Skip to content

පටුනට යන්න

‘මේ මිදි වැල බලාගන්න’

‘මේ මිදි වැල බලාගන්න’

‘මේ මිදි වැල බලාගන්න’

ඔත්තුකාරයන් දොළොස්දෙනෙක් පොරොන්දු දේශයේ විවිධ තැන්වලට ගොස් එය සෝදිසි කර බැලුවා. ඒ දේශයේ ජීවත් වෙන්නේ මොන වගේ මිනිසුන්ද කියා බලාගෙන එන විට එහි ගස්වලින් කඩාගත් පලතුරු ටිකක්ද ගෙන එන්න කියා මෝසෙස් ඔවුන්ට පැවසුවා. ඒ ඔත්තුකරුවන්ගේ නෙත් වැඩියෙන්ම ඇදී ගියේ මොන පලතුරු වර්ගයටද? හෙබ්‍රොන් ප්‍රදේශයට ආසන්නව තිබූ මිදි වත්තක් ඔවුන් දැක්කා. එහි තිබූ මිදි මොන තරම් ලොකුද කියනවා නම් එක මිදි පොකුරක් රැගෙන එන්න ඔත්තුකාරයන් දෙදෙනෙක් අවශ්‍ය වුණා. ඒ ප්‍රදේශයේ පලදාව මොන තරම් සිත්ගන්නාසුලුද කියනවා නම් එම සාරවත් ප්‍රදේශය ඔත්තුකාරයන් හැඳින්වූයේ “එෂ්කොල් මිටියාවත” කියායි. එහි අර්ථය “මිදි පොකුර” යන්නයි.—ගණන් කතාව 13:21-24.

දහනවවන සියවසේදී පලස්තීනයේ සංචාරය කළ පුද්ගලයෙක් මෙසේ වාර්තා කළා. ‘එෂ්කොල් මිටියාවත අදත් මිදි වතුවලින් පිරී තිබෙනවා. පලස්තීනයේ වැවෙන හොඳම හා ලොකුම මිදි තිබෙන්නේ මේ මිටියාවතෙයි.’ බයිබලයේ සඳහන් සිද්ධීන් සිදු වූ කාලයේදී එෂ්කොල් ප්‍රදේශය පමණක් නොව මුළු පලස්තීනයම මිදි වතුවලින් පිරී තිබුණා. ඊජිප්තුවේ පැරණි වාර්තා සොයා බැලීමේදී පෙනී යන්නේ එහි රජවරුන් ඒ දේශයෙන් වයින් ගෙන්වාගෙන තිබෙන බවයි.

මිදි වගාව සඳහා සාරවත් පසක් හා හොඳ දේශගුණයක් පලස්තීනයේ තිබෙනවා. මේ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. ‘එහි පිහිටි උස් ප්‍රදේශවල තිබෙන බොරළු මිශ්‍ර පස, ග්‍රීෂ්ම කාලයේ ලැබෙන සූර්යාලෝකය, ශීත ඍතුවේ ඇද හැළෙන වැස්ස යන මේ සියල්ල මිදි වගාව සඳහා යෝග්‍ය පරිසරයක් සකසා දෙනවා.’ (The Natural History of the Bible) පලස්තීනයේ ඇතැම් ප්‍රදේශවල දහසක් මිදි වැල් තිබූ බව යෙසායා සඳහන් කළා.—යෙසායා 7:23.

