Skip to content

පටුනට යන්න

ඔබට යහපතක් ගෙන දෙන නමස්කාරය

ඔබට යහපතක් ගෙන දෙන නමස්කාරය

ඔබට යහපතක් ගෙන දෙන නමස්කාරය

ආසාප් නමැති බයිබලයේ සඳහන් ගීතිකාකරුට හැඟුණා දෙවි ගැන සැලකිල්ලක් නොදක්වන අය මෙන් ජීවත් වෙන එක තමයි හොඳම දේ කියා. නමුත් ඊට පස්සේ ඔහු කල්පනා කළේ දෙවිට ළං වීමෙන් ඇති වන යහපත ගැනයි. “දෙවිට ළංවීම මට යහපත” කියා ඔහු අවසානයේදී තීරණය කළේ ඒ නිසයි. (ගීතාවලිය 73:2, 3, 12, 28) සැබෑ නමස්කාරයේ යෙදුණොත් ඉන් ඔබටත් යහපතක් අත් වෙයිද? එහෙමනම් ඒ කොහොමද?

සැබෑ දෙවිට නමස්කාර කිරීම තුළින් ආත්මාර්ථකාමී ජීවිතයකින් මිදෙන්න ඔබට පුළුවන්. ඇත්තෙන්ම තමන්ගේම කාරණා ගැන පමණක් සොයන අයට කවදාවත් ජීවිතයේ සැබෑ සතුට නම් සොයාගන්න බැහැ. එයට හේතුව, අපිව නිර්මාණය කර තිබෙන්නේ ‘ප්‍රේමයේ දෙවි’ වන නිසයි. (2 කොරින්ති 13:11) ඔහු අපව නිර්මාණය කර තිබෙන්නේ ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කරන්න නොවෙයි කියන එක “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” යනුවෙන් යේසුස් පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. (ක්‍රියා 20:35) අපි හිත මිත්‍රයන් වෙනුවෙන් සහ පවුලේ අය වෙනුවෙන් යම් දේවල් කර ඉන් සතුටක් ලබන්නේ ඒ නිසයි. නමුත් අපිට වැඩිම සතුට ලැබිය හැක්කේ දෙවි වෙනුවෙන් සේවය කිරීමෙන්. වෙන කිසිවෙකුටත් වඩා අපගේ ප්‍රේමය ලබන්නට වටින්නේ ඔහුයි. දෙවිට නමස්කාර කිරීම සහ ඔහුගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම ඉමහත් තෘප්තියක් ගෙන දෙන බව විවිධ තරාතිරම්වල සිටින මිලියන ගණන්දෙනාගේ අද්දැකීම වී තිබෙනවා.—1 යොහන් 5:3.

ජීවිතයට අරමුණක්

සැබෑ නමස්කාරයෙන් ඔබට සිදු වන තවත් යහපතක් නම් ඉන් ඔබේ ජීවිතයට අරමුණක් ලැබීමයි. ඔබේ ජීවිතයෙන් වටිනා යමක් ඉටු වන බවට දැනෙන විට ඉන් ඔබ සතුටක් ලැබුණු බව ඔබට හැඟී නැද්ද? වැඩිදෙනෙක් උත්සාහ කරන්නේ තම ජීවිතයෙන් යම් වටිනා දෙයක් කරන්න. එය තම පවුලේ අයට, යහළුවන්ට, රැකියාවට නැත්නම් තමාගේම තෘප්තිය වෙනුවෙන් වෙන්න පුළුවන්. නමුත් ජීවිතයේ ඇති අස්ථිරභාවය නිසා ඒ දේවල් ඉෂ්ට කරගන්නට ඔවුන්ට බැරි වෙනවා. (දේශනාකාරයා 9:11) කොහොමනමුත් සැබෑ නමස්කාරයෙන් ඊට වඩා උතුම් අරමුණක් වෙනුවෙන් වෙහෙසෙන්න අපට මඟ විවෘත කරනවා. ජීවිතයේ යම් කලකිරවන දේවල් සිදු වුණත් ඒ උතුම් අරමුණ තිබෙන නිසා එය අපිට මහත් ශක්තියක් ගෙන දෙනවා.

