Skip to content

පටුනට යන්න

“යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ”

“යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ”

“යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ”

“යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ. යෙහෝවා දුන් විපාකයත් ඔබ දුටුවහුය. යෙහෝවා ඉතා ගැඹුරු ස්නේහය ඇති කෙනෙකු බවත් දයාන්විත කෙනෙකු බවත් ඔබ දුටුවහුය.”—යාකොබ් 5:11.

1, 2. පෝලන්තයේ එක් විවාහක යුවළක් අද්දැක්කේ කුමක්ද?

හිට්ලර්ගේ හමුදාව උතුරු පෝලන්තයේ පිහිටි ගිඩැන්ස්ක් නගරය අත් පත් කරගත් කාලයේදී හැරල්ඩ් ආප්ට් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වී වසරක්වත් ගත වී තිබුණේ නැහැ. ඒ කාලයේදී සැබෑ ක්‍රිස්තියානීන්ට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණා. දෙවි කෙරෙහි තිබෙන තමන්ගේ විශ්වාසය අත්හරින බවට සඳහන් ලියවිල්ලකට අත්සන් කිරීමට හිට්ලර්ගේ රහස් පොලීසිය හැරල්ඩ්ට බල කළා. එහෙත් ඔහු එයට අත්සන් කළේ නැහැ. මේ නිසා ඔහුව සති කිහිපයක් සිරගත කර තබා පසුව සාක්සන්හවුසන් ගාල් කඳවුරට යැව්වා. එහිදී ඔහුට නිතර නිතර තර්ජනය කරමින් පහර දුන්නා. එක් හමුදා නිලධාරියෙක් හැරල්ඩ්ට එහි තිබූ ආදාහනාගාරයේ දුම් කවුළුව පෙන්වා මෙසේ පැවසුවා. ‘ඔහේගේ ඇදහිල්ල අත්හරින්නේ නැත්නම් තව දවස් 14කින් අපි ඔහේව මේ ආදාහනාගාරයට දාලා පුච්චනවා. එතකොට ඔහේට පුළුවන් අර පේන දුම් කවුළුවෙන් ස්වර්ගයට යන්න. එහිදී ඔහේට යෙහෝවාව මුණගැහෙන්න බැරියැ.’

2 හැරල්ඩ්ව අත්අඩංගුවට ගත් අවස්ථාව වන විට ඔහුගේ දියණියට මාස දහයයි. ඔහුගේ භාර්යාව වූ එල්සි කිරි දෙන මවක් වුවත් ඔවුන් ඇය කෙරෙහි කිසිම අනුකම්පාවක් දැක්වූයේ නැහැ. වැඩි කාලයක් යන්න කලින් ඇයව දරුවාගෙන් වෙන් කර, ඔස්චිවිට්ස්හි පිහිටි සමූලඝාතන කඳවුර වෙත ඇයව ගෙන ගියා. කෙසේවෙතත් එල්සිව ඝාතනය කළේ නැහැ. ඒ වගේම හැරල්ඩ්ගේ ජීවිතයටත් අනතුරක් වුණේ නැහැ. ඔවුන් දෙදෙනා දුක් පීඩා විඳදරාගත් ආකාරය ගැන 1980 අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාවේ සඳහන් වී තිබෙනවා. (සිංහලෙන් නැත) හැරල්ඩ් මෙසේ සඳහන් කළා. “දෙවි කෙරෙහි මට තිබුණ ඇදහිල්ල නිසා මට අවුරුදු 14ක් සිර කඳවුරුවල ගත කරන්න සිදු වුණා. සමහර අය මගෙන් මෙහෙම අහලා තියෙනවා. ‘මේ හැම දෙයක්ම විඳදරාගන්න ඔයාගේ භාර්යාවගෙන් ඔයාට සහයෝගය ලැබුණාද?’ ඇත්තෙන්ම ඇය මට හුඟාක් උපකාර කළා. මම මුල ඉඳන්ම දැනගෙන හිටියා, ඇය කවදාවත් ඇගේ ඇදහිල්ල පාවා දෙන්නේ නැහැ කියලා. ඇගේ ඇදහිල්ල මට ලොකු ශක්තියක් වුණා. ඇදහිල්ල පාවා දීලා මම නිදහස් වෙනවා දකිනවාට වඩා මම මැරිලා ඉන්නවා දකින්න ඇය කැමති වෙයි කියලා මම දැනගෙන හිටියා. . . . එල්සි ජර්මානු ගාල් කඳවුරේ සිටි කාලයේදී බොහෝ දුක් පීඩා විඳදරාගත්තා.”

