Skip to content

පටුනට යන්න

දෙවි පීඩා විඳින අයව ගලවයි

දෙවි පීඩා විඳින අයව ගලවයි

දෙවි පීඩා විඳින අයව ගලවයි

“ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය; එහෙත් යෙහෝවා ඒ සියල්ලෙන් ඔහු ගලවන්නේය.”—ගීතාවලිය 34:19.

1, 2. එක් විශ්වාසවන්ත සහෝදරියක් අද්දැක්කේ කුමක්ද? අප තුළත් එවැනි හැඟීම් ඇති විය හැක්කේ මන්ද?

කෙයිකෝ * නමැත්තිය අවුරුදු විස්සකට වැඩි කාලයක් පුරා යෙහෝවා දෙවිට සේවය කරමින් සිටිනවා. කාලයක් ඇය ස්ථාවර පුරෝගාමියෙක් ලෙස පූර්ණ කාලීන සේවයේ හවුල් වුණා. ඇය ඒ සේවය කළේ මහත් ආශාවකින්. කෙසේවෙතත් ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇයට පසු කලෙක දැනුණා. ඒ වගේම ඇයට ලොකු තනිකමකුත් දැනුණා. “මම හැමතිස්සේම කළේ අඬන එකයි” කියා ඇය පවසනවා. ඇය තුළ ඇති වූ එම වේදනාකාරී හැඟීම්වලින් මිදෙන්න ඇය පෞද්ගලික අධ්‍යයනය සඳහා වැඩිපුර කාලය යෙදුවා. ඇය තවදුරටත් මෙසේ පවසනවා. “ඒ මොන දේ කළත් මට ඒ තත්වයෙන් මිදෙන්න බැරි වුණා. මම කොච්චර කලකිරුණාද කියනවා නම් මට හිතුණේ මැරෙන එක හොඳයි කියලා.”

2 සමහරවිට ඔබත් එවන් වේදනාකාරී හැඟීම්වලින් මිදෙන්න මහත් වෑයමක් දරමින් සිටින කෙනෙක් විය හැකියි. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියට ඔබට ප්‍රීතිවීමට බොහෝ හේතු තිබෙනවා. මන්ද දෙවිට භක්තිවන්තව සිටින අයට “දැන් තිබෙන ජීවිතය ගැනත් මතු පැමිණෙන ජීවිතය ගැනත් [පොරොන්දුවක්]” දෙවි දී තිබෙනවා. (1 තිමෝති 4:8) සැබෑ දෙවිගේ සංවිධානයේ සාමාජිකයෙකු වී සිටීමම ලොකු ආශීර්වාදයක්. ඒත් සියලුම පීඩාවලින් ඔබට ආරක්ෂාවක් ලැබෙන බව එයින් අදහස් කරන්නේ නැහැ. මන්ද “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය” කියා බයිබලයේ පවසනවා. (ගීතාවලිය 34:19) “මුළු ලෝකයම දුෂ්ටයාගේ [එනම් සාතන්ගේ] බලයට යටත්” බව අප දන්න නිසා ඒ ගැන පුදුම විය යුතු නැහැ. (1 යොහන් 5:19) දෙවිගේ සේවකයන් පවා විවිධාකාරවලින් පීඩා අද්දකින්නේ සාතන් මේ ලෝකයේ පාලකයා වීම නිසයි.—එෆීස 6:12.

පීඩා නිසා අද්දකින දේවල්

3. කලකිරීමට පත් වූ දෙවිගේ සේවකයන් පිළිබඳ බයිබලයේ සඳහන් උදාහරණ මොනවාද?

