Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

වේශ්‍යාකම හෝ නින්දිත හැසිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වන කෙනෙකුව සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරන්නාක් මෙන් අපවිත්‍රකම ලෙස දක්වා ඇති ක්‍රියාවල නියැලෙන කෙනෙකුවද සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරන්න පුළුවන්ද?

යම් පුද්ගලයෙක් පසුතැවිලි නොවී දිගටම වේශ්‍යාකමේ හෝ අපවිත්‍රකමක් ලෙස සලකනු ලබන ඇතැම් ක්‍රියාවල හෝ නින්දිත හැසිරීමට අයත් ක්‍රියාවල නිරත වෙනවා නම් ඔහුව සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරන්න පුළුවන්. පාවුල් පහත වදන් ලියද්දී මෙම පාප තුන ඇතුළත් කරන්නේ සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හේතු විය හැකි පාප ගණයටයි. ‘මාංසයේ ක්‍රියා ප්‍රකාශ වී තිබේ. ඒවා නම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම යනාදියයි. මෙවැනි දේවල නියැලී සිටින්නන්ට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව මම ඔබට අනතුරු අඟවමි.’—ගලාති 5:19-21.

වේශ්‍යාකම (ග්‍රීක භාෂාවෙන්, පොර්නියා). ශුද්ධ ලියවිල්ලට එකඟව විවාහ වී සිටින පුරුෂයෙකු හා භාර්යාවක් අතර පවත්වන ලිංගික සම්බන්ධකම හැර අනික් සියලුම ආකාරයේ ලිංගික ක්‍රියාවන් මීට ඇතුළත් වෙනවා. නිදසුන් හැටියට, පරදාර සේවනය (එනම්, විවාහකයෙක් තම භාර්යාව හෝ පුරුෂයා නොවන කෙනෙකු සමඟ ලිංගිකව හැසිරීම), ගණිකාවන් ඇසුරු කිරීම මීට ඇතුළත් වෙනවා. මීට අමතරව අවිවාහක පුද්ගලයන් අතර සිදු වන ලිංගික සම්බන්ධකම් මෙන්ම වෙනත් ලිංගික ක්‍රියාද ඇතුළත්. ඔවුන් අතර සිදු වන මුඛ හා ගුද සංවාසයද, එකිනෙකාගේ ලිංගේන්ද්‍රියන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා පාවිච්චි කිරීම යනාදිය මෙම ක්‍රියාවලට අයත් වෙනවා. පසුතැවිලි නොවී දිගටම ‘වේශ්‍යාකම්’ කරන කෙනෙකුව ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙකු ලෙස තබාගන්නේ නැහැ.

නින්දිත හැසිරීම (ග්‍රීක භාෂාවෙන්, අසෙල්ජෙයියා). “කිසි තැකීමක් නැතුව දුරාචාරයේ යෙදීම, කිසිම පාලනයක් නැතුව තම ආශා තෘප්තිමත් කරගැනීම, කිසිම ලජ්ජාවක් බියක් නැතිව හැසිරීම හා කාමුකත්වයෙන් මත්ව සිටීම,” යනාදිය එම වචනයෙන් අදහස් වෙනවා. එක් ශබ්දකෝෂයක එම ග්‍රීක වචනය විග්‍රහ කරන්නේ “කිසිම සීමාවක් නැතුව ලිංගික ආශා තෘප්තිමත් කරගැනීම, අනුන්ව කම්පනයට පත් කිරීම, කිසිම ලජ්ජාවක් හෝ බියක් නොදැක්වීම, තමන් කරන වරදේ බරපතළකම ගණනකටවත් නොගැනීම” ලෙසයි. (The New Thayer’s Greek English Lexicon) වෙනත් ශබ්දකෝෂයක එය විස්තර කරන්නේ “සමාජයේ සම්මතයට විරුද්ධව ක්‍රියා කිරීම” ලෙසයි.

ඉහත සඳහන් දෙයින් පැහැදිලි වන ආකාරයට “නින්දිත හැසිරීම” යන කාරණයට පැති දෙකක් තිබෙනවා. ඒවා නම්, (1) යෙහෝවා දෙවිගේ ප්‍රමිති බරපතළ ලෙස උල්ලංගනය කරන අයුරින් හැසිරීම හා (2) වරදකරු තමන් කරන වරද ගැන කිසි තැකීමක් නැතුව සිටීම හා පිළිගත් ප්‍රමිතිවලට අගෞරවනීය ආකල්පයක් දැක්වීම යන්නයි.

