Skip to content

පටුනට යන්න

දේවගරුබිය සන්තෝෂය ගෙන දෙයි

දේවගරුබිය සන්තෝෂය ගෙන දෙයි

දේවගරුබිය සන්තෝෂය ගෙන දෙයි

“යෙහෝවාට ගරුබිය ඇති තැනැත්තා සන්තෝෂයෙන් සිටින්නේය.”—ගීතාවලිය 112:1, නව ලොව පරිවර්තනය, NW.

1, 2. යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමේ ප්‍රතිඵලය කුමක්ද?

සන්තෝෂය කියන්නේ ඉබේම පහළ වන දෙයක් නොවෙයි. සැබෑ සන්තෝෂය අද්දකින්න නම් නිවැරදි තීරණ ගැනීම, නිතරම හරි දේ කිරීම සහ වැරදි දේවල් කිරීමෙන් වැළකී සිටීම අවශ්‍යයි. ජීවිතයෙන් උපරිම සන්තෝෂයක් ලබන්නේ කොහොමද කියල ඉගෙනගන්න අපගේ දෙවි, ඔහුගේ වචනය වන බයිබලය අපට දී තිබෙනවා. ඔහු කියන විදිහටම දේවල් කිරීමෙන්, ඒ කියන්නේ දේවගරුබිය ඇතිව කටයුතු කිරීමෙන් අපිටත් පුළුවන් ජීවිතයෙන් උපරිම සන්තෝෂයක් අද්දකින්න.—ගීතාවලිය 23:1; හිතෝපදේශ 14:26.

2 අපි මේ ලිපියෙන් දේවගරුබිය පෙන්වූ අයගේ කදිම ආදර්ශ කිහිපයක් සලකා බලමු. ඒවාට බයිබලයේ සඳහන් ආදර්ශ වගේම වත්මන් දින ආදර්ශද ඇතුළත්. වැරදි දේ කිරීමට දැඩි පෙලඹීමක් එන විට එයට විරුද්ධව සිටීමටත් හරි දේ කිරීමට නිර්භීත වීමටත් දේවගරුබිය ඔවුන්ට උපකාර වූ අයුරු අපි බලමු. දාවිත් හා සමානව, අප අතින් බරපතළ වරදක් සිදු වුණොත් එය නිවැරදි කරගැනීමට අපව පොලඹවමින් අපට නැවත සන්තෝෂය ලබා දෙන්න දේවගරුබිය උපකාර කරන ආකාරයද සලකා බලමු. දේවගරුබිය දෙමාපියන් විසින් තම දරුවන් සඳහා දිය හැකි වටිනා උරුමයක් වෙන්නේ කොහොමද කියලත් අපි බලමු. දේවවචනය අපිට සහතික කරන්නේ “යෙහෝවාට ගරුබිය ඇති තැනැත්තා සන්තෝෂයෙන් සිටින්නේය” කියායි.—ගීතාවලිය 112:1.

අහිමි වූ ප්‍රීතිය නැවතත්

3. දාවිත් කළ පව්වලින් ගොඩ ඒමට ඔහු කළේ කුමක්ද?

3 දේවගරුබිය දැක්වීමට අසමත් වීම නිසා දාවිත් රජ වරදට වැටුණු අවස්ථා තුනක් ගැන අපි කලින් ලිපියේ සලකා බැලුවා. ඒ වුණත් යෙහෝවා දෙවිගේ හික්මවීම්වලට කීකරු වීමෙන් ඔහු පෙන්වූවේ තමා දේවගරුබිය ඇති පුද්ගලයෙක් බවයි. තමාගේ වරද පිළිගන්නත්, එය නිවැරදි කරගන්නත්, යෙහෝවා දෙවි සමඟ තිබූ මිත්‍රත්වය නැවත ගොඩනඟන්නත් ඔහුට හැකි වුණේ දෙවිට තිබූ භක්තිය සහ ගෞරවය නිසයි. දාවිත් කළ පව් නිසා ඔහුටත් අන් අයටත් දුක් විඳින්න සිදු වුණා. නමුත් යෙහෝවා දෙවිගේ ආශීර්වාද සහ උපකාරය නැවත ලබාගන්න ඔහුට හැකි වුණේ ඔහුගේ අවංක පසුතැවිල්ල නිසයි. අද දිනත් ක්‍රිස්තියානියෙකු අතින් යම් බරපතළ වැරදි සිදු වෙන්න පුළුවන්. එවැනි අයට දාවිත්ගේ ආදර්ශයෙන් යම් දිරිගැන්වීමක් ලබාගත හැකියි.

