Skip to content

පටුනට යන්න

රමණීය දිවයිනක සශ්‍රීකත්වය

රමණීය දිවයිනක සශ්‍රීකත්වය

රමණීය දිවයිනක සශ්‍රීකත්වය

තායිවානයේ සංචාරය කරන ඕනෑම කෙනෙකුට ඒ දිවයිනේ හාත්පස පැතිරී තිබෙන සශ්‍රීකත්වය දැකිය හැකියි. ළපටි ගොයම තද කොළ පාටින් ලෙළ දෙනවා දැකීම මොන තරම් අලංකාර දසුනක්ද! ඒ ගොයම පැසී රන්වන් පාටින් දිස් වෙන විට ඒ අලංකාරය දෙගුණ තෙගුණ කරයි. කඳුකරය සදාහරිත වනාන්තරවලින් ගහනයි. ඒ දිවයිනේ තදබදයක් තිබෙන නගරවල නොමැති අපූර්ව සුන්දරත්වයක් කඳුවලින් වට වූ කෙත්වතු පිරී තිබෙන ගම්මානවල දැකිය හැකියි. මේ දිවයිනට පැමිණි මුල්ම බටහිර ජාතිකයා එය ඉලා ෆොමෝසා කියා පෘතුගීසි භාෂාවෙන් හැඳින්වීම ගැන පුදුම විය යුතු නැහැ. එහි තේරුම වන්නේ “රමණීය දිවයින” යන්නයි.

තායිවානය කුඩා නමුත් එය ඇත්තෙන්ම රමණීය දිවයිනක්. එහි දිග කිලෝ මීටර් 390ක් වන අතර පළල කිලෝ මීටර් 160ක් වෙනවා. මේ දිවයිනේ බොහෝ තැන්වල උස් කඳු පිහිටා තිබෙනවා. මෙහි තිබෙන මොරිසන් කන්ද ජපානයේ තිබෙන ෆීජි කන්දටත් නවසීලන්තයේ තිබෙන කුක් කන්දටත් වඩා උසයි. කඳුකර ප්‍රදේශවල මෙන්ම වෙරළබඩ තීරයේ මිලියන 22කට වඩා වැඩි ජන පිරිසක් ජීවත් වෙනවා.

වෙනස් ආකාරයක සශ්‍රීකත්වයක්

වෙනස් ආකාරයක සශ්‍රීකත්වයක් තායිවානයේ දකින්න පුළුවන්. මෙය ඒ රටේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන සේවය හා සම්බන්ධයි. එහි වාසය කරන බාල මහලු වැඩිහිටි සියලුදෙනාම සැබෑ දෙවි වන යෙහෝවා ගැන දැනගැනීමෙන් පසු මහත් උද්‍යෝගයකින් ඔහුට සේවය කරනවා. යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දැනගැනීමට අන් අයට උපකාර කරන්න බොහෝ අය මහත් උනන්දුවෙන් සේවය කරන අතර එය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි.

මේ වර්ධනය නිසා පහසුකම් පුළුල් කිරීමට සිදු වී තිබෙනවා. වර්ෂ 1990 දෙසැම්බර් වන විට තායිවානයේ සිටි ප්‍රචාරකයන් 1,777දෙනෙකුගේ සේවය සඳහා අවශ්‍ය උපකාර ලබා දීමට කලින් තායිපෙ නුවර පිහිටි කාර්යාලයේ ඉඩ කඩ මදි වුණා. එනිසා ඒ වසරේ දෙසැම්බර් මාසයේදී සින්වූ නගරයෙන් ඉඩමක් මිල දී ගනු ලැබුවා. විදේශීය හා දේශීය ස්වේච්ඡා සේවකයන් වසර කිහිපයක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට නව කාර්යාලයේ වැඩකටයුතු 1994 අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට හැකි වුණා. ඒ කාලය වන විට ප්‍රචාරකයන් 2,515දෙනෙක් සිටියා. මේ වන විට ප්‍රචාරකයන් 5,500දෙනෙකුට වැඩියෙන් සිටිනවා. ඒ කාලය සමඟ බලන විට ප්‍රචාරකයන් ගණන දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. එහි සෑම මාසයකම ඒ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පූර්ණ කාලීන සේවයේ හවුල් වෙනවා. මෙහි දැකිය හැකි විශේෂත්වයක් වන්නේ ඔවුන්ගෙන් වැඩිදෙනෙක් “පිනි” හා සමාන යෞවන යෞවනියන් වීමයි.—ගීතාවලිය 110:3.

ළමුන් යෙහෝවා දෙවිට උද්‍යෝගයෙන් සේවය කරයි

මහත් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන ප්‍රචාරකයන් අතරින් වැඩිදෙනෙක් දරුවන්. මේ දරුවන්ගෙන් සමහර අය තවමත් පහළ පන්තිවල ඉගෙනගන්න අයයි. මේ අද්දැකීම සලකා බලන්න. තායිවානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක තිබෙන සභාවක පවත්වනු ලබන දිව්‍යාණ්ඩු සේවා පාසැලට විවාහක යුවළකට ආරාධනා කරනු ලැබුවා. මේ පාසැලෙන් කරනු ලබන්නේ බයිබලයේ සඳහන් සත්‍යයන් අන් අයට උගන්වන ආකාරය ගැන කියා දීමයි. වාජූඇන් නම් කුඩා දරුවා වේදිකාවේ සිට බයිබලය කියෙවූ ආකාරය දැක ඒ යුවළ පුදුම වුණා. ඒ දරුවා බොහෝ වැඩිහිටියන්ටත් වඩා දක්ෂ ලෙස ඒ කියවීම කළා. ඔවුන් සහභාගි වූ වෙනත් රැස්වීම්වලදීද කුඩා දරුවන් පවා ඉතා හොඳින් උත්තර දෙනවා දැකීම ඔවුන්ගේ සිතට තදින් කාවැදුණා. මේ දරුවන් රාජ්‍ය ශාලාවේදී හොඳින් හැසිරීම ගැන ඒ යුවළ ප්‍රශංසාත්මක ලෙස කතා කළා.

බෞද්ධ හා ටාඕ ධර්මය ප්‍රචලිත තායිවානය වැනි රටක බයිබල් අධ්‍යාපනය ගැන ඒ දරුවන් උනන්දුවක් දක්වන්නේ ඇයි? මීට හේතුව ඒ දරුවන්ගේ ක්‍රිස්තියානි දෙමාපියන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගනිමින් යෙහෝවා දෙවිට කරන නමස්කාරයට මුල් තැන දෙන ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමයි. පවුලේ පාඩමෙන් හා දේවසේවයෙන් ප්‍රීතියක් දරුවන්ට ලබා දීම සඳහා වාජූඇන්ගේ දෙමාපියන් මහත් වෑයමක් දරනවා. කුඩා වාජූඇන්ගේ අයියා සහ අක්කා දැනටමත් බව්තීස්ම වී සිටිනවා. මේ දරුවා දේවසේවයේ හවුල් වූ මුල්ම මාසයේදී පවුලේ සියලුදෙනාම බෙදා දුන් සඟරාවලට වඩා වැඩි සඟරා ගණනක් බෙදා දුන්නා කියා මව පැවසුවා. සත්‍යය ගැන වෙනත් අයත් එක්ක කතා කරන්නත් රැස්වීම්වලදී උත්තර දෙන්නත් ඔහු මහත් ආශාවක් දක්වනවා.

කුඩා දරුවන් තරුණ වියට පා තබන විට

එවැනි කුඩා දරුවන් තරුණ වියට පා තබන විට ක්‍රියා කරන්නේ කෙසේද? ඔවුන්ගෙන් බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට ගැඹුරු ප්‍රේමයක් මෙන්ම දේවසේවයට මහත් ඇල්මක් දක්වනවා. හ්වාපිංගේ අද්දැකීම සලකා බලන්න. දිනක් ඇගේ පාසැලේ ගුරුවරයෙක් රුධිරය හා සම්බන්ධ කරුණු ගැන උගන්වද්දී එක් ආගමික කණ්ඩායමක සාමාජිකයන් රුධිරය නොගන්නා බවත් ඔවුන් කවුද කියා තමන් හරියට දන්නේ නැති බවත් පැවසුවා. එම පන්තිය අවසානයේදී හ්වාපිං ඒ කණ්ඩායම යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවත් ඔවුන් රුධිරය නොගැනීමට හේතු ගැනත් ඒ උපදේශකයාට පැහැදිලි කර දුන්නා.

තවත් උපදේශිකාවක් ලිංගිකව බෝ වෙන රෝග පිළිබඳ තොරතුරු ඇතුළත් වීඩියෝ පටියක් පන්තියේ ශිෂ්‍යයන්ට පෙන්නුවා. ඒ වීඩියෝ පටියේ 1 කොරින්ති 6:9 ගැන සඳහන් වුණත් එම උපදේශිකාව පැවසුවේ සමලිංගික සේවනය බයිබලයේ හෙළා දකින්නේ නැති බවයි. මේ අවස්ථාවේදීත් හ්වාපිං ඒ සම්බන්ධයෙන් දෙවි දරන ආකල්පය ඇයට පැහැදිලි කර දුන්නා.

හ්වාපිංගේ පන්තියේ සිටින ෂූෂාට ගෘහස්ථ සැහැසියාව ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට තිබුණා. හ්වාපිං 2001 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “බැට කන කාන්තාවන්ට උපකාර” නමැති ලිපිය ෂූෂාට දුන්නා. මේ සඟරාවේ තොරතුරු බයිබලය මත පදනම් වී තිබෙන බව හ්වාපිං ෂූෂාට පැහැදිලි කළා. පසු කාලයක ඇයත් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වුණා. දැන් ඇයත් හ්වාපිංනුත් ශුභාරංචිය ගැන අන් අයට සාක්ෂි දරනවා.

බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන අය ලෙස තමන්ව අන් අයට හඳුන්වා දීම පාසැල් යන බොහෝ සාක්ෂිකාර දරුවන්ට පහසු දෙයක් නොවෙයි. විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල ඉගෙනගන්න ළමුන්ට එය මහත් අභියෝගයක් වී තිබෙනවා. ට්සිහායුගේ ඇදහිල්ල නිසා මෙන්ම ඔහු දේශනා සේවයේ හවුල් වූ නිසා ඔහුගේ පන්තියේ ළමුන්ගේ උසුළු විසුළුවලට ලක් වුණා. මේ ගැන ඔහු මෙසේ පවසනවා. “දේවසේවයේ හවුල් වෙද්දී පන්තියේ අය හමු වෙයිදෝ කියා මට භයක් දැනුණා. සමහර අවස්ථාවලදී ළමයින් දහදෙනෙක් විතර එකතු වෙලා මට සම්චල් කරනවා.” එක දවසක් පන්තියේ ගුරුවරයා තමන් අදහන ආගම ගැන කතාවක් ඉදිරිපත් කරන්න කියා ට්සිහායුට පැවසුවා. “මම කතාව පටන්ගත්තේ උත්පත්ති පළමුවන පරිච්ඡේදයෙන්. ඉන්පසු මම මේ ප්‍රශ්න ඉදිරිපත් කර ඒවාට උත්තර ලබා දුන්නා. මේ පෘථිවිය සහ එහි තිබෙන සෑම දෙයක්ම මැවුවේ කවුද? මිනිසා බිහි වුණේ කොහොමද? මම බයිබලයෙන් පද කියවද්දී සමහරුන් හිනා වෙන්න පටන්ගත්තා. මම ඉදිරිපත් කරන්නේ මිථ්‍යා මත කියා ඔවුන් පැවසුවා. කොහොමවුණත් මම කතාව අතරමඟ නතර කෙරුවේ නැහැ. කතාවෙන් පස්සේ සමහර අයත් එක්ක අපේ සේවය ගැනත් මගේ ඇදහිල්ල ගැනත් පෞද්ගලිකව කතා කරන්න මට අවස්ථාවක් ලැබුණා. දැන්, මම දේශනා සේවයේ යනවා දකිද්දී ඔවුන් මට උසුළු විසුළු කරන්නේ නැහැ.”