3, 4. (අ) අපිට විඳදරාගැනීමට උපකාරවත් වන්නේ කාගේ ආදර්ශද? (ආ) යෝබ්ගේ අද්දැකීම පරීක්ෂා කර බලන්න කියා බයිබලය අපව උනන්දු කරන්නේ ඇයි?

3 නපුරු දේවල් දරාගැනීම ලෙහෙසි දෙයක් නෙවෙයි. බොහෝ සාක්ෂිකරුවන් තමන්ගේ අද්දැකීමෙන් මේ බව දන්නවා. බයිබලයේ අපිට මෙසේ පවසා තිබෙන්නේ ඒ නිසයි. “සහෝදරයෙනි, යෙහෝවාගේ නාමයෙන් කතා කළ අනාගතවක්තෘවරුන් නපුර දරාගත් ආකාරයද, ඔවුන්ගේ ඉවසිල්ලද ආදර්ශයක් කොට ගන්න.” (යාකොබ් 5:10) පුරාණයේ පටන් දෙවිගේ සේවකයන් කිසිම හේතුවක් නැතිව හිංසා පීඩාවලට ලක් වී තිබෙනවා. සැබෑ ක්‍රිස්තියානීන් හැටියට අපි නිරත වී සිටින තරඟය විඳදරාගනිමින් දිගටම දිවීම සඳහා ඒ “විශාල වලාකුළක් වැනි වූ සාක්ෂිකරුවන් සමූහය” අපට කදිම ආදර්ශයක් තබා තිබෙනවා.—හෙබ්‍රෙව් 11:32-38; 12:1.

4 විඳදරාගැනීම සම්බන්ධයෙන් කැපීපෙනෙන ආදර්ශයක් යෝබ් තබා තිබෙනවා. ඔහු ගැන යාකොබ් මෙසේ පැවසුවා. “බලන්න! විඳදරාගත් අය සන්තෝෂවත්යයි අපි ප්‍රකාශ කරන්නෙමු. යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ. යෙහෝවා දුන් විපාකයත් ඔබ දුටුවහුය. යෙහෝවා ඉතා ගැඹුරු ස්නේහය ඇති කෙනෙකු බවත් දයාන්විත කෙනෙකු බවත් ඔබ දුටුවහුය.” (යාකොබ් 5:11) තම ඇදහිල්ල නිසා යෝබ්ට දෙවි ආශීර්වාද කළා වගේ අපිත් අපේ ඇදහිල්ල දිගටම රැකගන්නවා නම් යෙහෝවා දෙවි ඉදිරියේදී අපිටත් ඉමහත් සේ ආශීර්වාද කරන බව ස්ථිරයි. වඩාත් වැදගත් දෙය වන්නේ විපත්ති කාලවලදී අප ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් පාඩම් අපට යෝබ්ගේ වාර්තාවෙන් ඉගෙනගත හැකිවීමයි. මෙම ප්‍රශ්නවලට උත්තර අපිට යෝබ්ගේ පොතෙන් දැනගත හැකියි. පීඩා අද්දකින විට ඊට බලපාන ප්‍රධානතම හේතුව අපි තේරුම්ගෙන සිටීම වැදගත් වන්නේ ඇයි? විඳදරාගැනීමට අපිට උපකාරවත් වන්නේ මොනවාද? පීඩා අද්දකින සෙසු ඇදහිලිවන්තයන්ව ශක්තිමත් කිරීමට අපිට හැක්කේ කෙසේද?

දුක් පීඩාවලට ප්‍රධානතම හේතුව

5. අපි පීඩා හා පරීක්ෂාවලට මුහුණ දෙන විට මතක තබාගත යුතු ප්‍රධානතම දෙය කුමක්ද?

