Skip to content

පටුනට යන්න

“ප්‍රඥාවන්ත වීමට අවශ්‍ය හික්මවීම” ලබා දෙන දේවගරුබිය

“ප්‍රඥාවන්ත වීමට අවශ්‍ය හික්මවීම” ලබා දෙන දේවගරුබිය

“ප්‍රඥාවන්ත වීමට අවශ්‍ය හික්මවීම” ලබා දෙන දේවගරුබිය

සැබෑ ප්‍රඥාව මහත් උත්සවයක් පවත්වයි. “ඇය තමන් තරුණියන් පිටත් කර නුවර ඉතා උස් තැන්වල සිට: නුවණ නැති කවුරු නමුත් මෙහි හැරෙන්නයයි හඬ ගසන්නීය; තේරුම් නැත්තාට ඇය කියන්නී: එන්න, මාගේ කෑම කා මා මිශ්‍ර කළ මාගේ මිදි යුෂ බොන්න. මෝඩයෙනි, මෝඩකම් අත්හැර ජීවත් වෙන්න. තේරුම් මාර්ගයෙහි හැසිරෙන්න.”—හිතෝපදේශ 9:1-6.

මෙම ප්‍රඥාවේ මේසයෙන් පෝෂණය වන කෙනෙකුට ඉන් කිසිම අයහපතක් සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවිගෙන් ලැබෙන මෙම ප්‍රඥාවට ඇහුම්කන් දීමෙන් හා ලබා දී ඇති හික්මවීම් පිළිගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය සැමවිටම යහපත්. අපිට හිතෝපදේශ 15:16-33 සඳහන් වචනවලින්ද සොයාගන්න පුළුවන් වෙන්නේ එවැනිම ප්‍රඥාවක්. * එමනිසා මෙහි අඩංගු උපදෙස් ප්‍රායෝගිකව අදාළ කරගැනීමෙන් තමන්ට ඇති දෙයින් සෑහීමට පත්වීමටත්, ජීවිතයේ යම් සාර්ථකත්වයක් ලැබීමටත්, ඒ තුළින් ප්‍රීතියක් අද්දකින්නටත් අපිට පුළුවන්. තවදුරටත් එසේ කිරීමෙන් අපිට හැකි වෙනවා ඥානවන්ත තීරණ ගන්නත් සදාකාල ජීවනයට යන මඟේ දිගටම ගමන් කරන්නත්.

ස්වල්පයක් වඩා හොඳයි

පුරාණ ඊශ්‍රායෙල් රජ වූ සලමොන් පැවසුවේ“කරදර ඇතුව බොහෝ වස්තුවට වඩා යෙහෝවාට භය [ගරුබිය] ඇතුව ස්වල්ප දෙයක් යහපත” කියායි. (හිතෝපදේශ 15:16) කෙනෙක් තම මැවුම්කාර දෙවිව පැත්තකට දමමින් ජීවිතයේ මූලිකම දෙය හැටියට සැප සම්පත් අත්කර ගන්න වෙහෙස දරනවා නම්, එය මොන තරම් මෝඩකමක්ද! එය හරියට හති දමාගෙන මිරිඟුවක් පස්සේ දුවනවා වගේ වැඩක්. අවසානයේදී එවැනි කෙනෙකුට ඉතිරි වෙන්නේ බලාපොරොත්තු සුන්වීම සහ කලකිරීම පමණයි. ජීවිතයේ සැඳෑ සමයේ සිට ආපසු හැරී බලද්දී තමා කළ දේවල් ගැන කලකිරීමක් ඇති වෙනවා නම් හෝ කළ සමහර දේවල් ගැන පසුතැවෙන්න සිදු වෙනවා නම් එය කොතරම් කනගාටුදායකද! “කරදර” රාශියක් සමඟ සැප සම්පත් ගොඩ ගසාගැනීම ඥානවන්ත දෙයක් නම් නෙවෙයි. නමුත් ඒ වෙනුවට තමන්ට තිබෙන ස්වල්ප දෙයින් තෘප්තිමත් වෙන්නේ කොහොමද කියන රහස ඉගෙනගැනීම කොයි තරම් වටිනවාද! අපගේ ජීවිතයට සැබෑ තෘප්තිය ලැබෙන්නේ තිබෙන සැප සම්පත් ප්‍රමාණය අනුව නෙවෙයි. නමුත් දෙවිට ගරුබිය ඇතුව සිටීමෙනුයි. ඒ කියන්නේ අපිට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය මතයි.—1 තිමෝති 6:6-8.

