිට කතා කරන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට පෙන්වන ඉමහත් ප්‍රේමය ගැනත් ඔහු මා ගැන සැලකිල්ලක් දක්වමින් මට උපකාර කරලා තියෙන ආකාරය ගැනත් හිතනකොට මට දැනෙන්නේ ලොකු ප්‍රීතියක්.” දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල හවුල් වීමට නිතිපතා කාලය වෙන්න කිරීමෙන් අපිටත් නිසැකවම මහත් ප්‍රීතියක් ලබන්න පුළුවන්.

කරල් ඇහිඳීම හා සම්බන්ධ දෙවිගේ නීතිය

11. කරල් ඇහිඳීම හා සම්බන්ධ නීතිය විස්තර කරන්න.

11 දෙවි ඔහුගේ සෙනඟ ගැන සැලකිලිමත් වූ බව ඊශ්‍රායෙල් සෙනඟට දුන් නීතියේ අඩංගු වූ කරල් ඇහිඳීම ගැන සඳහන් දෙයින් පෙනී යනවා. පුරාණ ඊශ්‍රායෙලයේ විසූ ගොවියෙක් ඔහුගේ කෙතේ අස්වැන්න නෙළාගන්න විට ඉතිරි වන දේවල් දුප්පත් අයට අහුලාගැනීමට ඉඩ දෙන්න කියා යෙහෝවා දෙවි අණ කර තිබුණා. ගොවියන් ඔවුන්ගේ අස්වැන්න නෙළාගන්න විට කෙත්වල අයිනේ තිබෙන කරල් ඉතිරි කළ යුතු වුණා. එමෙන්ම මිදි හා ඔලීව පල නෙළාගන්න විට යම් ප්‍රමාණයක් ඉතිරි කරන්න කියාද, කෙත්වල අමතක වී දමා ගිය ධාන්‍ය මිටි නැවත නොගන්න කියාද අණ කර තිබුණා. මෙවැනි සැලැස්මක් ඇති කර තිබුණේ දුප්පතුන්ට, විදේශීන්ට, අනාථ දරුවන්ට හා වැන්දඹුවන්ට ප්‍රේමය දැක්වීම සඳහායි. කරල් ඇහිඳීම සඳහා ඒ අයට වෙහෙසක් දරන්න සිදු වුණත්, සිඟා නොකා තමන්ගේ ආහාර සපයාගැනීමට ඒ සැලැස්ම නිසා ඔවුන්ට හැකි වුණා.—ලෙවී කතාව 19:9, 10; ද්විතීය කතාව 24:19-22; ගීතාවලිය 37:25.

12. කරල් ඇහිඳීම හා සම්බන්ධ නීතිය මගින් ගොවීන්ට අවස්ථාවක් ලැබුණේ කුමක් සඳහාද?

12 දුප්පත් අය සඳහා තමන්ගේ අස්වැන්නෙන් කොතරම් ප්‍රමාණයක් ඉතිරි කළ යුතුද කියා කරල් ඇහිඳීම හා සම්බන්ධ නීතියේ නිශ්චිතව සඳහන් කර තිබුණේ නැහැ. එය තීරණය කළ යුතු වුණේ අයිතිකරුවන් විසිනුයි. තමන්ගේ ත්‍යාගශීලී බව පෙන්වීමට මේ සැලැස්ම නිසා ඊශ්‍රායෙල්වරුන්ට හැකි වුණා. අස්වැන්න සැපයූ තැනැත්තා කෙරෙහි තමන්ගේ අගය පෙන්වීමටද එමගින් හැකි වුණා. ‘දිලින්දාට කරුණා කරන්නා මැවුම්කරුට ගෞරව කරන’ බව බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 14:31) බෝවස් එසේ කළ කෙනෙක්. ඔහුගේ කෙත්වල කරල් ඇහිඳීමට පැමිණි වැන්දඹුවක් වූ රූත්ට අවශ්‍ය තරම් ධාන්‍ය අහුලාගැනීමට ඔහු ඉඩහැරියා. ඔහුගේ මේ ත්‍යාගශීලීකමට යෙහෝවා දෙවි ආශීර්වාද කළා.—රූත් 2:15, 16; 4:21, 22; හිතෝපදේශ 19:17.

