Skip to content

පටුනට යන්න

සත්‍යය ඇති තැන

සත්‍යය ඇති තැන

සත්‍යය ඇති තැන

ඒ 1810 දෙසැම්බර් 18වන දිනයි. ගනඳුර අවට පරිසරය වෙළා ගනිමින් තිබූණා. ස්කොට්ලන්තයේ ගිනිකොන දිග වෙරළට කිට්ටුවෙන් කුණාටු සහිත මුහුදේ යාත්‍රා කරමින් තිබූ නැවක් යා යුතු මඟ නොදැන අතරමං වී තිබුණා. ඒ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් පැලස් නම් යුද නෞකාවයි. ගනඳුර හා දැඩි හිමපතනය නිසා ඒ නාවිකයන් තව තවත් අසරණ වූ අතර, ප්‍රදීපාගාරවලින් නික්මෙන ආලෝකය පවා ඔවුන්ට දැකගත නොහැකි වුණා. ටික වෙලාවකට පසු ඔවුන් දුටු එළියක් නිසා නැවතත් බලාපොරොත්තු ඇති කරගත් නැවියන් ඒ දෙසට යාත්‍රා කරන්න පටන්ගත්තා. නමුත් ඒ එළිය නික්මුණේ ප්‍රදීපාගාරයකින් නම් නෙවෙයි. එය නික්මුණේ අසල වෙරළබඩ තීරයේ සිටි කම්කරුවන් උණුසුම් වීම සඳහා ගසා තිබූ ගිනි මැළවලිනුයි. ඒ කරා යාත්‍රා කළ පැලස් නෞකාව නොගැඹුරු මුහුදේ පිහිටි පර්වතවල ගැටීමෙන් සම්පූර්ණයෙන්ම මුහුදුබත් වුණා. කනගාටුවට කරුණක් නම් නැවියන් 11දෙනෙකුගේ ජීවිතද ඉන් නැතිවීමයි.

පැලස් නෞකාව මෙම ඛේදවාචකයට ගොදුරු වුණේ වැරදි මඟක ගමන් කළ නිසයි. නමුත් ඇතැම් නැවියන් ඊටත් වඩා දරුණු අනතුරුවලට මුහුණ දී තිබෙනවා. සමහරක් කොල්ලකරුවන් ප්‍රදීපාගාරයකින් නිකුත් වන එළියට සමාන ව්‍යාජ එළි දල්වා නැවියන්ව මුළා කරන්න තැත් කර තිබෙනවා. මෙවැනි ආලෝකවලට මුළා වන නැවියන් තම නැව් පර්වතවලින් ගහන නොගැඹුරු මුහුද දෙසට යාත්‍රා කිරීම නිසා ඒවා අනතුරුවලට ලක් කරගන්නවා. එවිට කොල්ලකරුවන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.—Wreck, Wrecker and Rescuers.

‘ගැලවීමේ මාර්ගය ඉගෙනගත හැකි ශුද්ධ ලියවිලි’

සත්‍යය සොයා යන ගමනේදීත් ඒ නැවියන් හා සමානව ඔබත් අනතුරුවලට ලක් විය හැකියි. මුළාකරවනසුලු තොරතුරුවලට හෝ හිතාමතාම නොමඟ යැවීමට දරන උත්සාහයකට ඔබව හසු විය හැකියි. එයින් ආරක්ෂා වීමට කුමක් කළ යුතුද? සත්‍යය සොයාගන්න නම් විශ්වාසවන්ත මඟ පෙන්වීමක් ලබාගත යුතුයි. විශ්වාසවන්ත මඟ පෙන්වීම් ලබාගත හැකි හොඳම මාධ්‍යය වන්නේ දෙවිගේ ශුද්ධ වූ වචනය වන බයිබලයයි. දැනට අවුරුදු 125කටත් වැඩි කාලයක් පුරා පළ වන මෙම සඟරාව දෙවිගේ වචනය වන බයිබලය නිවැරදි බවට සාක්ෂි සපයනවා. එයට හේතුව “ගැලවීමේ මාර්ගය ඉගෙනගත” හැක්කේ මෙම ශුද්ධ ලියවිලි තුළින් පමණක් වන නිසයි.—2 තිමෝති 3:15-17, නව අනුවාදය.