සැප සම්පත් විශාල ප්‍රමාණයකට වඩා අන් අය සමඟ යහපත් මිත්‍රත්වයක් ඇති කරගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් සලමොන් පැවසුවේ“වෛරය ඇතුව තර ගොනෙකු කෑමට වඩා ආදරය ඇතුව පලා කෑම යහපත” කියායි. (හිතෝපදේශ 15:17) ඇත්තෙන්ම ඉතා මිල අධික ආහාර පානවලින් පිරුණු නිවසකට වඩා ප්‍රේමයෙන් පිරුණු නිවසක් කොතරම් ප්‍රසන්නද! දෙමාපියන්ගෙන් එක්කෙනෙකු පමණක් සිටින නිවසක නිතරම දේවල් පිරිමහගෙන කරන්න සිදු වෙනවා. සමහර රටවල ඔවුන්ට නිතරම කන්න වෙන්නේ එකම දේයි. එවැනි තත්වයකදී පවා ඒ වගේ පවුල්වල අය කැමති වෙන්නේ ප්‍රේමය සහ සෙනෙහස තිබෙනවා දකින්නයි.

එහෙත් ප්‍රේමණීය වාතාවරණයක් ඇති පවුලක වුණත් යම් ප්‍රශ්න ගැටලු පැන නැඟිය හැකියි. උදාහරණයකට, පවුලේ එක් සාමාජිකයෙක් කියපු හෝ කරපු දෙයක් නිසා තවත් කෙනෙක් ටිකක් අමනාප වෙන්න පුළුවන්. නමුත් මෙහිදී අමනාප වූ සාමාජිකයා මොනවාද කරන්න ඕනේ? හිතෝපදේශ 15:18 මෙහෙම කියනවා.“උදහස් වූ මනුෂ්‍යයෙක් තරඟය උපදවයි. එහෙත් තරහ වීමට පමා වන අය ඩබරය සංසිඳුවයි.” පවුලක සාමය සහ සමගිය ඇති කරන්නේ කේන්තියෙන් කටයුතු කරන අය නෙවෙයි නමුත් ඉවසීමෙන් කටයුතු කරන අයයි. ඒ උපදෙස සභාවේ වැඩ කටයුතුවල සහ දේවසේවයේදීත් වගේම ජීවිතයේ තවත් පැතිවලදීත් ඒ සමානව අදාළ කරගන්න පුළුවන්.

“මහ පාරක්”

ඊළඟ හිතෝපදේශය පෙන්වන්නේ ප්‍රඥාවට ඇහුම්කන් දෙන කෙනෙකු සහ එයට කන්නොදෙන කෙනෙකු අතර තිබෙන වෙනසයි. “අලසයාගේ මාර්ගය කටු වැටක් මෙනි. එහෙත් ඇද නැත්තාගේ මාවත මහ පාරක් වේ ” කියා සලමොන් පවසයි.—හිතෝපදේශ 15:19.

කටු වැටක් කියන්නේ කටු ගස්වලින් පිරුණු බාධකයකටයි. ඒ නිසා අලසයෙක් නිතරම යම් වැඩක් පළක් පටන්ගන්න අදිමදි කරන්නේ ඇති විය හැකි බාධක ගැන නිදහසට කරුණු ඉදිරිපත් කරමිනුයි. අනෙක් අතට ඇද නැති පුද්ගලයන් යමක් කිරීමේදී ඊට ඇති විය හැකි බාධක ගැන ඕනෑවට වඩා ලත වෙවි ඉන්නේ නැහැ. ඔවුන් පටන්ගත් කාර්යය සාර්ථකව අවසන් කිරීම සඳහා ඊට හොඳ අවධානයක් දෙමින් එහි කඩිසරව නියැලෙනවා. මේ තුළින් ඔවුන්ට පුළුවන් වෙනවා ඇති විය හැකි කටු වැනි බාධක මඟ හරින්න. එමනිසා ඔවුන්ගේ මාර්ගය “මහ පාරක්” නැත්නම් දියුණුවේ මාවතක් වගෙයි. ඔවුන් කඩිසරව තම වැඩ කටයුතුවල නිරත වන අතර එයින් ඔවුන් ලබන්නේ මහත් ප්‍රීතියක්.

