Skip to content

පටුනට යන්න

මැසිවිලි නැඟීමෙන් වළකින්න

මැසිවිලි නැඟීමෙන් වළකින්න

මැසිවිලි නැඟීමෙන් වළකින්න

“ඔබ කුමන දෙය කළත් මැසිවිලි කීමක් . . . නැතිව කරන්න.”—ෆිලිප්පි 2:14.

1, 2. පාවුල් ෆිලිප්පියේ හා කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට දුන් උපදෙස කුමක්ද? මෙසේ උපදෙස් දීමට හේතුව කුමක්ද?

පාවුල් ෆිලිප්පි සභාවේ සිටි ක්‍රිස්තියානීන් තුළ තිබූ ත්‍යාගශීලීකමත් ඔවුන් උද්‍යෝගයෙන් සේවය කිරීම ගැනත් පැසසුමට ලක් කළා. එමෙන්ම ඔවුන්ගේ යහපත් ක්‍රියා ගැනද තම ප්‍රීතිය පළ කළා. මේ බව ඔහු දෙවිගේ මඟ පෙන්වීම යටතේ ඔවුන්ට ලියූ ලිපියේ දැකිය හැකියි. කෙසේවෙතත් පාවුල් ඔවුන්ට මෙවැනි දෙයක් ගැනද පැවසුවා. “ඔබ කුමන දෙය කළත් මැසිවිලි කීමක් . . . නැතිව කරන්න.” (ෆිලිප්පි 2:14) ඔහු මෙවැනි උපදෙසක් දුන්නේ ඇයි?

2 මැසිවිලි නැඟීමෙන් ඇති වන ප්‍රතිවිපාක ගැන පාවුල් දැන සිටියා. අවුරුදු කිහිපයකට පෙර ඔහු කොරින්ති සභාවේ අයටද මැසිවිලි නැඟීම හානිකර බව පෙන්වා දී තිබුණා. ඊශ්‍රායෙල්වරු පාළුකරයේ සිටි කාලයේදී ඔවුන් හානිකර දේවලට ආශාවීමෙන්ද, රූප නමස්කාරයේ යෙදීමෙන්ද, වේශ්‍යාකම් කිරීමෙන්ද, යෙහෝවාව පරීක්ෂා කිරීමෙන්ද, මැසිවිලි නැඟීමෙන්ද දෙවිව නිතර නිතර කෝපයට පත් කළ බව පාවුල් කොරින්තිවරුන්ට මතක් කර දුන්නා. ඊශ්‍රායෙල්වරුන්ට සිදු වූ දෙයින් පාඩමක් ඉගෙනගන්න කියා ඔවුන්ව දිරිගන්වමින් පාවුල් මෙසේ ලිව්වා. “ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි නැඟුවාක් මෙන් මැසිවිලි නඟන්නන් නොවන්න. එසේ කිරීමෙන් ඔවුහු විනාශ කරන්නා අතින් විනාශ වුණෝය.”—1 කොරින්ති 10:6-11.

3. මැසිවිලි නැඟීම ගැන අප සලකා බැලිය යුත්තේ ඇයි?

3 ෆිලිප්පි සභාවේ සිටි අය තුළ තිබූ යහපත් ගුණාංග වර්තමානයේ සිටින යෙහෝවාගේ සේවකයන් වන අප තුළත් දකින්න තිබෙනවා. අප යහපත් ක්‍රියාවල උද්‍යෝගයෙන් හවුල් වන අතර අප එකිනෙකාට අවංකව ප්‍රේමය පෙන්වනවා. (යොහන් 13:35) කෙසේවෙතත් මැසිවිලි නැඟීම නිසා අතීතයේ දෙවිගේ සෙනඟ මුහුණ දුන් හානිකර ප්‍රතිවිපාක ගැන සිතන විට පාවුල් දුන් මෙම උපදෙස සිතට ගැනීමට අපටත් හොඳ හේතු තිබෙනවා. “ඔබ කුමන දෙය කළත් මැසිවිලි කීමක් . . . නැතිව කරන්න.” මැසිවිලි නැඟීම ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් අවස්ථා කිහිපයක් අපි මුලින්ම සලකා බලමු. මැසිවිලි නැඟීමෙන් වැළකී සිටීම සඳහා අපට කළ හැකි දේවල් ගැනත් ඉන්පසුව සලකා බලමු.