3 දිගු කාලයක් පුරා සිත් තැවුලකින් පෙළෙන කෙනෙක් ජීවිතය දෙස බලන්නේ කලකිරුණු හැඟීමකිනුයි. (හිතෝපදේශ 15:15) අතීතයේ විසූ ඇදහිලිවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් යම් අවස්ථාවලදී මහත් කලකිරීමකින් පසු වූ බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. උදාහරණ කිහිපයක් සලකා බලමු. ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝබ් දරුණු පීඩාවක් අද්දුටු අවස්ථාවේදී මෙසේ පැවසුවා. “ස්ත්‍රියකගෙන් උපන් මනුෂ්‍යයා පවතින්නේ ස්වල්ප දවසක්ය; දුකින් පූර්ණය.” (යෝබ් 14:1) ඔහුගේ ප්‍රීතිය මුළුමනින්ම නැති වී ගියා. යම් කලකට ඔහුට හැඟුණේ යෙහෝවා දෙවිත් තමාව අත්හැර දමා තිබෙනවා කියායි. (යෝබ් 29:1-5) එවැනි කලකිරීම් අද්දුටු දෙවිගේ එකම සේවකයා යෝබ් නොවෙයි. හන්නා දරුවන් නොමැති නිසා “ඉතා ශෝකව” සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 1:9-11) රෙබෙකා තම පවුලේ ඇති වූ එක්තරා පීඩාකාරී තත්වයක් නිසා “මාගේ ජීවිතය මට එපා වී තිබේ” කියා පැවසුවා. (උත්පත්ති 27:46, පැරණි අනුවාදය) දාවිත්ට තමන් අතින් වූ වැරදි ගැන සිහිපත් වෙද්දී ඔහු ‘දවස මුළුල්ලේම වැලපුණා’ කියා සඳහන් වෙනවා.—ගීතාවලිය 38:6.

4. මේ කාලයේදීත් ඇතැම් ක්‍රිස්තියානීන් ‘අධෛර්යයට පත්වීම’ ගැන අප පුදුම නොවිය යුත්තේ මන්ද?

4 මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? පාවුල් තෙසලෝනිකයේ විසූ ක්‍රිස්තියානීන්ට පැවසුවේ “අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා [කරන්න]” කියායි. (1 තෙසලෝනික 5:14) “අධෛර්යයට පත්ව සිටින අය” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනය “ජීවිතයේ යම් පීඩාවන් නිසා කෙටි කාලයකට කලකිරී සිටින අය” ගැන විස්තර කිරීමටත් යොදාගත හැකි බව එක් මූලාශ්‍රයක සඳහන් වෙනවා. පාවුල්ගේ එම වදන්වලින් පෙනී යන්නේ තෙසලෝනික සභාවේ සිටි ඇතැම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද යම් අවස්ථාවලදී විවිධ හේතු නිසා කලකිරී සිටි බවයි. අදත් ඇතැම් ක්‍රිස්තියානීන් කලකිරීමට පත් වී සිටිනවා. ඊට බලපාන මූලික හේතු තුනක් තිබෙනවා. ඒවා නම් අපේ පව්කාර ස්වාභාවය, අපේ සීමාවන් හා අප අසීරු කාලවල ජීවත් වීම යනාදියයි. දැන් අපි මේවා ගැන සලකා බලමු.

පව්කාර ස්වභාවය

5, 6. රෝම 7:22-25හි සඳහන් වදන් සැනසීමක් ගෙන දෙන්නේ මන්ද?

5 “කිසිම සදාචාරමය හැඟීමක් නැති” දූෂ්‍ය ක්‍රියාවල නියැලෙන පුද්ගලයන් මෙන් නොව සැබෑ ක්‍රිස්තියානීන්ට තමන්ගේ පව්කාර ස්වභාවය ගැන මහත් දුකක් ඇති වෙනවා. (එෆීස 4:19) පාවුල්ට හැඟුණාක් මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ටත් මෙලෙස හැඟෙන්න පුළුවන්. “මගේ ඇතුළාන්ත මිනිසා දෙවිගේ නීතියට සැබවින්ම ප්‍රිය කරයි. නමුත් මගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධව යුද්ධ කරන වෙනත් නීතියක් මගේ අවයවයන් තුළ තිබෙන බව මට පෙනේ. මෙය මාව මගේ අවයවයන් තුළ තිබෙන පාපයේ නීතියට වහලෙකු මෙන් ගෙන යන්නේය. මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද!”—රෝම 7:22-24.

