Skip to content

පටුනට යන්න

“ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි”

“ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි”

“ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි”

“කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.”—රෝම 15:4.

1. යෙහෝවා දෙවි අපිට සිහිගැන්වීම් සපයන්නේ කොහොමද? අපිට සිහිගැන්වීම් අවශ්‍ය වන්නේ ඇයි?

යෙහෝවා දෙවි මේ දුෂ්කර කාලයේදී ඔහුගේ සෙනඟ අද්දකින පීඩාකාරී තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකි වන පිණිස සිහිගැන්වීම් සපයනවා. ඔහු මෙම සිහිගැන්වීම් මූලිකව අපට සපයන්නේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී හෝ අප පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කරන විටයි. බොහෝ අවස්ථාවලදී අපට කියවීමට හා අසන්නට ලැබෙන්නේ අලුත් දේවල් නොවෙයි. කලින් සලකා බැලූ තොරතුරු නැවත නැවතත් සලකා බලනවා. යෙහෝවා දෙවි ඔහුගේ අරමුණු, නීති හා උපදෙස් ගැන අපිට නිතර සිහිගැන්වීම් සපයන්නේ අපිට ඒවා පහසුවෙන්ම අමතක විය හැකි නිසයි. දෙවි සපයන සිහිගැන්වීම් අපි අගය කළ යුතුයි. දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීම සඳහා එම සිහිගැන්වීම් අපිට උපකාරවත් වෙනවා. මේ නිසයි ගීතිකාකරු යෙහෝවා දෙවිට මෙසේ ගායනා කිරීමට පෙලඹුණේ. “ඔබේ සිහිගැන්වීම්වලට මම ඇලුම් කරන්නෙමි.”—ගීතාවලිය 119:24, නව ලොව පරිවර්තනය, NW.

2, 3. (අ) බයිබලය යෙහෝවා දෙවි අපේ කාලය දක්වා ආරක්ෂා කර තිබෙන්නේ ඇයි? (ආ) මේ ලිපියේදී අපි සලකා බලන්නේ බයිබලයේ සඳහන් කුමන වාර්තා ගැනද?

2 බයිබලය ලියා තිබෙන්නේ සියවස් ගණනාවකට කලින් වුණත් එය අදත් අපේ ජීවිතවලට ලොකු බලපෑමක් කරනවා. (හෙබ්‍රෙව් 4:12) සැබෑ ජීවිත අද්දැකීම් එහි අඩංගුයි. බයිබලය ලියූ කාලයේ විසූ මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර හා ඔවුන් දැරූ මතිමතාන්තර අදට වඩා වෙනස් වුණත් අපි මුහුණ දෙන්නෙත් ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න ගැටලුවලට සමාන ඒවාටයි. විවිධ බාධා දුෂ්කරතා මැද යෙහෝවා දෙවිට දිගටම ප්‍රේමය පෙන්වමින් ඔහුට විශ්වාසවන්තව සිටි අයගේ ආදර්ශ බයිබලයේ සඳහන් කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහායි. දෙවි හෙළා දකින දේවල් කළ පුද්ගලයන්ගේ අවාදර්ශද එහි සඳහන් වෙනවා. හොඳ ආදර්ශ මෙන්ම නරක ආදර්ශ තැබූ පුද්ගලයන් ගැන බයිබලයේ සඳහන් කර තිබෙන්නේ අපිට වටිනා පාඩම් සිහිගැන්වීම සඳහායි. මේ ගැන පාවුල් මෙසේ ලිව්වා. “අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.”—රෝම 15:4.

3 දැන් අපි බයිබලයේ සඳහන් වාර්තා තුනක් ගැන සලකා බලමු. ඒවා නම් දාවිත් සාවුල් සමඟ ක්‍රියා කළ ආකාරය, අනනියස් සහ සෆීරා ක්‍රියා කළ ආකාරය හා යෝසෙප් පොතිඵර්ගේ භාර්යාවගේ බලපෑම් මැද ක්‍රියා කළ ආකාරයයි. මේ සෑම වාර්තාවකින්ම අපිට වටිනා පාඩම් ඉගෙනගත හැකියි.

දෙවිට පක්ෂපාත බව පෙන්වන්න

4, 5. (අ) සාවුල් රජ දාවිත්ට සැලකුවේ කොහොමද? (ආ) සාවුල් දාවිත්ට සතුරෙකු සේ සලකද්දී දාවිත් ක්‍රියා කළේ කොහොමද?

