Skip to content

පටුනට යන්න

ආගම ඇදහීමෙන් යහපතක් වෙයිද?

ආගම ඇදහීමෙන් යහපතක් වෙයිද?

ආගම ඇදහීමෙන් යහපතක් වෙයිද?

“මම දන්නවා හොඳින් ජීවත් වෙන්න ඕන විදිහ. ඒ නිසා මට ආගමක් අවශ්‍ය නැහැ!” එය අද සිටින බොහෝදෙනාගේ මතයයි. සමාජයේ ඉන්න අවංක, කරුණාවන්ත වගේම හිතලා මතලා වැඩ කරන හුඟක් අය ආගම ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මීට උදාහරණ දෙකක් සලකා බලමු. බටහිර යුරෝපයේ සිටින හුඟදෙනෙක් තමන් දෙවියන් කෙරෙහි විශ්වාස කරන බව කිව්වත් පල්ලි යන්නේ කලාතුරකිනුයි. * ලතින් අමෙරිකාවේ ජීවත් වෙන බොහෝදෙනා කතෝලිකයන් වුණත් නිතිපතා පල්ලි යන්නේ සීයයට 15ත් 20ත් අතර සුළු සංඛ්‍යාවක් පමණයි.

වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා ආගම එතරම් වැදගත් නැහැ කියලා අනිත් අයට වගේ ඔබටත් හිතෙනවා ඇති. නමුත් ඔබේ ආච්චිලාගේ සීයලාගේ කාලයේ අය මීට වඩා ආගමට දහමට ළැදිව සිටි බව ඔබ අසා ඇති. ආගම කෙරෙහි මිනිසුන්ට තිබූ භක්තිය නැති වීමට හේතුව කුමක්ද? පුද්ගලයෙකුට ආගමක් නැතිව යහපත් කෙනෙක් වෙන්න පුළුවන්ද? ඔබට ප්‍රයෝජන ගෙන දිය හැකි ආගමක් තිබෙනවාද?

වැඩිදෙනෙකුට ආගම එපා වීමට හේතු

දෙවියන් මිනිසුන්ගෙන් කීකරුකම බලාපොරොත්තු වන බව බොහෝ කාලයක් පුරා ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අය විශ්වාස කළා. ඒ නිසා ඔවුන් දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා පල්ලියේ පැවති පූජාවලට හෝ දේශනාවලට සහභාගි වුණා. කොහොමවුණත් තම ආගමේ තිබෙන කුහකකම් ගැන ඔවුන් නොදැන සිටියාම නොවෙයි. තම ආගම් යුද්ධවලට සහාය දැක්වූ ආකාරය ගැනත් පූජකයන්ගේ සදාචාර විරෝධී ක්‍රියා ගැනත් ඔවුන් දැනසිටියා. නමුත් බොහෝදෙනෙක් හිතුවේ මේ දේවල් සිදු වෙන්නේ ආගමේ වරදක් නිසා නොවන බවයි. ඒ නිසා ඔවුන් තම පල්ලියට ළැදිව සිටියා. තවත් සමහරක් අය පල්ලි තුළ තිබෙන විශාල අල්තාරවලට, ඒවායේ ගාම්භීර පෙනුමට, සම්ප්‍රදායික උත්සවවලට වගේම ගීතිකාවලටත් මහත් ඇල්මක් දැක්වූ නිසාත් පල්ලිවලට ළැදිව සිටියා. වැරදි කරන්නන්ව බිය ගැන්වීම සඳහා, නිරයේ සදාකල් දුක් විඳීම නමැති ඉගැන්වීම ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී නැතත් එමගින් යහපතක් ඉටු වන බව සිතූ පිරිසකුත් සිටියා. නමුත් මිනිසුන් විවිධ ක්ෂේත්‍රයන්වල දියුණු වීමක් ලබනවාත් සමඟම පල්ලි කෙරෙහි ඔවුන්ට තිබූ ඒ ළැදියාවත් වෙනස් වෙන්න පටන්ගත්තා.