දෙවිගේ වචනය ගැන නිවැරදි දැනුම ලබාගැනීමත් එහි ප්‍රතිපත්ති වඩ වඩා හොඳින් අදාළ කරගැනීමත් ගැන සලකා බලන්න. මේ සඳහා වෑයමක් අවශ්‍යයි. පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය නොකිරීමට හේතු වශයෙන් කෙනෙක් අඩු අධ්‍යාපනයක් ලැබීම, ලියන්න කියවන්න එතරම් හැකියාවක් නොතිබීම හෝ මතක හිටින්නේ නැතිකම වගේ නිදහසට කරුණු කියන්න පුළුවන්. දැනුම ලබාගැනීමට යන මාවතේ එවැනි දේවල් මාර්ග බාධක ලෙස සලකන්නේ ඇයි? කලින් සඳහන් කළ බාධක අපිට තිබුණත් ඒවා ජය ගන්න අවශ්‍ය වන්නේ දැඩි උත්සාහයයි. යමක් කියවීමේදී හෝ එය තේරුම්ගැනීමේදී ශබ්දකෝෂ වැනි ආධාරක හෝ තවත් කෙනෙකුගෙන් උපකාර ලබාගන්න පුළුවන්. ඒ නිසා දැනුම ලබාගැනීමටත් ක්‍රිස්තියානියෙක් ලෙස වඩාත් පරිණත කෙනෙක් වීමටත් අවශ්‍ය කරන්නේ එය කළ හැකියි කියන ආකල්පය ඇතිව වැඩ කිරීමයි.

“පියා ප්‍රීති කරයි”

සලමොන් රජ මෙහෙම කියනවා.“ඥානවන්ත පුත්‍රයා පියා ප්‍රීති කරයි; එහෙත් අඥානයා තමන් මව හෙළා දකියි.” (හිතෝපදේශ 15:20) තම දරුවන් ඥානවන්තව වැඩ කරද්දී ඔවුන්ගේ දෙමාපියන් සතුටු වෙන්නේ නැද්ද? දරුවන් එසේ වැඩ කරන්න නම් දෙමාපියන්ගෙන් හොඳ පුහුණුවක් සහ හික්මවීමක් අවශ්‍යයි. (හිතෝපදේශ 22:6) ඥානවන්ත පුත්‍රයෙක් සිටීම දෙමාපියන්ට මොන තරම් සතුටක්ද! නමුත් අඥාන ලෙස වැඩ කරන දරුවෙක් තම දෙමාපියන්ට මහත් වේදනාවක් ගෙන දෙනවා.

ඊළඟට සලමොන් රජ මෙහෙම කියනවා.“ප්‍රඥාව නැත්තාට අඥානකම ප්‍රීතියකි. එහෙත් තේරුම් ඇති අය ඍජු ලෙස හැසිරෙයි.” (හිතෝපදේශ 15:21) ප්‍රඥාව නැති පුද්ගලයා තේරුමක් නැති දේ කර කොතරම් සිනාසුණත් ඉන් ඔහුට කල්පවතින සතුටක් ලැබෙන්නේ නැහැ. නමුත් තේරුම් ඇති අය වටහාගන්නවා ‘දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය’ කොතරම් අඥානද කියලා. (2 තිමෝති 3:1, 4) තේරුම් ඇති අයට ඍජු ලෙස හැසිරීමට උපකාරවත් වන්නේ දේවප්‍රතිපත්තිවලට ඇලී සිටීමයි.

“ඒවා පිහිටුවනු ලැබේ”

දේවප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීම ජීවිතයේ වෙනත් පැතිවලටත් ප්‍රයෝජන ගෙන දෙනවා. හිතෝපදේශ 15:22හි මෙහෙම සඳහන් වෙනවා.“මන්ත්‍රණ නැති තැන අදහස් ඉෂ්ට නොවේ. එහෙත් බොහෝ මන්ත්‍රීන් ඇති තැන ඒවා පිහිටුවනු ලැබේ.”

මන්ත්‍රණය හෙවත් පෞද්ගලික කතාබහ කිරීම කියන්නේ පුද්ගලයන් අතර සිදු වන අවංක අදහස් හුවමාරුවයි. “මන්ත්‍රණය” කියන වචනය සඳහා යෙදෙන හෙබ්‍රෙව් වචනයෙන් ඇඟවෙන්නේ අදහස් හුවමාරුවේදී සියල්ල නොසඟවා ප්‍රකාශ කිරීමයි. නිකම්ම ඇයි හොඳයි කියනවාට වඩා කෙනෙකුගේ ඇතුළාන්ත අදහස් සහ සිතුවිලි බෙදාගැනීම පෞද්ගලික කතාබහට ඇතුළත් වෙනවා. ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් වගේම දෙමාපියන් සහ දරුවන් ඒයාකාරයෙන් අදහස් හුවමාරු කරද්දී ඔවුන් අතර සාමය සහ එකමුතුකම පවතිනවා. අනෙක් අතට පවුලක් තුළ එවැනි කතාබහක් අඩු වූ විට එය කලකිරීමේ සහ ප්‍රශ්න ගැටලුවල තෝතැන්නක් බවට පත්වෙන්න පුළුවන්.