මේ අනුව “නින්දිත හැසිරීම” යන්නෙන් අදහස් වන්නේ යම් දුරකට සුළුයි කියා සැලකිය හැකි නොමනා හැසිරීමක් නොවෙයි. දෙවිගේ නීති දරුණු ලෙස උල්ලංගනය කරන ක්‍රියාවන් ඊට ඇතුළත් වෙයි. එමෙන්ම එසේ හැසිරෙන පුද්ගලයා තුළ දරදඬු ආකල්පයක් මෙන්ම සම්මත ප්‍රමිතිවලට, නීතිවලට හා අධිකාරයට කිසිම බියක්, ගෞරවයක් හෝ සැලකිල්ලක් නොදක්වන ආකල්පයක්ද දකින්න ලැබෙයි. නින්දිත හැසිරීම ලිංගික දුරචාරයට සම්බන්ධ බව පාවුල් සඳහන් කළා. (රෝම 13:13, 14) දේවරාජ්‍යයේ ආශීර්වාද නොලැබීමට හේතු විය හැකි ගලාති 5:19-21 දක්වා සඳහන් පාප ගණනාවට නින්දිත හැසිරීමද ඇතුළත් වන නිසා එය විනිශ්චය කමිටුවක් මගින් අවවාද ලැබීමට හෝ සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පදනමක් විය හැකියි.

අපවිත්‍රකම (ග්‍රීක භාෂාවෙන්, ආකාතර්සියා). “වේශ්‍යාකම,” “අපවිත්‍රකම” හා “නින්දිත හැසිරීම” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක යෙදුම් තුනෙන් ඉතා පුළුල් අර්ථයක් තිබෙන්නේ “අපවිත්‍රකම” නමැති ග්‍රීක යෙදුමටයි. ඊට ලිංගික කාරණා, කතා බහ, හැසිරීම සහ නමස්කාරය ඇතුළු ඕනැම ආකාරයක දූෂ්‍ය වීමක් ඇතුළත්. ‘අපවිත්‍රකමට’ බරපතළ පාප ගනයට වැටෙන පාප රාශියක් අයත් වෙනවා.

“කලින් පව් කළ නමුත් තමුන්ගේ අපවිත්‍රකම ගැනවත් වේශ්‍යාකම ගැනවත් තමුන් නියැලී සිටි නින්දිත හැසිරීම ගැනවත් පසුතැවිලි නොවූ” අය ගැන පාවුල් දෙවන කොරින්ති 12:21හි සඳහන් කළා. “අපවිත්‍රකම,” ‘වේශ්‍යාකම සහ නින්දිත හැසිරීම’ සමඟ සඳහන් කර තිබෙන නිසා අපවිත්‍රව හැසිරෙන ඇතැම් අවස්ථා විනිශ්චය කමිටුවක් මගින් හැසිරවිය යුතුයි. එහෙත් අපවිත්‍රකම නමැති යෙදුමට පුළුල් අර්ථයක් තිබෙන නිසා විනිශ්චය කමිටුවක් මගින් හසුරුවන්නේ නැති දේවල්ද ඊට අයත් වෙනවා. මේ උදාහරණය ගැන සිතන්න. නිවසක් යම් දුරකට අපවිත්‍ර විය හැකියි. ඒ වගේම ඉතාමත් අපවිත්‍ර තත්වයකද තිබිය හැකියි. මේ අනුව අපවිත්‍රකමට විවිධ මට්ටම් තිබෙන බව පැහැදිලියි.

එෆීස 4:19හි පාවුල් සඳහන් කළ පරිදි ඇතැම් පුද්ගලයන් “කිසිම සදාචාරමය හැඟීමක් නැති” තත්වයකට පත්ව සිටි අතර ‘ඔවුන් සියලු ආකාරයේ අපවිත්‍රකම් කිරීමට ගිජුකමක් දක්වන පිණිස නින්දිත හැසිරීමට භාර වුණා.’ මෙහිදී පාවුල් “අපවිත්‍රකම් කිරීමට ගිජුකමක්” දැක්වීම නින්දිත හැසිරීම තරම් බරපතළ බව පෙන්වා තිබෙනවා. බව්තීස්ම වී සිටින කෙනෙක් පසුතැවිලි නොවී දිගටම ‘අපවිත්‍රකම් කිරීමට ගිජුකමක් දක්වනවා’ නම් බරපතළ වූ අපවිත්‍ර හැසිරීම නමැති පදනම මත ඔහුව සභාවෙන් ඉවත් කළ හැකියි.

