Skip to content

පටුනට යන්න

දේවගරුබිය ඇතිව සිටීම ප්‍රඥාවන්තම දෙයයි

දේවගරුබිය ඇතිව සිටීම ප්‍රඥාවන්තම දෙයයි

දේවගරුබිය ඇතිව සිටීම ප්‍රඥාවන්තම දෙයයි

“ප්‍රඥාවේ පටන්ගැන්ම යනු යෙහෝවා කෙරෙහි ගරුබිය ඇතිව සිටීමය.”—හිතෝපදේශ 9:10, නව ලොව පරිවර්තනය, NW.

1. දේවභය කියද්දී බොහෝදෙනෙකුට එය වටහාගැනීම අමාරු කාරණයක් වෙන්නේ ඇයි?

දේවභය ඇති පුද්ගලයෙක්! අතීතයේ දී කෙනෙකුව ඒ විදිහට ආමන්ත්‍රණය කිරීම ඔහුට ප්‍රශංසාවක් ගෙන දුන්නා. නමුත් අද දින බොහෝදෙනෙකුට දේවභය කියන්නේ නුහුරු නුපුරුදු දෙයක්. ‘දෙවි ප්‍රේමණීය කෙනෙක් නම් මම දෙවිට භය වෙන්න ඕනෙ ඇයි?’ කියලා ඔවුන් කල්පනා කරනවා. ඇත්තෙන්ම මේ පිළිබඳව සත්‍යය හොඳින් අවබෝධ කරගැනීම ඉතා වැදගත්. මන්ද දේවභය කියන්නේ නිකම්ම හැඟීමක් නොවෙයි. එයට ඉතා ගැඹුරු අර්ථයක් තිබෙනවා.

2, 3. දේවගරුබිය යනු කුමක්ද?

2 බයිබලයේ දේවභය හඳුන්වා තිබෙන්නේ යහපත් දෙයක් හැටියටයි. (යෙසායා 11:3) මෙය අප තුළ තැතිගැන්මක් ඇති කරන යමක් නම් නොවෙයි. ඉන් අදහස් කරන්නේ දෙවිට දක්වන ගැඹුරු භක්තිය සහ ගෞරවයයි. එමෙන්ම දෙවිව අප්‍රසන්න කරන්න තිබෙන බලවත් අකමැත්තයි. එමනිසා සිංහල භාෂාවෙන් දේවභය කියනවාට වඩා දේවගරුබිය කියන වචනය භාවිත කිරීම වඩාත් නිවැරදියි. (ගීතාවලිය 115:11) දෙවිගේ ප්‍රතිපත්තිවලට ඇලී සිටීම සහ හරි වැරැද්ද තීරණය කිරීමේදී දෙවි කියන විදිහටම දේවල් කිරීමද ඊට ඇතුළත්. එක් ශබ්දකෝෂයක දේවගරුබිය විස්තර කර තිබෙන්නේ මෙසේයි. “ප්‍රඥාවන්තව හැසිරෙන්නත් වැරදි දේවල්වලින් වැළකෙන්නත් කෙනෙකුට මඟ පෙන්වන්නේ දෙවි ගැන ඔහුට තිබෙන ස්ථිර විශ්වාසයයි.” දෙවිගේ වචනයේ ඒ ගැන සඳහන් වන්නේ “ප්‍රඥාවේ පටන්ගැන්ම යනු යෙහෝවා කෙරෙහි ගරුබිය ඇතිව සිටීම” කියායි.—හිතෝපදේශ 9:10.

3 මිනිසුන්ට තම ජීවිතයේ විවිධ පැතිවල දී දේවගරුබිය විදහා පෙන්වන්න පුළුවන්. එය ප්‍රඥාව සමඟ පමණක් නොව නමුත් ප්‍රීතිය, සාමය, සෞභාග්‍යය, දිගුකල් ජීවත් වීම, බලාපොරොත්තුව, විශ්වාසය හා නිසැකකම සමඟත් බැඳී පවතිනවා. (ගීතාවලිය 2:11; හිතෝපදේශ 1:7; 10:27; 14:26; 22:4; 23:17, 18; ක්‍රියා 9:31) එය ඇදහිල්ල හා ප්‍රේමය යන ගුණාංග සමඟත් ඉතා කිට්ටුවෙන් බැඳී පවතිනවා. එය දෙවි සමඟ අපේ මිත්‍රත්වයට වගේම සෙසු මිනිසුන් සමඟ කටයුතු කිරීමේදීත් බලපානවා. (ද්විතීය කතාව 10:12; යෝබ් 6:14; හෙබ්‍රෙව් 11:7) අපගේ ස්වර්ගික පියාණන් අපි එකිනෙකා ගැන සැලකිලිමත් වන බවට හා අපගේ පව්වලට සමාව දෙන්න සූදානම් බවට ඇති ස්ථිර විශ්වාසය දේවගරුබියට ඇතුළත් වෙනවා. (ගීතාවලිය 130:4) නමුත් දෙවි ඉදිරියේ භයෙන් වෙවුලන්න වෙන්නේ පසුතැවිලි නොවන දුෂ්ටයන්ට පමණයි. *හෙබ්‍රෙව් 10:26-31.

යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමට ඉගෙනගැනීම

4. ‘යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමට ඉගෙනගන්න’ අපිට පුළුවන් කොහොමද?

4 ප්‍රඥාවන්ත තීරණ ගැනීමට සහ දෙවිගේ ආශීර්වාද ලැබීමට දේවගරුබිය අත්‍යවශ්‍යයි. එසේනම් “දෙවි වූ යෙහෝවාට භයවීම [ගරුබිය දැක්වීම] ඉගෙනගන්නේ” කෙසේද? (ද්විතීය කතාව 17:19) දේවගරුබිය පෙන්වූ ස්ත්‍රීන් සහ පුරුෂයන් ගණනාවක් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබෙන්නේ “අපේ ඉගෙනීම සඳහායි.” (රෝම 15:4) දේවගරුබිය පෙන්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා වටහාගැනීමට අපි පුරාණ ඊශ්‍රායෙල්හි දාවිත් රජගේ අද්දැකීම සලකා බලමු.

5. දේවගරුබිය ඇති කරගන්න එඬේරෙක් ලෙස ගත කළ ජීවිතය දාවිත්ට උපකාරවත් වුණේ කොහොමද?

5 ඊශ්‍රායෙල්හි පළමු රජ වන සාවුල් සෙනඟට භය වූ නිසත් ඔහු තුළ දේවගරුබිය අඩු වූ නිසත් යෙහෝවා දෙවි ඔහුව රජකමෙන් පහ කළා. (1 සාමුවෙල් 15:24-26) ඊට වෙනස්ව දාවිත් තම ජීවිතය ගත කළ ආකාරයෙනුත් දෙවි සමඟ ඔහුට තිබූ කිට්ටු මිත්‍රත්වය නිසාත් ඔහු සැබවින්ම දේවගරුබිය ඇති පුද්ගලයෙකු බව පෙන්නුවා. දාවිත් යෞවනයෙකුව සිටි කාලයේ පටන් තම පියාගේ බැටළුවන්ව බලාගත්තා. (1 සාමුවෙල් 16:11) රාත්‍රි කාලයේ තණ පිට්ටනිවල බැටළුවන්ව බලාගනිද්දී, තරුවලින් පිරී අහස දෙස බැලූ ඔහුට දේවගරුබිය ගැන ඉගෙනගන්න අවස්ථාවන් උදා වෙන්න ඇති. ඔහු දැක්කේ විශ්වයේ ඇති අතිමහත් දේ අතරින් ඉතාමත් අතළොස්සක් වුණත් ඔහු හරි නිගමනයට පැමිණියා. එය නම් දෙවි අපගේ ගෞරවයත් භක්තියත් ලැබීමට වටින කෙනෙක් යන්නයි. පසු කාලෙකදී ඔහු මෙසේ ලිව්වා. “ඔබගේ හස්ත කර්මාන්තය වූ අහස්තලයත් ඔබ පිහිටෙවූ සඳ හා තාරකාත් ගැන මා කල්පනා කරන කල ඔබ විසින් මනුෂ්‍යයා ගැන සිතන්ට ඔහු කවරෙක්ද? ඔබ විසින් බලන්ට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ද?”—ගීතාවලිය 8:3, 4.

6. යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය දැනගත් විට ඒ ගැන දාවිත්ට හැඟුණේ කොහොමද?

6 තරුවලින් පිරි අහස සමඟ තමාවම සසඳද්දී ඔහු කොතරම් සුළු කෙනෙක්ද කියන එක දාවිත් වටහාගත්තා. ඒ හැඟීම ඔහුව භයෙන් තැතිගැන්නුවේ නැහැ. ඒ වෙනුවට ඒ දැනුම ඔහුට මඟ පෑදුවේ “අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. අහස්තලය ඔහුගේ හස්ත කර්මාන්තය දක්වයි” කියා යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමටයි. (ගීතාවලිය 19:1) දෙවිට දැක්වූ ඒ භක්තිය නිසා දාවිත් යෙහෝවා දෙවිට වඩාත් ළං වූ අතර දෙවිගේ ශ්‍රේෂ්ඨ ප්‍රමිති හා ගතිලක්ෂණ ඉගෙනගෙන ඒවා ඉතා කිට්ටුවෙන් අනුගමනය කරන්න ඔහු පෙලඹුණා. දාවිත් මෙසේ ගායනා කරද්දී ඔහුට හැඟුණ ආකාරය ගැන සිතා බලන්න. “ඔබ උතුම්ය. ආශ්චර්ය ක්‍රියා කරන්නේය. ඔබ පමණක් දෙවිය. යෙහෝවා, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භය වන පිණිස මාගේ සිත එකඟ කළ මැනව.”—ගීතාවලිය 86:10, 11.

7. ගොලියත් සමඟ සටන් කිරීමට දේවගරුබිය දාවිත්ට උපකාර වුණේ කොහොමද?

7 පිලිස්තිවරු ඊශ්‍රායෙල් දේශය අල්ලාගත් පසු අඩි නවයහමාරක් පමණ උස සද්දන්ත ගොලියත් නම් යෝධයා ඊශ්‍රායෙල්වරුන්ට නින්දා කරමින් කිව්වේ ‘මාත් එක්ක සටන් කරන්න පුළුවන් එක්කෙනෙක් හරි නුඹලා ළඟ ඉන්නවා නම් වහාම එවන්න. ඔහු දිනුවොත් අපි නුඹලාට මෙහෙ කරනවා’ කියලයි. (1 සාමුවෙල් 17:4-10) සාවුල් සහ ඔහුගේ මුළු හමුදාවම භයෙන් වෙවුලුවා. නමුත් දාවිත් භය වුණේ නැහැ. දාවිත් දැනගෙන සිටියා භය වෙන්න ඕනේ යෙහෝවා දෙවිට විතරයි කියන එක. ඒ වගේම මිනිසුන් කොතරම් බලවත් වුණත් ඔවුන්ට භය විය යුතු නැහැ කියලා. ඒ නිසා දාවිත් ගොලියත්ට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් යුද්ධ සේනාවන්ගේ දෙවි වූ සේනාවන්ගේ යෙහෝවාගේ නාමයෙන් මම ඔබ ළඟට එමි. . . . යෙහෝවා කඩුවෙන්වත් හෙල්ලයෙන්වත් නොගලවන බව මේ මුළු සමුදාව දැනගන්නා පිණිසද අද යෙහෝවා ඔබ මා අතට පාවා දෙන්නේය.” යෙහෝවා දෙවිගේ උපකාරය ඇතිව දාවිත් තම ගල් පටියෙන් විද්ද පළමු පහරින්ම ඒ විශාල යෝධයා ඇද වැටුණා.—1 සාමුවෙල් 17:45-47.

8. බයිබලයේ සඳහන් දේවගරුබිය ඇති අයගේ ආදර්ශ අපට උගන්වන්නේ කුමක්ද?

8 දාවිත් මුහුණ දුන් ආකාරයටම අපිත් යම් බාධකවලට හෝ සතුරන්ගේ නින්දාවලට ලක් වෙනවා විය හැකියි. එවැනි අවස්ථාවලදී අපිට කුමක් කළ හැකිද? දේවගරුබිය ඇතිව සිටීමෙන් අපිටත් පුළුවන් පුරාණයේ සිටි දාවිත් සහ අනිත් විශ්වාසවන්ත අය වගේම ඒවාට සාර්ථකව මුහුණ දෙන්න. දේවගරුබිය තිබෙනවා නම් අපි මනුෂ්‍යයන්ට භය වෙන්නේ නැහැ. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ නෙහෙමියා, විරුද්ධකාරයන්ගෙන් එල්ල වූ පීඩනවලින් යට වී සිටි ඊශ්‍රායෙල්වරුන්ව උනන්දු කළේ “ඔවුන් ගැන භය නොවෙන්න. උතුම් වූ භය [ගරුබිය] උපදවන්නාවූ යෙහෝවා” දෙවිව සිහි කරන්න කියායි. (නෙහෙමියා 4:14) දෙවිගේ උපකාරය ඇතිව දාවිත්, නෙහෙමියා වගේම අනිත් විශ්වාසවන්ත සේවකයන් පවා දෙවි ඔවුන්ට දුන් පැවරුම හොඳින් කළා. දේවගරුබිය ඇතිව අපටත් එලෙසම කරන්න පුළුවන්.

දේවගරුබිය ඇතිව ගැටලුවලට මුහුණ දීම

9. දේවගරුබිය ඇති බව දාවිත් පෙන්නුවේ මොන අවස්ථාවලදීද?

9 ගොලියත්ව මරා දැමුවායින් පසුව තවත් ජයග්‍රහණයන් අත් කරගැනීමට යෙහෝවා දෙවි දාවිත්ට උපකාර කළා. ඊර්ෂ්‍යාවෙන් පිරුණු සාවුල් රජ මුලින්ම ආවේගයෙන් යුතුවත්, ඊටපසු කපටි විදියටත්, අන්තිමේදී හමුදාවක් සමඟ ගොස් දාවිත්ව මරා දැමීමට වෑයම් කළා. දාවිත්ට රජකම දෙන බවට යෙහෝවා දෙවි සහතික වී තිබුණත් දෙවිගේ නියමිත කාලය එන තෙක් අවුරුදු ගණනාවක් පුරා පලා යෑමට, සටන් වැදීමට සහ බලා සිටීමට ඔහුට සිදු වුණා. මේ සියල්ලේදී දාවිත් පෙන්නුවේ තමා සැබෑ දෙවිට ගරුබිය ඇතිව සිටි බවයි.—1 සාමුවෙල් 18:9, 11, 17; 24:2.

10. අනතුරුදායක අවස්ථාවලදී පවා තමා දේවගරුබියැති පුද්ගලයෙක් බව දාවිත් පෙන්නුවේ කෙසේද?

10 තවත් අවස්ථාවක දාවිත් පිලිස්තීය නුවරක් වන ගාත්හි රජ වූ ආඛීෂ් වෙතට පලා ගියා. ඒ නුවර නම් ගොලියත්ගේ උපන් ගමයි. (1 සාමුවෙල් 21:10-15) රජගේ මෙහෙකරුවෝ දාවිත්ව හැඳින්වූයේ ඔවුන්ගේ ජාතියේ සතුරෙක් ලෙසටයි. ඒ අනතුරුදායක අවස්ථාවේදී දාවිත් ක්‍රියා කළේ කෙසේද? ඔහු දෙවිට මහත් ඕනෑකමින් යාච්ඤා කළා. (ගීතාවලිය 56:1-4, 11-13) දාවිත් පිස්සෙක් වගේ හැසිරුණු නිසා ඔහුට ගැලවෙන්න හැකි වුණා. නමුත් තමා ගැලවුණේ තමාගේ වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කළ නිසා බව ඔහු දැන සිටියා. යෙහෝවා දෙවි කෙරෙහි මුළු හෘදයෙන්ම රඳා පැවතීමෙනුත් දෙවිව විශ්වාස කිරීමෙනුත් දාවිත් පෙන්නුවේ තමා සැබවින්ම දේවගරුබිය ඇති පුද්ගලයෙක් බවයි.—ගීතාවලිය 34:4-6, 9-11.

11. දාවිත් වගේ ගැටලුවලට මුහුණ දෙද්දී අපටත් දේවගරුබිය දක්වන්න පුළුවන් කොහොමද?

11 ගැටලුවලට මුහුණ පාද්දී දේවගරුබිය පෙන්වන්න අපට පුළුවන් කොහොමද? ඒ ගැටලුවලට මුහුණ දෙන්න දෙවි උපකාර කරන බවට දී ඇති පොරොන්දුව කෙරෙහි දාවිත් වගේ විශ්වාසය තැබීමෙන්. දාවිත් කිව්වේ “ඔබේ මාර්ගය යෙහෝවාට භාර දෙන්න. ඔහු කෙරෙහි විශ්වාස කරන්න. ඔහු එය ඉෂ්ට කරන්නේය” කියායි. (ගීතාවලිය 37:5) අපගේ ගැටලු සියල්ලම විසඳන්නට දෙවිට භාර දී ඒ සඳහා කිසිවක් නොකර පැත්තකට වී බලා සිටීමක් මින් අදහස් කරන්නේ නැහැ. දාවිත් උපකාර පතා දෙවිට යාච්ඤා කළා විතරක් නෙවෙයි, ඒ සඳහා අවශ්‍ය පියවරද ගත්තා. ඔහු කළේ යෙහෝවා දෙවි දී තිබූ හැකියාවන් බුද්ධිමත් ලෙස ප්‍රයෝජනයට ගෙන ප්‍රශ්නය විසඳාගැනීමයි. ඒ වගේම දාවිත් දැනගෙන සිටියා කෙනෙකුට තමාගේම උත්සාහයෙන් සාර්ථක වෙන්න බැහැ කියලා. අපි කරන්න අවශ්‍යත් ඒ දෙයමයි. යම් ගැටලුවක් විසඳීමේදී අපිට කරන්න පුළුවන් උපරිමය කළායින් පසු ඉන් එහාට කාරණය විසඳාගැනීම සඳහා යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටිය යුතුයි. බොහෝ අවස්ථාවලදී අපිට කරන්න සිදු වෙන්නෙත් ඒ දෙයමයි. එවැනි අවස්ථාවන් අපි පුද්ගලිකව දෙවිට ගරුබිය දක්වනවාද කියා ඔප්පු වන හොඳම අවස්ථාවන් වෙනවා. දාවිත්ගේ මේ හෘදයාංගම වචනවලින් අපටත් සැනසීමක් ලබාගන්න පුළුවන්. “යෙහෝවාට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය.”—ගීතාවලිය 25:14, NW.

12. අපි යාච්ඤා කරන ආකාරය ගැන බැරෑරුම්ව සිතන්න ඕනේ ඇයි? අපි වැළකිය යුත්තේ කුමන ආකල්පයකින්ද?

12 ඒ නිසා දෙවි සමඟ අපගේ මිත්‍රත්වය කොයි වගේද යන්න ගැන සහ අපි යාච්ඤා කරන ආකාරය ගැන බැරෑරුම්ව සිතන්න ඕනේ. අපි යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් ළඟා වෙන කොට “ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය.” (හෙබ්‍රෙව් 11:6; යාකොබ් 1:5-8) ඒ වගේම දෙවිගේ උපකාරය අපි අද්දකින විට පාවුල් අපට උනන්දු කළා වගේ අපි ඒ සඳහා “ස්තුතිවන්ත වන බවද” පෙන්වමු. (කොලොස්සි 3:15, 17) එක අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් මෙහෙම කිව්වා. “සමහරු දෙවිව සලකන්නේ ස්වර්ගයේ සිටින සේවකයෙක් ගානටයි. ඔවුන්ට යමක් ඕන වෙන කොට විතරක් අතින් සංඥා කරලා අවශ්‍ය දේ ගෙන්න ගන්නවා. ඉන් එහාට ඔවුන්ට ඒ සේවකයාගෙන් වැඩක් නැහැ.” එවැනි ආකල්පයකින් පෙන්වන්නේ දේවගරුබිය හීන වී ඇති බවයි. අපි කිසිදාක ඒ වගේ නොවෙමු.

දේවගරුබිය අඩු වන විට

13. දෙවිගේ නීතිය පවත්වන්න දාවිත් අසමත් වුණේ කොයි අවස්ථාවේදීද?

13 පීඩාකාරී අවස්ථාවලදී යෙහෝවා දෙවිගේ උදව් අද්දැක්ක නිසා දාවිත්ට තිබූ දේවගරුබිය තවත් වැඩි වුණ අතර දෙවි කෙරෙහි තිබූ ඔහුගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා. (ගීතාවලිය 31:22-24) කොහොමවුණත් අවස්ථා තුනකදී දාවිත් දේවගරුබිය පෙන්වන්න අසමත් වුණා. ඒ නිසා බරපතළ ප්‍රතිඵල ලැබීමට එය හේතු වුණා. පළමුවන එක නම් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය යෙරුසලෙමට ගෙනයාම සම්බන්ධවයි. දෙවිගේ නීතියට අනුව එය උසුලාගෙන යෑමට තිබුණේ ලෙවීවරුන්ගේ උරහිස් මතිනුයි. නමුත් ඔවුන් එය රැගෙන ගියේ කරත්තයක් මත තබාගෙනයි. කරත්තය ඉදිරියෙන් ගිය උස්සා ගිවිසුම් පෙට්ටිය පෙරළෙන්න යද්දී එය ඇල්ලීමෙන් කළ “වරද නිසා” එතැනම මැරී වැටුණා. ඔව් උස්සා කළේ බරපතළ වරදක්. නමුත් ඒ කනගාටුදායක සිද්ධියට මූලිකම හේතුව දෙවිගේ නීතිය හරි ලෙස පැවැත්වීමට දාවිත් අසමත් වීමයි. දේවගරුබිය කියන්නේ දේවල් යෙහෝවා දෙවිගේ ක්‍රමයටම කිරීමයි.—2 සාමුවෙල් 6:2-9; ගණන් කථාව 4:15; 7:9.

14. දාවිත් ඊශ්‍රායෙලහි සෙබළුවන්ව ගණන් කිරීම නිසා ඇති වූ ප්‍රතිඵලය කුමක්ද?

14 තවත් අවස්ථාවක සාතන්ගේ පෙලඹවීම මත ඊශ්‍රායෙල්හි සෙබළුවන්ව ගණන් කිරීමට දාවිත් කටයුතු කළා. (1 ලේකම් 21:1) එසේ කිරීමෙන් දාවිත් දේවගරුබිය පෙන්වන්න අසමත් වුණා. ඒ නිසා ඊශ්‍රායෙල්වරු 70,000ක් මරණයට පත් වුණා. පසුව දාවිත් පසුතැවිලි වුණත් ඔහුත් ඔහුගේ ජනයාත් බොහෝසේ දුක් වින්දා.—2 සාමුවෙල් 24:1-16.

15. දුරාචාරයේ යෙදීමට දාවිත්ට මඟ පෑදුවේ කුමක්ද?

15 දේවගරුබිය අඩු වූ තවත් අවස්ථාවකදී දාවිත් උරියාගේ බිරිඳ වූ බැත්ෂෙබා සමඟ කායික සබඳතාවක් පැවැත්තුවා. නමුත් ඔහු දැනගෙන සිටියා පරදාර සේවනයත් තම අසල්වැසියාගේ භාර්යාවට ආශාවීමත් වැරදි බව. (නික්මයාම 20:14, 17) මෙම වැරැද්දට මුල වුණේ බැත්ෂෙබා නාන විට දාවිත් ඇය දෙස බලා සිටීමයි. දේවගරුබිය ඇති පුද්ගලයෙක් හැටියට දාවිත්ට කරන්න තිබුණේ ඒ වෙලාවෙම තම දෙනෙත් වගේම සිතුවිලිත් ඉන් වෙනතකට හරවාගන්නටයි. ඒ වෙනුවට ඔහු කළේ “දිගින් දිගටම” ඇය දෙස බලා සිටීමයි. ඒ නිසා ඔහුගේ දේවගරුබියට වඩා කාම ආශාව බලවත් වුණා. (මතෙව් 5:28; 2 සාමුවෙල් 11:1-4) තමාගේ ජීවිතයේ සෑම දෙයකදීම යෙහෝවා දෙවිව සැලකිය යුතුයි යන කාරණය ඒ අවස්ථාවේදී දාවිත්ට අමතක වුණා.—ගීතාවලිය 139:1-7.

16. දාවිත් කළ වැරදි නිසා ඔහුට අත්විඳින්න වූයේ කුමක්ද?

16 දාවිත්, බැත්ෂෙබා සමඟ දුරාචාරයේ යෙදීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ට දරුවෙක් ලැබුණා. දාවිත් කළ පාපය පෙන්වා දීමට යෙහෝවා දෙවි නාතාන් නම් ඔහුගේ අනාගතවක්තෘවරයාව යැව්වා. දාවිත් කාරණය වටහාගත් විට පසුතැවිලි වී නැවත දේවගරුබිය ඇති කරගත්තා. තවදුරටත් ඔහු යෙහෝවා දෙවිගෙන් අයැද සිටියේ තමාව දෙවි ඉදිරියෙන් ඉවත් කර දැමීමවත් දෙවිගේ බලය ඔහුගෙන් අයින් කිරීමවත් නොකරන්න කියායි. (ගීතාවලිය 51:7, 11) දෙවි දාවිත්ට සමාව දුන් අතර ඔහුගේ දඬුවමද සැහැල්ලු කළා. නමුත් ඔහුගේ වැරදි ක්‍රියාව නිසා ඇති වූ සියලුම දුක්ගැහැටවලින් ඔහුව ආරක්ෂා කළේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් හැටියට දාවිත්ගේ පුත්‍රයා මැරුණා. ඒ විතරක් නෙවෙයි එතැන් පටන් දාවිත්ගේ පවුලේ අයටත් හුඟක් කරදරවලට මුහුණ දෙන්නත් සිදු වුණා. දේවගරුබිය අඩුකම නිසා විඳින්න සිදු වූ පාඩු කොතරම්ද!—2 සාමුවෙල් 12:10-14; 13:10-14; 15:14.