6 පාවුල්ට මෙන් ඔබටත් හැඟී තිබෙනවා විය හැකියි. එසේ ඔබේ පව්කාර නැඹුරුවාව ගැන තේරුම්ගෙන සිටීම හොඳයි. එවිට පාපය සුළු කොට නොතැකීමටත් වැරදිවලින් වැළකී සිටීමට වූ ඔබේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගැනීමටත් ඔබට හැකි වෙනවා. නමුත් ඔබේ අඩු පාඩු ගැන ඕනෑවට වඩා සිතන්න අවශ්‍ය නැහැ. කලකිරුණු හැඟීමකින් යුතුව ඉහත සඳහන් වදන් පැවසූ පාවුල් මෙසේද පැවසුවා. “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට ස්තුති වේවා!” (රෝම 7:25) තමන්ට උරුම වී තිබෙන පාපයෙන් මිදෙන්න යේසුස් වැගුරූ රුධිරය නිසා හැකි බවට පාවුල්ට ස්ථිර විශ්වාසයක් තිබුණා.—රෝම 5:18.

7. පව්කාර ස්වභාවය නිසා කනස්සලු නොවී සිටීමට පුද්ගලයෙකුට උපකාර වන්නේ කුමක්ද?

7 ඔබේ පව්කාර ස්වභාවය ගැන ඔබට ලොකු දුකක් දැනෙනවා නම් යොහන් පැවසූ වදන්වලින් ඔබට සහනයක් ලබන්න පුළුවන්. “යමෙකු පාපයක් කළොත්, පියාණන් සමඟ සිටින උපකාරකයෙක් අපට සිටින්නේය. ඒ, ධර්මිෂ්ඨ තැනැත්තෙක් වන යේසුස් ක්‍රිස්තුස්ය. ඔහු අපේ පාප උදෙසා සමඟි කිරීමේ පූජාවකි. එහෙත් අපේ පාප උදෙසා පමණක් නොව, මුළු ලෝකයේද පාප උදෙසාය.” (1 යොහන් 2:1, 2) ඔබේ පව්කාර ස්වභාවය ගැන ඔබ කනස්සල්ලෙන් සිටිනවා නම් යේසුස් මිය ගියේ කිසිම වරදක් නොකරන පරිපූර්ණ අය වෙනුවෙන් නොව වැරදි කරන පව්කාරයන් වෙනුවෙන් බව මතක තබාගන්න. ඇත්තෙන්ම “සියල්ලෝම පව් කර දෙවිගේ තේජසින් ඈත්ව සිටිති.”—රෝම 3:23.

8, 9. අප ගැනම දෝෂාරෝපණය කරගැනීමෙන් වැළකිය යුත්තේ ඇයි?