විශ්වාසවන්ත මඟ පෙන්වීම් ඇත්තේ බයිබලයේ කියා අපට තහවුරු කරගන්න නම් මුලින්ම ඊට සාක්ෂි සොයා බැලිය යුතුයි. (ගීතාවලිය 119:105, හිතෝපදේශ 14:15) බයිබලය ඇත්තෙන්ම දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියන ලද පොතක් බව තහවුරු කරගැනීම සඳහා මිලියන ගණනකට උපකාර වී තිබෙන තොරතුරු ලබාගන්න ඔබත් කැමති නම් මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න ඔබට හැකියි. නිදසුනකට සියලුම ජනයා සඳහා පොතක් යන ප්‍රකාශනය ලබාගෙන කියවන්න ඔබට පුළුවන්. * ශුද්ධ ලියවිල්ල වන බයිබලය නිවැරදි, විශ්වාසවන්ත මෙන්ම දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියන ලද පොතක් බවට සාක්ෂි රැසක් එහි ඇතුළත් වෙනවා.

මූලික සත්‍යයන් කිහිපයක්

මෙම ‘ශුද්ධ ලියවිල්ලේ’ සඳහන් මූලික සත්‍යයන් කිහිපයක් අපි දැන් සොයා දැනගනිමු.

සිටින්නේ සියලුම දේවල් නිර්මාණය කළ එකම සර්වබලධාරී දෙවිකෙනෙක් පමණයි. (උත්පත්ති 1:1) අප ජීවත්ව සිටින්නේ ‘[දෙවි] සියල්ල මවා’ අපට ජීවිතය දුන් නිසයි. (එළිදරව් 4:11) අපගේ නමස්කාරය ලබන්න වටින එකම තැනැත්තාද ඔහුයි. සත්‍යය ලැබෙන්නේද අපගේ මැවුම්කරු වන ඔහුගෙන් පමණයි. (ගීතාවලිය 36:9; යෙසායා 30:20, 21; 48:17, 18) ඔහුට නාමයක්ද තිබෙනවා. ඒ නමින් ඔහුව අමතනවාටත් දෙවි කැමතියි. (නික්මයාම 3:15) මෙම නාමය බයිබලයේ 7,000 වාරයක් පමණ දකින්න ලැබෙන අතර එය දැක්වීමට භාවිත කරන හෙබ්‍රෙව් අක්ෂර සතර ය්හ්ව්හ් යන සිංහල අක්ෂරවලින් දැක්විය හැකියි. එනමුත් සියවස් ගණනාවක් පුරා එම අක්ෂර පදනම් කරගත් “යෙහෝවා” යන නාමය සිංහලෙන් ප්‍රචලිත වී තිබෙනවා.—ගීතාවලිය 83:17.

යෙහෝවා දෙවි මිනිසාව මැව්වේ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙන්නයි. දෙවිට තිබෙන උතුම් ගුණාංග පිළිබිඹු කිරීමේ හැකියාවද ඔවුන්ට දානය කළා. මිහිපිට සතුටින් පිරී ජීවිතයක් ගත කිරීමට දායක වන විවිධ හැකියාවන්ද මිනිසාට ලබා දුන්නා. (උත්පත්ති 1:26-28) බොහෝදෙනෙක් සිතන්නේ දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගත හැක්කේ ස්වර්ගයේ සිටින අයට පමණක් බවයි. ඒ නිසා මේ පොළොව මවා තිබෙන්නේ තාවකාලික වාසස්ථානයක් ලෙසටත් මිනිසාව ස්වර්ගයට ගන්න පෙර ඔවුන්ව පරීක්ෂා කිරීම සඳහා තිබෙන ස්ථානයක් ලෙසටත් කියා ඔවුන් සිතනවා. මෙවැනි අදහස් දෙවි පොළොව සම්බන්ධයෙන් අරමුණු කර ඇති දේට පටහැනියි.