5 පීඩා හා දුෂ්කරතා මැද පවා අධෛර්යය නොවී දිගටම දෙවිට සේවය කිරීමට නම් ඒවාට ප්‍රධානතම හේතුව අපි වටහාගත යුතුයි. එසේ නොමැති නම් අපේ පීඩා හෝ දුෂ්කරතා ගැන වැඩි අවධානයක් යොමු කිරීම නිසා දෙවිට කරන නමස්කාරය අතපසු වෙන්න පුළුවන්. මෙහිදී වැදගත්ම දෙය වන්නේ පීඩා මැද පවා දෙවිට විශ්වාසවන්තව සිටිමින් සාතන් නඟා තිබෙන චෝදනාව බොරු බව ඔප්පු කිරීමයි. අපේ ස්වර්ගික පියා අපි එක් එක් කෙනාගෙන් ඉල්ලා සිටින මේ දෙය හොඳින් සිතේ තබාගනිමු. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන්ට පුළුවන් වන පිණිස ඔබ නුවණ ඇතුව මාගේ සිත ප්‍රීති කරන්න.” (හිතෝපදේශ 27:11) ඇත්තෙන්ම දෙවිගේ සිත ප්‍රීතියට පත් කිරීමට ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! අපි පව්කාර දුර්වල මිනිසුන් වුණත් අපේ මැවුම්කරුව ප්‍රීතිමත් කිරීමට අපිට පුළුවන්. යෙහෝවා දෙවි කෙරෙහි අපිට තිබෙන ප්‍රේමය නිසා පරීක්ෂා ජයගැනීමෙන් හා පීඩා විඳදරාගැනීමෙන් අපට එය කළ හැකියි. සැබෑ ක්‍රිස්තියානීන් තුළ තිබෙන ප්‍රේමය නිසා ඔවුන්ට සියල්ල විඳදරාගන්න පුළුවන්. ඒ වගේම සැබෑ ප්‍රේමය කිසිදාක පහව යන්නේ නැහැ.—1 කොරින්ති 13:7, 8.

6. සාතන් දෙවිට නින්දා කරන්නේ කෙසේද? ඒ සඳහා ඔහු කොතරම් වෑයමක් දරනවාද?

6 යෙහෝවාට නින්දා කරන්නා සාතන් බව යෝබ් පොතේ පැහැදිලිව පෙන්වා දෙනවා. සාතන්ගේ දුෂ්ට ස්වභාවයත් දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය නැති කර දැමීමට ඔහුට තිබෙන ආශාවත් එම පොතේ සඳහන් දේවලින් පෙනී යනවා. යෝබ්ගේ සිද්ධියෙන් පැහැදිලි වන පරිදි යෙහෝවාගේ සියලුම සේවකයන් ඔහුට සේවය කරන්නේ ආත්මාර්ථකාමි චේතනා ඇතිව බවට සාතන් චෝදනා කරනවා. ඒ වගේම දෙවිට තිබෙන ඔවුන්ගේ ප්‍රේමය නැති වී යන බව ඔප්පු කිරීමට ඔහු වෑයම් කරනවා. ඔහු මෙලෙස නින්දා කරන්නේ අවුරුදු දහස් ගණනක සිටයි. “දෙවි ඉදිරියෙහි අපේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි චෝදනා කරන පැමිණිලිකරු” ලෙස සාතන්ව හඳුන්වා දෙන හඬක් ඔහුව ස්වර්ගයෙන් පහ කර දැමූ අවස්ථාවේදී ඇසුණා. (එළිදරව් 12:10) අපි විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් ඔහුගේ චෝදනාවලට කිසිම පදනමක් නැති බව අපිට පෙන්වන්න පුළුවන්.

7. ශාරීරික දුර්වලකම් නිසා අධෛර්යය නොවී දිගටම විඳදරාගැනීමට අපට හැක්කේ කෙසේද?

7 අප පීඩාවලට මුහුණ දෙන විට ඉන් වාසි ගෙන අපව යෙහෝවා දෙවිගෙන් ඈත් කිරීමට සාතන් මාන බලන බව අප අමතක නොකළ යුතුයි. සාතන් යේසුස්ව පරීක්ෂාවට ලක් කළේ ඔහු දවස් ගණනාවක් නිරාහාරව සිටීමෙන් පසුවයි. (ලූක් 4:1-3) ඒත් යේසුස්ට යෙහෝවා දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් තිබූ නිසා ඔහුට සාතන් ගෙනා පරීක්ෂා එකහෙළාම ප්‍රතික්ෂේප කිරීමට හැකි වුණා. අසනීප හෝ මහලු විය වැනි ශාරීරික දුර්වලකම් නිසා දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය දුර්වල වීමට ඉඩ නොදීම කොතරම් වැදගත්ද! “අපේ පිටාතර මිනිසා දිරාපත් වෙමින් සිටියත්, අපේ ඇතුළාන්ත මිනිසා දවසින් දවස අලුත් වන බව නිසැකය.”—2 කොරින්ති 4:16.

8. (අ) අහිතකර සිතුවිලි අපට කෙසේ බලපෑ හැකිද? (ආ) යේසුස්ට තිබුණු ආකල්පය කුමක්ද?

