Skip to content

පටුනට යන්න

ඔවුන් ඉපදුණේ දෙවි තෝරාගත් ජාතියකටයි

ඔවුන් ඉපදුණේ දෙවි තෝරාගත් ජාතියකටයි

ඔවුන් ඉපදුණේ දෙවි තෝරාගත් ජාතියකටයි

“තමන්ට විශිෂ්ට සෙනඟක් වන පිණිස ඔබේ දෙවි වූ යෙහෝවා ඔබ තෝරාගත්තේය.”—ද්විතීය කතාව 7:6.

1, 2. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් සිදු කළ මහත් ක්‍රියාව කුමක්ද? ඊශ්‍රායෙල් සෙනඟ දෙවි සමඟ එළඹුණේ කුමන සබඳතාවකටද?

ක්‍රිස්තු පූර්ව 1513දී ඊජිප්තුවේ වහල්ව සිටි ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් තුළින් යෙහෝවා දෙවි මෙසේ පොරොන්දු වුණා. “මම යෙහෝවා වෙමි. මම ඊජිප්තු ජාතිකයන්ගේ බර වැඩ කිරීමෙන් අහක් කොට ඔබ ගෙනයන්නෙමි; ඔවුන්ට වහල්ව සිටීමෙන් ඔබ නිදහස් කරන්නෙමි. දිගු කරන ලද බාහුවකින්ද මහත් විනිශ්චයවලින්ද ඔබ මුදන්නෙමි; ඔබ මාගේ සෙනඟ කොට පිළිගෙන ඔබට දෙවි කෙනෙක් වන්නෙමි.” (නික්මයාම 6:6, 7; 15:1-7, 11) ඉන් අනතුරුව යෙහෝවා දෙවි ඊජිප්තු රාජ්‍යයට ප්‍රබල පහරක් එල්ල කරමින් ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් නිදහස් කරගත්තා. එසේ කිරීමෙන් දෙවි ඔවුන්ගේ ගැලවුම්කරු හා අයිතිකරු බවට පත් වුණා.

2 ඊජිප්තුවෙන් නිදහස් වූ ඊශ්‍රායෙල් සෙනඟ තම දෙවි වූ යෙහෝවා සමඟ විශේෂ සබඳතාවකට එළඹුණා. මීට පෙරාතුව දෙවි මිනිසුන් සමඟ කටයුතු කර තිබුණේ පෞද්ගලිකව හෝ පවුල් වශයෙනුයි. නමුත් මෙතැන් සිට දෙවි තීරණය කළේ විශේෂ සෙනඟක් තෝරාගෙන ජාතියක් හැටියට ඔවුන් සමඟ කටයුතු කිරීමටයි. (නික්මයාම 19:5, 6; 24:7) මේ සඳහා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට හා විශේෂයෙන්ම නමස්කාරයට අවශ්‍ය නීති ඔහු ලබාදුන්නා. ඒ අලුත් ජාතියට මෝසෙස් මෙසේ පැවසුවා. “අප විසින් යාච්ඤා කරන සියලු ප්‍රස්තාවලදී අපේ දෙවි වූ යෙහෝවා අපට ළංව සිටින්නාක් මෙන් එපමණ ළං වූ දෙවියෙකු ඇත්තේ කුමන මහත් ජාතියකටද? මේ දවසේ මා විසින් ඔබ ඉදිරිපිට තැබූ මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨ වූ පනත් හා විනිශ්චයන් ඇති මහත් ජාතිය කවරේද?”—ද්විතීය කතාව 4:7, 8.

සාක්ෂිකරුවන්ගෙන් සෑදුණු ජාතියක්

3, 4. දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ජාතියක් හැටියට සංවිධානය කළේ කුමන වැදගත් හේතුව නිසාද?

