Skip to content

පටුනට යන්න

විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ්

විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ්

විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සිටි යෝබ්

“ඔබ මාගේ මෙහෙකරු වූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂ වූ, අවංක වූ, දෙවි කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැළකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත.”—යෝබ් 1:8, පැරණි අනුවාදය.

1, 2. (අ) යෝබ් අනපේක්ෂිත ලෙස මුහුණ දුන් විපත්ති මොනවාද? (ආ) විපත්ති පැමිණීමට කලින් ඔහු ගත කළේ මොන වගේ ජීවිතයක්ද?

යෝබ් නම් මිනිසා ගැන ඔබ අසා ඇති. මිනිසෙකුට තිබිය හැකි සෑම සැප සම්පතක්ම ඔහුට තිබුණා. මහත් ධනයක් හා කීර්තියක් අත් කරගෙන සිටි ඔහු හොඳ ශරීර සෞඛ්‍යයක්ද භුක්ති වින්දා. ඒ විතරක් නෙවෙයි ප්‍රීතිමත් පවුල් ජීවිතයක්ද ඔහු ගත කළා. නමුත් හදිසියේම එක පිට එක පැමිණි විපත්ති නිසා මේ සියල්ල ඔහුට අහිමි වුණා. මුලින්ම ඔහුට අහිමි වුණේ ඔහුගේ ධනයයි. ඊළඟට හදිසියේම පැමිණි කුණාටුවක් නිසා ඔහුගේ දරුවන් සියලුදෙනාම ඔහුට නැති වුණා. මෙය සිදු වී වැඩි කලක් යන්න මත්තෙන් ඔහුගේ මුළු සිරුර පුරාම වේදනාකාරී ගඩු හටගත්තා. ඔහු ගැන ඔහුගේ නමින් ලියා තිබෙන බයිබලයේ යෝබ් පොතේ සඳහන් වෙනවා.—යෝබ් 1වන සහ 2වන පරිච්ඡේද.

2 ‘අනේ, මා පුරාණ මාසවල සිටියාක් මෙන් සිටින්නෙම් නම් යහපත!’ කියා පවසමින් ඔහු වැලපුණා. (යෝබ් 3:3; 29:2) ගැටලු විපත්ති අද්දකින විට තමන් අතීතයේ ගත කළ ප්‍රීතිමත් දවස් මතක් නොවන්නේ කාටද? පෙනෙන විදිහට ඔහු මීට කලින් මෙවැනි විපත්වලට මුහුණ දී තිබුණේ නැහැ. එදා සමාජයේ සිටි වැදගත් මිනිසුන් ඔහුට ගෞරවයෙන් සැලකුවා. එමෙන්ම ඔවුන් ඔහුගෙන් උපදෙස්ද ලබාගත්තා. (යෝබ් 29:5-11) ඔහුට ධනය කොතරම් තිබුණත් ඔහු ඒවා කෙරෙහි විශ්වාසය තැබුවේ නැහැ. (යෝබ් 31:24, 25, 28) වැන්දඹුවන්ට සහ අනාථ දරුවන්ට ඔහු විවිධ අයුරින් උපකාර කළා. (යෝබ් 29:12-16) එමෙන්ම ඔහු තම භාර්යාවට විශ්වාසවන්තව සිටියා.—යෝබ් 31:1, 9, 11.

3. යෙහෝවා දෙවි යෝබ්ව සැලකුවේ කෙබඳු කෙනෙක් හැටියටද?

3 යෝබ් නිර්දෝෂ ජීවිතයක් ගත කළේ ඔහු යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක් නිසයි. යෙහෝවා දෙවි ඔහු ගැන මෙසේ පැවසුවා. “ඔහු මෙන් නිර්දෝෂ වූ, අවංක වූ, දෙවි කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැළකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත.” (යෝබ් 1:1, 8, පැ.අ.) ඔහු යහපත් ජීවිතයක් ගත කළත් ඔහුට එක පිට එක විපත්ති පැමිණියා. මේ නිසා ඔහු ගත කළ ඒ සැප පහසු ජීවිතය ඔහුට අහිමි වූ අතර, ඔහු හරි හම්බ කරගත් සියල්ල ක්ෂණයකින් නැති වුණා. ඔහු අද්දැක්ක වේදනා හා කලකිරීම් හමුවේ ඔහු ක්‍රියා කළ ආකාරයෙන් ඔහු කෙබඳු පුද්ගලයෙක්ද කියා හෙළි වුණා.