යෙහෝවා දෙවිට විරුද්ධව මැසිවිලි නැඟූ දුෂ්ට සෙනඟක්

4. ඊශ්‍රායෙලිතයන් පාළුකරයේදී මැසිවිලි නැඟුවේ කුමක් ගැනද?

4 ‘මැසිවිලි නැඟීම, කෙඳිරීම, පැමිණිලි කිරීම’ යන වචන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල භාවිත කර තිබෙන්නේ ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ ගත කළ අවුරුදු 40දී සිදු වූ සිද්ධීන් විස්තර කිරීමේදීයි. ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ට භුක්ති විඳින්න ලැබුණු දේවල් ගැන සෑහීමට පත් නොවී ඒ ගැන මැසිවිලි නැඟුවා. උදාහරණයකට, ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් වී සති කිහිපයකට පසුව “ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව වනයෙහිදී මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කොඳුළෝය.” ඔවුන් ආහාර ගැන මෙසේ පැමිණිලි කළා. “ඊජිප්තු දේශයෙහි මාංස භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ කාලයෙහි යෙහෝවාගේ අතින් අපි නැසුණෙමු නම් යහපත; මක්නිසාද ඔබ මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන්ට අප මේ වනයට ගෙනාවහුය.”—නික්මයාම 16:1-3.

5. ඊශ්‍රායෙල්වරුන් ඇත්තටම මැසිවිලි නැඟුවේ කාට විරුද්ධවද?

5 ඊශ්‍රායෙල්වරුන්ට මැසිවිලි නැඟීමට කිසිම හේතුවක් තිබුණේ නැහැ. යෙහෝවා දෙවි ඔවුන් පාළුකරයේ සිටි කාලයේදී ඔවුන්ට අවශ්‍ය ආහාර හා ජලය ලබා දුන්නා. මේ නිසා තමන් සාගතයෙන් මිය යයි කියා ඔවුන්ට බියවීමට අවශ්‍ය වුණේ නැහැ. ඔවුන් තමන්ට ලැබුණු දේවල්වලින් සෑහීමට පත් නොවී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ සුළු දුෂ්කරතා විශාල ඒවා බවට පත් කරගනිමින් ඒවා ගැන මැසිවිලි නඟන්න පටන්ගත්තා. ඔවුන් පැමිණිලි කළේ මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව වුවත් යෙහෝවා දෙවි එය සැලකුවේ තමන්ට විරුද්ධව කළ පැමිණිල්ලක් ලෙසයි. මෝසෙස් ඊශ්‍රායෙලිතයන්ට මෙසේ පැවසුවා. “යෙහෝවාට විරුද්ධව කරන ඔබගේ කෙඳිරීම් ඔහුට ඇසෙන්නේය; අපි කවුරුද? ඔබගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව යෙහෝවාට විරුද්ධවය.”—නික්මයාම 16:4-8.

6, 7. ගණන් කතාව 14:1-3හි සඳහන් වන පරිදි ඊශ්‍රායෙල්වරුන් වෙනස් වුණේ කෙසේද?

6 වැඩි කලක් යන්න කලින් ඊශ්‍රායෙල්වරුන් නැවතත් මැසිවිලි නැඟුවා. මෝසෙස් පොරොන්දු දේශය සෝදිසි කර බැලීමට ඔත්තුකාරයන් 12දෙනෙකුව පිටත් කර හැරියා. ඔවුන්ගෙන් දසදෙනෙක් ඒ දේශය ගැන නරක ආරංචියක් ගෙනා අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන් ක්‍රියා කළේ කෙසේද? “සියලු ඊශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව කොඳුළෝය. මුළු සභාවද: ‘අහෝ ඊජිප්තු දේශයෙහි අපි මළෙමු නම් යහපත; නොහොත් මේ වනයෙහි අපි මළෙමු නම් යහපත. අප කඩුවෙන් වැටෙන පිණිස යෙහෝවා මේ දේශයට [කානාන් දේශයට] අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ අඹුදරුවෝ කොල්ලයක් වන්නෝය. ඊජිප්තුවට හැරීයාම අපට යහපත් නොවේදැයි කීවෝය.’”—ගණන් කතාව 14:1-3.