3 එම සිද්ධියෙන් සියවස් ගණනාවකට පසු ඊශ්‍රායෙල් ජාතිය බිහි කිරීමට ප්‍රධානතම හේතුවක් දෙවි යෙසායා තුළින් ඔවුන්ට මතක් කර දුන්නා. යෙසායා මෙසේ පැවසුවා. ‘එම්බා, යාකොබ්, ඔබ මැවුවාවූ යෙහෝවා, එම්බා, ඊශ්‍රායෙල්, ඔබ සෑදුවාවූ තැනැත්තා දැන් මෙසේ කියන්නේය: භය නොවන්න. මක්නිසාද මම ඔබ මුදා ගතිමි. මම ඔබට නම තැබීමි. ඔබ මගේය. මක්නිසාද මම ඔබේ දෙවි වූ යෙහෝවාය. ඔබේ ගැලවුම්කාර වූ ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාය. . . . මාගේ නාමය දරන්නා වූ මාගේ පුත්‍රයන් දුර සිටද මාගේ දූවරුන් පොළෝ කෙළවර සිටද ගෙනෙන්නෙමි යයි කියාත් කියන්නෙමි. ඔහු තැනීමි. එසේය, ඔහු සෑදීමි. ඔබ මාගේ සාක්ෂිකාරයෝ. මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවා යයි යෙහෝවා කියන්නේය. . . . මා විසින් තෝරාගත්තාවූ මාගේ සෙනඟ වන ඔවුන් මාගේ ප්‍රශංසා කියන පිණිස දෙන්නෙමි.’—යෙසායා 43:1, 3, 6, 7, 10, 20, 21.

4 ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිගේ නාමය දැරූ නිසා ඔහු මුළු විශ්වයේ ශ්‍රේෂ්ඨ පාලකයාණන් බව සියලු ජාතීන්ට ප්‍රකාශ කිරීමේ වගකීම ඔවුන් සතු වුණා. ඔවුන්ව සෙනඟක් ලෙස බිහි කර තිබුණේ ‘යෙහෝවාගේ ප්‍රශංසා කියන පිණිසයි.’ මින් අදහස් කරන්නේ ඔවුන් දෙවිගේ ශුද්ධ නාමය මහිමවත් කරමින් ඔහුගේ පුදුම ක්‍රියා ප්‍රකාශ කළ යුතු බවයි. ජාතියක් ලෙස ඔවුන් කටයුතු කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙසයි.

5. ඊශ්‍රායෙල් සෙනඟ කැපවූ ජාතියක් වූ ආකාරය විස්තර කරන්න.

5 සලමොන් විසූ කාලයේදී එනම් ක්‍රි.පූ. 11වන සියවසේදීත් ඊශ්‍රායෙල් සෙනඟ විශේෂ ජාතියක් බවට අවධාරණය කරනු ලැබුවා. දේවමාලිගාව කැප කළ අවස්ථාවේදී දෙවිට යාච්ඤා කරමින් සලමොන් පැවසුවේ “ඔබගේ උරුමය වන පිණිස ඔබගේ ඊශ්‍රායෙල් සෙනඟ පොළොවේ මුළු සෙනඟ කෙරෙන් වෙන්” කළ බවයි. (1 රාජාවලිය 8:50) නමුත් ජාතියක් හැටියට පමණක් නොව පෞද්ගලිකවත් සෑම කෙනෙකුටම දෙවි සමඟ විශේෂ බැඳීමක් තිබුණා. මීට පෙරාතුව මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට පැවසූ මෙම වචනවලින් එය පැහැදිලි වෙනවා. “ඔබ ඔබගේ දෙවි වූ යෙහෝවාගේ දරුවෝය. . . . මක්නිසාද ඔබ ඔබේ දෙවි වූ යෙහෝවාට ශුද්ධ සෙනඟක්ය.” (ද්විතීය කතාව 14:1, 2) මේ ජාතිය තුළට දරුවෙක් ඉපදුණ විට ඒ දරුවා ඉපදුණේ කැපවූ ජාතියකටයි. ඒ නිසා දෙවිට පෞද්ගලිකව කැපවෙන්න ඒ දරුවන්ට අවශ්‍ය වුණේ නැහැ. (ගීතාවලිය 79:13; 95:7) නමුත් සෑම අලුත් පරම්පරාවකටම දෙවිගේ නීති ඉගැන්නුවා. එම නීතිවලට යටත් වෙන්න සියල්ලන්ම බැඳී සිටියේ දෙවි ඊශ්‍රායෙල් ජාතිය සමඟ කළ ගිවිසුම නිසයි.—ද්විතීය කතාව 11:18, 19.