මිදි වතුවලින් පිරි දේශයක්

ඊශ්‍රායෙල්වරුන් “මිදි වැල්ද අත්තික්කා ගස්ද දෙළුම්ද” ඇති දේශයක පදිංචි වන බව මෝසෙස් ඔවුන්ට පැවසුවා. (ද්විතීය කතාව 8:8) “පුරාණ කාලයේ පලස්තීනයේ මොන තරම් මිදි වගා කර තිබුණාද කියනවා නම් එහි කැණීම් කරන සෑම ප්‍රදේශයකින්ම පාහේ මිදි ඇට බහුලව සොයාගෙන තිබෙනවා” කියා එක් පොතක සඳහන් වෙනවා. (Baker Encyclopedia of Bible Plants) ක්‍රිස්තු පූර්ව 607දී නෙබුකද්නෙශර්ගේ හමුදාව ඇවිත් යූදා දේශය විනාශ කර දමද්දී එහි සිටි වැසියන් “බොහෝ මිදි යුසද ග්‍රීෂ්ම කාලයේ පලද රැස් [කරගනිමින්]” සිටියා. මෙයින් පෙනී යන්නේ පුරාණ කාලයේදී පලස්තීනයේ මිදි වතුවලින් බහුල අස්වැන්නක් ලැබූ බවයි.—යෙරෙමියා 40:12; 52:16.

පුරාණ ඊශ්‍රායෙලයේ සිටි ගොවීන්ට වැඩියෙන් වයින් නිෂ්පාදනය කිරීමට හැකි වුණේ ඔවුන් තමන්ගේ මිදි වත්ත හොඳින් රැකබලා ගත්තා නම් පමණයි. ඊශ්‍රායෙලයේ සිටි මිදි වවන්නෙක් පැළ සිටුවන්න කලින් කරන දේවල් ගැන විස්තරයක් යෙසායාගේ පොතේ සඳහන් වෙනවා. ඔහු තමාගේ “උතුම් මිදි වැල” හෙවත් හොඳම පල දරන මිදි පැළ සිටුවීමට කලින් කරන්නේ උස් භූමි භාගයක් තෝරාගෙන, එය කොටා එහි තිබෙන විශාල ගල් ඉවත් කර පස සකස් කිරීමයි. ඉන්පසු ඔහු භූමිය සකස් කිරීමේදී ඉවත් කළ විශාල ගල් යොදාගනිමින් මදක් උස තාප්පයක් ගොඩනඟනවා. ඔහු මෙය කරන්නේ හරක්, සිවලුන්, වල් ඌරන් හා සොරන්ගෙන් ඔහුගේ මිදි වත්ත ආරක්ෂා කරගැනීම සඳහායි. මිදි යුෂ පෙරන යන්ත්‍රයක්ද ඔහු මිදි වත්තේ සූදානම් කර තබයි. එමෙන්ම මිදි පල නෙළන කාලයේදී මිදි ගස්වලට අමතර ආරක්ෂාවක් අවශ්‍ය කරන නිසා ඔහුට එහි නතර වීම සඳහා සිසිල ගෙන දෙන කුඩා අට්ටාලයක්ද සාදයි. මේ මූලික වැඩකටයුතු ටික කිරීමෙන් පසු ඔහුට හොඳ අස්වැන්නක් බලාපොරොත්තු විය හැකියි.—යෙසායා 5:1, 2. *

මිදි වවන ගොවියෙක් හොඳ අස්වැන්නක් ලබාගැනීම සඳහා නිතර මිදි ගස් කප්පාදු කරන අතර පස බුරුල් කරමින් වල් පැළ, කටුගස් හා ගොකටු උදුරා දමයි. වසන්ත සමයේදී අවශ්‍ය තරම් තෙතමනයක් මිදි වත්තට ලැබුණේ නැත්නම් ගොවියා ග්‍රීෂ්ම ඍතුවේදී මිදි ගස්වලට වතුර දමයි.—යෙසායා 5:6; 18:5; 27:2-4.