අපි ඉතා වැදගත් තීරණ ගන්නකොට “බොහෝ මන්ත්‍රීන් ඇති තැන ඒවා පිහිටුවනු ලැබේ” යන උපදේශය සිහියට නඟාගැනීම නුවණට හුරුයි. යම් බරපතළ අසනීපයකට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට අපිට සිදු වුණායයි සිතමු. එවැනි අවස්ථාවකදී වෛද්‍යවරුන් දෙතුන් දෙනෙකුගේ උපදෙස් පැතීම ඥානවන්ත දෙයක් නොවෙයිද?

සභාවේ ක්‍රියාකාරකම් හැසිරවීමේදී බොහෝ මන්ත්‍රීන් සිටීමේ වටිනාකම අවතක්සේරු කරන්න නම් බැහැ. වැඩිමහල්ලන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමෙන් ගන්නා ඥානවන්ත තීරණ ක්‍රියාත්මක වන විට “ඒවා පිහිටුවනු ලැබේ.” එනම් ඒවා සාර්ථක වෙයි. යම් අසීරු කාරණා හැසිරවීමට මෑතකදී පත් කරන ලද අවේක්ෂකයන්ට සමහරවිට සිදු විය හැකියි. එහිදී සභාවේ සිටින අද්දැකීම් ලත් වැඩිමහල්ලන්ගෙන් උපදෙස් පැතීම ඥානවන්ත දෙයක් නිසා ඔවුන් ඊට පසුබට නොවිය යුතුයි.

උත්තරයෙන් සතුට ලැබේ”

හොඳට හිතා මතා කියූ වචනයක් නිසා ඇති විය හැකි හැක්කේ මොන වගේ යහපතක්ද?“මනුෂ්‍යයෙකුට තමන් කටේ උත්තරයෙන් සතුට ලැබේ; සුදුසු ප්‍රස්තාවට කියන වචනය කොපමණ යහපත් වේද!” (හිතෝපදේශ 15:23) අපි කෙනෙකුට දුන් යෝජනාවක් හෝ මඟ පෙන්වීමක් අදාළ කරගැනීමෙන් ඒ තැනැත්තා ප්‍රයෝජන ලබා තිබෙනවා දැකීම මොන තරම් සන්තෝෂයට කරුණක්ද! කොහොමනමුත් අප දෙන උපදෙස් හෝ මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් ඒවා වීමට නම් අපි කාරණා දෙකක් මතක තබාගන්න ඕනේ.

පළමුවෙනි එක නම්, අපි දෙන උපදෙස් දේවවචනය වන බයිබලය මත පදනම් ඒවා විය යුතුයි. (ගීතාවලිය 119:105; 2 තිමෝති 3:16, 17) ඊළඟට, එම උපදෙස දීමට සුදුසුම වේලාව තෝරාගත යුතුයි. හරි දේ වුණත් වැරදි වෙලාවේදී කිව්වොත් එය හානිකර වෙන්න පුළුවන්. නිදසුනකට කෙනෙකුට ඇහුම්කන් දීමට පෙර අපි උපදෙස් දුන්නොත් එය ඥානවන්ත දෙයක්වත් ඔහුට කරන උපකාරයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය” යන කදිම උපදෙස මතකයේ තබාගැනීම ඉතා වැදගත්!—යාකොබ් 1:19.

ඉහළට යන ජීවන මාර්ගය”

හිතෝපදේශ 15:24හි කියන්නේ “ඥානවන්තයා වනාහි යට තිබෙන ෂෙයෝල් කෙරෙන් පහ වන පිණිස ඉහළට යන ජීවන මාර්ගය ඔහු ඉදිරියෙහි තිබේ” කියායි. ඥානවන්ත පුද්ගලයෙකුගේ මාර්ගය මරණයට හෙවත් ෂෙයෝලයට මඟ පෙන්වන්නේ නැහැ. හේතුව ඔහු දුරාචාරය, මත්ද්‍රව්‍ය භාවිතය සහ බේබදුකම වැනි අකල් මරණයට හේතු වන දේවල්වලින් වැළකී සිටින නිසයි. ඒ නිසයි ඔහු ජීවනයේ මාර්ගයේ සිටින්නේ.

