Skip to content

පටුනට යන්න

ඔබ දාවිත් වගේද? මීඛල් වගේද?

ඔබ දාවිත් වගේද? මීඛල් වගේද?

ඔබ දාවිත් වගේද? මීඛල් වගේද?

දාවිත් ඔහුගේ ජීවිතයේ එක් අවස්ථාවකදී ක්‍රියා කළ ආකාරයකින් යටහත් පහත්කම හා උඩඟුකම අතර තිබෙන වෙනස මනාව පැහැදිලි වෙනවා. මෙය සිදු වුණේ ඔහු යෙරුසලම අත් පත් කරගෙන එය ප්‍රධාන නගරය ලෙස පත් කිරීමෙන් පසුවයි. දාවිත් ඊශ්‍රායෙලයේ රජ ලෙස සැලකුවේ යෙහෝවා දෙවිවයි. මේ නිසා ඔහු දෙවි ඊශ්‍රායෙල් ජනයා සමඟ සිටින බව අඟවන ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන ඒමට කටයුතු සූදානම් කළා. දාවිත්ට මෙය ඉතා වැදගත් අවස්ථාවක් වූ අතර ඔහු බොහෝ සේ ප්‍රීති වුණා. රජ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආ පූජකයන් පිටුපසින් ‘පනිමින්’ හා ‘මුළු ශක්තියෙන් නටමින්’ පැමිණෙනවා යෙරුසලමේ සිටි සියලු වැසියන් දුටුවා.—1 ලේකම් 15:15, 16, 29; 2 සාමුවෙල් 6:11-16.

කෙසේවෙතත් දාවිත්ගේ භාර්යාව වන මීඛල් මේ ප්‍රීතිමත් අවස්ථාවට සහභාගි වුණේ නැහැ. ඇය සිදු වන දේ ජනේලයකින් බලා සිටියා. තම ස්වාමිපුරුෂයා යෙහෝවාට ප්‍රශංසා කරන ආකාරය බලා සතුටු වෙනවා වෙනුවට “ඇය තමන් සිතින් ඔහු හෙළා දැක්කා.” (2 සාමුවෙල් 6:16) මීඛල්ට මෙලෙස හැඟුණේ ඇයි? ඇය තමා ගැන වුවමනාවට වඩා සිතූ නිසයි. ඇය ඊශ්‍රායෙලයේ පළමුවෙනි රජ වන සාවුල්ගේ දියණිය වීම ගැනත් එහි දෙවෙනි රජ වන දාවිත්ගේ භාර්යාව වීම ගැනත් ඇය තුළ මහත් ආඩම්බරයක් තිබුණාට සැකයක් නැහැ. ඇගේ ස්වාමිපුරුෂයා රජ කෙනෙක් හැටියට සාමාන්‍ය ජනයාගේ තත්වයට බැස ඔවුන් සමඟ සතුටු වීම නුසුදුසු ක්‍රියාවක් ලෙසයි ඇය සැලකුවේ. දාවිත් මාලිගාවට පැමිණි විට ඇය ඔහුට කතා කළ ආකාරයෙන් ඇගේ සිතේ තිබූ උඩඟු ලීලාව මනාව පැහැදිලි වෙනවා. ඇය උපහාසාත්මක ලෙස මෙසේ පැවසුවා. “කමකට නැති කෙනෙකු ලජ්ජා නැති ලෙස ඇඳුම් පහ කරගත්තාක් මෙන් ස්වකීය මෙහෙකරුවන්ගේ වැඩකාරියන් ඉදිරියෙහි තමන් ඇඳුම් පහ කරගත් ඊශ්‍රායෙල් රජ අද කොපමණ මහිමයෙන් යුක්තව සිටියේද!”—2 සාමුවෙල් 6:20.

දාවිත් මෙම චෝදනාවට පිළිතුරු දුන්නේ කෙසේද? යෙහෝවා දෙවි ඇගේ පියා වන සාවුල්ව එපා කර තමන්ව පිළිගෙන තිබෙන බව පවසමින් දාවිත් ඇයව නිවැරදි කළා. දාවිත් ඇයට මෙසේ පැවසුවා. “ඊටත් වඩා නීචව [පහත්ව] මාගේම ඇස් ඉදිරිපිට නීචව [පහත්ව] සිටින්නෙමි; එහෙත් ඔබ කී වැඩකාරියන්ගෙන් ගෞරව ලබන්නෙමි.”—2 සාමුවෙල් 6:21, 22.

දාවිත් යෙහෝවා දෙවිට දිගටම යටහත් පහත් ලෙස සේවය කිරීමට තීරණය කර තිබුණා. දාවිත් “මාගේ සිතට එකඟ මිනිසෙකු බව” යෙහෝවා දෙවි පැවසීමට හේතුව දාවිත් තුළ තිබූ යටහත් පහත් ආකල්පය බව මෙයින් පැහැදිලි වෙනවා. (ක්‍රියා 13:22; 1 සාමුවෙල් 13:14) යටහත් පහත්කම පිළිබඳ යෙහෝවා දෙවි විදහා පෙන්වන කදිම ආදර්ශය දාවිත්ද අනුකරණය කරමින් සිටියා. දාවිත් ‘මම පහත් වෙනවා’ කියා මීඛල්ට පැවසීමේදී යොදාගත් හෙබ්‍රෙව් ක්‍රියා පදයම දෙවි මනුෂ්‍යයන් දෙස බලන ආකාරය ගැන විස්තර කිරීමේදීත් යොදාගෙන තිබෙනවා. මුළු විශ්වයේම මහෝත්තමයාණන් යෙහෝවා දෙවි වුවද ඔහු ගැන ගීතාවලිය 113:6 සහ 8හි මෙසේ සඳහන් වෙනවා. “තමන්ම යටත් වන්නාවූ [තමන්ට වඩා පහත් තත්වයක සිටින කෙනෙකු සමඟ කටයුතු කිරීම සඳහා තමන්ගේ උසස් තත්වයෙන් පහත් වෙන්නාවූ] අපේ දෙවි වූ යෙහෝවාට සමාන කවුද? ඔහු දුප්පතා ධූලියෙන් නැඟිටුවන්නේය; දිලින්දා කසළ ගොඩින් ඔසවන්නේය.”

යෙහෝවා දෙවි යටහත් පහත් දෙවි කෙනෙක් නිසා ඔහු “උඩඟු ඇස්” ද්වේෂ කරන බව පැවසීම පුදුමයක් නෙවෙයි. (හිතෝපදේශ 6:16, 17) මෙම දුෂ්ට ගුණාංගය විදහා පෙන්වීම නිසාත් දෙවි විසින් පත් කරන ලද රජට අගෞරවය කිරීම නිසාත් මීඛල්ට දාවිත් වෙනුවෙන් පුතෙක් බිහි කිරීමේ වරප්‍රසාදය අහිමි වුණා. ඇය දරුවන් නොලබා මිය ගියා. අපට මොන තරම් කදිම පාඩමක් මින් උගන්වනවාද! දෙවිගේ අනුමැතිය ලැබීමට කැමති සියලුදෙනාම මෙම උපදෙස පිළිපැදිය යුතුයි. “සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී යටහත් පහත් මනසකින් සැරසී සිටින්න. මන්ද, දෙවි උඩඟු අයට විරුද්ධව සිටින්නේය. නමුත් ඔහු යටහත් අයට මහත් කරුණාව දෙන්නේය.”—1 පේතෘස් 5:5.