Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට මඟ

සැබෑ සතුටට මඟ

සැබෑ සතුටට මඟ

“සතුට අත් කරගැනීමට තැත් කිරීම” සියලුම මිනිසුන්ගේ අයිතියක් බව අමෙරිකා එක්සත් ජනපදයේ නිදහස පිළිබඳ ප්‍රකාශය සකස් කළ අය පෙන්වා දෙනවා. එහෙත් යම් ඉලක්කයක් අත් කරගැනීමට තැත් කිරීම හා එය අත් කරගැනීම අතර වෙනසක් තියෙනවා. මේ කාලයේ තරුණයන් බොහෝදෙනෙක් ක්‍රීඩා හා වෙනත් ක්ෂේත්‍රවල යම් දක්ෂකම් අත් කරගැනීමට වෑයම් කළත් ඔවුන් බලාපොරොත්තු වන සාර්ථකත්වය අත් කරගැනීමට හැකි වී තිබෙන්නේ කීදෙනෙකුටද? මහත් වෑයමක් දරා ජනප්‍රිය ගායකයෙක් බවට පත් වූ පුද්ගලයෙක් පැවසුවේ “ඔබේ සිහින සැබෑ කරගැනීම ලේසි දෙයක් නෙවෙයි” කියායි.

සතුට අත් කරගැනීම සම්බන්ධයෙන් ඔබටත් හැඟෙන්නේ එලෙස නම් ඒ ගැන අධෛර්යය වන්න එපා. සතුට අත් කරගැනීමේ නිවැරදි මඟ ඔබ දන්නවා නම් ඔබට එය අත්කරගත හැකියි. අපිට මේ ගැන නිසැක විය හැක්කේ කලින් ලිපියේ සඳහන් කළ “සන්තෝෂවත් දෙවි” වන යෙහෝවා සතුට සොයාගත හැකි නිවැරදි මඟ පෙන්වා දෙන නිසයි. (1 තිමෝති 1:11) දෙවි බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම්වලට අනුව සතුට අත් කරගැනීමට වෑයම් කරනවා නම් අපේ බලාපොරොත්තු කවදාවත් සුන් වන්නේ නැහැ. මොන තරම් දුකක් අද්දකින්න සිදු වුණත් එයින් මිදෙන්න අපට උපකාර කරන්න යෙහෝවා දෙවිට පුළුවන්. උදාහරණයක් හැටියට අපේ පවුලේ කෙනෙක් හෝ හිතමිතුරෙක් මිය ගිය විට දැනෙන ඉමහත් ශෝකය දරාගන්න ඔහු අපට උපකාර කරනවා. එවැනි අවස්ථාවකදී ඔහු අපට සැනසිල්ල සපයන ආකාරය දැන් සලකා බලමු.

අපි ආදරය කරන කෙනෙක් මිය ගිය විට

රුදුරු මරණය දෙමාපියන් හා දරුවන් ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරයි. කිට්ටු හිතමිතුරන්වද එකිනෙකාගෙන් වෙන් කරයි. තමන් ආදරය කරන අයව අහිමි වීම නිසා අනාරක්ෂිත බවක් දැනෙනවා. සතුටින් එකිනෙකා සමඟ කල් ගෙවන පවුලක එක් සාමාජිකයෙක් මිය ගිය විට ඒ පවුලේ අයට දැනෙන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් මහත් ශෝකයක්.

මරණය කොතරම් ඛේදජනකද කියා අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත් ඇතමුන් මේ යථාර්ථය පිළි නොගෙන මරණය වෙනස් විදිහට විග්‍රහ කරමින් එය ආශීර්වාදයක් ලෙස පෙන්වා දෙන්න උත්සාහ කරනවා. වර්ෂ 2005 අගෝස්තු මාසයේදී මෙක්සිකෝ මුහුදු බොක්කේ සිදු වූ කැත්රීනා නමැති චණ්ඩ මාරුතය නිසා අමෙරිකා එක්සත් ජනපදයේ ඇති වූ මහත් විපතින් පසු සිදු වූ දෙය ගැන සලකා බලන්න. එම විපතින් මිය ගිය කෙනෙකුගේ අවමංගල්‍යයකදී දේවගැතිවරයෙක් මෙසේ සඳහන් කළා. “මේ තැනැත්තා මිය ගියේ කැත්රීනා චණ්ඩ මාරුතයෙන් නෙමෙයි. දෙවි ඔහුව ස්වර්ගයට කැඳවාගත්තා.” තම මවගේ මරණය නිසා ශෝකයෙන් සිටි දැරියකට රෝහලක සේවය කරන කෙනෙක් පැවසුවේ ඇගේ මවව දෙවි ස්වර්ගයට කැඳවාගත් බවයි. “ඇයි දෙවියන් මගේ අම්මාව මගෙන් වෙන් කළේ?” කියා අසමින් ඒ දියණිය හඬා වැළපුණා.