4. යෝබ් මුහුණ දුන් තත්වය සලකා බැලීම අපට උපකාරවත් වන්නේ කෙසේද?

4 ගැටලු ප්‍රශ්නවලට හා විපත්වලට මුහුණ දී තිබෙන දෙවිගේ එකම සේවකයා යෝබ් නෙවෙයි. ඔහු හා සමාන අද්දැකීම්වලට මුහුණ දුන් දෙවිගේ සේවකයන් බොහෝදෙනෙක් අද අප අතරේත් සිටිනවා. ඒ නිසා අප මේ ප්‍රශ්න දෙක සලකා බැලීම වැදගත්. අපත් යම් දුක් පීඩා අද්දකින විට ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා යෝබ්ගේ ආදර්ශය මතක තබාගැනීම අපට උපකාරවත් වන්නේ කෙසේද? එවැනි දුක් පීඩා අද්දකින අය දෙස සානුකම්පිතව බැලීමට එම වාර්තාවෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

පරීක්ෂා හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටීවිද?

5. සාතන් චෝදනා කළ ආකාරයට යෝබ් දෙවිට සේවය කළේ කුමන චේතනා ඇතුවද?

5 යෝබ් මුහුණ දුන් පරීක්ෂණය වෙනත් අය මුහුණ දෙන පරීක්ෂණවලට වඩා වෙනස්. යෝබ් දෙවිට සේවය කරන්නේ කුමන චේතනාවෙන්ද කියා සාතන් ප්‍රශ්න කර තිබුණා. යෝබ් මේ ගැන දැන සිටියේ නැහැ. යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටින අය සමඟ රැස්වීමක් පැවැත්වූ අවස්ථාවකදී යෝබ්ගේ යහපත් ගුණාංග ගැන කතා කළා. ඒ අවස්ථාවේදී සාතන් මෙසේ පැවසුවා. “ඔබ ඔහුද ඔහුගේ ගෙදරද ඔහුට ඇති සියල්ලද වටේට වැටක් නොබැන්දේද?” මෙසේ සාතන් කියා සිටියේ යෝබ් දෙවිට සේවය කරන්නේ ආත්මාර්ථකාමි චේතනා ඇතුව කියායි. ඔහු මේ චෝදනාව එල්ල කළේ යෝබ්ට වුවද ඊට දෙවිගේ සියලුම සේවකයන්ද ඇතුළත්. සාතන් යෙහෝවා දෙවිට මෙසේ පැවසුවා. “ඔබගේ හස්තය දිගු කර ඔහුට ඇති සියල්ලට ගසන්නේ නම් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරින්නේය.”—යෝබ් 1:8-11.

6. සාතන් ප්‍රශ්න කළේ කුමක් ගැනද?

6 සාතන් නැඟු චෝදනාව ඉතා බරපතළයි. ඔහු මෙහිදී යෙහෝවා දෙවි පාලනය කරන ආකාරය ගැනද ප්‍රශ්නයක් මතු කළා. ඔහු ඇත්තටම පාලනය කරන්නේ ප්‍රේමණීය ලෙසද? මිනිසුන් දෙවිගේ පාලනයට යටත් වෙන්නේ ඔහු එසේ ප්‍රේමයෙන් පාලනය කරන නිසාද? නැත්නම් ඔහුගෙන් ලැබෙන ආශීර්වාද බලාපොරොත්තුවෙන් ආත්මාර්ථකාමී චේතනා ඇතුවද? සාතන් කළ මේ චෝදනාවට පිළිතුරු දීම සඳහා යෝබ්ව පරීක්ෂා කිරීමට දෙවි ඉඩහැරියා. යෝබ් දිගටම තමන්ට විශ්වාසවන්තව සිටීවි යන නිසැකකම ඇතිව යෙහෝවා දෙවි යෝබ්ව පරීක්ෂා කරන්න සාතන්ට ඉඩහැරියා. මේ අනුව යෝබ්ට එක පිට එක පීඩා ගෙන ආවේ සාතන්. සාතන් යෝබ්ට මුලින්ම ගෙන ආ පීඩා අසාර්ථක වූ විට දරුණු රෝගයකින් පහර දුන්නා. “හම වෙනුවට හමත් එසේය, ප්‍රාණය වෙනුවට තමාට තිබෙන සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය” කියා සාතන් කියා සිටියා.—යෝබ් 2:4.