නමුත් අඥාන ලෙස ක්‍රියා කරන අයගේ වෙනස ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. “යෙහෝවා උඩඟු තැනැත්තාගේ ගෙය උගුලා දමන්නේය; එහෙත් වැන්දඹුවගේ සීමාව පිහිටුවන්නේය. නපුරු උපා යෙහෝවාට පිළිකුලකි; එහෙත් ප්‍රිය වචන පිරිසිදුය. ලාභයට අධික ආශා ඇත්තා තමන් ගෙය කලඹයි; එහෙත් තෑගිවලට [අල්ලස්වලට] ද්වේෂ කරන්නා ජීවත් වන්නේය.”හිතෝපදේශ 15:25-27.

අපි හසුවිය හැකි උගුලක් ගැන අවධානය යොමු කරමින් ඊශ්‍රායෙල් රජ කියන්නේ මෙහෙමයි.“ධර්මිෂ්ඨයාගේ සිත උත්තර දෙන්ට කල්පනා කරයි; එහෙත් දුෂ්ටයන්ගේ කට නපුරු දේ වගුරුවයි.” (හිතෝපදේශ 15:28) හිතන්නේ බලන්නේ නැතිව ඔහේ දොඩවන අයගේ වචනවලින් යහපතක් වෙන්නේ කලාතුරකින්. යම් සිද්ධියකට අදාළ විවිධ කරුණු කාරණා සලකා බැලීමේදී අන් අය සිටින තත්වය සහ ඔවුන්ගේ හැඟීම් හොඳින් තේරුම්ගත්තොත් පසුවට කනගාටු වීමට සිදු වන දේවල් කීමෙන් වළකින්න අපිට පුළුවන්. හිතෝපදේශයේ සඳහන් එම උපදේශය කොතරම් අනර්ඝද!

එසේනම් දෙවිට ගරුබිය ඇතිව ඔහුගේ හික්මවීම පිළිගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ප්‍රඥාවන්ත රජ ඒ ගැන කියන්නේ “යෙහෝවා දුෂ්ටයන්ගෙන් දුරුව සිටින්නේය. එහෙත් ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසන්නේය” කියායි. (හිතෝපදේශ 15:29) සැබෑ දෙවි සිටින්නේ දුෂ්ටයන්ගෙන් ඈත්වයි. ඒ ගැන බයිබලයේ සඳහන් දේ බලන්න. “ව්‍යවස්ථාව ඇසීමෙන් කන හරවාගන්නාගේ යාච්ඤාව පවා [දෙවිට] පිළිකුලක් වේ.” (හිතෝපදේශ 28:9) නමුත් දෙවිට ගරුබිය ඇතිව සිටින සහ නිතරම ඔහු ඉදිරියේ හරි දේ කිරීමට උත්සාහ කරන අයට නම් දෙවි වෙතට ළං විය හැකි අතර දෙවි ඔවුන්ට සවන් දෙන බවටත් නිසැක විය හැකියි.

“සිත සතුටු වේ”

සිතන්න අපව පොලඹවමින් සලමොන් රජ මෙවැනි සන්සන්දනයක් කරනවා.“ඇස්වල එළියෙන් සිත සතුටු වේ; යහපත් ප්‍රවෘත්ති ඇට පුෂ්ටිමත් කරයි.” (හිතෝපදේශ 15:30) ශරීරයේ ඇටකටු බොල්ව තිබෙනවාට වඩා ඒවා ඇටමිදුළුවලින් පිරී ඇති විට ඒවා “පුෂ්ටිමත්” වෙයි. මෙයින් මුළු ශරීරයටම ශක්තියක් ලැබෙන අතර සිතද සතුටු කරවයි. සිතේ සතුට හෙළි වෙන්නේ දීප්තිමත් දෙනෙත්වලිනුයි. යහපත් ප්‍රවෘත්ති ඇසීමෙනුත් සිදු වන්නේ ඒ හා සමාන දෙයක් නොවෙයිද!

