Skip to content

පටුනට යන්න

දෙවිගේ සංවිධානයෙන් ලැබෙන යහපත් දේවල් අගය කරමු

දෙවිගේ සංවිධානයෙන් ලැබෙන යහපත් දේවල් අගය කරමු

දෙවිගේ සංවිධානයෙන් ලැබෙන යහපත් දේවල් අගය කරමු

‘අපි ඔබගේ ගෘහයෙන් ලැබෙන යහපතින් තෘප්තියට පැමිණෙන්නෙමු.’—ගීතාවලිය 65:4.

1, 2. (අ) දෙවිට නමස්කාර කිරීම සඳහා ගෘහයක් ගොඩනැඟීමෙන් ඊශ්‍රායෙල්වරුන් අද්දකිනු ඇත්තේ කුමක්ද? (ආ) දේවමාලිගාව ගොඩනැඟීමට දාවිත් සහයෝගය ලබා දුන්නේ කෙසේද?

බයිබලයේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සඳහන් කැපීපෙනෙන පුද්ගලයන් අතරින් පුරාණ ඊශ්‍රායෙලයේ විසූ දාවිත් එක් අයෙක් වෙනවා. එඬේරෙකු, සංගීතඥයෙකු, අනාගතවක්තෘවරයෙකු මෙන්ම රජෙකු වූ දාවිත් යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා කටයුතු කළා. දෙවි සමඟ තිබූ සමීප මිත්‍රත්වය නිසා දෙවි වෙනුවෙන් ගෘහයක් සෑදීමට දාවිත් පෙලඹුණා. දෙවිට නමස්කාර කිරීම සඳහා යොදාගත හැකි මෙවන් ගෘහයක් ගොඩනැඟීමෙන් දෙවිගේ සෙනඟ මහත් ප්‍රීතියක් හා ආශීර්වාද ලබන බව දාවිත් දැන සිටියා. මේ නිසා දාවිත් ඒ ගැන මෙසේ ගායනා කළා. “[යෙහෝවාගේ] මණ්ඩපවල වසන පිණිස ඔබ තෝරාගන්නාවූ ළං වන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය; අපි ඔබගේ ගෘහය වූ ඔබගේ මාලිගාවෙහි ශුද්ධස්ථානයේ යහපතින් තෘප්තියට පැමිණෙන්නෙමු.”—ගීතාවලිය 65:4.

2 යෙහෝවා දෙවිගේ ගෘහය ගොඩනඟන්න දාවිත් මහත් ආශාවෙන් සිටියත් ඔහුට ඒ සඳහා අවසර ලැබුණේ නැහැ. එම ප්‍රස්තාව හිමි වුණේ ඔහුගේ පුත් සලමොන්ටයි. එම ප්‍රස්තාව වෙනත් කෙනෙකුට දීම ගැන දාවිත් මැසිවිලි නැඟුවේ නැහැ. වඩාත්ම වැදගත් දෙය ලෙස ඔහු සැලකුවේ එම ගෘහය ගොඩනඟනවා දැකීමයි. මෙය ගොඩනැඟීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි තමන්ට දුන් සැලැස්ම සලමොන්ට ලබා දීමෙන් දාවිත් එම කාර්යයට මුළු සිතින්ම සහයෝගය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, දාවිත් විවිධ කාර්යයන් සඳහා ලෙවීවරුන් දහස් ගණනක්ව පත් කළ අතර ඉදි කිරීමේ වැඩවලට යොදාගැනීම සඳහා රන් රිදී විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කළා.—1 ලේකම් 17:1, 4, 11, 12; 23:3-6; 28:11, 12, 18; 29:1-5.

3. සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් දෙවිගේ සේවකයන් දරන ආකල්පය කුමක්ද?

3 දෙවිට විශ්වාසවන්තව සිටි ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ කාර්යයට සහයෝගය ලබා දුන්නා. ඒ හා සමානව වර්තමානයේ සිටින දෙවිගේ සේවකයන් වන අපිත් දෙවිගේ සංවිධානයේ වැඩකටයුතුවලට සහයෝගය ලබා දෙනවා. මෙසේ කිරීමෙන් අපි පෙන්වන්නේ දාවිත්ට තිබුණු ආකල්පය අපටත් තිබෙන බවයි. ඔහු මෙන් අපිත් මැසිවිලි නඟන්නේ නැතිව දෙවිගේ සංවිධානයෙන් ලැබෙන යහපත් දේවල් කෙරෙහි සිත යොමු කරනවා. ඇත්තටම අපිට අගය කළ හැකි යහපත් දේවල් බොහොමයක් සංවිධානයෙන් ලැබෙනවා. ඔබ ඒවා ගැන සිතා තිබෙනවාද? මේ දේවල් අතරින් කිහිපයක් දැන් අපි සලකා බලමු.