4 සාවුල් රජ යෙහෝවා දෙවිට අකීකරු වීමෙන් පෙනී ගියේ දෙවිගේ සෙනඟව පාලනය කිරීමට ඔහු සුදුසු තත්වයක නොසිටි බවයි. එනිසා දෙවි ඔහුව ප්‍රතික්ෂේප කළ අතර ඊශ්‍රායෙලයේ අනාගත රජ හැටියට දාවිත්ව අභිෂේක කිරීමට අනාගතවක්තෘ සාමුවෙල්ව යැව්වා. දාවිත් යුද්ධවලදී පෙන්වූ දක්ෂකම් නිසා සෙනඟ ඔහුට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. එතැන් පටන් සාවුල් දාවිත්ව සැලකුවේ සතුරෙක් හැටියටයි. සාවුල් ඔහුව මරන්න කිහිප වතාවක්ම උත්සාහ කළා. මේ සෑම අවස්ථාවකදීම දාවිත්ට තම ජීවිතය ගලවාගන්න හැකි වුණේ යෙහෝවා දෙවි ඔහුට උපකාර කළ නිසයි.—1 සාමුවෙල් 18:6-12, 25; 19:10, 11.

5 අවුරුදු ගණනාවක් තිස්සේ තැනින් තැනට පලා යමින් ජීවත් වෙන්න දාවිත්ට සිදු වුණා. දාවිත්ට සාවුල්ව මරා දමන්න අවස්ථා කිහිපයක්ම උදා වුණා. තමාගේ සතුරාව මරා දමන්න යෙහෝවා දෙවි දාවිත්ට අවස්ථාව දී තිබෙන බව පවසමින් ඔහු සමඟ සිටි අය එසේ කිරීමට ඔහුව උනන්දු කළා. එහෙත් යෙහෝවා දෙවි කෙරෙහි තිබූ පක්ෂපාතකම නිසත් ඔහුගේ සෙනඟව පාලනය කිරීමට දෙවි අභිෂේක කර තිබූ රජ වූ සාවුල් කෙරෙහි ඔහුට තිබූ ගෞරවය නිසත් දාවිත් ඔහුව මැරීම ප්‍රතික්ෂේප කළා. සාවුල්ව රජ හැටියට පත් කර තිබුණේ යෙහෝවා දෙවි බවත් අවශ්‍ය නම් ඔහුව රජකමෙන් පහ කිරීමටද දෙවිට හැකි බවත් දාවිත් දැන සිටියා. මේ නිසා තමන් ඊට මැදිහත් විය යුතු නැති බවත් ඔහු තේරුම්ගත්තා. තමන්ට සතුරෙකු සේ සැලකූ සාවුල් සමඟ සමාදානයෙන් සිටීමට දාවිත් ඔහුට හැකි සෑම දෙයක්ම කිරීමෙන් පසු මෙසේ තීරණය කළා. “යෙහෝවා ඔහුට පහර දෙන්නේය; නැත්නම් ඔහු මැරෙන දවස පැමිණෙන්නේය; නොහොත් ඔහු සටනට ගොස් එයින් නැති වන්නේය; යෙහෝවාගෙන් ආලේපය ලත් අයට විරුද්ධව මාගේ අත දිගු කිරීම මට නොවේවා.”—1 සාමුවෙල් 24:3-15; 26:7-20.

6. දාවිත් සහ සාවුල් සම්බන්ධ වාර්තාවෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?

6 එම වාර්තාවෙන් අපිට වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. ක්‍රිස්තියානි සභාව තුළ ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි කියා ඔබ ඇතැම්විට කල්පනා කර තිබෙන්න පුළුවන්. ක්‍රිස්තියානීන්ට නුසුදුසු විදිහට යමෙක් සභාව තුළ ක්‍රියා කළ හැකියි. ඔහු කරන්නේ බරපතළ පාපයක් නොවුණත් ඔහු කරන දෙය ඔබේ සිතට වද දිය හැකියි. මෙවැනි අවස්ථාවකදී ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? ක්‍රිස්තියානියෙකු හැටියට ඒ තැනැත්තා කෙරෙහි තිබෙන ප්‍රේමය නිසාත් යෙහෝවා දෙවිට තිබෙන පක්ෂපාතකම නිසාත් ඔහුව දිනාගැනීමේ අරමුණින් අදාළ කාරණය කාරුණිකව ඔහු සමඟ කතා කිරීමට ඔබ තීරණය කළ හැකියි. එහෙත් එම ප්‍රශ්නය විසඳුණේ නැත්නම් ඔබ කරන්නේ කුමක්ද? ඔබට කළ හැකි සෑම දෙයක්ම කළ පසු එම කාරණය යෙහෝවා දෙවිට බාර දෙන්න. දාවිත් කළෙත් එයයි.