මරණය ගැන සත්‍යය හෙළි නොකරන එම වැරදි අදහස්වලින් වියෝදුකින් පෙළෙන අයට සැනසිල්ලක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම එම අදහස් නිසා මිනිසුන් තුළ දෙවි ගැන සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක්ද ඇති වෙනවා. ඔවුන් දෙවිව සලකන්නේ ඉතා වේදනාකාරී හා කුරිරු විදිහට පවුලේ සාමාජිකයන්ව හා හිතමිතුරන්ව එකිනෙකාගෙන් වෙන් කරන දුෂ්ට කෙනෙක් හැටියටයි. කෙසේවෙතත් මරණය ගැන සත්‍යය බයිබලයේ හෙළි කර තිබෙනවා.

බයිබලයේ මරණය හඳුන්වන්නේ සතුරෙක් ලෙසයි. එමෙන්ම මරණය මිනිසුන්ව පාලනය කරන රජෙකුටද එහි සමාන කර තිබෙනවා. (රෝම 5:17; 1 කොරින්ති 15:26) මරණය කියන්නේ කිසිම මිනිසෙකුට එරෙහි විය නොහැකි දරුණු සතුරෙක්. මෙම සතුරා අසංඛ්‍යාත පිරිසක්ව තම ග්‍රහණයට හසු කරගෙන තිබෙනවා. බයිබලයේ සඳහන් වන පරිදි මරණය ඇත්තටම දරුණු සතුරෙක් බව අපි ආදරය කරන කෙනෙක් මිය ගිය විට අපිට දැනෙන ඉමහත් ශෝකයෙන් හා අසරණබවෙන් පෙනී යනවා. මෙවැනි හැඟීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් බව බයිබලයේ සඳහන් වාර්තාවලින්ද පැහැදිලි වෙනවා. එහෙත් දෙවි ඔහු කැමති අයව ස්වර්ගයට ගැනීමට මරණය නමැති සතුරාව යොදාගන්නවාද? අපි මේ ප්‍රශ්නයට පිළිතුරු බයිබලයෙන්ම සොයා බලමු.

දේශනාකාරයා 9:5, 10හි මෙසේ සඳහන් වෙනවා. “මළාහු කිසිවක් නොදනිති. . . . ඔබ යන මිනීවළේ ක්‍රියාවක්වත් උපායක්වත් දැනගැන්මක්වත් ප්‍රඥාවක්වත් නැත.” මිනීවළේ සිටින කෙනෙකුට කිසිම දෙයක් කළ නොහැකියි. එවැනි කෙනෙකුට කිසිම කල්පනාවක් හෝ හැඟීම් දැනීම් නැහැ. ඔවුන් සිටින්නේ තද නින්දක පසු වෙනවා හා සමාන තත්වයකයි. බයිබලයේ සඳහන් එම සත්‍යයෙන් පැහැදිලි වන්නේ දෙවි අපි ආදරය කරන අයව අපෙන් වෙන් කර ස්වර්ගයට ගන්නේ නැති බවයි.

යේසුස් ඔහුගේ මිතුරෙක් වූ ලාසරස් මිය ගිය විට, මරණය ගැන බයිබලයේ සඳහන් එම සත්‍යය තහවුරු කළා. ඔහු මරණය නින්දකට සමාන කළා. ලාසරුස් මිය ගිය පසු සර්වබලධාරී දෙවි සමඟ සිටීමට ස්වර්ගයට ගොස් තිබුණා නම්, ඔහුව නැවත නැඟිටුවීම කාරුණික ක්‍රියාවක් වන්නේ නැහැ. මන්ද ටික කාලයක් ජීවත් වී නැවතත් ඔහුට මිය යෑමට සිදු වන නිසයි. යේසුස් ලාසරුස්ගේ සොහොන අසලදී මහත් හඬින් මෙසේ පැවසුවා. “ලාසරුස්, පිටතට එන්න!” මේ සිද්ධිය ගැන බයිබලයේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “මිය ගොස් සිටි මිනිසා පිටතට ආවේය.” ඔහු නැවතත් අලුත් ජීවිතයක් පටන්ගත්තා. ලාසරුස් ස්වර්ගයට ගොස් නොසිටි බව යේසුස් දැන සිටියා.—යොහන් 11:11-14, 34, 38-44.