විවාහ වීමට ගිවිසගෙන සිටින යුවළක් අවස්ථා බොහොමයකදී එකිනෙකාව රාගයෙන් සිප වැලඳගෙන තිබෙනවා කියා සිතන්න. නින්දිත හැසිරීමක ලක්ෂණයක් වන දරදඬු ආකල්පයක් මෙම යුවළ තුළ දක්නට නැති බව වැඩිමහල්ලන් තීරණය කිරීමට ඉඩ තිබුණත් ඔවුන් හැසිරුණු ආකාරය තුළ යම් දුරකට ගිජුකමක් දක්නට තිබෙන බව වැඩිමහල්ලන් තීරණය කළ හැකියි. එබැවින් බරපතළ වූ අපවිත්‍ර හැසිරීමක් සිදු වී තිබෙන නිසා ඔවුන් කළ දේ විනිශ්චය කමිටුවක් මගින් හැසිරවීමට වැඩිමහල්ලන් පියවර ගන්න ඉඩ තිබෙනවා. එමෙන්ම කලින් උපදෙස් දී තිබියදීත් යම් පුද්ගලයන් දුරකථනයක් ඔස්සේ තවත් කෙනෙකුට අශික්ෂිත ලෙස ලිංගික කාරණා ගැන කතා කරනවා නම් එය බරපතළ වූ අපවිත්‍ර හැසිරීමක් ලෙස සලකා විනිශ්චය කමිටුවක් මගින් හසුරුවන්න ඉඩ තිබෙනවා.

එවැනි විනිශ්චයන්ට එලඹීමේදී වැඩිමහල්ලන් කාරණා හොඳින් කිරා මැන බැලිය යුතුයි. සිදු වූ දේ විනිශ්චය කමිටුවක් මගින් හැසිරවිය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේදී වැඩිමහල්ලන් ඇත්තටම සිදු වී තිබෙන්නේ කුමක්ද කියාත් කොතෙක් දුරට එය කර තිබෙනවාද කියාත් පැහැදිලිව දැනගත යුතුයි. ශුද්ධ ලියවිල්ල පදනම් කරගනිමින් ලබා දෙන උපදෙස් කෙනෙක් පිළි නොගත් පමණින් ඔහුගේ ක්‍රියාකලාපය නින්දිත හැසිරීමක් ලෙස විනිශ්චය නොකළ යුතුයි. එමෙන්ම කෙනෙක් යම් වරදක් කරන වාර ගණන පදනම් කරගෙන ඔහු කළ දේ විනිශ්චය කමිටුවක් මගින් හැසිරවිය යුතුයි කියාද තීරණය නොකළ යුතුයි. වැඩිමහල්ලන් හොඳ අවබෝධයකින් යුතුව හා යාච්ඤාපූර්වකව හැම සිද්ධියක්ම වෙන වෙනම කිරා මැන බලමින් මතු දැක්වෙන කාරණා සොයා බැලිය යුතුයි. ඇත්තටම සිදු වී තිබෙන්නේ කුමක්ද, එය කොතරම් වාර ගණනක් සිදු වී තිබෙනවාද, නොමනා හැසිරීමේ ස්වභාවය හා දුරදිග ගොස් තිබෙන ප්‍රමාණය හා වරදකරුගේ ආකල්පය මෙන්ම චේතනාව යනාදිය හොඳින් සැලකිල්ලට ගත යුතුයි.

බරපතළ වූ අපවිත්‍ර හැසිරීම ලිංගික කාරණාවලට පමණක් සීමා වන්නේ නැහැ. උදාහරණයක් හැටියට බව්තීස්ම වූ පිරිමි ළමයෙක් කෙටි කාල පරිච්ඡේදයක් තුළදී දුම්වැටි කිහිපයක් පානය කර, පසුව දෙමාපියන්ට ඒ වරද හෙළි කරන බව සිතමු. නැවත දුම්පානය නොකිරීමට ඔහු දැන් අදිටන් කරගෙන සිටියි. දුම්පානය කිරීමෙන් ඔහු අපවිත්‍රකමක් ලෙස සැලකෙන වරදක් කර තිබුණත් එය බරපතළ වූ අපවිත්‍ර හැසිරීමක් හෝ “අපවිත්‍රකම් කිරීමට ගිජුකමක්” දැක්වීමක් වන්නේ නැහැ. එක් වැඩිමහල්ලෙක් හෝ දෙදෙනෙක් ඒ ළමයාගේ දෙමාපියන් සමඟ ඔහුට ශුද්ධ ලියවිල්ලෙන් උපදෙස් ලබා දීම මෙහිදී ප්‍රමාණවත්. එහෙත් එම පිරිමි ළමයා නිතරම පාහේ දුම්පානය කරයි නම් ඔහු හිතාමතාම ඔහුගේ ශරීරය දූෂ්‍ය කරන වරදක නියැලෙන නිසා එය බරපතළ වූ අපවිත්‍ර හැසිරීමක් ලෙස සලකා විනිශ්චය කමිටුවක් මගින් ඒ කාරණය හැසිරවිය යුතුයි. (2 කොරින්ති 7:1) ඒ ළමයා පසුතැවිලි වන්නේ නැත්නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා.