තේරීමේ නිදහස ඇතිව

6. සෑම ඊශ්‍රායෙල්වරයෙකුටම ගන්න සිදු වුණේ කුමන තීරණයද?

6 සෑම ඊශ්‍රායෙල්වරයෙකුම ඉපදුණේ කැපවූ ජාතියකටයි. නමුත් දෙවිට සේවය කරනවාද නැද්ද යන්න ගැන පෞද්ගලිකව තීරණය කරන්න ඔවුන්ට සිදු වුණා. ඊශ්‍රායෙල් සෙනඟ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න කලින් මෝසෙස් ඒ කාරණය ඔවුන්ට මෙසේ මතක් කරදුන්නා. “මා විසින් ඔබ ඉදිරියෙහි ජීවිතය හා මරණයද ආශීර්වාදය හා ශාපයද තැබූ බවට අද ඔබට විරුද්ධව සාක්ෂි දෙන පිණිස ස්වර්ගයටත් භූමියටත් හඬගසමි. එබැවින් ඔබද ඔබේ වංශයද ජීවත්ව ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කරන දෙවිගේ හඬට කීකරුව දෙවිට ඇලුම්ව යෙහෝවා ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශයෙහි වාසය කරන පිණිස ජීවිතය තෝරාගන්න. මක්නිසාද දෙවි ඔබේ ජීවිතයද දීර්ඝායුසද වන්නේය.” (ද්විතීය කතාව 30:19, 20) තමන් දෙවිට ප්‍රේම කරනවාද, ඔහුට සවන් දෙනවාද ඔහුට ඇලුම්ව සිටිනවාද යන්න ගැන පෞද්ගලික තීරණයක් ගන්න අවශ්‍ය වුණා. ඔවුන්ට තේරීමේ නිදහස දී තිබුණත්, ඔවුන් කළ තේරීමේ ප්‍රතිඵල විඳින්නත් සිදු වන බවත් අවධාරණය කරනු ලැබුවා.—ද්විතීය කතාව 30:16-18.

7. යෝෂුවාගේ පරම්පරාවෙන් පසු සිද්ධ වුණේ කුමක්ද?

7 විනිශ්චයකරුවන් ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කළ අවදියේදී සිදු වූ දෙයින් මෙම කාරණයේ වැදගත්කම පැහැදිලි වෙනවා. එම අවදියට පෙර යෝෂුවාගේ කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ ඔහුගේ යහපත් ආදර්ශය අනුගමනය කරමින් බොහෝ ආශීර්වාද ලැබුවා. බයිබල් වාර්තාවේ කියන්නේ “යෙහෝවා ඊශ්‍රායෙල්හි කළ සියලු මහත් ක්‍රියා දුටුවාවූ යෝෂුවාගේද යෝෂුවාට පසුව සිටි වැඩිමහල්ලන්ගේද සියලු දවස්වලදී සෙනඟ යෙහෝවාට සේවය” කළ බවයි. නමුත් යෝෂුවාගේ මරණින් යම් කාලයක් ගත වුණාට පසු බිහි වූ අලුත් පරම්පරාව දෙවිට කැපවූ සෙනඟක් වීමේ වරප්‍රසාදය අගය කළේ නැහැ. ඔවුන් ගැන බයිබල් වාර්තාවේ සඳහන් වන්නේ මෙසේයි. “යෙහෝවාවද ඊශ්‍රායෙල් උදෙසා ඔහු කළ ක්‍රියාද නොදත් වෙන පරම්පරාවක් නැඟුටුණේය. ඊශ්‍රායෙල් පුත්‍රයෝ යෙහෝවා ඉදිරියෙහි නපුරුව තිබුණු දේ” කරන්න පටන්ගත්තා. (විනිශ්චයකාරයෝ 2:7, 10, 11) යෙහෝවා දෙවි අතීතයේ කළ සියලුම මහත් ක්‍රියා ඔවුන්ට අමතක වී තිබුණා.—ගීතාවලිය 78:3-7, 10, 11.