7. අපි යම් අසාධාරණකම්වලට ලක් වන විට ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දාවිත් ආදර්ශයක් වන්නේ කොහොමද?

7 ඇතැම්විට ඔබ සමාජයේ විවිධ අසාධාරණකම්වලට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. එසේත් නැත්නම් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීම නිසා හිංසා පීඩා හා සමච්චල්වලට ලක් විය හැකියි. මෙවැනි දේවල් වළක්වාගැනීම සඳහා කිසිවක් කළ නොහැකි තත්වයක ඔබ සිටිය හැකියි. එවැනි තත්වයක් විඳදරාගැනීම පහසු දෙයක් නොවෙයි. එහෙත් දාවිත් අයුක්තිය හමුවේ ක්‍රියා කළ ආකාරයෙන් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. දාවිත් රචනා කළ ගීතිකා අපේ සිත්වලට තදින් කාවදිනවා. ඒවායේ සඳහන් වන්නේ සාවුල්ගෙන් තමන්ව ගලවාගන්න කියා ඔහු යෙහෝවා දෙවිට කළ අයැදීම් පමණක් නොවෙයි. ඔහු දෙවිට දැක්වූ පක්ෂපාතකමත් දෙවිගේ නාමය ගෞරවයට පත් වෙනවා දකින්න ඔහු තුළ තිබූ ඉමහත් ආශාවත් ඒවායින් කියවෙනවා. (ගීතාවලිය 18:1-6, 25-27, 30-32, 48-50; 57:1-11) සාවුල් අවුරුදු ගණනාවක් තිස්සේ දාවිත්ට අසාධාරණකම් කළත් ඔහු දිගටම දෙවිට පක්ෂපාතව සිටියා. අපිට මොන අසාධාරණකම්වලට මුහුණ දීමට සිදු වුණත් අපිත් දිගටම යෙහෝවා දෙවිටත් ඔහුගේ සංවිධානයටත් පක්ෂපාත විය යුතුයි. අපි මුහුණ දෙන තත්වය ගැන යෙහෝවා දෙවි හොඳින් දන්න බව අපිට ස්ථිරයි.—ගීතාවලිය 86:2.

8. මොසැම්බික්හි සිටින සාක්ෂිකරුවන්ගේ පක්ෂපාතකම පරීක්ෂණයට ලක් වූ අවස්ථාවේදී ඔවුන් ක්‍රියා කළේ කොහොමද?

8 පීඩාකාරී කාලවලදී යෙහෝවා දෙවිට පක්ෂපාතව සිටීම සම්බන්ධයෙන් මොසැම්බික්හි සිටින සාක්ෂිකරුවන් කදිම ආදර්ශයක් සපයනවා. වර්ෂ 1984දී අවිගත් කැරලිකාර කණ්ඩායමක් ඔවුන්ගේ ගම්වලට කිහිපවිටක්ම ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ දේපොළ කොල්ල කා නිවෙස්ද ගිනිබත් කළා. ඒ විතරක් නොවෙයි සමහරුන්ව මරා දැමුවා. මේ සාක්ෂිකරුවන් සිටියේ ආරක්ෂාව සලසාගැනීම සඳහා කිසිවක් කළ නොහැකි තත්වයකයි. කැරලිකාර කණ්ඩායමක් විසින් ගම්වැසියන්ව බලෙන් ඔවුන්ගේ කණ්ඩායමට බඳවාගැනීමට වෑයම් කළා. එමෙන්ම තවත් ආකාරවලින්ද ඔවුන්ට සහයෝගය දෙන්න කියා බල කර සිටියා. මෙය ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට විරුද්ධ දෙයක් ලෙස සැලකූ සාක්ෂිකරුවන් ඔවුන්ට සහයෝගය දීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන්ගේ වෛරයට පාත්‍ර වුණා. මේ පීඩාකාරී කාලයේදී සාක්ෂිකරුවන් 30දෙනෙක්ව ඝාතනයට ලක් වුණා. ඒ වුණත් මරණ තර්ජන හමුවේ පවා ඔවුන් දෙවි කෙරෙහි වූ තම පක්ෂපාතකම රැකගත්තා. * දාවිත් මෙන් අසාධාරණකම් විඳදරාගත් ඔවුන්ට අවසානයේදී දෙවිගේ උපකාරය ඇතිව ජයගැනීමට හැකි වුණා.