පෙරමුණ ගන්න අයව අගය කරමු

4, 5. (අ) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ඔවුන්ට පැවරී තිබෙන කාර්යය ඉටු කරන්නේ කෙසේද? (ආ) දාසයාගෙන් ලැබෙන ආහාර ගැන ඇතැම් සාක්ෂිකරුවන් අගය පළ කර තිබෙන්නේ කෙසේද?

4 යේසුස් පොළොවේ ඔහු සන්තක දේවල් බලාගැනීමට පත් කර තිබෙන ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ අගය කරන්න අපිට ඕනෑ තරම් හේතු තිබෙනවා. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත මෙම දාස පන්තිය දේශනා සේවයේ පෙරමුණ ගෙන ක්‍රියා කරනවා. ඔවුන් අපේ නමස්කාරයේ එක් අංගයක් වන ක්‍රිස්තියානි රැස්වීම් සැලසුම් කරන අතර බයිබලය මත පදනම් ප්‍රකාශන භාෂා 400කටත් වැඩි ගණනකින් පළ කරනවා. ලොව පුරා සිටින මිලියන ගණනක් දෙනා ‘නියම වේලාවට ලැබෙන එම කෑම’ අගය කොට සලකනවා. (මතෙව් 24:45-47) එම කෑම ගැන මැසිවිලි නැඟීමට කිසිම හේතුවක් නැහැ.

5 වසර ගණනාවක සිට යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන ඇල්ෆි නම් වයසක සහෝදරිය දාස පන්තිය පළ කරන ප්‍රකාශනවල සඳහන් මඟ පෙන්වීම්වලින් සැනසිල්ලක් ලබා තිබෙනවා. ඇය අගයපූර්වකව මෙසේ ලිව්වා. “යෙහෝවා දෙවිගේ සංවිධානය නැත්නම් මට මොනවා වෙයිද කියලා හිතන්නවත් බැහැ.” පීටර් සහ ඔහුගේ භාර්යාව වන ඊරම්ගාඩ් දෙවිට වසර ගණනාවක් සේවය කර තිබෙනවා. “යෙහෝවා දෙවිගේ ප්‍රේමණීය සංවිධානය” ප්‍රකාශන මගින් සපයන උපකාර සඳහා ඊරම්ගාඩ් ඇගේ අගය පළ කරනවා. අන්ධ හා බිහිරි අය වෙනුවෙන්ද පිළියෙල කර තිබෙන විශේෂිත ප්‍රකාශන මීට ඇතුළත් වෙනවා.

6, 7. (අ) ලොව පුරා තිබෙන සභාවල වැඩකටයුතු අධීක්ෂණය කරනු ලබන්නේ කෙසේද? (ආ) යෙහෝවා දෙවිගේ සංවිධානය ගැන සමහරුන් පවසා තිබෙන්නේ කුමක්ද?

6 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සේවය කරනවා. ඔවුන් ‘විශ්වාසවන්ත දාසයාව’ නියෝජනය කරනවා. මොවුන් සේවය කරන්නේ නිව් යෝක් නුවර බෘක්ලින්හි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේයි. ලොව පුරා සභා 98,000කට වඩා තිබෙන අතර ඒවායේ කටයුතු අධීක්ෂණය කරන ශාඛා කාර්යාලවල සේවය කිරීම සඳහා අද්දැකීම් ලත් පුරුෂයන්ව පාලක මණ්ඩලය විසින් පත් කරනු ලබනවා. බයිබලයේ සඳහන් සුදුසුකම් සපුරාලන පුරුෂයන්ව එම සභාවල වැඩිමහල්ලන් සහ සභා සේවකයන් ලෙස සේවය කිරීමට පත් කරනු ලබනවා. (1 තිමෝති 3:1-9, 12, 13) ඔවුන් සභා වැඩකටයුතුවලදී පෙරමුණ ගනිමින් එඬේරුන් මෙන් දෙවිගේ රැළ ප්‍රේමණීය ලෙස රැකබලා ගන්නවා. දෙවිගේ රැළේ සාමාජිකයෙකු වීමත් “මුළු සහෝදර සංගමය” අතර තිබෙන ප්‍රේමය හා එක්සත්කම භුක්ති විඳින්න ලැබීමත් මොන තරම් ආශීර්වාදයක්ද!—1 පේතෘස් 2:17; 5:2, 3.