ඇතැම් ක්‍රිස්තියානීන් කාමුක දර්ශන නරඹා තිබෙනවා. කාමුක දර්ශන යෙහෝවා දෙවි පිළිකුල් කරයි. සහෝදරයෙක් හෝ සහෝදරියක් කාමුක දර්ශන නරඹනවා කියා දැනගත් විට වැඩිමහල්ලන් ඒ ගැන කම්පනයට පත් වෙන්න පුළුවන්. නමුත් කාමුක දර්ශන නරඹන සෑම අවස්ථාවක්ම විනිශ්චය කමිටුවක් මගින් හැසිරවිය යුතු බව ඉන් අදහස් කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට සිතන්න, සහෝදරයෙක් කිහිප වතාවක්ම අන්තර්ජාලයෙන් කාමුක දර්ශන නරඹා තිබෙනවා කියා. ඔහු කළ දේ ගැන ලජ්ජාවක් ඇති වී ඒ ගැන වැඩිමහල්ලෙකුට පවසයි. නැවතත් මෙම පාපය නොකිරීමට ඔහු අදිටන් කරගෙන සිටියි. ඔහුගේ හැසිරීම තුළ “අපවිත්‍රකම් කිරීමට ගිජුකමක්” දකින්න නැතැයි කියා වැඩිමහල්ලා තීරණය කිරීමට ඉඩ තිබෙනවා. නින්දිත හැසිරීමක් ලෙස සැලකීමට හේතු විය හැකි ආකාරයේ දරදඬු ආකල්පයක්ද ඔහු තුළ දක්නට නැහැ. විනිශ්චය කමිටුවක් මගින් මේ කාරණය හැසිරවීම අවශ්‍ය නැති වුණත් ඔහුට ශුද්ධ ලියවිල්ලෙන් ඍජු උපදෙස් ලබා දිය යුතු අතර ඉන්පසු දිගටම ඔහුට වැඩිමහල්ලන්ගේ උපකාරයද අවශ්‍ය විය හැකියි.

කෙසේවෙතත් දැන් අපි සලකා බලන උදාහරණයේ කතා කරන සහෝදරයාගේ තත්වය ඊට වඩා වෙනස්. මොහු වසර කිහිපයක් පුරා ඉතා පිළිකුල්සහගත කාමුක දර්ශන නරඹා තිබෙනවා. මෙම කාමුක දර්ශනවලට වෙනත් කෙනෙකුට කාමුකව වධ හිංසා දීම, කෙනෙකුව බැඳ තබා ඔහු හෝ ඇය සමඟ ලිංගිකව හැසිරීම, කිහිපදෙනෙක් එක්ව එක පිට එක කෙනෙකුව දූෂණය කිරීම, ස්ත්‍රීන්ට ලිංගිකව වධ හිංසා කිරීම හෝ ළමුන් ඇතුළත් කාමුක දර්ශන යනාදි ඉතා පිළිකුල්සහගත දේවල් අයත් වෙනවා. එමෙන්ම තමා කරන දේ කෙසේ හෝ සඟවා තබාගැනීමට ඔහු දැඩි උත්සාහයක්ද දරා තිබෙනවා. මේ ගැන අනිත් අය දැනගත් විට ඔහුට මහත් ලජ්ජාවක් දැනෙයි. ඔහු දරදඬු ආකල්පයක් පෙන්වා නැති වුණත් මේ පිළිකුල්සහගත පුරුද්දට ඔහු ‘භාර වී ඇති’ බවත් බරපතළ වූ අපවිත්‍ර හැසිරීමක් දක්වා දුරදිග යන තරමට ඔහු “අපවිත්‍රකම් කිරීමට ගිජුකමක්” දක්වා තිබෙන බවත් වැඩිමහල්ලන් තීරණය කළ හැකියි. මෙහිදී බරපතළ වූ අපවිත්‍ර හැසිරීමක් දකින්න තිබෙන නිසා විනිශ්චය කමිටුවක් මගින් මෙය හැසිරීම අවශ්‍යයි. මොහු අව්‍යාජ පසුතැවිල්ලක් පෙන්වමින් නැවතත් කාමුක දර්ශන නරඹන්නේ නැති බවට අදිටන් කරගෙන සිටින්නේ නැත්නම් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා. මෙම සහෝදරයා කාමුක දර්ශන නැරඹීමට වෙනත් අයටද ආරාධනා කරමින් ඔවුන්වද ඒ සඳහා දිරිගන්වා තිබෙනවා නම් ඉන් පැහැදිලි වන්නේ ඔහු තුළ ඉතා දරදඬු ආකල්පයක් ඇති බවයි. ඔහු නින්දිත හැසිරීමට වරදකරුවෙකු වන බවට එය සාක්ෂියක් වෙයි.

