Skip to content

පටුනට යන්න

ඊශ්‍රායෙල්වරුන් ගැන බයිබලයට අමතරව තිබෙන සාක්ෂියක්

ඊශ්‍රායෙල්වරුන් ගැන බයිබලයට අමතරව තිබෙන සාක්ෂියක්

ඊශ්‍රායෙල්වරුන් ගැන බයිබලයට අමතරව තිබෙන සාක්ෂියක්

ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි කෞතුකාගාරයේ තිබෙන ගල් පුවරුවක පාරාවෝ මනප්තා නම් රජ ලැබූ ජයග්‍රහණයක් ගැන සඳහන් වෙනවා. විද්වතුන්ගේ ගණන් බැලීම්වලට අනුව, දෙවන රාමසීස් රජගේ දහතුන්වන පුත්‍රයා වන පාරාවෝ මනප්තා පාලනය කර තිබෙන්නේ ක්‍රි.පූ. 1212 සිට 1202 අතර කාල පරිච්ඡේදයේදීයි. මෙය පුරාණ ඊශ්‍රායෙලයේ විනිශ්චයකරුවන් සිටි අවසාන කාල පරිච්ඡේදයද වෙනවා. එම ගල් පුවරුවේ අවසාන පේළි දෙකේ මෙසේ සඳහන් වෙනවා. “කානාන් දේශය ආක්‍රමණය කළ ජාතීන් එය මංකොල්ල කෑවා. අෂ්කෙලොන්, ගෙෂෙර් හා යෙනොවම් යන නගර ඔවුන් අත් පත් කරගත්තා. කිසිවෙක් ඉතුරු නොවන තරමටම ඊශ්‍රායෙලය වනසා දැමුවා.”

එහි සඳහන් “ඊශ්‍රායෙලය” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? එම ගල් පුවරුවේ අක්ෂර තිබෙන්නේ චිත්‍ර ආකාරයෙනුයි. “ඊශ්‍රායෙලය” යන වචනයෙන් අදහස් කරන දෙය දැනගැනීම සඳහා අමතර අක්ෂර කිහිපයක් එයට එක් කර කියවනු ලැබුවා. මේ ගැන එක් පොතක මෙසේ පැහැදිලි කරනවා. ‘එහි සඳහන් චිත්‍ර අක්ෂර හතරෙන් අක්ෂර තුනකින් අඟවන්නේ අෂ්කෙලොන්, ගෙෂෙර් හා යෙනොවම් කියන නගර තුනයි. කෙසේවෙතත් ඊශ්‍රායෙලය සඳහා තිබෙන චිත්‍ර අක්ෂරයෙන් අඟවන්නේ ජාතියක්.’The Rise of Ancient Israel.

එහි තිබෙන වැදගත්කම කුමක්ද? මේ ගැන ලේඛකයෙකු වන හර්ෂල් ෂැන්ක්ස් මෙසේ පවසනවා. “මනප්තා කියා හඳුන්වන ගල් පුවරුවේ සඳහන් දේවලින් පෙනී යන්නේ ඊශ්‍රායෙල් කියා හැඳින්වූ ජාතියක් ක්‍රි.පූ. 1212දී සිටි බවයි. ඒ කාලයේ ඊජිප්තුව පාලනය කළ රජ ඔවුන් ගැන දැනගෙන සිටියා පමණක් නොවෙයි, සටනකදී ඔවුන්ව පරාජය කිරීම ගැන පුරසාරම්ද දෙඩුවා.” මැද පෙරදිග සිටින පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන විලියම් ජී. ඩෙවර් මෙසේ පවසනවා. “මනප්තා ගල් පුවරුවේ සඳහන් දේවලින් අපිට මේ නිගමනයට ස්ථිරව පැමිණිය හැකියි. තමන්ව ‘ඊශ්‍රායෙල්වරුන්’ කියා හඳුන්වාගත් ජාතියක් කානාන් දේශයේ සිටියා. බයිබලයේ සඳහන් දේවල් පිළි නොගත් ඊජිප්තුවරුන්ද ඒ ජාතිය ‘ඊශ්‍රායෙල්වරුන්’ කියා හැඳින්වුවා. තමන්ගේ ප්‍රසිද්ධිය සඳහා ‘ඊශ්‍රායෙල්’ කියා විශේෂ ජාතියක් සිටි බව ඊජිප්තුවරුන් බොරුවට පැවසුවා කියා අපට සිතිය නොහැකියි.”

බයිබලයේ ඊශ්‍රායෙල් කියන නම මුලින්ම සඳහන් වන්නේ යකොබ්ට දුන් තවත් නමක් ලෙසයි. ඔහුගේ පුතුන් 12දෙනාගෙන් පැවතෙන්නන් “ඊශ්‍රායෙල් පුත්‍රයෝ” කියා හඳුන්වා තිබෙනවා. (උත්පත්ති 32:22-28, 32; 35:9, 10) පසු කලෙක මෝසෙස් මෙන්ම ඊජිප්තුවේ පාරාවෝ රජ යාකොබ්ගෙන් පැවතෙන්නන් ගැන සඳහන් කරන විට ඔවුන්ව හැඳින්වූයේ “ඊශ්‍රායෙල්” කියායි. (නික්මයාම 5:1, 2) ඊශ්‍රායෙල් කියා සෙනඟක් සිටි බවට බයිබලයට අමතරව තිබෙන පැරණිතම සාක්ෂිය වන්නේ මනප්තා ගල් පුවරුවයි.

[24වන පිටුවේ පින්තූර]

මනප්තා ගල් පුවරුව

මෙහි මුලින් සඳහන් චිත්‍ර අක්ෂර තුනෙන් (වාඩි වී සිටින ස්ත්‍රිය, පුරුෂයා හා මුගුර) පෙනී යන්නේ ඊශ්‍රායෙල්වරුන් විදේශීය ජාතියක්ව සිටි බවයි

[හිමිකම් විස්තර]

Egyptian National Museum, Cairo, Egypt/​Giraudon/​The Bridgeman Art Library