7 යෙහෝවා දෙවි ඊජිප්තුවේ වහල්භාවයෙන් තමන්ව මුදවාගෙන, රතු මුහුදෙන් එගොඩ කර තම ජීවිත ගලවාගැනීමට මාර්ගය සලසා දුන් පසු ඊශ්‍රායෙල්වරුන් ඔහුට කෘතඥතාව පළ කරමින් ප්‍රශංසා ගී ගායනා කළා. (නික්මයාම 15:1-21) නමුත් පාළුකරයේ මුහුණ දීමට සිදු වූ අපහසුතාවන් නිසාත් කානානිවරුන්ට බිය වූ නිසාත් දෙවිගේ සෙනඟගේ ආකල්පය වෙනස් වුණා. මුලදී දෙවි තමන්ට ලබා දුන් දේවල් අගය කළද පසුව ඔවුන් මැසිවිලි නඟන්න පටන්ගත්තා. දෙවි ලබා දුන් ගැලවීම ගැන ඔහුට ස්තුතිවන්ත වෙනවා වෙනුවට දෙවි ඔවුන්ට යම් දේවල් නොදෙනවා කියා සිතමින් ඔහුට දොස් නැඟුවා. ඔවුන් මැසිවිලි නැඟීමෙන් පෙනී යන්නේ යෙහෝවා දෙවි ඔවුන්ට ලබා දී තිබුණ දේවල් කෙරෙහි ඔවුන්ගේ අගය අඩු වී තිබුණු බවයි. ඒ නිසා ඔහු මෙසේ පැවසීම පුදුමයක්ද! “මට විරුද්ධව කොඳුරන මේ දුෂ්ට සභාව කෙරෙහි කොපමණ කල් ඉවසන්නෙම්ද?”—ගණන් කතාව 14:27; 21:5.

මුල් සියවසේදී මැසිවිලි නැඟීම

8, 9. මැසිවිලි නැඟීම ගැන ග්‍රීක ශුද්ධ ලියවිලිවල සඳහන් වාර්තාවලට උදාහරණ සපයන්න.

8 අපි කලින් සලකා බැලූ උදාහරණවලින් පෙනී යන ආකාරයට බොහෝවිට මැසිවිලි නැඟීමේදී සිදු වන්නේ යම් පිරිසක් යම් දේවල් ගැන සෑහීමට පත් නොවී සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි. ක්‍රිස්තු වර්ෂ 32දී යේසුස් කූඩාරම් මංගල්‍යයට සහාභාගි වීමට යෙරුසලමට ගිය අවස්ථාවේදී, “සමූහයන් අතරේ ඔහු ගැන මහ කසු කුසුවක්” ඇති වුණා. (යොහන් 7:12, 13, 32) සමහරුන් ඔහු යහපත් මිනිසෙක් කියාත් තවත් අය එසේ නොවේ කියාත් පවසමින් කොඳුරන්න පටන්ගත්තා.