පරිණාමවාදය නමැති මතය ජනප්‍රිය වෙන්න පටන්ගත්තෙත් ඒ කාලයේදීයි. සමහරුන් තරයේ කියා සිටියේ ජීවය ආරම්භ වූයේ අහම්බෙන් කියායි. නමුත් ආගමික නායකයන්ට බැරි වුණා ජීවනයේ උල්පත හෙවත් ජීවයට ආරම්භය දුන්නේ දෙවි බව ඔප්පු කරන්න. (ගීතාවලිය 36:9) ඊට අමතරව නව තාක්ෂණය නිසා වෛද්‍ය විද්‍යාවේ, ගමනාගමනයේ සහ සන්නිවේදනයේ විශාල දියුණුවක් ඇති වුණා. ඒ නිසා මිනිසුන් සිතුවේ ඕනෑම ප්‍රශ්නයකට විද්‍යාවෙන් පිළිතුරු ලබාගත හැකි බවයි. ඒ විතරක් නෙවෙයි මිනිසාට අවශ්‍ය මඟ පෙන්වීම් ලබාදීමට ආගමික නායකයන්ට වඩා සමාජ විද්‍යාඥයන්ට සහ මනෝ වෛද්‍යවරුන්ට හැකි බවත් ඔවුන්ට හැඟුණා.මිනිසාට හොඳම මඟ පෙන්වීම දිය හැක්කේ දෙවිට පමණක් බව තහවුරු කිරීමට පල්ලි නායකයන් අපොහොසත් වූ බව මෙයින් පැහැදිලි වෙනවා.—යාකොබ් 1:25.

මේ නිසා බොහෝ පල්ලි තමන් ඉගැන්වූ දේ වෙනස් කළා. දෙවියන් මිනිසුන්ගෙන් කීකරුකම බලාපොරොත්තු වෙනවා කියන ඉගැන්වීම පූජකයන් තවදුරටත් ඉගැන්නුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඉගැන්නුවේ හරි වැරැද්ද කුමක්ද කියා තමන්ම තීරණය කරගත යුතු බවයි. ජනප්‍රිය වීමට ආශා වූ සමහර ආගමික නායකයන් ඉගැන්නුවේ ඔබ කොහොම ජීවත් වුණත් දෙවියන් ඔබව පිළිගන්නවා කියලයි. එවැනි ඉගැන්වීම් අපට මතක් කරන්නේ බයිබලයේ ඇති මෙම වචනයි. “ඔවුන් සුවදායී ඉගැන්වීම පිළි නොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය.”—2 තිමෝති 4:3.

මිනිසුන්ව ආගමට නැඹුරු කරගැනීමේ එම උත්සාහය කණපිට පෙරළුණා. එමනිසා පොදු ජනයාට මේ වගේ ප්‍රශ්න මතු වුණා. ‘දෙවි පොළොව මැව්වා කියන එක ගැන ආගම උගන්වන අයම සැක කරනවා නම් මම කොහොමද ඒක විශ්වාස කරන්නේ? මිනිසාට හොඳම මඟ පෙන්වීම දෙන්න පුළුවන් දෙවිට විතරයි කියන එක ගැනත් ඔවුන්ට යම් සැක තිබෙනවා නම් මම පල්ලි ගිහින් මොනවා ඉගෙනගන්නද? ඒ නිසා මගේ දරුවන්ටත් ආගම උගන්වන්න එකේ වැඩක් තියෙනවාද?’ සමාජයේ යහපත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කළ අයට ආගම වැදගත් දෙයක් නොවූ බව හැඟුණ නිසා ඔවුන් එය අතහැර දැමුවා. මිනිසාගේ ජීවිතයට ප්‍රයෝජනවත් දෙයක් විය යුතු ආගම, ඔහුට එපා වූයේ ඇයි? බයිබලය මේ සඳහා හේතු පැහැදිලි කරනවා.

නපුර සඳහා අතකොළුවක් ලෙස

ඇතැම් අය ක්‍රිස්තියානි ආගම නපුරු අරමුණු ඉෂ්ට කරගැනීම සඳහා යොදාගන්නා බව බයිබල් ලේඛක පාවුල් මුල් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වා. ඔහු කිව්වේ “මාගේ පිටත්ව යෑමෙන් පසු රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණ, රැළට ආදරෙන් සලකන්නේ නැති බව මම දනිමි. ඔබ අතරින්ම මිනිස්සු නැඟිට, තමුන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල් පවසන්නෝය” කියායි. (ක්‍රියා 20:29, 30) මෙම “විකෘති වූ දේ” පැවසු අයගෙන් එක්කෙනෙක් නම් රෝමානු කතෝලික සභාවේ නායකයෙකු වූ ඔගස්ටින් නම් පුද්ගලයායි. යේසුස් තම අනුගාමිකයන්ට උගන්වා තිබුණේ අන්‍යයන්ට උගන්වද්දී ශුද්ධ ලියවිල්ලෙන් කාරණා ඒත්තුගන්වන්න කියායි. නමුත් ඔගස්ටින් ලූක් 14:23හි යේසුස් සඳහන් කළ “ඇතුළට පැමිණෙන්න උනන්දු කරන්න” කියන වචන විකෘති කරමින් ඔහු කිව්වේ මිනිසුන්ව බලෙන් ආගමට හරවාගැනීම වැරදි නැති බවයි. (මතෙව් 28:19, 20; ක්‍රියා 28:23, 24) මේ අනුව ඔගස්ටින් මිනිසුන් කෙරෙහි බලය පවත්වන්න ආගම අතකොළුවක් ලෙස යොදාගත්තා.