8 යම් හේතු නිසා දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය පලුදු විය හැකි ආකාරයේ සිතුවිලි අප තුළ ඇති විය හැකියි. උදාහරණයක් හැටියට තමන් අද්දකින දෙයක් ගැන යමෙකුට මෙසේ හැඟෙන්න පුළුවන්. ‘ඇයි යෙහෝවා දෙවි මේ වගේ දෙයකට ඉඩහරින්නේ?’ තවත් කෙනෙකුට මෙසේ හැඟෙන්න පුළුවන්. ‘ඇයි මට ඒ සහෝදරයා මේ විදිහට සලකන්නේ?’ සාතන් දෙවිගේ සේවකයන් සම්බන්ධයෙන් නඟා තිබෙන චෝදනාව බොරු බව ඔප්පු කරනවා වෙනුවට අපි මුහුණ පාන තත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්න එවැනි හැඟීම් හේතු විය හැකියි. යෝබ් ගැන සිතා බලන්න. ඔහුගේ මිතුරන් තුන්දෙනා ඔහු ගැන වැරදි වැටහීමක් ඇති කරගනිමින් පැවසූ දේවල් නිසා ඇති වූ සිත් වේදනාව ඔහුට දැනුණු ශාරීරික වේදනාව තරම්ම මහත්. (යෝබ් 16:20; 19:2) යම් කෙනෙක් සමඟ දිගු කාලයක් අමනාපයෙන් සිටියොත් පාවුල් පැවසූ පරිදි එය ‘යක්ෂයාට ඉඩ දීමක්’ විය හැකියි. යක්ෂයා තමාට ලැබුණු එම අවස්ථාව තමාගේ වාසියට හරවාගත හැකියි. (එෆීස 4:26, 27) යම් පුද්ගලයන් ගැන අමනාපයකින් පසු වෙනවා වෙනුවට හෝ තමන්ට සිදු වී තිබෙන අයුක්තිය ගැන ඕනෑවට වඩා සිතනවා වෙනුවට, ක්‍රිස්තියානීන් හැටියට අපි යේසුස්ව අනුකරණය කිරීම කොතරම් හොඳද! ඔහු “ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනැත්තා” වන යෙහෝවාට කාරණා භාර දුන්නා. (1 පේතෘස් 2:21-23) යේසුස්ට තිබුණු ‘ආකල්පයම’ අපටත් තිබෙනවා නම් සාතන්ගේ ප්‍රහාරවලින් ජයගත හැකියි.—1 පේතෘස් 4:1.

9. අපිට මුහුණ දීමට සිදු වන පීඩා හා පරීක්ෂා ගැන දෙවි දී තිබෙන සහතිකය කුමක්ද?

9 අපි ගැටලුවලට මුහුණ පාන්නේ දෙවිගේ අප්‍රසාදයට ලක් වූ නිසයි කියා අප කවදාවත් නොසිතිය යුතුයි. යෝබ්ව සැනසීමට කියා පැමිණි මිතුරන් තිදෙනා වචනවලින් ඔහුව වේදනාවට පත් කළ අවස්ථාවේදී ඔහු තුළ දෙවි ගැන වැරදි වැටහීමක් ඇති වුණා. (යෝබ් 19:21, 22) බයිබලයේ අපට මෙසේ සහතික කර තිබෙනවා. “නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.” (යාකොබ් 1:13) අපට මුහුණ දීමට සිදු විය හැකි ඕනෑම පීඩාවක් දරාගන්න අවශ්‍ය ශක්තිය දෙන්නත් ඕනෑම පරීක්ෂාවකින් ගැලවීමට මඟ සලසා දෙන්නත් යෙහෝවා පොරොන්දු වෙනවා. (ගීතාවලිය 55:22; 1 කොරින්ති 10:13) පීඩාකාරී කාලවලදී දෙවිට ළංවීමෙන් අපේ ගැටලුව දෙස පුළුල් දෘෂ්ටිකෝණයකින් බලන්නත් යක්ෂයාට විරුද්ධව සිටින්නත් අපිට පුළුවන්.—යාකොබ් 4:7, 8.

විඳදරාගැනීමට අත්‍යවශ්‍ය දෑ

10, 11. (අ) යෝබ්ට විඳදරාගැනීමට උපකාරවත් වූයේ මොනවාද? (ආ) දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීම යෝබ්ට උපකාරවත් වූයේ කෙසේද?

