Skip to content

පටුනට යන්න

සන්තෝෂයෙන් සිටින්න ඔබටත් පුළුවන්

සන්තෝෂයෙන් සිටින්න ඔබටත් පුළුවන්

සන්තෝෂයෙන් සිටින්න ඔබටත් පුළුවන්

සැමදාටම පවතින සැබෑ සන්තෝෂය සොයාගැනීම සැමවිටම පහසු දෙයක් නෙවෙයි. මෙයට මූලික හේතුව මිනිසුන් සැබෑ සන්තෝෂය ලැබීම සඳහා කළ යුතු දේවල් හරියටම නොදැන සිටීමයි. ඔවුන්ට සැබෑ සන්තෝෂය සොයාගත හැකි ආකාරය ගැන කියා දෙන්න විශ්වාසවන්ත මෙන්ම ඒ ගැන දන්න මිතුරෙක් ඉන්නවා නම් කොච්චර හොඳද!

සැබෑ සන්තෝෂය ලැබීම සඳහා කළ යුතු දේවල් ගැන අපට කියා දෙන එකම පොත බයිබලයයි. බයිබලයේ අඩංගු වී තිබෙන පොතක් වන ගීතාවලිය පොතේ තොරුතුරු ටිකක් දැන් සලකා බලමු. මෙම පොතේ යෙහෝවා දෙවිට ගයන ගීතිකා 150ක් තිබෙනවා. මෙම ගීතිකාවලින් බොහොමයක් ලියා තිබෙන්නේ දාවිත් රජයි. මෙම පොතේ ගීතිකා ලියූ පුද්ගලයන් කවුරුන් වුණත් වඩාත් වැදගත් දෙය වන්නේ මිනිසාගේ හොඳම මිතුරා වන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් ඒවා ලියා තිබීමයි. මේ නිසා ඒවා අපට ප්‍රයෝජනවත් වන අතර සැබෑ සන්තෝෂය සොයාගැනීමටද හේතු වන බවට කිසිම සැකයක් නැහැ.

කෙනෙක් සැබෑ සන්තෝෂය භුක්ති විඳින්න නම් ඔහු දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගත යුතු බව මෙම ගීතිකා ලියූ අය දැන සිටියා. මේ නිසයි එක් ගීතිකාකරුවෙක් මෙසේ පැවසුවේ. ‘යෙහෝවාට භය වන්නාවූ මනුෂ්‍යයා [සන්තෝෂවත්ය].’ (ගීතාවලිය 112:1) ‘යෙහෝවාව තමුන්ගේ දෙවි කොට ගත් සෙනඟ’ අද්දකින සන්තෝෂය මිනිසුන් සමඟ ඇති කරගන්න මිත්‍ර සබඳතාවලින්වත්, සැප සම්පත්වලින්වත්, කෙනෙක් අත් කරගන්නා නිලතලවලින්වත් ලබන්න බැහැ. (ගීතාවලිය 144:15) මෙය සැබෑවක් බව අද දින සිටින දෙවිගේ සේවකයන් බොහෝදෙනෙක් අද්දැක තිබෙනවා.

වයස අවුරුදු 40ක් පමණ වන සුසෑන් * පදිංචි වී සිටින්නේ ජර්මනියේයි. ඇය මෙසේ පැවසුවා. “අද බොහෝදෙනෙක් යම් කණ්ඩායම්වලට බැඳෙන්නේ පොදු ඉලක්ක අත් කරගැනීමට හෝ පොදුවේ තමන් කැමති දේවල් එකට කිරීමටයි. නමුත් මේ කණ්ඩායම්වල සිටින හැමෝම එකිනෙකාව මිත්‍රයන් ලෙස සලකන්නේ ඉතා කලාතුරකින්. ඒත් යෙහෝවාගේ සෙනඟ නම් එහෙම නෙවෙයි. යෙහෝවා දෙවිට තිබෙන අපේ ප්‍රේමය නිසා අපි එකිනෙකා අතරේ ලොකු බැඳීමක් තියෙනවා. අපි කොහේ සිටියත් අපිට දෙවිගේ සෙනඟ එක්ක ඉන්නකොට කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. මේ එකමුතුකම නිසා අපේ ජීවිතවල ගුණය බොහෝ සෙයින් වැඩි වී තියෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ පසුබිම්වලට හා ජාතීන්වලට අයත් අය සමඟ හොඳ මිත්‍රත්වයක් පවත්වන්න පුළුවන් කාටද? මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් යෙහෝවාගේ සෙනඟ අතර එවැනි බැඳීමක් තියෙනවා කියා. ඔවුන් සන්තෝෂයෙන් සිටින්නේ ඒ නිසයි.”

