Skip to content

පටුනට යන්න

මිනිසාට හිමි ගෞරවය උදුරාගත් අයිතියක්

මිනිසාට හිමි ගෞරවය උදුරාගත් අයිතියක්

මිනිසාට හිමි ගෞරවය උදුරාගත් අයිතියක්

“ගාල් කඳවුරේ විඳින්නට සිදු වූ සෑම දෙයකින්ම අපගේ ජීවිත අවමානයට ලක් වුණා. ඒ විතරක් නෙවෙයි අපගේ ජීවිත අපිටම තික්ත කළා.”—මග්දලේනා කුසේරෝ රොයිටර්, නාට්සි ගාල් කඳවුරෙන් බේරුණු අයෙක්.

දෙවන ලෝක යුද්ධ කාලයේදී නාට්සි ගාල් කඳවුරුවල සිටි අයට අමානුෂිකව සැලකූ ආකාරය දෙස බලද්දී එය, මිනිසාට හිමි ගෞරවය නොදීමේ පළමු අවස්ථාවවත් අන්තිම අවස්ථාවවත් නොවෙයි. අතීතය සහ වර්තමානය දෙස බලද්දී පැහැදිලිව පෙනෙන කාරණයක් තිබෙනවා. එනම් මිනිසාව ‘අවමානයට ලක් කිරීම සහ ඔවුන්ගේ ජීවිත ඔවුන්ටම තික්ත කිරීම’ සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබෙන බවයි.

මිනිසාට හිමි ගෞරවය උදුරා ගැනීම මිනිස් ඉතිහාසයේ සිදු වී ඇති ම්ලේච්ඡ ක්‍රියාවලට විතරක් සීමා වෙලා නැහැ. එය වඩා සියුම් ආකාරවලිනුත් සිදු වී තිබෙනවා. යම් ශාරීරික ආබාධයක් නිසා උසුළු විසුළුවලට ලක් වී සිටින දරුවෙකු ගැන හිතන්න. වෙනත් රටක පදිංචියට ගිය කෙනෙක් එහිදී තමන්ට ආවේණික සිරිත් විරිත් පවත්වන විට අන් අයගේ උපහාසයට ලක්වීම ගැන හිතන්න. එහෙමත් නැත්නම් සමේ පාට නිසා හෝ ජාතිය නිසා අඩු සැලකිල්ලක් ලබන පුද්ගලයෙක් ගැන හිතන්න. එසේ මිනිසුන්ව පහත් ලෙස සලකන අයට ඒ කාරණා විහිළුවක් වුණත් එයට ලක් වන අය විඳින වේදනාව සහ අවමානය නම් හාස්‍යයට කරුණක් නොවෙයි.—හිතෝපදේශ 26:18, 19.

මිනිසාට හිමි ගෞරවය යනු කුමක්ද?

එක් ශබ්දකෝෂයක මිනිසාට හිමි ගෞරවය ගැන විස්තර කරන්නේ ‘පුද්ගලයෙක්ව වටින, ගෞරවය ලැබිය යුතු කෙනෙකු ලෙස සැලකීම’ කියායි. මිනිසාට හිමි ගෞරවය කියද්දී ඊට දෙපැත්තක් තිබෙනවා. එකක් නම් අපි, අපි දෙස බලන ආකාරයයි. අනිත් එක අන් අය අපි සමඟ කටයුතු කරන ආකාරයයි. අපිට, අප ගැන විවිධාකාරයෙන් සිතන්න පුළුවන්. නමුත් අපි කොයිතරම් වටින පුද්ගලයන්ද කියා හෙළි වෙන්නේ අපගේ එදිනෙදා ජීවිතයේදී අන්‍යයන් අප දෙස බලන ආකාරය සහ අපට සලකන ආකාරය අනුවයි.

ඕනෑම රටක දුප්පත්, අනාථ, අසරණ අය සිටිනවා. පුද්ගලයෙක් එවැනි තත්වයක සිටියා කියා එයින් ඔවුන්ට හිමි විය යුතු ගෞරවය අඩු විය යුතු නැහැ. නමුත් එසේ වීමට හේතු වෙන්නේ අනිත් අය එවැනි පුද්ගලයන් දෙස බලන ආකාරය සහ ඔවුන් සමඟ කටයුතු කරන ආකාරය නිසයි. මේ නිසා දුප්පත් අසරණයන්ට හිමි ගෞරවය අන් අය විසින් කෙලෙසීම, පාගා දැමීම කනගාටුවට කාරණයක්. “කිසි කමකට නැති”, “වැදගැම්මකට නැති” “සතේකට වටින්නේ නැති” වැනි නින්දාසහගත වචන මහලු අයට, දුප්පතුන්ට, මානසික ලෙඩුන්ට සහ ශාරීරික ආබාධිතයන්ට කියනවා අපි කොතෙකුත් අසා ඇති.

මිනිසුන් අන් අයට නින්දා කරන්නේ ඇයි? සියල්ලන්ටම හිමි ගෞරවය කවදා හෝ ලැබෙයිද? අපගේ මීළඟ ලිපියේ දේවවචනය වන බයිබලයෙන් ඊට දෙන පිළිතුර සලකා බලමු.