මිදි පල නෙළන්න පටන්ගන්නේ ග්‍රීෂ්ම ඍතුවේ අවසාන භාගයේදීයි. මෙය ඉතාමත් ප්‍රීතිමත් කාලයක්. (යෙසායා 16:10) ගීතාවලියේ අඩංගු ගීතිකා තුනක “ගිත්තීත්” යන යෙදුම එහි ශීර්ෂ පාඨවල දැකිය හැකියි. (ගීතාවලිය 8, 81 සහ 84, පැරණි අනුවාදය) නිශ්චිත ලෙස හඳුනාගත නොහැකි, සංගීතය හා සම්බන්ධ එම යෙදුම සෙප්ටූඅජින්ට් අනුවාදයේ පරිවර්තනය කර තිබෙන්නේ “වයින් සාදන යන්ත්‍ර” ලෙසයි. මින් ඇඟවෙන්නේ ඊශ්‍රායෙල්වරුන් එම ගීතිකා මිදි පල නෙළන කාලයේදී ගායනා කරන්න ඇති බවයි. ඊශ්‍රායෙල්වරුන් මිදි පල බහුලව යොදාගත්තේ වයින් සෑදීමටයි. එහෙත් ඔවුන් අලුත් මිදි කෑමටත් ගත්තා. එමෙන්ම මිදි වියළාගෙන කැවිලි සාදන විට ඒවාට දැම්මා.—2 සාමුවෙල් 6:19; 1 ලේකම් 16:3.

ඊශ්‍රායෙලයේ මිදි වැල

බයිබලයේ අවස්ථා කිහිපයකදීම දෙවිගේ සෙනඟව මිදි වැලකට සමාන කර දක්වනවා. මෙම සමාන කිරීම යෝග්‍ය බව ඊශ්‍රායෙල්වරුන් මිදි වැලකට දැක්වූ සැලකිල්ලෙන් පෙනී යනවා. ගීතාවලිය 80වන පරිච්ඡේදයේ ආසාප් ඊශ්‍රායෙල් ජාතියව කානාන් දේශයේ යෙහෝවා දෙවි සිටෙවූ මිදි වැලකට සමාන කළා. ඊශ්‍රායෙල් ජාතිය නමැති මිදි වැල හොඳින් වැඩීමට හැකි වන ලෙස යෙහෝවා දෙවි ඒ දේශය පවිත්‍ර කළා. එහෙත් කාලයක් ගිය පසු ආරක්ෂාවට තිබූ පවුරු බිඳ වැටුණා. ඔවුන් තවදුරටත් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබුවේ නැහැ. මේ නිසා ඔහුගේ ආරක්ෂාව ඔවුන්ට අහිමි වුණා. වල් ඌරෙක් මිදි වත්තකට පැන එය පාළු කර දමන්නාක් මෙන් සතුරු ජාතීන් පැමිණ ඊශ්‍රායෙල්වරුන්ගේ වතු පිටි දේපොළ විනාශ කර දැමුවා. ආසාප් ඊශ්‍රායෙල් ජාතියව කලින් සිටි තත්වයට පත් කරන්න කියා යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් මෙසේ කන්නලව් කළා. ‘මේ මිදි වැල බලාගන්න.’—ගීතාවලිය 80:8-15.

කාලයක් යන විට “වල් මිදි” පල හටගත් මිදි වත්තකට “ඊශ්‍රායෙල් වංශය” යෙසායා සමාන කළා. (යෙසායා 5:2, 7) වගා කරනු ලබන නියම මිදිවලට වඩා වල් මිදි ප්‍රමාණයෙන් කුඩා වන අතර එහි මසද අඩුයි. එමෙන්ම වල් මිදි ගෙඩියක් ඇටවලින් පිරී තිබෙනවා. වල් මිදිවලින් වයින් සාදන්න බැහැ. ඒවා කන්නත් බැහැ. ඒවායින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. දෙවිට අකීකරු වූ ඊශ්‍රායෙල් ජාතිය වල් මිදි වැලකට සමාන කිරීම කොතරම් උචිතද! දෙවිගේ නීතිවලට එකඟව ජීවත් වෙමින් ධර්මිෂ්ඨකම නමැති පල ඔවුන් නිපදවූයේ නැහැ. මෙයට වග කිව යුතු වුණේ ඊශ්‍රායෙල් ජාතිය නමැති මිදි වැල සිටෙවූ යෙහෝවා දෙවි නොවෙයි. ධර්මිෂ්ඨකම නමැති පල දැරිය හැකි තත්වයකට ඔවුන්ව ගෙන ඒම සඳහා යෙහෝවා හැකි සෑම දෙයක්ම කළා. “මාගේ මිදි වත්තට මා නොකළ වෙන කුමක් කරන්ට පුළුවන්ද?” කියා ඔහු ඇසුවා.—යෙසායා 5:4.