ස්කොට්ලන්තයේ වෙසෙන මාරිට හැඟුණෙත් සැබෑ සන්තෝෂය භුක්ති විඳින්න නම් යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් තිබීම අත්‍යවශ්‍යයි කියලයි. ඇය මෙසේ පැවසුවා. “මම බයිබලය ඉගෙනගන්න කලින් නම් ත්‍රාසජනක භයංකර චිත්‍රපටි නැරඹුවා. මේ චිත්‍රපටි බොහොමය හොල්මන් හා භූතයන් සිටියා. ඒ නිසා රෑට නිදාගන්න ගියාම හොල්මන් හා භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න හිතාගෙන කුරුසයක් අතේ තියා ගත්තා. මම සත්‍යය ඉගෙනගත්තට පස්සේ මේ වගේ චිත්‍රපටි බලන එක නතර කළා. මම යෙහෝවා දෙවි එක්ක ඇති කරගෙන තිබුණු මිත්‍රත්වය නිසා කිසිම බයක් නැතුව නිදාගන්න මට දැන් පුළුවන්. ඇත්තටම භූතයන්ට හා හොල්මන්වලට වඩා බලවත් දෙවි කෙනෙකුට සේවය කරන්න ලැබීම ඇත්තෙන්ම ආශීර්වාදයක් වගේම සතුටක්.”

යෙහෝවා කෙරෙහි විශ්වාසය සන්තෝෂයට මඟ පාදයි

යෙහෝවා දෙවි සර්වබලධාරි දෙවි වන අතර ඔහුට අසීමිත බලයක් තිබෙනවා. ඒ ගැන සැක කරන්න කිසිම හේතුවක් නැහැ. තමන්ට දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බවත් ඔහුගෙන් ආරක්ෂාව ලැබිය හැකි බවත් පිළිගත් දාවිත් මෙසේ පැවසුවා. ‘යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්නාවූ තැනැත්තා [සන්තෝෂවත්ය].’—ගීතාවලිය 40:4.

මරියා මෙසේ පැවසුවා. “අපේ හැඟීම්වලට වහල් වෙලා යම් දේවල් නොකර නිතරම යෙහෝවා දෙවි කැමති විදිහට දේවල් කරනවා නම් අපිට හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ස්පාඤ්ඤයේදී හා වෙනත් තැන්වලදී මම ලැබූ අද්දැකීම්වලින් මම ඒ බව තේරුම්ගත්තා. අපි එහෙම කටයුතු කරනවා නම් අපිට ඇත්තෙන්ම සන්තෝෂය ලබන්න පුළුවන්. ඊට හේතුව හොඳම මාර්ගය යෙහෝවා පෙන්වන මාර්ගය නිසයි.”

යුරෝපීය රටවල් කිහිපයක සේවය කර තිබෙන ඇන්ඩ්‍රියස් නම් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් තමන් ලද අද්දැකීමෙන් පවසන්නේ යෙහෝවා කෙරෙහි අපට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බවයි. ඔහු මෙසේ පවසනවා. “මගේ වැඩිමහල් සහෝදරයා සත්‍යයේ නැහැ. එයා මට හැමතිස්සේම උනන්දු කළේ හොඳ පඩියක් ගන්න පුළුවන් රස්සාවක් කරන්න කියලයි. ඒත් මම අනාගතයට ආරක්ෂාව සලසා දෙන විශ්‍රාම වැටුප් වැනි ක්‍රම ගැන විශ්වාසය තබනවා වෙනුවට පූර්ණ කාලීන සේවය කරන්න තෝරගත්තාම ඔහුගේ බලාපොරොත්තු කඩ වුණා. මගේ පූර්ණ කාලීන සේවය තුළදී මට කිසිම දෙයකින් හිඟයක් තිබුණේ නැහැ. අනිත් අයට ලබන්න හිතන්නවත් බැරි ආශීර්වාද මට ලැබිලා තියෙනවා.”

