Skip to content

පටුනට යන්න

අපේ මුළු පවුලම එකතු වුණා!

අපේ මුළු පවුලම එකතු වුණා!

ජීවිත කතාව

අපේ මුළු පවුලම එකතු වුණා!

සුමිකෝ හිරානෝ

ජීවිතයෙන් උපරිම තෘප්තියක් ලබන්නේ කොහොමද කියලා මම ඉගෙනගෙන තිබුණා. ඉතිං මට ඕන වුණේ මගේ ස්වාමිපුරුෂයාටත් ඒ ගැන කියලා දෙන්න. නමුත් ඒ සඳහා මට අවුරුදු 42ක් බලාගෙන ඉන්න වුණා.

අපි විවාහ වුණේ 1951දීයි. එතකොට මට අවුරුදු 21යි. ඉන් අවුරුදු හතරක් ඇතුළත අපිට පුතාල දෙන්නෙක් හම්බ වුණා. ඒ වගේම අපිට කිසිම දෙයකින් අඩු පාඩුවක් තිබුණෙත් නැහැ.

එක දවසක්, ඒ කියන්නේ 1957 මගේ අක්කා මට කිව්වා තවත් රටකින් සේවය සඳහා ආපු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් එක්ක ඇය කීප දවසක් බයිබලය ගැන සාකච්ඡා කළා කියලා. මගෙ අක්කා බෞද්ධ කෙනෙක් වුණත් ඒ සහෝදරිය සමඟ කළ සාකච්ඡාව දිගටම කරගෙන ගියා. ඒ විතරක් නෙවෙයි මටත් කිව්වා බයිබලය පාඩම් කරන්න කියලා. ඉතින් මම ඒකට කැමති වුණා. හැබැයි මං එහෙම කරන්න හේතුවක් තිබුණා. ඒ, මම ගියේ රෙපරමාදු පල්ලියකට නිසා සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම්වල යම් වැරදි අල්ලන්න මට පුළුවන් වෙයි කියල මම හිතපු නිසයි.

ඒ පාඩම කරද්දී බයිබලය ගැන දැනගෙන හිටියේ මොනවාද කියලා මටම හිතුණා. මම ඒ සහෝදරියගෙන් ඇහුව්වා, “යෙහෝවා කියන්නේ කවුද?” හේතුව, මම ගිය පල්ලියේ අය කවදාවත් ඒ නම කියනවා මම අහලා තිබුණේ නැහැ. ඩැෆ්නි කුක් (පසුව ඩැෆ්නි පෙටිට්) කියන ඒ සහෝදරිය මට බයිබලයෙන් යෙසායා 42:8 පෙන්නුවා. එතැන දෙවිගේ නම යෙහෝවා කියලා පැහැදිලිවම සඳහන් වෙලා තිබෙනවා මම දැක්කා. ඒ වගේම මම අහපු හැම ප්‍රශ්නයකටම ඩැෆ්නි උත්තර දුන්නේ බයිබලයෙන්.

මම මගේ පල්ලියේ දේවගැතිවරයාගෙනුත් ඒ ප්‍රශ්නම ඇහුව්වා. නමුත් ඔහු කිව්වේ “ඔයාට උගන්වන දේ විතරක් විශ්වාස කරන්න. ඒ හැර ප්‍රශ්න අහන්න එපා. ඒක පාපයක්” කියලයි. නමුත් ප්‍රශ්න අහන එක වැරදියි කියලා මට නම් හිතුණේ නැහැ. ඒ වුණත් මම මාස හයක් විතර ඉරිදා දවස්වල උදේට පල්ලියට ගියා. හවසට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් සහභාගි වුණා.

මගේ විවාහයට යම් බලපෑම්

මම බයිබලයෙන් ඉගෙනගත්ත දේවල්වලට හුඟක් ආස වුණා. ඒ නිසා හැම බයිබල් පාඩමකින් සහ රැස්වීමකින් පස්සේ මම ඉගෙනගත්ත දේවල් මගේ ස්වාමිපුරුෂයා වන කාසුහිකෝට කිව්වා. නමුත් මගේ මහත්තයා ඒ දේවල්වලට එච්චර කැමති වුණේ නැති නිසා අපි අතර පොඩි දුරස් වීමක් ඇති වුණා. මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් වෙනවාට එයා කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ වුණාට බයිබලය ඉගෙනගැනීම සහ සාක්ෂිකරුවන් එක්ක ඇසුරු කිරීම මට ලොකු තෘප්තියක් ගෙන දුන්න නිසා මම දිගටම ඒ දේවල් කළා.

මම රැස්වීම්වලට යන්න ඉස්සර වෙලා කාසුහිකෝ කන්න කැමතිම කෑම ලැහැස්ති කරලා තමයි යන්නේ. ඒත් එයා පිටින් කෑම කන්න පටන්ගත්තා. රැස්වීම් ඉවර වෙලා ගෙදර එනකොටත් එයාගේ මූණ එච්චර හරි නැහැ. මාත් එක්ක එච්චර කතා කෙරුවෙත් නැහැ. කොහොමවුණත් දවස් දෙක තුනක් යද්දී ඒක හරි ගියා. ඒත් ඒ වෙනකොට, ආයෙත් රැස්වීමට යන දවස ළං වෙලා!

මට ක්ෂය රෝගය හැදුණේ මේ කාලයේදීයි. ඒ රෝගය නිසා කාසුහිකෝගේ පවුලේ හුඟදෙනෙක් මැරුණා. කාසුහිකෝ කොච්චර භය වුණාද කිව්වොත් එයා කිව්වා ‘ඔයා සනීප වුණාට පස්සේ, ඔයා කැමති ඕනෑම දෙයක් කරන්න මම ඉඩ දෙනවා’ කියලා. මම ඉල්ලුවේ එකම එක දෙයයි. ඒ සතිපතා රැස්වීම්වලට යන්නයි. එයා ඒකට කැමති වුණා.

සනීප වෙන්න මාස හයක් විතර ගියා. ඒ මාසවලදී මම බයිබලය හොඳට පාඩම් කළා. සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම්වල එක වරදක්වත් අහුවුණොත් පාඩම නවත්වනවා කියන අරමුණින් තමයි මම එහෙම කළේ. නමුත් මට එකක්වත් හොයාගන්න බැරි වුණා. ඒ වෙනුවට රෙපරමාදු පල්ලියේ කළ ඉගැන්වීම් බයිබලයට කොතරම් පටහැනිද කියලා මට හොඳට වැටහුණා. යෙහෝවා දෙවිගේ ප්‍රේමය සහ යුක්තිය ගැන ඉගෙනගනිද්දී ඔහුගේ නීතිවලට එකඟව ජීවත් වීම කොතරම් හොඳද කියලා මටම තේරුණා.

මට සම්පූර්ණ සුවයක් ලැබුණාට පස්සේ මගේ මහත්තයා පොරොන්දු වෙච්ච විදිහටම ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න මට ඉඩ දුන්නා. මම සත්‍යය හොඳින් තේරුම්ගෙන අවශ්‍ය වෙනස්කම් කළ නිසා 1958 මැයි මාසයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වුණා. මගේ ලොකුම ආශාව වුණේ මුළු පවුලම එකට එකතු වී සැබෑ දෙවිට නමස්කාර කරනවා දකින්නයි.

මගේ දරුවන්ට උපකාර කරමින්

රැස්වීම් යනකොට සහ දේශනා සේවයේ යනකොට මගේ පුතාලා දෙන්නාවත් එක්කර ගෙන ගියා. නමුත් ඇත්තටම බයිබලයේ ඉගැන්වීම් ඒගොල්ලන්ගේ හිතට ගිහිල්ල තිබුණු බව මට තේරුණේ සිදු වෙච්ච සමහරක් දේවල් නිසයි. එතකොට මසාහිකෝට අවුරුදු හයයි. දවසක් එයා එළියේ සෙල්ලම් කර කර හිටියා. මට එකපාරටම ලොකු සද්දයක් එක්ක කවුදෝ කෑගහනවා ඇහුණා. ඒත් එක්කම අහල පහල කෙනෙක් කෑගහගෙන අපේ ගෙවල් පැත්තට දුවගෙන ආවා. එයා කිව්වා මගේ පුතා කාර් එකකට හැප්පුණා කියලා. එයාට මොනවා වෙලා ඇද්ද කියලා මට හිතුණා. ඒ වුණත් මම මාවම පාලනය කරගෙන එතැනට දිව්වා. මම දැක්ක දෙයින් මගේ ඇඟ හිරිවැටිලා ගියා. පුතාගේ බයිසිකලේ ඇඹරිලා කුඩුපට්ටම් වෙලා! එතකොටම මම දැක්කා මගේ පුතා හෙමින් හෙමින් මං ඉන්න පැත්තට එනවා. මං හිතපු තරම් එයාට තුවාල වෙලා තිබුණේ නැහැ. මාව බදාගන්න ගමන් එයා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි මාව බේරගත්තා. නේද අම්මේ?” ඒ වචන නිසා මගේ ඇස්වලට කඳුළු ආවා.

තවත් දවසක් මමයි මගේ ලොකු පුතා ටොමෝයෝෂියි දේවසේවයේ යද්දී එක වයසක මනුෂ්‍යයෙක් කෑගහලා අපිට මෙහෙම කිව්වා. “මොකද්ද ඔය තේරුමක් නැති වැඩේ? ළමයාවත් ඇදගෙන ගෙවල් ගානේ යනවා. මට දුක මේ ළමයා ගැනයි.” නමුත් මම මුකුත් කියන්න ඉස්සර වෙලා ටොමෝයෝෂි මෙහෙම කිව්වා. “නෑ සීයේ, අම්මා මාව බලෙන් ඇදගෙන යනවා නෙවෙයි. මම යෙහෝවා දෙවිට සේවය කරන්නේ කැමැත්තෙන්මයි.” අවුරුදු අටක මගේ පුතා එහෙම කියද්දී ඒ තැනැත්තාට කරකියා ගන්න දෙයක් නැතිව ගියා.

දෙවි සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට දරුවන්ට උපකාර කිරීමේදී ඒ වගකීම මම දැරුවේ තනිවමයි. ඒත් එක්කම මගේ ඇදහිල්ලත් ශක්තිමත් කරගන්න මට ගොඩක් දේවල් ඉගෙනගන්න තිබුණා. මම නිතරම උත්සහ කළේ දෙවි කෙරෙහි ප්‍රේමයක්, ඇදහිල්ලක් වගේම දේවසේවය වෙනුවෙන් උනන්දුවක් ඇති කරගන්නයි. ඒ තුළින් මගේ දරුවන්ට හොඳ ආදර්ශවත් මවක් වෙන්න මම වෑයම් කළා. මම හැමදාම දරුවෝ එක්ක යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඒ වගේම දේවසේවයේදී අද්දැක්ක දේවල් ඔවුන් සමඟ බෙදාගත්ත නිසා එයින්ද ඔවුන් දිරිගැන්වුණා. ඔවුන් පුරෝගාමීන් හෙවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයන් වුණාට පස්සෙ, මේ සේවය තෝරගැනීමට හේතුව අහනකොට ඔවුන් කිව්වේ මෙහෙමයි. “පුරෝගාමී සේවය කරද්දී අපේ අම්මා සිටියේ හරිම සන්තෝෂයෙන්. ඉතින් අපිටත් ඕන වුණා ඒ සන්තෝෂය අද්දකින්න.”

ළමයින්ගේ තාත්තාගේ හෝ සභාවේ කිසිම කෙනෙකුගේ අඩුපාඩුකම් ගැන විවේචනය නොකර සිටීමට මම නිතරම උත්සාහ කෙරුවා. හේතුව, එවැනි කතා බහ නිසා දරුවන්ගේ සිත් තුළ වැරදි ආකල්ප ඇති වෙන්න පුළුවන් නිසයි. එසේ කිරීමෙන් විවේචනයට ලක්වෙන පුද්ගලයාව විතරක් නෙවෙයි විවේචනය කරන පුද්ගලයාවත් අගෞරවයට පත් වෙන්න පුළුවන්.

බාධක ජය ගැනීම

මගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව නිසා අපිට 1963දී තායිවානයේ පදිංචියට යන්න වුණා. තායිවානයේ සිටින ජපන් ජාතිකයන්ට මම දේශනා කළොත් ප්‍රශ්න ඇති වෙයි කියලත් ඒ නිසා ආපහු අපිව ජපානෙට යවයි කියලත් මගේ මහත්තයා කිව්වා. ඒ වගේම ඒක ඔහුගේ රැකියාවටත් බලපාන බව කිව්වා. කොහොමවුණත් ඔහුට ඕන වුණේ අපිව සාක්ෂිකරුවන්ගෙන් වෙන් කරන්නයි.

තායිවානයේ සිටින සාක්ෂිකරුවන් අපිව සාදරයෙන් පිළිගත්තා. එහෙ රැස්වීම් සියල්ලක්ම පැවැත්තුවේ චීන භාෂාවෙන්. එහෙ ඉන්න ජපන් ජාතිකයන් වෙනුවට චීන ජාතිකයන්ට සාක්ෂි දරන්න මම ඔවුන්ගේ භාෂාව ඉගෙනගන්න තීරණය කළා. ඒ විදිහට මගේ මහත්තයා ගෙනාපු බාධක ජයගන්න මට පුළුවන් වුණා.

අපිට ලොකු හයියක් වුණේ තායිවානයේ සිටින සාක්ෂිකරුවන්ගේ කිට්ටු මිත්‍රත්වයයි. හාවි සහ කැති ලෝගන් යුවළ අපිට ගොඩාක් උදව් කළා. යෙහෝවා දෙවි එක්ක ඇති මිත්‍රත්වය ශක්තිමත් කරගන්න මගේ පුතාලා දෙන්නට ගොඩක් උදව් කළේ සහෝදර ලෝගන්. ඔහු නිතරම ළමයින්ට පෙන්නුවේ යෙහෝවා දෙවිට සේවය කිරීම කිසිම සතුටක් නැති ඒකාකාරී ජීවිතයක් නෙවෙයි කියලයි. මම හිතන්නේ මගේ පුතාලා යෙහෝවා දෙවිට සේවය කිරීමට තීරණයක් ගන්න පෙලඹුණේ තායිවානයේ හිටියෙ කාලයේදී කියලයි.

ටොමෝයෝෂි සහ මසාහිකෝ ගියේ තායිවානයේ තිබූ ජාත්‍යන්තර පාසැලකටයි. එහිදී ඔවුන් ඉංග්‍රීසි වගේම චීන භාෂාවත් ඉගෙනගත්තා. පසු කාලයේදී සැබෑ දෙවි යෙහෝවාට සේවය කරන්න ඔවුන් ගත් තීරණයට එය උදව් වුණා. මුහුණ දීමට ඉතාමත් අමාරුයි වගේ පෙනුණ දෙයක් මහත් ආශීර්වාදයකට හැරවීම ගැන මම යෙහෝවා දෙවිට කොතරම් ස්තුතිවන්ත වෙනවාද! තායිවානයේ ගත කළ අවුරුදු තුන හමාරෙන් පසුව ඒ අමතක නොවන මතක සටහන් සමඟ අපි නැවතත් ජපානයට ගියා.

මේ වෙනකොට යෞවන වයසේ සිටි මගේ පුතාලා දෙන්නා ටික ටික ස්වාධීනව හිතන්න පටන්ගත්තා. ඉතින් මම බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති ඔවුන්ට තහවුරු කරන්න පැය ගණන් ගත කළා. කොහොමනමුත් මේ අමාරු කාලයේදීත් යෙහෝවා දෙවි මගේ උත්සාහයට ආශීර්වාද කළා. ටොමෝයෝෂි පාසැල් ජීවිතයෙන් සමුගත්තාට පසුව පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. ඔහුගේ පුරෝගාමී සේවයේ මුල් අවුරුදු කීපයේදී හතරදෙනෙකුට දෙවිට කැපවී බව්තීස්ම වෙන්න උදව් කළා. මසාහිකෝද අයියාව ආදර්ශයට ගනිමින් කළේ ඒ දෙයමයි. ඔහු පුරෝගාමී සේවය කළ පළමු අවුරුදු හතර ඇතුළත යෞවනයන් හතරදෙනෙකුට දෙවිට කැපවී බව්තීස්ම වීමට උදව් කළා.

යෙහෝවා දෙවි මගේ දරුවන්ට තවත් ආශීර්වාද කළා. මම සත්‍යය ඉගෙනගන්න උදව් කරපු එක් කාන්තාවකගේ ස්වාමිපුරුෂයා සමඟ ටොමෝයෝෂි බයිබලය පාඩම් කළා. ඔවුන්ගේ දූවරුන් දෙදෙනාත් සාක්ෂිකරුවන් වුණා. පසුව ටොමෝයෝෂි වැඩිමල් දුව වන නොබුකෝව විවාහ කරගත්තා. මසාහිකෝ ඔවුන්ගේ බාල දුව වන මසාකෝ එක්ක විවාහ වුණා. ටොමෝයෝෂි සහ නොබුකෝ දැන් නිව් යෝක්, බෘක්ලින්වල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරනවා. ඒ වගේම මසාහිකෝ සහ මසාකෝ පූර්ණකාලීන දේවසේවකයන් හැටියට පැරගුවේ රටේ සේවය කරනවා.

මගේ ස්වාමිපුරුෂයා වෙනස් වන ලකුණු

ඒ ගත වුණු අවුරුදුවල මගේ ස්වාමිපුරුෂයා අපේ විශ්වාසයන්ට එකඟ නොවුණත් යම් ආකාරයක වෙනසක් අපි දැක්කා. සමහර අය මගේ විශ්වාසයන්ට විරුද්ධ වෙද්දී කාසුහිකෝ මගේ පැත්තට කතා කළා. එහෙම කරද්දී ඔහු නොදැනුවත්වම බයිබලයේ ඇති සත්‍යයන් අගය කළ බව පෙන්නුවා. අගහිඟකම් ඇති සාක්ෂිකරුවන්ට ඔහු අතහිත දුන්නා. අපේ එක පුතෙකුගේ විවාහ මංගල්‍යය දවසේදී කෙටි කතාවක් කරමින් ඔහු මෙහෙම කිව්වා. “කරන්න පුළුවන් හොඳම සේවය තමයි මිනිසුන්ගේ ජීවිත හරි මඟට ගන්න එක. නමුත් අමාරුම වැඩෙත් ඒකයි. මගේ පුතාලා දෙන්නත් ලේලිලා දෙන්නාත් ඒ අමාරු වැඩේ භාර අරගෙන තිබෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ සහයෝගය ඒ අයට දෙන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා.” ඔහු කියූ කෙරූ එවැනි දේවල් නිසා මම හිතුවා එයා කවදාහරි යෙහෝවා දෙවිට සේවය කරන්න අපිත් එක්ක එකතු වෙයි කියලා.

මගේ මහත්තයාට සාක්ෂිකරුවන්ව දැන හඳුනාගන්න පුළුවන් වෙන්න මම ඔවුන්ව අපේ ගෙදරට ආරාධනා කෙරුවා. ඒ වගේම මම කාසුහිකෝව රැස්වීම්වලට, එක්රැස්වීම්වලට වගේම යේසුස්ගේ මරණය සිහිකිරීමේ උත්සවයටත් ආරාධනා කළා. එයාට නිවාඩු තියෙන දවස්වලට ඒවාට සහභාගි වුණත් එහෙම කළේ මගේ වචනේ අහක දාන්න බැරි නිසයි. ඔහු බයිබල් පාඩමක් කරන්න කැමති වෙයි කියලා මට හුඟක් වෙලාවට හිතිලා තියෙනවා. ඒ නිසා මම සභාවේ වැඩිමහල්ලන්ට අපේ ගෙදරට එන්න කියලා කිව්වත් ඔහු පාඩමක් කරන්න කැමති වුණේ නැහැ. මම හැම තිස්සේම කල්පනා කළා ඇයි එයා ඒකට කැමති නැත්තේ කියලා.

පේතෘස්ගේ මේ වචන මට මතක් වුණා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එමගින්, ඔවුන්ගෙන් සමහරෙකු වචනයට කීකරු නොවී සිටියත්, වචනයක්වත් නොපවසා ඔබේ හැසිරීම මාර්ගයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය දකින්නෝය.” (1 පේතෘස් 3:1, 2) ඇත්තයි, මම ඒ උපදෙස් හැම වෙලාවේම පිළිපැද්දේ නැහැ කියලා මම එකඟ වෙනවා. ඒ නිසා මං හිතුවා ඒ පැත්තෙන් තවත් දියුණු වෙන්න ඕනේ කියලා.

ඒ ඉලක්කය ඉටු කරගන්න 1970දී මම පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න පටන්ගත්තා. අවුරුදු දහයක් විස්සක් ඔහොම ගෙවිලා ගියා. ඒත් මගේ මහත්තයාගේ නම් කිසි වෙනසක් නැහැ. දවසක් එක බයිබල් ශිෂ්‍යාවක් කියපු දෙයක් නිසා මම ගොඩක් අධෛර්ය වුණා. ඇය කිව්වේ “ඔයාගෙම මහත්තයාට බයිබලය කියලා දෙන එක ඔච්චර අමාරු නම් අනිත් අයට බයිබලය කියලා දෙන එක ඊටත් වඩා අමාරු ඇති නේද?” කියලයි. නමුත් මම මගේ උත්සාහය අතහැරියේ නැහැ.

එක්දාස් නවසිය අසූගණන්වල අවසානයේදී අපේ වයසක දෙමව්පියන් හිටියේ ඉතාමත් දුර්වල තත්වයකයි. ඔවුන්ගේ වැඩයි මගේ අනිත් වැඩයි නිසා මම හෙම්බත් වෙලයි හිටියේ. මගේ ඇදහිල්ලට මේ අය හුඟ කාලයක් තිස්සේ විරුද්ධ වුණා. නමුත් මට පුළුවන් උපරිමයෙන් ඔවුන්ට ආදරයෙන් සැලකුවා. මගේ අම්මා මැරෙද්දී ඇයගේ වයස අවුරුදු 96යි. ඇය මැරෙන්න ඉස්සෙල්ල මට කිව්වා “සුමිකෝ, මං නැවත නැගිට්ටොත් මම ඔයාගේ ආගමට එනවා” කියලා. ඒ වචන ඇහෙද්දී මට තේරුණා මගේ උත්සාහය ගඟට කැපුව ඉණි වගේ වුණේ නැහැ කියලා.

අපේ දෙමාපියන් වෙනුවෙන් මම කරපු හැම දෙයක්ම මගේ මහත්තයා දැක්කා. එයා ඒක අගය කරපු නිසා දිගටම රැස්වීම්වලට යන්න පටන්ගත්තා. අවුරුදු ගණනාවක් තිස්සේ එහෙම ගියත් දියුණු වීමට නම් පියවර ගත්තේ නැහැ. ඒ වුණත් මගේ හැසිරීමෙන් එයාව දිනාගන්න මම දරපු උත්සහයත් මම අතහැරියේ නැහැ. මම එයාගේ යාළුවන්ට විතරක් නෙවෙයි රට ඉඳල ආපු එයත් එක්ක වැඩ කරපු අයටත් විටින් විට කෑමට ආරාධනා කළා. එයාගේ විනෝදාංශවලටත් මම හවුල් වුණා. පුරෝගාමියෙක් වාර්තා කළ යුතු පැය ගණන අඩු කරපු නිසා, ඒ ඉතිරි කාලයත් එයත් එක්ක ගත කළා.

විශ්‍රාමයෙන් පසු පැහැදිලි වෙනසක්

මගේ මහත්තයා 1993දී විශ්‍රාම ගියා. දැන්වත් එයාට බයිබල් පාඩමක් කරන්න වෙලාව තියේවි කියලා මම හිතුවා. නමුත් එයා කිව්වා ‘වෙලාව තියෙන නිසා දෙවියන්ට නමස්කාර කරනවා නම් ඒක දෙවියන්ට කරන මහා අගෞරවයක්. දෙවියන්ට නමස්කාර කරන්න ඕනේ මගේ සිතින්ම පෙලඹිලයි. ඒ නිසා මට බල කරන්න එපා’ කියලා.

එක දවසක් කාසුහිකෝ මගෙන් ඇහුව්වා දැන්වත් ඔයාට බැරිද මං වෙනුවෙන් ජීවත් වෙන්න කියලා. ඒ වචනවලින් මගේ හිත ගොඩක් පෑරුණා. ඒකට හේතුව අපි බැන්ද දා ඉඳලා මගේ පුළුවන් උපරිමයෙන් මම එයාට සැලකුවා. එයාව දිනාගන්න මං කොච්චර දේවල් කෙරුවත් එයා හිතුවේ මං එයාට වඩා යෙහෝවා දෙවි වෙනුවෙන් කාලය ගත කරලා තියෙනවා කියලයි. එයා අහපු දේ ගැන ටිකක් කල්පනා කරලා මං කිව්වා ‘මට පුළුවන් දේ තමයි මං මෙච්චර කල් කෙරුවේ. මීට වඩා දෙයක් කරන්න මට අමාරුයි’ කියලා. නමුත් මං මෙහෙමත් දෙයක් කිව්වා. ‘හැබැයි, ඔයා මාත් එක්ක හවුල් වුණොත්, අපි දෙන්නාටම තව අවුරුදු දෙක තුනකට නෙවෙයි නමුත් සදාකාලයටම පවතින අලුත් ජීවිතයක් ගත කරන්න පුළුවන්’ කියලා. දවස් ගානක් යන කං එයා මුකුත්ම කිව්වේ නැහැ. ඔහොම ඉද්දී එක දවසක් එයා ඇහුව්වා “එහෙනං ඔයාට පුළුවන්ද මාත් එක්ක බයිබල් පාඩමක් කරන්න?” අදත් ඒ වචන ටික මතක් වෙද්දී මට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්!

මුලින්ම මං කෙරුවේ මගේ මහත්තයාගේ පාඩම කරන්න කියලා සභාවේ වැඩිමහල්ලෙකුට කියපු එකයි. නමුත් එයා මට කිව්වේ “මං බයිබලේ පාඩම් කරන්නේ ඔයා එක්කයි. වෙන කවුරුවත් එක්ක නෙවෙයි” කියලයි. ඉතින් අපි හැමදාම බයිබලය පාඩම් කළා. මම චීන භාෂාව කතා කළ සභාවකට ගිය නිසත් මගේ මහත්තයාට චීන භාෂාව හොඳට හුරු නිසත් අපි පාඩම කළේ චීන භාෂාවෙන්. අපි දෙන්නා එකතු වෙලා අවුරුද්දකටත් වඩා අඩු කාලයකින් මුළු බයිබලයම කියෙව්වා.

මේ කාලයේදී අපේ සභාවේ වැඩිමහල්ලෙක් සහ ඔහුගේ බිරිඳ අපි දෙන්නාට හුඟක් කිට්ටු වුණා. ඒ දෙන්නා අපේ ළමයින්ටත් වඩා බාලයි. හැබැයි ඒගොල්ලෝ අපේ හොඳ යාළුවෝ. සභාවේ හිටිය අනිත් අයත් මගේ මහත්තයා ගැන ඒ වගේම සැලකිල්ලක් දැක්වූවා. ඒගොල්ලෝ අපිව කෑමට ආරාධනා කළා. කාසුහිකෝව සැලකුවේ ඒගොල්ලන්ගේම තාත්තා කෙනෙක් හැටියටයි. ඒ ගැන කාසුහිකෝ ගොඩක් සතුටු වුණා.

එක දවසක් සභාවේ තියෙන විවාහ මංගල්‍යයකට ඇරයුම් කරපු ආරාධනා පත්‍රයක් අපේ ගෙදරට ලැබුණා. ඒක තිබුණේ මගේ මහත්තයාගේ නමටයි. පවුලේ මූලිකයා හැටියට එයාව සලකලා තිබුණ එක ගැන එයා කොයි තරම් සතුටු වුණාද කියනවා නම් ඒකට සහභාගි වෙන්න එයා තීරණය කළා. ඊට පස්සේ එයා සාක්ෂිකරුවන් එක්ක හොඳින් කතා බහ කළා විතරක් නෙවෙයි සභා වැඩිමහල්ලෙක් එක්ක බයිබලය පාඩම් කරන්නත් පටන්ගත්තා. එයාගේ බයිබල් පාඩම, රැස්වීම්වලට සහභාගි වීම සහ සභාව තුළ තිබුණ ප්‍රේමය නිසත් එයා ඉතා ඉක්මනින්ම සාක්ෂිකාරයෙක් වෙන්න අවශ්‍ය පියවර ගත්තා.

අන්තිමේදී එකමුතු පවුලක්

මගේ ස්වාමිපුරුෂයා 2000 දෙසැම්බර් මාසයේදී යෙහෝවා දෙවිට කැපවී බව්තීස්ම වුණා. මගේ පුතුන් සහ ලේලිලා මෙතරම් දුරක් ගෙවා ගෙන ආවේ මේ පුදුමය දැක බලාගන්නයි. මේ පියවර සඳහා අවුරුදු 42ක් තරම් කාලයක් ගත වුණා! නමුත් දැන් අපි එකමුතු පවුලක්.

දැන් අපි හැම උදෑසනකම එකට ඉඳලා දිනපදය සාකච්ඡා කරලා බයිබලය කියවනවා. ඒ විතරක් නෙවෙයි අපේ ඇදහිල්ල ගොඩනංවන කතාබහ වගේම දෙවිට කරන සේවයෙන්ද ලබන්නේ මහත් ප්‍රීතියක්. මගේ මහත්තයා දැන් සභා සේවකයෙක්. ළඟදී ඔහු චීන භාෂාවෙන් ප්‍රසිද්ධ කථාවකුත් දුන්නා. අපිව යෙහෝවා දෙවි තුළ එකමුතු කිරීම ගැන මම දෙවිට සදා ණය ගැතියි. මගේ පවුලේ අයත් අනිත් සියල්ලනුත් එක්ක සැමදාටම යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම මගේ එකම අදිටනයි!

[13වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

චීනය

ප්‍රජාතාන්ත්‍රික කොරියානු ජනරජය

කොරියානු ජනරජය

ජපන් මුහුද

ජපානය

ටෝකියෝ

නැඟෙනහිර චීන මුහුද

තායිවානය

තායිපේ

[12වන පිටුවේ පින්තූරය]

මම බව්තීස්ම වූ අවුරුද්දේ මගේ පවුලේ අයත් එක්ක, 1958දී

[13වන පිටුවේ පින්තූර]

ටෝකියෝ සිට තායිපේ නගරයට අපි පදිංචිය මාරු කළ විට හාවේ සහ කැති ලෝගන් යුවළ වැනි අපේ යාළුවෝ දෙවිට ළං වෙන්න අපිට උදව් කළා

[15වන පිටුවේ පින්තූරය]

අද අපේ පවුලේ සැමෝම සැබෑ නමස්කාරකයෝ