7. මේ කාලයේ සිටින දෙවිගේ සේවකයන් යෝබ් හා සමානව දුක් පීඩා අද්දකින්නේ කුමන ආකාරවලින්ද?

7 අද සිටින ක්‍රිස්තියානීන්ගෙන් බොහෝදෙනෙක් යෝබ් හා සමාන දුක් පීඩාවලට මුහුණ නුදුන්නත් විවිධාකාර ගැටලු ප්‍රශ්න නිසා යම් ආකාරවලින් දුක් විඳිනවා. බොහෝදෙනෙක් හිංසා පීඩා අද්දකිනවා. පවුල්වල ඇති වන ගැටලු, ආර්ථික දුෂ්කරතා, සෞඛ්‍ය ගැටලු වැනි දේද අද්දකිනවා. ඇතැම් අය තමන්ගේ ඇදහිල්ල නිසා තම ජීවිත පවා පූජා කර තිබෙනවා. අපි අද්දකින හැම දුක් පීඩාවක්ම ඇති කරන්නේ සාතන් කියා අපි නොසිතිය යුතුයි. අපි අද්දකින සමහර ගැටලුවලට හේතුව අපේම අඩු පාඩුකම් විය හැකියි. එසේත් නැත්නම් අපට උරුම වී තිබෙන ශාරීරික ආබාධ නිසා අපි දුක් පීඩා විඳිනවා විය හැකියි. (ගලාති 6:7) මහලු විය නිසා හෝ ස්වාභාවික විපත්තිවලට මුහුණ දීම නිසා හෝ අපි යම් දුෂ්කරතා අද්දැකිය හැකියි. කෙසේවෙතත්, මේ කාලයේදී යෙහෝවා දෙවි එවැනි විපත් හා දුෂ්කරතා සියල්ලෙන් අපව ආරක්ෂා කරන බව බයිබලයේ අපට පවසා නැහැ.—දේශනාකාරයා 9:11.

8. අප අද්දකින පීඩා සාතන් ප්‍රයෝජනයට ගත හැක්කේ කෙසේද?

8 අප පීඩාවලට මුහුණ දෙන විට සාතන් ඒ පීඩා ප්‍රයෝජනයට ගනිමින් අපේ ඇදහිල්ල දුර්වල කරන්න උත්සාහ කරනවා. තමාට ‘පහර දෙන’ “සාතන්ගේ දූතයෙකු වැනි මාංසයේ කටුවක්” නිසා තමන් පීඩා විඳින බව පාවුල් පැවසුවා. (2 කොරින්ති 12:7) එම කටුව ඇස් පෙනීමේ දුර්වලතාවක් වැනි ශාරීරික ආබාධයක් හෝ වෙනත් දෙයක් වූවා විය හැකියි. එය කුමක් වුවත් තමන්ගේ ප්‍රීතිය හා දෙවිට තිබෙන විශ්වාසවන්තකම නැති කිරීමට සාතන් එම තත්වය ප්‍රයෝජනයට ගත හැකි බව පාවුල් වටහාගත්තා. (හිතෝපදේශ 24:10) අද දිනත් සාතන් දෙවිගේ සේවකයන්ට යම් ආකාරවලින් පීඩා කිරීමට පවුලේ සාමාජිකයන්, පාසැලේ ළමුන් හෝ ඒකාධිපති පාලකයන් වැනි අයව යොදාගත හැකියි.

9. පීඩාවලට ලක් වන විට අප පුදුම නොවිය යුත්තේ ඇයි?