7 බොහෝදෙනෙක් මැසිවිලි නඟන්නේ නැතිව වැඩිමහල්ලන් සපයන ප්‍රේමණීය මඟ පෙන්වීම් අගය කරනවා. උදාහරණයක් හැටියට තිස් ගණන්වල පසු වන ක්‍රිස්තියානි භාර්යාවක් වන බර්ජිට්ගේ අද්දැකීම ගැන සලකා බලන්න. යෞවන කාලයේදී නරක මිතුරන්ව ඇසුරු කිරීම නිසා ඇය ලොකු වරදකට හසු වෙන්න ගියා. එයින් ඇය අනූනවයෙන් බේරුණේ වැඩිමහල්ලන්ගෙන් ලැබුණු උපදෙස් හා සෙසු සහෝදර සහෝදරියන්ගෙන් ලැබුණු උපකාරය නිසයි. ඒ ගැන සිහිපත් කරමින් ඇය මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙක් හැටියට දිගටම මට ඉන්න පුළුවන් වෙලා තියෙන එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා.” දාහත් හැවිරිදි ආන්ඩ්‍රියාස් මෙසේ සඳහන් කරනවා. “මෙය නම් ඇත්තටම යෙහෝවාගේ සංවිධානයයි. ලෝකයේ තියෙන හොඳම සංවිධානය මෙයයි.” යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් ලැබෙන යහපත් දේවල් අපත් අගය කළ යුතු නැද්ද?

පෙරමුණ ගන්න අය අතින්ද වැරදි සිදු වෙයි

8, 9. දාවිත්ගේ කාලයේ විසූ ඇතැම් අය ක්‍රියා කළේ කෙසේද? දාවිත් එවන් අවස්ථාවලදී ක්‍රියා කළේ කෙසේද?

8 සැබෑ නමස්කාරයේදී පෙරමුණ ගෙන කටයුතු කරන අය අසම්පූර්ණ නිසා ඔවුන් අතින්ද වැරදි සිදු වෙනවා. ඔවුන් අතර සිටින සමහරුන් තමන් අතින් නිතර සිදු වන දුර්වලකම් ජයගැනීමට මහත් වෑයමක් දරනවා. මේ නිසා ඔවුන් අතින් යම් අඩු පාඩුකම් සිදු වන විට අපි අධෛර්යයට පත් විය යුතු නැහැ. පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් අතර බොහෝ වගකීම් ඉසුලූ අය අතින් පවා බරපතළ වැරදි සිදු වුණා. උදාහරණයක් හැටියට දාවිත්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු යෞවනයෙකුව සිටි කාලයේදී කරදරවලට මුහුණ පා සිටි සාවුල් රජගේ සිතට සහනයක් ගෙන දීම සඳහා සංගීත භාණ්ඩයක් වාදනය කරන මෙන් ඔහුගෙන් ඉල්ලා තිබුණා. කෙසේවෙතත් පසු කාලයකදී සාවුල් දාවිත්ව මරන්න සෙවූ නිසා දාවිත්ට තම ජීවිතය රැකගැනීම සඳහා පලා යෑමට සිදු වුණා.—1 සාමුවෙල් 16:14-23; 18:10-12; 19:18; 20:32, 33; 22:1-5.