මරණය කියන්නේ දෙවි මිනිසුන්ව ස්වර්ගයට ගැනීමට යොදාගන්න මාර්ගයක් නොවන බව බයිබලයේ සඳහන් එම වාර්තාවෙන් පැහැදිලියි. අපි ආදරය කරන කෙනෙක් මිය ගිය විට ඇති වන ශෝකයට දෙවි වග කිව යුතු නැහැ. මේ නිසා සැනසිල්ල ඉල්ලා ඔහුට යාච්ඤා කරන්න අපිට පුළුවන්. මරණය නමැති සතුරා අපිට කර තිබෙන හානිය ගැනත් අපි අද්දකින වේදනාව ගැනත් දෙවි හොඳින් දන්න බව අපිට ස්ථිර විය හැකියි. මිය ගොස් සිටින අය ගැන බයිබලයේ හෙළි කර තිබෙන සත්‍යයෙන් පැහැදිලි වන්නේ ඔවුන් නරකාදියක හෝ ශුද්ධ ගිනිස්ථානයක දුක් විඳින්නේ නැති බවයි. ඔවුන් කොතැනකවත් ජීවත් වන්නේ නැහැ. මේ නිසා අපි ආදරය කරන කෙනෙක් මිය ගිය විට දෙවි කෙරෙහි වෛරයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. එමෙන්ම ඔවුන් කොතැනක හෝ දුක් විඳිනවාදෝ කියා කනස්සල්ලෙන් සිටින්න අවශ්‍යත් නැහැ. යෙහෝවා දෙවි අපිට සැබෑ සැනසිල්ලක් බයිබලය මාර්ගයෙන් සපයනවා.

බලාපොරොත්තුව සතුට ගෙන දෙයි

සැබෑ සතුට භුක්ති විඳින්න නම් බලාපොරොත්තුවක් අවශ්‍ය බව අපි සලකා බැලූ බයිබල් වගන්තිවලින් පැහැදිලි වෙනවා. බයිබලයේ සඳහන් “බලාපොරොත්තුව” යන වචනයේ අර්ථය වන්නේ යහපතක් අපේක්ෂාවෙන් සිටීම යන්නයි. බලාපොරොත්තුව හා සතුට අතර තිබෙන සම්බන්ධය දැනගැනීම සඳහා යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවීම පිළිබඳ වාර්තාව ගැන නැවතත් සලකා බලමු.

යේසුස් එම ප්‍රාතිහාර්යය කිරීමට ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එක් හේතුවක් වූයේ මාර්තා හා මරියාගේ මෙන්ම ඔවුන්ගේ මිතුරන්ගේ වියෝදුක නැති කර දමා, නැවතත් මේ සියලුදෙනාටම ප්‍රීතියෙන් කල් ගෙවීමට අවස්ථාව ලබා දීමයි. එහෙත් ලාසරුස්ව නැවත නැඟිටුවීමට බලපෑ වැදගත්ම හේතුව යේසුස් මාර්තාට පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “ඔබ විශ්වාස කළොත් ඔබ දෙවිගේ මහිමය දකින බව මා ඔබට පැවසුවා නොවේද?” (යොහන් 11:40) එක් බයිබල් පරිවර්තනයක මෙහි අවසාන වාක්‍ය ඛණ්ඩයේ සඳහන් වී තිබෙන්නේ “දෙවිට කළ හැකි පුදුම ක්‍රියාව” ඔබ දකින බවයි. (The New Testament in Modern English, by J. B. Phillips) ලාසරුස්ව නැවත නැඟිටුවීමෙන් යේසුස් පෙන්නුම් කළේ මිය ගොස් සිටින මිනිසුන්ව අනාගතයේදී නැවත නැඟිටුවීමට යෙහෝවා දෙවිට හැකි බවයි. ‘දෙවිට කළ හැකි ඒ පුදුම ක්‍රියාව’ ගැන තවත් තොරතුරු ටිකක් සලකා බලමු.