9 එවැනි තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට අපට හැක්කේ කෙසේද? ඕනෑම තත්වයක් යටතේදී අපි යෙහෝවා දෙවිට ප්‍රේම කරන බවත්, දෙවිගේ පාලනයට යටත් වන බවත් පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙස එම තත්වයන් අපි සලකනවා නම් ඒවාට සාර්ථකව මුහුණ දිය හැකියි. (යාකොබ් 1:2-4) අපි මුහුණ දෙන ගැටලු ප්‍රශ්නවලට හේතුව කුමක් වුවත් වැදගත්ම දෙය වන්නේ දෙවිට පක්ෂපාතව සිටීම බව අප තේරුම්ගන්නවා නම් අධෛර්යය නොවී දෙවිගේ නමස්කාරයේ දිගටම හවුල් වීමට අපට හැකි වෙනවා. පේතෘස් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “ප්‍රේමණීය තැනැත්තෙනි, ඔබව පරීක්ෂා කිරීම සඳහා ඔබ අතරේ ඇවිළෙන ගින්න ගැන, අමුතු දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න.” (1 පේතෘස් 4:12) පාවුල්ද මෙසේ පැවසුවා. “ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝද පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:12) යෝබ්ට දෙවි කෙරෙහි තිබූ විශ්වාසවන්තකම බිඳ දමන්න සාතන් උත්සාහ කළා වගේ අද දින සිටින යෙහෝවාගේ සේවකයන්ගේ විශ්වාසවන්තකමද බිඳ දමන්න සාතන් උත්සාහ කරනවා. මේ අන්තිම දවස්වලදී සාතන් දෙවිගේ සේවකයන්ට එල්ල කරන ප්‍රහාර වැඩි කර තිබෙන බව බයිබලයේ අපට පවසනවා.—එළිදරව් 12:9, 17.

වරදවා වටහාගැනීමක් හා වැරදි උපදෙස්

10. අපේ තත්වයට වඩා යෝබ්ගේ තත්වය වෙනස් වන්නේ කෙසේද?

10 අපේ තත්වයට වඩා යෝබ්ගේ තත්වය වෙනස්. ඔහු මුහුණ දුන් පීඩාවලට හේතුව ඔහු දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා “යෙහෝවා දුන්නේය; යෙහෝවා ගත්තේය” කියා ඔහු වැරදි ලෙස නිගමනය කළා. (යෝබ් 1:21) යෝබ් මුහුණ දෙමින් සිටි පීඩා ඇති කළේ දෙවි කියා ඔහුට ඒත්තුගන්වන්න සාතන් වෑයම් කළා.

11. යෝබ් පීඩා හමුවෙහි ක්‍රියා කළ ආකාරය පැහැදිලි කරන්න.

11 යෝබ් හුඟාක් අධෛර්යයට පත් වී සිටියත් ඔහුගේ බිරිඳ පැවසූ දේ අසා දෙවිට ශාප කළේ නැහැ. (යෝබ් 2:9, 10) ‘දුෂ්ටයෝ මට වඩා යහතින් කල් ගෙවනවා’ කියා යෝබ් පැවසුවා. (යෝබ් 21:7-9) ‘ඇයි දෙවි මට දඬුවම් කරන්නේ?’ කියාද ඔහු සිතන්න ඇති. ජීවත් වෙනවාට වඩා මැරෙනවා නම් හොඳයි කියා හැඟුණු අවස්ථා ඔහුට තිබුණා. “අහෝ, ඔබ ෂෙයෝල්හි මා සඟවා ඔබගේ උදහස පහ වන තෙක් රහසින් මා රක්ෂා [කරන්න]” කියා ඔහු වේදනාවෙන් පැවසුවා.—යෝබ් 14:13.

12, 13. යෝබ්ගේ මිතුරන් තිදෙනා පැවසූ දේවල් ඔහුට බලපෑවේ කෙසේද?