13. කරල් ඇහිඳීම හා සම්බන්ධ නීතියෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

13 කරල් ඇහිඳීම හා සම්බන්ධ නීතියේ සඳහන් ප්‍රතිපත්තිය වෙනස් වී නැහැ. ත්‍යාගශීලී වීම, විශේෂයෙන්ම දුප්පත් අය කෙරෙහි සැලකිල්ලක් දැක්වීම යෙහෝවා දෙවි තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. අපි වැඩි වැඩියෙන් ත්‍යාගශීලී වන විට අපි වැඩි වැඩියෙන් ආශීර්වාදද ලබනවා. “දීමට පුරුදු වන්න. එවිට අන් අය ඔබටද දෙන්නෝය. ඔවුහු තද කර, සොලවා, ඉතිරී යන ලෙස මහත් ප්‍රමාණයක් ඔබේ ඔඩොක්කුවලට මැන දමන්නෝය. මන්ද ඔබ මනින මිම්මෙන්ම ඔබටත් නැවත මැන දෙනු ලැබේ” කියා යේසුස් පැවසුවා.—ලූක් 6:38.

14, 15. අපිට ත්‍යාගශීලී විය හැක්කේ කෙසේද? එයින් අපත් අප උපකාර කරන අයත් ලබන ප්‍රයෝජන මොනවාද?

14 “සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු” කියා පාවුල් සඳහන් කළා. (ගලාති 6:10) අපේ සෙසු ඇදහිලිවන්තයන් ඔවුන්ගේ ඇදහිල්ල සම්බන්ධයෙන් යම් පරීක්ෂණවලට මුහුණ දෙන විට දේවවචනයෙන් අවශ්‍ය ශක්තිය ඔවුන්ට සැපයිය යුතුයි. ඇතැම්විට ඔවුන්ට රාජ්‍ය ශාලාවට පැමිණීමට හෝ අවශ්‍ය කෑම බීම ගෙදරට ගෙන්වාගැනීමට හෝ තවත් එවැනි අවශ්‍යතා ඉටු කරගැනීමට උපකාර අවශ්‍ය විය හැකියි. වයසක අය, අසනීප අය හෝ එක්තැන් වී සිටින අය ඔබේ සභාවේ සිටිනවාද? ඔවුන්ව හමු වී යම් දිරිගැන්වීමක් දෙන විට හෝ අවශ්‍ය උපකාර පිරිනමන විට ඔවුන් එය හුඟාක් අගය කරාවි. අපි ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ඒවා ඉටු කර දීමට වෑයම් කරද්දී ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දෙන්න දෙවි අපිව යොදාගැනීමට ඉඩ තිබෙනවා. එකිනෙකා ගැන සැලකිලිමත් වීම අප සතු ක්‍රිස්තියානි වගකීමක් බව ඇත්තයි. එහෙත් අපි අවශ්‍යතා ඇති අයට උපකාර කරන විට අපිත් එයින් ප්‍රයෝජන ලබනවා. සෙසු ක්‍රිස්තියානීන්ට අවංකවම ප්‍රේමය පෙන්වීමෙන් අපිට ලොකු ප්‍රීතියක් ලබන්න පුළුවන්. එසේ කිරීමෙන් දෙවිගේ ආශීර්වාදත් අපි ලබනවා. එමෙන්ම අපි මහත් තෘප්තියක්ද අද්දකිනවා.—හිතෝපදේශ 15:29.

15 අපිට අන් අය ගැන සැලකිල්ල පෙන්විය හැකි තවත් වැදගත් ආකාරයක් නම් ඔවුන්ට දෙවිගේ අරමුණු ගැන කියා දීමට අපේ කාලය හා ශ්‍රමය වැය කිරීමයි. (මතෙව් 28:19, 20) යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා තම ජීවිතය කැප කිරීමට කෙනෙකුට උපකාර කිරීමෙන් ප්‍රීතිය අද්දැක තිබෙන අය යේසුස් පැවසූ මේ වදන්වල සත්‍යතාව හොඳින් දන්නවා. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.”—ක්‍රියා 20:35.