ආගමේ මුවාවෙන් කරන වැරදි දේවල්වලට වගකිව යුත්තේ කැරලිකාර දේවදූතයෙක් වූ සාතන් නමැති යක්ෂයායි. ඔහු පළමු ශතවර්ෂයේ තිබූ ක්‍රිස්තියානි සභාව දූෂ්‍ය කිරීමට එදා සිටි ආගමික නායකයන්ව පෙලඹෙව්වා. එවැනි අය ගැන බයිබලයේ කියන්නේ මෙසේයි. “එවැනි මිනිස්සු බොරු ප්‍රේරිතයෝය. වංචනික වැඩකරුවෝය. ඔවුහු ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන් මෙන් පෙනී සිටින්නෝය. නමුත් එය පුදුමයක් නොවේ. මන්ද, සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් පෙනී සිටින්නේය. එබැවින්, ඔහුගේ සේවකයන්ද ධර්මිෂ්ඨකමේ සේවකයන් මෙන් පෙනී සිටීම මහ දෙයක් නොවේ.”—2 කොරින්ති 11:13-15.

සාතන් අද දිනත් එවැනිම දෙයක් කරනවා. තමන් යහපත් ක්‍රිස්තියානීන් සහ සදාචාරසම්පන්න පුද්ගලයන් බව මවාපෑමට මිනිසුන් අද දිනත් ආගම පාවිච්චි කරනවා. නමුත් එවැනි අය කරන්නේ දෙවිගේ කැමැත්ත නොව සාතන් කැමති දේයි. (ලූක් 4:5-7) හුඟක් පූජකයන් තමන්ටම උසස් පදවි නාම ලබාගෙන ඉහළ තත්වයක වැජඹීමටත් තම සාමාජිකයන්ගෙන් මුදල් එකතු කරගැනීමටත් ආගම යොදාගන්නා ආකාරය ඔබත් බොහෝවිට දැක ඇති. විවිධ ආණ්ඩු පවා ආගමේ නාමයෙන් එහි පුරවැසියන්ව පොලඹවා තිබෙනවා තම රට වෙනුවෙන් දිවි පිදීමට.

බොහෝදෙනෙක් හිතනවාටත් වඩා වැඩි ආකාරයකින් සාතන් ආගම් කෙරෙහි තම බලය පතුරුවා තිබෙනවා. සමහරවිට ඔබ හිතන්න පුළුවන් සාතන් යටතේ සිටින්නේ ආගමික අන්තවාදීන් කිහිපදෙනෙක් විතරයි කියා. නමුත් බයිබලයේ කියන්නේ ‘යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, ඔහු මුළු පොළොවම නොමඟ යවන’ බවයි. බයිබලයේ තවදුරටත් සඳහන් වෙන්නේ. ‘මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්’ බවයි. (එළිදරව් 12:9; 1 යොහන් 5:19) තමන් පසුපස මිනිසුන්ව ගෙන්වා ගැනීමට ආගම යොදාගන්නා පාලකයන් ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

“මට ඉන් පලක් තියෙනවාද?”