යොහන් 5:28, 29හි යේසුස් මෙසේ පැවසුවා. “මේ ගැන මවිත නොවන්න. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට . . . [ඔවුන්] පිටතට එන්නෝය.” මින් අදහස් කරන්නේ අපි ප්‍රේම කළ අය ඇතුළුව මිය ගොස් සිටින අය නැවත නැඟිටින බවයි. මේ පුදුම ක්‍රියාව ගැන ක්‍රියා 24:15හි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් [තිබෙන්නේය].” මෙහි අධර්මිෂ්ඨයන් හැටියට හඳුන්වන්නේ යෙහෝවා දෙවිව දැන හඳුනා ගෙන ඔහුට සේවය කරන්න නොහැකි වූ අයවයි. මේ අයව නැවත නැඟිටීමෙන් පසු දෙවිගේ අනුමැතිය ලැබීම සඳහා අවස්ථාවක් උදා කර දීමට නියමිතයි.

මේ නැවත නැඟිටීම සිදු වන්නේ කොහේද? ගීතාවලිය 37:29හි මෙසේ සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය.” මින් අදහස් කරන්නේ මරණය මගින් වෙන් කර තිබූ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් යළිත් මේ පොළොවේදී එකට ජීවත් වන බවයි. ඔබ කලක් ප්‍රීතියෙන් කල් ගෙවූ මේ අය සමඟ නැවතත් ඔබට සතුටින් සිටිය හැකි බව දැනෙන විට ඔබට ඉමහත් ප්‍රීතියක් දැනෙනවාට සැකයක් නැහැ.

යෙහෝවා දෙවි කැමති ඔබ සතුටින් සිටිනවා දකින්නයි

ප්‍රශ්න ගැටලු මැද පවා සතුටින් සිටීමට යෙහෝවා දෙවි අපට උපකාර කරන ආකාර දෙකක් අපි සලකා බැලුවා. පළමුවන ආකාරය වන්නේ අද අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ඔහු බයිබලය මාර්ගයෙන් සැපයීමයි. වියෝදුක දරාගැනීමට පමණක් නොව ආර්ථික හා සෞඛ්‍ය ගැටලුවලට හොඳින් මුහුණ දීමටද බයිබලයේ තිබෙන උපදෙස් අපට උපකාරවත් වෙනවා. සමාජයේ අත් විඳින්න සිදු වන අයුක්තිය හා දේශපාලනික අර්බූද නිසා ඇති වන ගැටලු දරාගැනීමට අවශ්‍ය ශක්තියද බයිබලයෙන් අපිට ලබාගත හැකියි. බයිබලයේ දෙන මඟ පෙන්වීම් ඔබ අදාළ කරගන්නවා නම් ඔබේ ජීවිතයේ වෙනත් ගැටලුවලටද සාර්ථකව මුහුණ දීමට ඔබට පුළුවන්.

වෙන කිසිම දෙයකින් ලබාගත නොහැකි බලාපොරොත්තුවක් බයිබලය අධ්‍යයනය කිරීමෙන් අපිට අත් කරගත හැකියි. සතුටින් සිටීමට යෙහෝවා දෙවි අපිට උපකාර කරන දෙවන ආකාරය වන්නේ එයයි. මිය ගොස් සිටින අපි ආදරය කළ අය නැවත නැඟිටින බවට බයිබලයේ පවසා තිබෙන දෙයද එම බලාපොරොත්තුවට අයත් වෙනවා. අපට තිබෙන බලාපොරොත්තුව ගැන එළිදරව් 21:3, 4හි මෙසේ සඳහන් වෙනවා. “දෙවිම [මිනිසුන්] සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” මින් අදහස් කරන්නේ ඔබව දුකට පත් කළ හැකි සෑම දෙයක්ම ළඟදීම පහ වී යන බවයි. බයිබලයේ සඳහන් වී තිබෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වන විට ඔබ අසීමිත ප්‍රීතියක් අද්දකින බව ස්ථිරයි. අනාගතයේදී අපිට සන්තෝෂවත් කාලයක් ලැබෙන බව දැන සිටීමම සහනයක්. මිය ගිය කෙනෙක් යම් තැනක සැමදා දුක් විඳින්නේ නැහැ කියා දැන සිටීමත් සතුටට හේතුවක් නොවේද?

