Skip to content

පටුනට යන්න

ඔබගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදු වේවා!

ඔබගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදු වේවා!

ඔබගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදු වේවා!

“කතෝලික ආගමේ විශ්වාසයට අනුව මිනිසාට අවසානයේදී උරුම වන දේවල් හතරක් තිබෙනවා. ඒවා නම් මරණය, විනිශ්චය, නිරය හා ස්වර්ගයයි” කියා ජෝර්ජ් බ්‍රැන්ටල් විසින් රචිත පොතක (Catholicism) සඳහන් වෙනවා.

ඉහත සඳහන් දේවල් අතර පොළොව ගැන කිසිම සඳහනක් නැහැ. ඒ ගැන පුදුම විය යුතුද නැහැ. මන්ද වෙනත් බොහෝ ආගම්වල මෙන් කතෝලික සභාවද විශ්වාස කරන්නේ මේ පොළොව යම් දවසකදී විනාශ වෙනවා කියායි. එක් ශබ්දකෝෂයක (Dictionnaire de Théologie Catholique) “ලෝකාන්තිමය” නමැති වචනය යටතේ මෙසේ විග්‍රහ කර තිබෙනවා. “දෙවි මවා තිබෙන මේ ලෝකය සැමදාම මෙසේ පවතින්නේ නැති බව කතෝලික සභාව විශ්වාස කරනවා.” කතෝලික ආගමේ උපදේශන පන්තියකදී එම අදහස ගැන මෑතකදී මෙවැනි විස්තරයක් කරනු ලැබුවා. “මේ ලෝකය . . . යම් කාලයකදී විනාශ වීමට නියමිතයි.” මෙහිදී මේ ප්‍රශ්නය අපිට මතු වෙනවා. යම් දවසකදී මේ පොළොව විනාශ වෙනවා නම් පාරාදීස පොළොව ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව ගැන කුමක් කිව හැකිද?

අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් වෙනවා කියා බයිබලයේ පැහැදිලිවම පවසා තිබෙනවා. උදාහරණයක් හැටියට පොළොව ගැනත් එහි වැසියන් ගැනත් අනාගතවක්තෘ යෙසායා මගින් දෙවි මෙසේ පුරෝකථනය කළා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය; මිදි වතු වවා එහි පල කන්නෝය; අනිකෙකු වාසය කරන්ට ඔවුහු ගොඩනොනඟන්නෝය; අනිකෙකු විසින් කන්ට ඔවුහු නොවවන්නෝය; මක්නිසාද මාගේ සෙනඟගේ දවස් ගසක දවස් මෙන් වන්නේය; මාගේ තෝරාගත්තෝ බොහෝ කල් තමන් අත්වල වැඩ භුක්ති විඳින්නෝය.” (යෙසායා 65:21, 22) දෙවි තම දේශය එවැනි තත්වයකට පත් කරන බවට යුදෙව්වන්ට ස්ථිර විශ්වාසයක් තිබුණා. යම් දවසකදී මේ මුළු පොළොවම පාරාදීසයක් වෙන බවත් එම වචනවලින් කියවෙනවා.

එම බලාපොරොත්තුව ගීතාවලිය 37වන පරිච්ඡේදයේ සඳහන් දේවලින් තහවුරු වෙනවා. එහි 11වන වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. “මොළොක් ගුණ ඇත්තෝ දේශය [එනම් පොළොව] උරුම කරගන්නෝය.” මේ බයිබල් වගන්තියේ කතා කරන්නේ ඊශ්‍රායෙල් ජනයා පොරොන්දු දේශයේ භුක්ති විඳි තත්වය ගැන පමණක් නොවෙයි. එම පරිච්ඡේදයේම මෙසේද සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨයෝ දේශය [එනම් පොළොව] උරුම කරගන්නෝය; ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය.” (ගීතාවලිය 37:29) * මෙහි පවසන්නේ “ධර්මිෂ්ඨයෝ” පොළොවේ සදාකල් ජීවත් වන බවයි. ප්‍රංශ බයිබල් පරිවර්තනයක ඒ වගන්තිය ගැන කරන විග්‍රහයකදී සඳහන් කරන්නේ “ධර්මිෂ්ඨයෝ” යන වචනයට “පුළුල් අර්ථයක් තිබෙන” බවයි. “ඔවුන්ට යාහ්වේ [හෙවත් යෙහෝවා] වෙනුවෙන් දුක් පීඩා විඳින අයද දෙවිට යටත් වන නිහතමානි අයද අයත් වෙනවා” කියා එහි සඳහන් වෙනවා.