8 අතීතයේදී ඔබ අතින් යම් බරපතළ පාපයක් සිදු වී තිබෙනවා නම් ඔබ ඒ ගැන යෙහෝවා දෙවිට බොහෝ වතාවක් යාච්ඤා කර ඇති. ඒ වගේම ඔබ වැඩිමහල්ලන්ගේ උපකාරයත් ලබාගෙන ඇති. (යාකොබ් 5:14, 15) ඔබ අවංකවම පසුතැවිලි වී තිබෙන නිසා දිගටම සභාවේ සාමාජිකයෙකු හැටියට සිටිනවා විය හැකියි. එසේත් නැත්නම් ඔබ කලක් දෙවිගේ සංවිධානයෙන් ඉවත් වී සිට පසුතැවිලි වී නැවතත් සභාව සමඟ ඇසුරු කරන කෙනෙක් විය හැකියි. ඒ කුමන තත්වයක සිටියත් කලින් කළ පාපය ඔබට මතක් වී ඒ ගැන දුක් වෙනවා ඇති. අවංකව පසුතැවිලි වන අයට යෙහෝවා දෙවි “බොහෝ සේ” සමාව දෙන බව එවැනි අවස්ථාවලදී මතක් කරගන්න. (යෙසායා 55:7) ඔබ ගැන ඔබ කලකිරී සිටිනවා දකින්න යෙහෝවා දෙවි කැමති නැහැ. එහෙත් ඔබ එසේ සිටිනවා දකින්න කැමති වන්නේ සාතන්. මන්ද ඔබ එසේ සිටින විට ඔබේ ඇදහිල්ල දුර්වල කරන්න සාතන්ට පහසුයි. (2 කොරින්ති 2:7, 10, 11) සාතන් විනාශ වීමට නියමිත නිසා ඔහුට වුවමනා වන්නේ ඔබවත් විනාශ වෙනවා දකින්නයි. (එළිදරව් 20:10) ඔබේ ඇදහිල්ල දුර්වල කිරීමට ඒ කූට උපක්‍රමය යොදාගැනීමට සාතන්ට ඉඩ නොදෙන්න. (එෆීස 6:11) ඔබ වෙනත් කාරණාවලදී ‘සාතන්ට විරුද්ධව සිටිනවා’ වගේ මේ කාරණයේදීද ඔහුට විරුද්ධව සිටින්න.—1 පේතෘස් 5:9.

9 එළිදරව් 12:10හි සාතන්ව හඳුන්වා තිබෙන්නේ දෙවි ඉදිරියේ “අපේ සහෝදරයන්ට [එනම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට] විරුද්ධව දිවා රෑ දෙකෙහි චෝදනා කරන පැමිණිලිකරු” ලෙසයි. මෙම බයිබල් වගන්තිය ගැන අප සිතන විට බොරු චෝදනා කරන්නා වන සාතන් ගැන අපට යමක් ඉගෙනගන්න පුළුවන්. එනම් ඔබ ඔබටම දෝෂාරෝපණය කරගන්නවා දකින්න ඔහු කැමති බවයි. එහෙත් යෙහෝවා දෙවි ඔබට කිසි විටෙකත් දෝෂාරෝපණය කරන්නේ නැති බව මතක තබාගන්න. (1 යොහන් 3:19-22) ඔබ අතින් සිදු වන වැරදි නැවත නොකිරීමට ඔබ දරන උත්සාහයන් අත්හරින තරමටම ඒවා ගැන සිතමින් දුක් වෙන්න එපා. දෙවි සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වය නැති කර දැමීමට සාතන්ට ඉඩ දෙන්න එපා. යෙහෝවා “අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද සම්පූර්ණ වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ දයාවෙන්ද . . . අධිකතර වූ” දෙවි කෙනෙක් කියන කාරණය ඔබ අමතක කරනවා දකින්නයි සාතන් කැමති. ඊට ඉඩ නොදෙන්න.—නික්මයාම 34:6.

අපේ සීමාවන්

10. ඇතැම් අය අධෛර්යයට පත් වන්නේ ඇයි?

10 බරපතළ අසනීප, වයසට යෑම සහ වෙනත් හේතු නිසා කලින් කළා වගේ දෙවිට සේවය කිරීමට නොහැකි වීම ගැන සමහර ක්‍රිස්තියානීන් අධෛර්යයට පත් වී සිටිනවා. සමහරවිට ඔබත් එවැනි කෙනෙක් විය හැකියි. බයිබලයේ ක්‍රිස්තියානීන්ව දිරිගන්වා තිබෙන්නේ දෙවිගේ සේවය සඳහා සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න කියායි. (එෆීස 5:15, 16) නමුත් ඔබගේ සීමාවන් නිසා වැඩියෙන් දේවසේවයේ හවුල් වීමට නොහැකි නම් ඔබ අධෛර්යයට පත් විය යුතුද?

