Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දහස් අවුරුදු පාලනය අවසානයේදී තිබෙන පරීක්ෂණයෙන් පසු මිනිසුන් පව් කර මිය යන්න ඉඩ තිබෙනවාද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීම සඳහා එළිදරව් පොතේ සඳහන් පහත දැක්වෙන බයිබල් වගන්ති දෙක අපට උපකාරවත් වෙනවා. “මරණය සහ මිනී වළ ගිනිවිලට හෙළනු ලැබුවේය. මේ ගිනිවිලෙන් දෙවන මරණය අදහස් වන්නේය.” (එළිදරව් 20:14) “ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.

මේ බයිබල් වගන්ති දෙකේ විස්තර කර තිබෙන දෙය ඉටු වන කාලය මෙහිදී සැලකිල්ලට ගැනීම වැදගත්. “මරණය සහ මිනී වළ” ගිනිවිලට හෙළීම සිදු වන්නේ මෙම දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරී ජීවත් වන අයවද, නැවත නැඟිටුවනු ලබන අයවද, එම විනාශයෙන් පසු ඉපදෙන අයවද “ලියවිලිවල ලියා තිබුණු දේවල්වලට අනුව” විනිශ්චය කිරීමෙන් පසුවයි. එම “ලියවිලිවල” ඇත්තේ දහස් අවුරුදු පාලන කාලයේදී මිනිසුන්ගෙන් දෙවි බලාපොරොත්තු වන දේවල් පිළිබඳ විස්තරයක්. (එළිදරව් 20:12, 13) යොහන් තමන් දුටු තවත් දර්ශනයක් ගැන එළිදරව් 21වන පරිච්ඡේදයේ වාර්තා කරනවා. එහි සඳහන් දේවල් ඉටු වන්නේ යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලයේදීයි. කෙසේවෙතත් එම දර්ශනයේ දුටු දේවල් සම්පූර්ණයෙන්ම ඉටු වන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේදී තිබෙන විනිශ්චයෙන් පසුවයි. දහස් අවුරුදු පාලනය අවසානයෙන් පසු යේසුස් රාජ්‍ය පාලනය තම පියාට බාර දීමට නියමිතයි. ඉන්පසු දෙවි වෙත ළඟාවීමට මැදිහත්කරුවෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. එමෙන්ම යෙහෝවා දෙවි “ඔහුගේ සෙනඟ” සමඟ සදහටම වාසය කරනවා. මෙම වාසය කිරීම සංකේතමය අර්ථයක් ගනියි. යේසුස්ගේ ජීවිත පූජාවේ වටිනාකම පූර්ණ ලෙස ප්‍රයෝජනයට ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට මිනිසුන් පරිපූර්ණ තත්වයට, එනම් ඒදන් උයනේ මුලින්ම තිබූ තත්වයට පැමිණෙනවා. ඉන්පසු ‘මරණය තවත් නැහැ.’—එළිදරව් 21:3, 4.