කැපවීමට එකඟව ජීවත් වීම

8, 9. (අ) තමන් දෙවිට කැපවී ඇති බව කැමැත්තෙන්ම පෙන්වීමට තිබුණු විධිවිධානය විස්තර කරන්න. (ආ) කැමැත්තෙන්ම පූජා ඔප්පු කළ අය භුක්ති වින්දේ කුමක්ද?

8 ඊශ්‍රායෙල් සෙනඟ ජාතියක් හැටියට කැපවී සිටියත් පෞද්ගලික මට්ටමින් ඒ කැපවීමට එකඟව තමන් ජීවත් වන බව ඔප්පු කිරීමට මඟක් දෙවි සපයා දුන්නා. එය නම් දෙවි ලබාදුන් නීතිය යටතේ තිබූ පූජා ඔප්පු කිරීමේ විධිවිධානයයි. ඇතැම් පූජා අනිවාර්යයෙන්ම ඔප්පු කළ යුතු ඒවා වුණත් සමහර පූජා ඔප්පු කළේ ඔවුන්ගේ කැමැත්තෙන්මයි. (හෙබ්‍රෙව් 8:3) කැමැත්තෙන්ම ඔප්පු කළ පූජා අතර දවන පූජා, ධාන්‍ය පූජා සහ හවුල් (ශාන්ති) පූජා ඇතුළත් වුණා. මේවා යෙහෝවා දෙවිට ඔප්පු කළේ ඔහුගේ ප්‍රසාදය ලබාගැනීමට හා තම ස්තුතිය ප්‍රකාශ කිරීමටයි.—ලෙවී කතාව 7:11-13.

9 සෙනඟ කැමැත්තෙන්ම පූජා ඔප්පු කළ විට යෙහෝවා දෙවිට මහත් සතුටක් දැනුණා. දවන පූජා හා ධාන්‍ය පූජා දෙවිට “මිහිරි සුවඳ පූජාවක්” ලෙස හැඳින්වූයේ එනිසයි. (ලෙවී කතාව 1:9; 2:2) හවුල් පූජාවකදී යෙහෝවා දෙවිට ඔවුන් ඔප්පු කළේ එම සත්වයාගේ රුධිරය සහ තෙලයි. සතාගේ මාංසයෙන් කොටසක් පූජකයන් හා පූජාව ඔප්පු කරන්නා අනුභව කළා. එම මාංස එකට අනුභව කිරීමෙන් සංකේතවත් කළේ ඔවුන් යෙහෝවා දෙවි සමඟ සාමකාමී සබඳතාවකින් සිටි බවයි. මෝසෙස්ට දුන් නීතියේ මෙසේ සඳහන් වී තිබුණා. “ශාන්ති [“හවුල්,” නව ලොව පරිවර්තනය] පූජා යාගයක් යෙහෝවාට පූජා කරන කල ඔබ පිළිගනු ලබන පිණිස එය පූජා කරන්න.” (ලෙවී කතාව 19:5) කැපවූ ජාතියකට උපන් සියලුම ඊශ්‍රායෙල්වරුන් සිය කැමැත්තෙන්ම පූජා ඔප්පු කිරීමෙන් පෙන්වූයේ දෙවිට සේවය කිරීමට තමන්ට ඇති සැබෑ ආශාවයි. එවැනි අයව දෙවි විසින් “පිළිගනු” ලැබූ අතර ඔවුන් බොහෝ ආශීර්වාදද භුක්ති වින්දා.—මලාකී 3:10.

