Skip to content

පටුනට යන්න

ඔබේ දරුවාව බලාගන්නේ රූපවාහිනියද?

ඔබේ දරුවාව බලාගන්නේ රූපවාහිනියද?

ඔබේ දරුවාව බලාගන්නේ රූපවාහිනියද?

ඔබ ගෙදර දොරේ වැඩ ඉවර කරගන්න තුරු දරුවන්ට විනෝදය ගෙන දෙන රූපවාහිනි වැඩසටහන් නැරඹීමට ඉඩහැරීම දේවල් පහසුවෙන් කරගැනීමට හැකි හොඳ ක්‍රමයක් කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් මෙය ඔබේ දරුවන්ට බලපාන්නේ කොහොමද?

“කුඩා දරුවන් රූපවාහිනියෙන් දකින වැඩසටහන් මගින් ඔවුන්ගේ සිත්වලට යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්” යැයි එක් සඟරාවක සඳහන් වුණා. (The New York Times) මෑතකදී ළදරුවන් සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් කරනු ලැබුවා. මෙහිදී අවුරුද්දක් පමණ වයසැති ළදරුවන්ට එක් නිළියක් සෙල්ලම් බඩුවක් කෙරෙහි දක්වන වෙනස් ප්‍රතිචාර ඇතුළත් දර්ශන කිහිපයක් පෙන්නුවා. “මෙම නිළිය සෙල්ලම් බඩුවක් කෙරෙහි බියක් පෙන්නුම් කළ විට ළදරුවන්ද එම සෙල්ලම් බඩු ප්‍රතික්ෂේප කළ අතර ඒවා කෙරෙහි ප්‍රියතාවක් දැක්වූයේ නැහැ. ඇස් දෙක ලොකු කරගෙන ඒ දෙස බලා සිටියා. සමහර අවස්ථාවලදී ඔවුන් බිය වූ නිසා අඬන්න පටන්ගත්තා. ඒ වගේම මේ නිළිය සමහර සෙල්ලම් බඩු සමඟ ගොඩාක් විනෝද වෙනවා දුටු විට ළදරුවන්ද ඒ බඩුවලට ආශාවක් දැක්වුවා” යැයි එම සඟරාවේ පවසා තිබුණා.

මින් පෙනී යන්නේ රූපවාහිනිය ළදරුවන්ට ලොකු බලපෑමක් කරන බවයි. රූපවාහිනිය මගින් දරුවන් කෙරෙහි කුමන ආකාරයේ දිගු කාලීන බලපෑම් ඇති කළ හැකිද? බොහෝ දරුවන් අසාමාන්‍ය ලෙස නිහඬ බවත් මුහුණෙන් එතරම් හැඟීම් පළ නොකරන බවත් සොයාගෙන තිබෙනවා. මේ සෑම දරුවෙක්ම රූපවාහිනිය හා වීඩියෝ පටි නැරඹීමට බොහෝ වේලාවක් ගත කර තිබූ බවත් ජපානයේ එක් ළමා විශේෂඥයෙක් නිරීක්ෂණය කර තිබෙනවා. (Dr. Naoki Kataoka, professor of pediatrics at Kawasaki Medical College in Kurashiki) අවුරුදු දෙකක් වයසැති දරුවෙකුට වෙනත් අය සමඟ හොඳින් කතා කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු දැනගෙන සිටියේ සීමිත වචන කිහිපයක් පමණයි. මේ දරුවා අවුරුද්දක් වයසැති කාලයේ පටන් උදේ සිට හැන්දෑ වෙන තුරු විඩීයෝ පටි නරඹා තිබුණා. මේ දරුවාගේ මව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගත්තට පසු දරුවාට වීඩියෝ පටි නැරඹීමට ඉඩ නොදී ඔහු සමඟ වැඩිපුර කාලය ගත කිරීමටත් සෙල්ලම් කිරීමටත් පටන්ගත්තා. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් මේ දරුවාට කතා කිරීමේ හැකියාව ලැබුණා. ඇත්ත වශයෙන්ම දෙමව්පියන් දරුවන් සමඟ වැඩිපුර කාලය ගත කිරීම ඉතා වැදගත්.

දෙමාපියන් හා දරුවන් අතර හොඳ සම්බන්ධතාවක් තිබීමේ වැදගත්කම ගැන සමාජයේ කුඩාම ඒකකය වන පවුල ආරම්භ කළ තැනැත්තා වන යෙහෝවා දෙවි පෙන්වා දී තිබෙනවා. ඔහු තම සෙනඟට මෙසේ අණ කළා. “ඔබේ පුත්‍රයන්ට ඒවා [දෙවිගේ වචනය] මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.” (ද්විතීය කතාව 6:7) දෙමාපියෙනි, දරුවන් ‘යා යුතු මාර්ගයේ පුහුණු කිරීමේදී’ ඔවුන්ට වචනයෙන් හා ක්‍රියාවෙන් උපදෙස් දීමට හැක්කේ රූපවාහිනියට නොව ඔබටයි.—හිතෝපදේශ 22:6.