9 ද්‍රෝහි ලෙස ක්‍රියා කළ තවත් ඊශ්‍රායෙල්වරුන් සිටියා. දාවිත්ගේ හමුදාවේ ප්‍රධානියා වූ යෝවාබ් සාවුල්ගේ ඥාතියෙකු වූ අබ්නේර්ව මරා දැමුවා. දාවිත්ගේ පුතෙක් වූ අබ්සලොම් ඔහුගේ පියාගෙන් රජකම උදුරාගැනීමට කුමන්ත්‍රණය කළා. දාවිත් විශ්වාසය තබා සිටි අහිතොපෙල් ඔහුට ද්‍රෝහි වුණා. (2 සාමුවෙල් 3:22-30; 15:1-17, 31; 16:15, 21) එහෙත් දාවිත් මේ දේවල් ගැන මැසිවිලි නැඟුවේ නැහැ. එමෙන්ම සැබෑ නමස්කාරය අත්හැරීමට ඒවා හේතුවක් කරගත්තේද නැහැ. ඒ වෙනුවට ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන විට දාවිත් වැඩි වැඩියෙන් යෙහෝවා දෙවි මත රඳා සිටිමින් නිසි ආකල්පයක් ඇතුව සිටියා. ඔහු සාවුල් වෙතින් පලා ගිය කාලයේදී ගැයූ මේ ගීතිකාවෙන් ඔහුගේ ඒ ආකල්පය දැකිය හැකියි. “දෙවි, මට කරුණා කළ මැනව; මට කරුණා කළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණ කොට ගනියි; එසේය, මේ විපත්ති නිම වන තෙක් ඔබගේ පියාපත් සෙවණෙහි සැඟවෙන්නෙමි.”—ගීතාවලිය 57:1.

10, 11. ගර්ට්රූට් තරුණ කාලයේදී අද්දැක්කේ කුමක්ද? අනිත් අය අතින් සිදු වන අඩු පාඩු ගැන ඇය පැවසුවේ කුමක්ද?

10 මේ කාලයේ යෙහෝවා දෙවිගේ සංවිධානය තුළ යම් අය ද්‍රෝහි ලෙස ක්‍රියා කිරීම ගැන මැසිවිලි නඟන්න කිසිම හේතුවක් අපට නැහැ. ක්‍රිස්තියානි සභාව තුළ ද්‍රෝහි ලෙස කටයුතු කරන දුෂ්ට අයට සභාව තුළ රැඳී සිටින්න යෙහෝවාවත් දේවදූතයන්වත් වැඩිමහල්ලන්වත් කිසිම ඉඩක් තබන්නේ නැහැ. ඒ වුණත් අප අතින් වගේම දෙවිගේ සෙසු සේවකයන් අතින්ද අඩු පාඩුකම් සිදු වෙනවා.

11 දිගු කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කළ ගර්ට්රූට් නම් සහෝදරියගේ අද්දැකීම සලකා බලන්න. ඇය තරුණ කාලයේදී පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. ඇය පුරෝගාමි සේවය හොඳට කරන කෙනෙක් නෙවෙයි කියා ඇතමුන් ඇයට බොරුවට චෝදනා කළා. මෙහිදී ඇය ක්‍රියා කළේ කෙසේද? ඒ ගැන ඇය මැසිවිලි නැඟුවේ නැහැ. වර්ෂ 2003දී ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 91ක් වුණා. මිය යන්න ටික කලකට පෙර ඇගේ අතීතය සිහිපත් කරමින් ඇය මෙසේ පැවසුවා. “පුද්ගලයන් අතින් අඩු පාඩු සිද්ධ වුණත් යෙහෝවා දෙවි එවැනි අයව යොදාගනිමින් ඔහුගේ කාර්යය දිගටම ඉටු කරනවා කියන එක මම ලැබූ අද්දැකීම්වලින් ඉගෙනගත්තා.” දෙවිට සේවය කරන අනිත් අය අතින් තමන්ට යම් වැරැද්දක් වෙද්දී ගර්ට්රූට් උපකාර ඉල්ලා යෙහෝවා දෙවිට යාච්ඤා කළා.

12. (අ) පළමුවන සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටි සමහරදෙනෙක් තැබූ නරක ආදර්ශය කුමක්ද? (ආ) අපි සිත යොමු කළ යුත්තේ කුමන දේවලටද?

12 දෙවිට බොහෝ සෙයින් විශ්වාසවන්තව සේවය කරන අය අතින් පවා අඩු පාඩුකම් සිදු වෙනවා. මේ නිසා සභාවේ වගකීම් උසුලන සහෝදරයෙක් අතින් යම් අඩු පාඩුවක් සිදු වුණත් අපි ‘මැසිවිලි කීමක් නැතිව’ දිගටම දෙවිට සේවය කරමු. (ෆිලිප්පි 2:14) පළමුවන සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටි සමහරදෙනෙකුගේ නරක ආදර්ශ අපි අනුගමනය කරනවා නම් එය මොන තරම් කනගාටුදායකද! යූද් සඳහන් කළ ආකාරයට බොරු ගුරුවරුන් ‘ස්වාමිකම නොසලකමින් තේජවත් අය ගැන නින්දිත ලෙස කතා කළා.’ ඒ විතරක් නෙවෙයි ඔවුන් ‘තම ජීවිතය ගැන කෙඳුරුවා.’ (යූද් 8, 16) මැසිවිලි නැඟූ ඒ අයගේ නරක ආදර්ශය අනුගමනය නොකර, ‘විශ්වාසවන්ත දාසයා’ අපට ලබා දෙන යහපත් දේවල් කෙරෙහි අපේ සිත යොමු කරමු. යෙහෝවාගේ සංවිධානයෙන් ලැබෙන යහපත් දේවල් අගය කරමින් ‘කුමන දෙය කළත් මැසිවිලි කීමක් නැතිව’ කරමු.