10 යෝබ් සිටියේ ඉතා දුක්ඛිත තත්වයකයි. ඔහුව ‘සනසවන්න’ කියා පැමිණි මිතුරන් පැවසූ දේවල් නිසා ඔහුගේ වේදනාව තවත් වැඩි වුණා. එමෙන්ම ඔහු මුහුණ දුන් දුක් පීඩාවලට නියම හේතුව ගැනද ඔහු හරිහැටි දැන සිටියේ නැහැ. කෙසේවෙතත් යෝබ් යෙහෝවා කෙරෙහි තිබූ විශ්වාසය බිඳ දමන්න ඒ කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. යෝබ් පීඩා විඳදරාගත් ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? පීඩා විඳදරාගැනීමට ඔහුට උපකාරවත් වූ ප්‍රධානතම දෙය වූයේ යෙහෝවා දෙවි කෙරෙහි ඔහු තුළ තිබූ අඛණ්ඩ විශ්වාසයයි. ඔහු ජීවත්ව සිටි කාලය පුරාම “දෙවිට භය ඇත්තාවූ නපුරෙන් දුරුව සිටියාවූ” කෙනෙක් වුණා. (යෝබ් 1:1) තමන්ට හදිසියේම නොයෙක් විපත්වලට මුහුණ දීමට සිදු වූයේ ඇයි කියා යෝබ් නොදැන සිටියත් ඔහු යෙහෝවා දෙවිව අත්හැරියේ නැහැ. යහපත් කාලවලදී මෙන්ම අයහපත් කාලවලදී පවා තමන් දෙවිට සේවය කළ යුතුයි කියා යෝබ් තීරණය කළා.—යෝබ් 1:21; 2:10.

11 දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමත් යෝබ්ට සහනයක් වුණා. තමන් මිය යන්න ආසන්න බව එක් අවස්ථාවකදී යෝබ්ට හැඟුණා. අන් අයට උපකාර කිරීමට තමන්ට හැකි සෑම දෙයක්ම කළ බවත් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව තමන් ජීවත් වී තිබෙන බවත් තමන් කිසිම ආකාරයකින් බොරු නමස්කාරයට හවුල් වී නැති බවත් දැන සිටීම ඒ අවස්ථාවේදී යෝබ්ට ලොකු සහනයක් වුණා.—යෝබ් 31:4-11.

12. එලීහුගෙන් ලැබුණු උපකාරයට යෝබ් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

12 ඇතැම් කාරණා සම්බන්ධයෙන් යෝබ් දැරූ අදහස් නිවැරදි කරගැනීමට ඔහුට උපකාර අවශ්‍ය වුණා. ඔහු එවැනි නිවැරදි කිරීම් නිහතමානීව පිළිගත්තා. මෙයත් ඔහුට විඳදරාගැනීමට මහත් පිටිවහලක් වුණා. එලීහු දුන් නැණවත් උපදෙස්වලට යෝබ් හොඳින් සවන් දුන් අතර යෙහෝවා ඔහුව නිවැරදි කළ අවස්ථාවේදී එය යටහත්ව පිළිගත්තා. ‘මට නොතේරුණාවූ දේවල් කීවෙමි. එබැවින් මාම පිළිකුල් කොට ධූලියෙත් අළුයෙත් හිඳ පශ්චාත්තාප වෙමි’ කියා ඔහු පැවසුවා. (යෝබ් 42:3, 6) ඔහුගේ සිරුරේ හටගත් ගඩු නිසා ඔහු මහත් වේදනාවක් වින්දත් තමන්ව එලෙස නිවැරදි කළ නිසා දෙවිට තව තවත් ළං වෙන්න හැකිවීම ගැන ඔහු සතුටු වුණා. ‘යෙහෝවා දෙවිට සියල්ල කරන්ට පුළුවන් බව දනිමි’ කියා යෝබ් පැවසුවා. (යෝබ් 42:2) යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කළ ප්‍රකාශයන් නිසා මැවුම්කරු සමඟ බලද්දී තමන් කොතරම් සුළු කෙනෙක්ද කියා පැහැදිලිව තේරුම්ගන්න යෝබ්ට හැකි වුණා.

13. දයාව පෙන්වූ නිසා යෝබ් ආශීර්වාද ලැබුවේ කෙසේද?