පොළොවේද නැත්නම් ස්වර්ගයේද?

යේසුස් කන්ද උඩ දේශනාවේදී මෙවැනි පොරොන්දුවක් දුන්නා. “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුම කරගන්නෝය.” (මතෙව් 5:5, පැ.අ.) මෙම පොරොන්දුව මගින් ගීතාවලිය 37:29හි සඳහන් වදන් අපේ මතකයට නංවනවා. මෙහිදීද සඳහන් වන ආකාරයට අනාගතයේ නැවතත් මේ පොළොව දෙවිට විශ්වාසවන්ත අයට ත්‍යාගයක් ලෙස හිමි වෙනවා. කෙසේවෙතත් යේසුස් ගෝලයන් වෙනුවෙන් “[තමාගේ] පියාණන්ගේ ගෘහයෙහි” ස්ථානයක් සූදානම් කරන බවත් ඔවුන් ඔහු සමඟ ස්වර්ගයේ සිටින බවත් ඔවුන්ට පැවසුවා. (යොහන් 14:1, 2; ලූක් 12:32; 1 පේතෘස් 1:3, 4) එසේනම් මේ පොළොව උරුම කරගන්න අය ගැන බයිබලයේ දී තිබෙන පොරොන්දු අපි තේරුම්ගත යුත්තේ කෙසේද? එම පොරොන්දු අදටත් අදාළද? එමෙන්ම ඒවායේ ඉටුවීම අද්දකින්නේ කවුද?

ඇතැම් බයිබල් විශාරදයන් පවසන්නේ යේසුස් ඔහුගේ කන්ද උඩ දේශනාවේදී සඳහන් කළ “පොළොව” සහ ගීතාවලිය 37වන පරිච්ඡේදයේ සඳහන් “දේශය” හෙවත් පොළොව හුදෙක් සංකේත පමණක් බවයි. බයිබලයේ සඳහන් දේවල් පිළිබඳව තම අදහස් ඇතුළත් කරමින් එෆ්. විගුරූ සකස් කළ පොතක (Bible de Glair) එම වගන්තිවල අර්ථය පහදා දී තිබෙන්නේ පොළොව “ස්වර්ගයේ හා දෙව්මැදුරේ සංකේතයක්” හැටියටයි. ප්‍රංශ ජාතික බයිබල් පර්යේෂකයෙකු වන එම්. ලග්‍රාන්ෂ්ගේ අදහස මෙයයි. ගීතාවලිය 37හි සඳහන් පොරොන්දුවට අනුව “ධර්මිෂ්ඨයන් උරුම කරගන්නේ වත්මන් සමාජ ක්‍රමය යටතේ හෝ අනාගතයේදී ඇති විය හැකි මීට වඩා හොඳ සමාජ ක්‍රමයක් යටතේ පවතින පොළොවක් නොවෙයි. එම පොරොන්දුවෙන් අදහස් වන්නේ ස්වර්ග රාජ්‍යයයි.” පොළොව යන යෙදුම සැලකිය යුත්තේ “ස්වර්ගය ගැන සඳහන් කරන විට යොදාගන්න සංකේතමය යෙදුමක් ලෙසයි” කියා තවත් බයිබල් පර්යේෂකයෙකු පවසයි. මීට අමතරව තවත් විශාරදයන් පවසන ආකාරයට “පොරොන්දු දේශය වූ කානාන් දේශය සැබෑ දේශයක් නොව හුදු සංකේතයක් පමණයි. එයින් නියෝජනය කරන්නේ දේවරාජ්‍යයයි. එය හිමි වන්නේ මොළොක් ගුණ ඇත්තන්ටයි. ගීතාවලිය 37වන පරිච්ඡේදයේ මෙන්ම බයිබලයේ වෙනත් තැන්වල සඳහන් පොළොවෙන් අර්ථවත් වන්නේ මෙවැනි අදහසක්.” කෙසේවෙතත්, අපි ජීවත් වන මේ පොළොව දෙවිගේ පොරොන්දුවලට සම්බන්ධ නැහැ කියා තීරණය කිරීමට අප ඉක්මන් නොවිය යුතුයි.