ක්‍රිස්තියානියයි කියාගන්නාවූ පල්ලිවල සමහර අයගේ හැසිරීම ගැන ඔබට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. සර්වබලධාරී දෙවිට පවා ඔවුන් ගැන ඇත්තේ ඉතාමත් අප්‍රසන්න හැඟීමක්. පුරාණයේ ඊශ්‍රායෙල්වරු මෙන් අද දින ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අයත් පවසන්නේ තමන් දෙවිගේ කැමැත්ත කරන සෙනඟ බවයි. නමුත් මේ දෙගොල්ලන්ම ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කළේ නැහැ. එදා සිටි ඊශ්‍රායෙල්වරුන්ව හෙළා දකිමින් යෙහෝවා දෙවි ඔවුන්ට කිව්වේ “මේ සෙනඟ මට අකීකරු වී මගේ නීතියට පිටු” පා ඇති බවයි. එනිසා “ෂෙබාහි සිට කට්ටකුමංජල් ගෙනාවත් . . . මට ඉන් පලක් තියෙනවාද? ඔබේ පූජාවලින් මම කොහෙත්ම කැමති වෙන්නේ නැහැ” කියලයි. (යෙරෙමියා 6:19, 20, නව ලොව පරිවර්තනය, NW) එම කුහකයන්ගේ නමස්කාරය දෙවි අනුමත නොකළ අතර ඔවුන්ගේ වත්පිළිවෙත් සහ යාච්ඤා දෙවි ප්‍රතික්ෂේප කළා. ඒ නිසා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “ඔබ අමාවක දවස්ද මංගල්‍ය දවස්ද පවත්වද්දී මම ඒවා හෙළා දකිනවා. ඒවා මට උසුලන්න බැරි තරම් බරක්. ඔබ අත් විදහාගෙන මගෙන් අයැදිද්දී මම ඇස් වසාගන්නවා. ඔබ කොතරම් යාච්ඤා කළත් මම ඒවාට ඇහුම්කන් දෙන්නේ නැහැ.”—යෙසායා 1:14, 15, NW.

පල්ලිවල පවත්වන උත්සවවලින් ඔවුන් ඇත්තටම ගෞරවය ගෙන දෙන්නේ බොරු දෙවිවරුන්ටයි. ඒ නිසා ඒ උත්සවවලට යෙහෝවා දෙවි ප්‍රසන්නද? යේසුස්ගේ ඉගැන්වීම් කණපිට පෙරළා උගන්වන පූජකයන්ගේ යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙනවාද? තම නීති, ප්‍රතිපත්ති එපා කරන්නාවූ ඕනෑම ආගමක් දෙවි පිළිගන්නවාද? දෙවි එවැනි අයගේ වත්පිළිවෙත් පිළිනොගන්නා බව නම් අපට ස්ථිරයි. පුරාණ ඊශ්‍රායෙල්වරුද පූජා ඔප්පු කරද්දී දෙවි ඒවා ප්‍රතික්ෂේප කරමින් ඇසුවේ “මට ඉන් පලක් තියෙනවාද?” කියායි.

නමුත්, තමාට අවංකව නමස්කාර කරන අය කෙරෙහි යෙහෝවා දෙවි ඉතාමත් සැලකිලිමත් වෙනවා. මිනිසුන් හැටියට අපි දෙවිගෙන් ලබා තිබෙන සියල්ල අගය කරද්දී ඔහු ඒ ගැන සතුටු වෙනවා. (මලාකී 3:16, 17) දෙවිට නමස්කාර නොකර කෙනෙකුට යහපත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්ද? මේ උදාහරණය බලන්න. තම ආදරණීය දෙමාපියන්ට සලකන්නේ නැති කෙනෙකුට තමා යහපත් පුද්ගලයෙක් කියා කොහොමටවත් කියන්න බැහැ. ඒ වගේම දෙවි වෙනුවෙන් කිසිවක් නොකරන කෙනෙකුට යහපත් පුද්ගලයෙක් කියා කියන්න බැහැ. එමනිසා ජීවිතයේ උල්පත වන සැබෑ දෙවි වෙනුවෙන් අපගේ පැත්තෙන් කළ හැකි සියල්ලම කිරීම සාධාරණයි. සැබෑ නමස්කාරය තුළින් දෙවිට ගෞරවය ගෙන දෙනවා විතරක් නෙවෙයි නමුත් ඉන් අපිටත් ප්‍රයෝජන ලැබෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 2 ඡේ. “බොහෝ රටවල්වල ජනයා තුළ ආගමට ළැදි ස්වභාවය බිඳ වැටෙන්න පටන්ගත්තේ 1960ගණන්වල සිටයි.”—The Decline of Christendom in Western Europe, 1750-2000.

[4වන පිටුවේ පින්තූරය]

දෙවි සියල්ල මැවූ බවට තිබෙන සැබෑ සාක්ෂි පල්ලිවල උගන්වනවාද?

[4, 5වන පිටුවේ පින්තූරය]

මේ පින්තූරයේ දැක්වෙන පුද්ගලයා දෙවිව නියෝජනය කරනවා කියා කියන්න පුළුවන්ද?

[5වන පිටුවේ පින්තූරය]

දෙවි මෙවැනි උත්සව සලකන්නේ කොහොමද?

[හිමිකම් විස්තර]

AP Photo/Georgy Abdaladze