13 දයාව පෙන්වීම සම්බන්ධයෙන්ද යෝබ් අපිට කදිම ආදර්ශයක් තබනවා. ඔහුව සනසන්න කියා පැමිණි මිතුරන් තිදෙනා ඔහුගේ සිත හුඟාක් රිදෙව්වත් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියා යෙහෝවා දෙවි ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු එසේ කළා. ඉන්පසුව යෙහෝවා දෙවි යෝබ්ට සුවය ලබා දුන්නා. (යෝබ් 42:8, 10) ප්‍රේමය හා දයාව පෙන්වීම විඳදරාගැනීමට අපට උපකාරවත් වෙනවා. එහෙත් අමනාපය සිතේ තබාගැනීම විඳදරාගැනීමට බාධාවක්. අමනාපකම් නැති කරගැනීමෙන් යෙහෝවා දෙවිට කරන නමස්කාරය ප්‍රීතියෙන් කරන්න පුළුවන්. අපි අමනාපකම් නැති කරගැනීමට පියවර ගන්න විට යෙහෝවා දෙවි එයට ආශීර්වාද කරනවා.—මාක් 11:25.

නැණවත් උපදේශකයන්ගෙන් ලැබෙන උපකාර

14, 15. (අ) අන් අයට සහනයක් ගෙන දීමට නම් උපදෙස් දෙන කෙනෙකු තුළ තිබිය යුතු ගුණාංග මොනවාද? (ආ) යෝබ්ට උපකාර කිරීමේදී එලීහු සාර්ථක වීමට හේතු පැහැදිලි කරන්න.

14 නැණවත් උපදේශකයන්ගේ වටිනාකම ගැනද යෝබ්ගේ වාර්තාවෙන් අපිට ඉගෙනගත හැකියි. එවැනි අයව “විපත්තියේදී ආධාර පිණිස උපදින” සහෝදරයන්ට සමාන කරන්න පුළුවන්. (හිතෝපදේශ 17:17) කෙසේවෙතත් සමහර උපදේශකයන් සහනයක් ගෙන දෙනවාට වඩා වේදනාවක් ඇති කළ හැකි බව යෝබ්ගේ අද්දැකීමෙන් පෙනී යනවා. එලීහු තුළ තිබුණාක් මෙන් අන් අයව තේරුම්ගැනීම, අන් අයව ගෞරවයෙන් සැලකීම හා කරුණාවන්ත වීම වැනි ගුණාංග හොඳ උපදේශකයෙක් තුළ තිබිය යුතුයි. ගැටලුවලින් පීඩා විඳින සහෝදරයන් සිතන විදිහ සකස් කරගැනීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හා අද්දැකීම් ලත් අයට අවස්ථා උදා විය හැකියි. එවැනි උපදේශකයන්ට යෝබ්ගේ පොතෙන් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්.—ගලාති 6:1; හෙබ්‍රෙව් 12:12, 13.

15 එලීහු ක්‍රියා කළ ආකාරයෙන් කදිම පාඩම් රැසක් අපිට ඉගෙනගන්න පුළුවන්. යෝබ්ගේ මිතුරන් තිදෙනා කිසිම පදනමක් නොමැතිව පැවසූ දේවලට පිළිතුරු දීමට කලින් එලීහු හොඳින් සවන් දීගෙන සිටියා. (යෝබ් 32:11; හිතෝපදේශ 18:13) එලීහු යෝබ්ට නම කියා කතා කළ අතර මිතුරෙක් ලෙස තමන් පවසන දේවලට සවන් දෙන මෙන් ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටියා. (යෝබ් 33:1) යෝබ්ව බලන්න පැමිණි බොරු සැනසිලිකාරයන් මෙන් නොව එලීහු යෝබ්ව පහත් කර සැලකුවේ නැහැ. “මමත් මැටියෙන් තනනු ලැබීමි” කියා ඔහු පැවසුවා. සිතන්නේ බලන්නේ නැතිව කතා කරමින් යෝබ්ගේ වේදනාව එලීහු තවත් වැඩි කළේ නැහැ. (යෝබ් 33:6, 7; හිතෝපදේශ 12:18) එලීහු යෝබ්ගේ අඩු පාඩු ගැන කතා නොකර ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන ඔහුට ප්‍රශංසා කළා. (යෝබ් 33:32) වඩාත් වැදගත්ම දෙය වන්නේ එලීහු කාරණා දෙස බැලුවේ දෙවි කාරණා දෙස බලන ආකාරයටයි. යෙහෝවා දෙවි කවදාවත් අසාධාරණ ලෙස ක්‍රියා කරන්නේ නැති බව සිතන්න ඔහු යෝබ්ට උපකාර කළා. (යෝබ් 34:10-12) එලීහු යෝබ්ව දිරිමත් කළේ තමන් ධර්මිෂ්ඨයි කියා පෙන්වන්න හදනවා වෙනුවට යෙහෝවා දෙස බලා සිටින්න කියායි. (යෝබ් 35:2; 37:14, 23) එලීහු ක්‍රියා කළ ආකාරයෙන් වැඩිමහල්ලන් හා වෙනත් අය ප්‍රයෝජන ලබනවාට සැකයක් නැහැ.

