“සමුගන්න පෙර මා ලැබූ හොඳම අද්දැකීම”
“සමුගන්න පෙර මා ලැබූ හොඳම අද්දැකීම”
“අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එකිනෙකා සමඟ සහයෝගයෙන් හා අවංකව කටයුතු කර තිබෙනවා. මේ සියල්ලටම වැඩියෙන් කැපීපෙනෙන්නේ ඔවුන්ගේ බිඳිය නොහැකි ඇදහිල්ලයි.” එසේ කිව්වේ ස්පාඤ්ඤයේ උසස් පාසැලක ගුරුවරයෙක්. දෙවි කෙනෙක් කෙරෙහි විශ්වාසය නොතබන ඒ ගුරුවරයා එසේ කියන්න පෙලඹුණේ ඇයි?
එයට හේතුව අපි දැන් සලකා බලමු. යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන නාඕමි උසස් පාසැල් ශිෂ්‍යාවක්. පාසැලේදී ඇය පෙනී සිටි අවසාන විභාගයේදී රචනාවක් ලිවීමට පැවරී තිබුණා. මේ සඳහා ඇය තෝරාගත්තේ නාට්සි පාලනයේ ගාල් කඳවුරුවල හිර කළ යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන විෂයයි.
ඇය එවැනි විෂයක් තෝරාගත්තේ ඇයි? නාඕමි මෙහෙම කියනවා. “ජර්මනියේ නාට්සි පාලනය යටතේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දරුණු පීඩා හමුවේ වුණත් බයිබලයේ ප්‍රතිපත්ති කඩ නොකර විඳදරාගෙන සිටි ආකාරය මගේ සිතට ගොඩක් කාවැදුණා. ඉතින් මම හිතුවා ඒක මට වගේම අනිත් අයටත් කාවදී කියලා. ඒක මගේ ගුරුවරයාටත් සාක්ෂියක් දෙන්න හොඳ අවස්ථාවක් වෙයි කියලාත් මම හිතුවා.”
ඇයගේ රචනාව ඇය සිතුවාටත් වඩා වැඩිදෙනෙකු තුළ ලොකු බලපෑමක් ඇති කළා. වර්ෂ 2002 ඔක්තෝබර් 5 වැනිදා ජාතික මට්ටමින් පැවති තරඟයකදී ඇය ලියූ රචනාව සඳහා ත්‍යාගයක් ලැබුණා. ඒ තරඟය සඳහා ත්‍යාග පිරිනැමුවේ ස්පාඤ්ඤයේ ප්රමුඛ පෙළේ සරසවිවල සිටි විද්වතුන් 20දෙනෙකුගෙන් යුත් කමිටුවකිනුයි.
නාඕමිට ඇගේ ත්‍යාගය ලැබුණේ ස්පාඤ්ඤයේ අධ්‍යාපන අමාත්‍යවරිය වූ පීලාර් දෙල් කාස්ටියෝ අතිනුයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි පීඩා හමුවෙහි ස්ථිරව යන වීඩියෝ පටය ඒ අමාත්‍යවරියට දෙන්න ඇය මෙය අවස්ථාවක් කරගත්තා. ඇය එය සතුටින් බාරගත්තා.
නාඕමිගේ ගමේ පළ වන පුවත්පතක ඇයට ලැබුණ ජයග්‍රහණය ගැන වගේම රචනාවේ පළ වූ දේ පිළිබඳවත් සඳහන් කළා. ඒ වගේම ඇයගේ පාසැලේ 75වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනට ඇතුළත් කිරීම සඳහා ඒ රචනාවේ පිටපතක් ඇගේ විදුහල්පති ඇයගෙන් ඉල්ලා සිටියා.
අවසානයේදී ඇය පවසන්නේ මෙහෙමයි. “පාසැල් ජීවිතයෙන් සමුගන්න පෙර මා ලැබූ හොඳම අද්දැකීම ඒකයි. මගේ ගුරුතුමා වන හෝර්හා ටූමාස් කාලෝට් මහතා මගේ රචනාව ගැන හැඳින්වීමක් දෙමින් කී මේ වචන නිසා මම ප්‍රීතියෙන් ඉපිල ගියා.
ඔහු කිව්වේ “මම දෙවි කෙනෙක්ව විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. නමුත් ‘අසල්වාසීන්ට සැබෑ ප්‍රේමයක් පෙන්වන්න’ තම නමස්කාරකයන්ව පොලඹවන ශ්‍රේෂ්ඨ බලවතෙක් කොහේ හරි ඉන්නවා කියලා මට දැන් පිළිගන්න සිදු වෙලා තියෙනවා” කියායි.