4. අහිමි වූ සන්තෝෂය නැවත ලබාගන්න යමෙකුට දේවගරුබිය උපකාර වෙන්නේ කොහොමද?

4 සෝන්යාගේ අද්දැකීම සලකා බලන්න. * ඇය පූර්ණ කාලීන දේවසේවිකාවක් ලෙස සේවය කරන අතරතුර නරක ගතිගුණ තිබෙන අයවත් ඇසුරු කරමින් සිටියා. පසුව ක්‍රිස්තියානියෙකුට නුසුදුසු ක්‍රියාවල යෙදීම නිසා ඇයව ක්‍රිස්තියානි සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කළා. තමා කළ වරදෙහි බරපතළකම වටහාගත් පසු ඇය යෙහෝවා දෙවි සමඟ ඇති මිත්‍රත්වය යළි ගොඩනැඟීමට හුඟක් වෙහෙසුණා. යම් කලකට පසු ඇයව නැවත සභාවේ සාමාජිකයෙකු හැටියට පිළිගත්තා. මේ සියලුම දේ මැද්දේ වුණත් සෝන්යා යෙහෝවා දෙවිට සේවය කරන්න තිබූ ආශාව අතහැරියේ නැහැ. නැවතත් ඇය පූර්ණ කාලීන දේවසේවය පටන්ගත්තා. පසුව ඇය ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු සමඟ විවාහ වූ අතර දැන් ඇය සන්තෝෂයෙන් ඔහුත් සමඟ සභාවේ සේවය කරනවා. යම් කලකට හෝ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති කඩ කිරීම ගැන ඇයට දැනෙන්නේ මහත් කනගාටුවක්. ඒ වුණත් නැවත යෙහෝවා දෙවි වෙතට හැරෙන්න දේවගරුබිය උපකාර වූ ආකාරය ගැන සිතද්දී ඇයට ඇති වෙන්නේ ඉමහත් සන්තෝෂයක්.

පව් කරනවා වෙනුවට දුක් විඳීමට තෝරාගැනීම

5, 6. දාවිත්, සාවුල්ගේ ජීවිතයට දෙපාරක්ම හානියක් නොකළේ ඇයි කියා පැහැදිලි කරන්න.

5 හොඳම දේ වෙන්නේ දේවගරුබිය ඇති පුද්ගලයෙක් පව් කිරීමෙන් වැළකී සිටීමයි. යම් අවස්ථාවලදී දාවිත් එසේ කළා. එක අවස්ථාවක සාවුල් රජ තුන්දාහක් පමණ හමුදාවක් සමඟ දාවිත්ව ලුහුබැඳ ගිය අතර සාවුල් ගල් ගුහාවකට ඇතුල් වුණා. දාවිත් සහ ඔහුගේ සේවකයෝද සැඟවී සිටියේ එම ගුහාවේමයි. මෙය සාවුල්ව මරා දමන්න හොඳ අවස්ථාවක් කියලා දාවිත්ගේ සේවකයෝ ඔහුට කිව්වා. යෙහෝවා දෙවි දාවිත්ගේ සතුරාව ඔහුගේ අතටම පාවලා දුන්නාද? ඒ වගේ පෙනෙන්ට තිබුණත් දාවිත් හොර රහසේම සාවුල් ළඟට ගොස් ඔහුගේ වස්ත්‍රයේ කොණක් කපාගත්තා. ඒ සුළු දේ වුණත් ඔහුගේ හිතට වද දුන්නා. එසේ වුණේ දාවිත්ට දේවගරුබිය තිබුණ නිසයි. දාවිත් තම සේවකයන්ට කිව්වේ “යෙහෝවා දෙවි ඉදිරියේ මම කොහොමද මගේ ස්වාමියාට මේ වගේ දෙයක් කරන්නේ? යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා ඔහුයි. යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මගේ අත ඔසවන එක ගැන මට හිතාගන්නවත් බැහැ” කියායි. *1 සාමුවෙල් 24:1-7, NW.

6 තවත් අවස්ථාවක දාවිත්ව ලුහුබැඳ ගිය සාවුල් සහ ඔහුගේ හමුදාව රාත්‍රියේදී කඳවුරු බැඳගත්තා. එහිදී “යෙහෝවා කෙරෙන් බර නින්දක්” ඔවුන්ට පැමිණියා. දාවිත් සහ ඔහුගේ එඩිතර ඥාතියෙක් වන අබිෂයි හෙමින් සැරේ කඳවුර මැද සාවුල් නිදාගෙන සිටින තැනට ගියා. අබිෂයිට වුවමනා වුණේ එක පහරින්ම සාවුල්ව මරා දැමීමටයි. දාවිත් අබිෂයිව වළක්වමින් මෙසේ කිව්වා. “යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව අත ඔසවන කාටවත් නිදොස්ව ඉන්න පුළුවන්ද?”—1 සාමුවෙල් 26:9, 12, NW.

7. පව් කිරීමෙන් දාවිත් වැළකී සිටියේ කුමක් නිසාද?

7 සාවුල්ව මරා දැමීමට දාවිත්ට අවස්ථා දෙකක් ලැබුණත් ඔහු එසේ නොකළේ ඇයි? එයට හේතුව නම් ඔහු සාවුල්ට භය වෙනවාට වඩා යෙහෝවා දෙවිට ගරුබිය දැක්වූ නිසයි. දේවගරුබිය තිබුණ නිසා දාවිත් පව් කිරීමට වඩා දුක් විඳීම තෝරාගත්තා. (හෙබ්‍රෙව් 11:25) යෙහෝවා දෙවි තමාව සහ තම සෙනඟව ආරක්ෂා කරන බවට ඔහුට කිසිම සැකයක් තිබුණේ නැහැ. දෙවිට කීකරු වීම සහ ඔහුව විශ්වාස කිරීම සන්තෝෂය සහ බොහෝ ආශීර්වාදවලට මඟ බව දාවිත් දැනගෙන සිටියා. නමුත් එසේ නොකෙරුවොත් දෙවිගේ අනුමැතිය අහිමි වෙන බවත් ඔහු හොඳින් තේරුම්ගෙන තිබුණා. (ගීතාවලිය 65:4) ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවි පොරොන්දු කර තිබූ ලෙසම නියමිත කාලයේදී තමාට රජකම ලැබෙන බවත් සාවුල්ව රජකමින් ඉවත් කරන බවත් ඔහු දැනසිටියා.—1 සාමුවෙල් 26:10.

දේවගරුබිය සන්තෝෂය ගෙන දෙයි

8. ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ දාවිත් ක්‍රියා කළ ආකාරය කදිම ආදර්ශයක් වෙන්නේ කොහොමද?

8 සමච්චලයට, පීඩාවලට සහ වෙනත් කරදරවලට මුහුණ දීමට සිදුවීම ක්‍රිස්තියානීන් වන අපි හැමෝටම අමුතු දෙයක් නෙවෙයි. (මතෙව් 24:9; 2 පේතෘස් 3:3) සමහර අවස්ථාවලදී අපිට අපගේම සහෝදර සහෝදරියන්ගෙන් ඇති වන ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් සිදු වෙනවා. නමුත් යෙහෝවා දෙවි මේ සියල්ලම සැලකිල්ලට ගන්න බවත් අපගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන බවත් ඔහුගේ නියමිත කාලයේදී කාරණා සම්පූර්ණයෙන්ම විසඳන බවත් අපි දන්නවා. (රෝම 12:17-21; හෙබ්‍රෙව් 4:16) එමනිසා අපගේ විරුද්ධවාදීන්ට භය වෙනවා වෙනුවට දේවගරුබිය ඇතිව දෙවි දේවල් විසඳන තෙක් අපි බලා සිටිමු. දාවිත් කළා වගේ අපිත් අපිට සතුරුකම් පාන අයගෙන් පළිගන්න ඉක්මන් නොවෙමු. පාඩු විඳීම හෝ දුක් විඳීම මඟ හරින්න පුළුවන් ඉක්මන් ක්‍රමයක් හැටියට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති බාල නොකරමු. එහි ප්‍රතිඵලය නම් සන්තෝෂයයි. ඒ කොහොමද?

9. පීඩා මැද පවා දේවගරුබිය දැක්වීම සන්තෝෂයට හේතු වන ආකාරය ගැන උදාහරණයක් දෙන්න.

9 බොහෝ කාලයක් පුරා වෙනත් රටක දේවසේවය කළ එක සහෝදරයෙක් මෙවැනි අද්දැකීමක් ගැන පැවසුවා. “එක් ක්‍රිස්තියානි මවක් සහ ඇගේ යෞවන දැරිය එම ප්‍රදේශයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වී එහි සාමාජිකත්වයක් ලබාගැනීම තරයේ ප්‍රතික්ෂේප කළා. මේ නිසා මිනිසුන් පිරිසක් ඔවුන්ට ඉතාමත් දරුණු ලෙස පහර දීලා ඔවුන්ව එළවා දැම්මා. තමන්ට නිකරුණේ පහර දුන්නේ ඇයි කියල මේ දැරිය අඬ අඬ අහද්දී ඒ අම්මා ඇයව සනසන්න උත්සාහ කළා. මේ සිද්ධ වුණ දේ නම් ඔවුන්ට සන්තෝෂයට හේතුවක් නෙවෙයි. නුමුත් දෙවිට කීකරු වී ඔහු ඉදිරියේ හරි දේ කළ නිසා ඔවුන් සිටියේ සන්තෝෂයෙන්. හැබැයි ඒ දෙන්නා මිනිසුන්ගේ පැත්ත ගෙන කටයුතු කළා නම් යම් සංග්‍රහයක් භුක්ති විඳලා ගරු සරු ඇතිව ගෙදර යන්න තිබුණා. නමුත් මේ මව සහ දියණිය තේරුම්ගත්තා ඔවුන් එසේ කළා නම් පසුව එය කොයි තරම් ඔවුන්ගේ සිතට වධ දෙයිද කියලා.” නමුත් ඔවුන්ට තිබූ දේවගරුබිය ඒ සියල්ලෙන් ඔවුන්ව ආරක්ෂා කළා.

10, 11. දේවගරුබිය දැක්වීම නිසා කාන්තාවක් ආශීර්වාද ලැබුවේ කොහොමද?

10 ජීවිතය ඉතා පරිශුද්ධ දෙයක් යන කාරණයට ගෞරවය පෙන්වීම යම් විටක අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් එවැනි අවස්ථාවලදී පවා දේවගරුබිය පෙන්වීම සන්තෝෂය ගෙන දෙයි. මේරි කියන කාන්තාව තම තුන්වෙනි දරුවා ලැබෙන්න සිටින විට, වෛද්‍යවරු එකහෙළාම ඇයට කියා සිටියේ ඒ නූපන් දරුවාව ගබ්සා කරන්න කියායි. එයට හේතුව හැටියට ඔවුන් කිව්වේ “ඔයා ඉන්න තත්වය ටිකක් භයානකයි. ඒ නිසා පැය 24ක් ඇතුළත ඔයාගේ තත්වය කොයි අතට හැරෙයිද කියල කියන්න බැහැ. ඔයාගෙත් දරුවාගෙත් ජීවිත තියෙන්නේ අනතුරේ. දරුවා ඉපදුණත් එයා නිරෝගී දරුවෙක් වෙයි කියල සහතික වෙන්න නම් අපිට බැහැ.” මෙම කාන්තාව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් හිටියත් ඇය බව්තීස්ම වෙලා හිටියේ නැහැ. මේ ගැන ඇය කියන්නේ “මම යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණයක් අරගෙනයි තිබුණේ. අනාගතයේදී මොනම දෙයකට මුහුණ පාන්න වුණත් යෙහෝවා දෙවිට කීකරුව ඉන්න මම අධිෂ්ඨාන කරගත්තා” කියායි.—නික්මයාම 21:22, 23.

11 දරුවා ලැබෙන්න හිටිය කාලයේදී පවා ඇය කඩිසරව බයිබලය අධ්‍යයනය කළා. ගෙදර අයගේ ඕනෑ එපාකම් සලකන්නත් ඇය වෙහෙස නොබලා වැඩ කළා. මේ දරුවා ඉපදුණාට පසුව මේරි මෙහෙම කියනවා “කලින් දෙන්නා හම්බ වෙන්න හිටියාට වඩා මේ සැරේ නම් ටිකක් අමාරු වුණා. නමුත් හිතපු තරම් දරුණු තත්වයකට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ.” දෙවි ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්නට ඇයට උපකාර කළේ දේවගරුබියයි. මින් වැඩි කල් නොගොස් ඇය බව්තීස්ම වුණා. මේ කුඩා දරුවා වැඩෙනවාත් සමඟම ඔහුද දේවගරුබිය ඇතිව සිටින්න ඉගෙනගත්තා. දැන් ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කරමින් සිටිනවා.

‘යෙහෝවා කෙරෙහි ඔබගේ ධෛර්යය වැඩි කරගන්න’

12. දේවගරුබිය දාවිත්ව ශක්තිමත් කළේ කොහොමද?

12 දාවිත්ට තිබූ දේවගරුබිය ඔහුට උපකාර කළේ වැරදි දේවල් කිරීමෙන් වළකින්න පමණක් නෙවෙයි. දුෂ්කර අවස්ථාවලදී ස්ථිරව සහ ප්‍රඥාවන්තව දේවල් කරන්නත් එය ඔහුට අවශ්‍ය ශක්තිය දුන්නා. සාවුල්ගෙන් පැමිණි තර්ජන නිසා දාවිත්ටත් ඔහු සමඟ සිටි අයටත් පලා ගොස් තැනින් තැන ජීවත් වෙන්න සිද්ධ වුණා. අවුරුද්දකුත් මාස හතරක් පුරා ඔවුන් ජීවත් වුණේ පිලිස්තියාවේ නගරයක් වූ ශික්ලග් කියන ස්ථානයේයි. (1 සාමුවෙල් 27:5-7) දිනක් දාවිත් සහ ඔහු සමඟ සිටි පුරුෂයන් මේ ප්‍රදේශයේ නොසිටි අවස්ථාවක අමලෙක්වරුන් පැමිණ එය කොල්ල කෑවා. මේ සේනාව එම නුවරට ගිනි තබා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ව වහල්කමට අරගෙන ගියා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට අයිති එළු බැටළු රැළවල් පවා රැගෙන ගියා. නැවත පැමිණි දාවිත් සහ ඔහ සමඟ සිටි පුරුෂයන් සිදු වී ඇති දේ දැක බොහෝසෙයින් වැලපුණා. මෙයින් බොහෝ සේ කෝපයට පත් වුණු ඒ පුරුෂයන් දාවිත්ට ගල් ගසන්න හිතාගත්තා. මෙය දාවිත්ගේ දැඩි කනස්සල්ලට හේතු වුණත් ඔහු බලාපොරොත්තු සුන් කරගත්තේ නැහැ. (හිතෝපදේශ 24:10) මේ අවස්ථාවේදී යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්න ඔහුව පෙලඹුවේ දේවගරුබියයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු “යෙහෝවා කෙරෙහි ධෛර්යය වැඩි” කරගත්තා. දෙවිගේ උපකාර ඇතුව දාවිත් සහ ඔහුගේ මිනිසුන් අමලෙක්වරුන්ව පරාජය කර තමන්ගෙන් කොල්ලකාගත් සියල්ලම නැවත ගෙනාවා.—1 සාමුවෙල් 30:1-20.

13, 14. නිවැරදි තීරණ ගැනීමට දේවගරුබිය එක් යෞවනියකට උපකාරවත් වුණේ කොහොමද?

13 අද දින සිටින දෙවිගේ සේවකයනුත් මෙවැනි තත්වයන් අද්දකිනවා. යෙහෝවා දෙවි මත සම්පූර්ණ විශ්වාසය තබා කෙළින් තීරණයක් ගන්න ධෛර්ය අවශ්‍ය වෙන්නේ මෙවැනි අවස්ථාවලදීයි. යෞවනියක් වන ක්‍රිස්ටීනාගේ උදාහරණය සලකා බලන්න. ඇය යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළා. නමුත් ඇයට ලොකු ආශාවක් තිබුණා දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක් වෙන්න. ඇය ඒ පැත්තෙන් සෑහෙන දියුණුවක්ද ලැබුවා. නමුත් ඇය ගෙයින් ගෙට දේවසේවයේ යෑමට ටිකක් ලජ්ජා වුණා. බව්තීස්ම වුණොත් ඒත් එක්කම ඇගෙන් හුඟක් දේවල් බලාපොරොත්තු වෙයි කියා හිතපු නිසා ඒකටත් ටිකක් අදි මදි කළා. කොහොමවුණත් කාලයක් මෙසේ බයිබලය පාඩම් කරද්දී දේවවචනයේ බලවත්කම ඇගේ ජීවිතයට බලපාන්න පටන්ගත් නිසා යෙහෝවා දෙවිට ගරුබිය ඇතිව සිටින්න ඇය ඉගෙනගත්තා. ඒ වගේම තමන්ගේ මුළු හෘදයෙන්ද, බුද්ධියෙන්ද, ශක්තියෙන්ද සේවය කිරීම දෙවි තමාගෙන් බලාපොරොත්තු වන බවත් ඇය තේරුම්ගත්තා. (මාක් 12:30) මේ අනුව ඇය අවසානයේදී යෙහෝවා දෙවිට කැපවී බව්තීස්ම වුණා.

14 දෙවිට කරන තම සේවය පුළුල් කරගන්න උදව් කරන්න කියා ක්‍රිස්ටීනා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඇයගේ කලින් තිබූ ඉලක්කය ගැන දැන් ඇය කියන්නේ “පියානෝ වාදකයෙකුට සන්දර්ශන ඉදිරිපත් කිරීම සඳහා නිතරම තැනින් තැනට යන්න සිදු වන බව මම දැනගෙන හිටියා. එක අවුරුද්දකට අඩුම තරමේ සංදර්ශන 400ක්වත් ඉදිරිපත් කරන්න වෙනවා.” ඇය තවදුරටත් කියන්නේ “ඒ වෙනුවට මම ඒ අංශයෙන් ගුරුවරියක් වෙන්න තීරණය කළා. ඉදිරියේදී මම කරන්නට යන පූර්ණ කාලීන දේවසේවයේදී ඇති වන අවශ්‍යතාවන් පිරිමහගන්න එය මට උදව්වක් වෙයි.” ඒ වන විටත් ක්‍රිස්ටීනා තම රටේ ප්‍රසිද්ධ ශාලාවක පියානෝ සංදර්ශනයක් කිරීමට භාර ගෙන තිබුණා. ඒ ගැන ඇය කියන්නේ මෙහෙමයි “මේ ප්‍රසිද්ධ සංදර්ශනය මම කරන ප්‍රථම සහ අවසන් සංදර්ශනයයි.” පසුව ක්‍රිස්ටීනා ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු සමඟ විවාහ වුණ අතර දැන් දෙදෙනාම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කරමින් සිටිනවා. හරි තීරණය ගැනීමට යෙහෝවා දෙවිගෙන් ලැබුණ උපකාර ගැනත් ඇයගේ කාලය හා ශක්තිය යෙහෝවා දෙවිගේ සේවය තුළ යෙදවීමට හැකිවීම ගැනත් ඇය ඉන්නේ හරිම සන්තෝෂයෙන්.

වටිනා උරුමයක්

15. තම දරුවන්ට උරුම කර දීමට දාවිත්ට අවශ්‍ය වුණේ කුමක්ද? ඔහු එය කළේ කොහොමද?

15 “දරුවෙනි, එන්න, මට කන් දෙන්න. යෙහෝවා කෙරෙහි භයවීම උගන්වන්නෙමි” කියා දාවිත් රජ ලිව්වා. (ගීතාවලිය 34:11) පියෙක් හැටියට තම දරුවන්ට දිය හැකි වටිනාම උරුමය ලෙස දාවිත් සැලකුවේ යෙහෝවා දෙවි කෙරෙහි නොසැලෙන ගරුබියක් ඔවුන් තුළ පැළපදියම් කිරීමයි. දාවිත් තම වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්නුවා යෙහෝවා දෙවි කියන්නේ මිනිසුන්ට අකාරුණිකව සලකන, භයානක, තම නීති කඩ කරන අයට දඬුවම් කරන්න බලාගෙන ඉන්න දෙවි කෙනෙක් නොවන බව. නමුත් ඒ වෙනුවට දෙවි ප්‍රේමණීය, සැලකිල්ල දක්වන කෙනෙකු වගේම පොළොවේ සිටින තම දරුවන් බඳු සෙනඟට සමාව දෙන පියෙක් බවත් දාවිත් පෙන්නුවා. “තමා කර ඇති වැරදි සියල්ල දැනගත හැක්කේ කාටද” කියා පැවසීමෙන් දාවිත් පෙන්නුවේ අප කරන හැම ක්‍රියාවක්ම දෙවි දැනසිටින බවයි. අපි කරන හැම ක්‍රියාවකම වැරදි අල්ලන්න දෙවි බලාගෙන නොසිටින බවට දාවිත්ට විශ්වාසයක් තිබුණා. තවදුරටත් ඔහු කීවේ “මා නොදැනුවත්ව කළ පාපවලින් මාව පවිත්‍ර කරන්න” කියායි. අනෙක් අතට තම ක්‍රියාවලින් සහ සිතිවිලිවලින් දෙවිව සතුටු කරන්නට උපරිම උත්සාහයක් දැරුවොත් දෙවි එය පිළිගන්නා බවට දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා.—ගීතාවලිය 19:12, 14, NW.

16, 17. තම දරුවන් තුළ දේවගරුබියක් ඇති කරගන්න උපකාර කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

16 අද දින සිටින දෙමව්පියන් සඳහා දාවිත් රජ කදිම ආදර්ශයක් සපයනවා. රැල්ෆ්ගේ අද්දැකීම සලකා බලමු. ඔහු දැන් තම සහෝදරයා සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරමින් සිටිනවා. තම දෙමව්පියන් ගැන ඔහු කියන්නේ මෙහෙමයි. “ඔවුන් අපිව සත්‍යය මාර්ගය තුළ හදා වඩා ගනිද්දී අපිට ඒත්තුගැන්නුවේ එය හුඟක් සන්තෝෂය ගෙන දෙන මාර්ගයක් බවයි. ගෙදරදී ඔවුන් සභාවේ වැඩ කටයුතු ගැන කතා බහ කරද්දී යෞවන අපිවත් ඒකට හවුල් කර ගත්තා. ඒ නිසා කල් යද්දී අපිත් අපේ දෙමව්පියන් වගේ ඒ දේවල්වලට ගොඩක් උනන්දු වුණා. යෙහෝවා දෙවිගේ සේවය තුළ කරන්න බොහෝ දේවල් තිබෙන බවත් ඔවුන් අපිට ඒත්තුගැන්නුවා. මේ නිසා අපේ මුළු පවුලම අවුරුදු කිහිපයක් පුරා අවශ්‍යතාව වැඩි රටක සේවය කරමින් එහි අලුත් සභාවන් ඇති කරන්න උදව් කළා.

17 “අපිට මේ දක්වා සත්‍යය තුළ නොකඩවා ගමන් කරන්න හේතු වුණේ අපේ දෙමාපියන් කෙළවරක් නැති දැඩි නීති මාලාවක් දැමීම නිසා නම් නෙවෙයි. අපි දැක්කා අපගේ දෙමාපියන්ට යෙහෝවා දෙවි කොයි තරම් සැබෑ, කාරුණික කෙනෙක් වුණාද කියන එක. ඔවුන්ට නිතරම අවශ්‍ය වුණේ යෙහෝවා දෙවි ගැන තව තවත් ඉගෙනගෙන ඔහුව සතුටු කරන දේවල් කිරීමටයි. ඉතින් ඒගොල්ලන්ගෙන් ඉගෙනගත් අපිත් දේවගරුබිය ඇතිව සිටින්නේ කොහොමද කියලත් දෙවිට ප්‍රේම කරන්නේ කොහොමද කියලත් දැනගත්තා. අපි වැරදි වැඩ කරපු අවස්ථාවලදී ‘යෙහෝවා දෙවි මාත් එක්ක තරහවෙලා, ආයෙ නම් කවදාවත් මට සමාව දෙන එකක් නැහැ’ යන හැඟීම් අපි තුළ ඇති නොකරන්න ඔවුන් වග බලාගත්තා. ඒ වගේම කෝපයෙන් පහර දුන්නේවත් ඔවුන්ට හිතෙන හිතෙන විදිහට දැඩි තහංචි දැම්මෙවත් නැහැ. බොහෝ වෙලාවට ඔවුන් කළේ අපි සමඟ එකට ඉඳගෙන හරිම සන්සුන් විදිහට දේවල් පැහැදිලි කර දීමයි. සමහරවිට අපේ අම්මා ඇඬූ කඳුළින් අපට යම් කාරණා පැහැදිලි කර දෙද්දී ඒක අපේ හදවත්වලට තදින් දැනුණා. ඔවුන් දරපු උත්සාහය අපතේ ගියේ නැහැ. දේවගරුබිය කියන්නේ මොන තරම් අනර්ඝ දෙයක්ද කියලා අපි අපගේ දෙමව්පියන් තැබූ කදිම ආදර්ශයෙන් ඉගෙනගත්තා. ඒ විතරක් නෙවෙයි දෙවිගේ සේවකයෙකු වීම බරක් වෙනවාට වඩා එය මහත් ප්‍රීතියට හේතුවක් කියලත් අපි අද්දැක්කා.”—1 යොහන් 5:3.

18. සැබෑ දෙවිට ගරුබිය ඇතිව සිටීමෙන් අපිට ලැබෙන්නේ කුමක්ද?