11. ගලාති 6:4හි පාවුල් දුන් උපදෙස අදාළ කරගැනීම ප්‍රයෝජනවත් වන්නේ කොහොමද?

11 බයිබලයේ අපව උනන්දු කර තිබෙන්නේ අලස නොවී “ඇදහිල්ල සහ ඉවසිලිවන්තකම මාර්ගයෙන් පොරොන්දු උරුම කරගන්නාවූ අයව අනුකරණය කරන්න” කියායි. (හෙබ්‍රෙව් 6:12) මෙය කළ හැක්කේ ඔවුන් අපට යහපත් ආදර්ශයක් තබා ඇති ආකාරය සොයා බලා, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීමට වෑයම් කරනවා නම් පමණයි. කෙසේවෙතත් අන් අය සමඟ අපව සන්සන්දනය කර, අප කරන කිසිම දෙයකින් වැඩක් නැහැ කියා සිතනවා නම් එයින් අපට යහපතක් වන්නේ නැහැ. මේ නිසා පාවුල්ගේ මෙම උපදෙස අදාළ කරගැනීම හොඳයි. “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.”—ගලාති 6:4.

12. අපි යෙහෝවා දෙවිට පිරිනමන සේවය ගැන අපට ප්‍රීති විය හැක්කේ මන්ද?

12 දරුණු අසනීපවලින් පෙළෙන ක්‍රිස්තියානීන්ට පවා ප්‍රීතිවීමට හොඳ හේතු තිබෙනවා. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත” කියා බයිබලයේ අපට සහතික කර තිබෙනවා. (හෙබ්‍රෙව් 6:10) ඔබ මුහුණ දෙන තත්වය වෙනස් කළ නොහැකි නිසා ඔබ කලින් කළා වගේ සේවයක් දැන් ඔබට කළ නොහැකි වෙන්න පුළුවන්. කෙසේවෙතත් දුරකථනයෙන් සාක්ෂි දැරීම, ලිපි ලිවීම වැනි සේවයේ ඇතැම් අංගවල යෙහෝවාගේ උපකාරය ඇතුව හවුල් වීමට ඔබට හැකියි. ඔබ යෙහෝවා දෙවිටත් මිනිසුන්ටත් තිබෙන ප්‍රේමයෙන් පෙලඹී මුළු සිතින්ම කරන සේවයට ඔහු ආශීර්වාද කරන බවට ඔබට ස්ථිර වෙන්න පුළුවන්.—මතෙව් 22:36-40.

‘අසීරු කාලවල්’

13, 14. (අ) ‘අසීරු කාලවල’ ජීවත් වන අප කුමන දේවල් අද්දැකිය හැකිද? (ආ) අද ජන්ම ස්නේහය හීන වී ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?

13 පාරාදීස පොළොවේ ජීවත් වීමට අපි ආශාවෙන් බලා සිටියත් දැන් අපි ජීවත් වන්නේ “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” කාලයකයි. (2 තිමෝති 3:1) අද අපි අද්දකින දුක් පීඩා එන්න එන්නම වැඩි වෙනවා. ඉන් පෙනී යන්නේ යෙහෝවා දෙවි අපව එම පීඩාවලින් ගලවාගැනීමේ කාලය ඉතා ආසන්න බවයි. මෙය දැන සිටීම ඇත්තෙන්ම සැනසිල්ලක්. කෙසේවෙතත් අපිට මේ කාලයේදී විවිධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වෙනවා. උදාහරණයකට ඔබට රැකියාවක් නැත්නම් ඔබට ඇති වන හැඟීම කුමක්ද? මේ කාලයේදී රැකියාවක් සොයාගැනීම ලෙහෙසි නැහැ. ඔබ මේ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කර තිබෙන්න පුළුවන්. ඒත් තවමත් ඔබට රැකියාවක් ලැබී නැත්නම් ඔබේ දුක දෙවිට දැනෙන්නේ නැද්ද කියා ඔබට සිතෙන්න පුළුවන්. එසේත් නැත්නම් ඔබ යම් ආකාරයක අයුක්තියකට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. පුවත්පත් සිරස්තල ඔබ කියවද්දී පුරාණයේ සිටි ධර්මිෂ්ඨයෙකු වූ ලොත්ට හැඟුණා වගේ ඔබටත් හැඟෙන්න පුළුවන්. එදා සිදු වූ දුෂ්ටකම් ගැන ඔහු ‘බොහෝ සෙයින් කම්පාවට පත් වුණා.’—2 පේතෘස් 2:7.