9 තවත් අවස්ථාවකදී යේසුස් සහ ඔහුගේ ගෝලයන් ආදායම් බදු එකතු කරන්නෙකු වූ මතෙව්ගේ (ලෙවි කියාද හඳුන්වයි) නිවසට ගිය අවස්ථාවේදී “පරිසිවරු සහ ඔවුන්ගේ ලියන්නෝ ඔහුගේ ගෝලයන්ට ඒ ගැන මැසිවිලි නඟමින්, ‘ඔබ බදු එකතු කරන්නන් හා පව්කාරයන් සමඟ කන්නෙත් බොන්නෙත් මන්ද?’” කියා ඇසුවා. (ලූක් 5:27-30) ඉන්පසු ගලීලයේ තවත් අවස්ථාවකදී යේසුස් “‘ස්වර්ගයෙන් බැස ආ ආහාරය මමය’ කියා . . . පැවසූ නිසා යුදෙව්වරු ඔහු ගැන මැසිවිලි නඟන්න පටන්ගත්හ.” යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් සමහරදෙනෙක් පවා ඔහු පැවසූ දෙය ගැන බාධාවට පත් වී මැසිවිලි නඟන්න පටන්ගත්තා.—යොහන් 6:41, 60, 61.

10, 11. ග්‍රීක බස කතා කළ යුදෙව්වන් මැසිවිලි නැඟුවේ ඇයි? ඔවුන්ගේ පැමිණිල්ල විසඳූ ආකාරයෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

10 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසෙන් පසුව සිදු වූ මැසිවිලි නැඟීමක් ගැනත් බයිබලයේ වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී නම් ඉන් ඇති වූයේ යහපත් ප්‍රතිඵලයක්. ඊශ්‍රායෙලයේ අවට දේශවලින් පැමිණි ක්‍රිස්තියානි ආගම වැලඳගත් නවකයන් බොහෝදෙනෙක් යුදයේ සිටි ක්‍රිස්තියානීන් පෙන්වූ ආගන්තුක සත්කාරය භුක්ති වින්දත් ආහාර බෙදා දීමේදී යම් ගැටලු මතු වුණා. මේ ගැන වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “ග්‍රීක බස කතා කරන යුදෙව්වරු හෙබ්‍රෙව් බස කතා කරන යුදෙව්වරුන්ට විරුද්ධව මැසිවිලි නැඟුවෝය. මන්ද, දිනපතා කෙරුණු කෑම බෙදා දීමේදී ඔවුන්ගේ වැන්දඹුවන්ව නොසලකාහරින ලදි.”—ක්‍රියා 6:1.

11 මොවුන් නැඟූ මැසිවිලි අතරත් පාළුකරයේ ඊශ්‍රායෙල්වරුන් නැඟූ මැසිවිලි අතරත් වෙනසක් තිබෙනවා. ග්‍රීක බස කතා කළ යුදෙව්වන් මැසිවිලි නැඟුවේ ආත්මාර්ථකාමී හේතු මත නොවෙයි. ඔවුන් කළේ ඇතැම් වැන්දඹුවන්ගේ අවශ්‍යතාවන් සපයා නොදීම ගැන වග කිව යුත්තන්ගේ අවධානයට යොමු කිරීමයි. තවද මෙම මැසිවිලි නැඟූ අය අනවශ්‍ය ප්‍රශ්න ඇති කළේ නැහැ. ඒ වගේම යෙහෝවා දෙවිට විරුද්ධව කතා කළේද නැහැ. ඔවුන් කළේ තමන්ගේ පැමිණිල්ල යේසුස්ගේ ගෝලයන්ට ඉදිරිපත් කිරීම පමණයි. හොඳ හේතු ඇතිව ඉදිරිපත් කරන ලද මේ පැමිණිල්ල ගැන සොයා බලා ඊට විසඳුමක් ලබා දීමට ගෝලයන් ඉක්මනින් කටයුතු කළා. එම ගෝලයන් අද සිටින වැඩිමහල්ලන්ට තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! සභාවේ එඬේරුන් ලෙස සේවය කරන වැඩිමහල්ලන් ‘දුප්පතාගේ මොරගැසීමට කන් වසා නොගන්න’ වගබලා ගත යුතුයි.—හිතෝපදේශ 21:13; ක්‍රියා 6:2-6.

මැසිවිලි නැඟීම මල බැඳීම හා සමානයි

12, 13. (අ) මැසිවිලි නැඟීමේ ප්‍රතිවිපාක නිදසුනක් මාර්ගයෙන් පැහැදිලි කරන්න. (ආ) යම් කෙනෙක් මැසිවිලි නැඟීමට හේතු විය හැකි දේවල් මොනවාද?

