Skip to content

පටුනට යන්න

“මම අද ඉඳලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා”

“මම අද ඉඳලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා”

“මම අද ඉඳලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා”

චෙක් ජනරජයේ ප්‍රාග් නම් ප්‍රදේශයේ පදිංචි වී සිටින ඇලෙක්සැන්ඩ්‍රා නමැති යුක්‍රේනියානු ජාතික කාන්තාව වැඩ නිම වී තම නිවෙස බලා ගමන් කරමිනුයි සිටියේ. බස් නැවතුම් පොළේදී ඇය දුටුවා කුඩා කවරයක් වැනි යමක් එතැනින් යන එන අයගේ කකුලේ වැදී එහේ මෙහේ වීසි වෙවී තිබෙනවා. ඇය එම කවරය අතට ගෙන ඇර බැලුවා. එහි තිබුණු දේ දැකලා ඇයට ඇගේ ඇස් අදහාගන්න බැරුව ගියා. එහි නෝට්ටු මිටියක් තිබුණා. එම කවරය සොයන කිසි කෙනෙක් ඒ අවට සිටියේත් නැහැ. මෙහි පින්තූරයේ දකින්න තිබෙන්නේ එම කවරයයි. චෙක් ජනරජයේ විදේශිකයෙක් වූ ඇලෙක්සැන්ඩ්‍රා ජීවිතේ ගැට ගසාගන්න දැඩි සටනක යෙදෙනවා. ඇය මේ මුදලට මොනවා කරයිද?

ඇය ගෙදර ගිය පසු ඇගේ දුවට එම කවරය පෙන්නුවා. දුවගේ නම වික්ටෝරියා. මේ දෙදෙනාම ඒ කවරයේ අයිතිකරුගේ නමයි ලිපිනයයි තියෙනවාද කියලා හෙව්වා. ඒත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. හැබැයි ඒ කවරයේ කුඩා කොළ කෑල්ලක් තිබුණා. ඒ කොළ කෑල්ලේ එක පැත්තක බැංකු ගිණුම් අංකයකුත් අනිත් පැත්තේ තවත් අංක කිහිපයකුත් සඳහන් වෙලා තිබුණා. ඒ වගේම එම කවරයේ, ළඟ තිබෙන බැංකුවකට යන මාර්ගය විස්තර කර තිබුණු කොළයක්ද “යූරෝ 8,000” ක් (රුපියල් ලක්ෂ දහයක් පමණ) කියා සඳහන් ලියවිල්ලක්ද තිබුණා. ඒ කවරයේ තිබුණු මුදල් ප්‍රමාණය හරියටම ඒ කොළේ සඳහන් කරලා තිබුණා.

එහි සටහන් වී තිබුණු අංකයක් බැංකුවේ දුරකථන අංකයක් කියා සිතා ඇලෙක්සැන්ඩ්‍රා කතා කළත් එය බැංකුවේ අංකය නෙවෙයි. ඊට පස්සේ ඇයයි ඇගේ දුවයි බැංකුවට ගිහින් සියලුම විස්තර කිව්වා. කවරයේ තිබුණු අංකවලින් එක අංකයක් බැංකුවේ අයට දුන්නත් ඒ අංකයට ගිණුමක් තිබුණේ නැහැ. ඊළඟ දවසේ ඇලෙක්සැන්ඩ්‍රා කවරයේ තිබුණු අනිත් අංකය රැගෙන ගියා. ඒ අංකය දරන ගිණුම් අංකයක් තිබුණු අතර එහි අයිතිකරු වූයේ කාන්තාවක්. ඇලෙක්සැන්ඩ්‍රා හා වික්ටෝරියා එම කාන්තාව ඇමතූ අතර ඇය නැති වූ මුදල් ගැන විස්තර සැපයුවා. පසුව මේ කාන්තාව ඔවුන් දෙදෙනා මුණගැසුණු වෙලාවේ ඇය ඔවුන්ට බොහෝ සෙයින් ස්තුති කරලා මෙසේ ඇසුවා. “ඔයගොල්ලන් මට මේ මුදල් ආපහු දෙනවාට මම මොනවාද දෙන්න ඕනේ?”

වික්ටෝරියා මෙසේ පැවසුවා. “අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපිට එහෙම දෙයක් ඕනේ නම් අපිට මේ මුදල් තියාගන්න තිබුණා.” ඇය චෙක් ජනරජයේ භාවිත කරන භාෂාව එතරම් හොඳින් දැන සිටියේ නැති වුණත් ඇය දන්න තරමින් මෙසේ කිව්වා. “අපි මේ මුදල් ඔයාට ආපහු දෙන්නේ අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිසයි. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව අපේ හෘදය සාක්ෂිය පුහුණු කරලා තියෙන නිසා අපිට අයිති නැති දෙයක් අපි ළඟ තියාගත්තොත් ඒක අපේ හිතට ලොකු වදයක් වෙනවා.” (හෙබ්‍රෙව් 13:18) ඒ කාන්තාව ප්‍රීතියෙන් මෙහෙම පැවසුවා. “මම අද ඉඳලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා”