Skip to content

පටුනට යන්න

අපතේ නොයවන්න!

අපතේ නොයවන්න!

අපතේ නොයවන්න!

එය රන් හා සමානයි! නමුත් එය රන්වලට හෝ වෙනත් වටිනා වස්තුවලටත් වඩා වටිනවා. මුදල්, ආහාර, ඉන්ධන හෝ වෙනත් බොහොමයක් දේ වගේ එය අනාගතයේදී පාවිච්චි කිරීමට වෙන් කර තබන්න බැහැ. එය පාවිච්චි නොකර ඉතුරු කර තබාගැනීමට වෑයම් කිරීමත් නිෂ්ඵල දෙයක්. එය නම් කාලයයි! උදාහරණයකට මෙහෙම හිතන්න. දවසකට පැය අටක් නිදාගෙන ඉතිරි පැය ගණන කිසිවක් නොකර ඉතුරු කර තබාගැනීමට උත්සාහ කළොත් කුමක් සිදු වෙයිද? දවස අවසානයේදී ඒ කිසිවක් නොකළ පැය ගණනාව කිසිදාක නැවත ඇදගන්න බැහැ.

කාලය වේගයෙන් ගලා බසින ගංගාවකට සමාන කළ හැකියි. එය හැමවිටම ගලා බසින්නේ ඉදිරියටයි. ඒක අපිට නවත්වන්නවත් ඒ ගලන හැම ජල බිංදුවකින්ම ප්‍රයෝජනයක් ගන්නවත් අපිට බැහැ. මීට බොහෝ කාලයකට පෙර මිනිසුන් ගං ඉවුරු අසල විශාල ජල රෝද සවි කළා. ඒවායේ බල ශක්තිය උපයෝගි කරගෙන ඔවුන් විශාල ඇඹරුම් ගල්, ලී කපන යන්ත්‍ර, පොම්ප මෙන්ම යකඩ තලන විශාල මිටි ක්‍රියාත්මක කළා. කාලයත් ඒ වගේ. එය ඉතුරු කරගන්න බැහැ. ඒ වුණත් එය ඉතා හොඳින් ප්‍රයෝජනයට ගෙන යහපත් වැඩ කිරීමට යොදාගන්න අපිට පුළුවන්. එහෙම කරන්න නම් අපේ කාලය සොරාගන්නා දේවල් දෙකකින් අපි වැළකෙන්න ඕනේ. පළමුවෙනි එක නම් වැඩ කල් දැමීමයි. දෙවැන්න නම් අපිළිවෙළයි.

කල් දැමීමෙන් වළකින්න

අදට කරන්න තිබෙන දේ හෙටට කල් දමන්න එපා යන කියමන ඔබ අසා ඇති. ඒ වුණත් සමහර අය ඒක එතරම් ගණන් ගන්නේ නැහැ. හුඟක් අය අනිවාර්යයෙන්ම කළ යුතු වැඩක් තිබෙද්දී පවා එය පහසුවෙන්ම මඟ හැරීම සඳහා පසුවට කල් දමනවා. සාමාන්‍යයෙන් දේවල් කල් දමන කෙනෙක් කරන්න තිබෙන වැඩ පුරුද්දක් ලෙස හා වුවමනාවෙන්ම මඟ හරිනවා. නැතහොත් කළ යුතු යමක් හිතා මතාම කල් දමනවා. නිතරම දේවල් කල් දමන කෙනෙක් එසේ කරන්නේ පුරුද්දක් හැටියටයි. කරන්න බොහෝ දේවල් තිබෙන විට, කෙනෙකුට එයින් පීඩනයක් ඇති වෙනවා. එයින් මිදීමට ඔවුන් කරන්නේ ඒවා තවත් දවසකට කල් දැමීමයි. කිරීමට තිබූ කාර්යය කල් දැමීම නිසා යම් “නිදහසක්” ලැබුණත් එය තාවකාලිකයි. ඊට හේතුව එම කාර්යය මඟ හරින්න ඔහුට බැරි නිසයි.

සමහරවිට අපිට ශාරීරිකව සහ මානසිකව විඩාවක් දැනෙන නිසා කරන්න තිබෙන වැඩ වෙනත් දවසකට කල් දමන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි හැමෝටම එදිනෙදා කරන වැඩවලින් විටින් විට පොඩි විවේකයකුත් අවශ්‍යයි. දෙවිගේ පුත් යේසුස්ට පවා ඒ වගේ විවේකයක් අවශ්‍ය වුණා. ඔහු දේවසේවයේදී කොතරම් වැඩ බහුල වුණත් තම ගෝලයන් සමඟ පුංචි විවේකයක් ගැනීමට අමතක කළේ නැහැ. (මාක් 6:31, 32) එවැනි විවේකයක් ප්‍රයෝජනවත්. නමුත් යමක් කල් දමනවා කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. එය හානිදායකයි. අපි ඒ ගැන උදාහරණයක් සලකා බලමු.

එක පාසැල් සිසුවියකට ගණිතය විභාගය සඳහා තිබෙන්නේ තව සති තුනයි. මේ සඳහා හුඟක් දේවල් පාඩම් කරන්න තිබෙන නිසා ඇය ඉන්නේ ටිකක් භයෙන්. නමුත් ඇය කරන්නේ පාඩම් කරන එක පැත්තකට දමා රූපවාහිනිය නරඹන එකයි. මේ විදිහට විභාගය සමත් වීම සඳහා ඇය කළ යුතු දෙය දවසින් දවස ප්‍රමාද කරනවා. ඇය නොදැනුවත්වම වාගේ අසුවී ඉන්නේ දේවල් කල් දැමීමේ උගුලටයි. නමුත් දැන් විභාගය කට ළඟටම ඇවිල්ලා. එක රැයකින් ඔක්කොම පාඩම් කරන්න දැන් ඇයට සිද්ධ වෙලා.

ගෙදර අය නිදි. නමුත් ඇය රෑ එළිවෙනකං එක හුස්මට ඔක්කොම පාඩම් කරන්න උත්සාහ කරනවා. වර්ගමූල සහ සමීකරණ වැනි පාඩම් මතක තියාගන්න ඇය දරන්නේ මහත් වෙහෙසක්. පසුදා උදෑසන ඇය විභාගයට මුහුණ දෙනවා. නමුත් අධික වෙහෙස නිසා පිළිතුරු ලිවීම ඇයට අමාරුයි. ප්‍රතිඵල? විභාගය සමත් වීමට තරම් ලකුණු ඇය ලබාගෙන නැහැ. ඊළඟ පන්තියට සමත් වෙන්න නම් එම විෂය නැවතත් පාඩම් කරන්න ඇයට සිදු වෙනවා.

ඇය පාඩම් කිරීම කල් දැමූ නිසා සිදු වුණේ ලොකු පාඩුවක්. එවැනි තත්වයකින් වළකින්න උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්තියක් ගැන පාවුල් සඳහන් කළා. “මේ නිසා ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න” කියා ඔහු පැවසුවා. (එෆීස 5:15, 16) මෙහිදී පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ දෙවිට කරන සේවයේ විවිධ පැතිවලදී කාලය ඥානවන්තව පාවිච්චි කරන්න කියලයි. නමුත් ඒ ප්‍රතිපත්තියම අපේ ජීවිතයේ විවිධ පැතිවලටත් අදාළ කරගන්න පුළුවන්. යම් වැඩක් කිරීම සඳහා හොඳම “අවස්ථාව” තෝරාගෙන ඒ වැඩේ කළොත් අපිට පුළුවන් එයින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබන්නත් එය ඉක්මනින් කරගන්නත්. “ප්‍රඥාවන්තයන්” එසේ කරන බව ඉහත පදයේ පෙන්වනවා.

විභාගයට සූදානම් වීම සඳහා ඒ ශිෂ්‍යාවට තිබූ හොඳම “අවස්ථාව” කුමක්ද? සමහරවිට හැම රාත්‍රියකම විනාඩි 15ක් වගේ කාලයක් ඒ සඳහා ගත කළා නම් අන්තිම මොහොතේදී ඒ වගේ අමාරුවෙන් පාඩම් කරන්න වෙන්නේ නැහැ. සුව නින්දක් ලබාගන්නත් තිබුණා. විභාගයට හොඳින් මුහුණ දීමටත් හොඳ ප්‍රතිඵල ලබාගැනීමටත් ඇයට අවස්ථාව තිබුණා.

මේ නිසා ඔබට යම් වැඩක් පැවරෙන විට ඒක කරන්න පුළුවන් හොඳම “අවස්ථාව” තීරණය කරන්න. ඉන්පසු එය පටන්ගන්න. එවිට කල් දැමීම සහ ඉන් ඇති වන අනිසි ප්‍රතිඵල මඟ හැරීමට ඔබට හැකි වේවි. වැඩේ හොඳින් කළ නිසා ඔබට ඉන් තෘප්තියක්ද ලබන්න පුළුවන්. ඒ වගේම අපි කරන දේ තවත් අයට බලපානවා නම් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම වැදගත්. උදාහරණයකට ක්‍රිස්තියානි සභාවේ පැවරුම් ලැබෙන විට එය සැලකිල්ලට ගැනීම වටිනවා.

අපිළිවෙළ මඟ හරින්න

කලින් සඳහන් කළ ලෙස අපි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් දෙවන බාධකය වන අපිළිවෙළ මඟ හරින්න අවශ්‍යයි. යම් වැඩක් කරන විට බඩු මුට්ටු එහා මෙහා කිරීම, ඒවා පිළිවෙළකට තැබීම, පාවිච්චි කිරීම, පිරිසිදු කිරීම, ගබඩා කිරීම වැනි දේවල්වලට කාලය අවශ්‍ය බව අපි කවුරුත් දන්නවා. දේවල් වැඩි වන තරමටම ඒවා නඩත්තු කරන්න යන කාලයත් වැඩියි. සීමිත බඩු ප්‍රමාණයක් තිබෙන කාමරයක වැඩ කරනවාට වඩා එහෙ මෙහෙ හැම තැනම බඩු තිබෙන කාමරයක හෝ නිවසක වැඩ කිරීම මානසිකව වෙහෙස ගෙන දෙනවා. ඒ වගේම බඩු ගොඩගැසී තිබෙන තැනකින් අවශ්‍ය යමක් සොයාගන්න ගියාමත් එයටද වැඩි කාලයක් ගත වෙනවා.

නිවෙස් සහ ගොඩනැඟිලි පවිත්‍ර කිරීමේ කටයුතුවල අද්දැකීම් ලත් අය කියන්නේ වැඩ කරන කාලයෙන් භාගයක්ම වගේ යන්නේ “බඩු එහා මෙහා කරන්න, අස්පස් කරන්න සහ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න” කියායි. ජීවිතයේ වෙනත් පැතිවලටත් එය අදාළයි. හොඳයි, ඔබටත් අවශ්‍යද ඔබගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න? එහෙමනම් ඔබේ නිවසේ සහ වැඩ කරන තැන අවට හොඳින් බලන්න. බඩු හැම තැනම තිබෙන නිසා ඉඩ ඇහිරිලාද? අත පයවත් දිග ඇරගන්න බැරි තරමටම බඩු ගොඩගැහිලාද? ඒ සියල්ල නිසා ඔබේ කාලය අපතේ යනවාද? එහෙමනම් නිතරම දේවල් පිළිවෙළට කිරීමට උත්සාහ කරන්න.