17. පව් කිරීම නිසා ඇති වන හිත් වේදනාව ගැන උදාහරණයක් දෙන්න.

17 අද දිනත් දේවගරුබිය නැතිව කටයුතු කළොත් ඉන් ඇති වන ප්‍රතිඵල භයානක වගේම දිගු කලක් යන තෙක්ම විඳින්නට සිදු වේවි. පිට රටක වැඩ කරන තමාගේ ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයා තමාට ද්‍රෝහි වූ බව දැනගත් විට එක් යෞවන භාර්යාවකට ඇති වූ හිත් වේදනාව ගැන සිතා බලන්න. ඇයගේ වේදනාව කොතරම් වැඩි වුණාද කියනවා නම් ඇය තම දෑතින් මුහුණ වසාගෙන ඉකි ගසමින් ඇඬුවා. ඇයගේ විශ්වාසය සහ ගෞරවය නැවත ගොඩනඟාගන්න මේ පුරුෂයාට කොතරම් කාලයක් නම් ගත වෙයිද? දේවගරුබිය තිබෙනවා නම් දේවල් එතරම් දුර දිග යෑමෙන් වළක්වාගන්න පුළුවන්.—1 කොරින්ති 6:18.

දේවගරුබිය පව් කිරීමෙන් අපව වළක්වයි

18. සාතන්ගේ අරමුණ කුමක්ද? ඒ සඳහා ඔහු යොදාගන්නා ක්‍රම මොනවාද?

18 සාතන් ඉතාමත් කඩිසරව මේ ලෝකයේ තිබෙන සදාචාර ප්‍රමිති පහත හෙළමින් සිටිනවා. ඒ තුළින් ඔහුට වඩාත්ම ඕනෑ කරන්නේ සැබෑ ක්‍රිස්තියානීන්ගේ උසස් ප්‍රමිති බාල කිරීමටයි. ඒ සඳහා සාතන් ඔවුන්ගේ සිත් සහ මනස් දූෂ්‍ය කිරීමට අසන දකින දේවල් ප්‍රබල ලෙස යොදාගන්නවා. (එෆීස 4:17-19) නොසිතූ ලෙස නරක පින්තූරයක් හෝ දර්ශනයක් ඔබ දැක්කොත්, අසභ්‍ය කතාවක් ඔබේ කනට වැටුණොත් සහ එවැනි දේවල් කරන මිනිසුන් සමඟ හදිස්සියෙවත් කටයුතු කරන්න සිදු වුණොත් ඔබ මොනවාද කරන්නේ?

19. දේවගරුබිය පව් කිරීමෙන් වළකින්න එක් ක්‍රිස්තියානියෙකුට උපකාර කළේ කොහොමද?

19 යුරෝපීය රටක සිටින ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙක්, පියෙක් සහ වෛද්‍යවරයෙක් වන ඔන්ඩ්‍රේගේ * මේ අද්දැකීම සලකා බලන්න. සමහර දවස්වල රෝහලේ රෑ එළිවෙනකං වැඩ කරන්න ඔහුට සිදු වුණා. එවැනි අවස්ථාවලදී ඔහු සමඟ වැඩ කළ කාන්තාවන් ඔහුගේ ඇඳේ කොට්ටය මත ලස්සනට ලියූ සටහන් අමුණා තිබුණා. ඔවුන් සමඟ ලිංගිකව හැසිරීමට ඒවායින් ආරාධනා කර තිබුණා. නමුත් ඔන්ඩ්‍රේ ඒවා එක හෙළාම ප්‍රතික්ෂේප කළා. ඒ විතරක් නෙවෙයි ඒ රෝහලෙන් අයින් වී වෙනත් තැනක වැඩ කිරීමටත් පියවර ගත්තා. දේවගරුබිය ඇතුව වැඩ කිරීම ඉතාමත් ප්‍රඥාවන්ත මෙන්ම ආශීර්වාදවලට මඟක් බව ඔප්පු වී තිබෙනවා. ඔන්ඩ්‍රේ අද දින තමන් ජීවත් වෙන රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ අර්ධ කාලීනව සේවය කරනවා.

20, 21. (අ) දේවගරුබිය පව් කිරීමෙන් අපිව වළක්වන්නේ කෙසේද? (ආ) ඊළඟ ලිපියේ සලකා බලන්නේ කුමක්ද?

20 වැරදි දේවල් ගැන දිගටම සිත සිතා සිටීමෙන් කෙනෙක් තමන්ට කොහෙත්ම අයිති නැති දෙයක් කිරීමට පෙලඹෙන්න පුළුවන්. ඒ තුළින් යෙහෝවා දෙවි සමඟ තමාට ඇති අනගි මිත්‍රත්වය වුණත් නැති කරගන්න ඔහු පෙලඹෙනවා. (යාකොබ් 1:14, 15) නමුත් අපි දේවගරුබිය ඇති පුද්ගලයන් නම් දෙවිගේ සදාචාර ප්‍රමිති බාල කිරීමට අපිව පොලඹවන මිනිසුන්ගෙන්, එවැනි තැන්වලින්, එවැනි විනෝදය ගෙන දෙන දේවල් වැනි ඕනෑම දෙයකින් අපි සම්පූර්ණයෙන්ම ඉවත් වෙමු. (හිතෝපදේශ 22:3) එවැනි දේවල් ප්‍රතික්ෂේප කිරීමේදී අපට පාඩුවක් විඳින්න හෝ ලජ්ජා අපහාසවලට මුහුණ දෙන්න සිදු වේවි. ඒ වුණත් දෙවිගේ අනුමැතිය ලැබීම සමඟ සසඳා බලද්දී එය බොහොම සුළු දෙයක්. (මතෙව් 5:29, 30) දේවගරුබිය තිබෙනවා නම් අපි කිසිදාක කාමුක දර්ශන බැලීම ඇතුළු කිසිම දුරාචාරමය ක්‍රියාවක යෙදෙන්න යොමු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ‘නිෂ්ඵල දේ බැලීමෙන් අපේ ඇස් ඉවතට හරවාගනිමු.’ අපි එසේ කරනවා නම් අපිට සෑම දෙයක්ම සපයා අපව ‘මාර්ගවල හසුරුවන’ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන්න අපිට පුළුවන්.—ගීතාවලිය 119:37; 84:11.

21 ඇත්තෙන්ම දේවගරුබිය ඇතිව සිටීම තමයි ප්‍රඥාවන්තම දෙය. ඒ විතරක් නෙවෙයි එය සැබෑ සන්තෝෂයද ගෙන දෙනවා. (ගීතාවලිය 34:9) ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ 1998 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ “බයිබලයේ දෘෂ්ටිකෝණය: ප්‍රේමණීය දෙවිකෙනෙකුට බියවීමට ඔබට හැක්කේ කෙසේද?” නම් ලිපිය බලන්න.

^ 19 ඡේ. සැබෑ නම නොවෙයි.

ඔබට පැහැදිලි කළ හැකිද?

• දේවගරුබිය බැඳී පවතින්නේ කුමන දේවල් සමඟද?

• දේවගරුබිය, මිනිසාට භය වීමෙන් අපව වළක්වන්නේ කොහොමද?

• යාච්ඤාව ගැන නිසි ආකල්පයක් තිබෙනවා කියා පෙන්වන්න අපිට පුළුවන් කොහොමද?

• දේවගරුබිය අපිව පව් කිරීමෙන් වළක්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ අත්වැඩ වන ඔහුගේ මැවිලි ගැන මෙනෙහි කිරීමෙන් දාවිත් දේවගරුබිය ඇති කරගත්තා

[24වන පිටුවේ පින්තූර]

නොසිතූ අවස්ථාවක පරීක්ෂාකාරී තත්වයකට මුහුණ දෙන්න ඔබට සිදු වුණොත් ඔබ කුමක්ද කරන්නේ?