දෙවි මිනිසාව නිර්මාණය කරද්දී ඔවුන් තුළ කිසිම නපුරක් තිබුණේ නැහැ. මෙලොවේ නපුර ඇති වුණේ මිනිසා සහ දේවදූතයන් කිහිපදෙනෙක් තමාට ලබා දී තිබුණු නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගෙන දෙවිට විරුද්ධව කැරලි ගැසූ විටයි. (ද්විතීය කතාව 32:5) අපගේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒව දෙවිගේ මඟ පෙන්වීම් නැතුව හරි වැරැද්ද තෝරාගන්න තමන්ටම හැකි බව තීරණය කළා. (උත්පත්ති 2:17; 3:1-5) එහි ප්‍රතිඵලය වුණේ මිනිස් සංහතියටම මරණය උරුම වීමයි. (උත්පත්ති 3:19; රෝම 5:12) දෙවිට විරුද්ධව කැරලි ගැසූ අය එල්ල කළ චෝදනා බොරු ඒවා බව ඔප්පු කිරීමට දෙවි යම් කලකට දුෂ්ටකම පැවතීමට ඉඩ හැරියා. නමුත් මිනිසා සහ මේ පොළොව සම්බන්ධයෙන් ඔහුගේ අරමුණ වෙනස් වී නැහැ. (යෙසායා 45:18) ඉදිරියේදී පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව මිනිසාට උදා වෙයි.—මතෙව් 6:10; එළිදරව් 21:1-5.

යේසුස් ක්‍රිස්තුස් සර්වබලධාරී දෙවි නොව දෙවිගේ පුත්‍රයායි. යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූයේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා” කියා යාච්ඤා කරන්නයි. (මතෙව් 6:9) තමා දෙවිට සමාන බව කිසිවිටකත් නොපැවසූ ඔහු යටහත්ව පිළිගත්තේ “පියාණන් මට වඩා උතුම්” බවයි.—යොහන් 14:28.

දෙවිගේ අරමුණ ඉටු කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරන්නේ යේසුස් විසිනුයි. දෙවි ඔහුව ලෝකයට ‘ආලෝකයක් සේ එව්වේ තමා කෙරෙහි ඇදහිල්ල තබන සියල්ලන් අන්ධකාරයෙහි නොපවතින පිණිසයි.’ (යොහන් 12:46) පේතෘස් කියන්නේ “වෙන කිසිවෙකු තුළ ගැලවීම නැත” කියායි. (ක්‍රියා 4:12) මෙයට හේතුව අපට ගැලවීම ලැබෙන්නේ යේසුස්ගේ අනර්ඝ වූ රුධිරය මාර්ගයෙන් පමණක් වන නිසයි. (1 පේතෘස් 1:18, 19) ආදම් සහ ඒව නිසා මිනිස් සංහතියට උරුම වූ පාපයෙන් මිනිසාව මුදාගැනීමට යේසුස් තම ජීවිතය පූජා කළා. (මතෙව් 20:28; 1 තිමෝති 2:6) දෙවි තම අරමුණ හා තමන් ඉටු කිරීමට බලාපොරොත්තු වන දේද එළිදරව් කළේ යේසුස් මාර්ගයෙනුයි.—යොහන් 8.12, 32, 46, 47; 14:6; ක්‍රියා 26:23.