“මෙය මහ පුදුම කතාවකි”

13. යේසුස්ගේ ඇතැම් ඉගැන්වීම්වලට සමහරුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

13 පළමුවන සියවසේ සිටි ඇතමුන් සභාවේ වගකීම් ඉසුලූ අය ගැන මැසිවිලි නැඟූ අතර තවත් සමහරු යේසුස්ගේ ඉගැන්වීම් ගැන මැසිවිලි නැඟුවා. මීට උදාහරණයක් යොහන් 6:48-69 දක්වා වාර්තාවෙන් අපට සොයාගත හැකියි. “මාගේ මාංසය කන්නාවූ මාගේ රුධිරය බොන්නාවූ තැනැත්තාට සදාකාල ජීවනය ලැබෙන්නේය” කියා යේසුස් පැවසුවා. මේ වදන් ඇසුණු විට “ඔහුගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙක්, ‘මෙය මහ පුදුම කතාවකි. මෙයට සවන් දිය හැක්කේ කාටද?’ කියා ඇසූහ.” “තම ගෝලයන් මේ ගැන මැසිවිලි නඟමින් සිටි” බව යේසුස් දැනගත්තා. මෙසේ “ඔහුගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙකු තමුන් අත්හැර ආ දේවල් බලා ආපසු ගිය අතර, තවදුරටත් ඔහු අනුව ගියේ නැත.” එහෙත් යේසුස්ගේ හැම ගෝලයෙක්ම එසේ මැසිවිලි නැඟුවේ නැහැ. “ඔබටත් යන්න ඕනෑද?” කියා යේසුස් ඔහුගේ ගෝලයන් 12දෙනාගෙන් ඇසුවා. පේතෘස් ඊට මෙසේ පිළිතුරු දුන්නා. “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය. තවද ඔබ දෙවිගේ ශුද්ධ තැනැත්තා බව අපි දැනගෙන සිටිමු. එමෙන්ම අපි විශ්වාස කරගෙන සිටිමු.”

14, 15. (අ) සුළු පිරිසක් ඇතැම් ක්‍රිස්තියානි ඉගැන්වීම් පිළි නොගන්නේ මන්ද? (ආ) එමැනුවෙල්ගේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

14 මේ කාලයේ දෙවිගේ සෙනඟ අතර සිටින සුළු පිරිසක් ඇතැම් ක්‍රිස්තියානි ඉගැන්වීම් පිළි නොගෙන යෙහෝවා දෙවිගේ සංවිධානයට විරුද්ධව මැසිවිලි නඟා තිබෙනවා. මෙවැනි දෙයක් සිදු වන්නේ ඇයි? මීට බොහෝවිට හේතු වන්නේ දෙවි කාරණා හසුරුවන ආකාරය ගැන නිසි අවබෝධයක් නොමැතිකමයි. දෙවි ඔහුගේ සෙනඟට සත්‍යය හෙළි කරන්නේ ක්‍රමානුකූලවයි. මේ නිසා ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඇතැම් කාරණා පිළිබඳව අපි අවබෝධ කරගෙන සිටින දේවල් කලින් කලට සකස් කිරීම්වලට ලක්වීම අවශ්‍යයි. දෙවිගේ සෙනඟගෙන් බහුතරයක් එවන් සකස් කිරීම් ගැන ප්‍රීති වෙනවා. එහෙත් ටිකදෙනෙක් “පමණට වඩා ධර්මිෂ්ඨ” වී එවන් සකස් කිරීම් පිළි නොගනිමින් ඒ ගැන මැසිවිලි නඟයි. (දේශනාකාරයා 7:16) මෙයට එක් හේතුවක් වන්නේ උඩඟුකමයි. ඒ නිසා ඔවුන් තමන්ගේම මතයේ එල්බගෙන සිටිනවා. එවන් මැසිවිලි නැඟීම් හානිකර වන්නේ අපිව සත්‍යය මාර්ගයෙන් ඉවතට ඇද දැමීමට ඒවා හේතු වන නිසයි.