ඉහත උපුටා දක්වන ලද බයිබල් වගන්තිවල සඳහන් මරණයෙන් අදහස් වන්නේ ආදම්ගෙන් උරුම වී තිබෙන මරණයයි. යේසුස්ගේ ජීවිත පූජාව නිසා එම මරණය පහ කරනු ලබනවා. (රෝම 5:12-21) මුල් මිනිසා වන ආදම්ගෙන් මිනිසුන්ට උරුම වී තිබෙන මරණය නැති කළ පසු මිනිසුන්ගේ තත්වය දෙවි ආදම්ව මැවූ අවස්ථාවේ සිටි තත්වයට සමාන වෙනවා. ආදම් පාපය සඳහා සහජ නැඹුරුවාවක් නොතිබූ පරිපූර්ණ පුද්ගලයෙක්ව සිටියා. එහෙත් ඔහු කොහෙත්ම මිය යන්නේ නැහැයි කියා එයින් අදහස් කළේ නැහැ. “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන්” කන්න එපා කියා යෙහෝවා දෙවි ආදම්ට පැවසීමෙන් පසු තවදුරටත් ඔහුට මෙසේද පැවසුවා. “එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නසින්නෙහිය.” (උත්පත්ති 2:17) මෙහි සඳහන් මරණයට ගොදුරු වීමට හේතුව හිතාමතාම පව් කිරීමයි. දහස් අවුරුදු පාලනය නිමවීමත් සමඟ තිබෙන අවසන් පරීක්ෂණයෙන් පසුවද මිනිසුන්ට තේරීමක් කිරීමේ නිදහස තිබෙයි. (එළිදරව් 20:7-10) තමන් යෙහෝවා දෙවිට දිගටම සේවය කරනවාද නැද්ද කියා තීරණය කිරීමේ නිදහස ඔවුන්ට තිබෙනවා. මේ නිසා ඒ කාලයේ ජීවත් වන කිසිම කෙනෙක් ආදම් කළා වගේ දෙවිට අකීකරු වෙන්නේ නැහැ කියා ස්ථිරවම කිව නොහැකියි.

අවසන් පරීක්ෂණයෙන් පසු මරණය සහ මිනී වළ තිබෙන්නේ නැති නිසා ඒ කාලයේදී දෙවිට අකීකරු වන අයට සිදු වන්නේ කුමක්ද? ඒ කාලයේදී ආදම්ගෙන් උරුම වන මරණය තවදුරටත් සිදු වන්නේ නැහැ. එමෙන්ම ඒ කාලයේදී මිනී වළද ගිනිවිලට හෙළා තිබෙන නිසා නැවත නැඟිටීමේ බලාපොරොත්තුවද නැහැ. කෙසේවෙතත් යම් කෙනෙක් ඒ කාලයේදී අකීකරු වෙනවා නම් ඒ කෙනාව ගිනි විළට හෙළන්න හෙවත් සදාකාලිකව විනාශ කර දමන්න යෙහෝවාට පුළුවන්. ඒ කෙනාට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව නැහැ. ඔහුගේ මරණය ආදම් සහ ඒව අද්දුටු මරණයට සමානයි. මෙය ආදම්ගෙන් උරුම වූ මරණය නොවෙයි.

කෙසේවෙතත් එවැනි දෙයක් සිදු වෙයි කියා සිතන්න කිසිම හේතුවක් නැහැ. ආදම් මෙන් නොව දහස් අවුරුදු පාලනයෙන් පසු ජීවත් වන අය අවසන් පරීක්ෂණයට සාර්ථකව මුහුණ දී තිබෙනවා. ඔවුන් දෙවිට දක්වන කීකරුකම උපරිම මට්ටමකින් පරීක්ෂා කර තිබෙනවා. යෙහෝවා දෙවිට මිනිසුන්ගේ සිත්වල තිබෙන දේවල් දැනගත හැකි නිසා අවසන් පරීක්ෂණය සියයට සියයක්ම නිවැරදිව සිදු කරනු ලබන බවට අපිට ස්ථිර වෙන්න පුළුවන්. තේරීමක් කිරීම සඳහා තමන්ට තිබෙන නිදහස් කැමැත්ත වැරදි ලෙස යොදාගන්න ඕනෑම කෙනෙකු අවසන් පරීක්ෂණයෙන් අසමත් වී විනාශය අද්දකියි කියා අපිට නිසැක වෙන්න පුළුවන්. අවසන් පරීක්ෂණයෙන් සමත් වන අය පවා දෙවිට අකීකරු වී විනාශය අද්දකින්න ඉඩ තිබුණත් එවැනි දෙයක් සිදු වෙයි කියා සිතන්න අමාරුයි.

[31වන පිටුවේ පින්තූරය]

අවසන් පරීක්ෂණයෙන් පසු මිනිසුන් ආදම්ට සමාන වන්නේ කෙසේද?