12 යෝබ් “සමඟ වැලපෙමින් ඔහු සනසන පිණිස” ඔහුගේ මිතුරන් තිදෙනෙක් ඔහුව බැහැදකින්න පැමිණියත් ඔහු ඔවුන්ගෙන් සැනසීමක් ලැබුවේ නැහැ. (යෝබ් 2:11) ඔවුන් ක්‍රියා කළ ආකාරයෙන් පෙනී ගියේ ඔවුන් ‘කාලකණ්ණි සැනසිලිකාරයන්’ බවයි. (යෝබ් 16:2) යෝබ්ට සැබෑ මිතුරන් සිටියා නම් ඔහුගේ දුක ඔවුන්ට පවසා එය තුනී කරගන්න තිබුණා. ඒත් මේ මිතුරන් තිදෙනා කළේ ඔහුව ව්‍යාකූල තත්වයට පත් කරමින් ඔහුගේ වේදනාව තවත් වැඩි කිරීමයි.—යෝබ් 19:2; 26:2.

13 යෝබ් මෙසේ සිතන්න ඇතැයි කියා අපට නිගමනය කළ හැකියි. ‘ඇයි මට මෙහෙම වෙන්නේ? මම මොන වරදක් කළාටද මේ විදිහට දුක් විඳින්නේ?’ ඔහුගේ මිතුරන් පැවසුවේ ඔහුව සම්පූර්ණයෙන්ම නොමඟ යවන දේවල්. යෝබ් පීඩා අද්දකින්නේ යම් බරපතළ පාපයක් කර තිබෙන නිසා කියා ඔවුන් පැවසුවා. ‘නිදොස්ව සිට විනාශ වුණේ කවුද? මා විසින් දුටු හැටියට අයුතුකම හාලා දුක වපුරන්නෝ එම දේ කපාගනිති’ කියා එලීපස් යෝබ්ට පැවසුවා.—යෝබ් 4:7, 8.

14. යමෙක් පීඩා විඳින්නේ ඔහු කළ වැරදි නිසයි කියා නිගමනය කිරීමට අපි ඉක්මන් නොවිය යුත්තේ ඇයි?

14 අප වපුරන දේ කපාගැනීමට සිදු වන බව ඇත්තයි. (ගලාති 6:7, 8) ඒත් මේ සමාජ ක්‍රමයේදී අපි කොතරම් යහපත් ජීවිතයක් ගත කළත් පීඩා ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි නිර්දෝෂ අය කිසිම විපතකට ගොදුරු වන්නේ නැහැයි කියා පැවසිය නොහැකියි. “දූෂ්‍ය නොවූ, පව්කාරයන්ගෙන් වෙන් වූ” පුද්ගලයෙකු වූ යේසුස් වධ කණුවක් මත වේදනාකාරී මරණයක් අද්දැක්කා. එමෙන්ම යාකොබ්ව ඝාතනය කළේ ඔහුගේ ඇදහිල්ල නිසයි. (හෙබ්‍රෙව් 7:26; ක්‍රියා 12:1, 2) තමන්ගේ හොඳ නම රැකගන්නත් තමන් නිර්දෝෂයි කියා තරයේ කියා සිටින්නත් යෝබ් පෙලඹුණේ එලීපස් සහ ඔහුගේ මිතුරන් දෙදෙනා ඔහුව නොමඟ යවමින් පැවසූ බොරු දේවල් නිසයි. ඒ මිතුරන් දිගින් දිගටම චෝදනා කළේ යෝබ් කළ වැරදි නිසා ඔහු පීඩා අද්දකින බවයි. මෙය දෙවිගේ යුක්තිය ගැන ඔහු දැරූ ආකල්පයට බලපෑවා.—යෝබ් 34:5; 35:3.

පීඩා අද්දකින විට උපකාර පතන්න

15. දුක් පීඩාවලට මුහුණ දෙන විට අප මතක තබාගත යුත්තේ කුමක්ද?

15 අපිට යෝබ්ගෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? විපත්, අසනීප හෝ හිංසා පීඩා අද්දකින විට ඇයි අපිට එහෙම වෙන්නේ කියා අපි සිතන්න පුළුවන්. අන් අය අපි තරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ නැහැයි කියා අපිට පෙනෙන්න පුළුවන්. (ගීතාවලිය 73:3-12) මෙවැනි ප්‍රශ්න අපි සිතා බැලීම හොඳයි. ‘මුහුණ දීමට සිදු වන තත්වය මොකක් වුණත් දෙවිට තිබෙන ප්‍රේමය නිසා මම දිගටම ඔහුට සේවය කරනවාද? යෙහෝවා දෙවිට “නින්දා කරන්නාට උත්තර දෙන්ට” මම ආශාවෙන් බලා සිටිනවාද?’ (හිතෝපදේශ 27:11; මතෙව් 22:37) අන් අය අවබෝධයකින් තොරව පවසන දේවල් නිසා අපේ ස්වර්ගික පියා ගැන අපි සැක ඇති කර නොගත යුතුයි. අවුරුදු ගණනාවක සිට නිදන්ගත රෝගයකින් පීඩා විඳින ඇදහිලිවන්ත සහෝදරියක් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි ඉඩහරින ඕනෑම දෙයකට මුහුණ දෙන්න මට පුළුවන්. ඔහු මට මේ දක්වා දේවල් දරාගන්න අවශ්‍ය ශක්තිය දීලා තියෙනවා වගේ ඉදිරියටත් දෙයි කියලා මට ස්ථිරයි.”

16. දුෂ්කරතා අද්දකින අයට දෙවිගේ වචනයෙන් ලැබෙන උපකාර මොනවාද?

16 යෝබ් මෙන් නොව අප ‘සාතන්ගේ උපායන් මොනවාද කියා දැනගෙන සිටිනවා.’ (2 කොරින්ති 2:11) ඒ විතරක් නෙවෙයි, අපට ප්‍රායෝගික ප්‍රඥාව අත් කරගන්න උපකාරවත් වන බොහෝ දෑ තිබෙනවා. විවිධ පීඩා ප්‍රශ්නවලට මුහුණ දුන් ඇදහිලිවන්ත පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ආදර්ශයන් බයිබලයේ සඳහන් වෙනවා. බොහෝ පීඩා විඳි පුද්ගලයෙකු වූ පාවුල් මෙසේ පැවසුවා. “අපේ විඳදරාගැනීම මාර්ගයෙන්ද, ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සැනසිල්ල මාර්ගයෙන්ද අප බලාපොරොත්තුව ඇතිව සිටින පිණිස කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා ඇත.” (රෝම 15:4) දෙවන ලෝක මහ යුද්ධය පැවති කාලයේදී තම ඇදහිල්ල නිසා සිරගත වූ යුරෝපයේ විසූ සාක්ෂිකරුවෙකුට බයිබලයක් ලබාගැනීම සඳහා තුන් දවසක කෑම පරිත්‍යාග කරන්න සිදු වුණා. “මා කළ ඒ පරිත්‍යාගය මට මොන තරම් ආශීර්වාදයක් වුණාද! මට දවස් තුනක් බඩගින්නේ ඉන්න සිදු වුණු බව ඇත්තයි. ඒත් මේ පීඩාකාරි කාලයේදී මට වගේම අනෙකුත් සහෝදරයන්ට දෙවි සමඟ තිබෙන සම්බන්ධය දිගටම පවත්වාගැනීමට උපකාරවත් වුණේ ඒ බයිබලයෙන් ලැබුණු පෝෂණයයි. අද වෙන තුරු ඒ බයිබලය මගේ ළඟ තියෙනවා.”

17. විඳදරාගැනීම සඳහා දෙවි අපට උපකාර කර තිබෙන්නේ කුමන ආකාරවලින්ද?

17 බයිබලයෙන් ලැබෙන සැනසිල්ලට අමතරව එය තේරුම්ගැනීමට උපකාරවත් වන වෙනත් පොත් පත් රාශියකින්ද අපට ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් ලැබෙනවා. ඔබ මුහුණ දෙනවා හා සමාන තත්වයකට මුහුණ දෙන සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ අද්දැකීමක් මුරටැඹ ප්‍රකාශන සූචියෙන් * සොයාගත හැකියි. (1 පේතෘස් 5:9) ඔබ මුහුණ පා සිටින තත්වය ගැන තේරුම්ගත හැකි වැඩිමහල්ලෙක් හෝ වෙනත් අද්දැකීම් ලත් ක්‍රිස්තියානියෙක් සමඟ කතා කිරීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මේ හැම දේටම වඩා යාච්ඤාව මගින් ඔබට යෙහෝවා දෙවිගේ උපකාරය ලැබිය හැකියි. පාවුල් සාතන්ගේ ‘පහර දීම්’ හමුවේ ක්‍රියා කළේ කෙසේද? ඔහු දෙවිගේ බලය මත රඳා සිටිමින් ඒවාට සාර්ථකව මුහුණ දුන්නා. (2 කොරින්ති 12:9, 10) “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ” කියා ඔහු පැවසුවා.—ෆිලිප්පි 4:13.

18. අපට දිරිගැන්වීමක් සැපයීමට සෙසු ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

18 දෙවි සපයා දී තිබෙන උපකාරවලින් ප්‍රයෝජන ගැනීමට පසුබට වෙන්න එපා. “ඔබ විපත්ති කාලයේදී ක්ලාන්ත වන්නෙහි නම් ඔබේ ශක්තිය ස්වල්ප වේ.” (හිතෝපදේශ 24:10) අධෛර්යයට පත්වීම මල බැඳීම හා සමාන කළ හැකියි. ගේට්ටුවක් මල බැඳීම නිසා දිරාපත් වන්නාක් මෙන් අධෛර්ය වීම් නිසා ක්‍රිස්තියානියෙකු දෙවි කෙරෙහි තබා තිබෙන විශ්වාසය කාලයක් යන විට දුර්වල වී යා හැකියි. මේ වගේ තත්වයක් ඇතිවීම වළක්වාගැනීමට යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන් මාර්ගයෙන් අපට උපකාර කරනවා. යේසුස්ව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී දේවදූතයෙක් පෙනී සිට ඔහුව ශක්තිමත් කළා. (ලූක් 22:43) පාවුල්ව සිරකරුවෙකු ලෙස රෝමයට රැගෙන යමින් සිටියදී අප්පියස්ගේ වෙළඳපොළේදී හා තුන් තානායමේදී ඔහුව හමුවීමට පැමිණි සහෝදරයන්ව දැකීමෙන් ඔහු ‘ධෛර්යය උපදවාගත් අතර දෙවිට ස්තුති කළා.’ (ක්‍රියා 28:15) යම් බයාදු ගතියක් තිබූ ජර්මානු ජාතික යෞවන සාක්ෂිකාරියක්ව රේවන්ස්බෲක් ගාල් කඳවුරට දැමූ අවස්ථාවේදී සෙසු සහෝදරයන්ගෙන් ඇයට ලැබුණු උපකාර ගැන ඇය මෙසේ සිහිපත් කරනවා. “මා ඒ කඳවුරට ඇතුල් වූ විගස සහෝදරියක් මාව උණුසුම් ලෙස පිළිගත්තා. තවත් සහෝදරියක් මාව හොඳින් බලාගත්තා. ඇය මට සැලකුවේ එයාගේම දුවෙක්ට වගේ.”

“විශ්වාසවන්තව සිටින්න”

19. සාතන්ට එරෙහිව සිටීමට යෝබ්ට උපකාරවත් වූයේ කුමක්ද?

19 යෙහෝවා දෙවි යෝබ්ව හැඳින්වූයේ ‘ඇද නැතිකම [එනම් විශ්වාසවන්තකම] ස්ථිර ලෙස පැවැත්වූ’ කෙනෙක් හැටියටයි. (යෝබ් 2:3) යෝබ් අධෛර්යය වුණත් තමන් වින්ද පීඩාවලට හේතුව නොදැන සිටියත් යෙහෝවා දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය දුර්වල වෙන්න ඉඩ දුන්නේ නැහැ. තමා මෙතෙක් දෙවිට විශ්වාසවන්තව ගත කළ ජීවිතයෙන් කිසි පලක් නැහැයි කියා යෝබ් කොහොමටවත් හිතුවේ නැහැ. ඔහු දැඩි අධිෂ්ඨානයකින් යුතුව මෙසේ පැවසුවා. “මා නසින තෙක් මාගේ අවංකකම [විශ්වාසවන්තකම] පහ නොකරන්නෙමි.”—යෝබ් 27:5.