තණ්හාවෙන් වළකින්න

16, 17. දසවෙනි පනතෙන් තහනම් කළේ කුමක්ද? එයට හේතුව කුමක්ද?

16 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් දස පනතේ තණ්හාව ගැන සඳහන් අන්තිම පනත දැන් අපි සලකා බලමු. ඒ ගැන මෙසේ සඳහන් වී තිබෙනවා. “ඔබේ අසල්වාසියාගේ ගෙට ආශා නොවන්න; ඔබේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකාරයාටවත් වැඩකාරීටවත් ඔහුගේ ගොනාටවත් කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවන්න.” (නික්මයාම 20:17) කිසිම මිනිසෙකුට කිසිවෙකුගේ සිත්වල තිබෙන දේවල් දැනගත නොහැකි නිසා එවන් නීතියක් පනවන්න මිනිසුන්ට නොහැකියි. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති මිනිසුන්ගේ නීතිවලට වඩා උසස් බව එම නීතියෙන් පෙනී යනවා. යෙහෝවා දෙවිට මිනිසුන්ගේ සිත්වල තිබෙන දේවල් දැනගත හැකි නිසා තමන් ඔහුට ගණන් දිය යුතු බව එම නීතියෙන් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කර දුන්නා. (1 සාමුවෙල් 16:7) බොහෝ වැරදි ක්‍රියාවලට මූලික හේතුව කුමක්ද කියා එම නීතියෙන් පෙන්වා දෙනවා.—යාකොබ් 1:14.

17 තණ්හාව පිළිබඳ නීතිය නිසා සැප සම්පත්වලට ආශාවීමෙන්ද, ගිජුකමෙන්ද, තමන් ගත කරන ජීවිතය ගැන මැසිවිලි නැඟීමෙන්ද වැළකී සිටීමට දෙවිගේ සෙනඟට හැකි වුණා. සොරකම් කිරීමට හෝ දුරාචාරයේ නියැලීමට පෙලඹීම් ඇති වන විට එයට එරෙහි වීමටද එම නීතිය උපකාරවත් වුණා. සමහර අයට අපිට වඩා දේවල් වැඩියෙන් තිබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම් පැතිවලින් ඔවුන් අපිට වඩා සාර්ථකත්වයක් ලබා තිබෙන්න පුළුවන්. අපි එවැනි අය ගැන ඕනෑවට වඩා සිතුවොත් ඔවුන් ගැන අපිට ඊර්ෂ්‍යාවක් ඇති විය හැකියි. එමෙන්ම අපේ ප්‍රීතියද නැති විය හැකියි. තණ්හාව ‘අනුමත කළ නොහැකි මානසික ස්වභාවයක්’ කියා බයිබලයේ සඳහන් වෙනවා. මේ නිසා තණ්හාවෙන් වැළකී සිටිමු.—රෝම 1:28-30.

18. අද ලෝකයේ පවතින ආකල්පය කුමක්ද? එයින් ඇති විය හැකි හානිය කුමක්ද?

18 අද ලෝකයේ වැඩියෙන්ම දිරිගන්වන්නේ සැප සම්පත් අත් කරගැනීමට හා එකිනෙකා සමඟ තරඟ වැදීමටයි. වෙළඳ දැන්වීම් මගින් අලුත් භාණ්ඩ මිල දී ගැනීමට ආශාවක් ඇති කරන අතර ජීවිතය ප්‍රීතියෙන් ගත කරන්න නම් ඒවා නැතිවම බැරි බව අඟවයි. ලෝකයේ පවතින මේ තත්වය යෙහෝවා දෙවි හෙළා දකින බව ඔහුගේ නීතිවලින් පැහැදිලියි. හොඳ තැනකට එන්න හෝ මුදල් හම්බ කරගන්න මොනවා කළත් කමක් නැහැ කියන ආකල්පයත් අද ලෝකයේ දැකිය හැකියි. පාවුල් එවැනි ආකල්ප ගැන මෙසේ අනතුරු ඇඟෙව්වා. “පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය පරීක්ෂාවටද, උගුලකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ බොහෝ ආශාවලටද වැටෙන්නෝය. මන්ද, මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා, ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.”—1 තිමෝති 6:9, 10.