මිදි වත්තකට සමාන කළ ඊශ්‍රායෙල් ජාතිය පල නොදැරූ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට ලබා දී තිබූ ආරක්ෂාව තවදුරටත් ලබා නොදෙන බවට අනතුරු ඇඟෙව්වා. මිදි වැලක අතු කපා දමා එහි අවට තිබෙන පස කොටා එය සාරවත් කරන්නාක් මෙන් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට තවදුරටත් සෞභාග්‍යමත් තත්වයක් ලබා දුන්නේ නැහැ. හොඳ මිදි අස්වැන්නක් ලබාගැනීමට අවශ්‍ය වූ වසන්ත සමයේ වර්ෂාව ලැබුණේ නැහැ. කටු ගස් හා වල් ගස් මිදි වැල් වසාගත්තා.—යෙසායා 5:5, 6.

ඊශ්‍රායෙල්වරුන් දෙවිට අකීකරු වූ නිසා ඔවුන්ගේ මිදි වතුවල මිදි වැල් මැලවී යන බව මෝසෙස් මෙසේ කලින්ම පැවසුවා. “ඔබ මිදි වතු වවා සශ්‍රීක කරන නුමුත් පණුවන් ඒවා කන බැවින් මිදි යුසින් නොබොන්නෙහිය; එහි පලයද රැස් නොකරන්නෙහිය.” (ද්විතීය කතාව 28:39) පණුවෙක් මිදි වැලක කඳට ඇතුල් වී එහි ඇතුළත කා දැමුවොත් දවස් කිහිපයකින් එය මැලවී යයි.—යෙසායා 24:7.

“සැබෑ මිදි වැල”

අපි සලකා බැලූ පරිදි යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතිය මිදි වැලකට සමාන කළා. ඒ හා සමානව යේසුස්ද මිදි වැල යම් සමාන කිරීමක් සඳහා යොදාගත්තා. මේ ගැන ඔහු සිය ගෝලයන් සමඟ පැවැත්වූ අන්තිම රාත්‍රි භෝජනයේදී මෙසේ පැවසුවා. “සැබෑ මිදි වැල මමය. වැවිලිකරු මාගේ පියාණන්ය.” (යොහන් 15:1) යේසුස් ඔහුගේ ගෝලයන්ව මිදි වැලක තිබෙන අතුවලට සමාන කළා. සාමාන්‍යයෙන් මිදි වැලක තිබෙන අතු ඒවායේ ශක්තිය සඳහා අවශ්‍ය පෝෂණය ලබාගන්නේ මිදි වැලේ කඳ කොටසින්. ඒ හා සමානව මිදි අතු එහි කඳට බැඳී තිබෙන්නාක් මෙන් යේසුස්ගේ ගෝලයන්ද ඔහු සමඟ එක්සත්ව බැඳී සිටිය යුතුයි. “මාගෙන් වෙන්ව ඔබට කිසිවක් කළ නොහැක” කියා යේසුස් පැවසුවා. (යොහන් 15:5) මිදි වවන්නෙක් මිදි පැළ සිටුවන්නේ හොඳ පලදාවක් බලාපොරොත්තුවෙන්. ඒ වගේ යෙහෝවා දෙවිත් ඔහුගේ සෙනඟ ධර්ෂ්ඨකම නමැති පල නිපදවයි කියා බලාපොරොත්තු වෙනවා. තම සෙනඟ පල නිපදවනවා දකින විට යෙහෝවා මහත් තෘප්තියක් ලබනවා. එමෙන්ම එමගින් ඔහුට ගෞරවයක්ද අත් වෙනවා.—යොහන් 15:8.