14 අන්තිම දවස්වල එක් විශේෂ ලක්ෂණයක් අපිට සුළුවෙන් තැකිය නොහැකියි. බොහෝදෙනෙකු තුළ “ජන්ම ස්නේහය නැති” වෙනවා කියා බයිබලයේ කලින් කියා තිබුණා. (2 තිමෝති 3:3) පවුලේ සාමාජිකයන් අතර තිබිය යුතු සෙනෙහස අද බොහෝ නිවෙස්වල දැකිය නොහැකියි. එක් පොතක මෙසේ පවසනවා. “සාක්ෂිවලින් පෙනී යන ආකාරයට සමහර අය ඝාතනවලට, පහර කෑම්වලට හා ලිංගික අතවරවලට හා මානසික හිංසාවලට ලක් වන්නේ පවුලේම සාමාජිකයන් අතිනුයි. ආදරය හා ආරක්ෂාව ලැබිය යුතු තැන වන නිවස ඇතැම් වැඩිහිටියන්ට හා දරුවන්ට අනතුරුදායක ස්ථානයක් වී තිබෙනවා.” (Family Violence) එවැනි වාතාවරණයක් තිබෙන නිවසක ඇති දැඩි වූ කෙනෙකු ජීවිතයේ පසු කාලයකදී දැඩි කලකිරීමකට ලක් විය හැකියි. ඔබත් එවැනි කෙනෙක් නම් කුමක් කිව හැකිද?

15. මිනිසුන්ගේ ආදරයට වඩා යෙහෝවාගේ ආදරය උතුම් වන්නේ කෙසේද?

15 දාවිත් මෙසේ ගායනා කළා. “මාගේ පියාද මව්ද මා අත්හැරියෝය; නමුත් යෙහෝවා මා පිළිගන්නේය.” (ගීතාවලිය 27:10) යෙහෝවා දෙවිගේ ප්‍රේමය දෙමාපියෙකුගේ ප්‍රේමයටත් වඩා වැඩි බව දැන සිටීමෙන් ලැබෙන සහනය මොන තරම්ද! දෙමාපියෙක් දරුවෙකුට අනිසි ලෙස සලකමින් ඔහුව එපා කිරීම කොතරම් වේදනාකාරී වුණත් යෙහෝවා දෙවි දක්වන සැලකිල්ල ගැන සිතන විට ඒ වේදනාව දරාගැනීම අපහසු නැහැ. (රෝම 8:38, 39) යෙහෝවා දෙවි තමන්ට ප්‍රේම කරන අයට ඉතා ළංව සිටින බව මතක තබාගන්න. (යොහන් 3:16; 6:44) මිනිසුන් ඔබට කොහොම සැලකුවත් ඔබේ ස්වර්ගික පියා ඔබට බොහෝ සේ ආදරය කරනවා.

කලකිරීමෙන් ජයගත හැකි අයුරු

16, 17. කලකිරීමෙන් ජයගැනීම සඳහා කළ හැක්කේ කුමක්ද?