16. යෝබ්ව සනසන්න කියා පැමිණි ඔහුගේ මිතුරන් තිදෙනා සාතන්ගේ අතකොළුවක් වූයේ කෙසේද?

16 එලීපස්, බිල්දද් හා ශෝපර් යෝබ්ගේ සිත රිදවමින් පැවසූ වචනවලට වඩා එලීහු පැවසුවේ මොන තරම් නැණවත් වචනද! ‘ඔබලා මා ගැන යුතු දේ කතා කළේ නැහැ’ කියා යෙහෝවා දෙවි ඔවුන්ට පැවසුවා. (යෝබ් 42:7) තමන් කතා කළේ යහපත් චේතනාවෙන් බව ඔවුන් කියා සිටියත් ඇත්තටම ඔවුන් ක්‍රියා කළේ විශ්වාසවන්ත මිතුරන් මෙන් නොව සාතන්ගේ අතකොළු මෙනුයි. යෝබ් මුහුණ දුන් පීඩාවලට ඔවුන් මුල සිටම දොස් පැවරුවේ යෝබ්ටයි. (යෝබ් 4:7, 8; 8:6; 20:22, 29) එලීපස් පැවසූ විදිහට දෙවිට ඔහුගේ සේවකයන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. එමෙන්ම අපි ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළත් නැතත් දෙවිට එයින් පලක් නැහැ. (යෝබ් 15:15; 22:2, 3) ඔහු යෝබ් නොකළ වැරදිවලට පවා ඔහුට චෝදනා කළා. (යෝබ් 22:5, 9) එහෙත් එලීහු යෝබ්ට නැවතත් දෙවි සමඟ මිත්‍රත්වය ගොඩනඟා ගැනීමට උපකාර කළා. අන් අයව නිවැරදි කිරීමේදී ප්‍රේමණීය උපදේශකයෙකුගේ චේතනාව විය යුත්තේද එයයි.

17. අපි පීඩාවලට මුහුණ දෙන විට මතක තබාගත යුත්තේ කුමක්ද?

17 යෝබ්ගේ පොතෙන් අපිට විඳදරාගැනීම ගැන තවත් පාඩමක් ඉගෙනගත හැකියි. අපේ ප්‍රේමණීය දෙවි අපි මුහුණ දෙන තත්වය දකින අතර අපිට නොයෙක් ආකාරවලින් උපකාර කිරීමට කැමැත්තෙන් සිටිනවා වගේම ඒ සඳහා ඔහුට හැකියාවද තිබෙනවා. අපි මේ ලිපිය මුලදී එල්සි ආප්ට්ගේ අද්දැකීම ගැන සලකා බැලුවා. ඇය පැවසූ මේ දෙය හොඳින් සිතා බලන්න. “මාව අත්අඩංගුවට ගන්න කලින් තවත් සාක්ෂිකාරියෙකුගෙන් ලැබුණු ලිපියක් මම කියවලා තිබුණා. දරුණු පීඩාවකදී සිත සන්සුන්ව තබාගැනීමට යෙහෝවා දෙවිගේ බලය උපකාරවත් වෙනවා කියා ඒ ලිපියේ ලියා තිබුණා. ඇය පැවසූ දෙය ඇත්තටම අද්දකින්න පුළුවන්ද කියා මට සැකයක් තිබුණා. ඒත් ඇය පැවසූ දෙය සත්‍යයක් බව පීඩා අද්දකිනකොට මට වැටහුණා. මෙය අද්දැකීමෙන්ම තේරුම්ගන්න ඕන දෙයක්.” එල්සි පැවසුවේ යෝබ්ගේ කාලයේදී යෙහෝවා දෙවි කළ දෙයක් ගැන නෙවෙයි. ඇය පැවසුවේ අපේ කාලයේදී යෙහෝවා දෙවි උපකාර කරන ආකාරය ගැනයි.

විඳදරාගන්න තැනැත්තා සන්තෝෂය අද්දකියි

18. යෝබ් විඳදරාගැනීමෙන් ලබා තිබෙන ප්‍රයෝජන මොනවාද?