යෙහෝවා දෙවි ගැන දැනගැනීමත් ඔහුට විශ්වාසවන්ත ලෙස සේවය කිරීමත් සැබෑ නමස්කාරයට අයත් වෙනවා. එසේ කරන අය දෙවිට ළං වෙනවා. (දේශනාකාරයා 12:13; යොහන් 4:23; යාකොබ් 4:8) නමුත් දෙවි ගැන දැනුවත් වී ඔහුව ඔබේ කිට්ටු මිතුරෙක් කරගන්න එක ඉතා අමාරු දෙයක් කියා ඔබ සිතනවා ඇති. නමුත් දෙවි කොයි වගේ කෙනෙක්ද කියන එක ඔබට දැනගන්න පුළුවන්. ඒ ඔහු ජනයා සමඟ කටයුතු කර තිබෙන ආකාරය ගැන බයිබලයේ සඳහන් දේ කියවීමෙන් සහ අවට ලෝකය පුරා දකින ඔහුගේ නිර්මාණ දෙස බලා ඒවා ගැන හොඳින් කල්පනා කිරීමෙනුයි. (රෝම 1:20) දේවවචනය කියවීමෙන් ඔබට තවත් දේවල් ගැන දැනගන්න පුළුවන්. ජීවිතයේ අරමුණ කුමක්ද? දෙවි දුක් වේදනාවලට ඉඩදෙන්නේ ඇයි? නපුරු දේවල් දෙවි ඉවත් කරන්නේ කොහොමද? වැනි ප්‍රශ්නවලට උත්තර ඔබට දැනගන්න පුළුවන්. නමුත් වඩාත් වැදගත් දේ නම් දෙවි තම අරමුණ ඉටු කරන මේ කාලයේදී ඒ වෙනුවෙන් ඔබටත් යමක් කරන්න පුළුවන් කියා දැනගන්න ලැබීමයි. (යෙසායා 43:10; 1 කොරින්ති 3:9) එවැනි දේවල් ගැන හොඳ අවබෝධයක් ලැබීමෙන් ජීවත් වීම සඳහා ආශාවක් ඇති කරගන්න ඔබට පුළුවන් වේවි!

වඩා යහපත් පුද්ගලයෙක් වීම

සැබෑ නමස්කාරයෙන් ඔබට ඇති වන තවත් යහපතක් නම් ඔබ වඩා යහපත් පුද්ගලයෙක් වීමයි. ඒ තුළින් අන්‍යයන් සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්නත් ඔබට පුළුවන් වෙනවා. අවංකව ක්‍රියා කරන ආකාරයත්, කරුණාවන්තව කතා කරන ආකාරයත්, විශ්වාසවන්ත කෙනෙක් වෙන ආකාරයත් ඔබට දෙවිගෙන් සහ යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන්. (එෆීස 4:20–5:5) මෙසේ ඔබ දෙවිව හොඳින් දැන හඳුනා ගන්න විට ඔහුට ප්‍රේම කරන්නත් ඔහුව අනුකරණය කරන්නත් ඔබ පෙලඹෙනවා. බයිබලය ඒ ගැන කියන්නේ මෙසේයි. “ඔබ ප්‍රේමණීය දරුවන් වන බැවින් දෙවිව අනුකරණය කරන්නන් වන්න. . . . ඔබත් ප්‍රේමයෙන් යුක්තව ගමන් කරන්න.”—එෆීස 5:1, 2.