12 අපි කලින් සලකා බැලූ බයිබලයේ සඳහන් ආදර්ශවලින් පෙනී යන්නේ මැසිවිලි නැඟීම නිසා දෙවිගේ සෙනඟට මහත් හානියක් අත් විඳීමට සිදු වූ බවයි. මේ නිසා අද දින සිටින දෙවිගේ සේවකයන් වන අප මේ කාරණය සැහැල්ලුවට නොගත යුතුයි. මැසිවිලි නැඟීමෙන් සිදු වන හානිය මල බැඳීම හා සමාන කළ හැකියි. බොහෝ වානේ වර්ග කලක් යන විට මල බැඳෙන්න පුළුවන්. මල බඳින බවට මුල් ලක්ෂණ පහළ වෙද්දී ඒවා නොසලකාහැරියොත් එය ටිකෙන් ටික දිරාපත් විය හැකියි. ඇතැම් වාහන වටිනාකමක් නැති තත්වයට පත්වීමට බොහෝදුරට හේතු වන්නේ ඒවායේ තිබෙන කාර්මික දෝෂ නොව ඒවා අධික ලෙස මල බැඳී තිබීමයි. එවැනි වාහන අනතුරුදායක වෙන්නත් පුළුවන්. මෙම උදාහරණය මැසිවිලි නැඟීමට අදාළ කළ හැක්කේ කෙසේද?

13 ඇතැම් වානේ වර්ග මල බැඳීමට ප්‍රවණතාවක් තිබෙනවා වගේ පව්කාර මිනිසුන් තුළ මැසිවිලි නැඟීමේ නැඹුරුවාවක් තිබෙනවා. අප තුළ මැසිවිලි නැඟීමේ ස්වභාවයක් ඉස්මතු වී තිබෙනවාද කියා අපි නිතර සෝදිසි කර බැලිය යුතුයි. තෙතමනය හා ලුණු මිශ්‍ර වාතය මල බැඳීම වේගවත් කරන්නාක් මෙන් ජීවිතයේ අසීරුතාවලට මුහුණ දෙන විට මැසිවිලි නැඟීමට තිබෙන ඉඩ කඩ වැඩියි. මානසික පීඩනයට ලක් වී සිටින විටකදී සුළු ප්‍රශ්නයක් පවා ලොකු ප්‍රශ්නයක් මෙන් පෙනෙන්න පුළුවන්. මේ අන්තිම දවස්වල අසීරු තත්වයන් වැඩි වන විට මැසිවිලි නැඟීමට බලපාන හේතුද වැඩි වෙයි. (2 තිමෝති 3:1-5) යමෙකුට තිබෙන අඩු පාඩුකම්, යමෙකුගේ හැකියාවන්, යමෙකු භුක්ති විඳින සේවා වරප්‍රසාද වැනි කුඩා කාරණයක් අවධානයට ලක් කරමින් යෙහෝවා දෙවිගේ එක් සේවකයෙක් ඔහුගේම තවත් සේවකයෙකු ගැන මැසිවිලි නඟන්න පුළුවන්.

14, 15. මැසිවිලි නැඟීමේ ස්වභාවය අප සැහැල්ලුවට නොගත යුත්තේ ඇයි?

14 අප අසතුටට පත්වීමට හේතුව කුමක් වුවත් මැසිවිලි නැඟීමේ ස්වභාවයක් අප තුළ ඇති වෙන්න ඉඩහැරීම අනතුරුදායකයි. අපි එසේ කරනවා නම් අප කිසිම දෙයකින් සෑහීමට පත් නොවී දිගින් දිගටම පැමිණිලි කරන්නන් බවට පත් වෙයි. මේ නිසා යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය ටිකෙන් ටික පලුදු වී යා හැකියි. ඊශ්‍රායෙල්වරුන් පාළුකරයේ ගත කළ කාලයේදී ඔවුන්ගේ පැමිණිලි කිරීම් කොතරම් දුර දිග ගියාද කියනවා නම් ඔවුන් යෙහෝවා දෙවිට පවා විරුද්ධව දොස් නැඟුවා. (නික්මයාම 16:8) එවැනි දෙයක් අපට කිසිදාක සිදු නොවීමට වගබලා ගනිමු.