මෙම අද්දැකීම සලකා බලන්න. අවුරුදු කිහිපයකට කලින් පිළිකාවක් වැළඳී තිබූ තම ස්වාමිපුරුෂයා වේදනා විඳ මිය ගිය ආකාරය මරියා දුටුවා. තම ස්වාමිපුරුෂයාගේ මරණය නිසා ඇති වූ දුක තුනී වෙන්නත් කලින් ඇයට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. ආර්ථික ප්‍රශ්න නිසා ඇගේ දූවරුන් තුන්දෙනා සමඟ ඇය ජීවත් වෙමින් සිටි නිවස ඔවුන්ට අහිමි වුණා. ඉන් අවුරුදු දෙකට පසු ඇයටත් පිළිකාවක් වැළදී තිබූ බව සොයාගනු ලැබුවා. ඇයව බරපතළ සැත්කම් දෙකකට භාජන කළ අතර සෑම දවසකම ඇය මහත් වේදනාවක් අද්දැක්කා. මේ සෑම දුක් කරදරයක් මැද ශුභවාදී ආකල්පයක් ඇතිව සිටිමින් ඇය අන් අයව දිරිමත් කළා. එවන් තත්වයක් මැද පවා ඇයට සතුටින් සිටීමට හැකි වූයේ කෙසේද?

මේ ගැන මරියා මෙසේ පවසනවා. “මම දුක් වේදනා අද්දකිනකොට මම මං ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. ‘ඇයි මට මෙහෙම වෙන්නේ? මම මේ විදිහට දුක් විඳින්නේ ඇයි? ඇයි මට මේ වගේ ලෙඩක් හැදුණේ?’ ඒ වගේ හිතලා මානසිකව වැටුණොත් ජීවිතයට මුහුණ දෙන්න තියෙන ශක්තිය නැති වෙලා යනවා. මට ඕනෙ මට තියෙන ශක්තිය යෙහෝවා දෙවිට සේවය කරන්නත් අන් අයට උපකාර කරන්නත් යොදවන්නයි. මට සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ දේවල් කරන නිසයි.”

අනාගතය පිළිබඳව මරියාට තිබෙන බලාපොරොත්තුව ජීවිතයේ දුක් වේදනා දරාගැනීමට ඇයට උපකාරවත් වූයේ කෙසේද? අනාගතයේදී යෙහෝවා දෙවි මිනිසුන් අද්දකින අසනීප හා දුක් වේදනා නැති කර දමන බවට දී තිබෙන පොරොන්දු ගැන ඇය ගැඹුරින් සිතූ නිසයි. ඇය ප්‍රතිකාර ගැනීමට රෝහලට යන විට ඇයට තිබෙන ඒ බලාපොරොත්තුව ගැන අනිකුත් පිළිකා රෝගීන් සමඟ කතා කළා. මරියාට එම බලාපොරොත්තුව කොතරම් වැදගත්ද කියා ඇගේ මෙම වචනවලින් පැහැදිලි වෙනවා. “මම හෙබ්‍රෙව් 6:19හි සඳහන් වචන නිතරම මතක් කරගන්නවා. පාවුල් එහි බලාපොරොත්තුව නැංගුරමකට සමාන කර තියෙනවා. නැංගුරමක් නැත්නම් නැවක් කුණාටුවකට ගසාගෙන යන්න පුළුවන්. ඒ වගේ ඔබටත් බලාපොරොත්තුවක් නැත්නම් කුණාටු හා සමාන ගැටලු ප්‍රශ්නවලදී ඔබ අතරමං වෙන්න පුළුවන්.” මරියාට සතුටින් සිටින්න හැකි වී තිබෙන්නේ ‘බොරු කීමට නොහැකි දෙවි පොරොන්දු වී තිබෙන සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව’ නිසයි. ඔබටත් එම බලාපොරොත්තුවෙන් සහනයක් ලබන්න පුළුවන්.—තීතස් 1:2.

ඔබට මොන තරම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණත් බයිබලය අධ්‍යයනය කිරීමෙන් සතුට අත් කරගන්න පුළුවන්. මෙය කොතෙක් දුරට සත්‍යයක්ද කියා ඔබ සිතන්න පුළුවන්. ඔබට සතුට ලබන්න පුළුවන් ආකාරය ගැන බයිබලයෙන්ම පහදා දෙන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා. යෙහෝවා දෙවි සියලු මිනිසුන් ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව ඉටු වෙන කාලය දෙස බලා සිටින අය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය; දුකද සුසුම්ලෑම්ද පහව යන්නේය.” (යෙසායා 35:10) ඔබටත් පුළුවන් ඔවුන්ගෙන් කෙනෙක් වෙන්න.

[5වන පිටුවේ පින්තූරය]

දුක වේදනාව නැති කර දැමිය හැක්කේ බයිබලයේ සඳහන් සත්‍යයට පමණයි

[7වන පිටුවේ පින්තූරය]

නැවත නැඟිටීම ගැන බයිබලයේ සඳහන් බලාපොරොත්තුව නිසා සතුටින් සිටින්න පුළුවන්