16 කලකිරීමෙන් ජයගැනීම සඳහා ඔබට යම් පියවර ගත හැකියි. ඉන් එක් පියවරක් වන්නේ ක්‍රිස්තියානි රැස්වීම්වලට හා දේවසේවයේ හවුල් වීමයි. එමෙන්ම කලකිරුණු හැඟීම්වලින් ඔබ යටපත් වී සිටින විට දේවවචනය කියවා එය මෙනෙහි කිරීමත් ඉතා වැදගත්. ගීතිකාකරු ඔහු අද්දුටු දෙය ගැන මෙසේ ගායනා කළා. “මාගේ පාද ලිස්සන්නේයයි මා කී කල යෙහෝවා, ඔබගේ කරුණාව මා දැරුවේය. මා තුළ මාගේ සිතිවිලි බොහෝ වූ කල ඔබගේ සැනසීමෙන් මාගේ ආත්මය ප්‍රීති වේ.” (ගීතාවලිය 94:18, 19) නිතිපතා බයිබලය කියවන විට එහි සැනසිලිදායක වදන්වලින් ඔබට සහනයක් ලබන්න පුළුවන්.

17 මෙහිදී යාච්ඤාවද ඉතා වැදගත් වෙනවා. ඔබට හැඟෙන දේවල් සම්පූර්ණයෙන්ම වචනවලින් කියාගත නොහැකි වුණත් ඔබ පවසන්න උත්සාහ කරන දේ යෙහෝවා දෙවි තේරුම්ගන්නවා. (රෝම 8:26, 27) ගීතිකාකරු පැවසූ මෙම වදන්වලින් අපට මහත් සැනසිල්ලක් ලබාගත හැකියි. “ඔබේ බර යෙහෝවා පිට තබන්න; ඔහු ඔබ උසුලන්නේය; ඔහු කිසිකලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.”—ගීතාවලිය 55:22.

18. මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙකුට කළ හැකි දේවල් මොනවාද?

18 මානසික අවපීඩනයෙන් පෙළෙන සමහරුන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය විය හැකියි. * මෙවැනි අය තමන් මුහුණ පාන තත්වය ගැන කලකිරී සිටියි. ඔබත් මෙවැනි කෙනෙක් නම් පාරාදීස පොළොවේ ගත කරන ජීවිතය ගැන නිතර සිතන්න. ඒ කාලයේදී ‘තමන් රෝගාතුරයයි කිසි වැසියෙක් කියන්නේ නැහැ.’ (යෙසායා 33:24) ඔබ තුළ ඇති වන කලකිරුණු හැඟීම් කෙටි කලක් පවතින ඒවා නොවේ නම් වෛද්‍යවරයෙකුගේ උපකාර ලබාගැනීම නැණවත් දෙයක්. (මතෙව් 9:12) මෙහිදී ඔබේ ශාරීරික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමත් වැදගත්. පෝෂ්‍යදායි ආහාර හා යම් ව්‍යායාම්වලින් ඔබට යම් සහනයක් ලබාගත හැකියි. ඔබට අවශ්‍ය විවේකය ගැනීමටත් වගබලා ගන්න. බොහෝ රෑ වන තෙක් රූපවාහිනිය නැරඹීම සුදුසු දෙයක් නෙවෙයි. ශාරීරිකව හා මානසිකව ඔබව විඩාවට පත් කළ හැකි විනෝදාස්වාදයන්වල නියැලෙන්න එපා. මේ සියල්ලට වඩා වැදගත් වන්නේ දෙවිව සතුටු කරන ක්‍රියාවල නියැලීමයි. යෙහෝවා දෙවි “සෑම කඳුළක්ම පිස දමන” කාලය මෙය නොවුවත් ඔබට විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය නිසැකවම ලබා දෙනවා.—එළිදරව් 21:4; 1 කොරින්ති 10:13.

‘දෙවිගේ බලවත් හස්තය යටතේ’ භුක්ති විඳින ආශීර්වාද

19. පීඩා විඳින්නන්ට යෙහෝවා දෙවි පොරොන්දු වන්නේ කුමක්ද?