පොළොව සදහටම පවතී

දෙවි මුලින්ම අරමුණු කළ ආකාරයට මිනිසාව මැව්වේ ස්වර්ගයේ නොව පොළොවේ ජීවත් වීමටයි. මේ බව ගීතිකාකරු පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “ස්වර්ගය වනාහි යෙහෝවාගේ ස්වර්ගයය; එහෙත් ඔහු පොළොව මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්නේය.” (ගීතාවලිය 115:16) ඒදන් උයන පොළොව පුරා ව්‍යාප්ත කරන්න කියා යෙහෝවා දෙවි මුල් මිනිස් යුවළට අණ කළේ ඒ නිසයි. (උත්පත්ති 1:28) මේ අරමුණ කෙටි කාලීන එකක් නොවෙයි. පොළොව සදහටම පවතින බව යෙහෝවා දෙවි මෙසේ සහතික කර තිබෙනවා. “පරම්පරාවක් පසුවී යයි; තවත් පරම්පරාවක් එයි; පොළොව නිතර පවතියි.”—දේශනාකාරයා 1:4; 1 ලේකම් 16:30; යෙසායා 45:18.

දෙවි මුළු විශ්වයේම මහෝත්තමයාණන් හා සර්වපරාක්‍රමයාණන් වන නිසා ඔහු දී තිබෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවාමයි. දෙවිගේ පොරොන්දු නිසැකවම ඉටු වන බව ජල චක්‍රය නිදසුනක් ලෙස යොදාගනිමින් බයිබලයේ මෙසේ පැහැදිලි කර තිබෙනවා. ‘වර්ෂාව සහ හිම අහසෙන් වැටී ආපසු හැරී නොගොස් පොළොව තෙමමින් දළු හටගන්ටත් පල දරන්ටත් සලස්වන්නේය. එසේම මාගේ මුඛයෙන් පිට වන මාගේ වචනය [දෙවිගේ වචනය] මා වෙතට හිස්ව හැරී නෑවිත් මා කැමති දෙය සිදු කොට මා විසින් නියම කළ කාරණය දියුණු කරන්නේය.’ (යෙසායා 55:10, 11) දෙවි මිනිසුන්ට දී තිබෙන පොරොන්දු ඉටුවීමට යම් කාලයක් ගත විය හැකි වුණත් ඒවා අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. ඔහුගේ මුවින් පිට වන වචන “හිස්ව හැරී” නොඑයි.

යෙහෝවා දෙවි මිනිසා සඳහා පොළොව මැවීමේදී මහත් ප්‍රීතියක් ලැබුවා. ඔහු මැවීමේ කාර්යයේ හවුල් වූ හයවන දවසේදී සියල්ල “ඉතා යහපත්” බව පැවසුවා. (උත්පත්ති 1:31) තවමත් ඉටු වී නොතිබුණද මුළු පොළොවම නැවතත් පාරාදීසයක් කරන්න දෙවි අරමුණු කර තිබෙනවා. දෙවිගේ පොරොන්දු ‘හිස්ව හැරී නෑවිත් ඔහු කැමති දෙය සිදු කරයි.’ මිනිසුන් මේ පොළොවේ සාමකාමීව හා සුරක්ෂිතව සදහටම ජීවත් වන කාලයක් ගැන දෙවි දී තිබෙන පොරොන්දු ඉදිරියේදී ඉටු වෙනවාමයි.—ගීතාවලිය 135:6; යෙසායා 46:10.

දෙවිගේ අරමුණ ඉටු වෙනවාමයි

මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ නිසා පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට වූ දෙවිගේ මුල්ම අරමුණ ඉටු කිරීම කෙටි කලකට නතර කිරීමට සිදු වුණා. දෙවිට අකීකරු වූ ඔවුන් දෙදෙනාව ඒදන් උයනෙන් ඉවත් කළා. කිසිම දෙයකින් අඩුවක් නැති මිනිසුන් වාසය කරන පාරාදීස පොළොවක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ දෙවිගේ අරමුණ ඉටු කිරීමට හවුල් වීමේ වරප්‍රසාදය ඔවුන් නැති කරගත්තා. ඒ වුණත් දෙවි මුලින්ම අරමුණු කළ ඒ දෙය ඉටු කිරීමට යම් සැලැස්මක් දියත් කර තිබෙනවා. ඒ සැලැස්ම කුමක්ද?—උත්පත්ති 3:17-19, 23.