10. යෙහෝවා දෙවි තම අප්‍රසාදය යෙසායාගේ හා මලාකීගේ කාලවල පළ කළේ කෙසේද?

10 එනමුත් දෙවිට කැපවී සිටි මෙම ඊශ්‍රායෙල් ජාතිය නොයෙකුත් අවස්ථාවලදී අවිශ්වාසවන්තව කටයුතු කළා. දෙවි යෙසායා මාර්ගයෙන් ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබේ දවන පූජාවල කුඩා එළු බැටළු පැටවුන් පවා මා වෙතට නොගෙනායෙහිය. ඔබේ යාගවලින් මට ගෞරව නොකළෙහිය. පිදුම්වලින් මට මෙහෙකරන්ට ඔබ නොසැලැස්වීමි.” (යෙසායා 43:23) යම් කෙනෙක් කැමැත්තෙන් හා ප්‍රේමයෙන් නොපෙලඹී ඔප්පු කළ පූජාද යෙහෝවා දෙවි ප්‍රතික්ෂේප කළා. උදාහරණයකට යෙසායාගේ කාලයෙන් සියවස් තුනකට පමණ පසු අනාගතවක්තෘ මලාකීගේ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් කැළැල් සහිත සත්වයන් පූජා කළා. මලාකී ඔවුන්ට පැවසුවේ මෙසේයි. “ඔබ කෙරේ ප්‍රසන්න නොවෙමි. ඔබගේ අතින් පූජාවක් පිළිනොගනිමියි සේනාවන්ගේ යෙහෝවා කියන්නේය. . . . ඔබ බලහත්කාරයෙන් ගත්තවුන්ද කොරවුන්ද ලෙඩවුන්ද ගෙනාවහුය. මෙසේ ඔබ පූජාව ගෙනෙන්නහුය. ඔබ අතින් මේක පිළිගනිම්දැයි යෙහෝවා කියන්නේය.”—මලාකී 1:10, 13; ආමොස් 5:22.

කැපවූ ජාතිය ප්‍රතික්ෂේප වීම

11. ඊශ්‍රායෙල් ජාතිය ඉදිරියේ තිබුණේ කවර ප්‍රස්තාවද?

11 ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට කැපවූ ජාතියක් වූ අවස්ථාවේදී ඔහු ඔවුන්ට මෙසේ පොරොන්දු වුණා. “ඔබ සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහු නම් සියලු සෙනඟ අතරෙන් මට විශිෂ්ට වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය. ඔබද මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය.” (නික්මයාම 19:5, 6) පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණි විට දේවරාජ්‍යයට හවුල් වීම සඳහා මුල්ම අවස්ථාව ලබා දුන්නේ ඔවුන්ටයි. (උත්පත්ති 22:17, 18; 49:10; 2 සාමුවෙල් 7:12, 16; ලූක් 1:31-33; රෝම 9:4, 5) නමුත් ඔවුන්ගෙන් බහුතරයක්ම තම කැපවීමට එකඟව ක්‍රියා කළේ නැහැ. (මතෙව් 22:14) ඔවුන් ක්‍රිස්තුස්ව ප්‍රතික්ෂේප කර අන්තිමේදී ඔහුව ඝාතනය කළා.—ක්‍රියා 7:51-53.

12. කැපවූ ජාතියක් හැටියට ඊශ්‍රායෙල් සෙනඟව දෙවි ප්‍රතික්ෂේප කළ බව පැහැදිලි වන්නේ යේසුස්ගේ කවර වචනවලින්ද?