15 කලක් සත්‍යයේ සිටි එමැනුවෙල් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” පළ කරන ප්‍රකාශනවල ඇතැම් දේවල් විවේචනය කළා. (මතෙව් 24:45) පසුව ඔහු අපේ ප්‍රකාශන කියවීම නතර කළ අතර තමන් තවදුරටත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වී සිටීමට කැමති නැති බව සභාවේ වැඩිමහල්ලන්ට දැනුම් දුන්නා. කෙසේවෙතත්, යෙහෝවා දෙවිගේ සංවිධානයේ ඉගැන්වීම් නිවැරදියි කියා ඔහු වැඩි කාලයක් යන්න කලින් තේරුම්ගත්තා. ඔහු සාක්ෂිකරුවන්ව හමු වී ඔහුගේ වරද පිළිගත්තා. මේ නිසා නැවතත් ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට සේවය කිරීමට හැකි වී තිබෙනවා. කලින් මෙන් ඔහු නැවතත් සන්තෝෂයෙන් සිටිනවා.

16. ඇතැම් ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන ඇති විය හැකි සැකයන් දුරු කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

16 යෙහෝවාගේ සංවිධානයේ ඇතැම් ඉගැන්වීම් ගැන අප තුළ සැක පහළ වීම නිසා ඒවා ගැන මැසිවිලි නඟන්න පෙලඹීමක් ඇති වුණොත් අප කළ යුත්තේ කුමක්ද? මෙවැනි අවස්ථාවකදී අපි ඉක්මන් වී ක්‍රියා නොකරමු. ‘විශ්වාසවන්ත දාසයා’ පළ කරන ප්‍රකාශනවලින් යම් දවසකදී අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න පුළුවන්. යම් සැකයන් තිබෙන විට වැඩිමහල්ලන්ගේ උපකාරය පැතීමද නැණවත් දෙයක්. (යූද් 22, 23) යාච්ඤාව, පෞද්ගලික අධ්‍යයනය හා ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන අයව ඇසුරු කිරීම යනාදිය මගින්ද සැක දුරු කරගත හැකියි. එමෙන්ම යෙහෝවා දෙවි දාස පන්තිය මාර්ගයෙන් අපට පහදා දී තිබෙන බයිබලයේ සඳහන් සත්‍යයන් වඩ වඩා අගය කරන්නත් ඒ දේවල් උපකාරවත් වෙනවා.

නිසි ආකල්පයක් දිගටම තබාගන්න

17, 18. මැසිවිලි නඟනවා වෙනුවට අප තුළ තිබිය යුතු ආකල්පය කුමක්ද? අප එවන් ආකල්පයක් තබාගත යුත්තේ ඇයි?

17 වැරදි කිරීමේ සහජ නැඹුරුවාවක් කා තුළත් තිබෙනවා. කිසිම පදනමක් නැතිව මැසිවිලි නැඟීම සඳහා ප්‍රබල නැඹුරුවාවක් ඇතැම් අය තුළ තිබිය හැකියි. (උත්පත්ති 8:21; රෝම 5:12) එහෙත් මැසිවිලි නැඟීමේ ස්වභාවයක් අප තුළ දිගටම පැවතීමට ඉඩහැරියොත් යෙහෝවා දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට හානි සිදු විය හැකියි. මේ නිසා මැසිවිලි නැඟීමේ ස්වභාවයක් අප තුළ තිබෙනවා නම් එය පාලනය කරගැනීම අවශ්‍යයි.