18 අප අතර සිටින සමහර අයට යෝබ් වගේ දරුණු පීඩාවලට මුහුණ දීමට සිදු විය හැකියි. මුහුණ දීමට සිදු වන පීඩාව මොකක් වුණත් යෝබ් මෙන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට අපට හොඳ හේතු තිබෙනවා. ඔහු විඳදරාගත් නිසා ඔහුගේ ගුණාංග තවත් දියුණු කරගැනීමට හැකි වුණා. (යාකොබ් 1:2-4) මෙය දෙවි සමඟ තිබුණු ඔහුගේ මිත්‍රත්වය ශක්තිමත් කළා. “කනින් ඔබ ගැන ඇසීමි; එහෙත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි” යයි යෝබ් පැවසුවා. (යෝබ් 42:5) යෝබ් දෙවි කෙරෙහි දැක්වූ විශ්වාසවන්තකම බිඳ දැමීමට සාතන්ට නොහැකි වූ නිසා ඔහු බොරුකාරයෙක් බව ඔප්පු වුණා. ඉන් වසර සිය ගණනකට පසු යෙහෝවා දෙවි ඔහුගේ සේවකයා වූ යෝබ් ධර්මිෂ්ඨකම පිළිබඳ හොඳ ආදර්ශයක් සැපයූ බව සඳහන් කළා. (එසකියෙල් 14:14) යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටීමත් පීඩා හමුවේ විඳදරාගැනීමත් මේ කාලයේ සිටින දෙවිගේ සේවකයන්ට පවා දිරිගැන්වීමක් වී තිබෙනවා.

19. විඳදරාගැනීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවා කියා ඔබ සිතන්නේ ඇයි?

19 විඳදරාගැනීම ගැන මුල් ක්‍රිස්තියානීන්ට ලියද්දී ඉන් ලැබෙන සන්තෝෂය ගැන යාකොබ් පැවසුවා. යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට ආශීර්වාද කරන බව මතක් කර දීමට යෝබ්ගේ ආදර්ශය ඔහු පාවිච්චි කළා. (යාකොබ් 5:11) යෝබ් 42:12හි මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා යෝබ්ගේ පටන්ගැන්මට වඩා අන්තිමයට ආශීර්වාද කළේය.” දෙවි ඔහුට අහිමි වූ දේවල්වලට වඩා දෙගුණයකින් ආශීර්වාද කළා. ඉන්පසු ඔහු දිගු කාලයක් ප්‍රීතියෙන් ජීවත් වුණා. (යෝබ් 42:16, 17) මේ කාලයේදී අපිට විඳදරාගැනීමට සිදු වන දුක් පීඩා, ගැටලු ප්‍රශ්න පාරාදීස පොළොවේදී සම්පූර්ණයෙන්ම දෙවි නැති කර දමයි. (යෙසායා 65:17; එළිදරව් 21:4) අපි මෙතෙක් යෝබ්ගේ ආදර්ශය සලකා බැලුවා. යෙහෝවාගේ උපකාරය ඇතුව අපත් යෝබ් මෙන් දිගටම විඳදරාගැනීමට අධිෂ්ඨාන කරගනිමු. බයිබලයේ මෙසේ පොරොන්දු වෙනවා. “පරීක්ෂා විඳදරාගෙන සිටින මිනිසා සන්තෝෂවත්ය. මන්ද, අනුමැතිය ලැබූ කල ඔහුට ජීවනය නමැති ඔටුන්න ලැබෙන්නේය. එය තමාට දිගටම ප්‍රේම කරන අය සඳහා දීමට යෙහෝවා පොරොන්දු වී ඇත.”—යාකොබ් 1:12.

ඔබට මතකද?

• අපට යෙහෝවා දෙවිගේ සිත සතුටු කළ හැක්කේ කෙසේද?

• අපි ගැටලුවලට මුහුණ පාන්නේ දෙවිගේ අප්‍රසාදයට ලක් වූ නිසයි කියා අප නොසිතිය යුත්තේ ඇයි?

• යෝබ්ට විඳදරාගැනීමට උපකාරවත් වූ දේවල් මොනවාද?

• සෙසු ඇදහිලිවන්තයන්ව ශක්තිමත් කිරීමේදී අපට එලීහුගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

හොඳ උපදේශකයෙක් අන් අය ගැන සැලකිලිමත් වන අතර ඔවුන්ට ගරු කරනවා

[29වන පිටුවේ පින්තූර]

එල්සි සහ හැරල්ඩ් ආප්ට්