දෙවිගේ රාජ්‍යයක් එනම් ආණ්ඩුවක් ස්වර්ගයෙහි පිහිටුවා තිබෙනවා. එහි රජකම භාර දී ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්ට සහ පොළොවෙන් තෝරාගත් පිරිසකටයි. මුළු බයිබලයේම ප්‍රධාන තේමාව මෙයයි. තමන් අරමුණු කරන දේ ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද ඉටු කිරීමට දෙවි භාර දී තිබෙන්නේ මේ ආණ්ඩුවටයි. (මතෙව් 6:10) දෙවිගේ මුල් අරමුණ වුණේ මිනිසාව පොළොවේ පදිංචි කරවීම මිස යම් පිරිසක්ව ස්වර්ගයට ගැනීම නෙවෙයි. නමුත් මිනිසුන් පව් කළ නිසා දෙවි තම අරමුණට අලුත් යමක් එකතු කළා. යේසුස් සමඟ ස්වර්ගයෙහි “රජකම් කිරීමට” “සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද වූ මිනිසුන්ව” තෝරාගැනීමට ඔහු සැලසුම් කළා. (එළිදරව් 5:9, 10) එම රාජ්‍යය නොබෝ කලකින් මිනිසාට මෙතරම් දුකක් ඇති කර ඇති සියලුම පාලන ක්‍රම “කැබලි කොට නාස්ති කර සදාකාලේටම” පවතිනවා.—දානියෙල් 2:44.

මරණින් පසු සිරුරෙන් බැහැරව ජීවත් වන යමක් නැහැ. මෙම වැදගත් වූ බයිබල් සත්‍යය තේරුම්ගන්නා විට මිනිසා සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකියි. මරණින් පසු සිදු වන දේ පිළිබඳව පවතින වියවුල්සහගත අදහස්වලින් මිදෙන්නටත් පුළුවන්.

බයිබලයේ දේශනාකාරයා 9:5, 10හි පවසන්නේ මෙසේයි. “ජීවත් වන්නෝ තමන් නසින බව දනිති. එහෙත් මළාහු කිසිවක් නොදනිති. . . . ඔබ යන මිනීවළේ ක්‍රියාවක්වත් උපායක්වත් දැනගැන්මක්වත් ප්‍රඥාවක්වත් නැත.” මෙයින් අදහස් කරන දේ ඔබට පැහැදිලි වුණාද? මරණින් පසු සිරුරෙන් බැහැර වී දිගටම ජීවත් වන කිසිම දෙයක් නැහැ. මිනිසා මියයද්දී ඔහු ‘ධූලියට හැරී යනවා’ පමණයි.—උත්පත්ති 3:19.

මියගිය අය නැවත ජීවත් කරවන්නේ නැවත නැඟිටීමක් තුළිනුයි. දුෂ්ටකම පැවතීමට දෙවි තාවකාලිකව ලබා දී තිබෙන කාලය නිම වන විට “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට යහපත් දේ කළ අය ජීවනය සඳහා නැවත නැඟිටීමකටද, පිළිකුල් දේ කළ අය විනිශ්චය සඳහා නැවත නැඟිටීමකටද පිටතට එන්නෝය.” (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) නැවත නැඟිටින අය ජීවත් වෙන්නේ පාරාදීස පොළොවකයි. ඔවුන් භුක්ති විඳින්නේ දෙවි මුලින්ම මිනිසා සඳහා අරමුණු කළ ආකාරයේ ජීවිතයක්.

දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කරමු

මෙවන් සත්‍යයන් ගැන දැනුවත් වීම ඔබට ආරක්ෂාවක් වන ආකාරය පැහැදිලි වුණාද? එවැනි දැනුමකට පුළුවන් මේ අසීරු කාලවලදී සාතන් විසින් පතුරුවා හරින ‘බොරුවෙන් කියන දැනගැන්මෙන්’ ඔබව ආරක්ෂා කිරීමට. ඔහු ‘ආලෝකයේ දූතයෙක්’ ලෙස වෙස් වලාගෙන සිටින අතර ඔහුගේ නියෝජිතයනුත් “ධර්මිෂ්ඨකමේ සේවකයන් මෙන් පෙනී” සිටිනවා. (1 තිමෝති 6:20; 2 කොරින්ති 11:13-15) ‘යෙහෝවා දෙවිගේ වචනය එපා කර ඇති’ මේ ලෝකයේ ‘ප්‍රඥාවන්තයන්ගේ හා බුද්ධිමතුන්ගේ’ මතිමතාන්තර මත පදනම් වූ ව්‍යාජ තොරතුරුවලින් ඔබව ආරක්ෂා කිරීමට මෙම නිවැරදි දැනුමට හැකියි.—මතෙව් 11:25, යෙරෙමියා 8:9.

