Skip to content

පටුනට යන්න

ඔබ සිටින්නේ සතුටින්ද?

ඔබ සිටින්නේ සතුටින්ද?

ඔබ සිටින්නේ සතුටින්ද?

‘මම ඇත්තටම සිටින්නේ සතුටින්ද?’ කවදා හෝ දවසක ඔබ මේ ප්‍රශ්නය ගැන කල්පනා කර තිබෙනවාද? ඔබ මෙන්ම අනිත් අයද මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද කියා දැනගැනීමට සමාජ විද්‍යාඥයන් මහත් වෑයමක් දරනවා. එහෙත් මිනිසුන් ඇත්තටම සතුටින් සිටිනවාද නැද්ද කියා සොයා බැලීම එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. මීට හේතුව දුක, ආදරය වැනි හැඟීම්වල ප්‍රමාණය මෙතෙක් කියා නිශ්චිතවම පැවසිය නොහැකි වීමයි. උදාහරණයක් හැටියට ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට තිබෙන ආදරය හෝ පවුලේ කෙනෙක් මිය ගිය විට දැනෙන දුක කොතෙක්ද කියා හරියටම සඳහන් කළ නොහැකියි. කෙසේවෙතත් සමාජ විද්‍යාඥයන් සොයාගෙන තිබෙන එක් මූලික සත්‍යයක් නම් සෑම කෙනෙකුටම සතුටින් සිටීමේ හැකියාව තිබෙන බවයි.

මිනිසුන්ට සතුටින් සිටීමට සහජ හැකියාවක් තිබුණද ඔවුන් අද්දකින ප්‍රශ්න ගැටලු නිසා මුළු මිනිස් වර්ගයාටම අද සතුට අහිමි වී තිබෙනවා. මේ ගැන සිතා බලන්න. සමහර රටවල ඒඩ්ස් රෝගය නිසා මිය යන සංඛ්‍යාව කොතරම්ද කියනවා නම් ඔවුන්ව භූමදානය කිරීමට සුසාන භූමිවල ඉඩත් නැහැ. මේ නිසා දැන් මිය යන අයව භූමදාන කිරීම සඳහා පරණ මිනිවලවල් යොදාගැනීමට බලධාරීන් අවසර දී තිබෙනවා. අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල මිනි පෙට්ටි අලෙවි කිරීම ලාභදායී ව්‍යාපරයක් බවට පත් වී තිබෙනවා. දරුණු ලෙඩ රෝගවලින් දුක් විඳින අය හා පවුලේ කිට්ටු සාමාජිකයන්ගේ හෝ හිතමිතුරන්ගේ මරණය නිසා වියෝ දුකෙන් පෙළෙන අය ගැන ඔබ දන්නවා ඇති.

ධනවත් රටවල පවතින තත්වය ගැන කුමක් කිව හැකිද? යම් හදිසි සිදුවීම් නිසා රටේ ආර්ථික තත්වය ක්ෂණයකින් වෙනස් වීමට ඉඩ තිබෙනවා. මෙවන් අනපේක්ෂිත තත්වයන්ට මුහුණ දීම ඉතා අසීරුයි. අමෙරිකා එක්සත් ජනපදයේ විශ්‍රාමිකයන් බොහෝදෙනෙකුගේ විශ්‍රාම වැටුප් කපාහැරීම නිසා ඔවුන්ට නැවතත් රැකියා කිරීමට සිදු වී තිබෙනවා. පවුලේ ආදායම බොහෝ අවස්ථාවලදී බෙහෙත් හේත් මිල දී ගැනීමට පවා ප්‍රමාණවත් නැහැ. එක් උපදේශකයෙක් මේ අය ගැන මෙසේ සඳහන් කළා. “මේ අයට ලොකු ආර්ථික ප්‍රශ්න හා සෞඛ්‍ය ගැටලු තියෙනවා. මේ අයගේ තත්වය හරිම කනගාටුදායකයි.” බොහෝ අවස්ථාවලදී ඔවුන්ට මෙසේ පැවසීමට සිදු වෙනවා. ‘මුදල් සොයාගන්න නම් ඔබේ නිවස විකුණන්න ඔබට සිදු වෙනවා.’ දුකෙන් සිටින්නේ ආර්ථික ප්‍රශ්න තියෙන අය පමණක්ද? ධනවත් අය අනිවාර්යයෙන්ම සතුටින් සිටිනවා කියා කිව හැකිද?