මිදි වත්තකින් හොඳ පලදාවක් ලබාගන්න නම් වැල අවට ශුද්ධ පවිත්‍ර කළ යුතු අතර කලින් කලට මිදි වැල් කප්පාදු කළ යුතුයි. යේසුස්ද ඒ ගැන සඳහන් කළා. මිදි වවන්නෙක් හොඳ පලදාවක් ලබාගැනීම සඳහා අවුරුද්දකට දෙවතාවක් මිදි වැල් කප්පාදු කරනවා. ශීත ඍතුවේදී මිදි වැල්වල අතු බොහොමයක් කපා දමනවා. ඔහු එසේ කපා ඉවත් කරන්නේ කලින් අවුරුද්දේ වැඩුණු අතුයි. සාමාන්‍යයෙන් ඔහු රිකිල්ලක් දෙකක් තිබෙන ලොකු අතු තුන හතරක් ඉතිරි කරනවා. ඊළඟ ග්‍රීෂ්ම ඍතුවේදී පල දරන අතු ලෙස වැඩෙන්නේ එම කුඩා රිකිලියි. අවසානයේදී ඔහු කරන්නේ මිදි වැල්වලින් කපා ඉවත් කළ අතු පුලුස්සා දැමීමයි.

මිදි වැලක අතු කපා ඉවත් කිරීම ගැන යේසුස් මෙසේ සඳහන් කළා. “යමෙකු මා සමඟ එක්සත්ව සිටින්නේ නැත්නම්, ඔහු අත්තක් මෙන් ඉවත දමනු ලැබ වියළී යයි. මිනිසුන් ඒ අතු එකතු කර ගින්නට හෙළූ විට, ඒවා දැවී යන්නේය.” (යොහන් 15:6) ශීත ඍතුවේදී මිදි වැලක අතු කප්පාදු කිරීමෙන් පසු පෙනෙන්නේ එහි අතු නැහැ වගෙයි. එහෙත් තෝරාගත් අතු සමහරක් නැවතත් වසන්ත සමයේදීත් කප්පාදු කරයි.

“මා තුළ ඇති, පල නොදරන සෑම අත්තක්ම ඔහු ඉවත් කරන්නේය” කියා යේසුස් පැවසුවා. (යොහන් 15:2) යේසුස් මෙහිදී සඳහන් කළ මිදි අතු ඉවත් කිරීමෙන් අදහස් කරන්නේ කුඩා මිදි පොකුරු හටගැනීමෙන් පසුව කරන කප්පාදු කිරීමකටයි. පල දරන හා පල නොදරන අතු මොනවාද කියා බැලීමට මිදි වවන්නෙක් සෑම අලුත් අත්තක්ම හොඳින් පරීක්ෂා කර බලනවා. පල නොදරන අතු තිබෙන්න ඉඩහැරියොත් කඳේ තිබෙන පෝෂ්‍ය පදාර්ථ හා ජලය ඒ අතු දිගටම උරාගන්නවා. පල දරන අතුවලට පමණක් මිදි වැලේ පෝෂ්‍ය පදාර්ථ උරාගැනීමට හැකි වන විදිහට පල නොදරන අතු කපා ඉවත් කරනවා.

මිදි වැලක් පවිත්‍ර කිරීම ගැන යේසුස් මෙසේ සඳහන් කළා. “පල දරන සෑම අත්තක්ම, වැඩියෙන් පල දරන පිණිස ඔහු [එම අතු] පවිත්‍ර කරන්නේය.” (යොහන් 15:2) පල නොදරන අතු කපා ඉවත් කර දැමීමෙන් පසු මිදි වවන්නා පල දරන සෑම අත්තක්ම එකින් එක හොඳින් පරීක්ෂා කර බලනවා. පල දරා තිබෙන අත්තක මුල හරියේ තිබෙන කුඩා රිකිලිද ඔහු නිතර කපා ඉවත් කර දමනවා. මෙම රිකිලි වැඩෙන්න ඉඩහැරියොත් මිදි පලවලට ලැබිය යුතු සාරය ඒවා උරාගන්නවා. මිදි වැලේ තිබෙන සමහර ලොකු කොළද ඉවත් කර දමන්නේ වැඩෙන මිදි පලවලට ඇති තරම් හිරුඑළිය ලැබීම සඳහායි. මිදි වවන්නා මේ සෑම දෙයක්ම කරන්නේ පල දරන අතුවලට උපරිම පලදාවක් නිපදවීමට හැකියාව ලබා දීමටයි.