19, 20. (අ) යෙහෝවා දෙවිගේ නීතිවලට ඇලුම් කරන කෙනෙක් වටිනාම දෙය හැටියට සලකන්නේ කුමක්ද? (ආ) ඊළඟ ලිපියේදී සලකා බලන්නේ කුමක්ද?

19 දෙවිගේ නීතිවලට ඇලුම් කරන අය සැප සම්පත් පසුපස හඹා යෑමේ අනතුරු ගැන දැන සිටින නිසා ඒවායින් වැළකී සිටින්න ඔවුන්ට හැකි වී තිබෙනවා. ගීතිකාකරු යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කළා. “මාගේ සිත ලාභයට නොව ඔබේ සිහිගැන්වීම්වලට යොමු කරවන්න. ඔබේ මුඛයෙන් නික්මුණු නීතිය මාගේම ප්‍රයෝජනය සඳහාය. රන් රිදී කාසි දහසකටත් වඩා එය වටින්නේය.” (ගීතාවලිය 119:36, 72, නව ලොව පරිවර්තනය) මේ වචනවල සත්‍යතාව අපි හොඳින් දැන සිටිනවා නම් සැප සම්පත්වලට තිබෙන ආශාව, ගිජුකම, තමන්ට තිබෙන දෙයින් සෑහීමට පත් නොවී සිටීම වැනි හානිකර දේවලින් වැළකී සිටිමින් සමබර ජීවිතයක් ගත කළ හැකියි. වටිනාම දෙය දෙය වන්නේ සැපපහසු ජීවිතයක් ගත කිරීම නොව, ‘දේවභක්තික’ ජීවිතයක් ගත කිරීමයි.—1 තිමෝති 6:6.

20 යෙහෝවා දෙවි මෝසෙස් මගින් ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය එදා ඔවුන්ට ප්‍රයෝජනවත් වුණා වගේ එම නීතිවල අඩංගු ප්‍රතිපත්තිවලින් අද සිටින අපිටත් ප්‍රයෝජන ලබන්න පුළුවන්. එම ප්‍රතිපත්තිවලට එකඟව අපි ජීවත් වන විට ඒවායේ වටිනාකම හොඳින් තේරුම්ගන්න අපිට හැකියි. එමෙන්ම ඒවා කෙරෙහි තිබෙන අපේ ඇල්මද තව තවත් වැඩි වෙයි. අපේ ප්‍රීතිය වැඩිවීමටද එය හේතු වෙයි. අපිට වටිනා පාඩම් රැසක් දෙවි දුන් නීතිවලින් ඉගෙනගන්න පුළුවන්. බයිබලයේ සඳහන් පුද්ගලයන්ගේ ආදර්ශවලින් හා අද්දැකීම්වලින් එම පාඩම් අපට ඉගෙනගත හැකියි. මෙම ආදර්ශවලින් කිහිපයක් ඊළඟ ලිපියේදී සලකා බලමු.

[පාදසටහන]

^ 4 ඡේ. මේ ගීතිකාවේ තිබෙන වගන්ති 176න් වගන්ති හතරක හැර අන් සෑම වගන්තියකම යෙහෝවා දෙවිගේ පනත්, ව්‍යවස්ථා, සාක්ෂි, ශික්ෂා, ආඥා, විනිශ්චයන් හා මාර්ග යන යෙදුම් භාවිත කර තිබෙනවා.

ඔබේ පිළිතුර කුමක්ද?

• ගීතාවලියේ 119යේ රචකයා දෙවිගේ නීතියට ඇලුම් කළේ ඇයි?

• සබත් නීතියෙන් ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• කරල් ඇහිඳීම හා සම්බන්ධ නීතියෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

• තණ්හාවෙන් වැළකී සිටින්න කියා දුන් ආඥාව අපට ආරක්ෂාවක් වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

සබත් නීතිය මගින් අවධාරණය කළේ කුමක්ද?

[23වන පිටුවේ පින්තූරය]

කරල් ඇහිඳීම හා සම්බන්ධ නීතිය මගින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?