දෙවිගේ ප්‍රේමය අනුකරණය කරන අය සමඟ ඇසුරු කරන්න ලැබෙන එක ප්‍රිය මනාප දෙයක් නොවෙයිද? සැබෑ දෙවිට කරන නමස්කාරය හුදෙකලාවේ කරන දෙයක් නොවෙයි. ඒ වෙනුවට ඔබ වගේ යහපත් දේට ඇලුම් කරන වෙනත් අය සමඟ එකතු වී නමස්කාර කිරීමට අවස්ථාව ලැබෙනවා. සමහරවිට තවත් පිරිසක් සමඟ එක්රැස් වී නමස්කාරයේ යෙදීම ගැන ඔබට යම් බියක් ඇති විය හැකියි. කලින් ලිපියේ අපි සලකා බැලූ ආකාරයට අද දින හුඟක් ආගම් නමස්කාරය සඳහා රැස්වන බව ඇත්තයි. නමුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් රැස් වෙන්නේ හරි ආකාරයටවත් හරි අරමුණක් සඳහාවත් නොවෙයි. ඒ වගේම ඔවුන් ක්‍රිස්තියානි ආගමට පටහැනි ක්‍රියාවන්වලද යෙදෙනවා. ඊට වෙනස්ව දෙවිගේ ජනයාව යෙහෝවා දෙවි විසින්ම එක්රැස් කර තිබෙන්නේ විශේෂ අරමුණක් සඳහායි. බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවි, අවුල්සහගත දෙවි කෙනෙකු නොව, සමාදානයේ දෙවි කෙනෙක්ය” කියායි. (1 කොරින්ති 14:33) මෙලෙස හොඳින් සංවිධානය වූ ක්‍රිස්තියානීන් පිරිසක් සමඟ ඇසුරු කරද්දී මිලියන ගණන් අය අද්දැක තිබෙන සතුට හා තෘප්තිය ඔබටත් අද්දකින්න හැකි වේවි.

අනාගතයට බලාපොරොත්තුවක්

සැබෑ නමස්කාරයෙන් සිදු වන අනෙක් යහපත් නම් ඔබට අනාගතය සඳහා හොඳ බලාපොරොත්තුවක් ලබා දීමයි. ඒ බලාපොරොත්තුව කුමක්ද? දේවවචනය පෙන්වන්නේ අද දින දෙවි එක්රැස් කරමින් සිටින නමස්කාරකයන්ට මේ පවතින දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරීමට හැකි වන බවයි. එවිට ඔවුන්ට “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ” අලුත් පොළොවක් උරුම කරගැනීමට හැකි වෙනවා. (2 පේතෘස් 3:13; එළිදරව් 7:9-17) මෙවැනි බලාපොරොත්තුවක් මිල කළ නොහැකි සතුටට හේතුවක්. නමුත් සමහරුන් බලාපොරොත්තු තබන්නේ මිනිස් ආණ්ඩු, උසස් රැකියාවක්, නිරෝගී සෞඛ්‍යයක් සහ හොඳ විශ්‍රාම වැටුපක් වැනි දේවල් මතයි. නමුත් ප්‍රීතිමත් අනාගතයකට ඒ දේවල් දායක වෙන්නේ නැති තරම්. ඒ නිසා බයිබල් ලේඛක පාවුල් මෙසේ ලිව්වා. “අපේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ . . . ජීවමාන දෙවි කෙනෙකු කෙරෙහිය.”—1 තිමෝති 4:10.

ඔබත් සත්‍යය ඕනෑකමින් සෙව්වොත් සැබෑ නමස්කාරකයන්ව හඳුනාගැනීමට ඔබටත් හැකි වේවි. එවිට අසමගිය පැතිරී ඇති මෙම ලෝකය තුළ ප්‍රේමයෙන් සහ එකමුතුකමින් සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඔබට පැහැදිලිව හඳුනාගත හැකියි. ඔවුන් විවිධ ජාතීන්වලට අයත් වුණත් ඔවුන්ගේ පසුබිම වෙනස් වුණත්, ඔවුන් එකිනෙකා අතර තිබෙන ප්‍රේමය සහ යෙහෝවා දෙවිට තිබෙන ප්‍රේමය නිසා එකමුතුව සිටිනවා. (යොහන් 13:35) එමනිසා ඔවුන් සමඟ සැබෑ නමස්කාරයට හවුල් වීමෙන් අද්දැකිය හැකි ප්‍රීතිය අත්හදා බලන්න කියාත් ඔවුන් ඔබට ආරාධානා කරනවා. එවිට ගීතිකාකරු ආසාප් ලිව්වා හා සමානව “දෙවිට ළංවීම මට යහපත” කියා කියන්න ඔබටත් හැකි වේවි.—ගීතාවලිය 73:28.

[7වන පිටුවේ පින්තූරය]

දෙවිගේ මිතුරා වෙන්න ඔබටත් පුළුවන්