12 යේසුස් සිය මරණයට දින කිහිපයකට කලින් යුදෙව් ආගමික නායකයන්ට පැවසුවේ මෙසේයි. “‘ඉදිකරන්නන් ඉවතලූ ගලම ප්‍රධාන ගල වී ඇත. එය යෙහෝවාගෙන්ය. අපේ ඇස් හමුවෙහි එය විස්මයජනකය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද්ද? එහෙයින් මම ඔබට කියමි. දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන, එම රාජ්‍යයෙහි පල උපදවන ජාතියකට දෙනු ලැබේ.” (මතෙව් 21:42, 43) තමාට කැපවූ ජාතියක්ව සිටි ඔවුන්ව යෙහෝවා දෙවි ප්‍රතික්ෂේප කර ඇති බව පෙන්වමින් යේසුස් මෙසේ පැවසුවා. “යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරන්නාවූ තමන් වෙතට එවූ අයට ගල් ගසන්නාවූ නුවර,—කිකිළියක් තම පැටවුන් තම පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් කැමති වූයෙම්ද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැත. බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.”—මතෙව් 23:37, 38.

කැපවූ අලුත් ජාතියක්

13. දෙවි යෙරෙමියාගේ කාලයේදී පුරෝකථනය කළේ කුමක්ද?

13 තමන්ගේ සෙනඟ සම්බන්ධයෙන් සිදු වෙන්න යන අලුත් දෙයක් ගැන යෙහෝවා දෙවි යෙරෙමියාගේ කාලයේදී පුරෝකථනය කළා. “බලව, ඊශ්‍රායෙල් සහ යූදා වංශය සමඟ මා විසින් අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි යෙහෝවා කියන්නේය. ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් ඊජිප්තු දේශයෙන් ගෙනෙන පිණිස ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී මා විසින් ඔවුන් සමඟ කළා වූද මා ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නමුත් ඔවුන් කඩ කළා වූද ගිවිසුම මෙන් නොවේ. එහෙත් ඊශ්‍රායෙල් වංශය සමඟ ඒ දවස්වලට පසු මා විසින් කරන ගිවිසුම මේයයි යෙහෝවා කියන්නේය. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළ තබා ඔවුන්ගේ සිතේ ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝයයි යෙහෝවා කියන්නේය.”—යෙරෙමියා 31:31-33.

14. දෙවි තම අලුත් ජාතිය බිහි කළේ කවදාද? කුමන පදනමක් මතද? ඒ අලුත් ජාතිය හඳුන්වා දෙන්න.

14 ක්‍රිස්තු වර්ෂ 33දී මියගිය යේසුස් නැවත නැඟිට ස්වර්ගයෙහි තම පියාණන් ඉදිරියේ පෙනී සිටීමෙන් තමා වැගිරෙවූ රුධිරයේ වටිනාකම සංකේතවත් ලෙස ඔප්පු කළ විට මෙම අලුත් ගිවිසුම සඳහා පදනම දමනු ලැබුවා. (ලූක් 22:20; හෙබ්‍රෙව් 9:15, 24-26) එම වර්ෂයේම පෙන්තකොස්ත දවසේදී දෙවිගේ බලය වැගිරවීමත් සමඟ “දෙවිගේ ඊශ්‍රායෙල්” නමැති අලුත් ජාතිය බිහි වූ අතර, අලුත් ගිවිසුමද ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. (ගලාති 6:16; රෝම 2:28, 29; 9:6; 11:25, 26) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලියමින් පේතෘස් මෙසේ පැවසුවා. “ඔබ, අන්ධකාරයෙන් සිය විස්මයජනක ආලෝකයට ඔබව කැඳවාගත් තැනැත්තාගේ ‘උතුම් ගතිගුණ ගැන සෑම තැම ප්‍රකාශ කරන පිණිස, තෝරාගත් ජනතාවක්ද, රාජකීය පූජක පංතියක්ද, ශුද්ධ වූ ජාතියක්ද, දෙවිට අයත් විශේෂ වස්තුවක් ලෙස තෝරාගත් සෙනඟක්ද’ වන්නහුය.” (1 පේතෘස් 2:9, 10) ඊශ්‍රායෙල් සෙනඟ හා දෙවි අතර පැවති විශේෂ සබඳතාව මෙයින් අවසන් වුණා. ක්‍රිස්තු වර්ෂ 33දී දෙවි ඒ වෙනුවට වෙනත් ජාතියක් එනම් අභිෂේක ලත් ක්‍රිස්තියානින්ගෙන් සමන්විත සභාවට තම අනුග්‍රහය ලබා දුන්නා. ඒ ජාතිය දේවරාජ්‍යයට උචිත ‘පල උපදවන ජාතියක්’ බවට ඔප්පු වුණා.—මතෙව් 21:43.