ජර්මනියේ ෂෙල්ටර්ස් නම් ප්‍රදේශයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ යම් ඉදි කිරීම් වැඩ සඳහා 1993දී ෆීලික්ස්ට ආරාධනාවක් ලැබුණා. වැඩ අවසන් වුණාට පස්සේ එම බෙතෙල් ගෘහයේ දිගටම සේවය කරන්න ෆීලික්ස්ට ආරාධනා කළා. මෙයට ඔහු ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? “මම පැවරුම බාරගත්තත් මගේ හිතේ පොඩි චකිතයක් තිබුණා. මම දැන් මෙහේ වැඩ කරන්න පටන් අරන් අවුරුදු දහයක් වෙනවා. යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා කියන එක නම් මට ස්ථිරයි. මට හොඳම දේ මොකක්ද කියලා ඔහු දන්නවා. මම යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබලා තියෙන නිසා ඔහු කැමති විදිහට මාව හසුරුවන්න මම ඉඩහැරලා තියෙනවා. එතකොට මම දන්නවා හරියටම යෙහෝවා දෙවි මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා.”

කලින් සඳහන් කළ සුසෑන්ට පූර්ණ කාලීන සේවය කරන්න අවශ්‍ය වුණා. ඒත් ඇයට අර්ධ කාලීන රැකියාවක් සොයාගන්න පහසු වුණේ නැහැ. ඇය අවුරුද්දක් පුරා බලා සිටියත් ඇයට රැකියාවක් ලැබුණේ නැහැ. යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ ආකාරය ගැන ඇය මෙසේ පැවසුවා. “මම ස්ථාවර පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න කැමැත්ත පළ කළා. මට මාසයක් විතර ජීවත් වෙන්න අවශ්‍ය මුදල් මම ඉතුරු කරගෙන තිබුණා. ඒ මාසය මහා පුදුමාකාර අද්දැකීම් ලබපු මාසයක්. මම සේවයෙන් ලොකු ප්‍රීතියක් ලැබුවා. ඒත් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ එක පිට එකට ගියත් කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ. යෙහෝවා පොරොන්දු කර තිබෙන ආකාරයට ඔහු කවදාවත් මාව අත්හැරියේ නැහැ. ඒ මාසයේ අවසාන දිනයේ මට රැකියාවක් ලැබුණා. මම දැන් දන්නවා මට ඇත්තටම යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාස කරන්න පුළුවන් කියලා. මම පූර්ණ කාලීන සේවයේ මුලින්ම ලැබූ මේ අද්දැකීම නිසා මට මගේ ජීවිතයේ සන්තෝෂය භුක්ති විඳින්න හැකි වෙලා තියෙනවා.”

දෙවිගේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කිරීමෙන් සන්තෝෂය ලැබෙයි

දාවිත් රජ අතින් ලොකු වැරදි කිහිපයක් සිදු වුණා. දාවිත්ට සමහර අවස්ථාවලදී ප්‍රඥාවන්ත උපදෙස් අවශ්‍ය වුණා. අපිත් දාවිත් වගේ උපදෙස් පිළිගන්න කැමතිද?

ප්‍රංශයේ ජීවත් වන ඒයිඩා ඇය අතින් ලොකු වරදක් වුණු බව තේරුම්ගත්තා. ඇගේ අතීතය ගැන ඇය මෙසේ මතක් කරනවා. “මට අවශ්‍ය වෙලා තිබුණු එකම දේ යෙහෝවා දෙවි එක්ක මගේ මිත්‍රත්වය නැවත ගොඩනඟා ගන්න එක විතරමයි.” ඇය උපකාරය පතා ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වෙත ගියා. දැනට අවුරුදු 14ක් පුරා පූර්ණ කාලීන සේවයේ යෙදී සිටින ඇය දැන් මෙසේ පවසනවා. “යෙහෝවා මගේ පව්වලට සමාව දීපු එක ගැන මට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ.”

දෙවිගේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරනවා නම් අපේ අතින් වරදක් සිදු වෙන්න කලින් එය මඟහරවාගන්න පුළුවන්. ජූඩිත් මෙසේ පැවසුවා. “මට අවුරුදු 20දී විතර ජර්මනියේ ව්‍යපාර වැඩවල නිරත වී සිටි කෙනෙක් කෙරෙහි මගේ සිත ඇදී ගියා. ඔහු මගේ සිත දිනාගන්න හැකි සෑම උත්සාහයක්ම දැරුවා. ඔහුට සමාජයේ හොඳ පිළිගැනීමක් තිබුණා. ඒ වගේම ඔහු කළේ උසස් රැකියාවක්. ඒත් ඔහු ඒ වෙනකොට විවාහ වෙලයි හිටියේ. මම යෙහෝවා දෙවිගේ නීතිවලට කීකරු වෙනවාද නැත්නම් දෙවිට සම්පූර්ණයෙන්ම පිටුපාලා ක්‍රියා කරනවාද කියලා තීරණයක් ගන්න මට සිදු වුණා. මම මගේ ප්‍රශ්නය දෙමව්පියන්ට කිව්වා. තාත්තා මට කෙළින්ම පෙන්නුම් කළා යෙහෝවා දෙවි මගෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔහු මට නිශ්චිත උපදෙස් දුන්නා. ඇත්තටම මට ඒ වේලාවේ වුවමනා වෙලා තිබුණේ ඒ වගේ උපදෙස් තමයි. ඒ වුණත් මගේ රැවටිලිකාර හිත දෙවිගේ නීති මට ඕන විදිහට සාධාරණීකරණය කරන්න පෙළඹුවා. යෙහෝවාගේ නීතිවල තිබෙන වටිනාකමත් ඒවා පැවැත්වීමෙන් අපේ ජීවිත ආරක්ෂා වෙන හැටිත් මට ඒත්තුගන්වන්න මගේ අම්මා සති ගණන් මාත් එක්ක සැන්දෑ කාලය ගත කළා. මගේ සිත කෙමෙන් කෙමෙන් යෙහෝවා දෙවි වෙත ඇදී යෑම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. යෙහෝවා දෙවි දෙන හික්මවීම්වලින් හා ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගත් නිසා මට අවුරුදු ගණනාවක් පූර්ණ කාලීන සේවය කරන්නත් යෙහෝවාට වගේම මටත් ඇත්තටම ආදරය කරන ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් සමඟ සතුටින් ජීවත් වෙන්නත් මට හැකි වෙලා තියෙනවා. මෙය මොන තරම් සන්තෝෂය ගෙන දෙන කාරණයක්ද!”

ඒ වගේ අද්දැකීම්වලින් පෙනෙන්නේ දාවිත් පැවසූ මෙම වචනවල සත්‍යතාව නෙවෙයිද? ‘අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තා [සන්තෝෂවත්ය.] යෙහෝවා විසින් අයුතුකම ආරෝපණය නොකරන ලද්දාවූ මනුෂ්‍යයා [සන්තෝෂවත්ය].’—ගීතාවලිය 32:1, 2.

අන් අය ගැන සැලකිලිමත් වීම සන්තෝෂය ගෙන දෙයි

‘දිලිඳා සලකන තැනැත්තා [සන්තෝෂවත්ය]; යෙහෝවා නපුරු දවසේ ඔහු මුදන්නේය. යෙහෝවා ඔහු ආරක්ෂා කරන්නේය. ඔහු පොළොවෙහි [සන්තෝෂවත්] තැනැත්තෙක් වන්නේය.’ (ගීතාවලිය 41:1, 2) දාවිත් ඔහුගේ මිත්‍රයා වන යොනාතාන්ගේ පුත්‍රයෙක් වන දෙපය කොර වූ මෙපිබොෂෙත්ට මහත් ප්‍රේමයක් පෙන්නුවා. අසරණයන්ව සැලකිය යුතු ආකාරය පිළිබඳව ඔහු අපට කදිම පාඩමක් උගන්වනවා.—2 සාමුවෙල් 9:1-13.

අවුරුදු 47ක් පුරා වෙනත් රටවල සේවය කළ මාර්ලිස්ට අප්‍රිකාව, ආසියාව හා නැඟෙනහිර යුරෝපය වැනි රටවල පවතින අර්බුද නිසා තම රටට පලා ඇවිත් සිටින අයට දේශනා කරන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. ඇය මෙසේ පවසයි. “මේ අයට එක එක විදිහේ ප්‍රශ්න තියෙනවා. ඒ අය හිතන්නේ ඒ අයව අනිත් අය එතරම් පිළිගන්නේ නැහැ කියලයි. ඒ වගේම ඒ අයව පහත් කොට සලකනවා කියලයි. එවැනි අයට උදව් කිරීමෙන් මම ලොකු ප්‍රීතියක් අද්දකිනවා.”

අවුරුදු 40ක් වයසැති මරිනා මෙසේ පැවසුවා. “අවිවාහක කෙනෙක් හැටියට මම දන්නවා, අනිත් අයගේ උපකාරය තියෙනවා කියලා දැනෙන එක මොන තරම් සහනයක්ද කියලා. මේ නිසා මමත් අනිත් අයව දුරකථනයෙන් හා ලියුම්වලින් දිරිගන්වනවා. ගොඩාක් අය මම කරන දේ අගය කරනවා. අනිත් අයට උදව් කිරීමෙන් මම මහත් සන්තෝෂයක් අද්දකිනවා.”

ඩිමිටර්ට දැන් අවුරුදු 25ක් විතර ඇති. ඔහු ගැන ඔහුට හැඟෙන විදිහ ඔහු විස්තර කළේ මෙහෙමයි. “මගේ අම්මා මාව හැදුවේ තනියමයි. මම කුඩා කාලේ පොත් පාඩම් අවේක්ෂක සෑම සතියකම මාව දේවසේවයේ එක්කගෙන ගිහින් පුහුණු කළා. ඔහු මං ගැන දැක්වූ ඒ උත්සාහයට මම තවමත් ස්තුතිවන්ත වෙනවා. මාව හැමතිස්සේම සේවයේ යන්න කැමති කරගන්න ලේසි වුණේ නැහැ.” ඔහු ලැබූ උපකාරය අගය කිරීමක් හැටියට ඩිමිටර් දැන් අනිත් අයට උපකාර කරනවා. “මම අඩුම තරමින් මාසයකට සැරයක්වත් තරුණ කෙනෙක්ව හා වයසක කෙනෙක්ව සේවයේ ගෙනියන්න උත්සාහ කරනවා.”

අපට සන්තෝෂය පවත්වාගැනීම සඳහා කළ හැකි වෙනත් දේවල් ගැනත් ගීතාවලිය පොතේ කතා කරනවා. එක දෙයක් නම් අපේම ශක්තිය මත රඳා සිටින්නේ නැතුව යෙහෝවා දෙවි කෙරෙහි රඳා සිටීමයි. “[යෙහෝවාගෙන්] ශක්තිය ලබන අය සන්තෝෂවත්ය” කියා ගීතිකාකරු පැවසුවා.—ගීතාවලිය 84:5, නව ලොව පරිවර්තනය.

සේවය සඳහා වැඩි අවශ්‍යතාවක් තිබූ ප්‍රදේශයක සේවය කරන්න ගිය කොරිනා ගීතිකාකරු පැවසූ එම වදන්වල සත්‍යතාව අද්දැක තිබෙනවා. මේ ගැන ඇය මෙසේ පවසනවා. “මට එහිදී අලුත් භාෂාවක්, අලුත් සංස්කෘතියක් විතරක් නෙවෙයි අලුත් විදිහකට හිතන්නත් පුරුදු වෙන්න සිදු වුණා. මට හිතුණේ මම වෙන ලෝකයකට ගිහිල්ලා කියලයි. අලුත් ප්‍රදේශයක සේවය කරන්න වෙනවා කියලා හිතෙනකොට පවා මට ලොකු භයක් දැනුණා. මම යෙහෝවාගෙන් උපකාරය ඉල්ලා යාච්ඤා කළා. යෙහෝවා දෙවි මට දුන් ශක්තිය නිසා මුළු දවස පුරාම මේ හුදෙකලා ප්‍රදේශයේ දේශනා කරන්න පුළුවන් වුණා. කාලයක් යනකොට එහෙම සේවය කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. මම ගොඩාක් බයිබල් පාඩම් පටන්ගත්තා. මම තවමත් මේ ලැබූ අද්දැකීමෙන් ප්‍රයෝජන ලබනවා. මම දන්නවා යෙහෝවා දෙන ශක්තියෙන් අපිට කඳු වගේ පෙනෙන බාධා වුණත් ජයගන්න පුළුවන් කියලා.”

ඇත්ත වශයෙන්ම සැබෑ සන්තෝෂයට විවිධ දේවල් දායක වෙනවා. දෙවි සමඟ හා ඔහුව අදහන සෙනඟ සමඟ හොඳ මිත්‍රත්වයක් පැවැත්වීම, යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණයෙන්ම රඳා සිටීම, ඔහු දෙන උපදෙස් පිළිපැදීම සහ අන් අය ගැන සැලකිලිමත් වීම සන්තෝෂයට දායක වන සාධක කිහිපයක් පමණයි. යෙහෝවා පෙන්වන මාර්ගයේ ගමන් කිරීමෙන් හා ඔහුගේ නීතිවලට කීකරු වීමෙන් අපට ඔහුගේ අනුමැතිය මෙන්ම සැබෑ සන්තෝෂයද භුක්ති විඳින්න පුළුවන්.—ගීතාවලිය 89:15; 106:3; 112:1; 128:1, 2.

[පාදසටහන]

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[12වන පිටුවේ පින්තූරය]

මරියා

[13වන පිටුවේ පින්තූරය]

මාරි

[13වන පිටුවේ පින්තූරය]

සුසෑන් සහ ඇන්ඩ්‍රියස්

[15වන පිටුවේ පින්තූරය]

කොරිනා

[15වන පිටුවේ පින්තූරය]

ඩිමිටර්