15 මල බැඳීම වළක්වන තීන්ත වර්ගයක් ආලේප කිරීමෙන් හා මල බැඳුණු කුඩා තැන්වලට පවා ඉක්මනින්ම යම් පිළියමක් යෙදීමෙන් මල බැඳීම අඩු කරගත හැකි බව අපි දන්නවා. ඒ හා සමානව අප තුළ මැසිවිලි නැඟීමේ නැඹුරුවාවක් තිබෙන බවට ලක්ෂණ දකින විට ඒ ගැන අපි ඉක්මනින් සැලකිලිමත් වී යාච්ඤාපූර්වකව ඒ සඳහා පියවර ගන්නවා නම් එම ස්වභාවය අපට මැඩපැවැත්විය හැකියි. අපි මෙය කරන්නේ කෙසේද කියා දැන් සලකා බලමු.

යෙහෝවා මෙන් කාරණා දෙස බලන්න

16. මැසිවිලි නැඟීමේ ස්වභාවය මැඩපවත්වා ගැනීමට හැක්කේ කෙසේද?

16 මැසිවිලි නඟන විට අපි වැඩියෙන් සිතන්නේ අපි ගැනම හා අපි අද්දකින කරදර ගැනයි. එවිට යෙහෝවාගේ සේවකයන් හැටියට අපි භුක්ති විඳින ආශීර්වාද අපට අමතක විය හැකියි. මැසිවිලි නැඟීමේ ස්වභාවය නැති කරගැනීමට නම් අපි භුක්ති විඳින ආශීර්වාද අපි නිතර මතක් කරගත යුතුයි. උදාහරණයක් හැටියට යෙහෝවාගේ නාමය දැරීමේ ගෞරවය අපි එක් එක් කෙනාට හිමි වී තිබෙනවා. (යෙසායා 43:10) ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් අප ඇති කරගෙන තිබෙන අතර ‘යාච්ඤා අසන තැනැත්තා’ වන ඔහුට ඕනෑම වේලාවක කතා කළ හැකියි. (ගීතාවලිය 65:2; යාකොබ් 4:8) දෙවිගේ පාලනය සම්බන්ධයෙන් පැනනැඟී ඇති ප්‍රශ්නය අපි හොඳින් තේරුම්ගෙන තිබෙනවා. එමෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටින්න ලැබීම වරප්‍රසාදයක් ලෙස අපි සලකනවා. මේ හේතු නිසා අපගේ ජීවිතවලට පැහැදිලි අරමුණක් තිබෙනවා. (හිතෝපදේශ 27:11) රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ හවුල් වීමට අපට හැකියි. (මතෙව් 24:14) යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීම නිසා දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න අපිට හැකි වී තිබෙනවා. (යොහන් 3:16) අපිට කුමන දුක් කරදරවලට මුහුණ දෙන්න සිදු වුණත් මේ හැම ආශීර්වාදයක්ම අපි භුක්ති විඳින බව අමතක නොකළ යුතුයි.

17. පැමිණිලි කිරීමට අපිට හොඳ හේතු තිබුණත් යෙහෝවා කාරණා දෙස බලන ආකාරයට අපත් කාරණා දෙස බලන්න වෑයම් කළ යුත්තේ ඇයි?

