වෙනසක් කළ බැහැදැකීමක්
වෙනසක් කළ බැහැදැකීමක්
“දෙවි මාව බලන්න එවපු ‘දේවදූතයෝ’ දෙන්නා ගැන මගේ දරුවන්ට කියන කල් මට ඉවසිල්ලක් නැහැ.” යෙහෝවාගේ සාක්ෂිකාරියන් දෙදෙනෙක් ගැන එක්තරා පුද්ගලයෙක් ලිව්වේ එහෙමයි. මේ තරුණ සාක්ෂිකාරියන් දෙදෙනා ඔහුව හමුවෙද්දී, අවුරුදු 45ක් පුරා ඔහු සමඟ සිටි ඔහුගේ බිරිඳ මිය ගිහින් ගත වී තිබුණේ සති කිහිපයක් විතරයි. ඔහුට හැම දෙයක්ම එපාවෙලයි තිබුණේ. ඔහුගේ දරුවෝ ඔහුව සනසන්න නොකරපු දෙයක් නැහැ. ඒත් ඔවුන් හිටියේ හුඟක් දුර පළාතකයි. යාළුවෙක්වත් අසල්වැසියෙක්වත් ඔහුව බලන්න ආපු නැති නිසාත් ඔහුට ලොකු පාළුවක් දැනුණා.
මේ තරුණ සාක්ෂිකාරියන්ට ඔහු මෙහෙම කිව්වා “දෙවි මා ගැන සලකන්නේ නැහැ කියලා හිතුණ නිසා දෙවිට යාච්ඤා කරන එකත් මට එපා වෙලයි තියෙන්නේ.” මේ පුද්ගලයා ඉන්න තත්වය ගැන දුක් වූ මේ දෙදෙනා ආපසු ගියේ මියගිය ප්‍රේමනීයයන්ට ඇති බලාපොරොත්තුව කුමක්ද? යන පත්‍රිකාව ඔහුට දීමෙන් පසුවයි. එදා හැන්දෑවෙම එය කියෙවූ ඔහුට දැනුණේ කියාගන්න බැරි තරම් ලොකු සැනසිල්ලක්.
ටික දවසකට පසු මේ සාක්ෂිකාරියන් දෙදෙනා නැවතත් ඔහුව බලන්න ආවා. කලින් වතාවේ එද්දී ඔහු කොතරම් දුකෙන්ද හිටියේ කියලා ඔවුන්ට මතකයි. ඔවුන්ට ඕන වුණේ ඔහුගේ සුව දුක් දැනගන්නයි. “මාව අඳුරන්නේවත් නැති දෙන්නෙක් මේ තරම් මං ගැන සැලකිල්ලක් දක්වපු එක ගැන මට හිතාගන්නවත් බැහැ” කියලා ඔහු ලියනවා. බයිබලයෙන් ඔවුන් පෙන්වපු දේවල් ඔහුට ලොකු දිරිගැන්වීමක් වුණා. ඔහුව බලන්න නැවත එනවා කියාත් පොරොන්දු වුණා. බොහෝ සෙයින් සතුටට පත් වුණ ඔහු ඒ ප්‍රදේශයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ලිපියක් ලිව්වා. අපි මුලින්ම ලියූ වචන ගත්තේ ඒ ලිපියෙනුයි.
තම පුතා සිටින ප්‍රදේශයට පදිංචියට යෑමට පෙර ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි රැස්වීමකට සහභාගි වුණා. ඉන්පසුව මුලින් ඔහුගේ නිවසට පැමිණි සාක්ෂිකාර තරුණියකගේ පවුලේ අය ඔහුට කෑමකට ආරාධනා කළා. අන්තිමට ඔහු ලියන්නේ මෙහෙමයි “මට මේ ප්‍රදේශය අත්හැර යන්න වෙලා. ඒත් ඒ ළමයි දෙන්නාවත් ඔයාලාගේ පල්ලියවත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම දැන් දෙවිට ගොඩක් යාච්ඤා කරනවා. ඒ ළමයි දෙන්නා මගේ ජීවිතේ ලොකු වෙනසක් කළා. මගේ ජීවිතේ තියෙන කල්ම මම එයාලට ස්තුතිවන්ත වෙනවා.”