ඒ වගේ ලොව පුරා සිදු වන යෙහෝවා දෙවිගේ නමස්කාරයේ වර්ධනය ගැන ලැබෙන වාර්තාවලින් අපි දිරිගැන්වෙන්නේ නැද්ද? රාජ්‍යය පණිවුඩය දේශනා කිරීමේ සහ මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යයේදී ලබා ඇති දියුණුව ගැන දැනගැනීමෙන් දේවසේවයේ වැඩියෙන් හවුල්වීමට අපට මහත් ශක්තියක් ලැබෙනවා. (මතෙව් 24:14; 28:19, 20) යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් බවට පත් වන අයගේ අද්දැකීම් අහන්න දකින්න ලැබීම අපගේ සිත් සතුටින් පුරවාලයි. ‘දුර රටකින් ලැබෙන යහපත් ආරංචිවලින්’ අපට ලොකු පෙලඹීමක් ඇති වෙනවා. ඒ නිසා අපගේ දේවසේවයත් වාර්තා කරද්දී එය නිවැරදිව කිරීමට වගබලා ගැනීම කොතරම් වැදගත්ද!—හිතෝපදේශ 25:25.

“යටත්කම ගෞරවයට පෙරටුව යයි”

විවිධ අයුරින් ලැබෙන හික්මවීම් පිළිගැනීමේ වටිනාකම ගැන අවධාරණය කරමින් සලමොන් රජ කියන්නේ “ජීවනයට මඟ පාදන අවවාදවලට සවන් දෙන්නා ප්‍රඥාවන්තයන් හා ආශ්‍රය කරයි. හික්මවීමට පිටු පාන්නා තමාගේම ජීවිතය ප්‍රතික්ෂේප කරයි. නමුත් අවවාදය පිළිගන්නා යහපත් සිතක් අත් කරගනියි” කියායි. (හිතෝපදේශ 15:31, 32, නව ලොව පරිවර්තනය) අවවාදයක් හෝ හික්මවීමක් ලැබෙද්දී එය පුද්ගලයෙකුගේ හදවතටම ගොස් ඔහුව නිවැරදි කර නිරවුල්ව හිතන්න හැකියාවක් ලබා දෙනවා. ‘ළදරුවෙකුගේ සිතේ බැඳී ඇති අඥානකම’ ඉවත් කරන්නේ හික්මවීම නමැති “ඉපල” බවට සැකයක් නැහැ. (හිතෝපදේශ 22:15) හික්මවීම පිළිගන්න කෙනා හොඳ සිතක් හෙවත් යහපත කිරීමට පෙලඹීමක් ඇති කරගන්නවා. අනෙක් අතට කෙනෙක් හික්මවීම ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ජීවනය එපා කිරීමයි.

ඥානවන්තව දෙන හික්මවීම් යටහත්පහත්ව පිළිගැනීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායකයි. එසේ කිරීමෙන් සෑහීම, දියුණුව, ප්‍රීතිය සහ සාර්ථකත්වය පමණක් නොවෙයි ගෞරවයත් ජීවනයත් ලැබෙනවා. හිතෝපදේශ 15වන පරිච්ඡේදය 33වන පදයෙහි සඳහන් මෙම වචනවලින් අවසන් වෙනවා. “ප්‍රඥාවන්ත වීමට අවශ්‍ය හික්මවීම යෙහෝවා කෙරෙහි ගරුබිය දැක්වීමෙන් ලැබේ. ගෞරවය ලැබීමට නම් යටහත් පහත්කම අවශ්‍යය.”—නව ලොව පරිවර්තනය.

[පාදසටහන]

^ 3 ඡේ. හිතෝපදේශ 15:1-15 දක්වා තිබෙන පද ගැන විස්තරාත්මකව දැනගැනීම සඳහා 2006 ජූලි 1 මුරටැඹ කලාපයේ 13-16 දක්වා පිටු බලන්න.

[17වන පිටුවේ පින්තූරය]

ඉතා මිල අධික ආහාර පානවලින් පිරුණු නිවසකට වඩා ප්‍රේමයෙන් පිරුණු නිවසක් කොතරම් ප්‍රසන්නද!

[18වන පිටුවේ පින්තූරය]

යම් හේතු නිසා දැනුම ලබාගැනීම සීමා වී තිබුණත් එය කළ හැකියි කියන ආකල්පය ඇතිව වැඩ කිරීමෙන් සාර්ථක වෙන්න පුළුවන්

[19වන පිටුවේ පින්තූරය]

පෞද්ගලික කතාබහ යනු අවංකව තම හැඟීම් සහ සිතුවිලි හුවමාරු කරගැනීමයි

[20වන පිටුවේ පින්තූරය]

“යහපත් ප්‍රවෘත්ති ඇට පුෂ්ටිමත්” කරන්නේ කොහොමද කියා ඔබ දන්නවාද?