සැමවිටම අවංක වන්න

9, 10. (අ) බයිබලයේ සඳහන් ඇතැම් පුද්ගලයන් ගැන වාර්තා අපට ප්‍රයෝජනවත් වන්නේ කොහොමද? (ආ) අනනියස් සහ සෆීරා කළ වැරැද්ද කුමක්ද?

9 බයිබලයේ සඳහන් ඇතැම් පුද්ගලයන් යම් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය අපට අනතුරු ඇඟවීමක් වෙනවා. දෙවිට සේවය කළ අය පවා වැරදි කිරීම නිසා ඔවුන්ට මුහුණ දීමට සිදු වූ දුක්දායක ප්‍රතිවිපාක ගැනත් එහි සඳහන් වෙනවා. (1 කොරින්ති 10:11) පළමුවන ශතවර්ෂයේ යෙරුසලමේ පිහිටි සභාවේ සිටි විවාහක යුවළක් වූ අනනියස් සහ සෆීරා පිළිබඳ වාර්තාව ඊට එක් උදාහරණයක්.

10 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසෙන් පසු යේසුස්ගේ ගෝලයන් සමඟ ඇසුරු කරමින් තමන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහා යෙරුසලමේ නතර වූ නවක ඇදහිලිවන්තයන්ට අවශ්‍ය කෑම බීම, ඉඳුම් හිටුම් සැපයීම අවශ්‍ය වුණා. මේ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙරුසලමේ සභාවේ සිටි ඇතැම් අය ඔවුන්ගේ දේපොළ පවා විකුණුවා. (ක්‍රියා 2:41-45) අනනියස් සහ සෆීරා ඔවුන්ට අයිතිව තිබූ ඉඩමක් විකුණා ලැබුණු මුදලින් කොටසක් පමණක් යේසුස්ගේ ගෝලයන් ළඟට ගෙනැවිත් පැවසුවේ සියලුම මුදල් තමන් පරිත්‍යාග කරන බවයි. ඇත්තෙන්ම අනනියස් සහ සෆීරාට තමන් කැමති ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න නිදහස තිබුණා. නමුත් ඔවුන්ගේ වැරදි චේතනාව නිසා ඔවුන් වංක ලෙස කටයුතු කළා. තමන් ගැන සභාව තුළ හොඳ හැඟීමක් ඇති කිරීමට ඔවුන්ට වුවමනා වූ නිසා තමන් ඇත්තටම කරන දේට වඩා වැඩි යමක් කරන බව පෙන්වීමට ඔවුන් වෑයම් කළා. පේතෘස් දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ ඔවුන්ගේ වංකකම හෙළි කළ අතර යෙහෝවා දෙවි ඔවුන්ව මරණයට පත් කළා.—ක්‍රියා 5:1-10.

11, 12. (අ) අවංක වීමේ වැදගත්කම ගැන ශුද්ධ ලියවිල්ලේ පෙන්වා දෙන්නේ කෙසේද? (ආ) අවංක වීමෙන් ලබන ප්‍රයෝජන මොනවාද?