17 අපිට හැඟෙන ආකාරයට නොව යෙහෝවාට හැඟෙන ආකාරයට කාරණා දෙස බැලීමට අපි වෑයම් කරමු. දාවිත් මෙසේ ගායනා කළා. “යෙහෝවා, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.” (ගීතාවලිය 25:4) පැමිණිලි කිරීම සඳහා හොඳ හේතු අපට තිබුණත් ඒවා යෙහෝවා දෙවිත් දකින බව අප මතක තබාගත යුතුයි. එම කාරණය ඉක්මනින්ම විසඳන්න ඔහුට හැකියි. ඒත් ඔහු ඇතැම් අවස්ථාවලදී යම් ගැටලුසහගත තත්වයන් පවතින්න ඉඩහරින්නේ ඇයි? ඇතැම්විට මෙසේ කරන්නේ විඳදරාගැනීම, ඇදහිල්ල හා බොහෝ ඉවසිලිවන්තකම යනාදි ගුණාංග වර්ධනය කරගැනීම සඳහා අපට උපකාර කිරීමේ අරමුණින් විය හැකියි.—යාකොබ් 1:2-4.

18, 19. අපට මුහුණ පෑමට සිදු වන අපහසුතාවන් විඳදරාගැනීමෙන් යහපත් ප්‍රතිඵල අත් වන බව, අද්දැකීමක් මගින් පැහැදිලි කරන්න.

18 මැසිවිලි නඟන්නේ නැතිව අපහසුතාවන් දරාගැනීමෙන් අපට හොඳ ගුණාංග වර්ධනය කරගැනීමට හැකි වෙනවා විතරක් නොවෙයි, අපේ යහපත් ගුණාංග දකින අන් අය තුළ අප ගැන හොඳ හැඟීමක්ද ඇති වෙයි. වර්ෂ 2003දී පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවකට සහභාගි වීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් කණ්ඩායමක් ජර්මනියේ සිට හංගේරියාවට බස් රථයකින් ගමන් කළා. බස් රථයේ රියැදුරා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නොවෙයි. සාක්ෂිකරුවන් සමඟ දවස් දහයක ගමනක් යෑමට ඔහු එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. එහෙත් ඒ ගමන අවසානයේදී ඔහු සාක්ෂිකරුවන් ගැන සිතූ ආකාරය වෙනස් වී තිබුණා. එයට හේතුව කුමක්ද?

19 ඒ ගමනේදී සාක්ෂිකරුවන්ට නොයෙක් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වුණා. එහෙත් ඔවුන් කිසි කෙනෙක් ඒ ගැන මැසිවිලි නැඟුවේ නැහැ. තමන් මෙතෙක් රැගෙන ගොස් තිබෙන හොඳම මඟීන් කණ්ඩායම සාක්ෂිකරුවන් කියා ඔහු පැවසුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඊළඟ වතාවේදී තමන්ගේ නිවසට පැමිණෙන විට ඔවුන්ට හොඳින් සවන් දෙන බවට ඔහු පොරොන්දු වුණා. ‘කුමන දෙයක් කළත් මැසිවිලි නැඟීමක් නැතිව කිරීම’ සම්බන්ධයෙන් ඒ සාක්ෂිකරුවන් තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද!

සමාව දීම එක්සත්කම වඩවයි

20. අපි එකිනෙකාට සමාව දිය යුත්තේ ඇයි?

20 සෙසු නමස්කාරකයෙකුට විරුද්ධව යම් පැමිණිල්ලක් අපට තිබෙනවා නම් කළ යුත්තේ කුමක්ද? කාරණය බරපතළ නම් යේසුස් මතෙව් 18:15-17 දක්වා සඳහන් කළ ප්‍රතිපත්තිවලට අනුව අපි ක්‍රියා කළ යුතුයි. කෙසේවෙතත්, බොහෝ පැමිණිලිවලට හේතු වන්නේ සුළු සුළු කාරණා නිසා එසේ ක්‍රියා කිරීම සැමවිටම අවශ්‍ය වන්නේ නැහැ. සමාව දීමේ ගුණාංගය වර්ධනය කරගැනීමට එය අවස්ථාවක් ලෙස සැලකීමට අපට හැකිද? පාවුල් මෙසේ ලිව්වා. “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න. නමුත් මේ සියල්ලට අමතරව, ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.” (කොලොස්සි 3:13, 14) සමාව දීමට අපි කැමැත්තෙන් සිටිනවාද? අප ගැනත් පැමිණිලි කරන්න යෙහෝවාට ඕනෑ තරම් හේතු තිබෙනවා. එහෙත් ඔහු නැවත නැවතත් අපට දයාව පෙන්වමින් සමාව දෙනවා.