දෙවිට පෞද්ගලිකව කැපවීම

15. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී පේතෘස් තමාට සවන් දෙන අයට කිව්වේ කෙලෙස බව්තීස්ම වෙන්නද?

15 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසින් පසු යුදෙව්වෙක් වුණත් අන්‍යජාතිකයෙකු වුණත් සෑම කෙනෙකුම දෙවිට පෞද්ගලිකව කැපවී “පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට” බව්තීස්ම වෙන්න අවශ්‍ය වුණා. * (මතෙව් 28:19) එම දිනේදී පේතෘස් ඔහුට උනන්දුවෙන් සවන් දුන් යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයට මෙසේ පැවසුවා. “ඔබ සියලුදෙනා පසුතැවිලි වී ඔබේ පව්වලට සමාව ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වන්න. එවිට, නොමිලේ දෙන ශුද්ධාත්මය නමැති දීමනාව ඔබට ලැබෙන්නේය.” (ක්‍රියා 2:38) මෙවැනි අය බව්තීස්ම වීමෙන් පෙන්නුම් කළේ තම ජීවිත යෙහෝවා දෙවිට කැප කර ඇති බව සහ තම පව්වලට සමාවක් ලැබීම සඳහා යේසුස්ගේ ජීවිත පූජාව තමන් අගය කරන බවයි. ඔවුන් යේසුස්ව දෙවිගේ උත්තම පූජක ලෙසත්, තම නායකයා ලෙසත්, ක්‍රිස්තියානි සභාවේ හිස ලෙසත් පිළිගැනීම අවශ්‍ය වුණා.—කොලොස්සි 1:13, 14, 18.

16. පාවුල්ගේ කාලයේදී සත්‍යයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ යුදෙව් හා අන්‍යජාතික යන දෙපිරිසම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් බවට පත් වුණේ කොහොමද?

16 අවුරුදු ගණනාවකට පසු පාවුල් පැවසුවේ මෙසේයි. “පළමුවෙන්ම දමස්කයේ සිටි අයටද, ඉන්පසු යෙරුසලමේද, මුළු යුදය ප්‍රදේශය පුරා සිටි අයටද, අන්‍යජාතීන්ටද, පසුතැවිලි වී, දෙවි වෙතට හැරී, පසුතැවිලි වූ බව පෙන්වන ක්‍රියාවන් කළ යුතුයයි ප්‍රකාශ කළෙමි.” (ක්‍රියා 26:20) යේසුස් ක්‍රිස්තුස් පොරොන්දු වූ ගැලවුම්කරු බව යුදෙව්වන්ට හා අන්‍යජාතිකයන්ට ඒත්තුගැන්වීමෙන් පසු කැපවීම හා බව්තීස්මය කරා යොමු වීමට පාවුල් ඔවුන්ට උපකාර කළා. (ක්‍රියා 16:14, 15, 31-33; 17:3, 4; 18:8) දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් මේ අයද අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් බවට පත් වුණා.