අනවශ්‍ය දේවල් විසි කිරීම සැමවිටම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. අපි ගොඩක් ආස කරන දේවල් විසි කිරීම හරියට හොඳ යාළුවෙක්ව නැති කරගන්නවා වගේ වැඩක්. ඒ නිසා යමක් අපි තියාගන්නවාද නැත්නම් විසි කරනවාද කියලා අපි තීරණය කරන්නේ කොහොමද? සමහර අය මෙහෙම කරනවා. යම් භාණ්ඩයක් අවුරුද්දක් පුරා පාවිච්චි කළේ නැත්නම් ඔවුන් ඒක විසි කරනවා. නමුත් විසි කරන්න හිත දෙන්නේ නැත්නම් මොනවද කරන්න පුළුවන්? තව මාස හයකට ඒ භාණ්ඩය තබාගන්න. ඊට පස්සේ හිතන්න ‘මම අවුරුදු එකහාමාරකටවත් මේක පාවිච්චි කරලා නැහැනේ.’ දැන් සමහරවිට ඒක විසි කරන්න ඔබට පහසු වේවි. මේ හැම එකේම අරමුණ වෙන්නේ දේවල් නිසි පිළිවෙළට තැබීමයි. ඒ කියන්නේ ඔබ ඔබේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියන එකයි.

අපිළිවෙළ තිබෙන්න පුළුවන් ඔබේ නිවසේ හෝ වැඩ කරන ස්ථානයේ පමණක් නෙවෙයි. එහි තවත් පැත්තක් තිබෙනවා. ශුභාරංචිය ඇසුවත් “මේ සමාජ ක්‍රමයේ කරදරවලින්ද ධනයේ මුළා කරවන බලපෑමෙන්ද වචනය යටපත් වීම නිසා පල නොදරන” තැනැත්තෙක් ගැන යේසුස් කතා කළා. (මතෙව් 13:22) කෙනෙකුගේ ජීවිතය හුඟක් දේවල්වලින් බර වෙලා තිබෙන්න පුළුවන්. ඒ නිසා තමාගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න සහ සමබර ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන කාලය සොයාගැනීම අපහසුයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට දෙවි සමඟ ඇති මිත්‍රත්වයට ටිකෙන් ටික හානි වෙන්න පුළුවන්. අවසානයේදී තෘප්තියෙන් හා සතුටින් වැඩ කිරීමට, අසීමිත ලෙස කාලය තිබෙන දෙවි පොරොන්දු වී ඇති ඒ පාරාදීස පොළොවත් අහිමි වෙන්න පුළුවන්.—යෙසායා 65:17-24; 2 පේතෘස් 3:13.

රැකියාවේ වැඩ, ගෙදර දොරේ වැඩ, වාහනය නඩත්තු කිරීම, විනෝදාංශවල යෙදීම, ව්‍යායාම් කිරීම, උත්සවවලට යෑම වැනි දහසකුත් දේවල් කිරීම සඳහා කාලය සොයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට ඔබත් මුහුණ දී ඇති. කාරණය ඒක නම් දෙවිට ඔබ කරන සේවයට මුල් තැන දීම සඳහා අනෙකුත් දේවල් පිළිවෙළට කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න.

කාලය ඉගිලීයයි කියන කියමන ඔබ අසා ඇති. ඔව් නොනවත්වා ගලන ගඟක් වගේ කාලයත් ඉදිරියටම ඇදෙනවා. එය ආපසු හරවන්නවත් ඉතුරු කර තබාගන්නවත් බැහැ. ඒ වගේම ගෙවුණු කාලයද නැවත කවදාවත් ඇදගන්න බැහැ. බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් අපිට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට හැකි වෙනවා. එසේ කිරීමෙන් “වඩා වැදගත් දේවල් සහතික” කරගන්නත් ‘දෙවිට තේජස හා ප්‍රශංසාව’ ගෙන දෙන්නත් හැමදාටම ආශීර්වාද ලබන්නත් අපිට පුළුවන්.—ෆිලිප්පි 1:10, 11.

[8, 9වන පිටුවේ පින්තූරය]

වේගයෙන් ගලාබසින ගඟකින් ප්‍රයෝජන ගන්නවා වගේ කාලයෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්

[9වන පිටුවේ පින්තූරය]

විභාගයට පාඩම් කිරීම සඳහා ඇයට තිබූ හොඳම “අවස්ථාව” කුමක්ද?

[10වන පිටුවේ පින්තූරය]

අපිළිවෙළකට ඇති තැනක වැඩ කිරීම කාලය කා දමනවා වගේම මානසිකවත් වෙහෙස කරයි