18 සභාවේ සිදු වන දේවල් ගැන මැසිවිලි නඟන්නේ නැතිව අපි දිගටම නිසි ආකල්පයක් ඇතිව සිටිය යුතුයි. එමෙන්ම අප කඩිසරව, ප්‍රීතියෙන්, භක්තිවන්තව හා සමබරව ක්‍රියා කිරීමටද, අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමටද හැකි වන ආකාරයට එදිනෙදා වැඩකටයුතු සැලසුම් කිරීමට පියවර ගත යුතුයි. (1 කොරින්ති 15:58; තීතස් 2:1-5) යෙහෝවාගේ සංවිධානය තුළ සිදු වන සෑම දෙයක්ම තිබෙන්නේ ඔහුගේ පාලනය යටතේයි. එමෙන්ම මුල් සියවසේ සභාවල සිදු වෙමින් තිබූ සෑම දෙයක් ගැනම යේසුස් දැන සිටියාක් මෙන් අද තිබෙන සභාවල සිදු වන සෑම දෙයක් ගැනත් ඔහු දන්නවා. (එළිදරව් 1:10, 11) යෙහෝවා දෙවි සහ සභාවේ නායකයා වන යේසුස් කාරණා හසුරුවන තෙක් ඉවසිලිවන්තව බලා සිටින්න. යම් කාරණා නිවැරදි කළ යුතු නම් එසේ කිරීමට දෙවි සභාවේ සිටින වගකීම් උසුලන අයව යොදාගනීවි.—ගීතාවලිය 43:5; කොලොස්සි 1:18; තීතස් 1:5.

19. දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලය පැමිණෙන තෙක් අපේ සිත යොමු කළ යුත්තේ කුමක් කෙරෙහිද?

19 මේ දුෂ්ට සමාජය අවසන් වී දෙවිගේ රාජ්‍යය සියලුම මිනිසුන්ව පාලනය කරන කාලය වැඩි ඈතක නෙවෙයි. ඒ කාලය පැමිණෙන තෙක් නිසි ආකල්පයක් තබාගැනීම කොතරම් වැදගත්ද! සෙසු සහෝදර සහෝදරියන්ගේ අඩු පාඩුකම් වෙනුවට ඔවුන්ගේ යහපත් ගුණාංග දකින්න හැකි වන්නේ එවන් ආකල්පයක් තබාගන්නවා නම් පමණයි. ඔවුන්ගේ යහපත් ගුණාංග ගැන හිතනවා නම් එය අපගේ ප්‍රීතියට දායක වෙනවා. මැසිවිලි නැඟීමෙන් මානසිකව වෙහෙසට පත් වෙනවා වෙනුවට අපව දිරිගැන්වෙන හා අපේ ඇදහිල්ල ශක්තිමත් කරන දේවල් කෙරෙහි සිත යොමු කරමු.

20. අපට නිසි ආකල්පයක් තිබෙනවා නම් අප ආශීර්වාද හැටියට සලකන්නේ මොනවාද?

20 අපි නිසි ආකල්පයක් ඇතුව සිටිනවා නම් දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙකු වීමට ලැබීම නිසා අපි අද්දකින බොහෝ ආශීර්වාද අපි නිතර සිතනවා. මුළු විශ්වයේම පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තාට පක්ෂපාත වන එකම සංවිධානය මෙයයි. ඒ ගැනත් එකම සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න ලැබීම ගැනත් ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබේ ආකල්පයත් මෙසේ ගැයූ දාවිත්ගේ ආකල්පය මෙන් වේවා! “යාච්ඤා අසන්නාණෙනි, මාංසය වූ සියල්ලෝ ඔබ වෙතට පැමිණෙන්නෝය. ඔබගේ මණ්ඩපවල වසන පිණිස ඔබ තෝරාගන්නාවූ ළං වන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය; අපි ඔබගේ ගෘහයේ . . . යහපතින් තෘප්තියට පැමිණෙන්නෙමු.”—ගීතාවලිය 65:2, 4.

ඔබට මතකද?

• සභාවේ වගකීම් උසුලන අයව අප අගය කළ යුත්තේ ඇයි?

• වගකීම් දරන සහෝදරයන් අතින් යම් වැරදි සිදු වන විට අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?

• ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඇතැම් කාරණා පිළිබඳව අපේ අවබෝධය කලින් කලට සකස් කිරීම්වලට ලක් වන විට අප එය සැලකිය යුත්තේ කෙසේද?

• ක්‍රිස්තියානියෙකුට යම් සැකයන් ඇති වන විට ඒවා දුරු කරගන්න උපකාරවත් වන්නේ මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූරය]

දාවිත් සලමොන්ට දේවමාලිගාවේ සැලැස්ම ලබා දුන් අතර එම කාර්යයට මුළු සිතින්ම සහයෝගය ලබා දුන්නා

[23වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ප්‍රීතියෙන් දෙවිගේ රැළට අවශ්‍ය උපකාර ලබා දෙනවා