20. විඳදරාගැනීම වටින්නේ ඇයි?

20 යෝබ් හා සමාන අධිෂ්ඨානයක් අපත් ගෙන තිබෙනවා නම් විරුද්ධවාදිකම්, පරීක්ෂා හෝ පීඩා හමුවේ දෙවිට තිබෙන අපේ විශ්වාසවන්තකම රැකගත හැකියි. යේසුස් ස්මර්ණාව සභාවට මෙසේ පැවසුවා. “ඔබ විඳින්නට යන දේවල් ගැන භය නොවන්න. බලන්න! ඔබව සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමටත්, දවස් දහයක් ඔබට පීඩා ඇති වන පිණිසත් යක්ෂයා ඔබෙන් සමහරෙකුව සිරගෙට දමනු ඇත. මරණය දක්වාම විශ්වාසවන්තව සිටින්න. එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.”—එළිදරව් 2:10.

21, 22. පීඩා විඳදරාගන්න විට අපට සැනසිල්ලක් ලැබෙන්නේ කුමන දෙය දැන සිටීමෙන්ද?

21 විඳදරාගැනීම හා දෙවිට තිබෙන අපේ විශ්වාසවන්තකම, සාතන් විසින් පාලනය කරනු ලබන මේ සමාජ ක්‍රමය යටතේදී පරීක්ෂණයට ලක් වෙනවා. කෙසේවෙතත් අපි අනාගතය ගැන සිතන විට අපට බියවීමට කිසිම හේතුවක් නැති බව යේසුස් පැවසූ වදන්වලින් පෙනී යනවා. වැදගත්ම දෙය වන්නේ අප දෙවිට විශ්වාසවන්ත බව ඔප්පු කිරීමයි. පාවුල් පැවසුවේ ‘පීඩා පවතින්නේ මොහොතකට පමණක්’ කියායි. නමුත් යෙහෝවා දෙවි අපට පොරොන්දු කර තිබෙන්නේ “සියල්ල අබිබවා යන සදාකල් පවතින” ත්‍යාගයක් බවද පාවුල් පැවසුවා. (2 කොරින්ති 4:17, 18) යෝබ් පීඩා අද්දැකීමට පෙර සහ පසුව ඔහු භුක්ති විඳි ප්‍රීතිමත් කාලය සමඟ බලන කල ඔහු පීඩා අද්දැක්කේ ටික කාලයයි.—යෝබ් 42:16.

22 අපි අද්දකින පීඩා හා දුක් කරදරවලට නිමාවක් නැද්ද කියාත් ඒවා අපට තවදුරටත් දරාගන්න බැහැයි කියාත් සිතෙන අවස්ථා තිබෙන්න පුළුවන්. යෝබ් විඳදරාගත් ආකාරය ගැනත් එයින් අපට ඉගෙනගත හැකි පාඩම් ගැනත් අපි ඊළඟ ලිපියේදී තවදුරටත් සලකා බලමු. එමෙන්ම දුක් පීඩාවලට මුහුණ දෙන අයව අපට ශක්තිමත් කළ හැකි ආකාරය ගැනත් අප සලකා බලමු.

[පාදසටහන]

^ 17 ඡේ. මෙය සිංහලෙන් නැත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් සාතන් නැඟූ චෝදනාව කුමක්ද?

• පීඩාවලට මුහුණ දීමට සිදුවීම ගැන අප පුදුම නොවිය යුත්තේ ඇයි?

• යෙහෝවා අපට පීඩා විඳදරාගැනීමට උපකාර කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූර]

ගැඹුරින් දේවල් සොයා බැලීමෙන්, අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන් සමඟ කතා කිරීමෙන් හා යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් අපේ හදවත් වැගරවීමෙන් විඳදරාගැනීමට අපට හැකි වෙනවා