අද සමහර පුද්ගලයන් ජනප්‍රිය සංගීතඥයෙකු වූ රිචඩ් රොජර්ස් මුහුණ දුන් තත්වය හා සමාන තත්වයකට මුහුණ දෙනවා. “බොහෝදෙනෙකුව සතුටු කිරීමට හැකි වී තිබෙන්නේ ස්වල්පදෙනෙකුට පමණයි.” රොජර්ස් ඔවුන් අතරින් කෙනෙක් කියා පවසා තිබෙනවා. අනිත් අයව සතුටු කිරීමට ඔහු ගායනා කළ ගීතවලට හැකි වුණත් ඔහු දිගු කාලයක් පුරා තදබල මානසික පීඩනයකින් පසු වුණා. බොහෝදෙනෙක් අත් කරගැනීමට සිහින මවන ඉලක්ක දෙකක් වන ධනය හා කීර්තිය අත් කරගැනීමට ඔහුට හැකි වුණා. එහෙත් ඔහුට ඒවායින් සතුටක් ලැබුණාද? ඔහු ගැන පොතක් ලියූ කෙනෙක් මෙසේ සඳහන් කළා. “රොජර්ස් ඔහුගේ ක්ෂේත්‍රයේ හිණිපෙත්තටම ගිය කෙනෙක්. ඔහුට හැම සැප සම්පතක්ම තිබුණා. ඔහු ඉහළ පෙළේ සම්මාන දෙකක්ද ලැබුවා. එහෙත් ඔහුගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ඔහු සිටියේ දුකෙන්.”

සතුට සඳහා ධනය පසුපස හඹා යන අය ඇත්තෙන්ම මිරිඟුවක් පසුපස හඹා යනවා කියා කිව හැකියි. කැනඩාවේ පළ කරනු ලබන සඟරාවක (The Globe and Mail) වාර්තාකරුවෙක් විස්තර කළ ආකාරයට ධනවත් අය බොහෝදෙනෙක් “තනිකම හා හිස්බවක්” අද්දකිනවා. මූල්‍ය උපදේශකයෙක් පැවසූ පරිදි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට හිතේ හැටියට වියදම් කරන්න මුදල් දෙන විට සිදු වන්නේ “පසු කාලයේදී දුක අද්දකින්නයි.”

සැබෑ සතුටට නිවැරදි මඟ

මල් පැලයක් සශ්‍රීකව වැවෙන්න නම් සාරවත් පසක්, ජලය හා යෝග්‍ය දේශගුණයක් තිබිය යුතුයි. ඒ හා සමානව, සතුටින් සිටින්න නම් ඇතැම් දේවල් අවශ්‍ය බව ඇතැම් විද්වතුන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන ආකාරයට ඒ දේවලට අයත් වන්නේ නිරෝගීකම, අර්ථවත් දෙයක නිරත වීම, ප්‍රමාණවත් ආහාර පාන, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, තම ආශාවන් ඉටු කරගැනීම සහ අවංක මිතුරන් සිටීම යනාදියයි.

සතුටින් සිටීම සඳහා ඉහත සඳහන් කළ දේවල් අවශ්‍ය බව ඔබත් පිළිගන්නවා ඇති. එහෙත් සතුටින් සිටීම සඳහා ඒ සෑම දෙයකටම වඩා වැදගත් දෙයක් තිබෙනවා. එය නම් යෙහෝවා කියා බයිබලයේ හඳුන්වා තිබෙන “සන්තෝෂවත් දෙවි” ගැන දැනුමයි. (1 තිමෝති 1:11) සතුට ලබාගැනීම සඳහා එම දැනුම උපකාරවත් වන්නේ කෙසේද? සතුටින් සිටීමේ හැකියාව අපට දී තිබෙන්නේ ජීවිතයේ උල්පත වන ඔහුයි. මේ නිසා සැබෑ සතුට අපිට ලබාගත හැක්කේ කුමකින්ද කියා හොඳින්ම දන්නේ ඔහු මිස වෙන කිසිවෙක් නොවෙයි. ඕනෑම කෙනෙකුට සැබෑ සතුට භුක්ති විඳිය හැකි නිවැරදි මාර්ගය ඔහු පෙන්වා දී තිබෙන ආකාරය ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

[4වන පිටුවේ පින්තූරය]

මල් පැලයක් සශ්‍රීකව වැවෙන්න යම් දේවල් අවශ්‍ය වන්නාක් මෙන් සතුටින් සිටින්නත් යම් දේවල් අවශ්‍යයි

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Gideon Mendel/​CORBIS