17. දැන් අවසන් වේගෙන යන්නේ කුමන ‘මුද්‍රා කිරීමේ’ කාර්යයද? ඒත් සමඟම කඩිනමින් සිදු කෙරෙමින් පවතින අනිත් කාර්යය කුමක්ද?

17 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ස්වර්ගයේ ජීවිතයට සුදුසුයි කියා ‘මුද්‍රා කරන’ කාලය ළඟයි. ඔවුන් සියල්ලන්වම සුදුස්සන් ලෙස තීන්දු කළ පසු ‘මහත් පීඩාවේ’ විනාශකාරී සුළං මුදා හැරීමට ‘දේවදූතයන් සතරදෙනාට’ අණ ලැබෙනවා. ඒ අතර පවතින මෙම කෙටි කාලයේදී මිහිපිට සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති ‘මහත් සමූහයව’ එක්රැස් කිරීමේ කාර්යය කඩිනමින් සිදු කෙරෙනවා. මෙම ‘වෙනත් බැටළුවන්’ ‘බැටළු පැටවාගේ රුධිරය’ කෙරෙහි ඇදහිල්ල දක්වන්න කැමැත්තෙන්ම තීරණය කර තිබෙන අතර යෙහෝවා දෙවිට වන තම කැපවීම සංකේතවත් කරමින් බව්තීස්ම වෙනවා. (එළිදරව් 7:1-4, 9-15; 22:17; යොහන් 10:16; මතෙව් 28:19, 20) ඔවුන් අතර සත්‍යය තුළ තම දෙමාපියන් විසින් ඇතිදැඩි කර ඇති යෞවන යෞවනියන් බොහෝදෙනෙක්ද සිටිනවා. ඔබත් එවැනි කෙනෙක් නම්, ඊළඟ ලිපිය උනන්දුවෙන් කියවීමට ඔබට ඇරයුම් කරමු.

[පාදසටහන]

^ 15 ඡේ. වර්ෂ 2003 මැයි 15වන මුරටැඹ කලාපයේ 30-1 දක්වා පිටු බලන්න.

පුනරීක්ෂණය

• දෙවිට පෞද්ගලිකව කැපවෙන්නට ඊශ්‍රායෙල් දරුවන්ට අවශ්‍ය නොවුණේ ඇයි?

• ඊශ්‍රායෙල්වරුන් තම කැපවීමට එකඟව ජීවත් වන බව පෙන්නුම් කළේ කෙසේද?

• තමාගේ කැපවූ ජාතියව සිටි ඊශ්‍රායෙල් සෙනඟව යෙහෝවා දෙවි ප්‍රතික්ෂේප කළේ ඇයි? ඔවුන් වෙනුවට බිහි වුණ ජාතිය විස්තර කරන්න.

• ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ සිට අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වීම සඳහා යුදෙව්වන්ගෙන් හා අන්‍යජාතිකයන්ගෙන් බලාපොරොත්තු වුණේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල් දරුවන් ඉපදුණේ දෙවිගේ තෝරාගත් ජාතියේ සාමාජිකයන් ලෙසටයි

[23වන පිටුවේ පින්තූරය]

සෑම ඊශ්‍රායෙල්වරයෙකුටම සිදු වුණා දෙවිට සේවය කිරීම සඳහා පෞද්ගලිකවම තීරණයක් ගන්න

[23වන පිටුවේ පින්තූරය]

තමන් දෙවිට ප්‍රේම කරන බව පෙන්නුම් කිරීමට කැමැත්තෙන්ම ඔප්පු කළ පූජා හොඳ ප්‍රස්තාවක් උදා කළා

[25වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසින් පසු යේසුස්ගේ අනුගාමිකයන් දෙවිට පෞද්ගලිකව කැපවී බව්තීස්ම වීම අවශ්‍ය වුණා