18 “දාවිත්ගේ අන්තිම වචන” අතර අපිට කියවන්න තිබෙන්නේ “ධර්මිෂ්ඨ ලෙස මනුෂ්‍යයන් ආණ්ඩු කරන්නාවූ දෙවි කෙරෙහි භයින් [ගරුබියෙන්] ආණ්ඩු කරන්නාවූ තැනැත්තේ, වලාකුළු නැතුව ඉර උදා වන කල්හි තිබෙන උදයේ ආලෝකය” මෙන්ය කියායි. (2 සාමුවෙල් 23:1, 3, 4) දාවිත්ගේ පුත්‍රයා සහ ඔහුගේ රජකම හිමි තැනැත්තා ලෙස සලමොන් මේ වචන තේරුම්ගත් බවට පැහැදිලියි. ඔහු දෙවිගෙන් ඉල්ලුවේ තමාට “කීකරු සිතක්” සහ “හරි වැරැද්ද අතර වෙනස වටහාගන්න” අවශ්‍ය හැකියාවත් ලබා දෙන ලෙසයි. (1 රාජාවලිය 3:9, NW) යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීම ප්‍රඥාවටත් සන්තෝෂයටත් ප්‍රධාන හේතුව බව සලමොන් තේරුම්ගත්තා. පසුව ඔහු දේශනාකාරයා පොතේ අඩංගු තොරතුරු වචන කිහිපයකින් ගෙනහැර දැක්වූයේ මෙසේයි. “සියල්ල සැලකිල්ලට ගත් පසු මේ ගැන එළඹිය හැකි නිගමනය මෙයයි. සැබෑ දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව සිට ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි. මන්ද සියලු ක්‍රියා හා සියලු රහස් දේ යහපත්ද අයහපත්ද කියා තීරණය කරන්නේ සැබෑ දෙවිය. (දේශනාකාරයා 12:13, 14, NW) අපිත් එම උපදේශයට කීකරු වෙනවා නම් “යටත්කමේද යෙහෝවාට භයවීමේද [ගරුබිය දැක්වීමේද] විපාකය” වෙන්නේ ප්‍රඥාව සහ සන්තෝෂය පමණක්ම නෙවෙයි. ඒ ආශීර්වාද අතරට “වස්තුවද ගෞරවයද ජීවනයද” අයත් වෙයි.—හිතෝපදේශ 22:4.

19. ‘යෙහෝවා කෙරෙහි ගරුබිය දැක්වීම’ යනු කුමක්ද කියා තේරුම්ගන්න අපිට උදව් කරන්නේ කුමක්ද?

19 බයිබලයේ සහ නවීන දින උදාහරණවලින් අපි ඉගෙනගත්තා සැමවිටම දේවගරුබිය ඇතිව සිටීම දෙවිගේ සේවකයන්ට කොතරම් වටිනවාද කියලා. එවැනි ගරුබියක් ඇතුව සිටීම අපගේ ප්‍රේමණීය දෙවිව අසතුටු කරන දේවල් කිරීමෙන් අපව වළක්වනවා. ඒ විතරක් නෙවෙයි, අපගේ විරුද්ධවාදීන්ගෙන් පැමිණෙන පීඩාකාරී තත්වයන් හමුවේ නොසැලී ඉන්නටත් ඒවා විඳදරාගන්නටත් අවශ්‍ය ශක්තිය මෙම දේවගරුබිය අපිට ලබා දෙනවා. එම නිසා බාල, මහලු අපි කොයි කවුරුත් දෙවිගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කිරීමටත්, අපි ඉගෙනගන්න දේවල් මෙනෙහි කිරීමටත්, නිතිපතා කරන හෘදයාංගම යාච්ඤාව තුළින් දෙවිට වඩාත් කිට්ටු වීමටත් උනන්දු වෙමු. මෙසේ කිරීමෙන් “දෙවි ගැන දැනගැන්ම” පමණක් නොව ‘යෙහෝවා කෙරෙහි ගරුබිය දැක්වීම’ යනු කුමක්ද කියා තේරුම්ගන්නත් අපිට පුළුවන්.—හිතෝපදේශ 2:1-5.

[පාදසටහන්වල]

^ 4 ඡේ. සැබෑ නම නොවෙයි.

^ 5 ඡේ. ගීතාවලිය 57 සහ 142 රචනා කිරීමට දාවිත් පෙලඹුණේ මේ අද්දැකීම් නිසා විය හැකියි.

ඔබට විස්තර කළ හැකිද?

දේවගරුබිය . . .

• කෙනෙකුට බරපතළ පාපයකින් ගොඩ ඒමට උපකාර කරන්නේ කෙසේද?

• පීඩා සහ පරීක්ෂා මැද සන්තෝෂයෙන් සිටීමට දායක වෙන්නේ කෙසේද?

• දෙවිගේ කැමැත්ත කරන්න අපිට ශක්තිය ලබා දෙන්නේ කොහොමද?

• අපගේ දරුවන්ට වටිනාම උරුමයක් වෙන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

දාවිත්, සාවුල් රජට පහර දීමෙන් වැළකී සිටියේ ඔහුට දේවගරුබියක් තිබුණු නිසයි

[29වන පිටුවේ පින්තූර]

දෙමව්පියන් විසින් තම දරුවන්ට දිය හැකි වටිනාම උරුමය නම් දේවගරුබියයි