ට්සිහායු මෙසේද පවසනවා. “මගේ දෙමාපියන් සාක්ෂිකරුවන් නිසා අපි හැමදාම උදේට දිනපදය සාකච්ඡා කරනවා. අපි එකට එකතු වෙලා බයිබලය අධ්‍යයනය කරනවා. හැම රැස්වීමකටම යනවා. මට කවුරු උසුළු විසුළු කළත් ඒවා දරාගෙන දිගටම බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන අනිත් අයට කියා දෙන්න මට හැකි වෙලා තියෙන්නේ ඒ දේවල් නොකඩවා කරන නිසයි.”

ටිංමා කාර්මික විදුහලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. ඇයට විනෝද චාරිකාවක් යෑමට ඇගේ මිතුරියන් ආරාධනා කළා. මේ ගමනට වෙනත් පාසැලක පිරිමි ළමුන්ද හවුල් වෙනවා කියා ඇයට පැවසුවා. මෙවැනි ගමනක් යෑමේ තිබෙන අනතුරු තේරුම්ගත් ඇය ඒ ගමනට හවුල් වුණේ නැහැ. යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු * නමැති පොතේ බොහෝ කරුණු ඇය පන්තියේ අය සමඟ සාකච්ඡා කර තිබුණත් ඔවුන් කිහිප වතාවක්ම එවැනි ගමන්වලට ඇයට ආරාධනා කළා. එහෙත් ඇය ගියේ නැහැ. ඇය හණමිටි අදහස් දරන කෙනෙක් කියා පවසමින් සෙසු ගැහැනු ළමුන් ඇයට විහිළු කළා. එහෙත් වැඩි කල් යන්න කලින් ඇගේ පාසැලේ ගැහැනු ළමයෙක් ගැබ්ගත් නිසා ගබ්සාවක් කරගත්තා. දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියා කිරීම කොතරම් ප්‍රඥාවන්තද කියා ඇයට එම සිද්ධියෙන් තේරුම් ගියා. ඇය මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කිරීමෙන් ඔහු ඉදිරියේ පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න මට හැකි වී තිබෙනවා. මේ නිසා මට ලොකු ප්‍රීතියක් දැනෙනවා.”

බාධා ජයගත් අයුරු

රේවන් කියන්නේ ටිංමාගේ කිට්ටු මිතුරියක්. පොඩි කාලේදී රේවන්ට හැඟුණේ, රැස්වීම් හා දේවසේවයේ යන එක හරිම කම්මැළි හිතෙන ඒකාකාරී දෙයක් හැටියටයි. කොහොමවුණත් ක්‍රිස්තියානි සභාවේ අය තුළ දකින්න තිබෙන ප්‍රේමය අතරත් ඇගේ පන්තියේ මිතුරියන් මවාපාන මිත්‍රත්වය අතරත් මොන තරම් වෙනසක් තියෙනවාද කියා ඇයට තේරුම්ගිය විට ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරන්න ඇය පෙලඹුණා. පසුව ඇය පන්තියේ මිතුරියන්ට දේශනා කරන්න පටන්ගත්තා. තමන් තවදුරටත් කළ යුතු දේවල් මොනවාද කියා ඇයට තේරුම්ගියා. මසකට පැය 50ක් දේවසේවයේ හවුල් වෙමින් උපකාරික පුරෝගාමි සේවය කරන්න ඇය පටන්ගත්තා. ඉන්පසු ඇය ඒ පැය ප්‍රමාණය 70 දක්වා වැඩි කරගනිමින් ස්ථාවර පුරෝගාමි සේවයට පා තැබුවා. ඇය දැන් මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිට මම හුඟාක් ස්තුතිවන්ත වෙනවා. ඔහු මාව කිසිම මොහොතක අත්හැරියේ නැහැ. සමහර අවස්ථාවලදී මම දෙවිව දුකට පත් කළත් ඔහු මට දිගටම ප්‍රේම කළා. මගේ අම්මා ඇතුළු සභාවේ අනිත් අයත් මට එවැනිම ප්‍රේමයක් පෙන්නුවා. දැන් මම බයිබල් පාඩම් පහක් පවත්වමින් ජීවිතයේ ලොකුම ප්‍රීතිය ලබන්න පුළුවන් සේවයක නිරත වෙලයි ඉන්නේ.”

ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි උසස් පාසැලක සාක්ෂිකාර දරුවන් දෙදෙනකුට ගැමි නැටුම් තරඟයකට ඉදිරිපත් වෙන්න කියා ගුරුවරුන් පැවසුවා. එම තරඟය ගැන විස්තර දැනගත් පසු එයට සහභාගි වීම තමන් ඉගෙනගෙන තිබෙන ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟ නැති බව ඒ ළමුන් දෙදෙනා තේරුම්ගත්තා. මේ ගැන ගුරුවරුන්ට පැහැදිලි කිරීමට උත්සාහ කළත් එයින් පලක් වුණේ නැහැ. මෙය දැනටමත් ඔවුන්ට පවරා තිබෙන නිසා ඔවුන් එයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය යුතුයි කියා ගුරුවරුන් පැවසුවා. මෙයට එකඟ වීමට අකමැති වූ ඒ දරුවන් දෙදෙනා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් තමන් මුහුණ පා සිටින ගැටලුව ගැන තොරතුරු විමසුවා. ඒ දරුවන් දෙදෙනාට ඊට පෞද්ගලිකව පිළිතුරක් නොලැබුණත් එවැනි තරඟවලට හවුල් වීමට ළමුන්ට බල නොකරන ලෙසට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසැලට ලිපියක් ලැබුණා. බයිබල් ප්‍රතිපත්ති ගැන තමන්ට හොඳ දැනුමක් තිබුණු නිසා දෙවි ඉදිරියේ හරි තීරණයක් ගැනීමටත් නොසැලෙන ස්ථාවරයක සිටිමින් හරි දෙය කිරීමටත් හැකිවීම ගැන ඔවුන් සතුටු වුණා.

ශාරීරික ආබාධ තිබෙන අය පවා බයිබලයේ සඳහන් බලාපොරොත්තුව ගැන අන් අයට කතා කිරීමෙන් මහත් ප්‍රීතියක් අද්දකිනවා. මින්යූ උපතින්ම අංශභාග රෝගියෙක්. ඇගේ අත් පණ නැති නිසා ඇය බයිබලයේ පිටු පෙරළන්නේ දිවෙන්. ඇය දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතා දෙන විට ඇයට සහය වන සහෝදරිය ඇයට මයික්‍රෆෝනය අල්ලමින් උපකාර කරනවා. ඇය කතාව ඉදිරිපත් කරන්නේ කවිච්චියක දිගා වෙලයි. පාසැලේ කතා ඉදිරිපත් කිරීමට මින්යූ දරන උත්සාහය මොන තරම් දිරිගන්වනසුලුද!

මින්යූට ප්‍රචාරකයෙක් වෙන්න සභාවේ සමහර සහෝදරියන් උපකාර කළා. දූරකථනය පාවිච්චි කරමින් සාක්ෂි දරන ආකාරය ගැන ඒ සහෝදරියන් මුලින්ම ඉගෙනගෙන මින්යූට ඒ සඳහා උදව් කළා. ඇය අවශ්‍ය අංකය ඇගේ දිවෙන් ඔබා කතා කරන අතරේදී අදාළ තොරතුරු සටහන් කරගන්න සහෝදරියන් ඇයට උපකාර කළා. ඇය මේ විදිහට සාක්ෂි දැරීමෙන් මොන තරම් ප්‍රීතියක් ලබනවාද කියනවා නම් මාසයකට දූරකථනය මාර්ගයෙන් දේවරාජ්‍යය ගැන කතා කිරීමට පැය 50ත් 60ත් අතර කාලයක් වැය කරමින් ඇය උපකාරික පුරෝගාමි සේවය කරනවා. අපේ සඟරා පොත් පත් ලබාගන්න අයට නැවත කතා කරමින් ඔවුන් සමඟ නැවත බැලීම් කරනවා. මේ විදිහට හමු වූ අය සමඟ ඇය බයිබල් පාඩම් තුනක් පවත්වනවා.

තායිවානයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 78ක සිටින “පිනි” හා සමාන යෞවන යෞවනියන් උද්‍යෝගයෙන් හා මහත් කැමැත්තකින් ඒ දිවයිනේ සිටින මිලියන සංඛ්‍යාත ජනයාට ශුභාරංචිය දේශනා කරනවා. තායිවානයේ සිදු වන මෙය ලොව පුරාම ඉටු වන බයිබල් අනාවැකියක කුඩා ඉටුවීමක් පමණයි. ඒ අනාවැකියේ මෙසේ සඳහන් වෙනවා. “ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති; උදය ගර්භයෙන් නිකුත් වූ ශුද්ධකමේ අලංකාරයෙන් යුක්ත වූ ඔබගේ තරුණකමේ පිනි ඔබට ඇත.” (ගීතාවලිය 110:3) මේ යෞවන යෞවනියන් කරන සේවයෙන් සභාවල සිටින වැඩිහිටි අයටත් ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. මේ සියල්ලටම වඩා ඔවුන්ගේ සේවය ගැන යෙහෝවා දෙවි මොන තරම් ප්‍රීතියක් ලබනවා ඇද්ද!—හිතෝපදේශ 27:11.

[පාදසටහන]

^ 16 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

තව රාජ්‍ය ශාලා අවශ්‍යයි

තායිවානයේ සිදු වන වර්ධනය නිසා රාජ්‍ය ශාලාවල අවශ්‍යතාව වැඩි වී තිබෙන අතර ශාලා ඉදි කිරීම බොහෝ දුෂ්කර කටයුත්තක් වී තිබෙනවා. මීට හේතුව සමහර ගම්බද ප්‍රදේශවල හැර අන් ප්‍රදේශවල රාජ්‍ය ශාලා ඉදි කිරීමට සුදුසු ඉඩම් සොයාගැනීම ඉතා දුෂ්කර වීමයි. ඒ විතරක් නෙමෙයි, ඉඩම්වල මිලද ඉතා අධිකයි. එමෙන්ම ඇතැම් ඉඩම් විවිධ කාර්යයන් සඳහා වෙන් කර තිබෙනවා. විශාල නගරවල හා අගනගරවල කළ හැකි එකම දෙය කාර්යාල ගොඩනැඟිලි මිල දී ගෙන ඒවා රාජ්‍ය ශාලා බවට පත් කිරීමයි. එහෙත් බොහෝ කාර්යාල ගොඩනැඟිලිවල සිවිලිම පහත නිසාත් නඩත්තු වියදම් අධික නිසාත් ඒවාට ඇතුල් විය යුතු සංඛ්‍යාව සීමා කර තිබෙන නිසාත් වෙනත් හේතු නිසාත් එවැනි කාර්යාල රාජ්‍ය ශාලා සඳහා සුදුසු වන්නේ නැහැ.

කෙසේවෙතත් පසුගිය වසරවලදී තායිවානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අලුත් රාජ්‍ය ශාලා කිහිපයක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. සාක්ෂිකරුවන් රාජ්‍ය ශාලා සාදන්න ඉඩම් සොයමින් සිටින අතර ඒ සඳහා වැය වන මුදල් දැරීමටත් ඉදි කිරීම් කටයුතුවල නියැලීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාගැනීමටත් කැමැත්තෙන් සිටිනවා.