11 අන් අය තුළ අප ගැන හොඳ හැඟීමක් ඇති කිරීමේ අරමුණින් සත්‍යය වසං කරන්න අපි ඇතැම්විට පෙලඹිය හැකියි. එවන් අවස්ථාවලදී අනනියස් සහ සෆීරාට සිදු වූ දෙය මතකයට නංවාගැනීමෙන් අපට හරි දෙය කළ හැකියි. අපිට අනිත් අයව රවටන්න හැකි වුණත් යෙහෝවා දෙවිව නම් කවදාවත් රවටන්න බැහැ. (හෙබ්‍රෙව් 4:13) එකිනෙකා සමඟ අවංකව ක්‍රියා කරන්න කියා ශුද්ධ ලියවිල්ල නිතර නිතර අපට මතක් කර දෙනවා. එසේ කරන්නේ අනාගතයේදී මේ පොළොවෙන් බොරුකාරයන්ද ඇතුළු සියලුම අධර්මිෂ්ඨයන්ව නැති කර දැමීමට නියමිත නිසයි. (හිතෝපදේශ 14:2; එළිදරව් 21:8; 22:15) සියලුම බොරුකාරයන් අනුකරණය කරන්නේ බොරුවේ පියා වන සාතන්වයි. මේ නිසා ඔවුන්ව විනාශ කර දැමීම ඇත්තෙන්ම සාධාරණයි.—යොහන් 8:44.

12 අපි අවංක නම් දෙවි ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමත් අන් අයගේ විශ්වාසය දිනාගැනීමත් ඇතුළු තවත් බොහෝ ප්‍රයෝජන අපිට ලබන්න පුළුවන්. සැබෑ ක්‍රිස්තියානීන් අවංකව කටයුතු කිරීම නිසා රැකියාවන් ලබාගැනීමටත් රැකියාවල දිගටම නියැලී සිටීමටත් හැකි වී තිබෙනවා. අවංක වීමෙන් ලැබෙන වැදගත්ම ප්‍රයෝජනය වන්නේ සර්වබලධාරී දෙවි සමඟ මිත්‍රත්වයක් පවත්වාගැනීමට හැකිවීමයි.—ගීතාවලිය 15:1, 2.

නිර්මලකම රැකගන්න

13. යෝසෙප්ට මුහුණ දීමට සිදු වුණේ මොන වගේ තත්වයකටද? ඔහු එහිදී ක්‍රියා කළේ කොහොමද?

13 යාකොබ්ගේ පුතෙකු වූ යෝසෙප්ව වයස අවුරුදු 17දී වහල්කමට විකුණනු ලැබුවා. ඊජිප්තුවේ රජමාලිගාවේ නිලධාරියෙකු වූ පොතිඵර්ගේ නිවසේ ඔහු සේවය කළා. කඩවසම් තරුණයෙක් වූ යෝසෙප් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට පොතිඵර්ගේ භාර්යාවට දැඩි ආශාවක් ඇති වුණා. “මා සමඟ සයනය කරන්න” කියා ඇය දවසින් දවස ඔහුට පෙරැත්ත කළා. සිය පවුලේ අයගෙන් ඈත් වී සිටි යෝසෙප්ව ඒ දේශයේ කිසිවෙක් දැනගෙන සිටියේ නැහැ. කිසිවෙකුට අසු නොවී, හොර රහසේ ඇය සමඟ සම්බන්ධකම් පැවැත්වීමට ඔහුට අවස්ථාව තිබුණා. කෙසේවෙතත් ඔහු ඒ හැම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප කළා. දවසක් ඇය යෝසෙප්ගේ සළුවෙන් ඇද ඔහුව වරදට පොලඹවාගන්න උත්සාහ කළ විට ඔහු එතැනින් පලා ගියා.—උත්පත්ති 37:2, 18-28; 39:1-12.

14, 15. (අ) යෝසෙප් ගැන සඳහන් වාර්තාව අප මතක තබාගත යුත්තේ ඇයි? (ආ) ක්‍රිස්තියානි තරුණියක් දෙවිගේ සිහිගැන්වීම්වලට එකඟව ක්‍රියා කිරීම ගැන සතුටු වන්නේ ඇයි?