‘බොහෝ පල දරන්න’

‘සැබෑ මිදි වැලේ’ තිබෙන අතුවලින් නියෝජනය කරන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. එහෙත් “වෙනත් බැටළුවන්ද” ක්‍රිස්තුස්ගේ පල දරන ගෝලයන් බව පෙන්විය යුතුයි. (යොහන් 10:16) “බොහෝ පල” දරමින් තමන්ගේ ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න ඔවුන්ටත් පුළුවන්. (යොහන් 15:5, 8) අපේ ගැලවීම රඳා පවතින්නේ යේසුස් සමඟ එක්සත්ව සිටිමින් දෙවිගේ සේවකයන් හැටියට හොඳ පලදාවක් බිහි කිරීම මත බව සැබෑ මිදි වැල ගැන යේසුස් පැවසූ උපමාවෙන් අපට මතක් කර දෙනවා. යේසුස් මෙසේ පැවසුවා. “මා පියාණන්ගේ ආඥා පවත්වා ඔහුගේ ප්‍රේමයෙහි පවතින්නා සේම, ඔබ මාගේ ආඥා පවත්වනවා නම්, ඔබත් මාගේ ප්‍රේමයෙහි පවතිනවා ඇත.”—යොහන් 15:10.

සෙකරියාගේ කාලයේ විසූ තමන්ට විශ්වාසවන්තව සිටි ඊශ්‍රායෙල්වරුන්ට දෙවි මෙසේ පොරොන්දු වුණා. නැවත වතාවක් දේශයේ ‘සමාදානයේ බීජය තිබෙන්නේය; මිදි වැල පල දෙන්නීය; භූමිය වර්ධනය දෙන්නීය.’ (සෙකරියා 8:12) යේසුස් අනාගතයේදී මේ පොළොව අවුරුදු දහසක් පාලනය කරද්දී දෙවිගේ සෙනඟ භුක්ති විඳින සමාදානය ගැන විස්තර කරන විටද මිදි වැල යොදාගෙන තිබෙනවා. ඒ කාලය ගැන මීකා මෙසේ පුරෝකථනය කළා. “ඔවුහු එකිනෙකා තම තමාගේ මිදි වැල යටද අත්තික්කා ගස යටද හිඳින්නෝය; කිසිවෙක් ඔවුන්ව භය නොගන්වන්නේය; මක්නිසාද සේනාවන්ගේ යෙහෝවාගේ මුඛයෙන් ඒක කියන ලද්දේය.”—මීකා 4:4.

[පාදසටහන]

^ 7 ඡේ. එක් විශ්වකෝෂයක (Encyclopaedia Judaica) සඳහන් වන ආකාරයට පුරාණ ඊශ්‍රායෙලයේ සිටි මිදි වගා කරන්නන් වැඩි කැමැත්තක් දැක්වූයේ දම් පැහැති පල ලැබෙන මිදි වගා කරන්නයි. මෙම දම් පැහැති පල සොරැක් කියා හඳුන්වනු ලැබුවා. පෙනෙන විදිහට යෙසායා 5:2හි සඳහන් වෙන්නේ මේ මිදි ගැන විය හැකියි. මේ මිදිවලින් පැණි රසයෙන් යුත් රතු වයින් නිෂ්පාදනය කළා.

[18වන පිටුවේ පින්තූරය]

මැලවී ගිය මිදි වැලක්

[18වන පිටුවේ පින්තූරය]

ශීත ඍතුවේ කප්පාදු කළ මිදි ගසක්

[18වන පිටුවේ පින්තූරය]

කපා ඉවත් කළ අතු පුලුස්සා දමයි