බයිබල් ලේඛක යොහන් ජීවත් වූ කාලයේ නොයෙකුත් මුළා කරවනසුලු දර්ශන හා මතවාද ප්‍රචලිත වී තිබුණු නිසා ඔහු එදා සිටි ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟවූයේ මෙසේයි. “ආනුභාව ලත් සෑම ප්‍රකාශයක්ම විශ්වාස නොකර, ඒ ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බලන්න.” (1 යොහන් 4:1) ඔබේ ජීවිතයට බොහෝ සෙයින් බලපාන පණිවිඩයක් ලැබුණායයි සිතන්න. එය පැමිණුණේ විශ්වාසවන්ත කෙනෙකුගෙන් කියා බැලූ බැල්මට පෙනෙන්න තිබුණත් එය භාරගන්න ඔබ කැමති වෙයිද? එය භාරගැනීමට පෙර ඔබ ඒ ගැන හොඳින් සොයා බලනවාට සැකයක් නැහැ.

සත්‍යය සොයා යන ගමනේදී හොඳ සෝදිසියක් කිරීමට ඔබටත් පුළුවන්. ඔබ දැනගත යුතු වැදගත් සත්‍යයන් ඇතුළත් පොතක් සැපයීමෙන් දෙවි එම අවශ්‍යතාව සපුරා තිබෙනවා. එමනිසා ඔබ ලබාගන්නා මඟ පෙන්වීම් විශ්වාසවන්ත ඒවාද කියා “සෝදිසි කර” බලන්න ඔබට පුළුවන්. (1 තෙසලෝනික 5:21) මුල් සියවසේ සිටි පිරිසක් “දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා” කළේ තමන් ඉගෙනගන්නා දේ සත්‍යයද කියා සහතික කරගැනීමටයි. ඔවුන් දැරූ ප්‍රයත්නය නිසා ඔවුන්ට ප්‍රශංසා කරනු ලැබුවා. (ක්‍රියා 17:11) ඔබටත් එවැනි සෝදිසියක් කළ හැකියි. ශුද්ධ වූ බයිබලය විශ්වාසවන්ත මඟ පෙන්වීමක් ලබා දෙමින් ‘අඳුරු තැනක බැබළෙන පහනක් මෙන්’ ක්‍රියා කරයි. (2 පේතෘස් 1:19-21) ඔබ එහි මඟ පෙන්වීම් පිළිගන්නවා නම් සත්‍යාලෝකය ලබා දෙන “දෙවි ගැන දැනගැන්ම” ඔබට ලැබෙනවා නොඅනුමානයි.—හිතෝපදේශ 2:5.

[පාදසටහන]

^ 6 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[4වන පිටුවේ පින්තූරය]

දේවවචනය වන බයිබලය පහනක් මෙනි

[5වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නාමය කුමක්ද?

[5වන පිටුවේ පින්තූරය]

මිනිසාට ඇත්තේ මොන වගේ අනාගතයක්ද?

[6වන පිටුවේ පින්තූරය]

යේසුස් ක්‍රිස්තුස් සර්වබලධාරී දෙවිද?

[6වන පිටුවේ පින්තූරය]

මරණින් පසු සිදු වන්නේ කුමක්ද?

[7වන පිටුවේ පින්තූරය]

මියගිය අය නැවත නැඟිටින බව බයිබලයේ උගන්වා ඇති මූලික සත්‍යයක්