Skip to content

පටුනට යන්න

සත්‍යය සොයා

සත්‍යය සොයා

සත්‍යය සොයා

සමහරුන් සිතන්නේ යම් කාරණා ගැන නොදැන සිටීම තමන්ට ආරක්ෂාවක් කියායි. නමුත් අවබෝධය නැතිකම හෙළා දකිමින් නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ එන්රීකෝ ෆෙර්මිගේ බිරිඳ වන ලෝරා ෆෙර්මි පැවසුවේ “දැනුම හා අවබෝධය ලබාගැනීම ඉතා වැදගත් දෙයක්” බවයි. ඇය කියූ දේ සැබෑවක් බව විද්‍යා ගවේෂණවලදී පමණක් නොව ජීවිතයේ හැම ක්ෂේත්‍රයකදීම ඔප්පු වී තිබෙනවා. අවබෝධය නොමැති නිසා සියවස් ගණනාවක් පුරාම මිනිසුන් අඳුරේ අත පතගාමින් කාලය ගෙවා තිබෙනවා.—එෆීස 4:18.

එම අඳුරෙන් මිදී සත්‍යය සෙවීමට සමහරුන් තැත් කර ඇත්තේ ඒ නිසයි. මිනිසුන් ජීවත් වන්නේ ඇයි හා මේ ජීවිතයට වඩා දෙයක් තිබෙනවාද යන්න ඔවුන්ට ප්‍රහේලිකාවක් වුණා. එවන් ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් මිනිසුන් විවිධ මාර්ගයන් ඔස්සේ ගවේෂණය කර තිබෙනවා. මින් සමහරක් සලකා බලමු.

ආගම දහමෙන්?

බෞද්ධ දර්ශනය මුලින්ම අවබෝධ කරගත්තේ සිදුහත් කුමරුයි. ඊට පෙර මිනිසුන් විඳින දුක සහ මරණය දැක සිදුහත් කුමරු ජීවිතය ගැන කලකිරුණු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. “සත්‍යය” අවබෝධ කරගැනීමේ අදහසින් සිදුහත් කුමරු තම ගුරුවරුන්ගෙන් උපකාර ඉල්ලා සිටියා. ඉන් සමහරෙක් විවිධ භාවනා ක්‍රමවල යෙදෙන්න කියා යෝජනා කළ අතර තවත් අය පැවසුවේ තපස් ජීවිතයක් ගත කිරීම එයට මඟ කියායි. එහෙත් සත්‍යය අවබෝධ කරගැනීමට මඟ ලෙස සිදුහත් කුමරු තෝරාගත්තේ ගැඹුරින් භාවනාවේ යෙදීමයි.

විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සත්‍යය සෙවීමට ඇතැම් ආගමික කණ්ඩායම් උත්සාහ කර තිබෙනවා. නිදසුනකට අමෙරිකානු ආදීවාසීන් අතර පියෝටි නම් ආගමක් තිබෙනවා. එහි සාමාජිකයන් පියෝටි නම් පතොක් වර්ගයේ අඩංගු යම් ද්‍රව්‍යයක් භාවිත කරනවා. එය ගත් කෙනෙකුට සාමාන්‍යයෙන් දේවල් මැවී පෙනෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ එමගින් යම් “රහස්‍යමය දේවල් හෙළිදරව්” වන බවයි.

දහඅටවන සියවසේ විසූ ප්‍රංශ දර්ශනවාදී ජොන්-ජාක් රොසෝ පැවසුවේ අවංකව අයදින ඕනෑම කෙනෙකුට දෙවියන් පෞද්ගලිකව කාරණා හෙළිදරව් කරන බවයි. දෙවියන් එසේ පවසන දේ “සිතට දැනෙන” බව ඔහු කියනවා. තමාගේ සිත කියන දේට අනුව ක්‍රියා කිරීමෙන් “විවිධාකාරයේ මිනිස් මතවලින් වියවුල් වූ මෙම ලෝකයේදී විශ්වාසවන්ත මඟ පෙන්වීමක් ලබාගැනීමට” එවැනි කෙනෙකුට හැකි බව ඔහුගේ අදහසයි.—History of Western Philosophy.

බුද්ධිය දියුණු කිරීමෙන්?

රොසෝගේ කාලයේ සිටි විද්වතුන් බොහෝදෙනෙක් ඔහුගේ ආගමික මතය තරයේ හෙළා දුටුවා. ආගම මිනිසුන්ට සත්‍යය හෙළිදරව් කරනවා වෙනුවට මුළු යුරෝපයම සියවස් ගණනාවක් පුරාම අනාවබෝධය, මිථ්‍යා විශ්වාස සහ භීෂණය නමැති අන්ධකාරයේ සිරකර තැබීමට දායක වූ බව ප්‍රංශ ජාතික වොල්ටෙයාර් විශ්වාස කළා. යුරෝපයේ එම යුගය දැන් ඉතිහාසඥයන් විසින් උචිත ලෙස හඳුන්වනු ලබන්නේ අඳුරු යුගය ලෙසයි.

වොල්ටෙයාර් යුරෝපීය බුද්ධිමතුන්ගෙන් සෑදුණු සංගමයක සාමාජිකයෙකු වූ අතර ඔවුන් පුරාණ ග්‍රීකවරුන් දැරූ මත හැදෑරුවා. මේ අනුව ඔවුන් විශ්වාස කළේ සත්‍යය සෙවීමට නම් මිනිසා තම බුද්ධිය දියුණු කරගනිමින් විද්‍යාත්මක සොයාගැනීම්වල නිරත විය යුතු බවයි. එසේ කිරීමෙන් “අන්ධකාරයෙන් වෙළී ගිය සියවස් ගණනාවකින් සමුගෙන දිනෙන් දින සත්‍යයෙන් ආලෝකවත් වන සියවසකට” පිය නඟන්න මුළු මිනිස් සංහතියටම හැකි වන බව සංගමයේ තවත් සාමාජිකයෙකු වූ බෙර්නා ද ෆොන්තනෙල්ට හැඟුණා.—Encyclopædia Britannica.

සත්‍යය සෙවිය යුතු ආකාරය පිළිබඳව එකිනෙකට පටහැනි මත රාශියක් මිනිසුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. අප සලකා බැලුවේ ඉන් කිහිපයක් පමණයි. නමුත් සත්‍යය සෙවීම සඳහා අප දරන වෑයමට “විශ්වාසවන්ත මඟ පෙන්වීමක්” ලබාගැනීමට මඟක් තිබෙනවාද? ඒ පිළිබඳව ඊළඟ ලිපියේ සඳහන් තොරතුරු සලකා බැලීමට අපි ඔබට ඇරයුම් කරන්නෙමු.

[3වන පිටුවේ පින්තූර]

සිදුහත් කුමරු, රොසෝ සහ වොල්ටෙයාර් සත්‍යය සොයා විවිධ මාර්ග ඔස්සේ ගියා