21. මැසිවිලි නඟන අය ගැන සවන් දෙන අයට හැඟෙන්නේ කෙසේද?

21 පැමිණිලි කිරීමට තිබෙන හේතුව කුමක් වුණත් ඒ ගැන මැසිවිලි නැඟීමෙන් කාරණා විසඳෙන්නේ නැහැ. මැසිවිලි නැඟීම යන්නෙන් යමක් ගැන කෙඳිරීමත් අදහස් කරනවා. නිතරම කන් කෙඳිරිගාන කෙනෙක් ළඟ සිටින විට අපට අපහසුතාවක් දැනෙන නිසා එවැනි කෙනෙකුගෙන් ඈත්ව සිටින්න අපි උත්සාහ කරනවා. අපිත් මැසිවිලි නඟනවා නම් හෝ කන් කෙඳිරිගානවා නම් අන් අයටත් එසේම හැඟෙන්න පුළුවන්. කන් කෙඳිරිගෑමෙන් යම් අයගේ අවධානය ඇදගැනීමට හැකි වුණත් අප ගැන ඔවුන් තුළ හොඳ හැඟීමක් ඇති වන්නේ නැහැ.

22. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන එක් දැරියක් පැවසුවේ කුමක්ද?

22 සමාව දීමේ ගුණාංගය යෙහෝවාගේ සෙනඟ බොහෝ සේ අගය කරනවා. එය ඔවුන් අතර සාමය පවත්වාගැනීමටද දායක වී තිබෙනවා. (ගීතාවලිය 133:1-3) එක් යුරෝපීය රටක වෙසෙන 17 හැවිරිදි කතෝලික දැරියක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට මෙසේ ලියා තිබුණා. “වෛරය, තණ්හාව, අමනාපය, ආත්මාර්ථකාමීත්වය හා අසමඟිය නැති මා දන්නා එකම සංවිධානය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය පමණයි.”

23. ඊළඟ ලිපියේදී අපි සලකා බලන්නේ කුමක් ගැනද?

23 යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් හැටියට ඔහු අපට කර තිබෙන සියලුම ආශීර්වාද අගය කිරීම, එක්සත්කම රැකගැනීමට පමණක් නොව, අන් අයගේ අඩු පාඩු ගැන මැසිවිලි නැඟීමෙන් වැළකී සිටීමටද අපට උපකාරවත් වෙනවා. මැසිවිලි නැඟීමේ වඩාත් භයානක පැත්තක් වන්නේ යෙහෝවාගේ සංවිධානයට විරුද්ධව මැසිවිලි නැඟීමයි. ඉන් වැළකී සිටීම සඳහා අපි වර්ධනය කරගත යුතු ගුණාංග ගැන දෙවි අපිට උගන්වනවා. මේ ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබට මතකද?

• මැසිවිලි නඟනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• මැසිවිලි නැඟීමේ ප්‍රතිවිපාක නිදසුනක් මගින් පැහැදිලි කරන්න.

• මැසිවිලි නැඟීමේ ස්වභාවයක් අප තුළ තිබෙනවා නම් එය මැඩපවත්වා ගැනීම සඳහා අපට කුමක් කළ හැකිද?

• සමාව දීමට කැමැත්තෙන් සිටීම මැසිවිලි නැඟීමෙන් වැළකී සිටීමට උපකාරවත් වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන් ඇත්තටම මැසිවිලි නැඟුවේ යෙහෝවා දෙවිට විරුද්ධවයි!

[17වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි මෙන් කාරණා දෙස බැලීමට ඔබ වෑයම් කරනවාද?

[18වන පිටුවේ පින්තූර]

සමාව දීමෙන් එක්සත්කම වැඩි වෙයි