ඒදන් උයනේ ඇති වූ තත්වය, ඉතා හොඳ ඉඩමක නිවසක් තැනීමට පටන්ගත් මිනිසෙකු මුහුණ දිය හැකි තත්වයට සමාන කළ හැකියි. යම් කෙනෙක් ඇවිත් ඒ මිනිසා දැමූ අත්තිවාරමට හානි කළා කියා සිතන්න. ඒ ඉඩමේ නිවස තැනීමේ කාර්යය අත්හැර දමනවා වෙනුවට ඒ මිනිසා නිවස සාදා සම්පූර්ණ කිරීම සඳහා යම් පියවරවල් ගනියි. අත්තිවාරමට සිදු කළ විනාශය නිසා අමතර වැඩ කරන්න හා වියදමක් දරන්න සිදු වුණත් මුල් සැලැස්මේ යම් දෝෂයක් තිබුණා කියා පැවසිය නොහැකියි.

ඒ හා සමානව දෙවිත් ඔහු අරමුණු කළ දෙය ඉටු කිරීමට යම් සැලැස්මක් යෙදුවා. අපේ මුල් දෙමාපියන් දෙවිට අකීකරු වූ පසු ඔවුන්ගෙන් පැවතෙන්නන්ට බලාපොරොත්තුවක් දුන්නා. ඒ බලාපොරොත්තුව වූයේ සිදු වූ හානිය ‘වංශයක්’ මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම මකා දමන බවයි. එම බලාපොරොත්තුව සඳහන් අනාවැකිය ඉටුවීමේදී ඒ වංශයේ ප්‍රධාන තැනැත්තා වන්නේ දෙවිගේ පුත්‍රයා වන යේසුස්. ඔහු මේ පොළොවට පැමිණ මිනිසුන්ව ගලවාගැනීම සඳහා ඔහුගේ ජීවිතය පූජා කළා. (ගලාති 3:16; මතෙව් 20:28) යේසුස් නැවත නැඟිටීමෙන් ටික දවසකට පසු ස්වර්ගයට ගිය අතර ඔහුව දැන් දෙවිගේ රාජ්‍යයේ රජු ලෙස පත් කර තිබෙනවා. ඔහු අනාගතයේදී මේ පොළොව පාලනය කිරීමට නියමිතයි. මේ නිසා මුලින්ම පොළොව උරුම කරගත් මොළොක් ගුණ ඇති තැනැත්තා යේසුස් කියා කිව හැකියි. ඔහු සමඟ දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීම සඳහා දෙවිට විශ්වාසවන්ත සේවකයන් පිරිසක්ව පොළොවෙන් තෝරාගනු ලබන අතර මොවුන්ද පොළොව උරුම කරගන්න මොළොක් ගුණ ඇති අයට අයත් වෙනවා. (ගීතාවලිය 2:6-9) දෙවිගේ මුල් අරමුණ ඉටු කරමින් පොළොව පාරාදීසයක් බවට පත් කිරීම සඳහා එම රාජ්‍යය විසින් පොළොවේ පාලනය බාරගැනීමට නියමිතයි. යේසුස් ඔහුගේ හවුල් පාලකයන් සමඟ මේ පොළොව පාලනය කරන කාලයේදී මොළොක් ගුණැති විශාල පිරිසක් එම පාලනයේ ආශීර්වාද අද්දකිනවා. ඒ අර්ථයෙන් ඔවුන්ද ‘පොළොව උරුම කරගන්නවා’ කියා කිව හැකියි.—උත්පත්ති 3:15; දානියෙල් 2:44; ක්‍රියා 2:32, 33; එළිදරව් 20:5, 6.

ඔබගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදු වේවා!

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ගැලවීම ලබන අයට බලාපොරොත්තු දෙකක් තිබෙන බව යොහන් දර්ශනයකින් දුටු දේවලින් පැහැදිලි වෙනවා. මෙම ගැලවීම නිසා සුළු පිරිසක් ස්වර්ගයේද විශාල පිරිසක් පොළොවේද ජීවත් වෙනවා. යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයන් අතරින් තෝරාගත් අය ස්වර්ගයේ සිංහාසනවල වාඩි වී සිටිනවා යොහන් දුටුවා. ඔවුන් “පොළොව කෙරෙහි රජකම්” කරන බව බයිබලයේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. (එළිදරව් 5:9, 10) දෙවිගේ අරමුණට එකඟව යේසුස් සහ ඔහුගේ හවුල් පාලකයන් ස්වර්ගයේ සිට පාලනය කරන අතර ධර්මිෂ්ඨ මිනිසුන් මේ පොළොවේ වාසය කරනවා. මේ ආකාරයට ඔහුගේ මුල් අරමුණට එකඟව මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවා.

දෙවිගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදු වේවා කියා යාච්ඤා කරන මෙන් යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවා. (මතෙව් 6:9, 10) මේ පොළොව සම්පූර්ණයෙන් විනාශ වෙනවා නම් හෝ පොළොවෙන් සංකේතවත් වන්නේ ස්වර්ගය නම් ඒ වචනවල තේරුමක් තිබෙනවාද? ඒ වගේම ධර්මිෂ්ඨයෝ සියලුදෙනාම ස්වර්ගයට යනවා නම් දෙවිගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා කියා යාච්ඤා කිරීමෙන් පලක් තියෙනවාද? බයිබලයේ මුල් පොත වන උත්පත්ති පොතේ සිට අවසාන පොත වන එළිදරව් පොත දක්වා සඳහන් දේවලින් පොළොව සඳහා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා පැහැදිලි වෙනවා. දෙවිගේ කැමැත්ත නම් මේ පොළොව පාරාදීසයක් වනවා දැකීමයි. දෙවි ඔහුගේ මේ කැමැත්ත ඉටු කරන බවට පොරොන්දු කර තිබෙනවා. පොළොවේ සිටින දෙවිගේ විශ්වාසවන්ත සෙනඟ ඔහුගේ එම කැමැත්ත ඉටු කරන මෙන් යාච්ඤා කරන්නේ ඒ නිසයි.

කිසිදා ‘වෙනස් නොවන’ දෙවි මුලින්ම අරමුණු කළේ මිනිසුන් පොළොව මත සදාකල් ජීවත් වෙනවා දැකීමයි. (මලාකි 3:6; යොහන් 17:3; යාකොබ් 1:17) ස්වර්ගය සහ පොළොව සඳහා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා මේ සඟරාව අවුරුදු සීයකට වඩා වැඩි කාලයක සිට විස්තර කර තිබෙනවා. පොළොව පාරාදීසයක් බවට පත් කිරීම ගැන දෙවි දී පොරොන්දු තේරුම්ගැනීමට මේ සඟරාවල පළ වන තොරතුරු උපකාර වෙනවා. ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් හෝ මෙහි සඟරාවේ සඳහන් ලිපිනයකට ලිවීමෙන් ඒ කාරණය ගැන වැඩි විස්තර ඔබට දැනගත හැකියි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. බොහෝ බයිබල් පරිවර්තනවල ඉරෙට්ස් නමැති හෙබ්‍රෙව් වචනය පරිවර්තනය කර තිබෙන්නේ “පොළොව” කියා නොව “දේශය” කියායි. ගීතාවලිය 37:11, 29හි සඳහන් ඉරෙට්ස් නමැති හෙබ්‍රෙව් වචනය ඊශ්‍රායෙල් ජාතියට දුන් දේශයට පමණක් සීමා කිරීමට කිසිම හේතුවක් නැහැ. විලියම් විල්සන් විසින් රචිත පොතක (Old Testament Word Studies) ඉරෙට්ස් නමැති හෙබ්‍රෙව් වචනයෙන් විග්‍රහ කරන්නේ “මිනිසුන් වාසය කරන හා වාසය නොකරන ප්‍රදේශද ඇතුළත් සම්පූර්ණ පොළොවයි. සමහර අවස්ථාවලදී එම වචනය දේශයක් හෝ රටක් ගැන විස්තර කරන විටත් යොදාගෙන තිබෙනවා.” මේ අනුව ඉරෙට්ස් යන වචනයේ මූලික අර්ථය වන්නේ පෘථිවිය හෙවත් පොළොව යන්නයි.—මුරටැඹ, 1986 ජනවාරි 1, 31වන පිටුව බලන්න, (සිංහලෙන් නැත).

[4වන පිටුවේ පින්තූරය]

අනාගතයේදී මේ පොළොව පාරාදීසයක් වන බවට බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා

[7වන පිටුවේ පින්තූරය]

මේ පොළොව විනාශ වෙනවා නම් යේසුස් ඉගැන්වූ ස්වාමීන්ගේ යාච්ඤාවේ අර්ථයක් තිබෙනවාද?