ශුද්ධ ලියවිල්ලේ සඳහන් “නින්දිත හැසිරීම” යන යෙදුමෙන් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ බරපතළ පාපයක් සිදු වී ඇති බවයි. බොහෝවිට ලිංගික කාරණා ඊට ඇතුළත් වෙනවා. යම් පාපයක් නින්දිත හැසිරීමක් ලෙස සැලකිය හැකිද කියා තීරණය කිරීමේදී වැඩිමහල්ලන් විශේෂ අවධානයක් යම් පැතිවලට දිය යුතුයි. එම පැතිවලට අයත් වන්නේ පුද්ගලයා තුළ දරදඬු ආකල්පයක් තිබෙනවාද, කිසිම පාලනයක් නැතිව තමාගේ ආශාවන් තෘප්තිමත් කරගැනීමේ ස්වභාවයක් ඔහු තුළ තිබෙනවාද, ඔහු ඉතා පිළිකුල්සහගත ලෙස හැසිරී තිබෙනවාද, ඔහුට කිසිම ලජ්ජාවක් භයක් නැද්ද, ඔහුගේ හැසිරීම ගැන අසා අන් අය කම්පනයට පත් වී තිබෙනවාද යනාදි කරුණුයි. මීට වෙනස්ව, යෙහෝවාගේ ප්‍රමිති බරපතළ ලෙස උල්ලංගනය කරන කෙනෙක් තුළ දරදඬු ආකල්පයක් නොතිබිය හැකි වුණත්, ඔහු තුළ “ගිජුකමක්” දකින්න තිබිය හැකියි. එවැනි කාරණා බරපතළ වූ අපවිත්‍ර හැසිරීමක් ලෙස සලකා විනිශ්චය කමිටුවක් මගින් හැසිරවිය යුතුයි.

කෙනෙක් කර තිබෙන දේ බරපතළ වූ අපවිත්‍ර හැසිරීමක්ද නැත්නම් නින්දිත හැසිරීමක්ද යන්න තීරණය කිරීම බැරෑරුම් වගකීමක්. මන්ද වැරදි තීරණයක් ගත්තොත් එය පුද්ගලයාට හෝ සභාවට අහිතකරව බලපාන්න පුළුවන්. එනිසා එවැනි කාරණා සම්බන්ධයෙන් විනිශ්චයක් කරන විට දෙවිගෙන් මඟ පෙන්වීමද, කාරණා නිවැරදිව වටහාගැනීමේ ශක්තියද, ප්‍රඥාවද ඉල්ලා යාච්ඤා කළ යුතුයි. වැඩිමහල්ලන් සභාවේ පවිත්‍රකම රැකගත යුතුයි. එමෙන්ම තමන් කරන විනිශ්චයන් පදනම් කරගත යුත්තේ දේවවචනය මත හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන මඟ පෙන්වීම් මතයි. (මතෙව් 18:18; 24:45) වෙන කවරදාටත් වඩා මේ නපුරු දවස්වලදී වැඩිමහල්ලන් මේ වචන හොඳින් සිතේ තබාගත යුතුයි. “ඔබ කරන දේ කල්පනා කරන්න; මක්නිසාද ඔබ මනුෂ්‍යයා උදෙසා නොව යෙහෝවා උදෙසා විනිශ්චය කරන්නහුය.”—2 ලේකම් 19:6.