19 ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝ වුණත් “යෙහෝවා ඒ සියල්ලෙන් ඔහුව ගලවන්නේය” කියා බයිබලයේ පොරොන්දු වී තිබෙනවා. (ගීතාවලිය 34:19) දෙවි මෙය කරන්නේ කෙසේද? පාවුල් පීඩා විඳි “මාංසයේ කටුව” ඉවත් කරන්න කියා නිතර යාච්ඤා කළත් යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවා. “දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය.” (2 කොරින්ති 12:7-9) පාවුල්ට මෙන් දෙවි ඔබටත් පොරොන්දු වන්නේ පීඩාව ඉක්මනින් ඉවත් කරනවා කියා නොවෙයි විඳදරාගැනීමට ශක්තිය දෙනවා කියායි.

20. පීඩාවලට මුහුණ දීමට සිදු වුණත් 1 පේතෘස් 5:6, 7හි අපට දෙන සහතිකය කුමක්ද?

20 පාවුල් මෙසේ පැවසුවා. “දෙවි සුදුසු කාලයේදී ඔබව උසස් කරන පිණිස, ඔහුගේ බලවත් හස්තයට යටත් වී නිහතමානී වන්න. ඔහු ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.” (1 පේතෘස් 5:6, 7) යෙහෝවා දෙවි ඔබ ගැන ගොඩක් සැලකිලිමත් නිසා ඔහු ඔබව අත්හරින්නේ නැහැ. ඔබට මුහුණ දීමට සිදු වන පීඩාව කුමක් වුණත් ඔහු ඔබට උපකාර කරනවා. විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් ‘දෙවිගේ බලවත් හස්තය යටතේ’ සිටින බව මතක තබාගන්න. අපි යෙහෝවා දෙවිට දිගටම සේවය කරන විට ඔහු අපට අවශ්‍ය ශක්තිය සපයනවා. අපි ඔහුට විශ්වාසවන්තව සිටිනවා නම් යෙහෝවා සමඟ අපට ඇති මිත්‍රත්වයට හානියක් කරන්න කිසිම දෙයකට බැහැ. මේ නිසා සැමදාම දෙවිට විශ්වාසවන්තව සිටීමට අදිටන් කරගනිමු. එවිට සියලුම පීඩාවලින් සහනයක් ලැබෙන පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වන්න අපිට හැකියි.

[පාදසටහන්වල]

^ 1 ඡේ. සැබෑ නම නෙවෙයි.

^ 18 ඡේ. ප්‍රතිකාර ගත යුතු මට්ටමක තිබෙන මානසික අවපීඩනය සාමාන්‍ය කලකිරීමකට වඩා වෙනස්. මෙහිදී ඇති වන දුක්දායක හැඟීම් ප්‍රබලයි. එමෙන්ම දිගු කාලයක් පුරා එම හැඟීම් පවතිනවා. අමතර තොරතුරු පහත සඳහන් මුරටැඹ කලාපවලින් සොයාගත හැකියි. 1988 ඔක්තෝබර් 15, 25-29 පිටු (සිංහලෙන් නැත); 1988 නොවැම්බර් 15, 21-24 පිටු (සිංහලෙන් නැත); 1996 සැප්තැම්බර් 1, 30-31 පිටු.

ඔබට මතකද?

• යෙහෝවා දෙවිගේ සේවකයන් පවා දුක් පීඩා අද්දකින්නේ ඇයි?

• දෙවිගේ සේවකයන්ගෙන් සමහර අය කලකිරීමට පත් විය හැකි ඇතැම් හේතු මොනවාද?

• කලකිරීම්වලට හොඳින් මුහුණ දීමට යෙහෝවා දෙවි අපට උපකාර කරන්නේ කෙසේද?

• අප ‘දෙවිගේ බලවත් හස්තය යටතේ’ සිටින්නේ කුමන අර්ථයෙන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූර]

පීඩා මැද වුණත් ප්‍රීතියෙන් සිටින්න දෙවිගේ සෙනඟට හොඳ හේතු තිබෙනවා

[28වන පිටුවේ පින්තූරය]

දුරකථනයෙන් සාක්ෂි දැරීම යෙහෝවාට උපරිම සේවයක් කළ හැකි එක් ක්‍රමයක්