14 ස්වාමිපුරුෂයා හා භාර්යාව හැර වෙනත් අය සමඟ ලිංගික සබඳතා පැවැත්වීම වැරදි දෙයක් බව යෙහෝවා දෙවිට නමස්කාර කළ පවුලක ඇති දැඩි වූ යෝසෙප් දැන සිටියා. මේ නිසයි ඔහු මෙසේ පැවසුවේ. “මේ මහත් දුෂ්ටකම කොට දෙවිට විරුද්ධව කෙසේ පව් කරන්නෙම්ද?” ඔහු මෙම නිගමනයට පැමිණෙන්න ඇත්තේ දෙවි ඒදන් උයනේදී විවාහය ගැන පැවසූ වදන්වලින් හෙළි වන ප්‍රතිපත්තිය ඔහු දැන සිටි නිසා විය හැකියි. (උත්පත්ති 2:24) යෝසෙප් ඔහුට මුහුණ දීමට සිදු වූ තත්වය හමුවේ ක්‍රියා කළ ආකාරය සිහියේ තබාගැනීමෙන් අද සිටින අපිටත් ප්‍රයෝජන ලබන්න පුළුවන්. ලිංගික සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් රටවල තිබෙන්නේ ලිහිල් ආකල්පයක්. මෙවැනි රටවල සිටින තරුණයෙක් හෝ තරුණියක් ලිංගික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුව හෝ ඇයව යාළුවන් සමච්චලයට ලක් කරනවා. විවාහ වූ අය අතර පවා අනියම් සම්බන්ධකම් අද බහුලව දකින්න තිබෙනවා. මේ නිසා යෝසෙප් ගැන සඳහන් වාර්තාව මේ කාලයේ සිටින අපිට හොඳ සිහිගැන්වීමක් වෙනවා. වේශ්‍යාකම හා පරදාර සේවනය සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිති අදටත් අදාළයි. (හෙබ්‍රෙව් 13:4) දුරාචාරය නමැති උගුලට වැටෙන බොහෝදෙනෙකුගේ සිත් ඔවුන්ට දොස් නඟන අතර, ඔවුන් නින්දාව, වෛරය, ගැබ්ගැනීම් හා ලිංගිකව බෝවෙන රෝග යනාදි වේදනාකාරී ප්‍රතිවිපාක අද්දකිනවා. ශුද්ධ ලියවිල්ලේ අපිට සිහිගන්වන්නාක් මෙන් වේශ්‍යාකම් කරන කෙනෙක් ‘තමාගේම ශරීරයට විරුද්ධව පව් කරනවා.’—1 කොරින්ති 5:9-12; 6:18; හිතෝපදේශ 6:23-29, 32.

15 යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන ජෙනී * නමැති අවිවාහක තරුණිය ඇය අද්දුටු සිද්ධියකින් දෙවිගේ සිහිගැන්වීම්වල වටිනාකම තේරුම්ගත්තා. ඇය රැකියාව කරන ස්ථානයේ සිටි කඩවසම් තරුණයෙක් ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට වෑයම් කළා. ජෙනී කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ විට ඔහු ඇගේ සිත දිනාගැනීමට විවිධ ක්‍රම පාවිච්චි කළා. ඇය මෙසේ පවසනවා. “මේ තරුණයා මං ගැන උනන්දුවක් දක්වනකොට එය නොසලකාහරින එක එතරම් ලෙහෙසි දෙයක් වුණේ නැහැ. දිගටම නිර්මල ලෙස හැසිරෙන්න මට ලොකු සටනක් කරන්න සිදු වුණා.” මේ තරුණයා බොහෝ තරුණියන් සමඟ සම්බන්ධකම් පවත්වා තිබුණා. ඔහුට වුවමනා වී තිබුණේ ඇය සමඟත් එවැනි සම්බන්ධයක් ඇති කරගන්න පමණයි. ඔහුගේ බලපෑම්වලට එරෙහි වීමට ඇය ගෙන තිබූ අධිෂ්ඨානය දුර්වල වන විට ඇය යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා උපකාර ඉල්ලා යාච්ඤා කළා. ඇය බයිබලය සහ ක්‍රිස්තියානි ප්‍රකාශන අධ්‍යයනය කර ඉගෙනගත් දේවල් හරි දෙය කිරීමට ඇයට සිහිගැන්වීමක් වුණා. උදාහරණයක් හැටියට යෝසෙප් සහ පොතිඵර්ගේ භාර්යාව ගැන සඳහන් වාර්තාව ඇය සලකා බැලුවා. “යෙහෝවා දෙවිට තිබෙන මගේ ඉමහත් ප්‍රේමය ගැනත් මම නිතර නිතර සිතූ නිසා දෙවිට විරුද්ධව ඒ බරපතළ පාපය කිරීමෙන් වැළකී සිටින්න මට හැකි වුණා” කියා ඇය පවසනවා.

දෙවිගේ සිහිගැන්වීම්වලට අවනත වන්න

16. බයිබලයේ සඳහන් පුද්ගලයන් ගැන අධ්‍යයනය කිරීමෙන් අපිට ප්‍රයෝජන ලබන්න පුළුවන් කොහොමද?

16 යෙහෝවා දෙවි ඇතැම් වාර්තා ශුද්ධ ලියවිල්ලට ඇතුළත් කර තිබෙන්නේ ඇයි කියා තේරුම්ගැනීමට උත්සාහ කිරීමෙන් ඔහුගේ ප්‍රමිති වඩ වඩා අගය කරන්න අපිට හැකියි. එම වාර්තාවලින් අපිට බොහෝ දේ ඉගෙනගත හැකියි. අපිට අනුකරණය කළ හැකි හොඳ ගුණාංග මොනවාද කියාත් අපි වැළකී සිටිය යුත්තේ කුමන නැඹුරුවාවන්ගෙන්ද කියාත් බයිබලයේ සඳහන් චරිතවලින් ඉගෙනගත හැකියි. පුද්ගලයන් සිය ගණනකගේ ජීවිත කතා බයිබලයේ සඳහන් වෙනවා. දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කිරීමට කැමති අය යෙහෝවා දෙවි බයිබලයේ සඳහන් කර තිබෙන වාර්තා අධ්‍යයනය කිරීමට ආශාවක් ඇති කරගැනීමෙන් ප්‍රයෝජන ලබනවා. එසේ කිරීමෙන් ඔවුන් ප්‍රඥාව අත් කරගන්නවා. මෙවැනි අයගේ ජීවිත කතාද මුරටැඹ සඟරාවල පළ වෙනවා. ඒවායින්ද අපිට ප්‍රයෝජනවත් දේවල් ඉගෙනගත හැකියි. එනිසා ඒවා කියවීමට කාලය වැය කිරීම කොතරම් වැදගත්ද!

17. යෙහෝවා දෙවි සපයන සිහිගැන්වීම් ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? ඊට හේතුව කුමක්ද?

17 යෙහෝවා දෙවි ඔහුගේ කැමැත්ත කිරීමට මහත් වෑයමක් දරන අයට දක්වන ප්‍රේමණීය සැලකිල්ල අපි කොතරම් අගය කළ යුතුද! බයිබලයේ සඳහන් පුරුෂයන් හා ස්ත්‍රීන්ද අපි මෙන් වැරදි නොකරන සම්පූර්ණ අය නොවෙයි. එහෙත් ඔවුන් ගැන බයිබලයේ ලියා තිබෙන වාර්තාවලින් වටිනා පාඩම් ඉගෙනගන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවි සපයන සිහිගැන්වීම්වලට අපි අවනත වෙනවා නම් බරපතළ පාපවලින් වැළකී සිටින්නත් දෙවිගේ ධර්මිෂ්ඨ මාර්ගවල ගමන් කළ අයගේ යහපත් ආදර්ශ අනුකරණය කරන්නත් අපිට හැකියි. අපි එසේ කරනවා නම් ගීතිකාකරු මෙන් අපිටත් මෙසේ පැවසිය හැකියි. “[යෙහෝවා දෙවිගේ] සිහිගැන්වීම් පිළිපදින අය සන්තෝෂවත්ය. ඔවුහු මුළු සිතින්ම ඔහුව සොයති. ඔබේ සිහිගැන්වීම්වලට මම කීකරු වෙමි. ඒවාට අතිශයින් ප්‍රිය කරමි.”—ගීතාවලිය 119:2, 167, NW.

[පාදසටහන්වල]

^ 8 ඡේ. වර්ෂ 1996 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ 160-162 දක්වා පිටු බලන්න.

^ 15 ඡේ. නම වෙනස් කර ඇත.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• දාවිත් සාවුල්ට සැලකූ ආකාරයෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• අනනියස් සහ සෆීරා ගැන සඳහන් වාර්තාවෙන් අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

• යෝසෙප් ගැන සඳහන් වාර්තාව අපි මතක තබාගත යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

සාවුල්ව මරණයට පත් කිරීම දාවිත් ප්‍රතික්ෂේප කළේ ඇයි?

[27වන පිටුවේ පින්තූරය]

අනනියස් සහ සෆීරා ගැන සඳහන් වාර්තාවෙන් අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

[28වන පිටුවේ පින්තූරය]

යෝසෙප් දුරචාරයෙන් වැළකී සිටියේ ඇයි?